වෙබ් ලිපිනය:

Sunday, May 24, 2020

මුලින්ම වතුරට පනින්නේ කවුද?


විසි තුන් හැවිරිදි තරුණියක් පසුගිය 21 වෙනිදා සිය දිවි හානි කර ගැනීමේ අරමුණින් ඉහළ කොත්මලේ ජලාශය හරහා ඉදිකර තිබෙන දුම්රිය පාලම මතින් ජලාශයට පනිනවා. මේ බැව් දකින බොහෝ දෙනෙක් අතරින් එක් අයෙක් වන හමීඩ් රිස්වාන් තරුණියව බේරා ගැනීමේ අදහසින් ජලාශයට පනිනවා. තරුණියව බේරා ගැනීමට දරන උත්සාහය අතරතුරේදී හමීඩ් රිස්වාන් දියේ ගිලී මිය යනවා. ඒ අතර වෙනත් අයෙකු (තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති රුවන් ප්‍රනාන්දු) වතුරට පැන තරුණියව බේරා ගන්නවා.

මාධ්‍ය වාර්තා අනුව, සියදිවි නසාගැනීමට තැත් කර තිබෙන්නේ දෙමළ හින්දු තරුණියක්. ඇගේ නම මාධ්‍ය වාර්තා වල ඇතත් නම වැදගත් නැති නිසා අපි ඇයව තරුණිය ලෙසම හඳුන්වමු. එහෙත්, ඇගේ දෙමළ හින්දු අනන්‍යතාවය මෙහි කතා කරන මුඛ්‍ය කරුණකට අදාළ නිසා මා ඒ කොටස ඉවත් කරන්නේ නැහැ.

තරුණිය සිය දිවි නසාගැනීමට පෙළැඹී තිබෙන්නේ ඇගේ පෙම් සබඳතාවයකට ගෙදරින් විරුද්ධ වී ඇයව වෙනත් අයෙකුට විවාහ කර දීමට උත්සාහ ගැනීම නිසයි. මේ හේතුව මත ඇගේ පෙම්වතාද සිය දිවි හානි කරගෙන තිබෙනවා. ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබී ඇත්තේ ඇය සිය දිවි නසා ගැනීමට උත්සාහ කළ පසුගිය 21 දිනයි.

මේ පුවතට වැඩි අවධානයක් යොමු වුනේ හමීඩ් රිස්වාන් නම හා බැඳී තිබෙන මුස්ලිම් අනන්‍යතාවය නිසයි. පසුව අවධානයට ලක් වී ඇති තොරතුරු අනුව රිස්වාන්ගේ පියා මුස්ලිම් අයෙකු වුවත් මව සිංහල කාන්තාවක්. දෙමළ කතෝලික තරුණියක හා විවාහ වී සිට ඇති ඔහු තමන්ගේ දරුවන්ට ලබා දී තිබෙන්නේ සිංහල බෞද්ධ අධ්‍යාපනයක්.

මේ කරුණු අනුව පෙනෙන ආකාරයට රිස්වාන් කියා කියන්නේ ජාති, ආගම් භේද වලට ලොකු වටිනාකමක් නොදුන් පවුල් පසුබිමකින් පැවත එන හා තමන් විසින්ද ජාති, ආගම් භේද වලට ලොකු වටිනාකමක් නොදුන් අයෙක්. අනෙක් අතට සිය දිවි නසා ගන්න උත්සාහ කළ තරුණියගේ පෙම්වතා සමඟ විවාහ වීමට ඇගේ නිවසින් අනුමැතිය නොලැබෙන්න ඇත්තේ ජාති, ආගම්, කුල භේදයක් නිසා, සමාජ ආර්ථික හේතුවක් නිසා හෝ වෙනත් නොගැලපීමක් නිසා වෙන්න ඇති. හේතුව කුමක් වුවත් තරුණියගේ තේරීමට ඇගේ දෙමවුපියන් ඉඩ දී නැහැ.

දැන් අපි දින දෙකකට පෙර සාකච්ඡා කළ ජීවිතයක වටිනාකම කියන සංකල්පය වෙත නැවත යොමු වෙමු. එහිදී අපි කතා කළේ කිසියම් රටක පුද්ගලයෙකුගේ ජීවිතයක සාමාන්‍ය වටිනාකම පිළිබඳ ඇස්තමේන්තුවක් හදාගන්නා සම්මත ක්‍රමවේද පිළිබඳවයි. නමුත්, රටේ සෑම කෙනෙකුගේම ජීවිත සමානව වටිනා බවක් එයින් අදහස් වන්නේ නැහැ. ඒ වගේම, කිසියම් පුද්ගලයෙකුගේ ජීවිතයේ වටිනාකම එක දිගටම ස්ථිර මට්ටමක තිබෙන දෙයක් කියා එයින් අදහස් වන්නේත් නැහැ. ජීවිතයක වටිනාකම මිල කළ නොහැකි තරම් අසීමිත නොවුනත්, එම වටිනාකම සංකල්පීය ලෙස හෝ අර්ථ දැක්විය හැක්කේ කිසියම් මොහොතකට හා කිසියම් නිශ්චිත පුද්ගල ජීවිතයකට අදාළවයි.

වඩාත්ම වැදගත් කරුණ මේ දෙකම නෙමෙයි. කිසියම් මොහොතක හා කිසියම් නිශ්චිත පුද්ගල ජීවිතයක වටිනාකම වුවත් වටිනාකම තක්සේරු කරන පුද්ගලයා අනුව වෙනස් වෙනවා. මට මගේ ජීවිතයේ වටිනාකම වෙනත් අයෙකු මගේ ජීවිතයට දෙන වටිනාකමම නෙමෙයි.

ගොඩක් වෙලාවට බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතය වෙනත් අයෙකුගේ ජීවිතයට වඩා වැඩියෙන් මිල කරනවා. ලෝකයේ හැම සමාජයක්ම වගේ කිසියම් පුද්ගලයෙකුට තමන්ගේ ජීවිතය වෙනත් අයෙකුගේ ජීවිතයට වඩා වැඩියෙන් මිල කරන්න තිබෙන අයිතිය පිළිගන්නවා. තමන්ගේ ජීවිතය අවදානමට ලක් වී ඇති අවස්ථාවක තමන්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා අනෙකෙකුගේ ජීවිතයට හානියක් කරන්න නීතියෙන් ඇතැම් විට ඉඩ ලැබෙන්නේ ඒ නිසයි. එහෙත්, මේ අයිතියට සීමාවන් තිබෙනවා. මුහුදේ බෝට්ටුවක අතරමං වී සිටින දෙදෙනෙකුගෙන් අයෙකුට ආහාර නැති කමින් මිය යාම වලක්වා ගන්න අනෙකාව මරාගෙන කන්න අයිතියක් නැහැ.

බොහෝ දෙනෙකු බොහෝ විට අනෙකාගේ ජීවිතයටත් සැලකිය යුතු වටිනාකමක් දෙනවා. තමාගේ හැර අනෙක් සියලු දෙනාගේම ජීවිත තේරුමක් නැති ජීවිත කියා හිතන අය දැකිය හැක්කේ ඉතාම කලාතුරකින් පමණයි. එහෙත්, එයින් අදහස් වන්නේ අනෙක් සියලු දෙනාගේම ජීවිත සමානව වටින බව බොහෝ දෙනෙකු විසින් පිළිගන්නවා කියන එක නෙමෙයි. බොහෝ දෙනෙකුට තමන්ගේ පවුලේ, නෑදෑයින්ගේ, යාළුවන්ගේ ජීවිත නොදන්නා අයගේ ජීවිත වලට වඩා වටිනවා. බොහෝ දෙනෙකු විසින් තමන් අයත් ජාතියට, ආගමට, කුලයට, දේශපාලන පක්ෂයට හෝ සමාජ පංතියට අයත් අයගේ ජීවිත වෙනත් අයගේ ජීවිත වලට වඩා වටිනා සේ සලකන එක දුලබ දෙයක් නෙමෙයි.

මේ අතර, තමන්ගේ ජීවිතයට වඩා වෙනත් අයෙකුගේ ජීවිතයක් වඩා වටිනා බව හිතන අයත් ඉන්නවා. විශේෂයින්ම කලාකරුවන්, දේශපාලනඥයින් වැනි අයගේ අනුගාමිකයින් අතර එසේ සිතන අය ඉන්නවා.

කිසියම් පුද්ගලයෙකු විසින් ස්ව කැමැත්තෙන් ජීවිතය හානි කර ගැනීමට පෙළඹෙන්නේ තමන්ගේ ජීවිතය තමන්ටම නොවටිනා සේ හැඟී ගිය විටයි. කතානායිකා තරුණිය වෙනත් අයෙකු හා විවාහ වනු දැක දැක ජීවත් වන්නට සිදු වේනම් තමන්ගේ ජීවිතයේ කිසිදු වටිනාකමක් නැති බව ඇගේ පෙම්වතාට හිතෙන්න ඇති. පෙම්වතා මිය යාමෙන් පසුව වෙනත් අයෙකු හා විවාහ වී ගෙවන ජීවිතයක කිසිදු වටිනාකමක් නැති බව තරුණියට දැනෙන්න ඇති.

මේ විදිහට සිය දිවි හානි කර ගන්න උත්සාහ කරන අයෙකුව වලක්වන්න අනෙක් අය උත්සාහ කරන්නේ ඇයි? එය අනවශ්‍ය ලෙස පුද්ගල නිදහසට බාධා කිරීමක් නෙමෙයිද?

සියදිවි නසාගන්න උත්සාහ කරන කෙනෙක් ඒ මොහොතේ තමන්ගේ ජීවිතයේ වටිනාකම ශුන්‍ය සේ සැලකුවත් අනෙක් අය ඒ විදිහට හිතන්නේ නැහැ. ඔවුන්ට ඒ නැති වෙන්න යන ජීවිතයේ යම් වටිනාකමක් පෙනෙනවා. සිය දිවි හානි කර ගැනීමේ උත්සාහය වළක්වන්න වෙනත් අය ඉදිරිපත් වෙන්නේ ඒ නිසයි.

වෙනත් අය මැදිහත් වී සිය දිවි හානි කර ගැනීමේ උත්සාහයක් වැළැක්වීමෙන් පසුව නැවත ජීවිතය ලබන බොහෝ දෙනෙක් පසුව ඒ වෙලාවේ හදිසි වී ගත් තීරණය ගැන පසු තැවෙනවා. එසේ නොවන අවස්ථා තිබුණත්, බොහෝ විට එවැනි අයෙකු දිගින් දිගටම තමන්ට ජීවිතය හානි කර ගන්න ඉඩ නුදුන් අයට දොස් කියන්නේ නැහැ. ස්තුතිවන්ත වෙනවා. මේ පදනමින් සිය දිවි හානි කර ගැනීමට ක්ෂණිකව ඇති වන සිතුවිල්ලක් වෙනත් අයගේ උදවු අවශ්‍ය වන රෝගී තත්ත්වයක් සේ සැලකිය හැකියි. එහෙත්, හොඳින් හිතා මතා අනායාස මරණයක් (euthanasia) තෝරා ගන්නා අයෙකු සම්බන්ධවනම් තත්ත්වය වෙනස්.

පුද්ගලයෙක් හැම වෙලාවකම තමන්ගේ ජීවිතය කැමැත්තෙන් විනාශ කර ගන්නේ ජීවිතයේ වටිනාකම ශුන්‍ය සේ සලකන නිසාමද? එසේනම් දේශපාලනික අරමුණු වෙනුවෙන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් ගැන කියන්න තිබෙන්නේ කුමක්ද?

මෙවැනි ගොඩක් අය මරණයෙන් මතු ජීවිතයක් ගැන විශ්වාසය තබන අයයි. ඔවුන්ට මේ ජීවිතයේ වටිනාකමක් තිබුණත්, මරණයෙන් මතු අපේක්ෂිත ජීවිතයේ වටිනාකමට සාපේක්ෂව මේ ජීවිතය අත් හැර දැමීමේ ආවස්ථික පිරිවැය අඩුයි.

එසේනම් මතු භවයක් ගැන විශ්වාසයක් නැති නිරාගමික දේශපාලන ක්‍රියාකාරීන් ගැන කියන්න තිබෙන්නේ කුමක්ද? එවැනි අය බොහෝ විට කරන්නේ ජීවිතය අහිමි වීමේ අවදානමට මුහුණ දීම මිස සිය දිවි හානි කර ගැනීමක් නෙමෙයි. යුද හමුදා සාමාජිකයෙකු වුවත් එහෙමයි. ඔවුන් කැමැත්තෙන් ගන්නා ඉහළ අවදානම තුළ මිය යාමේ ඉඩකඩ ඉහළ යනවා මිස කිසි කෙනෙක් මිය යාමේ අරමුණින් යුද්ධ කරන්නේ නැහැ.

දියේ ගිලී මිය යන්න යන නාඳුනන තරුණියක් බේරා ගන්න දෙවරක් නොහිතා වතුරට පනින හමීඩ් රිස්වාන් වගේ තරුණයෙක් එසේ කරන්නේත් මැරෙන්න බලාගෙන නෙමෙයි. අනිවාර්යයෙන්ම මැරෙනවා කියා දන්නවානම් ඔහු වතුරට පනින්නේ නැහැ. ඔහු කරන්නේ මිය යාමට ඉඩ ඇති නාඳුනන තරුණියගේ ජීවිතයේ වටිනාකම වෙනුවෙන් අවදානමක් ගැනීමයි.

මේ ආකාරයෙන් වෙනත් අයෙකුගේ ජීවිතයක් බේරා ගැනීමට තමන්ගේ ජීවිතය අවදානමේ හෙළන කෙනෙක් තමන්ගේ ජීවිතයට සාපේක්ෂව අනෙකාගේ ජීවිතයට කොපමණ වටිනාකමක් දෙනවාද?

තමන්ගේ ජීවිතයට තමන් දෙන වටිනාකම A ලෙසත්, අනෙකාගේ ජීවිතයට තමන් දෙන වටිනාකම B ලෙසත් හිතමු. මේ වගේ ක්‍රියාවක් දෙස බලා A සහ B සසඳන්නනම් අපට තවත් කරුණු දෙකක් දැන ගන්න වෙනවා. පළමු කරුණ මේ විදිහට වතුරට පැන ජීවිතය බේරා ගන්න කිසියම් තිබෙන පුද්ගලයෙකුට තිබෙන හැකියාවයි. සම්භාවිතා අගයක් ලෙස අපි මෙය q ලෙස ගනිමු. දෙවැන්න, මේ කටයුත්තේදී ජීවිතය බේරාගන්න ඉදිරිපත් වන පුද්ගලයා සිතන ආකාරයට ඒ පුද්ගලයාගේ ජීවිතය හානි වෙන්න තිබෙන සම්භාවිතාවයි. අපි එම අගය p කියා කියමු.

දැන් යමෙක් දියේ ගිලී මිය යන්න යන කොට පැත්තකට වී සිටින කෙනෙකු ඉදිරිපත් වී එම ජීවිතය බේරා ගැනීමෙන් එසේ ජීවිතය බේරාගන්න ඉදිරිපත් වන පුද්ගලයා ලබන වාසිය B*q. එහි පිරිවැය A*p. ඒ අනුව, කිසියම් පුද්ගලයෙකු ජීවිතය බේරා ගන්න වතුරට පනිනාවද කියන එක තීරණය වෙන්නේ B*q - A*p අගය බිංදුවට වඩා වැඩිද නැද්ද කියන එක මතයි.

මෙයින් කියන්නේ ඔය වගේ වෙලාවක වතුරට පනින කෙනෙක් ඊට කලින් ඔය වගේ ගණනය කිරීමක් කරලා වතුරට පනිනවද නැද්ද යන්න තීරණය කරන බව නෙමෙයි. ඔයිට වඩා වෙනස් විවිධ තීන්දු ගනිද්දීත් මිනිස්සු බොහෝ විට ලාබ අලාබ ගණනය කර කර ඉන්නේ නැහැ. එහෙත්, එහෙම ක්ෂණිකව හිතා හෝ කාලයක් සැලසුම් කර ගන්නා තීරණ මේ වගේ ආකෘතියක් යොදාගෙන පැහැදිලි කරන්න පුළුවන්. ආකෘතියකින් කරන්නේ ඒකයි. හරියට කලින් ගණන් හදා වේගය සැලසුම් කර නොගෙන පොල් ගෙඩියක් බිම වැටෙන ආකාරය ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය ඇසුරෙන් පැහැදිලි කරනවා වගේ.

