වෙබ් ලිපිනය:

Sunday, December 22, 2019

ජුනයිඩ් හෆීස්


ඉස්ලාම් ආගමට අපහාස කිරීමේ චෝදනා මත වසර හතකට ආසන්න කාලයක් අත් අඩංගුවේ සිටි පකිස්ථාන සරසවියක දේශකයෙකු වූ ජුනයිඩ් හෆීස්ට පකිස්ථාන අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර තිබෙනවා.

ජුනයිඩ් හෆීස් ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වලාභියෙකු ලෙස ඇමරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේ ජැක්සන් රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් ලබා ගත් අයෙක්. 2010 වසරේදී නැවත පකිස්ථානයට යාමෙන් පසුව ඔහු පන්ජාබයේ මුල්තාන් බහඋද්දින් සකරියා සරසවියේ දේශකයකු ලෙස සේවය අරඹනවා.

ජුනයිඩ් හෆීස්ගේ නිදහස් මතධාරී අදහස් හේතුවෙන් පකිස්ථානය ඉස්ලාමීය රාජ්‍යයක් බවට පත් කිරීම වෙනුවෙන් පෙනී සිටින ජමාතේ ඉස්ලාමී පක්ෂයේ ශිෂ්‍ය සංවිධානය ඇතුළු අන්තවාදී ශිෂ්‍ය කණ්ඩායම් මුල සිටීම ජුනයිඩ් හෆීස්ව සරසවියට බඳවා ගැනීමට විරුද්ධ වෙනවා. මේ කණ්ඩායම් විසින් හෆීස්ට ඉස්ලාම් ආගමට අපහාස කිරීම පිළිබඳව චෝදනා කරන්නේ වත්පොත් පළ කිරීමක් ඉදිරියට දමමිනුයි.

චෝදනාවට හේතු වූ පළ කිරීම කර තිබෙන්නේ ජුනයිඩ් හෆීස් විසින් නෙමෙයි. එහෙත් එය පළ වූ වත්පොත් කණ්ඩායම් පිටුවේ ඇඩ්මින් වරයා ලෙස ඔහු එම පෝස්ටුව ඉවත් නොකිරීම මත ඔහුට චෝදනා නගා තිබෙනවා. ශිෂ්‍ය කණ්ඩායම් වල චෝදනා වලට අනුව "So-Called Liberals of Pakistan" සහ "Mulla Munafiq" නම් ෆේස්බුක් පිටු පවත්වා ගෙන ගොස් තිබෙන්නේත්, එම නම් වලින් කමෙන්ට් දමා තිබෙන්නේත් ජුනයිඩ් හෆීස් විසිනුයි.  ජුනයිඩ් හෆීස් වෙනුවෙන් පෙනී සිටින අයට අනුව මෙය තහවුරු කළ කරුණක් නොවන අතර හෆීස්ව අත් අඩංගුවට ගැනීමෙන් පසුවද මේ වත්පොත් පිටු සක්‍රියව ක්‍රියාත්මක වී තිබෙනවා. කුරානයේ ඇති දේ පැරණි මෙසපොතේමියානු ජනකතා මත පදනම් වන බව ප්‍රකාශ කිරීම ඔහුට එරෙහිව තිබෙන තවත් චෝදනාවක්.

ජුනයිඩ් හෆීස් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින්ට ආගමික අන්තවාදීන්ගෙන් දිගින් දිගටම මරණ තර්ජන එල්ල වුනා. පකිස්ථානයේ ස්වාධීන මානව හිමිකම් කොමිසමේ මුල්තාන් කාර්යාලයේ අධ්‍යක්ෂ රෂීඩ් රෙහ්මන් විරෝධතාකරුවන්ට අවනත නොවී ජුනයිඩ් හෆීස් වෙනුවෙන් පෙනී සිටීම නිසා ඔහුට වසර කිහිපයකට පෙර ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදු වුනා.

ජුනයිඩ් හෆීස් වැනි නිදහස් මතධාරී ඉස්ලාම් ආගමිකයින්ව එක අතකින් ඉස්ලාම් අන්තවාදීන්ගේ විරෝධයට පාත්‍ර වන අතරම අනික් පැත්තෙන් ඔවුන්ට ඉස්ලාම් වීම නිසාම ඉස්ලාම් නොවන ලෝකය තුළ වෙනස් ලෙස සැලකීමට භාජනය වෙන්න සිදු වී තිබෙනවා. ඉන්දියාවේ අලුත් පණත උදාහරණයක්. ඉස්ලාම් නොවන වෙනත් මධ්‍යස්ථ මතධාරීන්ට මුහුණ දෙන්න වී තිබෙන ගැටළුවත් මෙයමයි. ලෝකයේ හැම පැත්තේම වගේ මධ්‍යස්ථ මතධාරීන්ට වෙන් වුනු ඉඩකඩ එන්න එන්නම පටු වෙනවා.

(Image: https://www.voanews.com/south-central-asia/pakistani-scholar-sentenced-death-blasphemy)

13 comments:

  1. ඇස් දෙක හොඳින් තිබේ නම්
    හිරු එළිය මෙහි තිබේ නම්
    ඇයි අන්ධයෙකු වගේ මේ
    මඟ ගාට ගාට යන්නේ?

    ReplyDelete
    Replies
    1. මග හොඳට ඇත්නම්
      දෑසත් හොඳට පෙනේ නම්
      කිම බැදිවල යන්නේ
      මං මුළාවූ එකෙකෙු සේ

      කියල අහල තිබුණු කවියක් මතක් වුණා...

      නිවැරදි කිරීමක් නෙවේ. මතක් වුණාට දැම්මෙ

      Delete
  2. ශක්තික සත්කුමාරගේ නඩුවත් දිගටම ඇදී යනවා. ඔහුට නැවත සේවයට නොගන්නා බවකුත් දැන ගන්නට ලැබුණා!

    https://rasikalogy.blogspot.com/2019/04/free-shakthika-sathkuara-immediately.html

    https://www.facebook.com/shakthika.sathkumara

    !

    ReplyDelete
  3. මහා අසහාය නායකයෙක් කියන ඉම්රාන් කාන්ට මේ ගැන පියවරක් ගන්න බැරිද. ඔහු මේ ගැන දරන මතේ මොකක්ද

    ReplyDelete
    Replies
    1. ඔය නීතිය යටතේම ඉම්රාන් ඛාන්ටත් නඩුවක් දාලයි තිබුණේ. හොඳ වෙලාවට ඒකනම් ප්‍රතික්ෂේප වෙලා.

      https://www.samaa.tv/news/2019/12/blasphemy-case-against-pm-imran-khan-rejected/

      Delete
    2. ඉම්රාන් කියලා කියන්නේ මෛත්‍රීපාල පාට් 2

      මිනිහ අසාර්ථක කයිවාරු කාරයෙක් විතරයි... ලංකාවේ මෛත්‍රී දිනපු වෙලාවේ සහ ඊට පස්සේ ඌ ගැනත් ඔයවගේ වැල් බයිලා ඉන්දියන් පකිස්තානයේ මාධ්‍ය වල තිබ්බ. ඉන්දියන් උන් හෙම උන්ටත් ඒ වගේම නායකත්වයක් ඉන්දියාවේ අලුත් මැතිවරණ වලින් ඕන කියලා කමෙන්ට් දානව දැකල අපට දෙකොණින් හිනා...

      Delete
  4. Junaid Hafeez වෙනුවෙන් පකිස්ථානයට පව් ගෙවන්න වෙනවා.Jamal Kahshoggi වෙනුවෙන් සෞදි අරාබිය පව් ගෙවනවා වගේ.

    ReplyDelete
  5. ලංකාවත් තලේබාන් වෙලා. චීවර දාරීන් කරන කියන දේ දැක්කම බෞද්ධ යෙක් කියල කියන්නත් මට දැන් ලැජ්ජයි. ඒක නිසා විදේශීකයින්ට මම නිරාමිගයෙක් කියලා කියන්න තීරණ කලා. නමුත් මම සිතින් තවමත් බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය පිළිගන්නා අයෙක්.

    ReplyDelete
    Replies
    1. දැන් හොඳයි ඉස්සර ලංකාවේ චීවරධාරීන් මීට අන්තයි. හැබැයි ඉතින් පිටරටවල ඉන්න අයිසිස්, බෝන් අගේන් සහ ඉවැන්ජලික ක්‍රිස්තියානි පිස්සු මීහරක්, ලංකාවේ නිරාගමික කියාගන්නා මන්ද බුද්ධික අමු මැටි මීහරක් එක්ක බලද්දි සිංහල බෞද්ධ චීවරධාරීන් කියලා කියන බූරු රැල තවමත් සෑහෙන හොඳයි කියලා හිතන්න පුළුවන් නේද මචන්

      Delete
    2. බුදුහාමුදුරුවො යුද්ධ කරන්න කිව්වේ නෑ. බුදුහාමුදුරුවෝ ජාතිය ගැන හිතන්න කිව්වේ නෑ.
      බුදුහාමුදුරුවෝ කිව්වේ පොන්නයා වගේ ඉන්න කියලා.

      Delete
  6. හැමදේම ආර්ථිකයට ලඝු කිරීම කෂිකබල් මාක්ස්වාදී ක්‍රියාවක්.

    බලන්න "අන්නා හසාරේ" කියලා ජෝකර් කෙනෙක් දාලා හින්දූත්වය නොමඟ යවන්න කල උත්සාහය අසාර්ථක වුන හැටි.

    ReplyDelete
  7. සමහර ප්‍රශ්ණ විසඳීමේදී සතුරු කඳවුරේ මධ්‍යස්ථ මතධාරීන් සිටීම ගැටළුවක්.
    මධ්‍යස්ථ මතධාරීන් වඳකරලා සතුරු කඳවුර තනිකරම අන්තවාදයට යොමු කිරීම මඟින් ඔවුන්ව පරාජය කරන්න පහසුයි.

    දුටුගැමුණු රජතුමාත් ඔහොම වැඩක් කලා. එතුමා සටන් ඇරඹීමට පෙර සතුරා ඉදිරියේම ආගමික වතාවත් කලා. එහි අරමුණ එළාරගේ පැත්තේ සිටි බෞද්ධයන්ට තම පැත්තට ඒමට ආරාධනා කිරීමයි. එය නොකරන අය බුද්ධාගමේ හතුරන් ලෙස සලකා මරා දැමීම ගැටළුවක් නෑ.

    ReplyDelete
  8. "කශෝගි ඝාතනය හා රාජ්‍ය ත්‍රස්තවාදය සම්බන්ධයෙන් සවුදියෙන් උගත හැකි පාඩම්"- අජිත් පැරකුම් ජයසිංහ ලියන ලද "praja.lk හි පලවී ඇති මෙම ලිපිය කියවන මෙන් ඉල්ලමි.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: