Friday, March 24, 2017

අවුරුද්දේ ඇනෝමලිය

සියවස් කිහිපයකට පෙර ඉර, හඳ හා තාරකා වල චලනය විස්තර කළ පෘථිවි කේන්ද්‍රීය ආකෘතිය ප්‍රතිස්ථාපනය කරමින් සූර්ය කේන්ද්‍රීය ආකෘතියක් ජනප්‍රිය විය. මේ සූර්ය කේන්ද්‍රීය ආකෘතිය අනුව පොළොව සිය අක්ෂය වටා කැරකේ. එසේ කැරකෙන අතර ඉර වටාද කැරකේ. දවස හා වර්ෂය යන සංකල්ප සරල ලෙස පැහැදිලි කරන්නට මේ ආකෘතිය ප්‍රමාණවත්ය. පොළොවේ අක්ෂයේ අංශක 23.5ක ඇලය ඉහත මූලික ආකෘතියට එකතු කළ විට වසර තුළ පොළොවේ වෙනස් තැන්වල වෙනස් ලෙස සිදුවන සෘතු වෙනස්වීම්ද, දිවා රෑ කාලවල වෙනස්වීම්ද පැහැදිලි කළ හැකිය.

කෙසේවුවද, සූර්ය කේන්ද්‍රීයව විමසිය හැකි ඉර හා පොළොව අතර සාපේක්ෂ චලිතය වුවද මේ සරල ආකෘතියෙන් විස්තර කරනවාට වඩා බොහෝ සංකීර්ණය.
-පොළොව ඉර වටා ගමන් කරන්නේ වෘත්තාකාර පථයක නොව ඉලිප්සාකාර පථයකය.
-මේ ඉලිප්සාකාර පථයේ විවිධ කොටස් හරහා පොළොව ගමන් කරන්නේ එකම වේගයකින් නොවේ.
-ඉලිප්සාකාර පථයේ දිගු අක්ෂයේ දිශානතියද චක්‍රීය ලෙස වෙනස් වේ.
-ඉලිප්සාකාර පථයේ හැඩය කලින් කලට චක්‍රීය ලෙස වඩාත් ඉලිප්සාකාර හා අඩුවෙන් ඉලිප්සාකාර (ආසන්න ලෙස වෘත්තාකාර) වේ.
-පොළොවේ අක්ෂයේ ඇලයේ දිශානතියද චක්‍රීය ලෙස වෙනස් වේ.
-පොළොවේ අක්ෂයේ ඇලයද චක්‍රීය ලෙස වෙනස් වේ.

මේ බොහෝ වෙනස්කම් සිදුවන්නේ සෙමෙන් වුවත් නොසලකා හැරිය හැකි තරම් සෙමින් නොවේ. ඇතැම් සුළු වෙනස්වීමක් නිසා වුවත් පොළොවේ කාලගුණය මත සිදුවන බලපෑම ඉතා විශාලය.

ඇත්තටම කියනවානම් මේ චක්‍රීය වෙනස්වීම් සියල්ල අප හදාගත් කතන්දරයි. එසේ කීමෙන් මේ ප්‍රවාද වල වැදගත්කම අවතක්සේරු වන්නේ නැත. මේ කතන්දර කිසිදු පදනමක් නැති හිතින් මවාගත් කතන්දර නොවේ. නිරීක්ෂණය කළ හැකි සංසිද්ධි සමඟ ගැලපෙන කතන්දරයි. ඊට පෙර තිබුණු කතන්දර වලට වඩා හොඳ කතන්දරයි. වඩා හොඳ කතන්දරයක් හදාගන්නා තුරු අපට මේ කතන්දර වලින් ප්‍රයෝජන ගන්නට පුළුවන.

පොළොවත් ඉරත් අතර නිරීක්ෂණය කළ හැකි සාපේක්ෂ චලිතයක් තිබේ. සිය අක්ෂය වටා ආනතියක් සහිතව භ්‍රමණය වන අතර ඉර වටා යන පොළොවක් පිළිබඳ ආකෘතියකින් මේ සාපේක්ෂ චලිතය සෑහෙන දුරකට පැහැදිලි කළ හැකි වුවත් එසේ පැහැදිලි කළ නොහැකි කොටසක්ද තිබේ. ඉතිරි කොටස් එකතු කෙරෙන්නේ මෙසේ නිරීක්ෂණය කළ හැකි සාපේක්ෂ චලිතයත්, මුල් ප්‍රවාදයෙන් පුරෝකථනය කළ හැකි සාපේක්ෂ චලිතයත් අතර වෙනස පැහැදිලි කිරීමටය.

පොළොවට සිය අක්ෂය වටා රවුමක් කරකැවීමට ගතවන කාලය පැය 23 ක් මිනිත්තු 56 ක් හා තත්පර 4ක් පමණ වුවත් දවසක කාලය පැය 24කි. දවසක් කියන්නේ හරියටම පොළොවට සිය අක්ෂය වටා රවුමක් කරකැවීමට ගතවන කාලය නොවේ. පොළොවට ඉර හා නැවත සම්මුඛ වීමට ගතවන කාලයයි. පොළොව සිය අක්ෂය වටා කරකැවෙන අතරම ඉර වටාද ගමන් කරන බැවින් හරියටම රවුමක් කැරකී මුල් පිහිටුමට එන විට ඉර වටා යන පථයේද යම් දුරක් ඉදිරියට ගොස් සිටින නිසා ඉර සම්මුඛ නොවේ. ඒ සඳහා තවත් ටිකක් වැඩිපුර කැරකෙන්නට සිදුවේ. මේ වැඩිපුර ප්‍රමාණය කැරකීමට මිනිත්තු 3ක් හා තත්පර 56ක් ගත වේ. මේ ආකාරයෙන් දින 365ක් ගෙවෙන විට පොළොව සිය අක්ෂය වටා 366 වරක් කැරකී අවසන්ය.

මිනිසුන් විසින් දවසනම් වූ සංකල්පය හදාගන්නා කාලයේ පෙරදිග මෙන්ම අපරදිග රටවලද ජනප්‍රියව තිබුණේ පොළොව වටා ඉර ගමන් කරන්නේය යන ප්‍රවාදයයි. ඒ ප්‍රවාදයට අනුව දවස යනු ඉරට පොළොව වටා වටයක් ගමන් කර නැවත ක්ෂිතිජයෙන් මතු වීමට ගතවන කාලයයි. මේ සංකල්පය සරල වන අතරම නිවැරදි සංකල්පයකි. පොළොවට වටයක් කරකැවීමට පැය විසිහතරක් ගත නොවූවත් ඉරට පොළොව වටා වටයක් යාමට පැය විසිහතරක් ගත වේ.

පෙරදිග මෙන්ම අපරදිගද අවුරුද්ද නම් වූ සංකල්පය බිහිවුනේද පෘථිවි කේන්ද්‍රීය ආකෘතියක් ජනප්‍රියව පැවතෙද්දීය. මේ අනුව, අවුරුද්දක් යනු පොළොවේ සිටින නිරීක්ෂකයෙකුට සාපේක්ෂව ඉර ඈතින් පිහිටි කවර හෝ නක්ෂත්‍ර තාරකාවක් සමඟ දිශානුගතව සිටින අවස්ථා දෙකක් අතර ගතවන කාලයයි. මේ ආකාරයෙන් අර්ථදක්වන 'නක්ෂත්‍ර අවුරුද්දක' කාලය නොවෙනස්වන ලෙස සැලකිය හැකි නිශ්චිත කාලයකි. පොළොව සිය අක්ෂය වටා භ්‍රමණය වන වේගය අඩුවීම නිසා දවසේ කාලය දිගුවීම, පොළොව හා ඉර අතර දුර ක්‍රමයෙන් වැඩිවීම ආදී හේතූන් නිසා නක්ෂත්‍ර අවුරුද්දක කාලයද දිගුකාලීනව වෙනස් නොවන නමුත් ඒ වෙනස්වීම නොගිණිය හැකි තරම් සුළු වෙනසකි.

දවස යන සංකල්පය මෙන්ම අවුරුද්ද යන සංකල්පයද වඩා සංකීර්ණ සූර්ය කේන්ද්‍රීය ආකෘතියක් හා ගලපන විට අමතර ප්‍රශ්න මතුවේ. අවුරුද්දක් යනු සරලව පොළොවට ඉර වටා ගමන් කිරීමට ගතවන කාලය බව අපට කියන්නට පුළුවන. එහෙත්, මේ ප්‍රවාදය අංග සම්පූර්ණ නැත.


පොළොව ඉර වටා ගමන් කරන්නේ හරි රවුමක නොවේ. ඉලිප්සාකාර පථයකය. ඊට අමතරව ඉර පිහිටා ඇත්තේ මේ ඉලිප්සාකාර පථයේ මධ්‍යයේද නොවේ. බිත්තර බාගයක කහමදය මෙන් පැත්තකට වෙන්නටය. ඒ නිසා, මේ පථය දිගේ ඉර වට ගමන් ගන්නා පොළොව වරෙක ඉරට ලං වේ. වරෙක ඈත් වේ. මේ වසරේ ඉරත් පොළොවත් අතර දුර අඩුම ජනවාරි 4 දිනයි. දුර වැඩිම ජූලි 4 දිනයි. ජනවාරි මාසයේ ඉර, ජූලි මාසයේදීට වඩා 3.4%ක් පොළොවට ආසන්න වන අතර පොළොවට ලැබෙන ඉර එළියේ තීව්‍රතාවය 6.4%කින් පමණ වැඩිය.

කෙසේවුවද, පොළොවේ සෘතු වෙනස්කම් වලට හේතුවෙන්නේ මෙසේ ඉර සහ පොළොව අතර දුර වෙනස්වීම නොවේ. පෙර ලිපියකින් පැහැදිලි කළ පොළොව කරකැවෙන අක්ෂයේ ආනතියයි. මේ ආනතියේ බලපෑම වැඩි නිසා, පොළොවට ලැබෙන ඉර එළියේ තීව්‍රතාවය සමස්තයක් ලෙස වැඩිම දිනය වන ජනවාරි 4 වෙනිදා වන විට ශිශිර සෘතුව ගෙවෙන උත්තරාර්ධ ගෝලයේ රටවල උෂ්ණත්වය ඉර පොළොවට වඩාත්ම ඈතින් සිටින ජූලි 4 වෙනිදා තරම් උණුසුම් නොවේ.

උත්තරාර්ධගෝලයේ රටවල් වලට කෙළින් ඉර එළිය වැටෙන ග්‍රීෂ්ම සෘතුවේදී ඉර තිබෙන්නේ පොළොවට ඈතින් වීම හා ශිශිර සෘතුවේදී ඉර තිබෙන්නේ පොළොවට ළඟින් වීම නිසා උත්තරාර්ධගෝලයේ රටවල කාලගුණය උණුසුම් හා සිසිල් අන්ත වලට යාම යම් තරමකින් හෝ අඩු වේ. එහෙත්, දක්ෂිණාර්ධගෝලයේ වෙන්නේ එහි අනිත් පැත්තයි. මේ අනුව, දකුණු අර්ධයේ රටවල ග්‍රීෂ්ම සෘතුව හා ශිශිර සෘතුව උතුරේදීට වඩා නරක විය යුතු වුවත් එය එසේ නොවන්නේ පොළොවේ දකුණු අර්ධගෝලයේ වැඩිපුර ඇත්තේ ගොඩබිම් නොව සාගර නිසාය.


පෙර කී ලෙසම පොළොව ඉර වටා කැරකෙන ඉලිප්සාකාර පථය හැම විටම නොවෙනස්ව නොපවතී. කාලයකදී එහි දිගු අක්ෂය හැකිලී ආසන්න ලෙස වෘත්තාකාර පථයක් බවට පත් වේ. තවත් කාලයකදී එහි දිගු අක්ෂය වඩාත් දිගු වේ. පෘථිවියේ ගමන් මාර්ගය මේ අයුරින් හැකිලීම හා දික්වීම ආසන්න ලෙස වසර 100,000කට පමණ වරක් චක්‍රීය ලෙස සිදුවේ. දැන් තිබෙන්නේ මේ චක්‍රයේ අතරමැද තත්ත්වයකි.

පෘථිවියේ පථය වඩා වෘත්තාකර වන විට වසරේ විවිධ දින තුළ පොළොවට වැටෙන හිරුඑළියේ තීව්‍රතාවය එතරම් නොවෙනස්ව පවතින අතර එහි හැඩය වඩා දිගටි වන විට වසර තුළ හිරු එළිය වැටීමේ තීව්‍රතාවය වෙනස්වීම තවත් වැඩි වේ.

පොළොව ඉර වටා යන ඉලිප්සාකාර අක්ෂය වරෙක වඩා රවුම් වුවත්, එහි දිගු අන්තයක් හැම විටම තිබෙන නිසා පොළොවට ඉර වටා රවුමක් යාමට ගතවන කාලය මැනිය හැකි එක් ක්‍රමයක් වන්නේ මේ පොළොව දිගම අන්තයේ සිට ඉර වටා රවුමක් ගොස් නැවත එතැනට පැමිණීමට ගත වන කාලය අවුරුද්දක් ලෙස සැලකීමයි. මේ අයුරින් අර්ථදක්වන අවුරුද්ද අක්‍රමික (ඇනෝමලිස්ටික්) වසරක් ලෙස හැඳින්වේ.

එසේනම්, ඇනෝමලිස්ටික් වසරක් නක්ෂත්‍ර වසරකට සමානද?

පොළොව ඉර වටා යන පථය ඇකිලීම හා දිගුවීම චක්‍රීය ලෙස සිදු වුවත්, මේ පථයේ දිගු අන්තය හැමවිටම යොමුවී පවතින්නේ එකම දිශාවකටනම් එය එසේ විය යුතුය. එහෙත්, මේ පථයේ සිදුවන එකම චක්‍රීය වෙනස්කම ඉලිප්සයේ හැඩය වඩා දිගටි හා රවුම් වීම පමණක් නොවේ. එහි දිගු අන්තය යොමුවී ඇති දිශාවද චක්‍රීය ලෙස වෙනස් වේ. පහත රූප සටහනෙහි මෙන් පෘථිවිය ඉර වටා යන පථයේ දිගු අන්තය වාමාවර්තව කැරකෙන අතර නැවත මුල් තැනට පැමිණෙන්නේ වසර 112,000කට පසුවය. (රූප සටහනෙන් පෙන්වන්නේ චක්‍රයෙන් කොටසක් පමණි.)


 

කිසියම් වසරක පෘථිවිය මේ පථයේ දිගු අන්තයේ සිටින විට ඉර හා කෙළින් ඉතා දුරින් යම් නක්ෂත්‍ර තාරකාවක් තිබුණේයැයි සිතමු. නක්ෂත්‍ර වසරක් ගත වූ බව අප සලකන්නේ පොළොව නැවතත් හරියටම මේ මුලින් ඉර හා කෙළින් තිබුණු නක්ෂත්‍ර තාරකාව එල්ලයට පැමිණි විටය. එහෙත්, පොළොව වටයක් ගොස් එතැනට එන අතර පොළොවේ ගමන් මාර්ගයද වෙනස් වී ඉලිප්සයේ දිගු අන්තය තරමක් ඉදිරියට ගොස් ඇති නිසා, නක්ෂත්‍ර වසරක් සම්පූර්ණ වෙද්දී ඇනෝමලිස්ටික් වසරක් සම්පූර්ණ නොවේ. ඒ සඳහා පොළොව තවත් ඉදිරියට ගමන් කළ යුතුය. මෙසේ ඉදිරියට ගමන් කළ යුතු අමතර කාලය අවුරුද්දක කාලයෙන් 112,000කින් කොටසක් හෙවත් මිනිත්තු 4කුත් තත්පර 42ක් පමණ වේ.

ඉහත හේතුව නිසා පෘථිවිය ඉර වටා ගමන් කරන පථයේ කිසියම් තැනක සිට ඉර වටා වටයක් ගමන් කර සිටි තැනට පැමිණීමට ගතවන කාලය හෙවත් ඇනෝමලිස්ටික් වසරක කාලය, පොළොවට ඈතින් පිහිටි නක්ෂත්‍ර තාරකා වලට සාපේක්ෂව ඉර වටා වටයක් යාමට ගතවන කාලය වන නක්ෂත්‍ර වසරක කාලයට වඩා මිනිත්තු 4කුත් තත්පර 42කින් වැඩිය.

අප දැනට භාවිතා කරන ජනප්‍රිය දිනදසුන වන ග්‍රෙගෝරියන් කැලැන්ඩරයට පාදක වී ඇත්තේ පොළොවට ඉර වටා වටයක් යාමට ගතවන කාලය මනින මිනුම් දෙකක් වන නක්ෂත්‍ර වසර හෝ ඇනෝමලිස්ටික් වසර යන දෙකෙන් එකක්වත් නොවේ. පොළොවේ සෘතු වෙනස්වීම් සමඟ වඩා හොඳින් ගැලපෙන නිවර්තන වසරයි. නක්ෂත්‍ර වසරකට වඩා මිනිත්තු 20කින් පමණත්, ඇනෝමලිස්ටික් වසරකට වඩා
මිනිත්තු 25කින් පමණත් කෙටි නිවර්තන වසර ගැන ඉදිරි කොටසකින් කතා කරමු.

(Images: Wikipedia, http://www.ces.fau.edu, http://www.thesuntoday.org/solar-facts/happy-aphelion-2015/) 

19 comments:

  1. පෘතුවි කේනද්‍රිය සංකල්පයේදි, පෘතුවිය තමා වටා කැරකෙනවා කියලා සළකනවාද ?

    ReplyDelete
    Replies
    1. ඈතින් පිහිටි සියළුම නක්ෂත්‍ර තාරකා එක පද්ධතියක් ලෙස පොළොව වටා කැරකෙන ලෙස සැලකීමේදී පොළොව තමා වටා කැරකෙනවා කියන අදහස වෙනත් අයුරකින් විස්තර කෙරෙනවා. ඒ නිසා, මේ සංසිද්ධිය වෙනත් අයුරකින් තේරුම් ගැනුණත් පොළොව තමන් වටා කැරකෙනවා කියන අදහස සහිත පෘථිවි කේන්ද්‍රීය ආකෘතියක් ජනප්‍රියව පැවති බවක් මම දන්නේ නැහැ.

      මේ ගැන ජගත් පතිරණත් ලියල තිබුණා.

      Delete
  2. ඔබ සිංහල බ්ලොග් වල පරණම සාමාජිකයෙක්.මෙහි ඇති ඇතැම් දෑ ගැන ඔබගේ අදහස් දැනගන්න කැමතියි. ඒ තමයි සාරස කියන පුද්ගලයා ඔහුගේ බ්ලොග් අඩවියෙන් අනෙකුත් බ්ලොග්කරුවන්ට, ඔවුන්ගේ පවුල්වල උදවියට ඉතාම පහත් අන්දමින් අමතමින් ලිපි කොමෙන්ටු දමනවා. එහි ඇති ඇනෝ කොමෙන්ටුත් ඔහුම දමනා ඒවා විය යුතුයි. මන්ද එහි කොමෙන්ටු 100 ක් වැටී ඇත්තම් අනෙකුත් බ්ලොග්කරුවන් දමනා ප්‍රොෆයිල් කොමෙන්ටු ඇත්තේ 10-12 ක්. ඉතිරිවා ඇනෝ කොමෙන්ටු සහ සාරස කියන පුද්ගලයාගේ කොමෙන්ටු.

    ඊයේ පෙරේදා මම දැක්කා රසිකගේ දුවගේ ජයාරූපත් බෙදා ගනිමින් ඉතා පහත් අන්දමට අදහස් පල කරලා තියෙනවා.

    මෙවැනි දෑ සිංහල බ්ලොග් තුල නොවීමට වග බලාගැනීම රසික වැනි පැරණි බ්ලොග්කරුවන්ගේ යුතුමක්‌ නොවේද? බොහෝ දෙනෙක් මේ සිද්ධිය ගැන නිහඩව ඉන්නේ ඔවුන් සාරසට එරහිව අදහස් පලකලොත් ඔවුන්ටත් පහත් අන්දමින් අමතමින් ලිපි, කොමෙන්ටු පල කරයි යන බය නිසාද? මගේ අදහස් නම් ඔහුගේ බ්ලොග් අඩවිය සින්ඩි වලින් සහ අනෙකුත් බ්ලොග් රෝල් වල ඇත්තම් ඉවත්කළ යුතුයි.ඉකොනොමැට්ටා මොකද හිතන්නේ මේ ගැන.

    ReplyDelete
    Replies
    1. //ඔබ සිංහල බ්ලොග් වල පරණම සාමාජිකයෙක්.//
      ඇනෝ, එකම කමෙන්ට් එක හැමතැනම දමන විට පොඩ්ඩක් කියවල වෙනස් කරල දමන්න. ඉකොනොමැට්ටා බ්ලොග් ලියන්න අරගෙන තවම අවුරුදු දෙකකටත් අඩුයි. කොහොම වුණත්, ඔය "සීනියරිටිය" එතරම් වැදගත් දෙයක් ලෙස මා සලකන්නේ නැහැ.

      //ඔවුන්ගේ පවුල්වල උදවියට ඉතාම පහත් අන්දමින් අමතමින් ලිපි කොමෙන්ටු දමනවා//
      ලිපි වල කරුණු වලට අදාළ නොවන ලියන පුද්ගලයින්ගේ පෞද්ගලික කරුණු ගැන කතාකිරීම නුසුදුසු දෙයක් බවයි මම හිතන්නේ. මම හිතන්නේ සාරසත් මේ කරුණ හා අදාළව මා සමඟ එකඟ වන බවයි.

      //ඉතිරිවා ඇනෝ කොමෙන්ටු සහ සාරස කියන පුද්ගලයාගේ කොමෙන්ටු.// මගේ බ්ලොග් එකේ දමන ඇතැම් ඇනෝ කමෙන්ටු ගැන මට තරමක අදහසක් තිබුණත් (වෙනත් අයට නොපෙනෙන මට පමණක් පෙනෙන තොරතුරු අනුව) ඇනෝ කමෙන්ට් දමන අය නිශ්චිතව හඳුනාගත හැකි ක්‍රමයක් නැහැ. ඒ නැතත්, මෙය මට අදාළ කරුණකුත් නෙමෙයි. සාරසට ඔහුගේ හෝ වෙනත් අයෙකුගේ බ්ලොග් එකක ඇනෝ කමෙන්ට් දමන්න අවශ්‍යනම්, ඇනෝ කමෙන්ට් දැමීමට පහසුකම් ඇති තැනකදී ඔහුට එය කළ හැකියි.

      ප්‍රොෆයිල් එකකින් ආවා කියා කෙනෙක් ඇනෝ කෙනෙක් නොවන්නේ නැහැ. ඒ වගේම තමන්ගේ සැබෑ නමින් ආවා කියාත් මිනිසුන්ගේ ඇනෝ ස්වභාවය නැති වෙන්නේ නැහැ. මට සාමාන්‍ය ජීවිතයේදී හමුවී ඇති නම, ගම, තොරතුරු දන්නා අය අතරත් තමන්ගේ සැබෑ ස්වරූපය වසාගෙන හොඳ මූණක් පෙන්වන ඇනෝලා ඕනෑ තරම් හමු වී තියෙනවා. තමන්ගේම නමින් පෙනී සිටින ගොඩක් මිනිසුන්ගේ සැබෑ පෞද්ගලික ප්‍රතිරූපය ඔවුන් පිටතට පෙන්වන සමාජ ප්‍රතිරූපය නෙමෙයි.

      //ඊයේ පෙරේදා මම දැක්කා රසිකගේ දුවගේ ජයාරූපත් බෙදා ගනිමින් ඉතා පහත් අන්දමට අදහස් පල කරලා තියෙනවා.//
      මම මෙය දැක්කේ නැහැ.

      //මෙවැනි දෑ සිංහල බ්ලොග් තුල නොවීමට වග බලාගැනීම රසික වැනි පැරණි බ්ලොග්කරුවන්ගේ යුතුමක්‌ නොවේද?// රසික බ්ලොග් පොලීසි දමන්න යොමුවෙයි කියා මම හිතන්නේ නැහැ. ඔහු එසේ කළ යුතුත් නැහැ.

      //බොහෝ දෙනෙක් මේ සිද්ධිය ගැන නිහඩව ඉන්නේ ඔවුන් සාරසට එරහිව අදහස් පලකලොත් ඔවුන්ටත් පහත් අන්දමින් අමතමින් ලිපි, කොමෙන්ටු පල කරයි යන බය නිසාද?//
      බොහෝ දෙනෙක් ගැන මම දන්නේ නැහැ. මටනම් එහෙම ප්‍රශ්නයක් නැහැ.

      //මගේ අදහස් නම් ඔහුගේ බ්ලොග් අඩවිය සින්ඩි වලින් සහ අනෙකුත් බ්ලොග් රෝල් වල ඇත්තම් ඉවත්කළ යුතුයි.// බ්ලොග් අඩවි හෝ සින්ඩි වලින් ඉවත් කිරීම බ්ලොග් කරුවෙකුට දඬුවමක් වන්නේ බ්ලොග් එකකට අනන්‍ය පාඨක පිරිසක් නැත්නම් පමණයි. එවැනි පිරිසක් ඉන්නවානම් එයින් වෙන්නේ ඒ පාඨකයින් සෘජුවම එහි පිවිසීමයි. සාරසට මේ වන විට අනන්‍ය පාඨක පිරිසක් සිටින බව පෙනෙනවා. ඔබේ කමෙන්ටුවෙන් පෙනෙන්නේ ඔබත් ඒ අයගෙන් කෙනෙක් බවයි. සාරසව විවේචනය කරමින් වුවත් නොවරදවා ඔහුගේ බ්ලොග් එක පැත්තේ ගොස් මමත් නොදුටු සියළු කමෙන්ටු කියවීමට ඔබ උනන්දුවක් දක්වා ඇති බව පෙනෙනවා. මගේ බ්ලොග්රෝලේ සාරසගේ බ්ලොග් එක තියෙන්නේ මගේ පහසුවට වුනත්, ඔබ වැනි එම බ්ලොග් එක ගැන විශේෂ උනන්දුවක් ඇති අයට එහි යාමටත් එය පහසුවක් වේයැයි මම හිතනවා. කවුරු හෝ කිසියම් බ්ලොග් එකකට කැමති නැත්නම් සින්ඩි වල හෝ බ්ලොග්රෝල් වල තිබුණා කියා එහි යා යුතු නැහැ. එසේ නොගොස් සිටීමට ඔබට පූර්ණ නිදහස තිබෙනවා.

      Delete
  3. රුවන් ජයතුංග නමැති රුසියානු වෛද්‍ය උපාධියක් ඇති වෛද්‍යවරයා ඔහුගේ බ්ලොග් අඩවිය ඔස්සේ විවිද පුද්ගලයන්ගේ මානසික තත්වය ගැන අදහස් පල කරයි. පසුගිය දිනක ෆොන්සේකා මහතා ගැනද එසේ කියා තිබුනේ කමල් ගුණරත්නගේ පොතේ එන කොටසක් අල්ලා ගෙනයි.
    මේ අයුරින් සත්‍යදැයි කියාවත් නොදන්නා තොරතරු ආශ්‍රයන් විවිද ප්‍රකට පුද්ගලයන්ගේ මානසික තත්වය අසමබරතාවයි ලෙස සදහන් කිරීම යුක්ති සහගත වන්නේ කෙසේදැයි කියා එම වෛද්‍යවරයාගෙන් විමසු විට ඔහු කරන්නේ අප නිවටයන්, බියසුල්ලන් ලෙස නම් කරමින් ඔහුව ප්‍රශ්න කරනා කොමෙන්ටු ඉවත් කිරීමයි.

    ඔහුට අන් අයගේ මානසික තත්වය ගැන ප්‍රසිද්දියේ වෛද්‍ය ආචාරධර්ම වලටත් පටහැනි ලෙස සදහන් කල හැකිනම් අනික් අයට ඒවා ප්‍රශ්න කිරීමට නොහැකිද?

    ReplyDelete
    Replies
    1. //අනික් අයට ඒවා ප්‍රශ්න කිරීමට නොහැකිද? //

      ඇයි බැරි? දැන් ඔය ඔබ කරල තියෙන්නෙත් එවැනි ප්‍රශ්න කිරීමක්නේ!

      Delete
  4. https://www.youtube.com/watch?v=uKWyckWflB8

    ReplyDelete
    Replies
    1. සෙන්නා, ලින්ක් එකට ස්තුතියි! කාලය ගියත් මම මෙය උනන්දුවෙන් බැලුවා. ජ්‍යෝතිෂයට පක්ෂව කතා කළ අයගේ (විශේෂයෙන්ම එක් අයෙකුගේ) පෙර සූදානම ඉතා හොඳයි. එහෙත්, වෙනත් බොහෝ විවාද මෙන්ම මෙයත් යන්නේ කොහෙද මල්ලේ පොල් මට්ටමේයි තිබුණේ. ජ්‍යෝතිෂයට විරුද්ධව කතා කළ අය ඉදිරිපත් කළ මූලික තර්කයට පිළිතුරක් ලැබුණේ නැහැ. ඒ වගේම ඔවුන් ඉදිරිපත් කළ ඇතැම් තර්ක හා කරුණු වලත් අඩුපාඩු තිබුණා. මේ වාගේ විවාද වලදී බොහෝ විට සිදුවන්නේ අර්ධ සත්‍ය වල ඔතමින් බොරුව වැසීම.

      Delete
  5. කීප සැරයක්ම කියවන්න ඕන
    .ඇත්තටම මම මෙච්චර විස්තර දැනගෙන හිටියේ නෑ. ඇත්තටම ඉතාම වැදගත් ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, serendipity! තවත් කොටසක් අද දමනවා.

      Delete
  6. හරිම වැදගත් කවුරුත් වැඩිය කතා නොකරන ක්ෂේත්‍රයක ලිපියක්. ග්‍රේගරියන් කැලැන්ඩරය පාදක කරගෙන නක්ෂත්‍ර වසරට අවලාද නගන අයත් කියෙව්වොත් හොඳයි. මා ලියු ලිපි පෙළක ලියා ඇති මායාවරුන් දින දර්ශන 17ක් භාවිතා කර ඇතිබව. ඒවා විශ්වයම සලකමින් සැදූ ඒවා. ඒ අතරින් තවමත් තේරුම් ගත නොහැකි ඒවා රැසක්.

    ReplyDelete
  7. ඉතාම හරවත් ලිපි පෙලක්
    ඉකොනො, මම මේ ලිපි හරිම උනන්දුවෙන් වටහා ගැනීමට කාලය දෙමින් කියවනවා.
    ස්තුතියි. මෙවන් වූ දැනුම බෙදා ගැනීම බ්ලොග් කරුවන්ගේ වගකීමක් විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, නයනේ! ඔබ මෙවැනි මාතෘකා ගැන උනන්දු බව මම දන්නවා.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

Gadget

This content is not yet available over encrypted connections.