Thursday, July 16, 2015

ජයග්‍රාහකයෙකු තෝරා නැති රුපියල් කෝටි හත් ලක්ෂ තිස් නමදාහේ මහා ණයමල්ල


ඊයේ නැවැත්වූ හෝටල් ප්‍රශ්නය පටන් ගන්නේ මේ විදිහටය.

"ඔබ දන්නවා ලංකාවේ හැම කෙනෙක්ම රුපියල් ලක්ෂ 4 ක් පමණ ලෝක බැංකුවට සහ චීනෙට ණය බව."

ඔය කිවුවාට අපි හැමෝම ඕක හරියටම දන්නේ නැත. හරියටම දැන ගැනීමටනම් පළමුව මහ බැංකුවට යා යුතුය. මහ බැංකු වාර්තාවේ හැටියට පහුගිය 2014 අවසන් වන විට අප විසින් පහුගිය කාලයේ තෝරාගත් පාලකයින් විසින් පක්ෂ භේදයකින් තොරව අපි වෙනුවෙන් ණය වී ඇති මුදල රුපියල් කෝටි වලින් හත් ලක්ෂ තිස් නමදාහකි. කෝටි දෙකකට ටිකක් වැඩි අපේ රටේ ජනගහනයෙන් මේ මුදල බෙදූ විට එක් අයෙකුගේ පංගුව රුපියල් 358,103කි.

ලෝක බැංකුවේ සහ මහ බැංකුවේ වෙබ් අඩවි වල ඇති දත්ත අනුව 1990 සිට පසුගිය වසර විසිහතර තුළ අපේ ඒක පුද්ගල ණය ප්‍රමාණය වැඩි වී ඇත්තේ පහත වගුවේ ආකාරයටය.

1990දී රුපියල් 18,265ක් වූ ඒක පුද්ගල ණය සෑම වසර පහකටම පසු දෙගුණයක් පමණ දක්වා වැඩි වී 2014 වසර අවසන් වන විට රුපියල් 358,103ක් දක්වා විසිගුණයකින් පමණ වැඩි වී තිබේ.  රුපියල අවප්‍රමාණය වීම නිසා සිදු වන වෙනස ඉවත් කළත් ණය ප්‍රමාණය හයගුණයකින් වැඩිවී ඇත. මේ වසරේ පසුගිය මාස හය තුලදී තොග ගාණට විකිණූ බැඳුම්කර ඇතුළු අළුත් ණය එකතු කළ විට මේ ගණන දැන් රුපියල් ලක්ෂ 4 ඉක්මවා හෝ ඊට ආසන්නව තිබීමට ඉඩ තිබේ.

මේ වසර විසිහතර තුළ ලංකාවේ ජනගහණයද 21% කින් වැඩි වූ බවත් මෙහිදී අමතක නොකළ යුතුය. ඒ අනුව මුළු ණය ප්‍රමාණයේ වැඩි වීම ඒක පුද්ගල ණය වැඩිවීමටත් වඩා 21% කින් වැඩිය.

ඔය කාලයේ අපේ ආදායමත් ඔය ආකාරයටම වැඩිවී තිබෙන නිසා ණය වැඩිවීම ප්‍රශ්නයක් නොවේයැයි කෙනෙකුට තර්ක කළ හැකිය. කතාව ඇත්තය. ආදායම වැඩිවෙලාය. හැබැයි වියදමත්, සමහර විට ඊටත් වඩා, වැඩි වෙලාය. එහෙම නැත්නම් අපේ බැංකු ගිණුම් වල ඔය ලක්ෂ හතර රෙඩිමේඩ් තිබිය යුතුය. පවුලේ ගණන හතරක්නම් ලක්ෂ 16කි.

හතර දෙනෙක් සිටින පවුලක් සතුව ලක්ෂ 16ක ඉතිරි කිරීම් නැත්නම් ඒ පවුලේ ඉන්නේ ණයකාරයෝය. ණය ගෙවා අවසන් කිරීමටනම් ඉදිරියේදී ලැබෙන ආදායමින් වියදම් කපා ඉතිරි කළ යුතුය. ඔය අතරේ පවුලට අළුතින් සාමාජිකයෙකු ඉපදීමට සිටිනවානම් තවත් ලක්ෂ 4ක් වෙන් කර තැබිය යුතුය. නැත්නම් ඉපදෙන්නේම ණයකරයෙකි.

මෙතන ඇත්තේ අප වෙනුවෙන් අපේ ආණ්ඩු ලබා ගත් ණය පමණි. ඔය ණයට අමතරව බොහෝ දෙනෙකුට නිවාස ණය, වාහන ණය, ක්‍රෙඩිට් කාඩ් ණය, ආපදා ණය ආදී මෙකී නොකී පුද්ගලික ණයත් තිබේ. ඒවා ගෙවිය යුත්තේත් අපිමය. ආණ්ඩුවෙන් ගෙවන්නේ නැත. ඒ අතර ආණ්ඩු කරවන ඇත්තෝ ඉදිරියේදී අපි වෙනුවෙන් තවත් ණය වනු ඇත.

කෙසේ වුවද, උඩින් සඳහන් කළ රුපියල් 358,103ක මුදල අපි ණය වී ඇත්තේ ලෝක බැංකුවට සහ චීනයට පමණක් නොවේ. අපේ ණයකාරයින්ගේ ලැයිස්තුව ඊට වඩා ගොඩක් දිගය. එයින් වැඩි ප්‍රමාණයක් එනම් රුපියල්  207,267ක් දේශීය ණයයි. ඉතිරි රුපියල් 150,836 විදේශීය ණයයි.

විදේශීය ණය වලින් රුපියල් 43,023ක් අපි ලබාගෙන ඇත්තේ ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව වැනි බහුපාර්ශ්වීය ගිවිසුම් යටතේ ණය දෙන ආයතන වලිනි. මේ ණය සාමාන්‍යයෙන් පොලී රහිතවම හෝ සහන පොලියක් යටතේ දිගු කාලයකින් ආපසු ගෙවීමට ලබා දෙන සංවර්ධන ආධාරයි. අපේ ආදායම් තත්ත්වය අනුව දැන් අපිට මෙවැනි 'අනුකම්පාවට ලැබෙන' ණය ලබා ගැනීම පහසු නැත. ඒ ණය වැඩි වශයෙන් ලැබෙන්නේ ආදායම් තත්ත්වය අපටත් වඩා ඉතා අඩු අප්‍රිකානු රටවලටය.

තවත් රුපියල් 38,432ක් වෙනත් රටවලින් කෙලින්ම ලබා ගත් ද්විපාර්ශ්වික ණයයි. චීන ණය ඇත්තේද මේ ගොඩේය. මෙවැනි ණය බොහෝ විට ලැබෙන්නේ නිශ්චිත ව්‍යාපෘති සඳහාය. ඇතැම් විට කෙලින්ම මුදල් වෙනුවට අදාල රටේ නිෂ්පාදනය කරන භාණ්ඩ, ශ්‍රමය හෝ උපදේශනය ලැබීමට ඉඩ තිබේ. උදාහරණයක් ලෙස යම් ප්‍රාග්ධන ව්‍යාපෘතියක් සඳහා ණය ලබා දීමේදී එහි ඉදිකිරීම් කටයුතු අදාල රටේ සමාගමකට ලබා දීම කොන්දේසියක් විය හැකිය. මේ ණය ලබාදෙන්නේ අනුකම්පාවටම නොවේ. කිසියම් වාසියක් අපේක්ෂාවෙනි. එහෙත් මේ අපේක්ෂිත වාසිය බොහෝ විට දිගුකාලීන වාසියක් වන අතර ඇතැම් විට ආර්ථික නොවන දේශපාලනික වාසියක්ද විය හැකිය.

පසුගිය වසර අවසානයේදී අප විසින් ලබාගෙන තිබුණු එක් අයෙකුට රුපියල් 38,432ක් බැගින් වැටෙන ද්විපාර්ශ්වික ණය මල්ලේ ලොකුම ණයකරු වූයේ චීනය නොවේ. ජපානය හා ඉන්දියාව සිටියේ චීනයට උඩිනි. එක් පුද්ගලයෙකු ජපානයට රුපියල් 20,176ක්ද, ඉන්දියාවට රුපියල් 5,813ක්ද, චීනයට රුපියල් 4,251ක්ද, ජර්මනියට රුපියල් 2,100ක්ද, ඇමරිකාවට රුපියල් 1,708ක්ද ආදී වශයෙන් ණය වී තිබුණේය. කෙසේ වුවද, අළුතෙන්ම ගත් ණය සැලකිය යුතු ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ චීනයෙනි.

විදේශීය ණය වලින් ඉතිරි රුපියල් 69,381 අපි ලබාගෙන ඇත්තේ වාණිජ ණය වශයෙනි. මේ ණය සාමාන්‍යයෙන් 'ගිණි පොලියට' ලබා ගත යුතු ණයයි. වසර නවයකට පෙර, එනම් 2005දී, වාණිජ ණය අපේ මුළු විදේශ ණය වලින් 6.6%ක් පමණක් වූ අතර දැන් මේ ප්‍රමාණය 46% ඉක්මවා තිබේ. මේ ණය විදේශීය ආයෝජකයින්ගෙන් හා අරමුදල් වලින් ලබා ගෙන ඇති කෙටිකාලීන ණයයි.

අනෙක් අතට එක් අයෙකුට රුපියල් 207,267 බැගින් වැටෙන දේශීය ණය වල සංයුතිය විමසූ විට එම ප්‍රමාණයෙන් රුපියල් 12,969ක් මහ බැංකුවෙන්ද, රුපියල් 67,940ක් අනෙකුත් වාණිජ බැංකු වලින්ද රුපියල් 126,358ක් වන ඉතිරි ප්‍රමාණය සේවක අර්ථසාධක අරමුදල, රක්ෂණ සමාගම් වැනි බැංකු නොවන වෙනත් ආයතන වලින් හා දේශීය ආයෝජකයින්ගෙන් ලබාගෙන තිබේ.

මහ බැංකුවෙන් ලබා ගත් ණය හැරුණු විට ඉතිරි දේශීය ණය අප විසින් උපයා ඇති මුදල්ය. බැංකු සහ වෙනත් ආයතන මේ මුදල් අපෙන් එකතු කරගෙන රජයට ලබාදෙයි. ඒ නිසා මේ ණය වලින් ආර්ථිකයට ඇති අවදානම සාපේක්ෂව අඩුය. මහ බැංකුව රජයට ණය ලබාදෙන්නේ මෙසේ අපෙන් කලින් එකතු කර නොවේ. මුදල් මුද්‍රණය කිරීමෙනි. මුදල් මුද්‍රණය කර රජයට ණය දීමේ අවසන් ප්‍රතිඵලය මිල මට්ටම (උද්ධමනය) වැඩි වීමයි. මෙහිදී සිදුවන්නේ අපේ අතේ ඇති අප විසින් උපයාගත් මුදල් අපට නොදැනීම 'පික් පොකට්' ගැසීමකි. රජයට ණය ගැනීමට ඇති පහසුම ක්‍රමය මෙයයි.

හෙට අනිද්දා ගෙල සිරවීමේ අවදානමක් නැතත් අපි වසර ගණනාවක සිටම සිටින්නේ ණය උගුලක සිරවීය. ලබාගත් ණය වලට දිනපතාම පොලිය එකතු වන අතර අපේ ආදායම ඉහළ යන නමුත් මේ ණය සහ පොළිය ගෙවීමට ඒ ආදායම ප්‍රමාණවත් නැත. ඒ නිසා අපට හැමදාමත් වැඩි වැඩියෙන් ණය ගැනීමට සිදුවේ.

ණය ප්‍රමාණය වැඩි වන විට ණය ගෙවීමට නොහැකි වීමේ අවදානම ඉහළ යන බව ආයෝජකයෝ දනිති. මේ ඉහළ අවදානම වෙනුවෙන් ඔවුහු වැඩි වැඩියෙන් පොලී මුදල් බලාපොරොත්තු වෙති. එවිට අපේ ණය බර තවත් ඉහළ යයි.

ණය ආපසු ලැබීමේ අවදානම ඉතා විශාලනම් පොලී අනුපාතික කොතරම් ඉහළ වුවද ආයෝජකයින් ණය ලබා දෙන්නේ නැත. රටවල් බංකොලොත් වන්නේ එසේ වූ විටය. මෑතකාලීන නිදර්ශනය ග්‍රීසියයි.

අවාසනාවකට මෙන් මේ අගෝස්තු මැතිවරණයේදී බලය ලබාගැනීමට ඉඩ ඇති ප්‍රධාන කණ්ඩායම් දෙකම පෙනී සිටින්නේ ණය බර තවත් වැඩි කරන සුභසාධන ආර්ථිකයන් වෙනුවෙනි. ඡන්ද ලැබෙන්නේ තාවකාලික සහන වලට මිස රටේ දිගුකාලීන සුබ සිද්ධිය සඳහා ගන්නා ක්‍රියාමාර්ග වලට නොවන නිසා ඔවුන්ට එසේ කිරීමට සිදුවී තිබේ.

මේ නිසා අනාගතයේ ඉපදෙනු ඇත්තේ තවදුරටත් ණය බරින් මිරිකුණු පරම්පරාවකි.

2 comments:

  1. මේකට එක හේතුවක් තමයි ණ යන්නෙන් පටන් ගන්න වෙන සිංහල වචන නැතිවීම නිසා අපේ රටේ ළමයින්ට මොන්ටිසෝරියේ ඉඳලාම ණය ගැන උගැන්වීම.

    ReplyDelete
    Replies
    1. වචනයක් අළුතින් හදන එකද ණයන්න හෝඩියෙන් අයින් කරන එකද වැඩියෙන් ලේසි?

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.