Sunday, May 31, 2015

කොහොමද හරියටම දැනගත්තේ?


බලගණ නායක කරුණාරත්න සිය සහාය නියමු පියාසර ලුතිනන් සමරසිංහ ද සමඟ ගුවන්ගත විය. ඉතා අපැහැදිලි කාලගුණයකි. කිසියම් හේතුවක් නිසා හදිසියේම යානයේ සන්නිවේදන සම්බන්ධතා බිඳවැටී ඇත. අධික මීදුම නිසා පොළොව හරිහැටි නොපෙනේ.


සැණෙකින් ඔහුගේ සිහියට ආවේ වසර කිහිපයකට පෙර බැංගලෝරයේ පිහිටි ගුවන් හමුදා තාක්ෂණික විද්‍යාලයේදී පුහුණු පාඨමාලාවක් හදාරන අතර මුහුණ දුන් මෙවැනිම අවස්ථාවකි. එදාත් මීදුම මේ ලෙසම පැවතුණි. කරුණාරත්න තරමක් තැතිගෙන සිටියේය. කෙසේවුවත් ප්‍රධාන නියමු පවන් සිං කිසිදු තැති ගැන්මක් නොපෙන්වා යානය උස් ගොඩනැඟිල්ලක් අසලට පහත් කළේය.


ගොඩනැඟිල්ලේ වහලය මත (රූෆ්ටොප් එකේ) කිසිවෙකු සිටිනු දුටු කරුණාරත්න ප්‍රධාන නියමුවාගේ නියමය පරිදි "අප දැන් සිටින්නේ කොහේද?" යනුවෙන් ලියූ පුවරුවක් ඔහුට පෙන්වීය. යානය වටයක් කැරකී නැවත එනවිට එම පුද්ගලයා අදාල පිළිතුර සටහන් කළ පුවරුවක් යානයේ සිට කියවිය හැකි පරිදි ප්‍රදර්ශනය කරගෙන සිටියේය.


"ඔබ දැන් සිටින්නේ ගුවන් යානයක"


පවන් සිං යානය මීදුම මැදින් අසල වූ හින්දුස්ථාන් එරෝනොටික්ස් ගුවන් පථයට නිරුපද්‍රිතව ගොඩ බැස්වීය.

"සර් කොහොමද මෙතන ගුවන් පථයක් තියෙන බව හරියටම දැනගත්තේ?" කරුණාරත්න ඇසුවේ විමතියෙනි.


"මම දැනගත්තා දැනගත්තා අපි ඉන්නේ මයික්‍රොසොෆ්ට් ආර්ඇන්ඩී ගොඩනැඟිල්ල ඉහළින් බව." පවන් පිළිතුරු දුන්නේය. "ඉතින් ඒකට නැගෙනහිරින් මේ ගුවන් පථය තියෙන බව අපි දෙන්නම දන්නවනේ"


"ඒත් සර් කොහොමද හරියටම දැනගත්තේ ඒ මයික්‍රොසොෆ්ට් ගොඩනැඟිල්ල බව?"


"ඇයි ඔෆිසර් තමුසේ දැක්කේ නැද්ද අර පහළ හිටපු හාදයා දුන්න පිළිතුර. ඒක තාක්ෂණික වශයෙන් හරියටම හරි. ඒත් කිසිම වැඩකට නැති පිළිතුරක්. ඉතිං ඒ ගොඩනැඟිල්ල වෙනතැනක් වෙන්න පුලුවන්ද?"


ඉතිහාසයේ වරක් වූ සිදුවීම් නැවත නැවතත් ඒ අයුරින්ම සිදුවේ. මේ එවැනි අවස්ථාවකි. කරුණාරත්න යානය උස් ගොඩනැඟිල්ලක් අසලට පහත් කළේය. වාසනාවට මෙන් ගොඩනැගිල්ලේ වහලය මත කිසිවකු සිටී. පියාසර ලුතිනන් සමරසිංහ කරුණාරත්නගේ අණ පරිදි  "අප දැන් සිටින්නේ කොහේද?" යනුවෙන් ලියූ පුවරුවක් ඔහුට පෙන්වීය.


ඔහු තත්ත්වයේ බැරෑරුම්කම හොඳින් අවබෝධ කරගත් බව පෙනුණේය. විනාඩි පහක් ඉවසන ලෙස අතින් සන්කළ මේ පුද්ගලයා තම අතේ වූ ජංගම දුරකථනයෙන් ඇමතුම් කිහිපයක් ගත්තේය. ටික වේලාවකින් ටයි පටියක් පැළඳි තැනැත්තෙක් ඔහු අතට කිසියම් කඩදාසියක් ගෙනත් දුන්නේය. තවත් අයෙක් ගෑස් පිරවූ බැලුමක් රැගෙන ආවේය. කරුණාරත්න යානය ගොඩනැගිල්ල ඉහළ අහසේ එකතැන රඳවාගෙන සිටියදී කඩදාසිය සමරසිංහ අතට පත් විය.


"ඔබ දැන් සිටින්නේ ගුවන් යානයක. හරියටම කියනවනම් එහි සහාය නියමු අසුන මත. ඔබ සිටින ගුවන් යානය නැන්චැන්ග් සීජේ හය වර්ගයේ චීනයේ නිෂ්පාදිත පුහුණු ගුවන් යානයක්. නිෂ්පාදිත වර්ෂය 1992. මේ යානයේ දෙදෙනෙකුට ගමන් කළ හැකියි. ගමන් කළ හැකි උපරිම වේගය පැයට කිලෝමීටර  300යි. එන්ජින් ධාරිතාව අශ්වබල 285යි....."


"ඔය ඇති!" නිරුපද්‍රිතව යානය ගාලු මුවදොර පිටියේ ගොඩබැස්වූ කරුණාරත්න සමරසිංහට අතින් සන් කළේය.


කරුණාරත්න දොර අරින විටත් සිරසේ සහ දෙරණේ කණ්ඩායම් දෙකක් යානයේ දොර ළඟ පොරකති.


"....ඒත් ඔබ කොහොමද හරියටම දැනගත්තේ ඒ මහබැංකු ගොඩනැගිල්ල බව?"


"දැන් බලන්ඩ මේ නිලධාරියා හරිම කාර්යක්ෂමයි. අවශ්‍ය කටයුත්ත සම්පූර්ණ කරන්න ගත්තේ විනාඩි පහයි. වාර්තාව ඉතාම විස්තරාත්මකයි. ඒ වගේම නැන්චැන්ග් සීජේ හය වර්ගයේ ගුවන් යානය පිලිබඳ තොරතුරු තාක්ෂණික වශයෙන් ඉතාම නිවැරදියි. කියවන ඕනෑම කෙනෙකුගේ විශ්වාසය තහවුරු වන අයුරින් ලියා තිබෙනවා. මේ තොරතුරු මේ තරම් කෙටි කාලයකින් සොයා ගැනීමට හැකිවීම ඉතාම පුදුම සහගතයි. ඒ වගේම ලියවිල්ල ඉතා ඉක්මණින් ඉහළම තැනකට ඉදිරිපත් කළා."


"වාර්තාවේ වගකීම අරන් තියෙන්නේ කමිටුවකින්. ආයතනයේ ප්‍රධානියා නෙමෙයි. ඔක්කොටමත් වඩා විශේෂම හේතුවනම් තමන්ට තියෙන වැදගත්ම රාජකාරිය කඩා වැටෙන්ඩ යන ගුවන් යානයක ගුවන් නියමුවෙක්ගේ ප්‍රශ්නයකට පිළිතුරු හොයන එක කියලයි මේ අය හිතන්නේ."


"...ඉතිං මේ මහබැංකු ගොඩනැගිල්ල කියල දැනගත්ත ගමන්ම මම අපි හිටපු බෙල් 212 හෙලිකොප්ටරේ ගාලු මුවදොර පිටියට ගොඩබැස්සුවා."
.

2 comments:

  1. අන්තිම පෝස්ට් එකට
    සමහරවිට ,පරිණාමය කියා අප දැනට ඉගෙනගන්න විශ්වාස කරන දේවල් බේස් එක ,එක් සුලු සොයාගැනිමක් කිසා කණපිට ගැහෙන්නත් පුලුවන් නේද?
    හරියට ලෝකය පැතලි කියා හිතිම vs ගෝලාකාරයි.

    ඔබේ ලිපියේ මට වඩා දිප්තිමත්ව පෙනුන තැන “කොණ්ඩය “ නොපිරීම.
    වෙරළු අච්චාරු සංකේතයක් පමණයි - මා ලියන්නේ රහස් භාෂාවක්, සුලු පිරිසකට. (මේවා ඔබ දන්නවා)

    මේ කියන්න යන්නේ ඔබ මවිත වන දෙයක්.
    “ගාලික් බ්‍රෙඩ් සුදු ලුනු ගද ඇයි?“
    මේක Zmy love from a star" සිරසේ පෙන්වන අනන්තයෙන් ආ තරු කුමරා ටෙලියේ ප්‍රදාන චරිතය ටෙලිය අනුව ඇය කොරියාවේ ජනප්‍රියම නිලිය , ගාලික් බ්‍රෙඩ් කමින් “ෆේස් බුක් අප්ඩේට් දානවා. ඇය (කොරියන්) දන්නැහැ ගාලික් කියන්නේ සුදුලුනු වලට බව. ඒ නිසා ඇය රසිකයන් අතර ඉන්ග්‍රිසි නොදැනිම නිසා සමච්චලයට ලක්වෙනවා.(ඉන්ග්‍රිසි බැරි නිසා ඇයට හොලිවුඩ් යන්නත් බැහැ, නිතර කොන්වෙනවා)
    මේ සරල අදහසිනුයි මා ඒ වැකිය ලීවේ. නමුත්, රිසි කෙනෙකුට රිසි විදියකට (පර්සෙප්ෂන්) අනුව වටහාගත හැකියි.
    :)

    ReplyDelete
    Replies
    1. //සමහරවිට ,පරිණාමය කියා අප දැනට ඉගෙනගන්න විශ්වාස කරන දේවල් බේස් එක ,එක් සුලු සොයාගැනිමක් කිසා කණපිට ගැහෙන්නත් පුලුවන් නේද? හරියට ලෝකය පැතලි කියා හිතිම vs ගෝලාකාරයි.//
      පැහැදිලිවම. පරිණාමයට විතරක් නෙමෙයි අනිත් දේවල් වලටත් මෙය අදාළයි. ගොඩක් ලොකු වෙනස්කම් වෙන්නේ සුළු දේවල් වලින්. මගේ වචනය "ආන්තික".

      //ඔබේ ලිපියේ මට වඩා දිප්තිමත්ව පෙනුන තැන “කොණ්ඩය “ නොපිරීම.//
      ලිපියේ අනිත් කොටස් තවමත් අඳුරේ නිසා වෙන්න ඇති. අඳුරේ අතපත ගාන එකෙත් පොඩි ගතියක් තියෙනවා (නරක අදහසක් නැහැ.).

      //වෙරළු අච්චාරු සංකේතයක් පමණයි - මා ලියන්නේ රහස් භාෂාවක්, සුලු පිරිසකට.//
      පැහැදිලි කිරීමට ස්තුතියි! කමෙන්ට් දාන අහිංසක මිනිස්සුන්ට අයියෝ සල්ලි :)

      //(මේවා ඔබ දන්නවා)//
      මම කොහොමද දන්නේ? අනිත් එක මම දන්නවා කියා ඔබ කොහොමද දන්නේ?

      //“ගාලික් බ්‍රෙඩ් සුදු ලුනු ගද ඇයි?“//එටිමොලොජි එක පැහැදිලි කළාට ස්තුතියි!

      //මේ සරල අදහසිනුයි මා ඒ වැකිය ලීවේ.// ඔව්, වෙන්න පුළුවන්. ඔබ එය පැහැදිලි කර තිබෙනවානේ. මම නලින්ට කිවුවා වගේම මේ "වාක්‍යය තුළ මට අවශ්‍ය අදහස ඉතා මැනවින් සංක්ෂිප්තව තිබූ බැවින්" මට අවශ්‍ය දෙය කියන්න මම ඒක ගත්තා. වචන තුනකට වඩා එක දිගට වෙනත් තැනකින් ගැනීම සම්මතය අනුව ප්ලේජරිසම් නිසා සාමන්‍යයෙන් මා කරන විදිහට ගත්ත තැන දැම්මා.

      ඔබේ බ්ලොග් එක මා කියවීමට පටන්ගෙන වැඩි දවසක් නැහැ. හැබැයි විවෘතව තිබුණොත් ඉදිරියටත් මා කියවනවා වගේම එසේ විවෘතව ඇති වෙනත් බ්ලොගයක් හා සමානව සලකනවා. යම් අපහසුතාවයක් වෙනවානම් කරුණාකර එසේ සිදුවූ වහාම දන්වන්න.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget