Sunday, July 5, 2015

සුභසේන සහ යසපාල





අවුරුදු දෙසීයකට පෙර 1815දී ලංකාව පාලනය කිරීමේ භාරදූර කාර්යය ගිවිසුමකින් බ්‍රිතාන්‍යයන්ට පැවරීමට පෙර අපටත් රජෙක් සිටියේය. ඒ රජාට පෙර තවත් රජෙක් සිටියේය. ඊටත් පෙර තවත් රජවරු සිටියහ.

විජයගේ සිට ශ්‍රී වික්‍රම රාජසිංහ දක්වා ලංකා රාජ්‍යයේ බල හුවමාරුව සිදුවූ ආකාරය මහා වංශය ඇතුළු ඉතිහාස පොත් වල සටහන් වී තිබේ. බොහෝ විට බලය මාරු වූයේ පියාගෙන් පුතාටය. නැත්නම් බිරිඳ, සැමියා, සොහොයුරා, ඥාති සොහොයුරා හෝ බිරිඳගේ සොහොයුරා වැනි පවුලේ කෙනෙකුටය.

ක්‍රිස්තු වර්ෂ 52 සිට 60 දක්වා වසර අටක් අපේ රට පාලනය කළේ  'යසලාලක තිස්ස කියා බොළඳ ගති ඇති' රජෙකි. මහාවංශය අනුව යසලාලක තිස්සගෙන් පසු වසර හයක් රට පාලනය කළේ සුභරාජයි.

යසගෙන් සුභ වෙත වූ බල හුවමාරුව තරමක් වෙනස් එකකි. එය පවුල ඇතුළේ සිදුවූ කේස් එකක් නොවේ.

බොළඳ ගති ඇති යසලාලක තිස්සට චන්ද්‍රමුඛ අයියාගෙන් වැඩි අමාරුවක් නැතුව හිමි වූ රජකම කරගෙන ඉන්නවාට වඩා වෙන වැඩ ලොකු විය. මේ නිසා මොකක්දෝ කරුමයකට වරින් වර රජ ඇඳුම් උනා දොරටුපාල ඇඳුම් ඇඳීමේ භයානක පුරුද්දට යසලාලක තිස්ස ඇබ්බැහි විය. යසලාලක තිස්ස ඇන්දේ සුභ නම් වූ දොරටුපාලයාගේ ඇඳුම්ය. යසලාලකව දොරටුපාලට අන්දවන සුභ රජකමේ ටැම්පරි කරද්දී යසලාලක දොරටුපාල රස්සාවෙන් හීනියට ආතල් එකක් ගත්තේය.

මේ වැඩේ කාලයක් ඔය විදිහට සිදුවිය. දෙන්නාගේ මූණු ටිකක් එක වගේ නිසා වැඩේ කාටවත් මාට්ටු වුනේ නැත. සයිමන් නවගත්තේගමනම් ඔය ඩයල් දෙක එක වගේ වුන ආකාරය ගැන පැහැදිලි කිරීමක් කර තිබේ. ඒවායින් අපිට වැඩක් නැත. අපි රජ වරුන්ට මඩ ගහන්නේ නැත.

මූණු එක වගේ නොවුණත් සුභ සහ යස කතාව වෙන විදිහකට වෙන්නට ලොකු ඉඩක් නැත. ඇමැත්තන්ට වටින්නේ රජ ඇඳුම මිස රජාගේ මූණ නොවේ.  සුභ ටැම්පරි කරන වෙලාවට යසගේ හිතවත් ඇමැත්තන් ඉවත්කර ඔහුගේ හිතවතුන් පත් කරගත් බවක් මහාවංශයේ සඳහන් නොවන නිසා එසේ වූවාදැයි අපි දන්නේ නැත. එසේ වුනානම් ටික දවසකින් ඇමැත්තන් කොහොමටත් සුභගේ පැත්තේය. අනෙක් අතට, රජාගේ මෝඩ විනෝදාංශය ඇමැත්තන්ට මාට්ටු වුණත් රජා ඇනගන්නා තුරු ඇමැත්තන් කරන්නේ 'එසේය, මහරජ!' හෝ 'යර්ස්, සර්!' කීම පමණි.

එක් තීරණාත්මක දවසක යසලාලක තිස්සගේ ඉරණම විසඳුනේය. හැමදාම ටැම්පරි කර කර සිට සුභට ඇති වෙන්නට ඇත. ඉන්පසු ඔහු ඊළඟ තාර්කික පියවර ගත්තේය. රජාට ඇඳ සිටි සුභගේ අණින් දොරටුපාල රස්සාව කළ සුභට මරණ දඬුවම හිමි විය. සුභගේ ටැම්පරිය අවුරුදු හයකට පර්මනන්ට් විය.

දුසිම් එකහමාරකටත් වඩා අපේක්ෂකයින් රජකමට පොරකෑ පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව උඩින්ම සිටි තුන් දෙනාගෙන් දෙන්නෙක්ම සිරිසේනලාය. දෙන්නාගේම මූණු ටිකක් විතර එක වගේය. දෙන්නාම ඇන්දේත් එක වගේ ඇඳුම්ය. ඒ විතරක් නොවේ. දෙන්නාම පරණ ග්‍රාමසේවකයින්ය.

ඡන්දය තමන්ටම ඉල්ලා සිටි එක් සිරිසේන කෙනෙකුට ඡන්ද හැට දෙලක්ෂයක් ලැබුණේය. පරාර්ථකාමය නිසා හෝ ක්‍රමෝපායික ලෙස අනෙත් සිරිසේන අවසාන මොහොතේ ඉල්ලා සිටියේ තමාට ඡන්දය නොදී තමාගේ ගමේ මිනිහෙකු වූ වෙනත් අපේක්ෂකයෙකුට ඡන්දය දෙන ලෙසය.

මේ පණිවුඩය බොහෝ ඡන්දදායකයින් විසින් හරියට තේරුම් නොගත් නිසා ඡන්ද දහඅට දාහක් ඉක්මවා ලැබූ මේ සිරිසේන ඔහු අපේක්ෂා නොකළ පරිදි ලැයිස්තුවේ තුන්වෙනියා විය. කෙසේ වුවත් ඔහුගේ ඉල්ලීම ඒ විදිහටම ක්‍රියාත්මක කළ ඡන්දදායකයෝ පනස් අට ලක්ෂයක් මේ සිරිසේන විසින් නම් කළ නියෝජිතයාට සිය මනාපය පළ කළහ.

පනස් අටලක්ෂයක් ඡන්දදායකයින්ගේ ජනමතය හැසිරවීමේ බලය තිබුණු දේශප්‍රේමී ජාතික පෙරමුණේ අපේක්ෂකයාගේ පානින් එළිය බැලීමට දෙවැනි තැනට ඡන්ද ලබාගත් අපේක්ෂකයා නොකළ දෙයක් නැත. ඔහු ඡන්ද දින ඡන්ද පොළට ගියේ මේ සිරිසේනද සමඟය. ඔහුගේ පුත්තු මේ සිරිසේනගේ කරට අත දමා ඡායාරූපයකට පෙනී සිටීම විශාල ගෞරවයක් ලෙස සැලකූහ.

කෙසේ වුවද ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා වූයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂකයා වූ වෙනත් සිරිසේන කෙනෙකි.

ඉතිහාසය වෙනස් වී, දේශප්‍රේමී ජාතික පෙරමුණේ අපේක්ෂක සිරිසේන ජනාධිපති වීනම් කෙබඳු වෙනසක් දැකිය හැකි විය හැකිද? ඔහුගේ නියෝජිතයා වූ ගමේ මිනිහාගේ හිතවතුන් ඉවත් නොකෙරෙනු ඇති අතර මෛත්‍රීපාල සිරිසේනගේ ඡන්ද පොරොන්දු බොහොමයක් ඉටු නොවනු ඇත. නියෝජිතයා පොරොන්දු වූ පරිදි විධායක ජනාධිපති ධුරයේ ඇතැම් බලතල පමණක් ඉවත් කෙරෙනු ඇත. පසුගිය ආණ්ඩුවේ හිතවතුන්ට වැඩි කරදරයක් නොවනු ඇත. ඔහුගේ නියෝජිතයාව මීළඟ ඡන්දයේදී ඉදිරියට ගෙන එනු ඇත. සිය ප්‍රතිවාදී අපේක්ෂකයකු වූ මෛත්‍රීපාල සිරිසේනගේ දේශපාලනික මරණ දඬුවම ක්‍රියාත්මක කරනු ඇත.

ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා වූයේ නව ප්‍රජාතන්තවාදී පක්ෂයේ අපේක්ෂක සිරිසේන නිසා ඡන්දයෙන් පසුව ඉටු වූයේ ඔහුව පත්කරගත් ඡන්දදායකයින්ගේ අපේක්ෂාවන් මිස දේශප්‍රේමී ජාතික පෙරමුණේ අපේක්ෂක සිරිසේනගේ ඉල්ලීම පරිදි ඡන්දය භාවිතා කළ අයගේ අපේක්ෂාවන් නොවේ.

ඉතිහාසයේ ඇතැම් සිදුවීම් නැවතත් සිදුවේ. දේශප්‍රේමී ජාතික පෙරමුණේ අපේක්ෂක සිරිසේන දැන් ආගිය අතක් නැත.

හොඳ වෙලාවට අපේ ජනාධිපතිතුමාට යසලාලක තිස්සට තිබුණු බොළඳ ගති නැත. ඒ නිසා රජ ඇඳුම් උනා පක්ෂ නායක ඇඳුම් ඇඳීමට ඔහුට නොසිතේ. එහෙම කළොත් රජ ඇඳුමත්, පක්ෂ නායක ඇඳුමත් දෙකම නැති කරගෙන හොරු සමඟ හෙළුවෙන් සිටීමට වන බව ඔහු දනී. ඒ බව නොතේරේන තරම් බොළඳනම් අපේ ජනාධිපතිතුමා නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් ඉදිරිපත් වී තමා වෙනුවෙන්ම ඡන්දය ඉල්ලීමට ධෛර්යයක් තිබූ සිරිසේන විය නොහැක.

(ඡායාරූප අන්තර්ජාලයෙනි.)

4 comments:

  1. ඔවැනි විකාරවලට අනුබලය දුන් මහින්දටත් ඡන්දේ දීමෙන් අපේ රටවැසියන් ලක්‍ෂ පනහකටත් වඩා නම් තාමත් ඉන්නේ ක්‍රිස්තු පූර්ව සියවසක බව පසක් විය!

    ReplyDelete
    Replies
    1. ඇයි, අපි ඒ වගේ පැරණි උරුමයක් ඇති අය වීම ගැන ලැජ්ජාවෙන්න ඕනද? අතීතයට අපහාස කරන්න එපා. ඒ පැරණි යුගවල තමා ශ්‍රේෂඨයන් ජීවත් වුනේ, අපේ ජාතියේ ඒකාන්විත අරමුණ නැවත ඒ සමෘද්ධිමත් ක්‍රි.පූ. යුගයට නැවත ආපසු යෑමයි, අපේ පාසල් වල පන්සල් වල බනපොත් වල අපිට කියාදෙන්නේ එහෙමයි. මම වැරදිනම් ජනමත විචාරනයක් තියල බලන්න.

      Delete
    2. අපොයි ඔව්, ඒක ඇත්ත.
      අපේ සමහර බලු ගැත්තරයින්නට, පස්වාන් දහසකට බුදු වෙන රජතුමෙක් නැතුව නිකං පාලුයි වගේ!

      Delete
  2. http://www.gossiplankanews.com/2015/07/duplicate-sirisena-got-president-post.html

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget