Friday, July 10, 2015

යාපයියාගේ මළගම

"ලොකු එකෝ, ආං වැල්ලට මිනියක් ගහලලු. පොඩ්ඩක් බලල වරෙන්."

ඇසිලින් නැන්දා උදේ පාන්දරම කණ තැබූ ආරංචිය ඒ තරම් හොඳ එකක් නොවේ.

"හැටක විතර පිරිමි මනුස්සයෙක්ලු. මිනිය අඳුරන්න අමාරුයි කියන්නේ."

නිමල්ගේ ඇඟ පුරාම හීනියට කරන්ට් එකක් වැදුනා වගේ දැනුනේය. හේනට ගිය නිමල්ලාගේ තාත්තා ඊයේ හවස පුරුදු විදිහට ගෙදර ආවේ නැත. ඒ මදිවාට ඊයේ හවස කුස්සියට කබරගොයෙක් රිංගුවේය. කබරගොයින් ගෙට රිංගීම අසුබ ලකුණකි.

"යාපත් තාම ගෙදර ආවේ නෑ නේද?"

ඇසිලින් නැන්දාගේ හඬ ටිකක් හීනි වී තිබේ.

"අනේ ලොකු එකෝ විජහට ගොහිං බලහං."

ඇසිලින් නැන්දා නිමල්ලාගේ තාත්තාගේ අක්කාය. තාත්තාගේ නම යසපාල වුවත් නැන්දා හැමදාම ඔහුව ඇමතුවේ යාපා නමිනි. තරුණ කාලේම දීගයක් කඩාගෙන තනිපංගලමේ උන් ඇසිලින් නැන්දා නිමල්ලා ගැන හොයා බැලුවේ නිමල්ලාගේ අම්මා මියයාමටත් පෙර සිටමය. තාත්තා ඊයේ ගෙදර නොආ බව දැනගත් වෙලේ පටන් නිමල් මෙන්ම නැන්දාත් හිටියේ ලොකු දෙගිඩියාවකිනි.

පහුගිය සුමානයක පමණ සිට යසපාල හිටියේ වැඩි කතාබහක් නැතුවය. ඇසිලින් නැන්දා මේ ගැන කීපවරක්ම යසපාලව විමසුවේය.

"මොකෝ යාපො උඹ ටික දොහක ඉඳන් බුම්මගෙන? මුකුත් ප්‍රශ්නයක් තියෙනවනං අපිටත් කියහන්."

යසපාල හිනාවුනා මිස ලොකු උත්තරයක් දුන්නේ නැත. ඇසිලින් නැන්දාට හෝ නිමල්ට හිතාගත හැකි ප්‍රශ්නයක් යසපාලට තිබුනේත් නැත. ඇරත්, හේන කුඹුර පැත්තේ මිස වැල්ලට යන්නට යසපාලට කොහොමටත් හේතුවක් නැත.

***
ඇඳුම් සියල්ල ඉවත් වී නිරුවත්ව තිබුණු මිනිය ඉටිරෙද්දකින් වසා තිබුණේය. විරූප වී තිබුණත් යසපාලගේ මිනිය අඳුනාගැනීම නිමල්ට අමාරු කාරියක් වුනේ නැත.

පශ්චාත් මරණ පරීක්ෂණය අනුව යසපාල සිය දිවි හානි කර ගෙන තිබේ. ඒත් ඊට පැහැදිලි හේතුවක් කවුරුත් දන්නේ නැත. මරණේ ගැන ඇසිලින්ටනම් වැල්ල පැත්තේ හාදයෙක්ව සැකය.

***
යසපාලගේ අවසන් කටයුතු සඳහා මිනිය ඉස්සීමට වෙලාව පැමිණ තිබේ. යසපාලගේ නැගණිය රොසලින් ඇගේ වැඩිමල් සොයුරිය ඇසිලින් සමඟ කෑ මොර දෙන්නේ තරඟයට වගේය.

"යාපයියේ....!"
"යාප කෝ...!!"

***
යසපාලගේ නිවස තිබුණේ පාරක් අයිනේ නිසා ඇසිලින්ගේත් රොසලින්ගේත් ඇඩිල්ල පාරේ යන කාටත් හොඳින් ඇසේ. අඬන්නේ දුකටද නැත්නම් කේන්තියටද කියා මේ ගොඩක් අයට හිතාගන්න අමාරුය.

(ඥාණකතාවක් නොවේ. මැටිකතාවකි.)

4 comments:

  1. අපෙ පන්ති වලත් හිටියා යාපා කියලා කොල්ලෙක්. ඌට ඒ දවස් වල පාරෙ බැහැලා යන්න දුන්නෙ නෑ අපෙ උන්.

    ReplyDelete
  2. යාපාලන මියගියා.
    මලගම අගෝස්තු 17 දා.
    මල බතට ඔහෙලත් එන්න.
    දැනුම් දෙන්නේ,
    D.E.M. O'cracy

    ReplyDelete
  3. යහපාලගේ සිය දිවි නසා ගැනීම - අපූරු උපහාසාත්මක ලියවිල්ලක්

    ReplyDelete
  4. වාසුදේවද දන්නේ නෑ ඉගැන්නුවේ රොසලින්ටයි ඇසිලින්ටයි ඔහොම කෑගාන්ට

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget