Friday, November 4, 2016

ඉදිරි සතියේ ඇමරිකාවේ පෙරළි රැසක්!

පසුගිය ඔක්තෝබර් මස 16 වන දින සිකුරුට අයිති තුලා රාශියට පැමිණි රවි නීච විය. මෙසේ තුලා රාශියේ රවි නීච වීමෙන් පසු එළඹෙන තෙවන හෝ සිවුවන කුජවාරය සාමාන්‍යයෙන් ඇමරිකාවේ ලොකු පෙරළි සිදුවන දවසකි. යුද්ධයට අධිපති කුජ කොහොමටත් පෙරළිකාරයෙකි. විශේෂයෙන්ම මේ වසර වැනි අධික අවුරුදු වල මේ බලපෑම ඉතාම වැඩිය. මේ අනුව, ලබන සතියේ ඇමරිකාවේ රාජ්‍ය නායකයන් ඇතුළු විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ ක්ෂේත්‍ර වල ඉහළ තනතුරු රැසක් මෙන්ම තවත් සිවිල් තනතුරු ගණනාවක්ම වෙනස් වීමට නියමිත බව ස්ථිරවම පැවසිය හැකිය.

නොවැම්බර් 8 මේ වසරේ ඇමරිකාවේ මැතිවරණ දිනයයි. ඇමරිකාවේ ප්‍රධාන මැතිවරණ ගණනාවක් එකවර පැවැත්වෙන එම දිනය ඇමරිකාවේ නීතියෙන්ම තීරණය වී ඇති දිනයකි. ඒ නිසා, රටේ දැනට සිටින පාලකයින්ගේ අභිමතය පරිදි, ඔවුන්ට දේශපාලන වාසි ලැබෙන පරිදි හෝ ඔවුන්ගේ කේන්ද්‍ර වලට ගැලපෙන පරිදි ඇමරිකාවේ මැතිවරණ පවත්වන දින වෙනස් කළ නොහැකිය. මේ ප්‍රධාන මැතිවරණ සියල්ල පැවැත්විය යුත්තේ නොවැම්බර් මස පළමු සඳුදායින් අනතුරුව එළඹෙන අඟහරුවාදා දිනයි. එනම් නොවැම්බර් මස 2-8 අතර එළැඹෙන අඟහරුවාදා දිනයි. මේ වසරේ එම දිනය වන්නේ නොවැම්බර් 8 වෙනිදාය.

ලබන නොවැම්බර් 8 දින ඇමරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන බව බොහෝ දෙනා දන්නා කරුණකි. ඇමරිකාවේ ජනාධිපතිවරණය සෑම වසර 4 කටම වරක් එළැඹෙන මැතිවරණ දිනයේදී පැවැත්වේ. එහෙත්, ඇමරිකාවේ ජනාධිපතිවරණය මෙදින පැවැත්වෙන එකම මැතිවරණය නොවේ.

ඇමරිකාවේ ව්‍යවස්ථාදායකය වන කොන්ග්‍රසයේ ප්‍රධාන කොටස් දෙකකි. ඒ සෙනෙට් සභාව හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයයි. සෙනෙට් සභාවේ සාමාජිකයින් 100කි. ඒ, එක් ප්‍රාන්තයක් නියෝජනය කිරීම සඳහා නියෝජිතයින් දෙදෙනෙකු බැගිනි. මේ නියෝජිතයින්ගේ ධුර කාලය වසර 6කි. ඔවුන්ගේ ධුර කාලය එවැනි දීර්ඝ කාලයක් වන්නේ නිතර වෙනස්වන මහජන කැමැත්තට ඕනෑවට වඩා යට නොවී රටට දිගුකාලීනව හොඳ තීරණ ගැනීමට ඉඩහැරීම සඳහාය. කෙසේ වුවද, සෙනෙට් සභිකයන් සියළු දෙනාම එක් වර තෝරා ගැනෙන්නේ නැත. ඒ වෙනුවට සිදුවන්නේ, සෙනෙට් සභිකයින් මුළු ගණනින් තුනෙන් එකක් දෙවසරකට සැරයක් අළුතින් තෝරා පත්කර ගැනීමයි. ඒ අනුව, ලබන සතියේ සෙනෙට් සභිකයෝ 34 දෙනෙකු අළුතින් තෝරා පත් කර ගැනෙනු ලැබෙති. මේ අතරට මා සිටින ප්‍රාන්තයේ එක් සභික ධුරයක්ද ඇතුළත්ය.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයින් 435කි. මේ ගණන ජනගහනයට සමානුපාතිකව ප්‍රාන්ත අතර බෙදීයයි. මෙහි නියෝජිතයෙකුගේ ධුර කාලය වසර 2ක් පමණි. මේ කෙටි ධුර කාලයේ අරමුණ රටේ මහජනතාවගේ අදහස් වෙනස් වන විට එම අදහස් ව්‍යවස්ථාදායකය තුළ නිවැරදිව නියෝජනය වන බව තහවුරු කිරීමයි. සෑම ඉරට්ටේ වසරකම යෙදෙන මැතිවරණ දිනයේ මුළු ඇමරිකාව පුරාම මේ නියෝජිතයින් අළුතින් තෝරා ගැනේ.

ජනාධිපති හා උප
ජනාධිපති ධුර වැනි විධායකයේම කොටසක් ලෙස සැලකෙන ප්‍රාන්ත මහ ඇමති වරුන් ඇතුළු නියෝජිතයින්ගේ ධුර කාලයද (ප්‍රාන්ත දෙකක හැර) වසර හතරකි. මෙවර මැතිවරණ දින ප්‍රාන්ත මහ ඇමතිවරුන්ද ගණනාවක් අලුතෙන් තෝරා පත්කර ගැනෙති. මේ අතරට මා වාසය කරන ප්‍රාන්තයද ඇතුළත්ය. එමෙන්ම, ප්‍රාන්තයේ ප්‍රධාන තනතුරු වන නීතිපති, විගණකාධිපති වැනි තනතුරු සඳහාද, වඩාත් ප්‍රාදේශීය තනතුරු වන පාසැල් පාලක මණ්ඩල සඳහා නියෝජිතයින් පත් කර ගැනීම සඳහාද ඡන්ද විමසීම් මෙදිනම පැවැත්වේ. ඇමරිකාවේ විධායක හා ව්‍යවස්ථාදායක ශාඛා වල ප්‍රධාන තනතුරු මෙන් අධිකරණ ශාඛාවේ තනතුරු මහජන ඡන්දයෙන් නොපිරවුණත්, දැනට ධුරය දරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා එම ධුරයේ දිගටම සිටිය යුතුද නැත්නම් වෙනත් අයෙකු පත් කළ යුතුද යන්න තීරණය කිරීමේ අවස්ථාවද මා වසන ප්‍රාන්තය ඇතුළු ප්‍රාන්ත රැසක ඡන්දදායකයින් සතු අයිතියකි.

මෙයට අමතරව, මා පෙර ලිපියක විස්තර කළ පරිදි, සෘජු ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම අනුව මහජන තීන්දුවට යටත් කෙරෙන නීති කෙටුම්පත් හා යෝජනා ජනමතවිචාරණයන්ට ලක්වීමද මෙදිනම සිදුවේ. මේ සියල්ල එක්ව ගත් කළ මගේ ඡන්ද පත්‍රිකාව පිටු හයකි.

මැතිවරණ දිනය තවමත් එළැඹුණේ නැතත් මානම් දැනටත් මගේ ඡන්ද භාවිතා කර අවසන්ය. ඒ ගැන පසුව ලියමි.


(Image: Dhevee.org)

9 comments:

  1. ඉකොනෝ අය්ය, ඔබ සිතන ආකාරයට විවාහ රෙජිස්ටාර් ආදී අවශේෂ තනතුරු සදහා චන්ද පැවැත්වීම කොතරම් යෝග්‍යද? කලකට පෙර විවාහ රෙගිස්ටාර්වරියක් තම අභිමතය පරිදි සමරිසි විවාහයන් ලියාපදිංචි නොකිරීමෙන් අර්බුදයක් ඇතිවූ බව ඔබට මතක ඇති.

    ReplyDelete
    Replies
    1. ඔබ මතු කරන කරුණ පැහැදිලියි. ප්‍රජාතන්ත්‍රවාදයේදී වෙන්නේ බහුතරයේ අදහසට සුළුතරය යටවීමක් තමයි. බහුතරය කිසියම් සුළුතරයක් ගැන නොසලකා තීන්දු ගන්නා විට එවැනි සුළුතරයක් අසරණ විය හැකියි. කොහොම වුනත් මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රශ්නයක් වෙන්න කලින් මානව චර්යාව පිළිබඳ ප්‍රශ්නයක්. සුළුතරයක් විසින් බහුතරය වෙනුවෙන් තීන්දු ගන්නවාට වඩා එය ඉදිරිගාමීයි (කාර්යක්ෂමයි).

      Delete
  2. ඇයි කෙලින්ම දිනයක් නම් නොකර, එහෙම නැත්නම් පළවෙනි අඟහරුවාදා නොකියා, පළවෙනි සඳුදාට පසු එළබෙන අඟහරුවාදා කියන්නේ....

    මෙහෙත් එහෙම ක්‍රමයක් තිබුනනම් හොඳයි කියලා හිතෙනවා...

    මෙහෙම මැතිවරණ එකට තැබීමෙන් කොතරම් මුදල් ඉතිරියක් වෙනවද ! ඔවුන් කොච්චර දූරදර්ශිද !

    ReplyDelete
    Replies
    1. අපි හුරු වී තියෙන්නේ සතියක වැඩ චක්‍රයකට නිසා ඒ ක්‍රමයේ අවුල් අඩුයි. ඇමරිකාවේ නිවාඩු දවස් ගොඩක් යෙදෙන්නෙත් ඒ විදිහටයි. උදාහරණයක් ලෙස ෆෙඩරල් නිවාඩු දිනයක් වන ජෝජ් වොෂින්ටන්ගේ උපන් දින නිවාඩුව යෙදෙන්නේ වත්මන් ග්‍රෙගෝරියන් කැලැන්ඩරය අනුව ඔහු උපන් පෙබරවාරි 22 (ජුලියන් කැලැන්ඩරය අනුව ඔහු ඉපදුණේ පෙබරවාරි 11) දිනම නෙමෙයි. පෙබරවාරි මස තෙවන සඳුදාටයි. මේ නිසා ලංකාවේ වගේ සතියේ අහඹු දිනක නිවාඩු වැටෙන්නේ අඩුවෙන්. ඒ වගේම නිවාඩුව සති අන්තයට වැටී නැති වී යන්නෙත් නැහැ. මැතිවරණය සඳහා මේ සතියම තෝරා ගැනීමට හේතුව කෘෂි කර්මය හා කාලගුණය මත පදනම් වූ තීරණයක්. ඒ ගැන පසුව ලියන්නම්.

      Delete
  3. ඉකොනො අජිත්ගේ මේ ලිපියේ තියෙන අදහස් ගැන මොකද හිතන්නේ?
    http://www.w3lanka.com/2016/11/blog-post_49.html

    ReplyDelete
    Replies
    1. මෙහි අජිත් පැරකුම් විසින් නැවත පළ කර තියෙන්නේ ඔහුගේ පාඨකයින් විසින් පෙර පළ කළ අදහස්. පළමු පාඨකයා කියන කරුණ සම්පූර්ණයෙන්ම නිවැරදියි. විගණකාධිපති විසින් සිදුකළ හා පසුව කෝප් වාර්තාවේ පලවී ඇති රජයට සිදුවූ පාඩුව ගණන් බලා ඇති ආකාරය ඉතාම සරල හා වැරදි එකක්. එහෙත් එයින් අදහස් වන්නේ දෙවන පාඨකයා වැරදි බව හෝ රජයට පාඩුවක් නොවූ බව නොවෙයි. ගොඩක් අය අතගාන්නේ ලොකු අලියෙක්ගේ එක එක කොටස්. මෙය සරලව පැහැදිලි කිරීමට වචන ගොඩක් මිඩංගු කළ යුතු සංකීර්ණ තාක්ෂණික කරුණක්. දැනට මෙය කියවන්න. මෙහි තවම ලියා ඇත්තේත් කතාවේ පොඩි කොටසක් පමණයි.

      http://emgesathapaha.blogspot.com/2016/11/blog-post_4.html

      Delete
    2. ඉකොනොගේ ඉතිරි විග්‍රහයත් ඉක්මනින් ලියාවි කියල බලාපොරොත්තු වෙනවා.

      Delete
  4. ජුලියන් අසාන්ජ්, ඊයේ, රූපවාහිනී සම්මුඛ සාකඡාවකදී පලකල අදහස්, හිතාමතාම හිලරි ක්ලින්ටන්ට කල පහරගැසීමක් නොවෙයි කියා, ඔබ සිතනවද?

    ReplyDelete
    Replies
    1. මේ වෙලාවෙම මෙය කළේ එවැනි අදහසකින් වෙන්න ඇති.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.