අපි හිතමු p = 0 යි කියා. ඒ කියන්නේ මෙහි කිසිම ජීවිත අවදානමක් නැහැ. ඔය පැත්තක සිට කඹයක් දැමීම, උදවු ඉල්ලා කෑ ගැසීම වගේ දෙයක් කියමු. නමුත්, q > 0.  මේ අවස්ථාවේදී  A*p = 0 නිසා B*q - A*p අගය බිංදුවට වඩා වැඩි නොවන්නේ B = 0 නම් පමණයි. ඔය වගේ දෙයක්වත් නොකර කවුරු හෝ අහක බලාගෙන යනවානම් ඒ පුද්ගලයාට අනෙකාගේ ජීවිතයේ කිසිම වටිනාකමක් නැහැ.

හැබැයි ඔය වගේ වෙලාවක කෙනෙක් වතුරට පනින්නේ නැහැ කියන එකෙන් එවැන්නෙක් අනෙකාගේ ජීවිතයේ වටිනාකම නොසලකා හරිනවා කියා අදහස් වෙන්නේ නැහැ. එය අනෙකා වෙනුවෙන් දැනෙන සහකම්පනය මත වගේම A, q සහ p කියන අගයයන් තුන මතත් තීරණය වන දෙයක්.

පීනන්න නොදන්නා කෙනෙකුගේ p අගය ගොඩක් වැඩියි. q අගයත් සාපේක්ෂව වැඩියි. p අගය එකට ආසන්නව තියද්දී, ඒ කියන්නේ මැරෙන බව ස්ථිරව දැනගෙනම, කෙනෙක් වතුරට පනිනවානම් එයින් අදහස් වෙන්නේ ඒ පුද්ගලයා අනෙකාගේ ජීවිතයට දෙන වටිනාකම තමන්ගේ ජීවිතයට දෙන වටිනාකමටත් වඩා වැඩියි කියන එකයි.

ගොඩක් වෙලාවට කිසියම් පුද්ගලයෙකු ඔය වගේ වෙලාවක වතුරට පනින හෝ නොපනින එක තීරණය වෙන්නේ අනෙකාගේ ජීවිතයට දෙන වටිනාකමට (B අගයට) වඩා තමන්ට සාපේක්ෂව එහි ඇති අවදානම (p අගය) හා ඵලදායීත්වය (q අගය) වෙනස් වන ආකාරය අනුවයි. අපි හිතමු තමන්ගේ ජීවිතයේ වටිනාකම (A අගය) මිලියන 100ක් කියලා. අනෙකාගේ ජීවිතයේ වටිනාකමත් (B අගය) මිලියන 100ක්. වතුරට පැනීමේ ජීවිත අවදානම 50%ක්. ඒ කියන්නේ p = 0.5යි. අවදානමක් ගෙන වතුරට පැනීමෙන් අනෙකාගේ ජීවිතය බේරගන්න හැකි වීමේ සම්භාවිතාව 25%ක්. ඒ කියන්නේ q = 0.25යි. මෙහිදී මේ පුද්ගලයා විසින් අනෙකාගේ ජීවිතයට තමන්ගේ ජීවිතයට දෙන වටිනාකමටම සමාන වටිනාකමක් දුන්නත් B*q - A*p = 100 x 0.25 - 100 x 0.5 = -25 < 0 නිසා ඔහු වතුරට පනින්නේ  නැහැ. ඒ නිසා, අනෙකාගේ ජීවිතය තමන්ගේ ජීවිතය තරමටම අගය කළ පමණින් පමණක් කෙනෙක් කවදාවත් ජීවිතයක් බේරා ගන්න වතුරට පනින්නේ නැහැ.

අනෙක් අතට අපි හිතමු පුද්ගලයෙක් අනෙකාගේ ජීවිතයට දෙන වටිනාකම මිලියන දෙකක් පමණයි කියා. තමන්ගේ ජීවිතයේ වටිනාකම මිලියන 100යි. ඒ කියන්නේ අනෙකාගේ ජීවිතයට දෙන්නේ සාපේක්ෂව ඉතාම අඩු වටිනාකමක්. නමුත්, මේ පුද්ගලයාට තමන්ගේ පිහිනීමේ දක්ෂතාවය පිළිබඳව විශාල විශ්වාසයක් තිබෙනවා. ඔහුට අනුව, මේ වැඩෙන් තමන්ගේ ජීවිතය හානි වෙන්න තිබෙන ඉඩකඩ 1%ක් පමණයි. අනෙක් ජීවිතය බේරාගන්න හැකි වීමේ ඉඩකඩ 75%ක් . ඒ කියන්නේ p = 0.01 සහ q = 0.75. දැන් B*q - A*p = 2*0.75 - 100 x 0.001 = 0.5 > 0. ඒ නිසා, මේ පුද්ගලයා වතුරට පනිනවා. නමුත්, අනෙකාගේ ජීවිතයට තමන්ගේ ජීවිතයට තරම්ම හෝ ඊටත් වැඩි වටිනාකමක් දෙන වෙනත් බොහෝ අය පාලම උඩට වී බලා ඉන්නවා.

මේ හේතුව නිසා කවුරු හෝ දියේ ගිලී මැරෙන්න යන කොට මුලින්ම වතුරට පනින්නේ අනුන්ගේ ජීවිත ගැන වැඩියෙන්ම සංවේදී, වැඩිම සහකම්පනයක් දැනෙන පුද්ගලයා කියා නිශ්චිතව කියන්න බැහැ. බොහෝ විට එසේ වතුරට පනින්නේ තමන් විසින් ගන්නා ජීවිත අවදානම පිළිබඳව අඩුම තක්සේරුවක් තිබෙන හා කරන්න යන වැඩේ සාර්ථකත්වය පිළිබඳ වැඩිම විශ්වාසයක් තිබෙන පුද්ගලයා. ඒ කියන්නේ තමන්ගේ පිහිනීමේ කුසලතාවය පිලිබඳව වැඩිම විශ්වාසයක් තිබෙන පුද්ගලයා.

ඒ නිසා, මේ වගේ වෙලාවක වතුරට පනින මිනිස්සු වැඩි වැඩියෙන් බිහි කරගන්න අවශ්‍යනම් එය කළ හැකි හොඳම ක්‍රමය වන්නේ සහකම්පනය වර්ධනය කරන්න උත්සාහ කරන එක නෙමෙයි. ඒ වැඩේට මහන්සි වුනා කියා බොහෝ විට අවශ්‍ය කටයුත්ත සිදු වෙන්නේ නැහැ. කළ යුත්තේ මේ වගේ කටයුත්තකට ඉදිරිපත් වීමේ ජීවිත අවදානම අඩු කෙරෙන හා ඵලදායීත්වය වැඩි කරන කුසලතා වර්ධනය දිරිගන්වන එකයි. එය වඩා පහසුවෙන් කළ හැකි දෙයක්.

14 comments:

  1. ජිවිත රක්ෂණ සමාගම් මිනිසුන්ගේ ජිවිත වල වටිනාකම තක්සේරැ කරන්නේ කොහොමද? ධනවත්, වැඩිපුර රක්ෂණ මුදලක් ගෙවන්න පුළුවන් අයගේ ජිවිත වල වටිනාකම වැඩි විදියට නේද? රථවාහන රක්ෂණ වලදී අනතුරකදී මිය යන කෙනෙක්ට ගෙවන වන්දිය සමාගම් තීරණය කරන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. රක්ෂණ මාතෘකාවට ඉදිරියේදී එන්න බලාපොරොත්තු වෙනවා. එවිට ටිකක් දීර්ඝ ලෙස පැහැදිලි කරන්නම්. රක්ෂණ මූලධර්ම අනුව රක්ෂණ ගිවිසුමකට යන කිසියම් පුද්ගලයෙකුට සිදු විය හැකි හානියකදී ලබා ගත හැකි උපරිම වන්දි මුදල තීරණය වෙන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව. කොන්දේසි තීරණය වන්නේ ගිවිසුම මිල දී ගන්නා පුද්ගලයාගේ කැමැත්ත (හා වෙනත් කරුණු) මත. ඒ අනුව, මා මිය ගියොත් පවුලේ අයට ලැබිය යුතු වන්දිය රුපියල් ලක්ෂයද නැත්නම් මිලියනයද කියන එක තීරණය කරන්නේ මමයි. එය මා මගේ ජීවිතය මිල කරන අගය නෙමෙයි. මගේ ජීවිතය නැති වීමේ හානියෙන් මා විසින් සැලසුම් සහගතව අඩු කරගන්නා කොටසක් පමණයි. වෙනත් ශාරීරික හෝ දේපොළ හානියකදී වුනත් එහෙමයි.

      මේ ගණන තීරණය කළාට පස්සේ රක්ෂණ සමාගම විසින් කරන්නේ අදාළ වන්දි මුදල ගෙවන්න සිදු වීම නිසා රක්ෂණ සමාගමට සිදු වන අපේක්ෂිත හානිය ඇස්තමේන්තු කර ඒ අනුව රක්ෂණ වාරිකයේ මිල තීරණය ක‍රන එකයි. අපි හිතමු ඉදිරි වසර තුළ මා මිය ගියොත් මට රුපියල් මිලියනයක වන්දියක් අවශ්‍ය බව මම තීරණය කරනවා. රක්ෂණ සමාගමේ ඇස්තමේන්තු අනුව ඉදිරි වසර තුළ මා මිය යන්න තිබෙන සම්භාවිතාව 1%යි කියා. ඒ කියන්නේ මට සමාන මිය යාමේ අවදානම් තිබෙන 100 දෙනෙක් හරියටම මේ විදිහේ (රුපියල් මිලියනයේ) රක්ෂණ ගිවිසුම් අත්සන් කළොත් ඒ 100 දෙනාගෙන් කවුරු හෝ එක් අයෙක් වසර තුළ මිය යනවා. රක්ෂණ සමාගමට රුපියල් මිලියනයක් වන්දි සේ ගෙවන්න සිදු වෙනවා. ඒ නිසා රක්ෂණ සමාගමට පාඩු නොවෙන්නනම් එම රුපියල් මිලියනය වාරික වලින් එකතු විය යුතුයි. ඒ නිසා, මගේ (එක් අයෙකුගේ) වාරික මුදල රුපියල් 1,000,000 x 1% = රුපියල් 10,000ක් විය යුතුයි.

      ජීවිත අවදානම අඩු අයෙකුගේ වාරික මුදල අඩුයි. වැඩි අයෙකුගේ වාරික මුදල වැඩියි. ඒ වගේම මට අවශ්‍ය උපරිම වන්දිය අඩුනම් වාරිකයත් අනුපාතිකව අඩුයි. වැඩිනම් වැඩියි.

      දැන් හරියටම මේ මුදල වාරිකය ලෙස අය කර ගත්තොත් රක්ෂණ සමාගම එක පැත්තකින් වාරික සේ ලබා ගන්නා මුදල් අනික් පැත්තෙන් වන්දි සේ ගෙවනවා මිසක් කිසිදු මුදලක් ඉතිරි වෙන්නේ නැහැ. එහෙම කරලා රක්ෂණ සමාගමේ සේවක පඩිනඩි ඇතුළු වියදම් පියවගන්න බැහැ. ඒ නිසා ඒ වෙනුවෙන් මේ විදිහට ගණන් හදන වාරික මුදලට තව යම් මුදලක් එකතු කරනවා. සමාගමේ ලාබ වෙනුවෙන්ද මුදලක් එකතු කරනවා. ඒ අමතර මුදල රක්ෂණ පාරිභෝගිකයාගේ පැත්තෙන් තමන්ගේ අනාගත අවදානම අඩු වීමේ වාසිය වෙනුවෙන් ගෙවන මුදලක්. (මුල් කොටස සෘජු හානි පූරණයේ වටිනාකමයි).

      වාහන අනතුරකදී මිය යන තෙවන පාර්ශවයක් කියන්නේ මේ ගිවිසුමේ ප්‍රධාන පාර්ශ්වයක් නෙමෙයි. තෙවන පාර්ශ්වය කියන වචනය යොදන්නේම ඒ නිසා. මිය යන පුද්ගලයා රක්ෂණ වාරිකයට දායක වී නැහැ. ඒ නිසා රක්ෂණ සමාගමට ඒ පිළිබඳ සෘජු වගකීමක් නැහැ. මිය ගිය පුද්ගලයාගේ ජීවිතයේ වටිනාකම පිළිබඳ කලින් ඇති කරගත් එකඟතාවයක්ද නැහැ.

      අපි හිතමු අනතුර සිදු කළේ A පාර්ශ්වය රක්ෂණ සමාගම B පාර්ශ්වය හා අනතුරට ලක් වුනේ C පාර්ශ්වය කියලා. දැන් රක්ෂණ ගිවිසුම තියෙන්නේ A පාර්ශ්වය හා B පාර්ශ්වය අතර. හානිය සිදු වී තිබෙන්නේ C පාර්ශ්වයට. හානිය සිදු කර තිබෙන්නේ A පාර්ශ්වය විසින්. ඒ නිසා හානි පූරණ වන්දියක් ගෙවිය යුත්තේ A පාර්ශ්වය විසින් C පාර්ශ්වයටයි. B පාර්ශ්වය හෙවත් රක්ෂණ සමාගම පැත්තක ඉන්න තෙවන පාර්ශ්වයක්.

      මේ අවස්ථාවේදී C පාර්ශ්වයට සිදු වූ හානිය (මිය ගිය ජීවිතයේ වටිනාකම) ඇස්තමේන්තු කර ඒ වෙනුවෙන් ගෙවිය යුතු වන්දි මුදල තීරණය කරන එක රටේ නීතියට අයත් කාර්යයක්. එය රක්ෂණ ගිවිසුමට සම්බන්ධ දෙයක් නෙමෙයි. එම හානිය හා වන්දි මුදල උසාවියෙන් තීරණය කර C පාර්ශ්වයට ගෙවන ලෙස A පාර්ශ්වයට නියෝග කළ විට එය A පාර්ශ්වයට මුහුණ දෙන්න සිදු වන අනපේක්ෂිත හානියක් බවට පත් වෙනවා. A පාර්ශ්වය විසින් කලින් රක්ෂණ වාරිකයක් ගන්නේ එම අවදානමෙන් ගැලවෙන්නයි. එවිට A පාර්ශ්වය වෙනුවෙන් අදාළ වන්දි මුදල රක්ෂණ සමාගම හෙවත් B පාර්ශ්වය විසින් වින්දිතයා වන C පාර්ශ්වයට ගෙවනවා.

      එසේ ගෙවන උපරිම වන්දි මුදල තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුවයි. යම් හෙයකින් උසාවි නියෝගය අනුව ඊට වඩා වැඩි වන්දියක් වින්දිතයාට ගෙවන්න සිදු වුවහොත් එය අනතුර සිදු කළ A පාර්ශ්වයේ සෘජු වගකීමක් මිසක් රක්ෂණ සමාගමේ වගකීමක් නෙමෙයි. රක්ෂණ සමාගම බැඳී ඉන්නේ ගිවිසුම අනුව එකඟ වී ඇති මුදල ගෙවන්න පමණයි. ඒ වගේම ගෙවිය යුතු හානි පූරණ වන්දිය (නැති වූ ජීවිතයේ වටිනාකම) තීරණය කරන්නේ රටේ නීති පද්ධතිය විසින්.

      Delete
    2. මලා තමයි..ඉකොනො..එතකොට A පාර්ශ්වයට ගෙවා ගන්න බැරි ගානක් අධිකරණය විසින් තීරණය කලත් ( එම මුදල x නම්), B පාර්ශ්වය විසින් y ප්‍රමාණයක් හෝ ගෙවනවා නේද? එතකොට හිඟ ප්‍රමාණය වන (x-y) ප්‍රමාණය A ට ගෙවා ගන්න බැරිනං A ව හිරේට දානවාද?

      (අනියම් මිනී මැරුම් චෝදනාවක් ගොනු නොවුනත්)
      CP-C

      Delete
    3. මෙය ඉතාම වැදගත් ප්‍රශ්නයක්. බොහෝ විට වාහනය පාරට දමන්න කිසියම් අවම රක්ෂණයක් අවශ්‍යයි. තෙවන පාර්ශ්වයකට සිදුවන හානියකදී රක්ෂණ සමාගම විසින් කළ යුතු හානි පූරණය පිළිබඳ අවම නීතිමය සීමාවක් එහි තිබෙනවා. අපේ ප්‍රාන්තයේ මේ සීමාව ඩොලර් 25,000ක්. ඒ කියන්නේ ඒ මුදල හානි පූරණය කරන රක්ෂණ ආවරණයක් මිල දී ගැනීම නීතිය අනුව ප්‍රමාණවත්. නමුත්, ඔබ දන්නවනේ අධිවේගී මාර්ගයක වාහන අනතුරක් සිදුවන විට වැලට වාහන ගොඩක් හැප්පෙනවා. ඔය වගේ වෙලාවක නීතියෙන් නියම කරන වන්දිය ඔය මුදල වගේ කිහිප ගුණයක් වෙන්න පුළුවන්. ඒ නිසා, වැඩි මිලක් ගෙවා ඉහත සීමාව මීට වඩා ගොඩක් වැඩි රක්ෂණ ආවරණයක් මිල දී ගන්න එක කෝකටත් ඇඟට ගුණයි. එහෙම කළත් ගෙවිය යුතු වන්දිය රක්ෂණ ආවරණයේ සීමාව ඉක්මවන්න පුළුවන්. මේ වගේ වෙලාවක අතින් ගෙවන්න වෙනවා. සිවිල් නඩුවකදී බොහෝ විට සිර දඬුවම් නියම කරනවා වෙනුවට වන්දිය අය කර ගන්නයි උත්සාහ කරන්නේ. ඒ නිසා බොහෝ විට සිදු වෙන්නේ තමන්ගේ තිබෙන මොනවා හෝ දේපොලක් විකුණා වන්දි මුදල ගෙවන්නයි. දේපොළ කිසිවක් නැත්නම් Bankruptcy ෆයිල් කරන්න පුළුවන්. හිරේ වැටෙන්න වුවත් යම් ඉඩක් තිබෙනවා.

      කැනඩාව හා අදාළව මේ උපදෙස් බලන්න.

      https://www.economical.com/en/blog/economical-blog/february-2018/what-is-third-party-liability-insurance

      Auto insurance liability coverage

      Each province has its own minimum liability limit that’s required for all drivers, but the cost of a lawsuit can quickly exceed this minimum limit — so you may want to consider increasing your own liability limit just to be safe. It’s generally recommended to have a liability limit of at least $1 million on your car insurance policy.Carrying enough liability coverage on your car insurance policy is especially important if you ever drive in the United States, where lawsuits are much more common (and generally more expensive) than they are in Canada.

      Delete
  2. //මේ කරුණු අනුව පෙනෙන ආකාරයට රිස්වාන් කියා කියන්නේ ජාති, ආගම් භේද වලට ලොකු වටිනාකමක් නොදුන් පවුල් පසුබිමකින් පැවත එන හා තමන් විසින්ද ජාති, ආගම් භේද වලට ලොකු වටිනාකමක් නොදුන් අයෙක්//
    වැරදියි!
    වෙනත් ආගම්වල ගෑණු මුස්ලිම් ආගමට හරවන ලව් ජිහාඩ් කාරයෝ පිරිසක්.

    මුස්ලිම් මිනිස්සු එක්ක වැඩ කරද්දී
    මෙයා මුස්ලිම් වුනාට අපේ සිංහල කෙනෙක් වගේනේ කියලා හිතනවානම් එය සියදිවි නසා ගැනීමක්.

    මුස්ලිම් මිනිහාගේ වැරැද්ද මුස්ලිම් වීමමයි. අනිත් සියළු හොඳ ඒ වැරැද්දෙන් අවලංගු වෙනවා.

    ඔබේ මුස්ලිම් මිතුරාට මුස්ලිම් කෙනෙක් හැටියට මැරෙන්න ඉඩ දෙන්න එපා. ඔහුට දිය හැකි ලොකුම තෑග්ග ආගමින් ඉවත් කිරීමයි.

    ReplyDelete
  3. සමහර මුස්ලිම් අය ඉන්නවා ඉස්ලාම් ආගමේ තියෙන තියෙන අන්තවාදී අදහස් වලට අකමැතියි. ඒ වුනත් ඉස්ලාම් ආගම අතහරින්න පණ නෑ. ඒ අය කරන්නේ ඔ්නෑවටත් වඩා අහිංසක වීම.

    සිංහල මිනිස්සුන්ට වියුක්ත චින්තනය අඩු නිසා එහෙම මුස්ලිම් කෙනෙක් දැක්කාම හිතන්න පුළුවන්
    මෙයා මුස්ලිම් වුනාට අනිත් අය වගේ නෙමේ කියලා. සිංහල ගෑණු ළමයෙක් ඒ වගේ කෙනෙක් එක්ක විවාහ වෙන්න කැමති වෙන්නත් පුළුවන්.
    නමුත් ගැටළුව වන්නේ එහෙම අයගේ ලමයි අන්තවාදියෝ වෙන්න පුළුවන්. වැරැද්ද ආගමේ මිසක් ආගම අදහන මිනිහගේ නෙමෙයි. "හොඳ" මුස්ලිම් මිනිහෙක් දැක්කොත් ඒකව ආගම අතහරින්න කැමති කරවා ගන් එකයි කල යුත්තේ.

    මුස්ලිම් මිනිහාගේ වැරැද්ද මුස්ලිම් වීමමයි. අනිත් සියළු හොඳ ඒ වැරැද්දෙන් අවලංගු වෙනවා.

    ReplyDelete
    Replies
    1. අන්තෝනියෝ,..හරි අපි කියමු ඒ හොඳ මුස්ලිම් භක්තිකයා ආගම අතහරින්න කැමති වුනා කියලා. ඊට පස්සේ ඔහුට ආගමක් හොයලා දෙන්නේ කොහොමද? නැත්නම් ඔහුට ආ⁣යේ ආගමක් එපාද?

      CP-C

      Delete
  4. ඉකොනෝ,
    පොලොන්නරුවේ හාල් අර්බුධය දුරදිග යනව වගේ නේද? හාල් මෝල් වැටලීමට පවා කටයුතු කරා. රටේ ලොකුම හාල් මෝල හිමි ඩඩ්ලි සිරිසේන මහතාගේ ව්‍යාපාරික ස්ථානය පවා වැටලුවා. එහි තිබුනේ මුළු රටටම දින දෙකකට සැහෙන හාල් පමණයි කියලා හෙළි උනා. ආණ්ඩුව හාල් මිල පාලනය අපස්සට ගෙනියිද? වෙන කරන්න දෙයක් නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. මේ මට ලංකාවේ කෘෂි කර්මාන්තය ගැන හොඳින් දන්නා කෙනෙකු ලබා දුන් වී සහල් බවට පත් කිරීමේ පිරිවැයයි .
      7500 kg x 50.00 (වී මිල ) = 375000.00
      කම්කරු 6 = 9000.00
      ආහාර 1500.00

      විදුලි බිල 2500.00
      යන්ත්‍ර ක්ෂය 5000.00
      වෙනත් වියදම් 5000.00
      එකතුව 398000.00
      හාල් අස්වැන්න 65% 4875 kg
      නිෂ්පාදන වියදම එක කිලෝ එකකට =81.64
      මෙම සහල් වෙළෙඳ පොළ වෙත ගෙනා යුතුය , විකිණිය යුතු ය . ඒවාටත් මුදලක් වැය වේ ,

      ඒ අනුව බලන විට වෙළෙඳ පොළේ සහල් මිල සාධාරණ තත්ත්වයෙන් පවතින බව සිතිය නොහැකි ද ? මෙම ගණන යෙ යම් වැරැද්දක් තිබේ ද

      Delete
    2. මම මේ ගණන් හිලවු පිළිබඳ අධ්‍යයනයක් කර නැති නිසා මට හාල් කිලෝවක් පාරිභෝගිකයා වෙත ගේන්න යන පිරිවැය සම්බන්ධ නිශ්චිත ප්‍රකාශයක් කරන්න බැහැ. නිදහස් වෙළඳපොලකට ඉඩ දීමේ එක් ප්‍රධාන වාසියක් වන්නේම කවුරුවත් එවැනි ඇස්තමේන්තු හදන්න මහන්සි විය යුතු නොවීමයි. ඔබ කියන පරිදිම ප්‍රවාහන වියදම් එකතු විය යුතුයි. ඒ වගේම කාරක ප්‍රාග්ධනයේ හා මූලික ප්‍රාග්ධනයේ ආවස්ථික පිරිවැය එකතු විය යුතුයි. උදාහරණයක් ලෙස යන්ත්‍ර මිල දී ගෙන තියෙන්නේත්, ගබඩා ගොඩනැගිලි හදා තිබෙන්නේත්, වී මිල දී ගෙන තිබෙන්නේත් බැංකු ණය වලින්නම් ඒ සඳහා පොලිය ගෙවන්න වෙනවා. සමහර විට වෙනත් වියදම් 5000.00ට ඒ වියදම් ඇතුළත්ව ඇති.

      මිල පාලනය නිසා ඇති වූ වෙළඳපොළ විකෘතිය නිසා ගොඩක් අවුල් ඇති වී බව පෙනෙනවා. උදාහරණයක් ලෙස නාඩු හා සම්බා ආදේශනය අතර සමතුලනය බිඳ වැටී ඇති බව පෙනෙනවා.

      Delete
  5. අද නම් සෑහෙන්න නන්නත්තාර වුනා. //වැරැද්ද ආගමේ මිසක් ආගම අදහන මිනිහගේ නෙමෙයි. "හොඳ" මුස්ලිම් මිනිහෙක් දැක්කොත් ඒකව ආගම අතහරින්න කැමති කරවා ගන් එකයි කල යුත්තේ.//

    හිතෙන්නෙම නැති පැත්තක්.... මුස්ලිම් පිරිමි වෙනත් ආගම්වල ගැහැනු අයව විවාහ කරගත්තත්, මුස්ලිම් ගැහැණු අයට වෙනත් ආගම්වල පිරිමින්ව විවාහ කරගන්න නොදෙන බවයි කියවෙන්නේ. දැනට නම් ඒ කතාව වැරදිය කියන්න සාක්කි මට හමුවෙලා නැහැ.

    ReplyDelete
    Replies
    1. නැත්තෙම නෑ. තියනවා.. හැබැයි ඒ හුඟක් අය moors ලා නෙමේ.. ජා, මැලේ සම්බවයක් තියන අය..

      මම දන්න මොහොමඩ් කෙනෙක් ඉන්නවා කතෝලික.. තාත්තා මුස්ලිම්, අම්මා කතෝලික..

      රිස්වාන්ගෙයි මම දන්න හොහොමඩ් ගෙයි කතාව බැලුවම මුස්ලිම් අය වෙන කාන්තාවන්ව බැන්දට ඉදිරි පරම්පරාව ගිහින් තියෙන්නෙ අනික් පැත්තට...

      Delete
  6. ඉකොනෝ, ඔබ අවසාන ඡේදයෙන් අදහස් කලේ, ඵලදායිතාවය වැඩි කරන, ජීවිත අවදානම අඩු කරන දේවල් ලෙසට,
    1. ජනගහනයෙන් බොහෝ අයට ජීවිතාරක්ෂක පුහුණුව ලබා දීම

    2. පුද්ගලික ප්‍රශ්න වලදී මීට වඩා බුද්ධිමය ලෙස කටයුතු කිරීමට අධ්‍යාපනය ලබා දීම...
    ආදි දේවල්ද?

    CP-C

    ReplyDelete
    Replies
    1. ඔව්. ඔබ නිවැරදියි. මේ දේවල් කරන්න ලේසියි. සහකම්පනය කියන එක මිනිස්සුන්ට බොහෝ විට තිබෙනවා. එහෙම නැති අය වෙනස් කරන්න ගොඩක් අමාරුයි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: