Saturday, March 12, 2016

බල්ලා රට යැවීම


පසුගිය මැටිකතාවකට කමෙන්ටුවක් දමමින් ඩ්‍රැකී විසින් "නැති රටේ කතා" ලේබලය යටතේ කැටගරියක් ඇරඹීමට යෝජනා කළේය. යෝජනාව මැදහත් සිතින් පිළිගත්තත් එය දකුණු පැත්තේ පෙනෙන්නට නැත්තේ එය "නැති" ලේබලයක් බැවිනි. නැති ලේබල් වගේම නැති ආදායම් හා නැති වියදම් ආදියත් ඇත්තේ නැති රටේ පමණක් නොවේ.

අද කතානම් ඉකොනොමැට්ටාගේ කතා නොවේ. ඉකොනොමැට්ටා වගේම තවත් කියවන ගොඩක් දෙනෙක් අසා ඇතැයි ඉකොනොමැට්ටා විශ්වාස කරන මුල් රචක අඥාත පැරණි රසාංග දෙකකි. ඉකොනොමැට්ටා කරන්නේ පොඩ්ඩක් කුළුබඩු එකතු කිරීම පමණි.

එක්තරා කාලයක නැති රටේ සිටි රාජ්‍ය නායකයෙක් සිය සන්නද්ධ රථ පෙළපාලිය සමඟ රජ වාසලින් බැහැරව යන වෙලාවක කිසියම් අසාමාන්‍ය දර්ශනයක් ඇහැ ගැහුණේය. ඒ, සෑහෙන්න දිග පෝලිමකි. දශක ගණනකට පෙර නැති රටේ පෝලිම් ක්‍රමය නැති කර තිබූ බැවින් මේ වගේ දිග පෝලිමක් රාජවාසලෙන් නොමිලේ සිල් රෙදි දෙන වෙලාවකටවත් දැක ගන්නට නොහැකිය.

නැති රටේ එවකට සිටි මේ ජනමූල නායකයාට තමන්ගේ රටේ රජවාසල ආසන්නයේම මේ තරම් දිග පෝලිමක් ඇති විට ඒ ගැන හොයා බලන්නට සිතක් පහළ වූ බව කියන්නත් දෙයක් නැත. ඒ අනුව, මේ නායකයා රථය නැවැත්වීමට සන් කර වහාම පෝලිමේ අගට එකතු නොවුණත්, සිය ආරක්ෂකයින් විසින් කලින් ගොස් සියළු පාදක කටයුතු සැලසුම් කිරීමෙන් අනතුරුව, අහම්බෙන් මෙන් පැමිණ මේ පෝලිමේ අගට එකතු විය. ඒ සමඟම මේ ස්ථානයට අහම්බෙන් පැමිණි මාධ්‍යවේදියෝද වීඩියෝ කැමරා දික් කරන්නට වූහ.

ආරක්ෂක අංශ කලින් උපදෙස් දී තිබුණු පරිදි පිටුපස හැරී බලා රටේ රාජ්‍ය නායකයා පෝලිමේ තමන්ට පිටුපසින් සිටින බව අහම්බෙන් දුටු කලින් පෝලිමේ අන්තිමට සිටි පුද්ගලයා නැති රටේ සාමාන්‍යයෙන් සිදුවන පරිදි ඇමති කෙනෙකුගේ ලියුමක් නැතිවම සුදුස්සාට සුදුසු තැන දීමට වහා ඉදිරිපත් විය.

"සර්, එන්න ඉස්සරහට!"

ඒ සමඟම පෝලිමේ ඊට පෙර සිටි පුද්ගලයාද පසුපස හැරී බලා අහම්බෙන් තමන්ට පිටුපසින් සිටි පුද්ගලයාව හඳුනාගත්තේය. නැවතත් පෙර දෙයම සිදුවී නැති රටේ රාජ්‍ය නායකයා පෝලිමේ තවත් ස්ථානයක් ඉදිරියට ගියේය. ෆේස්බුක් එකේ එක් අයෙක් දැමූ දෙයක් අනිත් අයත් ශෙයා කරන ආකාරයෙන් මේ කටයුත්ත මේ අයුරින් දිගටම සිදු වූ නිසා විනාඩි දෙක තුනකින් ලොක්කා පෝලිමේ මුලටම ආවේය.

පෝලිමේ මුලට පැමිණි ලොක්කා අහම්බෙන් දැනගත්තේ මේ ස්ථානය බටහිර රටක තානාපති කාර්යාලයක් බවයි. බලාගෙන ගියවිට මේ තරම් දිග පෝලිමක් තිබී ඇත්තේ ඒ රටට වීසා ගන්නටය. වීසා නිලධාරිනිය සමඟ සුහද කතාබහකින් පසු ලොක්කාට දැනගන්නට ලැබුණේ මේ ගොඩක් දෙනෙකු වීසා ඉල්ලන්නේ මානව හිමිකම් කතා කියමින් බවයි. එහෙම දෙයක් ගැන කාලයකට ඉස්සර තමාත් කතා කළ බව ලොක්කාට ඒ වෙලාවේ මතක් වුණත් නැති රටේ නැති දේ ගැන කතා කරන්නට කාලය වැය නොකළ මේ ලොක්කා වීසා නිලධාරිනියට ස්තුති කර ආපසු හැරුණේය.

ලොක්කාට ෆුල් අන්දොස් වුනේ තානාපති කාර්යාලයෙන් එළියට පැමිණීමෙන් පසුවය. වංගු වංගු ගැසී කිලෝමීටරයක් පමණ දිගට තිබුණු පෝලිම දැන් පෙනෙන්නට නැත! තානාපති කාර්යාලයේ වීසා පෝලිමට බස් වලින් සෙනඟ අදින්නේ නැති බව ලොක්කාට සහතිකය. එහෙනං මේ හිටපු සෙනඟට මොකද වුණේ? මේ හිටපු සෙනඟ මේ තරම් ඉක්මණින් වෑන් වලට පටවාගෙන යන්නට වුණත් පුළුවන් කමක් නැත.

පෝලිමේ හිටි සියල්ලන්ම අතුරුදහන් වී හිටියත් එක කොළු ගැටයෙක් පමණක් පැත්තක ලෙමන් පෆ් එකක් හපමින් සිටියේය. ලොක්කා මේ කොළුවාට අත වනා කතා කළේය.

"කෝ බං මෙතන හැතැම්ම ගානක් දිගට තිබිච්ච පෝලිම?"

"සර්, ඒගොල්ලෝ ඔක්කොම යන්න ගියා!"

"ඒ මොකද, බං?"

"අනේ මන්දා, සර්. ඇහුවහමනම් කිවුවේ සර් රට යනවනං අපි යන්න ඕනෑ නෑ කියලයි!"

ඔය කියන දවස් වල නැති රටේ මෙවැනි කියමනක් තිබුණේය.

"බල්ලට රට ගියත් එකයි. රට බල්ලට ගියත් එකයි."

ඔය කිවුවාට මේ කියමන එතරම් නිවැරදි නැත. බල්ලට රට ගිය විට බල්ලා රට යවා ප්‍රශ්නය විසඳාගත හැකිය. එහෙත්, රට බල්ලට ගිය විට බල්ලා රට ගියා කියා වෙනසක් වෙන්නේ නැත.


දෙවෙනි කතාව එක්තරා රෑපවාහිනී නාලිකාවකින් කළ ප්‍රෑන්ක් එකක් ගැනය. මේ අය කළේ වන සතුන් බොහෝ සිටින කැලෑවක් මැද ලොකු කණ්ණාඩියක් සවි කිරීමයි. මේ කැලේ අලි, කොටි, වලස්සුන්ගේ සිට හාවුන්, මුවන් හා උකුස්සන් දක්වා වූ මෙකී නොකී සත්තු අටෝරාසියක් ජීවත් වූහ. කෙසේ වුවද, වැඩිපුරම සිටියේ හෝමෝ සේපියන්ස්ලාගේ නෑදෑයින්ද වන වානර වර්ගයේ සත්තුය. දූපතක් මැද පිහිටි මේ කැලේ සිට වෙනත් කැලෑ වලට යාමට පාලමක් තබා අඩුගානේ වෙළඳ ගිවිසුමක්වත් නොතිබුණු බැවින් මේ සත්තු කිසිවෙකු කිසිදිනෙක කණ්ණාඩියකින් තමන්ගේ මුහුණ දැක නොතිබුණේය.


කණ්ණාඩිය වෙත පැමිණෙන සතුන්ගේ පිස්සු ඩබල් වූ බව කියන්නත් දෙයක් නැත. ඒ ගැන එක් එක් සත්තු විවිධ මත පළ කළහ.

"මහා බයානක සතෙක්. මාව මරාගෙන කන්නමයි හැදුවේ!"

"මා එක්කත් ගේමට ආවනේ!"

"මහ හොරෙක්! මගෙ කෑම ටික ඔක්කොම හොරකම් කරල තියෙන්නේ මූ තමයි!"

"ගෝත්‍රිකයෝ ගොඩක්! මුං කවද හැදෙයිද මන්දා..."

"මහ ගෝරිල්ලෝ රංචුවක්නේ! මුං පරිණාමය වෙන්න තව සෑහෙන කලක් යයි!"

"ඉකේයියා! මගේ අතින් අල්ලන්නත් හැදුවා..."

"සත්තු මරාගෙන කන
ම්ලේච්ඡයෝ ගොඩක්! මුංව මරාගෙන කාලත් මදි.."

"මහ මංකොල්ලකාරයෝ ටිකක්. මං දැක්ක අපෙන් පැහැර ගත්තු පලතුරු වගයක් හංගගෙන ඉන්නවා. කොහොම හරි ගහල පැහැරගන්න ඕනෑ."

කණ්ණාඩියක් බව නොදත් මේ "නැති දෙය" ඇතුළේ හොරු, මංකොල්ලකාරයින්, ස්ත්‍රී දූෂකයින් (ස්ත්‍රී කිවුවේ ගැහැණු සත්තුන්ට), මිනීමරුවන්, වනචාරීන්, ම්ලේච්ඡ මාංශ භක්ෂකයින් ආදී මෙකී නොකී එපාම එපා කරපු සත්තු ගොඩක් සිටින බව ටික දවසක් යද්දී කැලේ සත්තු කවුරුත් මතයක් ලෙස පිළිගත්හ. එයට විසඳුම මේ "නැති දෙය" විනාශ කර දැමීම බව අවසානයේදී කැලේ සත්තුන්ගේ වැඩි කැමැත්තෙන් තීරණය කෙරිණි. ඉන්පසු, මේ නැති දෙය ඇතුළේ තිබුණු කෑමබීම බෙදාගෙන වඩා හොඳ ජීවිතයක් ගෙවන්නටද ඇතැම් සත්තු බලාපොරොත්තු වූහ.

එක් දුරුතු මාසයක දිනෙක, කැලේ සත්තු සියල්ලෝම මැනවින් සංවිධානය වී එකා පසු පස එකා වැටී පෝලිමේ ගොස් නැති දෙයට පහර එල්ල කරන්නට පටන් ගත්තේය. ගහන හැම පාරකටම ක්ෂණිකව ප්‍රති ප්‍රහාරයක්ද එල්ල වුනු බැවින් මෙය පහසු වැඩක් නොවීය. 



අන්තිමේදී නැති දෙය කුඩුපට්ටම් විය. එහෙත්, නැති දෙය ඇතුළේ කලින් පෙනෙන්නට තිබුණු කැලේ සත්තුන්ගෙන් හොරාගත් කෑමබීමනම් කිසිවක් හොයාගන්නට බැරිවිය.

කණ්ණාඩිය කුඩුපට්ටම් කරනු ලැබීමෙන් පසු දසත විසිරුණු එහි කෑලි සිය ගණනක් දැන් පෙනෙන්නට තිබේ. ඒ සමඟම කැලේ සත්තු දැන් කලින් නොතිබූ අළුත් ප්‍රශ්නයකටත් මුහුණ දී සිටිති. තැන තැන විසිරී ඇති කණ්ණාඩි කෑලි හැම එකකම දැන් කලින් සිටියාටත් වඩා පොඩි පොඩි හොරු, මංකොල්ලකාරයෝ, මිනීමරුවෝ, ස්ත්‍රී දූෂකයෝ, ම්ලේච්ඡයෝ, වනචාරීන් ආදීහු පෙනෙන්නට සිටිති.


ප.ලි. සමහර සත්තුනම් තවමත් නැති රටේ නැති කණ්ණාඩියටත් බයය.

ප.ප.ලි. කරුණාකර නැති රටේ කතා වෙනත් රටවලට ආදේශ කරගන්න එපා!

(Image: katespencer17.com)

15 comments:

  1. කණ්නාඩිය බින්දේ දුරුතු මාසෙකද ? කොච්චර එපා කිව්වත් ඒක ඇහුවට පස්සේ ඔය වගේ සිද්ධියක් වෙන කොහේදෝත් වුනා වගේ මතකයට එනවා ඒත් හරියටම නිච්චි නෑ.....

    ReplyDelete
    Replies
    1. එක වගේ දේවල් වෙනස් තැන් වල වෙනවා. සමහර වෙලාවට එකම තැන කාලයෙන් කාලයට නැවත වෙනවා.

      Delete
  2. // "ගෝත්‍රිකයෝ ගොඩක්! මුං කවද හැදෙයිද මන්දා..."//

    බෝල ටෝක් දාලා වටෙන් ඇවිත් මාතලන් තුමා ට ටොක්කක් ඇනීම සාදරයෙන් විරෝදය පල කරමි!

    මීට ,

    අවන්ක,

    ස ර ස තුමා

    ReplyDelete
    Replies
    1. නැති කන්නාඩියෙන් සා රසට එසේ පෙනේනම් මට කරන්නට දෙයක් නැත.

      Delete
    2. ඔය සාරසයා කවදාවත් මොලේ ඇති කතාවක් කියන එකෙක් නෙවෙයි. මූතමයි අර රටයන්න ගිය ලොක්කගේ බෝල් ගාඩ් එක ලෙස ක්‍රියාකරන්නේ.

      Delete
    3. //ඔය සාරසයා කවදාවත් මොලේ ඇති කතාවක් කියන එකෙක් නෙවෙයි. මූතමයි අර රටයන්න ගිය ලොක්කගේ බෝල් ගාඩ් එක ලෙස ක්‍රියාකරන්නේ.//

      ඒ කතාව ඇත්ත තමා...

      Delete
  3. දෙවෙනි කතාව වැඩියෙන් හිත්ගත්තා...

    "ඉකේයියා...මගේ අතින් අල්ලන්ටත් හැදුවා" ගෑනු සතෙක් වෙන්ට ඇතිනේ?:P

    ReplyDelete
    Replies
    1. නුවර පැත්තේ ගෑනු සතෙක් නෙමෙයි. ඒ නිසා "ට" දැම්මේ නෑ. :)

      Delete
  4. වෙන රටක කතා නිසා අවුලක් නෑ.... නැත්නම් අපහාස නීතිය යටතේ නඩු බලවන්න ඉඩ තියෙනවා...

    ReplyDelete
    Replies
    1. නැති රටේ නැති නීතියට අනුව වැරදි තිබුණට වැරදිකාරයො නෑලු!

      Delete
  5. අර කන්නාඩිය තිබ්බ එවුන් හොයලා මඩු වලිගෙන් ගහන්න කෙනෙක් හිටියේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. මඩු අයිතිවාසිකම් වලට වලිගය නොතබනු!

      Delete
  6. මට මතකත් නෑ.. මම දන්නෙත් නෑ..
    ජයවේවා..!!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget