වෙබ් ලිපිනය:

Wednesday, February 15, 2017

චමින්ද පුස්වෙඩිල්ලගේ සිට සල් සපුනා සුරේන් ඇමති දක්වා...

අපේ රුචිකත්වයන් හා එම රුචිකත්වයන් මත පදනම් වූ තේරීම් වලට අප ජීවත්වන මෙන්ම හැදුනු වැඩුණු හා පෙර ජීවත්වුණු සංස්කෘතික වටපිටාවන්ගේ බලපෑම ඉමහත්ය. මම නම් වන ප්‍රපංචය ගොඩ නැඟෙන්නේ අපට දෙමවුපියන්ගෙන් උරුම වන පරම්පරා ගණනාවක ආදිතමයින්ගේ ජාන වලින් මෙන්ම, අප විසින් අපේ ජීවිත කාලය තුළ අත් දකින වසර දහස් ගණනක් තිස්සේ මිනිසුන් මෙන්ම මිනිසුන්ගේ පූර්වජයින් විසින් ඔවුන්ගේ රුචිකත්වයන් අනුව සිදුකළ තේරීම් හා අන්තර් සබඳතාවන් අනුව ගොඩ නැඟී අපේ වත්මන් ජීවිතය නියාමනය කරන සංස්කෘතික පරිණාමයකද ප්‍රතිඵලයක් ලෙසිනි. අපේ වත්මන් තේරීම් අපේ ස්වාධීන තේරීම් වුවත්, මේ "ස්වාධීන" තේරීම් අපට උපතින් උරුම වන ජාන වලින් මෙන්ම සංස්කෘතික වටපිටාවෙන්ද ස්වායත්ත නැත.

අප ලංකාවෙන් පිටවී මේ වන විට වසර ගණනාවක් වුවත් මගේ බිරිඳ තවමත් වැඩිපුර බලන්නේ ලංකාවේ ටෙලි නාට්‍යයි. මේ දවස් වල ඇය නරඹන එක් ටෙලිනාට්‍යයක් වන්නේ සිරස රූපවාහිනියේ විකාශනය වන සල් සපුනා ටෙලි නාට්‍යයයි. මා මෙය මුල සිට හෝ පිළිවෙලකට නරඹා නැතත්, අතරින් පතර කොටස් කිහිපයක් පසුගිය සති දෙක තුනේදී ඇය සමඟ නැරඹුවෙමි.

සිරස නාලිකාවේ බොහෝ විට විකාශනය වන අනෙක් ටෙලි නාට්‍ය මෙන්ම මෙයද මහා ලොකු ගැඹුරක් ගැඹුරක් ඇති ටෙලි නාට්‍යයක් නොවූවත් නරඹන්නට ලැබුණු කොටස් කිහිපය තුළ හමු වූ සුරේන් ඇමතිගේ චරිතය අවධානය ඇද ගන්නකි. මේ ඇමති චරිතය බොහෝ විට සිංහල ටෙලි නාට්‍ය වල හා චිත්‍රපට වල මෙන්ම කාටුන්, චිත්‍ර කතා ඇතුළු අනෙකුත් දෘශ්‍ය මාධ්‍ය වල  දකින්නට ලැබෙන ඇමති චරිතයට වඩා ආකෘතිමය ලෙස වෙනස් චරිතයකි.

එක විදිහක පරමාදර්ශී චරිතයක් වන සුරේන් ඇමතිට තඩි බඩක් නැත. මැදි විය නොඉක්මවූ තරුණයෙකු වන ඔහු දිනපතා ව්‍යායාම කරමින් ඇඟේ හැඩය පවත්වා ගනී. සුරේන් ඇමති හොරකම් නොකරයි. මිනී නොමරවයි. අනෙක් මිනිසුන්ගේ ප්‍රශ්න වලට සංවේදීය. සිය පවුලේ සමීපතම ඥාතීන් ගැනත් සොයා බලයි. ස්ත්‍රී ඇසුර වෙනුවට ප්‍රේමය සොයයි.

සොයා යන්නේදෝ ප්‍රේමයක්...

කැමිලස්ගේ මෙහෙව් රටේ මගෝඩිස් තුමාගේ සිට සුනිල් පෙරේරාගේ "පැරදුණු අපේ මැතිතුමා" හා ෆෙරෝස් කමාර්ඩීන්ගේ  චමින්ද පුස්වෙඩිල්ල දක්වා අපට දෘශ්‍ය මාධ්‍ය වල බොහෝ විට දකින්නට ලැබුණු ඇමති චරිතය සුරේන් ඇමතිගේ චරිතය වැනි එකක් නොවේ. ඒ චරිත උස ගොස් තිබුණේ සුරේන් ඇමති මෙන් දික් අතට නොව හරස් අතටය. එමෙන්ම, මේ සම්ප්‍රදායික ජනප්‍රිය ඇමති චරිතය කොමිස් ගැහීමට, බලය අයුතු ලෙස පාවිච්චි කිරීමට, ස්ත්‍රී ඇසුරට, මිනී මැරවීමට සැදී පැහැදී සිටි මැදි විය ඉක්මවූ චරිතයකි.

රටේ ඇත්තටම සිටි බොහෝ ඇමැතිලාගේ කල්ක්‍රියාවද මේ සම්ප්‍රදායික ඇමති චරිතයට කිට්ටුවෙන් ගියේය. ඒ නිසා, චමින්ද පුස්වෙඩිල්ල හෝ මගෝඩිස් තුමා වැනි චරිත ගැන ලොකු විවේචනයක් අදාළ පාඨකයින්ට හෝ ප්‍රේක්ෂකයින්ට තිබුණේද නැත. වසර කිහිපයකට පෙර 'දී ඉකොනොමිස්ට්'හි පළ වූ ලිපියකට අනුව, බොහෝ ශ්‍රී ලාංකිකයින් විසින් චමින්ද පුස්වෙඩිල්ල චරිතය සලකා තිබුණේ අතිශයෝක්තියෙන් යුතුව මහින්ද රාජපක්ෂ චරිතය අනුකරණය කිරීමක් (පැරඩියක්) වශයෙනි.

ඇමති වරයෙකුගේ හෝ වෙනත් දේශපාලනඥයෙකුගේ සැබෑ චරිතය චමින්ද පුස්වෙඩිල්ල චරිතය වන්නක් වීම ලංකාවේ බොහෝ දෙනෙකුට කාලයක් තිස්සේම ලොකු ප්‍රශ්නයක් වුනේද නැත. මෙය බොහෝ ලාංකිකයින් විසින් හඳුනාගෙන තිබුණු සැබෑ දේශපාලනඥයාය. ඒ නිසාම බොහෝ දේශපාලනඥයින්ට තමන්ගේ සැබෑ ස්වරූපය එවැන්නක් නොවන බව බොරුවට පෙන්වන්නට අවශ්‍යතාවයක්ද නොතිබුණේය. එසේ නොපෙන්වීම නිසා එවැනි දේශපාලනඥයින්ට බොහෝ විට අවාසියක්ද සිදු නොවුණේය. වඩා වැදගත් කාරණය වුණේ "අපේ නියෝජිතයා කරන්නේ මොනවාද?" යන්න නොව "අපේ නියෝජිතයා අපට කරන්නේ මොනවාද?" යන්නයි.

කෙසේ වුවද, දේශපාලනයේ චමින්ද පුස්වෙඩිල්ලලා බොහෝ දෙනෙක් සිටියත් දේශපාලනයේ සිටි සියල්ලෝම චමින්ද පුස්වෙඩිල්ලලා නොවූහ. සල් සපුනා සුරේන් ඇමති තරම් පරමාදර්ශී නොවූවත්, සම්ප්‍රදායික ඇමති චරිතයට නොගැලපෙන දේශපාලනඥයින්ද අතරින් පතර සිටියේය. සැබෑ ලෝකයේදී ඒකාකාරී පුස්වෙඩිල්ල චරිත එපා වීමත්, ඡන්දදායකයින් විසින් වෙනස් දේශපාලන චරිත සොයා ගවේශනයක යෙදෙමින් අළුත් පර්යේෂණ කරන්නට පටන් ගැනීමත් මෑතකාලීන ප්‍රවණතාවයකි. හරියටම මේ සන්දර්භයේම නොවූවත්, ඇමරිකානු දේශපාලනය තුල ඔබාමා මෙන්ම ට්‍රම්ප්ද ඉදිරියට පැමිණීම තුළ සිදුවූයේ ඇමරිකාවේ සම්ප්‍රදායික දේශපාලන චරිතය බහුතරය තුළ ප්‍රතික්ෂේප වීමකි. එහෙත්, ලංකාවේ සම්ප්‍රදායික දේශපාලන චරිතය ලාංකීය බහුතරය විසින් තවමත් ප්‍රතික්ෂේප කර නැත.

සිරස වැනි නාලිකාවක් ටෙලි නාට්‍යයක් ප්‍රචාරණය සඳහා තෝරා ගන්නේ එහි ජනප්‍රියත්වය ගැන සැලකිය යුතු විශ්වාසයක් ඇත්නම් පමණි. ටෙලි නාට්‍යයක ජනප්‍රියත්වයට එහි ප්‍රධාන චරිත ගොඩ නඟා ඇති ආකාරය විශාල ලෙස බලපායි. මේ අනුව පෙනෙන පරිදි, සම්ප්‍රදායෙන් වෙනස්ව ගොඩ නඟා ඇති සල් සපුනා සුරේන් ඇමතිගේ චරිතය එවැනි වර්ගයේ ටෙලි නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයින්ගේ පිළිගැනීමට ලක් වී ඇති, ප්‍රේක්ෂක ඉල්ලුමක් ඇති චරිතයකි.

මෙයින් අදහස් වන්නේ කුමක්ද?

14 comments:

  1. රටෙන් පිටවූ මුල් දිනවල නම් ටෙලි නාටක නැරඹුවා, කොටස් දහය බැගින් පටිගත කර තිබුණු කැසට් කුලියට ගෙන. ඒවා දිග්ගැස්සෙන කොට එපා වෙලා ගියා.

    දැන් ලංකාවේ ගියාම අම්මා බලන නාට්‍ය දැකලා හිනා යනවා. නමුත් ඇත්තටම ඒවා සංවේදී කතා, නමුත් මට හිනා!

    ReplyDelete
  2. මහින්ද රාජපක්‍ෂත් ටෙලියක ඇමතියෙකුට රඟ පෑවා, 1993 විතර (එතකොට පොර විපක්‍ෂයේ).ඒ ඇමතියා, තරුණ අයට ඉඩ දෙන්න කියා ඇමතිකමෙන් ඉල්ලා අස් වෙනවා!

    ඒ මහින්ද ම තමයි, නීතිය වෙනස් කර ගෙන තුන්වෙනිපාරට ජනාධිපතිකමට ඉල්ලලා ඇණ ගත්තේ!

    ReplyDelete
    Replies
    1. තරුණ අයට ඉඩදෙන්න කල් ගන්න වෙන්න ඇති එහෙම කරන්න ඇත්තේ.

      Delete
  3. චමින්ද පුස්වෙඩිල්ල මරු!

    කොච්චර හොඳඳ කියනවා නම් ඒ නළුවා ගේ ඇත්ත නම ද, චරිතයේ නම ද කියා දන්නේවත් නෑ.

    ඒ සමගම, ඒකේ ලේකම් චරිතයත් ක්ලැසික්. මා ගාව ඩීවීඩී එක තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඩොමිනික් කෙලර් නේද? මෙහි ගොඩක් අය සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වේදිකා නාට්‍ය වලට සම්බන්ධ අය.

      Delete
  4. සල් සපුනා මාත් කොටස් කීපයක් බලල තියේ.. සිරසට මාර්කට් එක ගැන හොද ඉවක් තියෙනවා උනත් ඉකෝට මතකද මන්දා අර නාලන් මෙන්ඩිස් කරපු ගෙදර කතා සැට් එකේ අලුත්ම දිගඇරුම මේ කතාව. ටිකක් විතර පජාතයි. ඕකේ මට අල්ලනම චරිතය තමා සුරේන් ගේ වයිෆ්..

    ReplyDelete
    Replies
    1. //සිරසට මාර්කට් එක ගැන හොද ඉවක් තියෙනවා//
      ටෙලි නාට්‍යයේනම් එහෙම ගන්න අමුතු දෙයක් නැහැ. සුරේන්ගේ බිරිඳගේ පියා වගේ සාම්ප්‍රදායික දේශපාලනඥයින් මැද්දෙන් ටිකක් වෙනස් දේශපාලනඥයෙක් මතු කරගන්නේ මේ මාර්කට් ඉව තුළින් කියලයි මම හිතන්නේ. හැබැයි සිරස බලන ප්‍රේක්ෂකයින් තවමත් සමස්තයක් ලෙස ලංකාවේ සාමාන්‍ය රූපවාහිනී ප්‍රේක්ෂකයා නියෝජනය කරන්නේ නැහැ කියලයි මම හිතන්නේ.

      Delete
  5. ටෙලි නාට්‍ය තියා ටී.වී වත් නොබලනව වුණාට සල් සපුනා මොකක්දැයි බලන්න හිතුණා. හැබැයි ඒකත් ජංජාලෙන්ම බලන එක හොඳයි. නැත්න වැඩියෙන් බලන්න වෙන්නෙ දැන්වීම්නෙ.

    ReplyDelete
    Replies
    1. වැඩිපුර වෙලාවක් යොදවන්න තරම් වටින දෙයක්නම් ටෙලියේ නැහැ. මගේ පොයින්ට් එක මේ වගේ චරිතයක් මතු කරන්න වෙළඳපොළ අවශ්‍යතාවයක් තිබීමයි.

      Delete
  6. මේ දූවිලි මල් නාට්‍යයේ හිටිය නළුවා නේද ? මම කැමතියි මොහු රඟපාන විධිහට..

    එහෙම ඇමති චරිතයක් ටෙලියක් මගින් හරි ප්‍රොමෝට් කරණ එක හොඳයි.. අඩුම ගානෙ එක මන්ත්‍රී කෙනෙකුට හරි හිතුනොත් මම මේ වගේ ඇමතියෙක් වෙනවා කියලා ඒකම ලොකු ජයග්‍රහණයක්..

    රන්ජන් ඇමතිතුමා ලෝකෙට පෙන්වන දේවල් වලට අනුවනම් ඔහු මීට ලඟින් යන චරිතයක් කියලා හිතන්ඩ පුළුවන්.. ඒත් ලංකාවේ ඇමතිලාගේ සැබෑ මූණ පෙන්වන එකම නෙමේ කියලා අපිට බොහොම අත්දැකීම තියනවානේ...

    සල්සපු නා කිව්වා මට මේක මතක් වුනේ.. ඔහු හඬ පෞර්ෂය අපූරුයි..

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ රන්ජන් සැබෑ ජීවිතයේදී උත්සාහ කරන්නේත් මිනිසුන්ගේ ඔලුවේ තියෙන සුරේන් ඇමති වගේ චරිතයක් රඟපාන්න කියලයි. තවත් අය උත්සාහ කළත් රන්ජන් ටිකක් වැඩියෙන් සාර්ථකයි. සමහර විට අවංකවම කරනවා වෙන්න ඇති. එහෙම නැත්නම් නළුවෙක් ලෙස තියෙන වැඩි පළපුරුද්ද නිසා වෙන්නත් පුළුවන්. මම පෞද්ගලිකව දන්නේ නැහැ. මම හිතන්නේ ටෙලි වල සුරේන් ඇමතිලා හැදෙන්නෙත් සැබෑ ජීවිතයේ රන්ජන්ලා වගේ අය එවැනි මනඃකල්පිත චරිතයකට කිට්ටුවෙන් යන්න හදන්නෙත් "වෙනස්" දේශපාලන චරිත වලට ලොකු වෙළදපොළ අවශ්‍යතාවයක් තියෙන නිසා බවයි. මෙතෙක් බොහෝ විට වුනේ "සිසිල ගලන මින්ට් සිදුර" වගේ වෙළඳ භාණ්ඩයේ තියෙන දුර්වලතාවයම වටිනා දෙයක් මෙන් මාකට් කිරීමයි.

      Delete
    2. නම ගන්න ඇත්තේ ඔය සින්දුවෙන් වෙන්න ඇති. සල් සපු නා මල් වැඩිපුර පිපුණොත් කිඩාරන් මල් වල ගඳ වහගන්න පුළුවන් වගේ අදහසක් මං හිතන්නේ. බහුතරය කිඩාරන් වූ විට සල් සපු නා මලක් ඉඳ හිට පිපුණත් එහි සුවඳ යටපත් වෙනවනේ.

      Delete
  7. සල් සපු නා බලන්නේ නැහැ. නමුත් මේ ශිල්පියාට රඟපාන්න නම් හැකියාවක් තියෙනවා. රනිල් කුලසිංහ කියන්නේ මහේන්ද්‍ර පෙරේරාගෙන් ඉගෙනගත් කෙනෙක්. මේ චරිතයට අවශ්‍ය හැඩ තල ගත්තේ තරුන මන්ත්‍රී කෙනෙක් ගෙන් බව කියා තිබුනා.

    ReplyDelete
    Replies
    1. ඉඳහිට උපන් හැකියා තියෙන අය හිටියත් බොහෝ විට රඟපෑම ඉගෙනගත් කෙනෙක්ගේ වෙනස පැහැදිලිව පේනවා.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: