වෙබ් ලිපිනය:

Tuesday, April 7, 2020

රක්ෂණ වාරිකයට වට්ටමක්!


මා වාහන රක්ෂණ මිල දී ගෙන ඇති සමාගමෙන් ඊයේ විද්‍යුත් ලිපියක් ලැබුණා. ඔවුන් දැනුම් දී තිබුණේ රක්ෂණ ගිවිසුමේ මිල 15%කින් අඩු කළ බවයි. මේ කියන්නේ මාස කිහිපයකට පෙර මුදල් සම්පූර්ණයෙන්ම ගෙවා මිල දී ගත් තවත් මාස කිහිපයකට වලංගු වාහන රක්ෂණ ගිවිසුම ගැනයි. ඒ අනුව, දැනට ගෙවා ඇති මුදල හා අඩු කළ මිල අතර වෙනස ඔවුන් මගේ බැංකු ගිණුමට බැර කිරීමට නියමිතයි.

ඇමරිකාවේ රක්ෂණ කර්මාන්තය ඩොලර් ට්‍රිලියන 1.2ක කර්මාන්තයක්. මෙයින් අඩක් පමණ ජීවිත රක්ෂණ. ඉතිරි අඩ දේපොළ රක්ෂණ. දේපොළ ගොඩට ප්‍රධාන වශයෙන්ම වැටෙන්නේ වාහන රක්ෂණ හා නිවාස රක්ෂණ. බැලූ බැල්මටම පෙනෙන්නේ මේ වෙළඳපොළ කතිපයාධිකාරී වෙළඳපොළක් ලෙසයි. බොහෝ දෙනෙක් රක්ෂණ ගිවිසුම් මිල දී ගන්නේ ප්‍රධාන සමාගම් හත අටකින්. එහෙත්, ඇමරිකාවේ රක්ෂණ සේවා සපයන සමාගම් 6000ක් පමණ තිබෙනවා.

දැන් මේ විදිහට මගේ රක්ෂණ සමාගම මුදල් ආපසු ගෙවන්නේ ඇයි? ආණ්ඩුවෙන් එහෙම නියම කරලද? එහෙම නැත්නම් මේ සමාගම හදවතක් තිබෙන, මානුෂික සමාගමක් නිසා තමන්ගේ පාරිභෝගිකයින් ගැන අනුකම්පා කරලද?

හේතුව ඔය එකක්වත් නෙමෙයි. මෙය ධනවාදී ආර්ථිකයක ක්‍රියාත්මක වන සමාගම් තමන්ගේ ලාබ වැඩි කරගන්න දරන උත්සාහයේම කොටසක් පමණයි. ඒ උත්සාහය ඇතුළේ කාගේවත් මැදිහත්වීමක් නැතුව පාරිභෝගිකයින්ට මෙවැනි වාසි සැලසෙනවා.

අපි වගේ පාරිභෝගිකයින් වාහන රක්ෂණයක් මිල දී ගන්නේ ඇයි? නීතිය අනුව වාහනයක් පාරට දමන්න රක්ෂණයක් අවශ්‍ය වීම එක් හේතුවක්. අනෙක් හේතුව කිසියම් අනතුරක් වූ විට විශාල වන්දියක් අතින් ගෙවන්නට වීමේ අවදානම හා වාහනය හදාගන්න විශාල මුදලක් වැය කරන්න වීමේ අවදානම අඩු කර ගැනීමේ අවශ්‍යතාවයයි.

රක්ෂණ සමාගමක් විසින් රක්ෂණ ගිවිසුමක මිල තීරණය කරන්නේ කිසියම් පාරිභෝගිකයෙකු විසින් වාහන අනතුරක් කර ගන්න තිබෙන සම්භාවිතාව හා වාහනයේ වටිනාකම මතයි. වාරික ලෙස එකතු කර ගන්නා මුදලට වඩා මුදලක් වන්දි මුදල් ලෙස ගෙවන්න වෙනවානම් රක්ෂණ සමාගමකට පවතින්න බැහැ. ඒ වගේම, මේ විදිහට ගෙවන වන්දි මුදල් වල පිරිවැයට අමතරව සේවකයින් නඩත්තු කිරීම ඇතුළු අනෙකුත් පිරිවැය ආවරණය කර ගන්න වෙන්නෙත් රක්ෂණ වාරික ලෙස එකතු කර ගන්නා මුදලින්. ඔය සියලු වියදම් ඇරලා සමාගමේ ආයෝජකයින් වෙනුවෙන් ලාබයක්ද උපයා ගත යුතුයි.

පාරිභෝගිකයෙකු එක වරම රක්ෂණ ගිවිසුමක් මිල දී ගන්නේ නැහැ. බොහෝ විට සමාගම් කිහිපයකින් ඇස්තමේන්තු ලබා ගැනීමෙන් පසුවයි ගිවිසුමක් මිල දී ගන්නේ. ඒ නිසා, රක්ෂණ සමාගම් වලට හිතුමතේ ලාබ ලබන්න බැහැ. එහෙම කරන්න ගියොත් පාරිභෝගිකයින් නැති වෙනවා. ඔවුන් ලබන්නේ තරඟකාරී වෙළඳපොළක ආයෝජකයෙකු විසින් ලබන සාමාන්‍ය මට්ටමේ ලාබයක් පමණයි.

මේ දවස් වල ඇමරිකාවේ ඉන්ධන මිල හොඳටම අඩු වෙලා. අපේ පැත්තේ පැට්‍රෝල් ගැලුමක් ඩොලර් 1.55ක් පමණයි. ඒ කියන්නේ ලීටරයක් රුපියල් 80ක් වගේ. සාමාන්‍යයෙන් ඉන්ධන මිල අඩු වෙනකොට ගමන් බිමන් වැඩි වෙන එකයි වෙන්නේ. එහෙත්, මේ වෙලාවේ සිදු වෙලා තිබෙන්නේ ගමන් බිමන් අඩු වීම නිසා ඉන්ධන මිල අඩු වීමයි.

ඉන්ධන මිල P කියාත්, ඉන්ධන සඳහා තිබෙන ඉල්ලුම Q කියාත් කිවුවොත් අපට Q = a  - bP වගේ සමීකරණයක් ලියන්න පුළුවන්. සාමාන්‍ය ගණිත මූලධර්ම අනුවනම් මේ සමීකරණයම P = (a  - Q)/b කියා ලියන්න පුළුවන්. එහෙත්, ආර්ථික විද්‍යාවේදී P = (a  - Q)/b කියන එකෙන් අදහස් වෙන්නේ  Q = a  - bP කියන එකම නෙමෙයි. ඒ දෙක දෙකක්. ආර්ථික විද්‍යාවේදී ගණිතය මෙවලමක් විදිහට යොදා ගත්තත් එය කරන්නේ ඒ බව දැන ගෙනයි. වසංගතවේදය වැනි වෙනත් විෂයකදී වුවත් එහෙමයි.

ඉන්ධන මිල වෙනස් වීම අනුව ඉන්ධන සඳහා ඉල්ලුම වෙනස් වන ආකාරය අපට Q = a  - bP ලෙස සූත්‍රගත කරන්න පුළුවන්. ඒ වගේම, ඉන්ධන සඳහා ඉල්ලුම වෙනස් වන ආකාරය මත ඉන්ධන මිල වෙනස් වීම P = c  + dQ ලෙස ලියන්න පුළුවන්. මෙහි c  + dQ කියන්නේ (a  - Q)/b නෙමෙයි. ඒ නිසා, සමීකරණ දෙකකින් නොදන්නා පද හතරක් හොයා ගන්න බැහැ. එය කරන්න තවත් තොරතුරු අවශ්‍යයි. ඒ අමතර තොරතුරු හොයා ගැනීම අභියෝගයක්. ඇත්තටම මෙහි මේ විදිහට රේඛීය සමීකරණ ලිවුවත් මෙහි තිබෙන්නේ නොදන්නා ශ්‍රිත දෙකක්. Q = f(P) හා P =g(Q) වගේ. ඒ ශ්‍රිත මොන වගේද කියා කලින්ම උපකල්පනය කිරීම පහසුවට කරන දෙයක් පමණයි.

මේ දවස් වල පාරවල් වල වාහන හොඳටම අඩුයි. පාරවල් වල වාහන අඩු වන විට අනතුරුත් අඩුයි. මාර්ග අනතුරු ප්‍රමාණය වැඩි වන්නේ ධාවනය වන වාහන ගණනට අනුලෝමව සමානුපාතිකව නෙමෙයි. එය ඊට වඩා වැඩි වේගයකින් වැඩි වෙනවා. පාරේ වාහන 2ක් තිබේනම් ඔය වාහන දෙක හැප්පෙන්න පුලුවන් ආකාර තියෙන්නේ එකයි. වාහන තුනක් වුනොත් ආකාර තුනයි. හතරක් වුනොත් හයයි. මෙය සරල උදාහරණයක් පමණයි. එක වාහනයක් තිබුණත් එය කොහේ හරි හැප්පෙන්න පුළුවන්. මගේ අතින් සිදු වුනු අන්තිම රථවාහන අනතුරු දෙකම සිදු වුනේ ගෙදර ගරාජ් එකෙන් වාහනය එළියට ගනිද්දී. ඒ වගේ අනතුරුනම් ඉහළ යන්නේ වාහන ප්‍රමාණයට අනුලෝමව සමානුපාතික ලෙසයි.

වසරකට ඇමරිකාවේ රිය අනතුරු මිලියන 6ක් පමණ සිදු වෙනවා. ඒ අනතුරු වලින් වසරකට මිලියන 3ක පමණ පිරිසකට ශරීර හානි සිදු වෙනවා. එයින් මිලියන 2ක් පමණ ස්ථිර හානි. වසරකට 38,000ක පමණ පිරිසක් රිය අනතුරු හේතුවෙන් මිය යනවා. මේ වන විට කෝවිඩ්-19 නිසා මිය ගොස් ඇති පිරිස 11,000කට වැඩියි. දැනට තිබෙන ඇස්තමේන්තු අනුව මේ ගණන වාහන අනතුරු වලින් මිය යන ප්‍රමාණය මෙන් දෙතුන් ගුණයක් විය හැකියි.

පාරවල් වල වාහන අඩු වන විට වාහන අනතුරුත් අඩු වෙනවා.එවිට රක්ෂණ සමාගම් විසින් වන්දි සේ ගෙවිය යුතු මුදල් ප්‍රමාණයද අඩු වෙනවා. ඒ සමාගම් වල ලාබ ඉහළ යනවා. මා ඇතුළු පාරිභෝගිකයින් බොහෝ දෙනෙක් රක්ෂණ ගිවිසුමක් මිල දී ගන්න පෙර සමාගම් ගණනාවකින් මිල ගණන් විමසන නමුත් අවසානයේදී මිල දී ගන්නේ මිල අඩුම තැනින් නෙමෙයි. එහිදී ගෙවන මිලට වගේම ලැබිය හැකියයි අපේක්ෂිත සේවාවටද බර තබනවා. රක්ෂණ සමාගම් හය දහසක් පමණ තිබුණත් බොහෝ දෙනෙක් ප්‍රධාන සමාගම් හත අටෙන් එකකටම යන්නේ ඒ නිසයි.

රක්ෂණ සමාගමක සේවාව වැදගත් වන්නේ අනතුරක් සිදු වූ විටයි. ගොඩක් අඩු මිලට සේවා සපයන ඇතැම් කුඩා සමාගම් වල ඉන්නේ සීමිත සේවක පිරිසක් නිසා අනතුරක් සිදු වූ විට වන්දි ලබා ගැනීමට සෑහෙන්න වද විය යුතුයි. මා කිහිප වරක්ම මේ අත්දැකීමට මුහුණ දී තිබෙනවා. මා එවැනි සමාගම් ගැන නොසිතන්නේ ඒ නිසයි. එහෙත්, වාහනය තිබෙන්නේ ගෙදරනම් මෙය ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා, මා වැනි පාරිභෝගිකයින් මේ වෙලාවේ මිල අඩු රක්ෂණ ගිවිසුමක් ලබාදෙන සමාගමක් වෙත මාරු වෙන්න ඉඩ තිබෙනවා. එහෙම වුනොත් එය මගේ රක්ෂණ සමාගමට පාඩුවක්. ඔවුන් මට 15%ක වට්ටමක් දෙන්නේ ඒ නිසයි.

(Image: https://www.ipwatchdog.com/2019/11/06/understanding-insurance-coverage-intellectual-property-claims/id=115632/)

23 comments:

  1. රක්ෂණ සමාගමකට, එම රටේ මාර්ග අන්තුරු වීමේ හැකියාව ආකෘතිගත කරල, ඒ අනුව රක්ෂණ ගිවිසුමක මිල තීරණය කරන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි කරන්නේ, විජේසූරිය. නමුත්, රටේ මාර්ග අනතුරු වීමේ හැකියාව පමණක් ආකෘතිගත කිරීම ප්‍රමාණවත් නැහැ. අනතුරක් සිදු වීමේ හැකියාව රියැදුරා අනුව හා වාහනය අනුවත් වෙනස් වෙනවා. ඒ නිසා, ආකෘතියකට එම තොරතුරුත් ඇතුළත්. නමුත්, එම දේවල් හරියටම වෙන්නනම් සමාගම් අතර ප්‍රමාණවත් තරමේ තරඟකාරිත්වයක් තිබිය යුතුයි.

      Delete
  2. මම ඉන්න සමාගම් සමූහයෙත් රක්ෂණ සමාගමක් තියෙන නිසා අදත් මේ ගැන කථා කලා. දැන් දැන් ඇඳිරි නීතිය නිසා පාරවල් වල අඩු වුනත් සමහර අය ගෙදරදි හැප්පුනා කියල රිපෝට් කරනවලු. ලංකාවේ වාහන වලින් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ කල් බදු පහසුකම මත ලබාගත්ත ඒවා නිසා සමහර අයට කල්බදු වාරික ගෙවාගන්න බැරුව වාහන අතාරියි කියලත් බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
    Replies
    1. //දැන් දැන් ඇඳිරි නීතිය නිසා පාරවල් වල අඩු වුනත් සමහර අය ගෙදරදි හැප්පුනා කියල රිපෝට් කරනවලු.//
      කතාව බොරුවක් විය හැකි වුවත් කවුරු හෝ claim එකක් දමන්නේ වාහනයේ හදන්න අවශ්‍ය දෙයක් තිබෙන නිසා. එය රක්ෂණ වාරිකය මිල දී ගැනීමෙන් පසුව සිදු වූ හානියක්නම් රක්ෂණ සමාගම විසින් හානිය ප්‍රතිපූරණය කළ යුතුයි. හානිය සිදු වුනේ කොහොමද කියන එක එහිදී එතරම් වැදගත් නැහැ. රක්ෂණයක් අරගෙන තිබෙන්නේ වාහනේ හැප්පෙන්න පුළුවන් නිසා. ඉන් පසුව ගෙවන එක රක්ෂණ සමාගම විසින් කළ යුතු දෙයක්. ඇමරිකාවේදී පළමු වර රක්ෂණයක් මිල දී ගන්නා විට එය රක්ෂණ නියෝජිතයෙකුට පෙන්වා කිසිදු හානියක් නැති බව තහවුරු කළ යුතුයි. එසේ නැත්නම් පසුව හානියක් ප්‍රතිපූරණය කර ගත යුතු වූ විට එය අලුතින් සිදු වූවක් බව තහවුරු කරන්න මහන්සි වෙන්න වෙනවා. මම හිතන්නේ ලංකාවෙත් එහෙමයි.

      ඇමරිකාවේදී රක්ෂණ සමාගමට අනතුරක් වාර්තා කරන හෝ වාර්තා වන හැම විටම රියදුරාගේ නොසැලකිලිමත්කම වඩ වඩා තහවුරු වන නිසා උඩින් විජේසූරිය විසින් අසා තිබෙන ඔවුන්ගේ ආකෘති අනුව මිල ඉහළ යනවා. මේ වාර්තා අනෙකුත් රක්ෂණ සමාගම් වලටත් යන නිසා රක්ෂණ සමාගම මාරු කිරීමත් විසඳුමක් නෙමෙයි. මාර්ගයේ සිදු වූ අනතුරක් වාර්තා නොකර ඉන්න අමාරු වුනත් ගෙදරදී වූ එකක් වාර්තා නොකර ඉන්න පුළුවන්. පොඩි සීරීමක්නම් එය රක්ෂණයෙන් හදා ගන්නවාට වඩා වාර්තා නොකර ඉන්න එක වාසියි. ලැබෙන වාසිය එකවර ලැබෙන්නක් වුවත් වාරිකය වැඩි වීමේ අවාසිය දිගටම තියෙන නිසා. හැබැයි එවැන්නක් අතින් ගෙවා හෝ හදා නොගත්තොත් පසුව claim එකක් දමන වේලාවකදී ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මගේ අත්දැකීම අනුව ඇමරිකාවේ රක්ෂණ සමාගම් claim දමන එක දිරිමත් කරනවා. ඔවුන්ගේ සේවයේ වැදගත්කම තහවුරු වන්නේ හානි ප්‍රතිපූරණය කළ තරමටයි.

      Delete
    2. //ලංකාවේ වාහන වලින් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ කල් බදු පහසුකම මත ලබාගත්ත ඒවා නිසා සමහර අයට කල්බදු වාරික ගෙවාගන්න බැරුව වාහන අතාරියි කියලත් බලාපොරොත්තු වෙනවා.//
      එය රක්ෂණ සමාගම් වලට බලපාන්නේ කොහොමද?

      Delete
    3. කල්බදු ක්‍රමය යටතේ ගත් වාහන වලට සම්පූර්ණ රක්ෂණය ලබා ගන්නවා. අන් බොහෝ ඒවා ගන්නේ 3න්වන පාර්ශවයේ රක්ෂණ. අනික කල්බදු වාහනයක් අතාරිනවා කියන්නේ ඒක තාවකාලිකවා භාවිතාවෙන් අයින් වෙනවා. කල්බදු සමාගම අන් අයෙකුට විකුනන තෙක්.

      Delete
    4. රක්ෂණ ක්ලේම් එකක් ගෙවන්න නම් එය සුදුසුකම් ලත් රියැදුරෙක් විසින් පදවන විට වූ අනතුරක් විය යුතුයි. අනික රියැදුරා බීමත්ව සිටියේ නම් එවන් අනතුරකදී වාහනයට වන අන්තුරු වලට රක්ෂණ සමාගම වගකියන්නේ නැහැ. තෙවන පාර්ශවයේ පුද්ගලයෙකුට හෝ වත්කමකට වන හානි පමණයි ප්‍රතිපූර්ණය කරන්නේ. එම නිසා අනතුරක් වූ වහාම රක්ෂණ සමාගමේ කෝල් සෙන්ටර් එකට දැන්විය යුතුයි. එවිට පරීක්ෂා කරන්න කෙනෙකු එවනවා. එහිදී එය එම ස්ථානයේ සිදුවූ සැබෑ අනතුරක්ද යන්න සොයා බලනවා. ලංකාවේ රක්ෂණ ගෙවීමේදී එලෙස නොදැන්වූ හාණි වලට ගෙවන්නේ නැහැ. මෙහිදී රක්ෂණ වංචා කිරීමට උත්සාහ කල අවස්ථා හැරෙන්න අන් දේවල් සමාගම් අතර බෙදා ගැනීමක් නැහැ.

      Delete
    5. අනතුරක් සිදුවූ සථානයක ඒ අවස්ථාවේදීම යමෙකු යැවීම පටන් ගත්තේ පසුගිය දශක දෙක තුල. ඊට පෙර රක්ෂණය යනු සමහර දෙනෙකුට මුදල් සොයා ගැනීමේ අසාධාරණ ක්‍රමයක්. උදාහරණයකට සමහරු වාහනයේ වර්ගයේ සහ පාට ඇති ඩැමේජ් කොටස් කුලියට ගෙන ඒවා අමුණා අනතුරකට ක්ලේම් කර පසුව කලින් කෑලි අමුනා මුදල් ලබා ගන්නවා. එසේ කැඩුණු කොටස කුලියට දීමටම සැකසුනු ස්ථාන තිබුණා. සමහර අවස්ථාවල අදාල ඉංජිනේරු වර සමඟ සම්බන්ධවී වාහනයකට අංකය පමණක් මාරු කර ක්ලේම් ලබා ගන්නවා.

      Delete
    6. //කල්බදු ක්‍රමය යටතේ ගත් වාහන වලට සම්පූර්ණ රක්ෂණය ලබා ගන්නවා. අන් බොහෝ ඒවා ගන්නේ 3න්වන පාර්ශවයේ රක්ෂණ.//
      ඔබ හරි. මේ හේතුව නිසා රක්ෂණ සමාගම් වල ලාබ සැලකිය යුතු ලෙස අඩු වෙන්න පුළුවන්.

      //ලංකාවේ රක්ෂණ ගෙවීමේදී එලෙස නොදැන්වූ හාණි වලට ගෙවන්නේ නැහැ. මෙහිදී රක්ෂණ වංචා කිරීමට උත්සාහ කල අවස්ථා හැරෙන්න අන් දේවල් සමාගම් අතර බෙදා ගැනීමක් නැහැ.//
      ඇමරිකාවේදී බොහෝ විට තමන් අතින් හදා ගත්තත් ඒ බව රක්ෂණ සමාගමට වාර්තා වී රක්ෂණ වාරිකය වැඩි කරන්න ඉඩ තිබෙනවා. කොහොමටත් එහෙම කරන නිසා ගෙවුවා කියා රක්ෂණ සමාගමට පාඩුවක් නැහැ. පාරේදී සිදු වූ අනතුරක්නම් පොලීසියට දැනුම් දිය යුතුයි. පොලීසිය පැමිණි විට ඡායාරූප ගන්නවා. පොලිස් වාර්තා රක්ෂණ සමාගම විසින් පිළිගන්නවා. ඒවා නිවැරදියි හා අපක්ෂපාතීයි. පිරිවැය යන්නේ රක්ෂණ සමාගමෙන් නිසා අනතුරේ පාර්ශ්ව වලට බොරු කියන්න අවශ්‍යතාවයක් නැහැ. මුදල් ගෙවන්නේ කවුද කියන එක තීරණය වන්නේ දෙපැත්තේ රක්ෂණ සමාගම් වල නියෝජිතයින් අතර වාද විවාද වලින් පසුවයි. අනතුරේ පාර්ශ්ව වලට ඒ ගැන වද වෙන්න අවශ්‍ය නැහැ. කොයි පැත්තෙන් හෝ මුදල් ලැබෙනවා.

      //උදාහරණයකට සමහරු වාහනයේ වර්ගයේ සහ පාට ඇති ඩැමේජ් කොටස් කුලියට ගෙන ඒවා අමුණා අනතුරකට ක්ලේම් කර පසුව කලින් කෑලි අමුනා මුදල් ලබා ගන්නවා.//
      ක්‍රියාවලියේ තැන් ගණනාවකම වංචා සිදු වෙන විට වැඩේ ගොඩ දාන්න අමාරුයි.

      Delete
  3. ඇමරිකාවේ රථ වාහන රක්ෂණ සහතිකය අනිවාර්යයද ඉකොනෝ? තුන්වැනි පාර්ශවයේ රථ වාහන රක්ෂණ තිබෙනවද?

    ඒ වගේම ඉකොනෝ එංගලන්තයේ අගමැතිතුමාට කොරෝනා නිසා අසාධ්‍ය නිසා බෝධි පුජාවක් තියා සනීප පාර්ථනා කරන්න කියලා මහනායක හාමුදුරුවෝ කිව්වා. ඇත්තටම එතුමාට අසාද්‍ය වෙලාද?

    ReplyDelete
    Replies
    1. //ඇමරිකාවේ රථ වාහන රක්ෂණ සහතිකය අනිවාර්යයද ඉකොනෝ? තුන්වැනි පාර්ශවයේ රථ වාහන රක්ෂණ තිබෙනවද?//

      අනෙක් පාර්ශ්වයේ හානි ප්‍රතිපූරණය කරන රක්ෂණ සහතිකයක් (ලංකාවේ විදිහට තුන්වැනි පාර්ශවයේ) අනිවාර්යයි. එහෙත්, රක්ෂණ වාරික නැති යම් පිරිසක්ද ඉන්නවා. ඇමරිකාවේදී කවදාවත් හේතුවක් නැතුව පොලීසියෙන් වාහනයක් නවත්වා ලයිසන්, ඉන්ෂුවරන්ස් බලන්නේ නැති නිසා මෙය කළ හැකියි. තමන්ට සිදු වන හානි ප්‍රතිපූරණය කර ගැනීම (පූර්ණ ආවරණයක්) අනිවාර්ය නැහැ. එහෙත්, මේ දෙකේ මිල පරතරය ලංකාවේ මෙන් විශාල නැහැ.

      මාධ්‍ය වාර්තා අනුව බොරිස් ජෝන්සන් අයිසීයූ දමා තිබෙනවා. ඔහුට ඔක්සිජන් ලබා දෙන බව වාර්තා වී තිබෙනවා.

      Delete
  4. මම නම් යන තරමක් යැවෙන්නේ අනුන්ගේ වාහනවල. (එයාලාට පින්- ගෙදරටම ඇවිත් එක්කගෙන ගිහින් ආපහු ගෙනල්ලත් ඇරලවනවා.) ඒත් සමහරු එකතු වුණාම බරට කතා වෙනවා මේ විෂය ගැන. අවාසනාවට එයාලා බ්ලොග්ස් කියවන අය නෙවෙයිනේ. නැතිනම් කියවන්න කියනවා!

    ReplyDelete
    Replies
    1. නිදී එතකොට ෆ්‍රී රයිඩර් කෙනෙක්! :)

      Delete
    2. සත්තෙන්ම.පිනට යන්නාට කියන වචනේ ෆ්‍රී රයිඩර්... එක ලස්සනයි. ගැම්මක් තියෙනවා.

      Delete
    3. ඔය ෆ්‍රී යන්න නොමිලේ කියන පරිවර්ථනය නිසා තමයි උසස් අධ්‍යාපනයට කෙලවුනේ. ෆ්‍රී කියන්නේ නිදහස් කියන එකයි.

      Delete
  5. ඉකොනෝ මහත්තයා ලංකාවේ රජයේ ඉහල පෙලේ නිලධාරීන් අදුරනවා නේද? ඇමරිකාවේ ආණ්ඩුවට උපදෙස් දෙන නිලධාරීන් ඉකොනෝ මහත්තයාගේ ගජ මිතුරන් කියලා කලින් ලිපියක ලියලා තිබ්බත් මතකයි.

    හැබැටම ඉකොනෝ මහත්තයෝ නන්දසේන ගොටබය මොකක්ද මේ කරන්න හදන්නේ එක දිගට බස්නාහිර පළාතට ඇඳිරි නිතිය දාලා. කෑම ටිකක් ,බේත් ටිකක් ගන්න වත් අපිට යන්න දෙන්නේ නැ එලියට. මෙච්චර දවසක් ඇඳිරි නිතිය දායි කියලා දන්නේ නැති නිසා හාල් එහෙම ගත්තෙත් නැ ගොඩක්. අනික සල්ලිත් නැනි ආපිට. අපිව හාමතේ මරන්නවත් ද සර් මේ හදන්නේ? අර ඉස්සර කාලේ යුදෙව්වෝව මැරුවා වගේ හිට්ලර්. ලංකාවේ හිට්ලර් මොලේ කොලොප්පන් වෙලා අපිව කොටු කරලා මරයිද සර්? අපි දැන් මොකක්ද කරන්නේ?

    ReplyDelete
    Replies
    1. ඇනෝ, මම ඔය ගජ මිතුරු ක්‍රමය ගැන විශ්වාසය තබන කෙනෙක් නෙමෙයි. ලංකාවේ සිටිද්දීත් එහෙමයි. ඇමරිකාවේ රජය වෘත්තිකයින්ගේ උපදෙස් ලබා ඒ අනුව කටයුතු කරනවා. මම දකින විදිහට ලංකාවේත් එය එසේම සිදු වෙනවා.

      Delete
    2. මමත් ඔය ගැන කතා කළා. වගකිවයුතු කිසිම කෙනෙකුගෙන් මෙතෙක් පිළිතුරක් නැහැ.

      ඊයේ හාල් සිල්ලර- එළවලු විකිණීම සඳහා 'මහරගම එක්තරා ග්‍රාම සේවක වසමක ගමනාගමනයට පමණක්' බලපතක් ලබාදී තිබුණු ලොරියක් පොලීසියෙන් උපදෙස් දීලා, කොට්ටාවට ටිකක් මෙහායින් තියෙන මහල්වරාව හන්දියෙන් දිගන පන්සල තියෙන පාරට යවලා තිබ්බා. ඒ එතෙක් එහාට සැපයුම් යවා නැති නිසා නේද?

      Delete
    3. එහෙමවත් කෙරෙන්නේ දූරදර්ශී පොලිස් නිලදරුවෙකු හිටියොත්, අකුරටම නීතිය කරවන්නේ නැති කෙනෙකු හිටියොත් විතරයි. අසරණ කෙනෙකුට දෙන රුපියල් 2000/ මොකක්ද දීමනාව තවම නොලද ගැහැණු කෙනෙකු ඉන්නවා. ග්‍රාමසේවක නෝනා (කොර අනිමින්- හැරමිටි ගහමින් යන) ඒ කාන්තාවට පෙරේදා කියලා 'මාරු සල්ලි නැහැ' කියලා. ගෙදරට ගෙනත් දෙන්නම් කිව්ව්වලු. තවම නම් මාරු කරගන්න ලැබිලා නැහැ වගෙයි.

      ගෙදරම ඉන්න මට මේවා ආරංචි වෙන විදිහට රටේ බලවතුන්ටත් ලැබෙනවා නම්....

      උන්නැහේලා තනි-තනිව නිරෝධායනේ වෙලා ඉන්න හින්දා tv බලන්නේ, ෆෝන්- කම්පියුටර් පාවිච්චි කරන්නේ නැහැ වගෙයි.

      Delete
    4. මෙහෙමයි ඇනෝ 1.55 සහ නිමල් අංකල් සරළවම කිවහොත් සිද්දිය මේකයි.

      දවසට සීය ගානෙ මරණ දකුණට ගෙනාපු යුද්දෙ නවත්තල, හයි වේ ටික හදල, වාහන වැඩියෙන් ගෙන්නල මධ්‍යම පංතිය පුළුල් කරල යම්තාක් දුරකට සංවර්ධනය කරල ගත්තට පස්සෙ අපි හැමෝටම ආවනේ රටේ නැති අමාරු ටිකක්. ඩිමොක්‍රසියි, හියුමන් රයිට්ස්, තොරතුරු දැනගැනීමේ ඇම්මයි, අරකයි මේකයි අම්මගෙ රෙද්දවල් ටික. හරියටම අර "අඹ විකුණල පෝසත් වෙලා කාර් එකක් ගන්න ප්ලෑන් කරපු මිනිහ, කාර් එක උඩට ගෙඩි වැටෙයි කියල අඹ ගහ කැපුව" වගේ තමන් විඳින මධ්‍යම පාංතික ආතල් එකේ පදනම වෙච්ච ආණ්ඩුව නැතුව ඩිමොක්‍රසියි, හියුමන් රයිට්ස් එහෙම විඳින්න ගිහිල්ල කෙළව ගෙන යන්තං නොමැරී බේරුනේ, සමහරු මැරිලත් ගියා.

      අද කතාවත් ඇවිල්ල ඕකම තමයි.

      සමස්තයක් විදියට ලෝකෙටම කෙළවෙලා ඉන්න අවධියක, වෙන කොහෙවත් නොකරපු විදියට ඇඳිරි නීතිය දාල, කඩවල් වස්සවල, පාරට එන්න නොදී කන්න බොන්න ටික පුළුවන් උපරිමයෙන් ගෙවල් වලට යවල, බෙහෙත් ටිකත් පුළුවන් විදියට යවල, ලෙඩ වෙච්ච උං හොය හොය ඉස්පිරිතාල වල දාගෙන, උන්ගෙ ළඟින් හිටපු උනුත් රජයේ වියදමින් කොරන්ටයින් කරල ලෝකෙ බහුතර රටවල් වලට සාපේක්ෂව මේක කන්ට්‍රෝල් කරගෙන සාපේක්ෂව ලොකු පාඩුවක් නැතුව ඉන්න දුන්නම, දැන් ආපු කැසිල්ල තමයි "අපි කෑවට එදිනෙදා හම්බ කරන මිනිහා කන්නෙ කොහොමද, මෙහෙම ඉඳල ආර්ථිකේට මොකක්ද වෙන්නෙ" කියන එක. අමතක කරන්න එපා, ඔය හැම ලබ්බම මතක් වෙන්නෙ ලෙඩ නොවී ගෙදරට වෙලා කාල බීල ටීවී එක බලාගෙන ඉන්න පුළුවන් පසුබිමක් තියන නිසා කියන එක. නිකං හරි ඒ පසුබිම නැති වෙලා වසංගතේ ගෙදර මිදුලට ආවම අන්න එදාට ඔය අති මානුශියත්වය දුම් දමන කාටත් වැදගත් වෙන්නෙ "අනුන්ගෙ බඩගින්න" නෙවෙයි තමන්ගෙ ජිවිතේ සහ "තමන්ගෙ වේදනාව". බොහොම ආදරෙන් කියන්නෙ, එක පාරක් කරගත්ත වගේ මෙදා පාරත් ඉල්ලං ටිංකිරි ගාගන්න හදන්න එපා. නන්දෙ සෑර්ලා කියන්නේ මහ නපුරු අමන ගෝත්‍රික වර්ගවාදී වැඩ කරන්න පුළුවන් කට්ටිය තමයි.

      Delete
    5. //බොහොම ආදරෙන් කියන්නෙ, එක පාරක් කරගත්ත වගේ මෙදා පාරත් ඉල්ලං ටිංකිරි ගාගන්න හදන්න එපා. නන්දෙ සෑර්ලා කියන්නේ මහ නපුරු අමන ගෝත්‍රික වර්ගවාදී වැඩ කරන්න පුළුවන් කට්ටිය තමයි.//

      හීනියට තගක්ද දාන්නේ, ඇනෝ?

      Delete
  6. ඉකොනො ඔයාට ලියන්න තවත් පොයින්ට් එකක් ගැන හින්ට් එකක් දෙන්නම්, දැන් බලන්න ලංකාව ගත්තත් පට්ටම ඉනොවේටිව් කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් ඉන්නවා.
    අවුරුදු 15 පුංචි පොඩි එකාගේ ඉඳන් විශ්ව විද්‍යාල ශිෂ්‍යා දක්වා පට්ට කන්සෙප්ට් තියෙන උන්,කොරෝනා වෙනුවෙන් තමන්ට ඇති හැකි අයුරින් දායක වෙනවා. උන් හැමෝම උන්ගේ උපන් රටට ආදරෙයි.
    කාලකණ්නි දේශපාලුවෝ උන්ගේ මඩි තර කරගන්න,එහෙම කොල්ලන්ට,කෙල්ලන්ට උඩට එන්න අවශ්‍ය වටපිටාව හදන්නේ නැහැ කියල බහුතරයක් දෙනා හිතනවා. ඉතින් උන් ලත් තැනම ලොප් වෙනවා කියලාත් හිතන්ඉන්නේ
    මේ කාලකණ්නි සිස්ටම් එක නිසා,උන් ඉපදුනු රටටම වෛර කරන්න පටන්ගන්නවා කියලා කියන්නේ පෞද්ගලිකවම මටත් එහෙම වෙලා තියෙන නිසා. මේ ගැන දීර්ඝ වශයෙන් විස්තර කරල පෝස්ට් එකක් දාන්න පුළුවන් නේද?

    ReplyDelete
  7. A 'Brilliant' talk -

    https://www.economist.com/open-future/2020/04/04/how-society-can-overcome-covid-19

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: