වෙබ් ලිපිනය:

Tuesday, April 6, 2021

සමාජවාදී විකල්පය


මේ අවුරුද්දේ චීනය චීන කොමියුනිස්ට් පක්ෂයේ සියවස ලොකුවටම සමරන්න ලෑස්ති වෙනවා. ගෝඨාභය රාජපක්ෂත් චීන නායකයාට දුරකථනයෙන් කතා කරලා සුබ පතලා තිබුණා. චීන නායකයා කියන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකයා. චීන කොමියුනිස්ට් පක්ෂය කියා කියන්නේ අද වන විට මිලියන 91ක සාමාජික පිරිසක් ඉන්න දැවැන්ත පක්ෂයක්. හැබැයි ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ සාමාජිකයින් ගණන එමෙන් දෙගුණයක්.

චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටවනු ලැබූ 1921 වසරේ සිට වසර පණහකට පෙර 1871දී දින 72ක් පැවතුණු පැරිස් කොමියුනය පිහිටවුනු ලැබුවා. රුසියන් විප්ලවයට උත්තේජනය සැපයුවේ පැරිස් කොමියුනය ලෙස සැලකෙනවා. චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටවනු ලැබුවේ රුසියන් විප්ලවයෙන් පසුව සෝවියට් දේශය පාලනය කළ සෝවියට් කොමියුනිස්ට් පක්ෂය අනුව යමින්. පසුව චීන කොමියුනිස්ට් පක්ෂය විසින් චීනයේ බලය අල්ලා ගත්තා. 

චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටවනු ලැබූ 1921 වසරේ සිට වසර පණහකට පසු 1971දී ජනතා විමුක්ති පෙරමුණ විසින් ලංකාවේ රාජ්‍ය බලය බලහත්කාරයෙන් ලබා ගෙන සමාජවාදී රාජ්‍යයක් පිහිටුවන්න අසාර්ථක උත්සාහයක් දැරුවා. ඉතා කෙටි කාලයකින් ජවිපෙ උත්සාහය පරාජය කෙරුණා. ඒ වෙද්දී ලෝක සමාජවාදී කඳවුර සෝවියට් කඳවුර හා චීන කඳවුර ලෙස දෙකට බෙදී සිටියා. ජනතා විමුක්ති පෙරමුණ සිටියේ චීනය පැත්තට බරවයි. 

මේ වන විට පැරිස් කොමියුනය බිඳ වැටිලා වසර 150ක්. චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවලා වසර 100ක්. ජවිපෙ පළමු කැරැල්ලට වසර 50ක්. සෝවියට් දේශය බිඳ වැටිලා වසර 30ක්. සෝවියට් සමාජවාදය බිඳ වැටුණත් චීන සමාජවාදය තවමත් ඉතිරි වී තිබෙනවා. චීනය හැරුණු විට සමාජවාදය ඉතිරිව තිබෙන්නේ චීනයට යාබදව පිහිටි තවත් රටවල් තුන හතරක හා කියුබාව වැනි වෙනත් රටවල් කිහිපයක පමණයි.

සමාජවාදය කියන වචනයට විවිධ අය විවිධ අර්ථකථන දෙනවා. මනෝරාජික සමාජවාදය ගැන මා විස්තර කර තිබෙනවා. මනෝරාජික සමාජවාදීන් ප්‍රායෝගිකව සාර්ථක වුනේ නැහැ. එහෙත් මනෝරාජික සමාජවාදය විවේචනය කරමින් ඉදිරිපත් කෙරුණු විද්‍යාත්මක සමාජවාදය හා ඒ මත පදනම් වූ මාක්ස්-ලෙනින්වාදය ලෝකයේ විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණා. චීනය තුළ මාක්ස්-ලෙනින්වාදය මත පදනම් වූ විද්‍යාත්මක සමාජවාදය හෝ එහි නෂ්ඨාවශේෂ තවමත් ජීවමානව පවතිනවා.

විද්‍යාත්මක සමාජවාදය අනුව අනාගතයේ දවසක කොමියුනිස්ට් සමාජයනම් වූ කේතුමතී රජදහනක් ඇති වෙනවා. එය කොහොමටත් සිදු වන දෙයක්. සමාජවාදය කියා කියන්නේ ඊට පෙර ඇති වන ධනවාදයට වඩා දියුණු, එහෙත් කොමියුනිස්ට් සමාජයක් නොවූ අතරමැදි තත්ත්වයක්. මේ තත්ත්වය මොන වගේ එකක්ද කියන එක හොඳින්ම පැහැදිලි කර තිබෙන්නේ සමාජවාදී සාහිත්‍යයේ ප්‍රධානම ලියැවිල්ලක් වන කොමියුනිස්ට් ප්‍රකාශනයේ. කොමියුනිස්ට් ප්‍රකාශනයේ මේ තත්ත්වය විස්තර කර තිබෙන්නේ කොමියුනිස්ට් සමාජයක මුල් අදියර ලෙසයි. ධනවාදයට විකල්පයක් ලෙස ඉදිරිපත් වූ සමාජවාදී සමාජයක් මොන වගේ එකක්ද කියා සෘජුව හා පැහැදිලිව කොමියුනිස්ට් ප්‍රකාශනයේ විස්තර කර තිබෙනවා.

සමාජවාදය කරා යාමේ පළමු පියවර වන්නේ වැඩ කරන ජනතාව විසින් විප්ලවයකින් රාජ්‍ය බලය පැහැර ගැනීම. 

"...the first step in the revolution by the working class, is to raise the proletariat to the position of ruling class..."

දෙවන පියවර වන්නේ එසේ ලබාගත් දේශපාලන අධිකාරී බලය ප්‍රයෝජනයට ගනිමින් රටේ සමස්ත ප්‍රාග්ධනය අයිතිකරුවන් වෙතින් පැහැරගෙන නිෂ්පාදන ක්‍රමවේද රජයේ මධ්‍යගත පාලනයකට යටත් කිරීම. 

"The proletariat will use its political supremacy, to wrest, by degrees, all capital from the bourgeoisie, to centralise all instruments of production in the hands of the State."

ඉන් පසුව, කොමියුනිස්ට් සමාජයක මුල් අදියර වන සමාජවාදී සමාජයක් ක්‍රියාත්මක වන ප්‍රධාන මූලධර්ම දහයක් කොමියුනිස්ට් ප්‍රකාශනය විස්තර කරනවා.

1.  පෞද්ගලික ඉඩම් අයිතිය අහෝසි කර ඉඩම් වෙනුවෙන් ලැබිය යුතු බදු කුලී සියල්ල රජය විසින් ලබා ගැනීම.

2.  ඉහළ ආදායම් ලබන්නන් මත වැඩි බරක් පැටවෙන පරිදි ආදායම් බදු අය කිරීම.

3.  උරුමයෙන් දේපොළ අයිති වීම සම්පූර්ණයෙන් අහෝසි කිරීම.

4.  රට හැර යන්නන්ගේ හා කැරලිකරුවන්ගේ සියලු දේපොළ රාජසන්තක කිරීම.

5.  ණය ලබා දීමේ ක්‍රියාවළිය රජය යටතේ පාලනය වන එක් බැංකුවක ඒකාධිකාරයට මුළුමනින්ම නතු කිරීම.

6.  සියලුම ජනමාධ්‍ය හා ප්‍රවාහනය රජයේ තනි පාලනයට යටත් කිරීම.

7.  රජයේ අයිතිය යටතේ කම්හල් ඇතුළු නිෂ්පාදන උපකරණ ව්‍යාප්ත කරන අතර පොදු සැලසුමක් යටතේ මුඩු බිම් වගා කිරීම හා පස සරු කිරීම.

8. සියලු දෙනාටම වැඩ කිරීම අනිවාර්ය කරමින් කාර්මික හමුදා හා වගා හමුදා ගොඩ නැගීම.

9. කෘෂිකර්මය හා කර්මාන්ත එකිනෙක සම්බන්ධ කරමින් ගම් සහ නගර අතර වෙනස අවම වන පරිදි ජනගහණය ව්‍යාප්ත කිරීම.

10. සියළු ළමුන්ට රජයේ පාසැල් වල මුදල් අය නොකර අධ්‍යාපනය ලබා දීම. එවකට පැවති ආකාරයෙන් ළමා ශ්‍රමය ලබා ගැනීම නවත්වා අධ්‍යාපනය හා කාර්මික නිෂ්පාදනය එකිනෙක සමඟ සම්බන්ධ කිරීම.

මාක්ස් හා එංගල්ස් විසින් කොමියුනිස්ට් ප්‍රකාශනය එළිදැක්වුවේ ලංකාවට නිදහස ලැබෙන්න සියවසකට පෙර 1848 වසරේදී. එහි සඳහන් ඉහත කරුණු දහයේ ලැයිස්තුව පදනම් වුනේ ඊට වසරකට පෙර එංගල්ස් විසින් කොමියුනිස්වාදයේ මූලධර්ම ලෙස ඉදිරිපත් කළ ලියැවිල්ලේ වූ කරුණු දොළහ මතයි. මේ කරුණු දොළහේ ලැයිස්තුව ඉහත කරුණු දහයට බොහෝ දුරට සමානයි.

සමාජවාදය කියා කියන්නේ ඔය ටික මිසක් වෙන කෙහෙම්මලක් නෙමෙයි. විශාල පිරිසක් මරණයට පත් කළ මාඕ සේතුන්ගේ මහා ඉදිරි පිම්ම හා ස්ටාලින් යටතේ රුසියාව කියා කියන්නේ ඔය ලැයිස්තුවේ අයිතමයන් හොඳින්ම ක්‍රියාත්මක කළ කාලවල්. සමගි පෙරමුණු ආණ්ඩුව සමාජවාදය කියලා ක්‍රියාත්මක කළේත් ඔය ලැයිස්තුවේ තිබුණු දේවල්. මාක්ස්-ලෙනින්වාදය යටතේ සමාජවාදය කියා කියන්නේ ඔය දේවල් එකින් එක හැකි පමණින් ක්‍රියාත්මක කරන එක.

එංගල්ස් විසින් පුරෝකථනය කළේ කාර්මික සංවර්ධනය අතින් වැඩියෙන්ම ඉදිරියෙන් හිටපු බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය හා ඇමරිකාව යන රටවල් වල මුලින්ම සමාජවාදී විප්ලවය වෙයි කියලා. නමුත් මේ රටවල් හතරෙන් එකකවත් තවම ඔය කියන විදිහේ සමාජවාදී විප්ලවයක් වෙලා නැහැ. වෙන පාටක් පෙනෙන්නත් නැහැ. විප්ලවය වුනේ පැත්තක තිබුණු රුසියාවේ. ඊට පස්සේ චීනයේ. අනෙක් ගොඩක් රටවල් එක්කෝ රුසියාව විසින් ඈඳා ගත්තා. නැත්නම් පැත්තක ඉඳලා කැරැල්ලක් මෙහෙයවූවා. චීන සමාජවාදය හැදෙන තුරුම බොහෝ දුරට සමාජවාදය කරා යාම වුනේ රුසියාවට රටවල් එකතු වෙන එක.

චීනය සමාජවාදී වුනාට පස්සේ සමාජවාදී ලෝකය දෙකට බෙදුනා. චීනය සෝවියට් දේශයේ පරිවාර රාජ්‍යයක් වුනේ නැහැ. චීනය වගේ ලොකු ජනගහණයක් සිටින රටක් තවත් රටක පරිවාර රාජ්‍යයක් කර ගන්න අමාරුයි. බ්‍රිතාන්‍යය විසින් පාලනය කළ ඉන්දියාව දැන් තනි රටක් වුනත් එය මුලදී චීනය වගේ තනි රටක්ව පැවතුනේ නැහැ.

සෝවියට් සමාජවාදය බිඳ වැටුණත් චීන සමාජවාදය තවමත් ඉතිරිව තිබෙනවා. එය බිඳ වැටෙන බවක් පෙනෙන්නත් නැහැ. යම් හෙයකින් එංගල්ස් විසින් පුරෝකථනය කළ බටහිර රටවල් හතරේ සමාජවාදී විප්ලවයක් එකවර සිදු වුනානම් බොහෝ විට මේ වෙද්දී ලෝකයම සමාජවාදී වෙලා. සමාජවාදය ධනවාදයට වඩා අකාර්යක්ෂම හා පසුගාමී ක්‍රමයක් වුවත් එයට ස්ථායී ලෙස පැවතිය හැකියි.

සමාජවාදයක් පවත්වා ගෙන යන්න ලැයිස්තුවේ හයවන හා දහවන කරුණු ඉතාම වැදගත්. සියලුම මාධ්‍ය පාලනය කරන්නේ රජය විසින් කියා කියන්නේ මිනිස්සුන්ට දැන ගන්න ලැබෙන්නේ රජය කියන දේවල් විතරයි. සියලුම ළමුන්ට රජයේ පාසැල් හරහා අනිවාර්ය අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණ පොඩි කාලේ ඉඳලම ඔලු හදන එකයි. මේ දෙක පමණක් කිරීමෙන් වුවත් ක්‍රමය ස්ථායී ලෙස පවත්වා ගෙන යන්න පුළුවන්. අඩුපාඩු තේරෙන්නේ වඩා සාර්ථක විකල්පයක් පෙනෙන්න තිබුනොත් පමණයි. යම් හෙයකින් ඉඳහිට කෙනෙක්ට ක්‍රමයේ අවුල පෙනුනත් ප්‍රාග්ධනය වගේම ප්‍රාග්ධනය ඉපැයීමේ මාර්ගත් තියෙන්නේ රජය යටතේ නිසා නිදහස් වෙන්න මාර්ගයක් නැහැ.

සෝවියට් දේශය බිඳ වැටුණේ සමාජවාදී ලෝකයෙන් පිටත ධනවාදී ලෝකයේ සාර්ථකත්වය දිගෙන් දිගටම වහගෙන ඉන්න බැරි වූ නිසා. අන්තිම කාලයේදී ප්‍රතිසංස්කරණ ගෙනාවත් එතකොට පරක්කු වැඩියි. හැබැයි සෝවියට් දේශය වැටුණු වලේ චීනය වැටුණේ නැහැ. චීනය විසින් උපක්‍රමික ලෙස ලෝකයේ බලවත්ම ආර්ථිකය බවට පත් වන තුරු යම් තරමකින් සමාජවාදය අත ඇරියා. දැන් චීනය සමාජවාදය ආරක්ෂා කරගත හැකි තරමට "ලොකු වෙලා".

8 comments:

  1. ලෝකයෙ කොතැන ඇති වුණ මුත් ලොකු වෙනසක්
    අපේ කොදෙව්වේ නං එය වෙනු බොරුවක්
    කොච්චර වාද තිබ්බත් නැත අපට වැඩක්
    ඒවා මෙහෙදී විපරිත කර තිබේ ගොඩක්

    ReplyDelete
  2. ඉකොනො ඇමරිකානු එක්සත් ජනපදයේ බරපතළ ලෙස වගා හානි සිදු කදන ආක්‍රමණික කලු මයිනාගෙන් (Common Starling) ලංකාවෙ ජනයාට උගත හැකි පාඩම් ගැන ඔබට විස්තර ඉදිරිපත් කරන්න පුළුවන් නේද?

    සාමාන්‍යයෙන් කලු මයිනා ලංකාවේදී කලාතුරකින් දකින්නට ලැබෙන අහඹු සංක්‍රමනිකයෙක්. ඒ නිසා මේ පක්ෂියෙක් ලංකවේදි හමුවීම විශේෂ සිද්ධියක්.

    නමුත් කළු මයිනා ඇමෙරිකා එක්සත් ජනපදයට සහ උතුරු ඇමෙරිකාවට ඉමහත් කරදරයක් වී තිබෙන ආක්‍රමණික ආගන්තුක විශේශයක් (Invasive Alien Species)(IAS) වී තිබෙනවා.

    මේ වනවිට උතුරු ඇමෙරිකාව තුල මෙම පක්ෂීන් මිලියන 200 පමන සිටින බවට ගණනය කර තිබෙන අතර මෙම පක්ෂියා නිසා වසරකට ඇමෙරිකා එක්සත් ජනපදයට අහිමිවන කෘෂි නිෂ්පාදනවල වටිනාකම පමණක් ඩොලර් බිලියන දෙක හමාරකට වැඩිබව තක්සේරු කර තිබේ. මීට අමතරව කළු මයිනා නිසා ඇමරිකානු එක්සත් ජනපදයේ තරම් බරපතළ ලෙස දේශීය පක්ෂීන්ට සහ අනෙකුත් සතුන් සහ ශාකවලටත් විශාල බලපෑම් එල්ලවී ඇති වෙනත් රටක් නැත. ඉතා විශාල රංචු ලෙස සැරිසරන මෙම පක්ශීන් නිසා ඇමරිකානු අහසේ ගුවන් අනතුරු ගණනාවක් සිදුව තිබේ. ඇතැම් ඉතා විශාල රංචුවක පක්ෂීන් මිලියනයකට අධික ගණනක් සිටිතැයි ගනනය කර තිබේ. එමන්ම මෙම පක්ෂියාගේ වසුරු නිසා විවිධ පෘෂ්ඨයන් ඛාදනයට ලක්වීමත් සිදුවේ. මේ පක්ෂියාගේ වසුරු නිසා බෝවෙන බැක්ටීරියා විශේශයකින් සෑහෙන්න ඇමරිකානු එක්සත් ජනපදයේ රටවැසියන්ට විවිධාකාර රෝගාබාධ සහ මරණය පවා ගෙන දි තියෙනවා. ඒ වගේම වාහන මිලියන ගණනක පේන්ට් විනාශ වී රක්ෂණ සමාගම්වවලට පාඩු වීම වලක්වා ගැනීමට වාරික වැඩි කිරීමත් සිදු කරනවා.

    එනමුත් මේසා විශාල හානියක් කරන කලු මයිනා ඇමෙරිකානු මහාද්වීපයට හඳුන්වාදී තිබෙන්නේ Eugene Schieffelin නම් පුද්ගලයෙකු විසින් ඇමරිකා එක්සත් ජනපදයට මුදාහරින ලද යුගල 60 මගිනි. ඔහු ශේක්ස්පියර් ලෝලියෙකු වූ අතර විලියම් ශේක්ස්පියර් විසින් සඳහන් කර තිබෙන සියලු පක්ශීන් ඇමරිකා එක්සත් ජනපදයට හඳුන්වා දීමට උත්සුක වූ එක්තරා ඇමරිකානු සමාජ කණ්ඩායම්කට අයත් වූවෙකි.

    නමුත් ශේක්ස්පියර් විසින් රචිත සියලු කෘති සලකා බලන කල මේ පක්ෂියා පිලිබඳව එක් කෘතියක පමනක් ඉතා ලුහුඬු සඳහනක් පමණක් තිබීමත් විශේෂයකි. කලින් හඳුන්වාදුන් අනෙක් ආක්‍රමණික පක්ශීන් ද පරදවා කලු මයිනා ඇමරිකා එක්සත් ජනපදය තුල ඉතා සාර්ථකව බෝවෙමින් දරුණු විදිහට පැතිර යාමට සමත් විය​.

    ඉතා අහිංසක පරමාර්ථයක් මුල්කරගෙන සිදුකල මෙම හඳුන්වාදීම මෙතරම් විශාල ව්‍යසනයක් වනු ඇතිබවට කිසිවෙකුටත් සිතන්නට ඉඩක් නොතිබි බව ඇමරිකානු ජෛවීය විද්‍යා දැනුම අනුව සිතා ගැනීමට පුලුවන​. නමුත් ජීව විද්‍යාත්මක පසුබිම අධ්‍යනය කරද්දි ජෛව විවිධත්වයට තිබෙන දෙවන විශාලතම තර්ජනය වන්නේ ආක්‍රමණික ආගන්තුක සතුන් සහ ශාක බවට හඳුනාගෙන තිබෙන අතර ආක්‍රමණික ආගන්තුක ජීවීන් නිසා සිදුවිය හැකි තත්වයෙන් මිදීමට විවිධ රටවල්වල ජාතික ප්‍රතිපත්ති සහ නීතිමය ප්‍රතිපාදන පවා තිබේ.

    නොදියුණු රටවල් ගණයට වැටෙන ලංකාවටද මේ වන විටත් ආක්‍රමණික ආගන්තුක විශේෂ කීපයක් නිසා විවිධාකාර හානිකර තත්වයන්ට මුහුන දීමට සිදුවී තිබේ. ලංකාවේ නීතිය අනුව ආක්‍රමණශීලී ආගන්තුක ජීවීන් පිලිබඳ ජාතික ප්‍රතිපත්තියක් පවා අමාත්‍ය මන්ඩලයෙන් අනුමතවී ක්‍රියාත්මක කරන්නට යෙදුනේ මෙම ප්‍රශ්නයේ බරපතලකම වටහා ගැනීම තුලිනි.


    එසේ නමුත් ඇමරිකානු එක්සත් ජනපදය වැනි සංවර්ධිත රටවල් පවා ආගන්තුක ජීවීන් පිලිබඳ නීති රීති වලට අනුව ක්‍රියා කරනු වෙනුවට ඒ ගැන කිසිඳු තැකීමකින් තොරව​, නීති උල්ලංඝනය කරමින් මේ වන විටත් නව සත්ව සහ ශාක විශේශ ගනනාවක් ගෙන්වන පසුබිමක් යටතේ ලංකාවේ ද ඇතමෙකු මේ වන විටත් ස්වභාවික පරිසරයට එක්ව පමණක් නොව බෝවීමටද පටන් ගෙන තිබේ. මෙම නව විශේෂ වලින් සමහරක් ලංකාවේ ද අනාගතයේදී ආක්‍රමනික ආගන්තුක විශේෂයන් බවට පත්වීමේ අවදානම මේ වන විටත් පෙන්නුම් කර තිබේ

    ReplyDelete
  3. ඉකොනො,

    මේ ව්‍යාපෘතිය අසාර්ථක වේවි නේද? ලංකාවට නොගැලපෙන විකාර වැඩක් වගේ මට නම් පේන්නෙ. මේ මගුල් නවත්තලා ආනයනය කරන එක වඩාත් සුදුසුයි


    https://youtu.be/g-k1BOujmM8

    ReplyDelete
  4. ඉකෝන් ලංකාවේ මේ දවස් වල සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම සහ එක්සත් ජාතික කණ්ඩායම් පවසන ආකාරයට සහ ජවිපෙ ජාතික ජන බලවේගයේ මාධ්‍ය වාර්තා අනුව ප්‍රසිද්ධ කර ඇති තොරතුරු වල හැටියට රාජ්‍ය මූල්‍ය මෙන්ම රටේ විදේශ මුදල්වලින් සිදුකරන ගෙවීම් කටයුතු පිළිබඳව ද ඉතිහාසයේ පෙර නොවූ විරූ අර්බුදයක් හටගෙන ඇති බව පැවසෙනවා. එනම් ආණ්ඩුවට දේශීය හෝ විදේශීය මූලයන්ගෙන් තව දුරටත් ණය ගැනීමට නොහැකිවීමත්, ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ක්ෂේත්‍රය ශ්‍රේණිගත කිරීමේ ආයතන වලින් මෙන්ම, අන්තර් ජාතික මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන මඟින් ණය ආපසු ගෙවාගැනීමට නොහැකිවීම පිළිබඳව පහළ තත්ත්වයකට ඇදදැමීමත් සිදුවෙමින් ඇති බව සමගි ජන බලවේගයේ අදහසයි. මේ තත්ත්වය තුල ආණ්ඩුවේ මූල්‍ය නොහැකියාව හා බංකොළොත්භාවයට පත්වීම පිළිබඳව අනතුරක් පොදුවේ විපක්ෂ කණ්ඩායම් වලට දැන් දැනී ඇත.

    මේ සතියේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග ආචාර්ය හර්ෂ ද සිල්වා මාධ්‍ය වලට ප්‍රකාශ කළේ වත්මන් ආණ්ඩුව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නමින් (SLDB) ලබාගෙන ඇති ඩොලර් ණය රුපියල් වලින් ගෙවීමට සූදානම් වන බවයි. එයම ආණ්ඩුව සිය ණය ආපසු ගෙවීමට ඇති නොහැකියාව පිළිබද බංකොළොත්භාවය ප්‍රකාශ කිරීමක් බව එම ගිවිසුම් වලට එළඹීමේදී ඇතිකරගන්නා ලද කොන්දේසි වලින් පෙනී යයි. (එනමුදු පසුව මහ බැංකුව එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කළා.) මේකේ සත්‍යතාවය කුමක්ද?

    දැන් ආණ්ඩුව අලුත් සෙල්ලමක් පටන්ගෙන තිබෙතැයි ජවිපෙ හඳුන්නෙත්ති අනාවරණය කරමින් පැවසූයේ ලංකාවේ බැඳුම්කරවල එහි ඇත්ත මුහුණත වටිනාකම (Face Value) කෙසේ වෙතත් වෙළෙඳ වටිනාකම (Market Value) ඉතා අඩු අගයක් ගැනීම ගැන. මෙය සරළව පැහැදිළි කළහොත් ආණ්ඩුව සතු ඩොලර් බිලියනයක විදේශ ණය ඒවා ආපසු ගෙවීමේදී ගෙවිය යුතු ඇත්ත මුදල වුවත් ආණ්ඩුවේ මූල්‍ය බංකොළොත්භාවය නිසා ඒවායේ වෙළෙඳ වටිනාකම ඩොලර් බිලියනයකට වඩා බෙහෙවින් අඩුවීමත් සඵලතා අනුපාතිකයන් (Yeild Value) 20% - 40% සීමාවේ තරම් ඉහළ අගයක් ගැනීමත් සිදුවේ. මෙය බැඳුම්කර නිකුතුවේද සිදුවන ක්‍රියාවලියකි.

    සමගි ජන බලවේගයේ අදහස ආණ්ඩුවේ මූල්‍ය ශක්තිය මත බැඳුම්කරයේ ඇත්ත වටිනාකමට (මුහුණත අගය) වඩා අඩු හෝ වැඩි අගයකට (වෙළෙඳපොළ වටිනාකම) ද්විතියික වෙළෙඳපොළේදී එය අළෙවි වීමය. ආණ්ඩුව මූල්‍යමය අතින් දුර්වලනම් වෙළෙඳ වටිනාකම මුහුණත වටිනාකමට වඩා අඩුවන අතර සඵලතා අනුපාතිකය ඉහළ අගයක් ගනී. ආණ්ඩුව මූල්‍යමය අතින් ශක්තිමත් නම් මෙහි අනෙක් පැත්ත සිදුවන බවයි. මේක ඇත්ත නේද?

    ReplyDelete
    Replies
    1. ඒ වගේම විපක්ෂයේ ප්‍රකාශ අනුව 2019 - 2020 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවලට අනුව 2019 වර්ෂය සඳහා විදේශ ණයගැති භාවය හඳුනාගෙන තිබුණේ ඩොලර් බිලියන 55.9 ක් ලෙස බවත් (66.6% ද. දේ. නිෂ්පාදිතයෙන්). එමෙන්ම 2020 දී එම මුදල් ඩොලර් බිලියන 54.8 ක් (65.3 % ද.දේ.නිෂ්පාදිතයෙන්) එනම්, ඩොලර් බිලියන 1.1 ක් අඩුවෙන් වාර්තාකොට තිබිණි. මේ ඩොලර් බිලියන 1.1 කපාහැර ඇත්තේ දේශීය මූලයන්ගෙන් ආණ්ඩුව ලබාගත් ස්වෛරී බැඳම්කර මුදල අඩු කිරීමෙන් බවත් ඒ මේ ආණ්ඩුව විසින් විදේශ ණය ප්‍රමාණය අඩුකර පෙන්වීමට ගැසූ ඉලක්කම් විජ්ජා ගැටයක් බව ජවිපෙ සහ සජබ පැවසූවා.

      එසේම දැන් ආණ්ඩුව 2020 - 2021 මහ බැංකුවේ මූල්‍ය වාර්තා ඉදිරිපත් කර එම වාර්තාවේ 2020 සඳහා වාර්තා කර ඇත්තේ, විදේශ ණය ලෙස ඩොලර් බිලියන 49.2 කි. එනම් 2019 දී ප්‍රකාශ කළ ඩොලර් බිලියන 54.8, ඩොලර් බිලියන 5.6 කින් අඩුකර පෙන්වා ඇති බව විපක්ෂය පවසයි. මෙයට හේතුව කවරක් ද?

      විදේශ ණය මේ ලෙස අඩුවීම ආණ්ඩුවේ හපන්කමක් ද? කිසිසේත් නැති බව විපක්ෂය පවසයි.

      විපක්ෂයේ අදහස අනුව සිදුවී ඇත්තේ අන්තර් ජාතික ස්වෛරී බැඳුම්කර (ISB) වල වෙළෙඳ වටිනාකම ආණ්ඩුවේ මූල්‍ය බංකොළාත්භාවය නිසා අඩුවීම ණය අඩුවීමක් ලෙස පෙන්වීමක් බව. ඒ නිසා ඇත්තටම ආණ්ඩුවට ණය පියවීමේදී මුහුණත වටිනාකම ගෙවීමට සිදුවනු ඇති බවයි.

      පහුගිය 2020 වසර සඳහා අන්තර් ජාතික බැඳුම්කර වල වටිනාකම ඩොලර් බිලියන 14.05 ක් වූ අතර එහි සහමුලින්ම විදේශීය මූල්‍යමය වටිනාකම ලෙස වූ කොටස ඩොලර් බිලියන 11.8 ක් විය. (Non Resident ISB) මෙය එහි මුහුණත අගය නොහොත් ඇත්තටම පියවීමට ඇති මුදලයි. නමුත් මෙහි වෙළෙඳපොළ අගය වන්නේ ඩොලර් බිලියන 7.55 කි. එනම් මුළු වටිනාකමෙන් 64% ක් දක්වා ආණ්ඩුවේ බැඳුම්කර බාල්දු වී ඇති බව විපක්ෂය පවසයි.

      මේ නිසා ලංකාවේ බැඳුම්කරවලට ඇති ජාත්‍යන්තර විශ්වාසය කඩාවැටීම පෙන්වන සාධකයක් බව ඇත්ත ද? මේ විශ්වාසය කඩාවැටීමේ සාධකය තමන් ජාත්‍යන්තර වශයෙන් ගත් ණය ප්‍රමාණය අඩුවීමක් ලෙස පෙන්වමින් තමන්ගේ හපන්කමක් ලෙස පෙන්වාදීමට ආණ්ඩුව කටයුතු කර ඇති බව විපක්ෂය චෝදනා කරනවා.

      ලංකාවේ විපක්ෂයේ අදහස රටේ බංකොළොත්භාවය ලැජ්ජාවීමට කරුණක් මිස, ආඩම්බරයට කරුණක් නොවන බවත් එම බංකොලොත්භාවයට ප්‍රධාන කරුණක් වන්නේ 2005 – 2015 කාලයේ රාජපක්ෂවරු විදේශීය මූළ්‍ය වෙළෙඳපොළෙන් අධික පොලියට ලබාගත් ඩොලර් ට්‍රිලියන ගණනක අති විශාල ගිනි පොළී ණය ප්‍රතිඵලදාක නොවන ලෙස නාස්තිකාරී ආයෝජන කිරීම නිසා ආපසු ගෙවීමට නොහැකි වීමයි.

      ලංකාවේ සජබ ජවිපෙ විපක්ෂ කණ්ඩායම් පවසන්නේ ගම්මැදිවලට ගොස් හෑළි දෙඩවීම නොව, ජනාධිපතිවරයාත්, මුදල් ඇමතිවරයාත් කළයුතු වන්නේ මුළු රාජ්‍යයේම සම්පූර්ණ අවධානය රට විදේශ ණය ගෙවීම පිළිබඳව යොමු කිරීමට බවයි. දැනට මහ බැංකු වාර්තා අනුව අප විසින් 2021 වසර සඳහා ගෙවා ඇති මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 2.1 ක් වන අතර මේ වසරට ගෙවිය යුතු සම්පූර්ණ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 6.9 කි. එනම් ඩොලර් බිලියන 4.8 ක් ඉදිරි කාලයේදී ගෙවීමට සිදුව තිබේ. නමුත් විදේශ සංචිත ඇත්තේ ඩොලර් බිලියන 4.4 ක් පමණි. ආණ්ඩුව කල්පනා කළ යුත්තේ, මෙය කෙසේ පියවන්නේද යන්න හා 2022 වසරේදී සෘණ ගණනක් වීමට නියමිත අපේ සංචිත වලින් ඩොලර් බිලියන 7/8 ක් පමණ වන විදේශ ණය ගෙවන්නේ කෙසේද යන්න ගැනය.
      2005-2015 කාලයේදී ද ඉලක්කම් විජ්ජාවලින් ණය බර අඩුකර පෙන්නා මායාවන් කළාට, ණය අර්බුදය විසඳුනේ නැත. දැන් එම වංචාවේ අවසාන අදියරට ආණ්ඩුව පැමිණ සිටින බව විපක්ෂය පවසයි. මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද ඉකෝන්?

      Delete
  5. ඉකොනොමැට්ටා,

    මහජන චීන සමූහාණ්ඩුවේ පාලක පක්ෂය වන "පොදුජන නිෂ්පාදන පක්ෂය" (ඇමරිකානු ජඩ මාධ්‍ය මගින් මවා පෙන්වන පරිදි චීන කොමියුනිස්ට් පක්ෂේ) පිහිටවල මේ වසරේ 2021 ජූලි මාසයට අවුරුදු සීයක් සම්පූර්ණ වෙනවා. මේ අවුරුදු සීයක කාලය තුළ මේ දේශපාලනික සංවිධානය විසින් කරපු කියපු දේවල්වලින් අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. යෝධ චරිත, විශේෂිත සිදුවීම්, විවිධාකාර අත්හදා බැලීම්, වැරැදීම් සහ වැරැදි හදාගැනීම් කියන විදිහට ඒ හා සම්බන්ධ පාඩම් දේශපාලන ඉතිහාසයට එකතු වෙලා තියෙනවා. අති විශාල ජනගහනයක් සිටින සම්පත් සීමිත විෂම රටක් ලෝකයේ විශාලතම ආර්ථිකය සහිත ශක්තිමත් ලෝක බලවතකු වීම පිළිබඳ විශේෂ අවධානය යොමු කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා නේද?

    තවමත් ඔබ නොදන්නා කරුණු කීපයක් ගැන කියනවා නම් චීනය එක්ක වෙනුවට තායිවානයත් එක්ක රාජතාන්ත්‍රික සම්බන්ධකම් පවත්වන රටවල් කීපයයි තියෙන්නේ. දකුණු ඇමෙරිකාවේ තියෙන පැරගුවේ රටත් ඒ අතර ඉන්නවා. පැරගුවේ රට මෙහෙම කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ බලපෑමට. ඒත් මෙහෙම කළා කියලා ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පැරගුවේ රටට ලැබිච්ච සත පහකට වැඩක් ඇති දේකුත් නෑ.

    මේ ගැන හොඳ කතාවක් පැරගුවේ විදේශ ඇමැති රොබෙටෝ අසවේදු ළඟ දී කියලා තිබුණා.

    “අත් අල්ලගන්න කලින් තමන්ගේ ආදරය ඔප්පු කරලා පෙන්නන්න කියලා අපි මේ උපාය මාර්ගික හවුල්කාරයන්ට කිව්වා. අත් අල්ලගන්න කලින් අඩුම ගණනේ අපිව චිත්‍රපටියක් බලන්න හරි එක්කර ගෙන යන්න පුළුවන්නේ”.

    පැරගුවේ ගන්න හදන තීරණය හුඟක් පැහැදිළියි.

    ඒ වගේ ම, පැරගුවේ පාලකයෝ කරන ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි වැඩ, මානව හිමිකම් කඩකිරීම් වගේ දේවල් ගැන ජාත්‍යන්තර ජඩ මාධ්‍ය මගින් ප්‍රවෘත්ති අපිට අහන්න ලැබෙන දවසත් වැඩි ඈතක නෑ නේද? ඇමරිකන් කාරයෝ දන්නේ එච්චරම තමයි. කොටින්ම බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැ.

    ReplyDelete
    Replies
    1. https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcSykck5rfy6TKMBlow6AB8XDqzflluth5dgqQTB2Wb4D70g7wHa7hpgrB8Be9Gr2Npi4NY&usqp=CAU

      මේ බලන්න චීන හමුදාව ටිබෙට් සාමනේර ලාමා කෙනෙක්ට කරලා තියෙන අපරාධය.
      AnonymousApril 8, 2021 at 2:00 AM ඔබ ලැජ්ජා වියයුතුයි.

      Delete
    2. @ අන්තෝනියෝ,

      මේ දවස්වල විමල් වීරවංශ සහ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක එක්කරගත් නව දේශපාලන සන්ධානයක් ගොඩ නැගීමේ අවශ්‍යතාවය ගැන පාර්ශව කිහිපයක් අතර සාකච්ඡා වෙමින් ඇතැයි ඩේලි මිරර් පුවත්පතේ වාර්තාවක තියෙනවා. ඔබ මේ ගැනත් දන්නවා ඇතිනේ.

      ඒ වගේම එම වාර්තාවේ දැක්වෙන්නේ ලංකාවේ පැවති පසුගිය යහපාලන රජය පිහිටුවීමට මූලිකත්වය ගත් ඇමරිකානු සහ යුරෝපීය තානාපති කාර්යාල සමග සමීපව බැඳී සිටින විදෙස් අරමුදල් යහමින් ලැබෙන ධනවත් බලවත් සිවිල් සංවිධාන ගණනාවක් මෙම සාකච්ඡාවලට ඉතා ශක්තිමත්ව බලවත් ලෙස සම්බන්ධ වී සංවිධාන කටයුතු කරමින් සිටින බවයි.

      මීට අමතරව කොළඹ කේන්ද්‍ර කරගත් ප්‍රධාන පෙළේ භික්ෂූන් කිහිප දෙනෙක් ද සඳහන් කර ඇත්තේ ඔවුන් දෙදෙනා එක්ව දේශපාලන ගමනක් යා යුතු බවයි. මේ සඳහා උතුරේ දමිළ පක්ෂ සහ අනෙකුත් මුස්ලිම් පක්ෂ සියල්ලමපාහේ ඔවුන් සමග එක්සත් ජාතික/ සමගි බලවේග පාක්ෂික ජනයා සමග එක්සත් වීමට නියමිතයි.

      ඒ වාර්තා කෙසේ වෙතත් මෙතෙක් මෙම දෙදෙනා මුණ ගැසී සාකච්ඡා කර නැති අතර නුදුරේම එම හමුව සිදු කිරීමට අදාළ පාර්ශවයන් ඉතා සංවිධානාත්මකව උත්සාහ දරමින් සිටින බව ද දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. මේ ගැන දීර්ඝ ලෙස සාකච්චා කිරීමට අවශ්‍ය විස්තරයක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් හොඳයි නේද?

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: