වෙබ් ලිපිනය:

Sunday, July 12, 2020

කෝවිඩ් නැත්තේ කොහේද?



මේ වන විට ලෝකය පුරා කෝවිඩ් ආසාදිතයින් මිලියන 13ක පමණ ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවා. සෑම දිනකම තවත් ලක්ෂ දෙකකට වඩා වැඩි රෝගීන් ප්‍රමාණයක් මේ ගණනට එකතු වෙනවා. ලංකාවත් මේ වෙද්දී කන්දකාඩුවෙන් පටන් ගත්  කොරෝනා පොකුර මර්දනය කර ගැනීම සඳහා වෙර දරමින් සිටිනවා. එය වැලිසර පොකුර පාලනය කළ තරම් පහසු වන එකක් නැහැ. එහෙත්, කළ නොහැක්කක් නෙමෙයි.

ලෝකයම කෝවිඩ් සමඟ සටන් කරමින් සිටින මේ මොහොතේ තවමත් කෝවිඩ් වලින් බේරී සිටින රටවල් තිබේද? ඒ මොනවාද?

උතුරු කොරියාව- මිලියන 25.6ක ජනගහණයක් සිටින උතුරු කොරියාව මුලින්ම කෝවිඩ් වසංගතය ආරම්භ වූ චීනයටත්, ඉන් පසුව වසංගතය පැතිරුණු දකුණු කොරියාවටත්, මේ වන විට වේගයෙන් කොරෝනා පැතිරෙන රුසියාවටත් මායිම් වී ඇති රටක් වුවත් නිල සංඛ්‍යාලේඛණ අනුව මෙතෙක් උතුරු කොරියාවෙන් කෝවිඩ් ආසාදිතයින් කිසිවකු හමු වී නැහැ. කවුරුත් දන්නා පරිදි උතුරු කොරියාව ඒකාධිපති සමාජවාදී පාලනයක් පවත්වා ගෙන යන ලෝකයෙන් වෙන්ව සිටින රටක්. දේශපාලනික හේතු මත ලෝකයෙන් වෙන්ව සිටීම මේ අවස්ථාවේදී උතුරු කොරියාවට වාසියක් වී ඇති බව පෙනෙනවා.

තුර්ක්මේනිස්ථානය- මිලියන 6ක ජනගහණයක් සිටින තුර්ක්මේනිස්ථානය මේ වන විට වේගයෙන් කොරෝනා පැතිරෙන ඉරානයට හා කසකස්ථානයට මායිම් වී ඇති මධ්‍යම ආසියානු රටක්. එහෙත්, නිල සංඛ්‍යාලේඛණ අනුව මෙතෙක් තුර්ක්මේනිස්ථානයෙන් කිසිදු කෝවිඩ් රෝගියෙකු හමු වී නැහැ. පැරණි සෝවියට් සංගමයේ සාමාජිකයෙකු වූ තුර්ක්මේනිස්ථානය සෝවියට් සංගමයේ බිඳ වැටීමෙන් පසුව මේ වන විට තුර්ක්මේනිස්ථානු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ලෙස නම් කර ඇති තුර්ක්මේනිස්ථානු කොමියුනිස්ට් පක්ෂය යටතේ පාලනය වන, ලෝකයේ වඩාත්ම මර්දනකාරී රාජ්‍යයක් සේ සැලකෙන රටක්. උතුරු කොරියාව තරමටම නැතත් තුර්ක්මේනිස්ථානයද බොහෝ දුරට ලෝකයෙන් හුදෙකලාව සිටින රටක්. ඊට අමතරව ඉතා අඩු ජන ඝනත්වයක් ඇති රටක් වීමේ වාසියද තුර්ක්මේනිස්ථායට තිබෙනවා.

සොලමන් දූපත්- පැපුවා නිව්ගිනියාවට නැගෙනහිරින් පිහිටි 655,000ක පමණ ජනගහණයක් ජීවත් වන දූපත් රාජ්‍යයක්. කෝවිඩ් වසංගතය ආරම්භයේදීම දේශ සීමා වසා දමමින් රටට වෛරසය ඇතුළු වීම වලක්වා ගැනීමට සමත් වුනා. මේ වන තුරු වෛරසයෙන් බේරී සිටිනවා.

වන්වාතු- ජනගහණය 305,000ක් පමණ වන වන්වාතු සොලමන් දූපත් වලට නැගෙනහිරින් පිහිටි තවත් දූපත් රාජ්‍යයක්. පසුගිය මාර්තු අවසන් සතියේ සිට වන්වාතු දූපත් රාජ්‍යයද හදිසි තත්ත්වයක් දිගටම පවත්වා ගනිමින් කෝවිඩ් උවදුර රටට ඇතුළු වීම මෙතෙක්  වලක්වාගෙන සිටිනවා.

සමෝවා- ජනගහණය 202,000ක් වන පැසිෆික් සාගර මධ්‍යයේ පිහිටි දූපත් රාජ්‍යයක්. පෙබරවාරි මාසයේ සිටම රටට පැමිණෙන්නන් දැඩි ලෙස පාලනය කරමින් සිටිනවා. තවමත් කෝවිඩ් වලින් තොර රටක්.

කිරිබාස්- ලෝකයේ හරි මැද පිහිටි රටක් ලෙස සැලකිය හැකි කිරිබාස් දිවයින පැසිෆික් සාගරය මැද පිහිටි කුඩා දිවයිනක්. ජනගහණය 122,000ක් පමණ. හුදෙකලා භූගෝලීය පිහිටීමේ වාසිය ලබමින් කිරිබාස් දිවයින කෝවිඩ් සතුරාගෙන් තවමත් බේරී සිටිනවා.

මයික්‍රෝනීසියාව- ජනගහණය 105,000ක් පමණ සිටින, පැපුවා නිවුගිනියාවට උතුරෙන් පිහිටි සිංගප්පූරුවට වඩා මඳක් කුඩා දූපත් රාජ්‍යයක්. මාර්තු මැද පමණ සිට රටට ඇතුළු වන විදේශිකයින් අනිවාර්යයෙන්ම නිරෝධායනයට ලක් විය යුතු වූ අතර රටේ නිරෝධායන පහසුකම් ධාරිතාව සීමා වන අවස්ථා වලදී විදේශිකයින් පැමිණීමද සීමා කළා.

ටොංග- පැසිෆික් සාගරයේ ජාත්‍යන්තර දින රේඛාව ආසන්නයේ පිහිටි තවත් දූපත් රාජ්‍යයක්. ජනගහණය ලක්ෂයකට මඳක් වැඩියි. සිංගප්පූරුවට වඩා මඳක් විශාල රටක්. රටට ඇතුළු වීමට ඉඩ ලැබෙන්නේ කෝවිඩ් වලින් තොර වෙනත් රටක දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් වීමෙන් පසුව පමණයි.

මාෂල් දිවයින්- පැසිෆික් සාගරය මැද හුදෙකලාව පිහිටි, ජනගහණය 58,000ක් වන දූපත් රාජ්‍යයක්. තවමත් කෝවිඩ් රකුසාගෙන් ගැලවී සිටිනවා.

පලාව්- ජනගහණය 18,000ක් පමණ. ලෝකයේ ජනගහණය අඩුම රටවල් හතරෙන් එකක්. තවමත් කෝවිඩ් වලින් තොර රටක්.

නවුරූ- මාෂල් දිවයින් වලට දකුණින් පිහිටි කුඩා දිවයිනක්. ජනගහණය 11,000ක් පමණයි. ලෝකයේ කුඩාම හා ජනගහණය අඩුම රටවල් තුනෙන් එකක්. තවමත් කෝවිඩ් වලින් බේරී සිටිනවා.

ටූවලූ- ජනගහනය 10,200ක් පමණයි. වතිකානුව හැරුණු විට ලෝකයේ ජනගහණය අඩුම රට. ලෝකයේ කුඩාම රටවල් හතරෙන් එකක්. කෝවිඩ් වෛරසය තවමත් මේ කුඩා රාජ්‍යයට ඇතුළු වීමට සමත් වී නැහැ.

බටහිර සහරාව- වර්ඩෝමීටර් අනුව බටහිර සහරාවෙන් මේ වන විට කෝවිඩ් රෝගීන් 10 දෙනෙකු හමු වී තිබෙනවා. එහෙත්, බටහිර සහරාව ලෙස හඳුන්වන රට කුමක්ද කියන එක මතභේදාත්මක කරුණක්. බටහිර සහරාව ලෙස පොදුවේ හැඳින්වෙන බිම්කඩෙන් තුනෙන් දෙකක් පමණ තිබෙන්නේ මොරොක්කෝවේ පාලනය යටතේ. මොරොක්කෝව විසින් සලකන්නේ බටහිර සහරාව මොරොක්කෝවේ කොටසක් ලෙසයි. සහරාවී අරාබි ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ලෙසින් හඳුන්වා ගන්නා බටහිර සහරාවේ නැගෙනහිර බිම් තීරුව පොලිසාරියෝ පෙරමුණ විසින් පාලනය කරනවා. බටහිර සහරාවෙන් මෙතෙක් හමු වී ඇති කෝවිඩ් රෝගීන් සියලු දෙනාම හමු වී තිබෙන්නේ මොරොක්කෝ පාලනය යටතේ ඇති බටහිර කොටසින්. නැගෙනහිර කොටසින් තවමත් කිසිදු කෝවිඩ් රෝගියෙකු හමු වී නැහැ.

5 comments:

  1. ලෝකයේ හරි මැද පිහිටි රටක් ලෙස සැලකිය හැකි කිරිබාස් දිවයිනේ කොරෝනා නැති නිසා ඉල්ලංකා අමුදාව යොදවා කිරිබාස් දිවයින අල්ලාගෙන ඒ රටේ ජන්දේ පවත්වන මෙන් අපි අතිගරු ජනාධිපති නන්දසේන මැතිතුමාගෙන් ඉල්ලා සිටිමු.

    එසේම අපේ රටේ කොරෝනා පරාද කෙරු ජනාධිපතිතුමාගේත්, අගමැතිතුමාගේත් මෑණියන්ට පිං අනුමෝදනා කරමු.

    ReplyDelete
  2. මේ දවස්වල ලංකාවේ ජනාධිපතිගේ ආර්යාව වන අයෝමා රාජපක්ෂ මහත්මිය වෙළඳ සැලකින් භාණ්ඩ මිලදී ගන්නා ආකාරය දැක්වෙන පින්තූරයක් සමාජ ජාලවල වේගයෙන් හුවමාරු වෙමින් තිබේ. ඇය මිලදී ගත් භාණ්ඩ සදහා වූ මිල ගෙවීම සදහා නියමිත පරිදි පෝලිමේ සිටගෙන සිටී. සාමාන්‍ය ඇඳුමකින් සැරසී සරල පාවහන් ද දමාගෙන සිටින ඇය අගය කරමින් මරාවාදීන් සමාජ ජාලාවන්හි සුබවාදී ප්‍රතිචාර බොහොමයක් දමමින් දඟලන ආකාරය දැක ගන්නට පුළුවන්.

    මෙවැනි දේ උලුප්පා පෙන්වීමෙන්ම ලංකාවේ මිනිස්සුන්ගේ වහල් මානසිකත්වය සහ සමාජීය පසුගාමීත්වය ඉතා හොදින් පෙනෙනවා. මෝඩයන්ට මේවා මැජික් වගේ නේද පේන්නෙ?

    ReplyDelete
  3. ලංකාවට නැවත වතාවක් lock down කිරීම කිසිසේත් අවශ්‍යය නොවේ. කේප් ටවුන් වල අපි ඉන්නා දිශාවේ More than 270,000 ආසාදිතයින් හඳුනා ගැනුණත් දෛනික වැඩකටයුතු ඒ අකාරයෙන් කවුරුත් ඉදිරියට කරගෙන යනවා එයට හේතු වන්නේ සෞඛ්‍ය ක්‍රියාවන් ඒ ආකාරයෙන් පිළි පැදීම නිසායි එයට අමතර මෙම නිර්දේශ කර ඇති සෞඛ්‍යය නොපිළිපදිමින් කටයුතු කරන්නන් විසින් covid බොවිමයි මෙහිදී සිදුවුයේ එමනිසා ලංකාවෙත් නිසිපරිදි ඒ අවශ්‍ය අනුපිළිවත් නිර්දේශ කරඇති නොපිළි පැදුහොත් වන්නේ එයමයි. කාරුණිකව තමතමන්ගේ ආරක්ෂාව තමන් විසින් පිලිපැද්දොත් ඉබේම මුළු රටේම ආරක්ෂාව තාහුරුවේවි.නැතිව වසා දැමීම නොවෙයි එයට පිළියම.

    - Cape Town චම්පික

    ReplyDelete
  4. එක තමයි තැරිදාර පුම්නක්කු බෛයන්ට කිව්වෙ !කොච්චර නිරොධායනය කලත් වැඩක් නැහැ ,සැක සහිත පුද්ගලයන්ගේ සහ සමාජයේ අහබු ලෙස පීසීආර් පරීක්ශණ පුලුල්ව කලයුතුමයි කියන කාරනාව , දැන් මේ නිරොධායනයට ලක්වූ පුද්ගලයන් ,එ කියන්නේ පහුගිය කාලේ කොවිඩ් ආශ්‍රිතයන් නිසි ක්‍රමවේදයකට නිරොධායනය වෙලත් නෑ ,පීසීආර් පරීක්ශන කරලත් නෑ ? මරු ප්‍රතිපත්ති ! රාජපක්ෂ පාලනය අර්බුදයට ගොස් ඇති බව පැහැදිලිව පෙනී යයි.

    ReplyDelete
  5. ලංකාවේ අලුතෙන් හම්බ වුණ බහුතරයක් ආසාදිතයෝ කන්දකාඩු මධ්‍යස්ථානයේ සේවයේ යොදාවා සිටින හමුදා නිලධාරින්.

    ඇත්තටම ලංකාවේ මොකක්ද මේ ව‌ෙන්න යන්නේ.?

    කොරෝන පරීක්ෂාවට පයින් ගසා රටට ඇතුළු වූ ඇම‌ෙරිකන් කාරයාගේ PCR ට‌ෙස්ට් එකට මොකද වුනේ කියලා රටට දැන්වත් ආණ්ඩුව කිව යුතුයි.

    ලංකාවේ බලධාරීන් කුඩු කාරයෝ ටික අරන්ගිහින් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයක දැම්මා, එතනදී කොරෝනා නැති එකාටත් කොරෝනා හැදුනා නේද ? එයාලා බලාගන්න දාපු අයටත් හැදිලා, අර වැලිසර නාවික හමුදා සාමාජිකයන්ට කුඩුකාරයෝ අල්ලන්න ගිහින් කොරෝනා හැදුනා ඒකෙන්වත් පාඩමක් ඉගෙන ගත්තේ නෑනේ...

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: