Friday, August 30, 2024

ස්වේච්ඡා නියැදි මත විමසුම් හා විධිමත් සමීක්ෂණ

මේ සටහනේ අරමුණ මැතිවරණ ප්රතිඵල පිළිබඳ පුරෝකථනයක් කරන එක නෙමෙයි. නිසි ක්‍රමයකට සිදු කරන නියැදි සමීක්ෂණ සහ හෙළකුරු මත විමසුම වැනි ස්වේච්ඡා ප්‍රතිචාර දක්වන්නගේ ප්‍රතිචාර එකතු අතර වෙනස තව දුරටත් පැහැදිලි කරන එක. 

පහත තිබෙන්නේ අගෝස්තු තෙවන සතියේ හෙළකුරු ප්‍රතිඵලය. ප්‍රතිචාර ප්‍රමාණය 24,056ක්.

අනුර - 86.7%

රනිල් - 6.8%

සජිත් - 3.5%

නාමල් - 1.0%

දිලිත් - 0.7%

වෙනත් - 1.3%

මේ ප්‍රතිඵලයෙන් රටේ ජනමතය නිරූපණය නොවන බව සිහි බුද්ධියක් තිබෙන ඕනෑම කෙනෙකුට තේරෙනවා. නමුත්, අන්තර්ජාලය හරහා විවිධ අය විසින් සිදු කර තිබෙන ප්‍රතිචාර එකතු ගණනාවක විශාල සමානකමක් දකින්න පුළුවන්. එතකොට කෙනෙකුට මතු වන ප්‍රශ්නය මේ එකක් වැරදුනත් සියල්ලම වැරදෙන්න පුළුවන්ද කියන එක. 

ඇත්තටම මේ ප්රතිඵල වැරදි නැහැ. මේ ප්‍රතිඵල වලින් පෙන්වන්නේ අදාළ නියැදි වල සැබෑ ජනමතය. ප්‍රශ්නය තියෙන්නේ මේ නියැදි වලින් රටේ ජනමතය නියෝජනය නොවීම. ඒ තුළ සමහර කොටස් වැඩියෙනුත් තවත් සමහර කොටස් අඩුවෙනුත් නියෝජනය වෙනවා. ඇතැම් කොටස් නියෝජනය වෙන්නේම නැහැ. ඒ නිසා, මෙවැනි ප්‍රතිඵලයක් වැරදි නැතත්, එයින් පිළිබිඹු වන්නේ අදාළ කණ්ඩායමේ මතය පමණයි. අන්තර්ජාල මත විමසුම් ගණනාවක ප්‍රතිඵල සමාන වීමෙන් පෙනෙන්නේ මේ ප්‍රතිඵලය අන්තර්ජාලය නිතර පරිශීලනය කරන පිරිසකගේ සාමාන්‍ය ජනමතය විය හැකි බවයි.

හෙළකුරු ජූලි මත විමසුමට 50,686 දෙනෙකු සහභාගී වී සිටියා. පහත තිබෙන්නේ ඒ පිරිස විසින් එක් එක් දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් ප්‍රමාණයෙන් කොපමණ පිරිසක් නියෝජනය කළාද කියන එක. 

කොළඹ - 0.47%

ගම්පහ - 0.43%

කළුතර - 0.44%

මහනුවර - 0.29%

මාතලේ - 0.25%

නුවරඑළිය - 0.12%

ගාල්ල - 0.39%

මාතර - 0.40%

හම්බන්තොට - 0.32%

යාපනය - 0.01%

වන්නි - 0.02%

මඩකලපුව - 0.00%

දිගාමඩුල්ල - 0.11%

ත්‍රිකුණාමලය - 0.07%

කුරුණෑගල - 0.31%

පුත්තලම - 0.21%

අනුරාධපුර - 0.27%

පොළොන්නරුව - 0.26%

බදුල්ල - 0.21%

මොණරාගල - 0.24%

රත්නපුර - 0.29%

කෑගල්ල - 0.29%

දැන් අපට පැහැදිලිව පේනවා මේ කණ්ඩායම තුළ කොළඹ, කළුතර වැනි දිස්ත්‍රික්ක වැඩියෙනුත් යාපනය හා මඩකලපුව වැනි දිස්ත්‍රික්ක ඉතා අඩුවෙනුත් නියෝජනය වන බව. කොළඹ හා යාපනයේ ජනමතය ඒ තරම් වෙනස් නැත්නම් මේක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් එය එසේ නොවන බව අපි දන්නවා. 

පහත ප්‍රස්ථාර වල පෙන්වා තිබෙන්නේ 2019දී ගෝඨාභය රාජපක්ෂ හා සජිත් ප්‍රේමදාස විසින් එක් එක් දිස්ත්‍රික්කයෙන් ලබා ගත් ඡන්ද සංඛ්‍යාවත්, 2020දී මාලිමා කණ්ඩායම විසින් ලබාගත් ඡන්ද ප්‍රතිශතයත්, හෙළකුරු මත විමසුම තුළ එක් එක් දිස්ත්‍රික්කය නියෝජනය වන ආකාරයත් අතර තිබෙන සම්බන්ධයේ ස්වරූපය. 


සමීක්ෂණයක් සඳහා අහඹු නියැදියක් තොරා ගත්තේනම් ඉහත ප්‍රස්ථාර තුනම තිරස් රේඛා විය යුතුයි. ඒ කියන්නේ පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය කීයක් වුනත් නියැදිය තුළ නිරූපණය වෙන්නේ එක විදිහට.

නමුත් පළමු ප්‍රස්ථාර දෙකේම අපට ඉතා පැහැදිලි ලෙස ඉහළට නැඹුරු වීමක් දකින්න පුළුවන්. ඒ කියන්නේ කිසියම් දිස්ත්‍රික්කයක ගෝඨාභය රාජපක්ෂගේ 2019 ඡන්ද ප්‍රතිශතය වැඩිනම්, නියැදිය තුළ නියෝජනයත් වැඩියි. ඒ වගේම, 2020 මාලිමා ඡන්ද ප්‍රතිශතය වැඩිනම් ඒත් නියැදිය තුළ නියෝජනය වැඩියි.

නමුත් 2019 සජිත් ප්‍රේමදාසගේ ඡන්ද ප්‍රතිශතය සහ නියැදිය තුළ නියෝජනය අතර තිබෙන්නේ ප්‍රතිවිරුද්ධ ආකාරයේ සමබන්ධතාවයක්. එම ප්‍රස්ථාරයේ ඉතා පැහැදිලි පහළට සිදු වන නැඹුරුවක් දකින්න පුළුවන්. මෙයින් පෙනෙන්නේ අන්තර්ජාල සමීක්ෂණ තුළ 2019දී සජිත් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ අය නිරූපනය වෙන්නේ අඩුවෙන් කියන එක. නමුත්, 2019 පොහොට්ටු හා මාලිමා ඡන්ද හොඳින් නිරූපණය වෙනවා. 

දැන් මාලිමාව එක්ක වැඩිපුර ඉන්නේ 2019 පොහොට්ටු හා මාලිමා කඳවුරු වල සිටි අය කියා පහසුවෙන්ම උපකල්පනය කරන්න පුළුවන්නේ. ඒ අයව අන්තර්ජාලය භාවිතා කරන්නන් අතර හොඳින් නියෝජනය වෙනවා. නමුත් සජිත්ගේ 2019 ඡන්ද නියෝජනය නොවන තරම්. රනිල්ගේ ඡන්ද වලිනුත් සැලකිය යුතු ප්‍රමාණයක් නියෝජනය වෙනවා. ඒ නිසා, මේ ප්‍රතිඵලය දෙස බලලා රටේ තත්ත්වය ගැන නිවැරදි අදහසක් ගන්න අමාරුයි. 

මේ වගේ "වැරදි නියෝජනයක්" සිදු වන්නේ දිස්ත්‍රික්ක අනුව බැලුවොත් පමණක් නෙමෙයි. වයස් කාණ්ඩ, අධ්‍යාපන මට්ටම්, ආදායම් මට්ටම්, ස්ත්‍රී පුරුෂ භාවය ආදී වෙනත් තොරතුරු එකතු කරගෙන පරීක්ෂා කළොත්, ඒ දේවල් වුනත් ජනගහණයේ අනුපාත අනුව නියැදිය තුළ නියෝජනය නොවන බව තේරුම් ගන්න අමාරු නැහැ. 

නම්බර්ස් ඩොට් එල්කේ මත විමසුමේදී ඔය වගේ තොරතුරු රාශියක් එකතු කරගෙන එම තොරතුරු සමඟ ගලපමින් රටේ අනුපාත හා සමාන වන පරිදි දත්ත නැවත සකස් කර තිබෙනවා. එහෙම කළ විට හරි ප්‍රතිඵලය ආසන්නයට එන්න පුළුවන්. නමුත් වැරැද්ද සම්පූර්ණයෙන්ම හදන්න බැහැ. 

මීට කිට්ටු දෙයක් සයන්ස් විත් රුචිර යූටියුබ් නාලිකාව කරන රුචිර විසින්ද කර තිබෙනවා. ඔහු අදාළ සංකල්පය නිවැරදිව විස්තර කරනවා. මෙහිදී ඔහු තමන්ගේ නාලිකාවේ ප්‍රේක්ෂකයින්ගේ වයස් මට්ටම හා අධ්‍යාපන මට්ටම ගැන උපකල්පනයක් කරලා, පෙනෙන ජනමතය එම කාණ්ඩයේ ජනමතය ලෙස සලකනවා. ඉතිරි කොටස ගැන විවිධ උපකල්පන සිදු කරනවා. ඔහු එකතු කරගෙන තිබෙන දත්ත එක්ක එයින් එහාට දෙයක් කරන්න අමාරුයි.

නම්බර්ස් ඩොට් එල්කේ මත විමසුමෙන් පසුව කරන්නෙත් ඔය විස්තර කළ වැඩේමයි. නමුත් එහි වෙනස්කම් දෙකක් තිබෙනවා. පළමුව, එය භාෂා තුනෙන්ම කළ එකක් නිසා සිංහල කතා නොකරන අයගේ ජනමතය ගැනද උපකල්පනය නොකර දත්ත වලින්ම දැනගන්න පුළුවන් වීම. දෙවනුව, එම මත විමසුමේදී අමතර තොරතුරු විශාල ප්‍රමාණයක් එකතු කරගෙන තිබෙනවා. ඒ නිසා, ප්‍රතිඵලය සෑහෙන දුරකට ජනගහණය නියෝජනය කරනවා.

🧭 අනුර - 43% 🐘 රනිල් - 27% ☎️ සජිත් - 22% 🌷 නාමල් - 3% ❔ අතීරක - 2%

නමුත් මේ නම්බර්ස් ඩොට් එල්කේ ප්‍රතිඵලයේ වුනත් එක් සැලකිය යුතු අඩුපාඩුවක් තිබෙනවා. කොයි තරම් දුරට වැරදි හැදුවත්, එයින් අන්තර්ජාලනය පරිශීලනය කරන හා නොකරන කණ්ඩායම් අතර තිබෙන පහසුවෙන් නිරීක්ෂණය කළ නොහැකි වෙනස්කම් ග්‍රහණය කරගන්න අමාරුයි. ඒ වැඩේ කරන්න පුළුවන් අහඹු නියැදියක් අරගෙන කරන මත විමසුමකින්ම පමණයි. 

ඉහත මුලින් විස්තර කළ හේතු නිසා නම්බර්ස් ඩොට් එල්කේ ප්‍රතිඵලය තුළ අනුරගේ හා රනිල්ගේ ප්‍රතිශත තරමක් වැඩියෙන් හා සජිත්ගේ ප්‍රතිශතය තරමක් අඩුවෙන් පේනවා වෙන්න පුළුවන්. මේ දත්ත වලින් පමණක් ඒ කොයි තරමින්ද කියලා හරියටම කියන්න අමාරුයි. 

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ සමීක්ෂණය ගැන අපි සටහන් කිහිපයකින්ම විස්තරාත්මකව කතා කළානේ. එහි නියැදි දෙකක් එකතු කරලා තිබෙනවා. එකක් අහඹු ජංගම දුරකථන අංක නියැදියක්. එයින් ලංකාවේ ජංගම දුරකථන පරිශීලකයින් නිවැරදිව නියෝජනය වෙනවා. ඡන්දදායකයින්ව ආසන්නව නිවැරදිව නියෝජනය වෙනවා ඇති. නමුත් හරියටම නෙමෙයි. මොකද ඡන්දය දීම සඳහා සුදුස්සෙකු වෙන්නේ ජංගම දුරකථනයක් තිබීම මත නෙමෙයිනේ.

වයස, අධ්‍යාපන මට්ටම, ජාතිය වගේ නිරීක්ෂණය කළ හැකි දේවල් සමාන තත්ත්වයක් යටතේ ලංකාවේ ඡන්දදායකයින් අතරින් ජංගම දුරකථනයක් හිමි අය සහ අහිමි අයගේ ඡන්ද භාවිතය සමානයි කියලා අපට උපකල්පනය කරන්න පුළුවන්ද? මම හිතන්නේ බැහැ. හෙළකුරු නියැදිය තරමටම නොවුනත් මේ නියැදියේ මාලිමාවට හා රනිල්ට කැමති අය වැඩියෙනුත් සජිත්ට කැමැති අය අඩුවෙනුත් ඉන්නවා කියලයි මම හිතන්නේ. ඒ නිසා මේ නියැදියෙන් ලැබෙන්නේ රනිල්ට හා අනුරට වාසිදායක, සජිත්ට අවාසිදායක ප්‍රතිඵලයක්.

ඔය ප්‍රශ්නය මග හරවා ගන්න සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් තවත් නියැදියක් යොදා ගන්නවා. එය මාලිමාවට අවාසිදායක හා සජිත්ට වාසිදායක වැඩිහිටි නියැදියක්. 

දැන් මේ කරන වැඩෙන් මතු වෙන ප්‍රශ්නය වන්නේ ඔය නියැදි දෙක කලවම් කරන අනුපාතය අනුව ප්‍රතිඵලය වෙනස් වීමයි. මම හිතන විදිහට අඩු වැඩි කරන්නේ ජංගම දුරකථන නියැදිය. පසුගිය මාසයේදී නියැදිය 462 දක්වා අඩු වූ නිසා සජිත් ඉස්සරහට ගිහින් අනුර පස්සට ගියා. මේ මාසයේදී නියැදිය 701 දක්වා වැඩි කර ඇති නිසා, නැවත අනුර ඉදිරියට ඇවිත්. මේ වගේ දෙයක් වෙයි කියන එක මම කලින්ම සටහන් කරලා තිබෙනවා.

"මේ කරුණ වැදගත් වන්නේ ඉදිරි මාසයේදී නියැදියේ ප්‍රමාණය විශාල කරන්නට අපේක්ෂා කරන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් සඳහන් කර තිබුණු නිසයි. බොහෝ විට සිදු විය හැකි පරිදි, මෙසේ වැඩි කෙරෙන්නේ ජංගම දුරකථන නියැදියනම්, මහ පොළොවේ තත්ත්වයන්හි කිසිදු වෙනසක් සිදු නොවුනත්, අනුරගේ ප්‍රතිශතය තරමක් ඉහළ ගොස් සජිත්ගේ ප්‍රතිශතයේ අඩු වීමක් විය හැකියි. ඒ සමඟම, රනිල්ගේ ප්‍රතිශතයේද යම් ඉහළ යාමක් සිදු වෙනවා."

ඇස්තමේන්තු වෙනස් වෙන තවත් හේතු...

https://economatta.blogspot.com/2024/08/blog-post_5.html
අගෝස්තු 5 ලිපිය. 

අලුත්ම ප්‍රතිඵලය අනුව අනුර සහ සජිත් කරට කර. අනුර යාන්තමින් ඉදිරියෙන් ඉන්නවා.

🧭 අනුර - 37%

☎️ සජිත් - 36%

🐘 රනිල් - 23% 🌷 නාමල් - 4%

ප්‍රතිඵලය ඇත්තටම මෙවැන්නක් වුනොත් බොහෝ විට දිනන්න ඉඩ තියෙන්නේ සජිත්. මොකද සජිත්ට අඩු වශයෙන් 5%ක පමණවත් දෙවන මනාප ලබාගන්න පුළුවන්. ඒ නිසා, අනුරට දිනන්නනම් අඩු වශයෙන් 5%කවත් සුරක්ෂිතතා පරතරයක් (safe distance) තියා ගන්න වෙනවා.

ඔහොම වෙන්නේ ප්‍රතිඵලය ඔය තියෙන විදිහේ එකක් වුනොත්නේ. නමුත් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ඇස්තමේන්තුව වුනත් ඒ තරම්ම නිවැරදියි කියා සහතික වෙන්න අමාරුයි. ඊට ප්‍රධානම හේතුව මෙම ඇස්තමේන්තු හදද්දී සෘජු ලෙස තමන්ගේ මතය ප්‍රකාශ කර නැති ඇයගේ මතය ඔවුන් මත "අහඹු ලෙස ආරෝපණය (random imputation) කර" මේ ඇස්තමේන්තු සකස් කර තිබීම. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අහඹු නියැදි පරීක්ෂණයකට අනුව මෙම ප්‍රමාණය 57.1%ක් තරම් විශාලයි. බදුල්ල ටීවී යූටියුබ් නාලිකාව අනුව 50%කට වඩා වැඩියි. සුදත්තගේ යූටියුබ් නාලිකාව අනුව වුනත්, 30%-40% වගේ පරාසයක.

මේ සියලු තත්ත්වයන් එක්ක, කොයි තරම සමීක්ෂණ සිදු කර තිබුණත්, හරිම ප්‍රතිඵලය දැනගන්න වෙන්නේනම් විසි එකෙන් පස්සෙම තමයි. නමුත් ඔය විස්තර කළ විවිධ මත විමසුම් සියල්ලම ගත්තහම යම් පොදු කරුණු ටිකක් නිරීක්ෂණය කරන්න පුළුවන්.

- සිංහල බහුතර දිස්ත්‍රික්ක වල ඉදිරියෙන් ඉන්නේ අනුර 

- නමුත්, ඒ දිස්ත්‍රික්ක වල වුනත්, අනුර ඉන්නෙත් 50% සීමාවට පහළින් 

- දෙවෙනි තැන ඉන්නේ සජිත් 

- රනිල් ඉන්නේ තුන් වන තැන 

- නාමල් පැත්ත පළාතක නැහැ

අනෙක් මත විමසුම් වලට සාපේක්ෂව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ඇස්තමේන්තු වල සජිත් ඉන්නේ ඉදිරියෙන්. එහෙම වෙන්න පුලුවන්ද?

උතුරු නැගෙනහිර ඡන්ද වැටෙන විදිහේ වෙනස්කම් නිසා මේ වගේ වෙනසක් වෙන්න පුළුවන්. හෙළකුරු මත විමසුම් වල, සුදාගේ මත විමසුම් වල, උතුරු නැගෙනහිර ඡන්ද නැහැ. නමුත්, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ඇස්තමේන්තුව තුළ ඒවා තිබෙනවා. සජිත් ඉස්සරහට ඇවිත් තියෙන්නේ උතුරු නැගෙනහිර ඡන්ද වලින්නම්, දකුණේදී අනුර සැලකිය යුතු පරතරයක් තියාගෙන හිටියත් අවසන් ප්‍රතිඵලය ඔය පෙන්වා තිබෙන ආකාරයේ එකක් වෙන්න පුළුවන්.

පසුගිය 2019 ජනාධිපතිවරණයේදී ඡන්ද බෙදුනේ මේ විදිහටයි.

ගෝඨාභය - 52.25%

අනුර - 3.16%

සජිත් - 41.99%

වෙනත් - 2.60%

මහ මැතිවරණයේදී ඔය ජනාධිපතිවරණ ඡන්ද ප්‍රමාණය බෙදී ගියේ මේ විදිහටයි.

පොහොට්ටුව - 51.72%

ශ්‍රීලනිප - 0.50%

මාලිමාව - 3.37%

සජබ - 20.92%

නොවැටුණු එජාප ඡන්ද - 12.48%

දෙමළ හා මුස්ලිම් පක්ෂ - 6.18%

එජාප - 1.88%

වෙනත් - 2.95%

වැදගත් කාරණාව ගෝඨාභයගේ හා අනුරගේ ඡන්ද ඒ විදිහටම වගේ තියෙද්දී සජිත්ට ලැබුණු ඡන්ද කැඩී ගොස් තිබුණු විදිහ. සමීක්ෂණ සියල්ල පැත්තකින් තිබ්බොත්, සජිත්ගේ ඡන්ද ගණන් කරන්න වෙන්නේ 20.92% ඉඳලා. අනුරගේ ඡන්ද 3.37% ඉඳලා. රනිල්ගේනම් 1.88% ඉඳලා. එතකොට මේ කාට වුනත් 50% සීමාවට හෝ කිට්ටුවට යන්න වෙන්නේ ගෝඨාභයගේ, දෙමළ හා මුස්ලිම් පක්ෂ වල හෝ නොවැටුණු එජාප ඡන්ද වල උදවුවෙන්. (ගොඩක් අය කරන අලුත් ඡන්ද වෙනම ගණන් කරන එක මම කරන්නේ නැහැ. මම හිතන විදිහට එසේ කරන එකෙන් ද්විත්ව ගණනයක් සිදු වෙනවා.)

ඔය ගොඩවල් වලින් අනුරට වැඩියෙන්ම ලැබෙන්නේ ගෝඨාභයගේ ගොඩෙන්. ඒ ගොඩෙන් රනිල්ටත් කොටසක් යනවා. තව නාමල්, දිලිත් වගේ අයත් ඉන්නවා. සජිත්ට වුනත් යම් ප්‍රමාණයක් ලැබෙන්න පුළුවන්. නොවැටුණු එජාප ඡන්ද බොහෝ විට බෙදෙන්නේ රනිල් හා සජිත් අතර. දෙමළ හා මුස්ලිම් ඡන්දත් වැඩි වශයෙන්ම රනිල්ට හා සජිත්ට. දෙමළ අපේක්ෂකයාට වගේම අනුරටත් යම් කොටසක් එයි. නමුත් පොඩි කොටසක්. දැන් අප ඉදිරියේ තිබෙන ප්‍රශ්නය ප්‍රධාන අපේක්ෂකයින් තුන් දෙනාට 50% සීමාවට යාමේ හැකියාව කුමක්ද කියන එක.

අනුරගෙන් පටන් ගත්තොත් අනුර ඉන්නේ 46.63%ක හිඟයක් එක්ක. ඒ කියන්නේ පොහොට්ටු ගොඩෙන් 90%කට වඩා ගන්න වෙනවා. එහෙම ගත්තොත්, රනිල්, නාමල්, දිලිත් ආදී අනෙක් සියල්ලන්ටම යන්නේ ඔය ගොඩෙන් 10%කට අඩුවෙන්. ඒ නිසා, අනුරට 50% සීමාවට යා හැකියි කියලා මම හිතන්නේ නැහැ.මාලිමාව විසින් ලබා ගන්නා පොහොට්ටු ඡන්ද ප්‍රතිශතය අනුව, මාලිමා ඡන්ද ප්‍රතිශතය වෙනස් වෙන්නේ මේ විදිහටයි.

90% --> 49.9%

80% --> 44.7%

70% --> 39.6%

60% --> 34.4%

50% --> 29.2%

40% --> 24.1%

30% --> 18.9%

මාලිමාවට 50% සීමාවට යන්න අමාරු වුනත්, 44.7% සීමාවට ගියොත් පහසුවෙන් දිනන්න පුළුවන්. 39.6% සීමාවේදීත් යම් ඉඩක් තිබෙනවා. 34.4% සීමාවේදීනම් බැරි තරම්.

නොවැටුණු එජාප ඡන්ද හා දෙමළ හා මුස්ලිම් පක්ෂ වල ඡන්ද 100%ක්ම ගත්තත්, සජිත්ට 50% සීමාවට යන්න තවත් 9.89%ක් මදි. ඒ කියන්නේ ගෝඨාභයගේ ගොඩෙනුත් 19% ඉක්මවා ගන්න වෙනවා. පළමුව, සජිත්ට නොවැටුණු එජාප ඡන්ද හා දෙමළ හා මුස්ලිම් පක්ෂ වල ඡන්ද 100%ක්ම ගන්න බැහැ. අනිවාර්යයෙන්ම රනිල් මේ ගොඩවල් වලින් සැලකිය යුතු කොටසක් ගන්නවා. යම් හෙයකින්, ඔය ඡන්ද සියල්ලම ගත්තත්, ගෝඨාභයගේ ගොඩෙන් 19% ඉක්මවා ඡන්ද ලබා ගැනීමේ හැකියාවක් පේන්න නැහැ. ඒ නිසා, සජිත්ට කොහොමටවත්ම 50% සීමාවට යන්න බැහැ.

පොහොට්ටු ඡන්ද අත ඇරියොත් සජිත්ට යන්න පුළුවන් උපරීම සීමාව 40% සීමාව. 2020 සජබ ඡන්ද වලින් පටන් අරගෙන එයට 2020දී නොවැටුණු එජාප ඡන්ද හා දෙමළ හා මුස්ලිම් පක්ෂ වල ඡන්ද එකතු කරගෙන යද්දී එසේ එකතු කරන ප්‍රතිශතය අනුව සජිත්ගේ විභවය වැඩි වෙන්නේ මේ විදිහටයි.

90% --> 37.7%

80% --> 35.8%

70% --> 34.0%

60% --> 32.1%

50% --> 30.3%

40% --> 28.4%

30% --> 26.5%

පොහොට්ටු ඡන්ද වලින් 10%ක් එකතු කළොත් ඔය ගණන් වලට තව 5.2%ක් එකතු වෙනවා.

රනිල්ට පටන් ගන්න වෙන්නේ 1.88% මට්ටමේ ඉඳලා. රනිල්ට 2020දී නොවැටුණු එජාප ඡන්ද හා දෙමළ හා මුස්ලිම් පක්ෂ වලින් වගේම පොහොට්ටු ඡන්ද වලිනුත් යම් කොටසක් එකතු කරගන්න පුළුවන්. ඒක ගණන් හදනවාට වඩා, අනුරට හා සජිත්ට යන කොටස ඉවත් කළාට පස්සේ කොයි තරම් කොටසක් ඉතිරි විය හැකිද කියා ගණන් හදන එක ලේසියි.

මාලිමා කණ්ඩායම විසින් මුල සිටම වගේ කළේ මාලිමා කඳවුර හා මාලිමාවට විරුද්ධ කඳවුර විදිහට ජනතාව බෙදන එක. ඒ බෙදීම දැනටමත් සිදු වෙලා. ලංකාවේ දේශපාලනයේ ඊටත් උඩින් තිබෙන ජාතිය මත පදනම් වූ බෙදීම් වලින් පස්සේ ලොකුම බෙදීම මාලිමා කඳවුර හා ප්‍රතිවුරුද්ධ කඳවුරු අතර බෙදීම. සජිත්, රනිල් හා තවත් අතර බෙදී යන්නේ මේ ප්‍රතිවුරුද්ධ කඳවුරේ ඡන්ද ටික. ඒ කියන්නේ දෙමළ මුස්ලිම් ඡන්දද ඇතුළු සම්ප්‍රදායික එජාප ඡන්ද සහ පොහොට්ටු ඡන්ද වලින් මාලිමාවට නොයන කොටස.

පළමු කොටස 42%ක් පමණ වෙනවා. දෙවන කොටස 8%කට වඩා අඩු වෙන්න ඉඩකඩ අඩු නිසා ලොකු ගොඩ වෙන්නේ මාලිමාවට විරුද්ධ කඳවුර. මාලිමාව දිනනවද නැද්ද යන්න තීරණය වීමට පොහොට්ටු ඡන්ද මාලිමා කඳවුර හා ප්‍රතිවිරුද්ධ කඳවුර අතර බෙදී යන විදිහ වගේම ප්‍රතිවිරුද්ධ කඳවුරේ කණ්ඩායම් අතර ඡන්ද බෙදෙන විදිහත් බලපානවා. විශේෂයෙන්ම සජිත් හා රනිල් අතර.

මුල්ම ප්‍රශ්නය පොහොට්ටු ඡන්ද වලින් මාලිමාවට ලබා ගත හැකි ප්‍රතිශතය කොපමණද?

මේ හා අදාළව අදහසක් ගැනීමට අපට සුදත්තගේ මත විමසුම් පරීක්ෂාවට ලක් කළ හැකියි. එහිදී පෙනීයන පළමු කරුණ වන්නේ මෙම මත විමසුම් වලදී මාලිමාවට වඩාත්ම වාසිදායක සේ පෙනෙන ප්‍රදේශ වලදී පවා මාලිමාව විසින් ලබා ගෙන තිබෙන්නේ පොහොට්ටු ඡන්ද වලින් 50%කට නොවැඩි කොටසක් බවයි. 

උදාහරණයක් විදිහට සුදත්තගේ තංගල්ල සමීක්ෂණය අනුව 37.9%ක් අනුරට. සජිත්ට හා රනිල්ට පිළිවෙලින් 10.3% හා 6.9% පමණයි. නමුත්, 2020දී තංගල්ලෙන් පොහොට්ටුව 77.8%ක් ගනිද්දී මාලිමාව තවත් 9.5%ක් ගත්තා. ඒ අනුව, මාලිමා කොටස අයින් කළාට පස්සේ අනුරගේ පොහොට්ටු ඡන්ද ප්‍රතිශතය 36.6%ක් පමණයි. සජිත්ගේ 2020 ප්‍රතිශතය වූ 10.3% ඒ විදිහටම තියෙනවා. රනිල්ට හා නාමල්ට ගිහින් තියෙන සුළු ප්‍රමාණ අයින් කළාම පොහොට්ටු ඡන්ද වලින් බාගයකටත් වඩා තියෙන්නේ අතීරක ගොඩේ.

දැන් මම කියන්න හදන්නේ ඔය තියෙන්නේ රනිල්ගේ නිහඬ බහුතරය කියලා නෙමෙයි. ඒ කොටස රනිල්ට, සජිත්ට හෝ අනුරට ලැබෙන්න පුළුවන්. යම් අනුපාතයකින් බෙදිලා යයි. ඒ කොහොමද කියලා සැප්තැම්බර් 21ට කලින් මට කියන්න පුළුවන්කමක් නැහැ. නමුත් දැනට මාලිමාව වෙත විතැන් වී තිබෙන පොහොට්ටු ඡන්ද ප්‍රමාණය අපට ඇස්තමේන්තු කරන්න පුළුවන්.

පහත තිබෙන්නේ සුදත්තගේ සමීක්ෂණ අනුව මාලිමා ප්‍රතිශත සහ ඒ තුළ තිබිය හැකි පොහොට්ටු ඡන්ද ප්‍රතිශතය. පොහොට්ටු ඡන්ද ප්‍රතිශත වරහන් තුළ.

ඇඹිලිපිටිය - 37.0% (44.6%)

රත්නපුර - 34.2% (44.9%)

කටුනායක - 32.9% (52.4%)

වීරකැටිය - 43.6% (46.2%)

මහරගම - 40.0% (46.6%)

මීගමුව - 38.0% (62.0%)

බෙලිඅත්ත - 45.3% (48.4%)

කළුතර - 31.4% (41.3%)

තංගල්ල - 37.9% (36.6%)

හොරණ - 22.1% (24.1%)

මම හිතන්නේ යන රටාව ගැන අදහසක් ගන්න පුළුවන්. මීගමුවේ වෙනසට හේතුව පාස්කු බෝමබයේ බලපෑම විය හැකියි. නැත්නම්, 45% ආසන්න සීමාවක. හැබැයි ඔය තත්ත්වය රට මැදට යද්දී වෙනස් වෙනවා.

හැටන් - 7.2% (12.2%)

යටියන්තොට - 12.2% (16.9%)

දෙහිඕවිට - 16.3% (21.9%)

නාරම්මල - 12.1% (15.5%)

රට මැද දැකිය හැකි ඔය වෙනස් තත්ත්වය බදුල්ල ටීවී නාලිකාවේ ප්රතිඵල වලිනුත් පේනවා.

බණ්ඩාරවෙල - 17.7% (21.1%)

මහියංගණය - 20.6% (26.9%)

දියතලාව - 19.4% (24.0%)

හාලිඇල - 15.5% (20.3%)

හපුතලේ - 12.8% (18.0%)

මුහුදුබඩ ප්‍රදේශ වල පොහොට්ටු ඡන්ද වලින් අඩු වශයෙන් 40%ක් හෝ වැඩි ප්‍රමාණයක් මාලිමාව වෙත විතැන් වී තිබුනත් රට ඇතුළට යද්දී ඒ ප්‍රතිශතය 20% ආසන්න මට්ටමකට පහත වැටෙනවා. ඒ අනුව, මාලිමා ඡන්ද ප්‍රතිශතයේ අවම සීමාව පිළිබඳව අදහසක් ගන්න පුළුවන්. පොහොට්ටු ඡන්ද වලින් වැඩි ප්‍රමාණයක් තිබුණේ මුහුදුබඩ දිස්ත්‍රික්ක වල නිසා අපි 40% සැලකුවොත් එන්නේ 24%කට ආසන්න ඇස්තමේන්තුවක්.

මේ කොටස ඉවත් කළාට පස්සේ ඉතිරි වෙන්නේ මාලිමා විරෝධී ඡන්ද කියලා එයින් අදහස් වන්නේ නැහැ. සජිත්ගේ අවම ඡන්ද ප්‍රමාණය මීටත් වඩා අඩුයි. අපට සජිත්ගේ සමීක්ෂණ ප්රතිඵල 2020 සජබ ප්‍රතිශත එක්ක සංසන්දනය කරන්න පුළුවන්. වරහන් තුළ තියෙන්නේ ඒවා.

ඇඹිලිපිටිය - 24.6% (18.4%)

රත්නපුර - 16.7% (23.1%)

කටුනායක - 26.1% (35.6%)

වීරකැටිය - 12.2% (12.2%)

මහරගම - 21.5% (19.0%)

මීගමුව - 13.9% (19.0%)

බෙලිඅත්ත - 11.2% (12.2%)

කළුතර - 28.8% (21.8%)

තංගල්ල - 10.3% (10.3%)

හොරණ - 28.6% (19.1%)

හැටන් - 37.4% (33.3%)

යටියන්තොට - 27.4% (31.2%)

දෙහිඕවිට - 22.0% (28.8%)

නාරම්මල - 20.2% (25.7%)

බණ්ඩාරවෙල - 17.0% (28.5%)

මහියංගණය - 19.6% (26.9%)

දියතලාව - 16.1% (28.5%)

හාලිඇල - 27.2% (29.9%)

හපුතලේ - 24.3% (45.5%)

දැන් මෙහි වරහන් ඇතුළේ තිබෙන්නේ සජබ විසින් 20.92%ක් ලබාගත් 2020 ප්‍රතිශත මිසක් සජිත් 41.99%ක් ලබාගත් 2019 ප්‍රතිශත නෙමෙයි. ගොඩක් තැන් වලදී මේ සමීක්ෂණ වලින් පෙන්වන සජිත්ගේ ප්‍රතිශත 2020 සජබ ප්‍රතිශත වලටත් වඩා අඩුයි. සමහර තැන් වලදී ඊට වඩා වැඩියි. ඒ කියන්නේ සජිත් විසින් 2020දී නොවැටුණු එජාප ඡන්ද නැවත ආකර්ෂණය කරගෙන. සජිත්ගේ ඡන්ද අඩු වී ඇති තැන් වලදී රනිල්ගේ ගොඩ යම් තරමකින් වැඩි වී තිබෙනු දැකිය හැකියි. සමස්තයක් ලෙස ගත් විට සජිත් එක්ක නිශ්චිතව තිබෙන බව පෙනෙන්නේ 2020දීත් සජබ වෙත ලැබුණු ඡන්ද ප්‍රමාණයට නොවැඩි ප්‍රමාණයක්. මීට අමතරව, සජිත්ට 2019දී ලැබුණු දෙමළ හා මුස්ලිම් පක්ෂ වල ඡන්ද වලින් යම් කොටසකුත් එකතු වෙයි. ඒ කොටස 3%ක් පමණ (බාගයක් පමණ) ලෙස සැලකුවොත් සජිත්ගේ ගොඩත් 24% කිට්ටුවට එනවා.

මේ තත්ත්වයන් එක්ක පෙනෙන්නේ අනුරගේ හා සජිත්ගේ ප්‍රතිශත කිට්ටුවෙන් යනවා කියා සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය කියන කතාව නිවැරදි බව. නමුත් ඇත්ත ප්‍රතිශත එහි පෙන්වන ප්‍රතිශත වලට වඩා ගොඩක් අඩුයි. 

මේ සමීක්ෂණ අනුව රනිල් ඉන්නේ අනුරට හා සජිත්ට පසුපසින් කියන එක පැහැදිලි නිසාත්, රනිල්ට ගොඩවල් දෙකකින් ඡන්ද එකතු වන නිසාත්, ඒ ඡන්ද එන විදිහ ආකෘතියක් ඇතුළට දමන එක ටිකක් අමාරු වැඩක් වගේම ඒ තරම්ම ප්‍රයෝජනවත් නැති වැඩක්. අපි හිතමු ඡන්දය දැමීමේ අභිප්‍රාය සෘජුව ප්‍රකාශ කර තියෙන්නේ 60%ක් පමණයි කියලා. දැන් ඔය 60% අතරින් අනුරට හා සජිත්ට 24% බැගිනුත් රනිල්ට 12%කුත් තිබෙනවානම්, ප්‍රතිශත හැදෙන්නේ සජිත්ට හා අනුරට 40% බැගින් හා රනිල්ට 20% විදිහට. සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ඇස්තමේන්තු හැදිලා තියෙන්නේ ඒ විදිහට.

මේ අන්තිම ගණන් කිවුවේ උදාහරණයක් විදිහට පමණයි. නමුත් පවතින දේශපාලන වාතාවරණය තුළ විශාල ඡන්දදායකයින් ප්‍රමාණයක් වැනි වැනී ඉන්න තිබෙන ඉඩකඩ හිතාගන්න අමාරු නැහැ. ඔය පෙර කී යූටියුබ් සමීක්ෂණ වලිනුත් ඒක පේනවා. සම්ප්‍රදායික එජාප ඡන්දදායකයාට සජිත්ද රනිල්ද කියන ප්‍රශ්නේ තියෙනවා. තවමත් තීරණයක් ගෙන නැති පොහොට්ටු ඡන්දදායකයින්ට අනුර, රනිල්, නාමල්, දිලිත්, සජිත් වගේ තේරීම් ගණනාවක් තියෙනවා. ඔය තත්ත්වයන් එක්ක, කොයි තරම් සමීක්ෂණ හා මත විමසුම් සිදු කර තිබුණත්, ඒවා මත පමණක් පදනම්ව අවසන් ප්‍රතිඵලය ගැන නිශ්චිත ලෙස කිසිවක් කියන්න අමාරුයි. 

Monday, August 26, 2024

මෙවර අයවැයෙන් බදු වැඩි වෙන්නේ කොහොමද?

ඉදිරි 2025 වසර සඳහා රාජ්‍ය අයවැය ඇස්තමේන්තු පිළියෙළ කිරීමේ මූලික කටයුතු මේ වෙද්දීත් පටන් අරගෙනයි තියෙන්නේ. මෙහිදී ප්‍රාථමික වියදම්, ඒ කියන්නේ පොලී ගෙවීම් හැර රජයේ අනෙකුත් සියලු වියදම්, දළ දේශීය නිෂ්පාදිතයෙන් 13%කට වඩා වැඩි වෙන්න බැහැ. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම් හෝ වෙනත් ඕනෑම වියදම් වැඩි කිරීමක් සිදු කරන්න වෙන්නේ ඔය සීමාවට යටත්වයි. (එසේ කිරීමේ හැකියාව ගැන පෙර ලිපි වල විස්තර කළා.)

ඔය 13% සීමාව එන්නේ සති කිහිපයකට පෙර රටේ නීතියක් බවට පත් වූ 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත අනුවයි. එම පණතේ 15(1) වගන්තියේ සඳහන් කොට ඇති පරිදි "ආණ්ඩුවේ ප්‍රාථමික වියදම් අදාළ මුදල් වර්ෂය සඳහා ඇස්තමේන්තුගත නාමික දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දහතුනක ප්‍රතිශතයක් නොඉක්මවිය යුතුය."

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත දැන් රටේ නීතියක් නිසා ආණ්ඩුව මාරු වුනත් මේ සීමාව තවදුරටත් වලංගුයි. නමුත්, මෙය සාමාන්‍ය පණතක් නිසා පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් පහසුවෙන්ම සංශෝධනය කරන්න පුළුවන්. 

පණත ගෙනාවේ රනිල් කඳවුර නිසා රනිල්ට පක්ෂපාතී කණ්ඩායමක් දිගටම බලයේ හිටියොත් ඔය සීමාව වෙනස් වෙන්න හේතුවක් නැහැ. නමුත් රජයේ වියදම් කොපමණද කියා තීරණය කරන එක බලයේ සිටින ආණ්ඩුවේ අයිතියක්. ජනතාව ආණ්ඩුවක් බලයට පත් කරන්නේ ඒ අයිතිය ඔවුන්ට ලබා දීලයි. ඒ වගේම, එය පවතින ආණ්ඩුවේ ආර්ථික-දේශපාලන ප්‍රතිපත්තිය අනුව සිදු වෙන දෙයක්. 

ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම අනුවත්, ඒ නැතත්, රටේ ණය තිරසාරත්වය ඇති කරගෙන ඉතා ඉක්මණින් නැවත ආර්ථික අර්බුදයකට නොයා සිටීම සඳහාත්, අවම වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගන්නම වෙනවා. සජිත් කඳවුර වගේම මාලිමා කඳවුරත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුමෙන් ඉවත් වන බවක් කියා නැහැ. ඒ වගේම, ඔය කණ්ඩායම් දෙකෙන් එකක්වත් ඉතා ඉක්මණින් රට නැවත ආර්ථික අර්බුදයකට යන විදිහේ වැඩක් දැන දැන, හිතාමතා කරන එකක් නැහැ. 

පවතින තත්ත්වයන් යටතේ නැවතත් රටේ ආර්ථිකය අස්ථාවර වෙන්න යනවා කියන්නේ ඊට කලින්ම පවතින ආණ්ඩුව අස්ථාවර වෙනවා කියන එක. දේශපාලන කඳවුරක් අමාරුවෙන් බලය ලබාගන්නේ ලේසියෙන් බලය අත හැර යන්න නෙමෙයි. ඒ නිසා, ඔය කවුරු බලයට ආවත්, තම තම නැණ පමණින්, "කරන දෙයක් පරිස්සමෙන්" කරයි කියලයි මම හිතන්නේ.

රජය ක්‍රමයෙන් කුඩා කරමින් රාජ්‍ය වියදම් දිගටම 13% සීමාවේ පවත්වා ගැනීම රනිල්ගේ ආර්ථික-දේශපාලන ප්‍රතිපත්තිය බවයි පෙනෙන්න තියෙන්නේ. නමුත් සජබ විසින් මේ සීමාව ඕනෑවට වඩා සීමාකාරී එකක් බව කිහිප තැනකම සඳහන් කර තිබෙනු දැක්කා. මාලිමාවේ ආර්ථික-දේශපාලන ප්‍රතිපත්ති එක්ක මේ සීමාව කොහොමටවත් ගැලපෙන්නේ නැහැ. ඒ නිසා, ඔය කඳවුරු දෙකෙන් එකක් බලයට ආවොත් 13% සීමාව ඉහළ දමන්න ඉඩ තිබෙනවා.

පවතින ආණ්ඩුවේ ආර්ථික-දේශපාලන ප්‍රතිපත්තිය මත පදනම්ව ඇති 13% සීමාව වැඩි කරන එක ඒ හේතුව නිසාම ප්‍රශ්නකාරී වෙන්නේ නැහැ. මොකද කුඩා රජයක් පවත්වා ගෙන යාම කියන එකෙන් නියෝජනය වන්නේ එක් ආර්ථික-දේශපාලන ධාරාවක් පමණයි. නමුත් 2.3%ක ප්‍රාථමික අයවැය අතිරික්තය එවැන්නක් නෙමෙයි. එය මේ වෙද්දී ලංකාව ඉන්න තත්ත්වයත් එක්ක අනිවාර්ය අවශ්‍යතාවයක්. 

රජයේ ප්‍රාථමික වියදම් 13%නම් (මේ කියන්නේ දදේනි අනුපාත ගැන), 2.3%ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීම සඳහා රාජ්‍ය ආදායම අවම වශයෙන් 15.3% දක්වා වැඩි කරගන්න වෙනවා. ඒ කියන්නේ, ඔය 13% සීමාව් වැඩි කර ගත්තත්, රාජ්‍ය ආදායම 15.3% මට්ටමට යන තුරු 13%කට වඩා වියදම් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. 

රනිල්ගේ ආර්ථික-දේශපාලන ප්‍රතිපත්තිය බව පෙනෙන්නේ රාජ්‍ය ආදායම 15.3% මට්ටමට අරගෙන දිගටම ඒ මට්ටමේ දිගටම පවත්වා ගෙන යන එක. දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වී තිබෙන වැඩපිළිවෙළේ ඉලක්කයත් ඒකයි. මේ ඉලක්කයට ඉදිරි (2025) වර්ෂය තුළම වුනත් යාමේ හැකියාවක් තිබෙනවා. එසේ යා හැකි වුවහොත්, ඉන් පසුව තව දුරටත් බදු වැඩි කරන්න අවශ්‍ය වන්නේ නැහැ. 

මාලිමා කඳවුර විසින් කිහිප තැනක කියා තිබුණු විදිහට ඔවුන්ගේ ඉලක්කය රාජ්‍ය අදායම මීට වඩා ඉහළ මට්ටමකට අරගෙන යන එක. රාජ්‍ය අදායම තිරසාර ලෙස වැඩි කරගත හැකිනම්, 2.3%ක ප්‍රාථමික අයවැය අතිරික්තය පවත්වා ගනිමින්, රාජ්‍ය වියදමත් වැඩි කරන්න පුළුවන්. ඒ විදිහේ වෙනසකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විරුද්ධ වෙන එකක් නැහැ. මොකද ලංකාවේ වාමාංශික කඳවුර විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල "නව ලිබරල්" ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින ආයතනයක් ලෙස හැඳින්වුවත්, අරමුදල විසින් දිගින් දිගටම පෙන්වා දී තිබෙන්නේ රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමේ අවශ්‍යතාවයයි. 

ඔය කතාව සජිත් කඳවුර ඇතුළු වෙනත් ඕනෑම කඳවුරකට අදාළයි. දැනට යෝජිත 15.3% සීමාවෙන් එහාට රාජ්‍ය ආදායම ගෙන යා හැකිනම් වැඩියෙන් වියදම් කරන්නත් පුළුවන්. ඒක රටේ මිනිස්සුන්ගේ බහුතර කැමැත්ත අනුව තීරණය විය යුතු දෙයක්. නමුත් දැනට තිබෙන ප්‍රශ්නය 15.3% සීමාවට යන එකයි.

ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක ගිවිසුම අත්සන් කළේ 2023 මාර්තු වලදීනේ. රනිල්ට බලය ගියේ 2022 ජූලි. මහ බැංකුවේ හා මහා භාණ්ඩාගාරයේ ලොකු පුටු මාරු වුනේ ඊටත් මාස කිහිපයකට කලින්. නමුත් ඔය දේවල් වෙන්න කලින්, 2021දීත් යම් බදු වැඩි කිරීම් යෝජනා කළා. එහෙම නොකළානම් දදේනි අනුපාතයක් විදිහට රාජ්‍ය ආදායම් වැඩි වෙන්න තිබුණේ පහත ආකාරයටයි. මේ බදු නොවන ආදායම් කොටසද ඇතුළත්ව.

2023 - 6.8%

2024 - 7.6%

2025 - 8.1%

දැන් ඔය විදිහට කිසිම බදු වැඩි කිරීමක් කළේ නැතත් අවුරුද්දෙන් අවුරුද්ද බදු ආදායම් ඉහළ යනවා. ඊට හේතුව නාමික දළ දේශීය නිෂ්පාදිතය වැඩිවීම. එය සිදු වෙන්නේ ආර්ථික වර්ධනය නිසා වෙන්නත් පුළුවන්. උද්ධමනය නිසා වෙන්නත් පුළුවන්. හේතුව ඔය දෙකෙන් කොයි එක වුනත් බදු ආදායම් වැඩි වෙනවා. 

ඕනෑනම් මේක වෙන්නේ බදු කැපීම නිසා එහි උදවුවෙන් ආර්ථිකය වර්ධනය වීමෙන් කියලා කෙනෙකුට තර්ක කරන්නත් පුළුවන්. ඒක එහෙම වුනත් නොවුනත්, 2025 වෙද්දී යා හැකිව තිබුණේ 8.1% සීමාවට පමණයි. 


ඔය තත්ත්වය හමුවේ, ආර්ථික අර්බුදය එන්න කලින්ම, 2021දී යම් බදු වැඩි කිරීම් යෝජනා කළානේ.

- මූල්‍ය සේවා මත අය කරන වැට් බද්ද වැඩි කිරීම 

- සමාජ සංරක්ෂණ බද්ද 

- නිෂ්පාදන බදු වැඩි කිරීම 

ඔය බදු වැඩි කිරීම් වලින් රාජ්‍ය ආදායම තවත් 1%කින් වැඩි කරගන්න පුළුවන්කමක් තිබුණා. විශේෂයෙන්ම සමාජ සංරක්ෂණ බද්දෙන්.  

2023 - 7.8%

2024 - 8.6%

2025 - 9.1%

නමුත් තවමත් හැරෙන්නවත් මදිනේ. හැබැයි 2022දී යෝජනා වූ බදු ප්‍රතිසංස්කරණ වලින් තත්ත්වයේ විශාල වෙනසක් සිදු වුනා. මේ බදු ප්‍රතිසංස්කරණ සියල්ල යෝජනා වුනේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක ගිවිසුම අත්සන් කරන්න කලින්. ඊට පස්සේ රාජ්‍ය ආදායම් ඇස්තමේන්තු වෙනස් වුනේ මේ විදිහට.

2023 - 11.0%

2024 - 13.2%

2025 - 14.9%

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක ගිවිසුමක් අත්සන් කරන්න කලින්ම ශ්‍රී ලංකා බලධාරීන් විසින් ඔය ව්දිහට බදු ප්‍රතිසංස්කරණ යෝජනා කරලා සහ එයින් වැඩි කොටසක් ක්‍රියාත්මක කරලා රාජ්‍ය ආදායම් වැඩි කරගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තිබීම රටට ඉක්මණින් ගොඩ එන්න විශාල උදවුවක් වුනා. 

ඉහත 2022 බදු ප්‍රතිසංස්කරණ යෝජනා බොහොමයක් ඉතා ඉක්මණින් සිදු කිරීමට නියමිතව තිබුණත් තෑගි හා උරුම බද්දත්, වත්කම් බද්දත් අය කරන්න අදහස් කර තිබුණේ 2025 සිටයි. ඊට හේතුව මේ බදු අය කරන්න කලින් රටේ දේපොළ පිළිබඳ නිවැරදි තක්සේරු සිදු කර අවසන් කළ යුතු වීමයි. 2025 රාජ්‍ය ආදායම් ඇස්තමේන්තුවෙන් 1.2%ක් ආවේ ඔය බදු දෙකෙන්. ඒ දෙක නැතිව තත්ත්වය මේ වගේ.

2023 - 11.0%

2024 - 13.2%

2025 - 13.7%

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අපේක්ෂා කරන පරිදි රාජ්‍ය ආදායම 15.3% මට්ටමට එසවිය යුත්තේ පහත ආකාරයටයි.

2025 - 15.0%

2026 - 15.1%

2027 - 15.2%

2028 සිට ඉදිරියට - 15.3%

නමුත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පළමු විමර්ශනය සිදු කරද්දී, ඒ වෙද්දී පැවති ප්‍රගතිය අනුව, පේන්න තිබුණේ මේ වගේ තත්ත්වයක්. 

2023 - 10.1%

දැන් මේ තත්ත්වය අනුව 2023 ඉලක්කය වූ 11.0%ට යන්න 0.9%ක අඩුවක් තියෙනවනේ. 2023 ඉලක්කයට යන්නේ නැතිව 2024 හා ඉන් ඉදිරියට ඉලක්ක වලට යන්නත් බැහැ. වැට් බද්ද 18% දක්වා වැඩි කළේ ඒ අඩුව හදා ගන්න. කලින් කියපු 2022 බදු ප්‍රතිසංස්කරණ අනුව වැට් බද්ද වැඩි කිරීමට නියමිතව තිබුණේ සහ වැඩි කර තිබුණේ 15% දක්වා පමණයි. වැට් බද්ද 18% දක්වා වැඩි කිරීමෙන් පසුව 2024දී 12.9% මට්ටමට යන්න පුළුවන් වෙයි කියන එකයි ඇස්තමේන්තුව වුනේ. ඒක වුනත් 13.2% මට්ටමට වඩා අඩු වුනත් කිට්ටුවට හරි යනවනේ.

කොහොම වුනත් 2023 දෙවන භාගයේදී බදු ආදායම් සැලකිය යුතු ලෙස වැඩි වූ නිසා අන්තිමට 2023 අපේක්ෂිත ඉලක්කය වූ 11.0%ට යන්න පුළුවන් වුනා. ඒකට 2024 සිට වැට් වැඩි කිරීම නිසා ලැබෙන ආදායමද එකතු කළ විට දැන් තත්ත්වය මෙවැන්නක්.

2024 - 13.5%

මේ අනුව, 2025 ඉලක්කය වන 15.0%ට යන්න තවත් අඩු 1.5%ක් පමණයි. වාහන ආනයනයට ඉඩ දුන් පසුව එයින් 0.8%ක් එකතු වෙනවා. වැට් බදු පැහැර හරින අයගෙන් එම බදු අය කර ගැනීම සඳහා දැනට ගන්නා ක්‍රියාමාර්ග වලින් තවත් 0.3%ක් එකතු වීමට නියමිතයි. ඒ අනුව, තවත් අඩු 0.4%ක් පමණයි.

දැන් මම කලින් කිවුවනේ 2022 බදු ප්‍රතිසංස්කරණ යෝජනා අනුව 2025 සිට තෑගි හා උරුම බද්දක් සහ වත්කම් බද්දක් පැනවීමට සැලසුම් කර තිබුණු බව සහ එමගින් 1.2%ක් එකතු කරගන්න යෝජනා වී තිබුණු බව. නමුත් දැන් ඒ තරම් අඩුවක් නැහැ. තව අඩු 0.4%ක් පමණයි. ඒ අනුව, රජය විසින් අරමුදලට යෝජනා කර තියෙන්නේ අර කලින් කියූ බදු දෙක වෙනුවට වෙනත් බදු ප්‍රතිසංස්කරණ කිහිපයක් මගින් ඔය 0.4% අඩුව හදාගන්න. රුපියල් වලින්නම් බිලියන 136ක් පමණ. 

මේ සඳහා "ආරෝපිත ගෙවල් කුලී" බද්දක් අලුතෙන් හඳුන්වා දෙන්න නියමිතව තිබෙනවා. එමගින් තව 0.15%ක් එකතු කරගන්න පුළුවන්. රුපියල් බිලියන 51ක් පමණ.

තමන් පංදිචි නිවසට අමතරව සමහර අයට තවත් ගෙවල් තිබෙනවා. ඒ අමතර ගෙවල් කුලියට දී තිබේනම්, එසේ ලැබෙන ආදායම වෙනුවෙන් කොහොමටත් ආදායම් බදු ගෙවන්න වෙනවා. කොහොමටත් කිවුවට මුළු ආදායම අවම ආදායම් බදු සීමාවෙන් එහාට යන අයට පමණයි. නමුත් එවැනි අමතර ගෙවල් කුලියට දී නැත්නම් ආදායමක් නොලැබෙන නිසා බද්දක් ගෙවන්න අවශ්‍ය වන්නේ නැහැ.

දැන් මේ අලුත් බද්ද හඳුන්වා දුන් පසුව එවැනි අමතර ගෙයක් කුලියට නොදුන්නත්, කුලියට දීමෙන් ලබා ගත හැකි ආදායම ඇස්තමේන්තු කරලා එම "ලබා ගත හැකි" ආදායම වෙනුවෙන් බද්දක් ගෙවන්න වෙනවා. මේකත් වත්කම් බද්දක් වගේම තමයි. නමුත් වෙනස්කම් දෙකක් තිබෙනවා.

පළමු වෙනස මේ බද්දට යටත් වන්නේ කෙනෙකුගේ වත්කම් වලින් එක් වර්ගයක් පමණයි. ඒ නිසා, අය කර ගැනීම වඩා පහසුයි. හැබැයි අපේක්ෂිත ආදායම කලින් යෝජනා වූ බදු ක්‍රම වලින් ලබා ගත හැකි වූ ප්‍රමාණයෙන් අටෙන් එකක් පමණයි. 

දෙවන වෙනස නීතිමය වෙනසක්. ලංකාවේ දැනට පවතින නීතිය අනුව දේපොළ බදු අය කළ හැක්කේ පළාත් සභා වලටයි. ඒ නිසා, මධ්‍යම රජය විසින් දේපොළ බද්දක් පැනවීම පළාත් සභා බලතල ආපසු ගැනීමක් වගේ දෙයක් වෙනවා. නමුත් ආදායම් බදු අය කළ හැක්කේ මධ්‍යම රජයට නිසා මේ විදිහට අය කරන එකේ නීතිමය අවුලක් නැහැ. යම් ආකාරයකින් පළාත් සභා නීතියට වංගු ගැහීමක් වගේ දෙයක්. 

මේ අලුත් බද්ද හැම පොඩි ගෙදරකින්ම අය කරන එකක් නැහැ. එය අදාළ වනු ඇත්තේ යම් අවම වටිනාකමක් තිබෙන වටිනා හා විශාල නිවාස මත පමණයි. 

ඊළඟට මත්පැන්, දුම්කොළ හා සූදු ක්‍රීඩා මත දැනට අය කරන 40% බද්ද 45% දක්වා වැඩි කර තවත් රුපියල් බිලියන 27ක් පමණ එකතු කර ගැනීමට නියමිතව තිබෙනවා. සේවා අපනයන ආදායම් සඳහා දැනට ලබා දී තිබෙන ආදායම් බදු සහනයක් ඉවත් කිරීමෙන් තවත් රුපියල් බිලියන 14ක් පමණ එකතු කරගන්න පුළුවන්. දැනට වැට් බදු අය නොකරන කාණ්ඩ කිහිපයක් මත වැට් බදු පැනවීමෙන් ඉතිරි අඩුව හදාගන්න පුළුවන්. 

අවසාන වශයෙන්, මේ වෙද්දී රජය විසින් ආදායම් වැඩි කිරීම හා අදාළව විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙන නිසා, ආරෝපිත ගෙවල් කුලී බද්ද ඇතුළු බදු ප්‍රතිසංස්කරණ කිහිපයක් පමණක් කරලා දිගුකාලීන රාජ්‍ය ආදායම් ඉලක්කය වන 15.3% මට්ටමට යන්න පුළුවන්. මේ බදු ප්‍රතිසංස්කරණ සාමාන්‍ය පුද්ගලයෙකුට දැනෙන මට්ටමේ ඒවා නෙමෙයි. මේ විදිහට 15.3% ඉලක්කයට් ගියාට පස්සේ එයින් 2.3%ක් ඉතිරි කරගෙන 13.0% දක්වා මුදලක් වියදම් කරන්න පුළුවන්. ඊට වඩා වැඩියෙන් වියදම් කරනවානම් 15.3% මට්ටමට වඩා ආදායමත් වැඩි කරගන්න වෙනවා. 



Saturday, August 24, 2024

බදු ආදායම හා රාජ්‍ය සේවක වැටුප්


මේ සටහන කෙටි සාරංශ අවශ්‍ය අයට. ආර්ථික අර්බුදයට පෙර වසර වලදී රජයේ බදු ආදායමෙන් 40%කට ආසන්න මුදලක් රාජ්‍ය සේවක වැටුප් සඳහා වැය වුනා. එහෙත් බදු කප්පාදුවෙන් පසුව රජයේ බදු ආදායමෙන් 65%කටත් වඩා රාජ්‍ය සේවක වැටුප් වෙනුවෙන් වැය කරන්න සිදු වුනා. එය දරා ගත නොහැකි මට්ටමක්. 

දැන් එක පැත්තකින් රාජ්‍ය සේවය කුඩා වෙමින් තිබෙනවා. අනෙක් පැත්තෙන් බදු ආදායම් වේගයෙන් ඉහළ යමින් තිබෙනවා. ඒ නිසා, මේ වන විටත් රාජ්‍ය සේවක වැටුප් වෙනුවෙන් වැය වන්නේ රජයේ බදු ආදායමෙන් 25%කටත් වඩා අඩු මුදලක්. 

ඉදිරි වර්ෂයේදී බදු ආදායම තවත් වැඩි වන නිසා, රාජ්‍ය සේවක වැටුප් වෙනුවෙන් වැය කළ යුතු වන්නේ බදු ආදායමෙන් 19%ක පමණ මුදලක් පමණයි. ඒ නිසා, රාජ්‍ය සේවක වැටුප් වියදම 30%කින් වැඩි වුනත්, රාජ්‍ය සේවක වැටුප් වෙනුවෙන් වැය වන්නේ උපරිම වශයෙන් බදු ආදායමෙන් 25%ක පමණ කොටසක් පමණයි.

මෙය රාජ්‍ය සේවක වැටුප් වැඩි කළ යුතු බවට කරන නිර්දේශයක් නෙමෙයි. එය දේශපාලනික තීරණයක්. 

කෙටි සාරංශය අවසන්. වැඩි විස්තර අවශ්‍ය අය සඳහා අදාළ සංඛ්‍යාලේඛණ පහත තිබෙනවා. 

2019

බදු ආදායම = රුපියල් බිලියන 1,734.9

රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 686.5

ප්‍රතිශතය = 39.6%


2020

බදු ආදායම = රුපියල් බිලියන 1,216.5

රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 794.2

ප්‍රතිශතය = 65.3%


2021

බදු ආදායම = රුපියල් බිලියන 1,298.0

රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 845.7

ප්‍රතිශතය = 65.2%


2022

බදු ආදායම = රුපියල් බිලියන 1,751.1

රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 956.2

ප්‍රතිශතය = 54.6%


2023

බදු ආදායම = රුපියල් බිලියන 2,720.6

රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 939.5

ප්‍රතිශතය = 34.5%


2024 අප්‍රේල් දක්වා කාලය 

බදු ආදායම = රුපියල් බිලියන 1,117.8

රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 301.8

ප්‍රතිශතය =  27.0%


2024 වර්ෂය සඳහා ඇස්තමේන්තුව 

බදු ආදායම = රුපියල් බිලියන 3,820.0

රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 905.4

ප්‍රතිශතය = 23.7%


2025 වර්ෂය සඳහා ඇස්තමේන්තුව

බදු ආදායම = රුපියල් බිලියන 4,725.0

රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 905.4

ප්‍රතිශතය = 19.2%


ප්‍රශ්න:

මේ වර්ෂය හා ඉදිරි වර්ෂය සඳහා බදු ආදායම් ඇස්තමේන්තු වරදින්න බැරිද?

පුළුවන්. නමුත් IMF ගිවිසුම අනුව එහෙම වෙන්න යනවානම් කවර හෝ ක්‍රියාමාර්ගයක් අරගෙන තත්ත්වය නිවැරදි කරන්න වෙනවා. උදාහරණයක් විදිහට මේ ඉලක්කයට යන්නනම් ඉදිරි වර්ෂයේදී නැවත වාහන ආනයනයට ඉඩ දෙන්න වෙනවා. එය සැලසුමේ කොටසක්. ඒ සඳහා, විදේශ අංශයේ තුලනය දිගටම පවත්වා ගන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා, මේ ඉලක්කයට පහසුවෙන් යා හැක්කේ අනෙකුත් හැම දෙයක්ම දැනට සැලසුම් කර තිබෙන පරිදි සිදු වුනොත් පමණයි.

මේ වර්ෂය හා ඉදිරි වර්ෂය සඳහා රාජ්‍ය සේවක වැටුප් ඇස්තමේන්තු හදලා තිබෙන්නේ කොහොමද?

මෙහිදී උපකල්පනය කර තිබෙන්නේ දැන් වියදම ඒ මට්ටමේම තිබෙන ලෙස සලකලයි. නමුත් රජයේ ඉලක්කය මිලියන 1.3 සිට මිලියන 1.0 දක්වා රාජ්‍ය සේවය ක්‍රමයෙන් කුඩා කරන එක. ඒ නිසා, මෑත වසර වලදී මෙම වියදම ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව පේනවා. මේ වසරේදී හා ඉදිරි වසරේදී තවත් අඩු වෙයි. ඒ නිසා, මේ තියෙන්නේ උපරිම වියදම. නමුත් යම් හෙයකින් රාජ්‍ය ප්‍රතිපත්තිය වෙනස් වී අලුත් බඳවාගැනීම් සිදු වුවහොත් වියදම වැඩි වෙන්න පුළුවන්.

මේ සටහන ලියලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ දිනයි කියලා උපකල්පනය කරලද?

නැහැ. කවුරු දිනුවත් ඔය ආදායම් ඉලක්කයට යන්න වෙනවා වගේම ඒ ඉලක්කයට යන්න පුළුවන්. රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවද නැද්ද කියන එක දිනන පුද්ගලයා මත තීරණය වෙන්න පුළුවන්. නමුත් එය අපට අදාළ කරුණක් නෙමෙයි. මෙහිදී සලකා බලා තිබෙන්නේ දිනන කාට හෝ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට තිබෙන හැකියාව ගැන පමණයි. මේ ආදායම් ඉලක්කයට යද්දී රාජ්‍ය සේවක වැටුප් වැඩි නොකර එම මුදල වෙනත් කටයුත්තකට වැය කරන්නත් පුළුවන්. ඒවා දේශපාලනික තීරණ. 

මීට පෙර 2015දී වැඩුප් වැඩි කිරීමේ බලපෑම කුමක්ද? 

එම වැටුප් වැඩි කිරීම සිදු වුනේද බදු ආදායම් හා රාජ්‍ය සේවක වැටුප් ගැලපෙන ආකාරයටයි. 

2014

බදු ආදායම = රුපියල් බිලියන 1,050.4

රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 441.0

ප්‍රතිශතය = 42.0%


2015 

බදු ආදායම = රුපියල් බිලියන 1,355.8

රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 561.7

ප්‍රතිශතය = 41.4%


2016

බදු ආදායම = රුපියල් බිලියන 1,463.7

රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 576.5

ප්‍රතිශතය = 39.4%


2017

බදු ආදායම = රුපියල් බිලියන 1,670.2

රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 588.5

ප්‍රතිශතය = 35.2%


2018

බදු ආදායම = රුපියල් බිලියන 1,712.3

රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 626.0

ප්‍රතිශතය = 36.6%

Friday, August 23, 2024

දැන් ආණ්ඩුවට සල්ලි තියෙනවද?


ජනාධිපතිවරණයට තියෙන්නේ තවත් සති හතරක් පමණයි. ජනාධිපතිවරණ තරඟය තුළ ඉදිරියෙන් ඉන්න අපේක්ෂකයින් තුන් දෙනා විසින්ම රාජ්‍ය අයවැය කෙරෙහි බලපෑමක් සිදු වන විවිධ පොරොන්දු දෙන බවක් පේන්න තිබෙනවා. රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමක ඉඳලා වෙනත් වියදම් වැඩි වෙන යෝජනා වල සිට විවිධ බදු සහන දක්වා පරාසයක පැතිරුණු යෝජනා. මේ එක්ක ගොඩක් දෙනෙක්ට මතු වෙන සාධාරණ ප්‍රශ්නය ඔය කියන දේවල් කරන්න ආණ්ඩුවට සල්ලි තියෙනවද කියන එකයි.

අපි මේ කතා කරන්නේ අවුරුදු දෙකකට කලින් ණය ගෙවා ගන්න බැරුව "බංකොලොත් වුනු" රජයක අයවැය ගැනනේ. ඒ ශ්‍රී ලංකා රජයට දැන් හදිසියේම කප්රුකක් පහළ වෙලා නැහැ. හැබැයි දැන් ශ්‍රී ලංකා රජය අවුරුදු දෙකකට කලින් පල්ල හූරමින් හිටපු හිඟන රජයත් නෙමෙයි. ඒ හිඟන්නාගේ පාත්තරේ මේ වෙද්දී සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් ඉතිරි වී තිබෙනවා. 

මේ ජනාධිපතිවරණයෙන් කවුරු දිනුවත් මාස හය හතකින් රටේ ආර්ථිකය කඩාගෙන වැටෙන එකක් නැහැ කියලා මම විශ්වාසයෙන් යුතුව කියන්නේ ඔන්න ඔය හේතුව හින්දා. ඉතාම අසීරුවෙන් ආදායම් වැඩි කරගෙන සහ වියදම් දැඩි ලෙස සීමා කරමින් රජය විසින් යම් මුදලක් ඉතිරි කරගෙන ඉන්න නිසා ලබන අවුරුද්ද සඳහා හදන අයවැයෙන් යම් වියදම් වැඩි කිරීමක් හෝ බදු සහනයක් දෙන්න පුළුවන් අවකාශයක් මේ වෙද්දී හැදිලා තියෙනවා. සීමාව පැන්නුවේ නැත්නම්, එහෙම කළා කියලා කිසිසේත්ම රටේ ආර්ථිකය කඩා වැටෙන්නේ නැහැ. 

මේ (2024) අවුරුද්දේ පළමු මාස හයේ බදු ආදායම රුපියල් බිලියන 1,709ක්. මෙම මුදල පසුගිය (2023) වර්ෂයේ පළමු මාස හයට සාපේක්ෂව 42.6%ක වැඩිවීමක්. ජූනි අවසානය සඳහා IMF එක විසින් ලබා දී තිබුණු ඉලක්කය රුපියල් බිලියන 1,500ක් පමණයි. ඒ අනුව, ඉලක්කයට වඩා 14.0%ක් ඉස්සරහට ගිහින් තියෙනවා. රුපියල් වලින් බිලියන 209ක්. 

ඔය බදු ආදායමනේ! බදු නොවන ආදායම් එක්ක 2024 පළමු මාස හයේ රජයේ මුළු ආදායම රුපියල් බිලියන 1,865ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය පෙර වසරට සාපේක්ෂව 41.6%ක වර්ධනයක්. 

නමුත්, ඔය විදිහට ආදායම් ඉහළ යද්දී රජය හරි හරියට වියදම් වැඩි කරලා නැහැ. පසුගිය වසරට සාපේක්ෂව වියදම් වැඩි කරගෙන තියෙන්නේ යාන්තම් 2.0%කින් පමණයි. මේ නිසා, පොලී ගෙවීම් හැර, මාස හයට රජය විසින් වියදම් කරලා තියෙන්නේ රුපියල් බිලියන 1,321ක් පමණයි. ඒ කියන්නේ ආදායමෙන් 70.9%ක් පමණයි. මේ ඉතිරි 29.1% ඉතිරි වෙලා තිබෙනවා. රුපියල් වලින් බිලියන 543ක්. එහෙමත් නැත්නම් මෙම වසරේ පළමු මාස හයට රුපියල් බිලියන 543ක ප්‍රාථමික අයවැය අතිරික්තයක්!

ලංකාව දැනට ඉන්න සාර්ව ආර්ථික වැඩපිළිවෙළ අනුව, දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක් දක්වා ප්‍රාථමික අයවැය අතිරික්තය ඉහළ දමාගෙන ඒ මට්ටමේ තියාගෙන යන්න වෙනවනේ. ඔය ඉලක්කයට යා යුතුව තියෙන්නේ 2025 අවුරුද්දේදීයි. මේ අවුරුද්දට දීලා තියෙන ඉලක්කය 1.0%ක්. ඒ අනුව, මාස තුනෙන් තුනටත් ඉලක්ක දීලා තිබෙනවා. ජූනි මාසය අවසානයට ඉලක්කය රුපියල් බිලියන 140ක්. නමුත් රජය රුපියල් බිලියන 543ක්ම ඉතිරි කරගන්න සමත් වී තිබෙනවා. 

ලංකාව නිදහස ලැබුවට පස්සේ කිසිම දවසක ශ්‍රී ලංකා රජය විසින් මේ මට්ටමේ කාර්ය සාධනයක් පෙන්වලා නැහැ. මේක සැබෑ ක්‍රම වෙනසක්. ආණ්ඩුව කාට ගියත් ඔය පාරේම දිගටම ගියොත් රටට පැහැදිලිව පෙනෙන අනාගතයක් තිබෙනවා. 

මේ අවුරුද්ද අවසානයට ලබා දී තිබෙන ප්‍රාථමික අයවැය අතිරික්ත ඉලක්කය රුපියල් බිලියන 300ක්. ඒ අනුව, දැනටම ඉතිරි කරගෙන තිබෙන මුදල මුළු අවුරුද්දේම ඉලක්කයටත් වඩා 81.1%කින් වැඩි මුදලක්. ඇස්තමේන්තුගත දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.8%ක් පමණ. වසරේ දෙවන භාගයේදීත් බදු එකතු කිරීම් කාර්යක්ෂම ලෙස සිදු වුනොත් සහ වියදම් ඔය විදිහටම පාලනය වී තිබුනොත් මේ අවුරුද්ද ඇතුළතම 2.3% ප්‍රාථමික අතිරික්ත ඉලක්කය පහු කරලා තවත් එහාට යන්න පුළුවන්. මම හිතන විදිහට බොහෝ විට ඒ වැඩේ වෙයි. 

දැනට මහා භාණ්ඩාගාරයේ ප්‍රතිපත්තිය වී තියෙන්නේ ලැබෙන අරමුදල් සියල්ල වියදම් නොකර යම් සංචිතයක් පවත්වා ගන්න එක. ඒ නිසා, යම් සතියක වෙළඳපොළ පොලී අනුපාතික ගොඩක් වැඩිනම් පරණ ණය ගෙවන්න අලුතෙන් ණය නොගෙන ඒ සංචිතයෙන් ගෙවන්න පුළුවන්කම තිබෙනවා. මේ හේතුව නිසා පොලී අනුපාතික මත වන පීඩනය අඩු වෙලා පොලී වියදමත් සීමා වෙනවා. ඒ නිසා පොලී වියදමද ඇතුළුව සමස්ත අයවැය හිඟය කෙරෙහි දෙපැත්තකින් වාසිදායක බලපෑම් එනවා.

පොලී වියදම්ද ඇතුළුව මේ අවුරුද්දේ පළමු මාස හයේ සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 599ක් පමණයි. පසුගිය අවුරුද්දේ එම මුදල රුපියල් බිලියන 1,243ක්.

ඔය විදිහට රජය ආදායම් වැඩි කර ගෙන තියෙන්නේ මිනිස්සුන්ගේ බඩ පිටට ඇලෙන තුරු හූරලා බදු අරගෙන කියලා කෙනෙකුට කියන්න පුළුවන්. වසර දෙකකට කලින් බදු වැඩි කරපු විදිහ ගැන ඒ විදිහට කියන එකේ වැරැද්දක් නැහැ.

රටක රජයක් මොන හේතුවක් නිසා හෝ අර්බුදයට ගිහින් ඊට විසඳුමක් විදිහට ක්ෂණිකව බදු ආදායම් වැඩි කරගන්න අවශ්‍ය වූ විට බදු අනුපාතික ඉහළ දමන්න වෙනවා. මොකද බදු පදනම වැඩි කරගන්න එක එක දවසකින් කරන්න පුළුවන් දෙයක් නොවුනත් බදු අනුපාතික එක රැයකින් ඉහළ දමන්න පුළුවන්. නමුත් ඒ විදිහට දිගින් දිගටම බදු අනුපාතික ඉහළ දමන්න බැහැ. එයින් මිනිස්සුන්ට වෙන පීඩාව පැත්තකින් තිබ්බත් බදු අනුපාතික වැඩි කරලා බදු ආදායම් වැඩි කර ගන්න පුළුවන් යම් උපරිම සීමාවක් තිබෙනවා. 

ලංකාවට ලබා දී තිබුණු ඉලක්කය දදේනියෙන් 14.3% දක්වා බදු ආදායම් වැඩි කරගෙන ඒ මට්ටමේ තියාගෙන යන එක. 2022දී හිටපු 7.3% මට්ටමේ ඉඳලා 14.3% මට්ටමට එක පාරට යන්න බැහැ. බදු අනුපාතික වැඩි කරලා යම් මට්ටමකට යා හැකි වුනත් එතැනින් එහාට යන්න බදු පදනම පුළුල් කරගන්න වෙනවා. කොයි තරම් කාර්යක්ෂම රජයකට වුනත් ඒ වැඩේට සැලකිය යුතු කාලයක් යනවා. IMF එක විසින් ශ්‍රී ලංකා රජයට මේ ඉලක්කයට ටිකෙන් ටික යන්න 2028 දක්වා කාලය දී තිබෙනවා. 2025 වසර සඳහා ඉලක්කය 13.9%ක්.

මේ විදිහට බදු ආදායම් ඉලක්ක වලට යන එක ලේසි වැඩක් නෙමෙයි. ඒ සඳහා, අදාළ ආයතන වලට කාර්ය සාධන ඉලක්ක (KPI) ගණනාවක් දී තිබෙනවා. ඒවා ඉතාම විස්තරාත්මක මට්ටමට ගිය ඒවා. නිකම්ම එකතු කළ යුතු සල්ලි ගණන් පමණක් නෙමෙයි. අලුතෙන් විවෘත කළ යුතු බදු ගොනු ප්‍රමාණ, විගණනය කළ යුතු බදු ගොනු ප්‍රතිශතය, නියමිත දිනයට බදු ගෙවීම් ප්‍රතිශතය ආදී ගොඩක් දේවල් සඳහා තියෙන්නේ මාස තුනෙන් තුනට ඉහළ යන ඉලක්ක. ඒ නිසා, අතීතයේ පැවති තත්ත්වයන් එක්ක පසුගිය අවුරුදු දෙක සංසන්දනය කරලා ඒ පරණ විවේචන දිගටම කරන්න පුළුවන් පසුගිය දෙවසර තුළ සිදු වී තිබෙන විශාල වෙනස්කම් ගැන යාවත්කාලීන නැති කෙනෙකුට පමණයි. එහෙම නැතුව බදු අනුපාතික වැඩි කළ නිසා ස්වයංක්‍රීය ලෙස බදු ආදායම් වැඩි වෙලා නෙමෙයි. (මේ දේවල් ගැන ආණ්ඩුව ජනතාව දැනුවත් කරන්නෙත් නැහැ තමයි!)

රජයේ බදු ආදායම් ඉහළ ගිහින් තිබුණත් බදු සහන දෙන්න තවමත් අමාරු ඔය 14.3% ඉලක්කයට යන්න තිබෙන නිසා. හැබැයි මේ දක්වා රජයේ කාර්ය සාධනය ඉලක්ක වලට වඩා ඉදිරියෙන් තිබෙනවා. 2023 වසර අවසානය සඳහා ඉලක්කය වුනේ 9.2% වුනත් 9.8% මට්ටමට ගියා. මේ අවුරුද්ද අවසානයට ඉලක්කය 12.1% වුනත්, දැන් පෙනෙන විදිහට 12.4% වගේ මට්ටමකට යන්න පුළුවන්. ඒ IMF දෙවන විමර්ශනයේ ඇස්තමේන්තුව. මම හිතන්නේ ඊටත් වඩා ගොඩක් එහාට යන්න පුළුවන් වෙයි. 

මේ තත්ත්වයන් එක්ක යම් බදු සහනයන් සම්බන්ධව දැනටමත් IMF එක සහ ශ්‍රී ලංකා රජය එකඟ වී තිබෙනවා. හැබැයි ඒවා ඉදිරියේදී පැනවීමට නියමිතව තිබුණු අලුත් බදු හා අදාළ වෙනස්කම්. 

මුල් සැලසුමට අනුව 2025 වර්ෂයේදී 1.9%කින් බදු ආදායම වැඩි කර ගත යුතුව තිබුණත් දැන් පෙනෙන විදිහට ඉලක්කයට යන්න තවත් අඩු 1.5%ක් පමණයි. වාහන ආනයනයට ඉඩ ලැබෙද්දී එයින් 0.8%ක් එකතු වෙනවා. වැට් බදු පදනම පුළුල් වෙද්දී තවත් 0.3%ක් එනවා. ඒ නිසා, 2025 සඳහා කලින් යෝජනා වී තිබුණු දේපොළ බද්ද දැන් අවශ්‍ය වෙන්නේ නැහැ. සුළු බදු වෙනස්කම් කිගිපයක් පමණක් කරලා අවශ්‍ය ඉලක්කයට යන්න පුළුවන්. 

ලංකාවේම ඉතිහාසය සහ ලංකාවේ ආර්ථික මට්ටමේ ඉන්න ලෝකයේ අනෙකුත් රටවල් එක්ක බලද්දී ලංකාවේ බදු ආදායම් තියෙන්නේ ගොඩක් පහළ මට්ටමකයි. ඒ නිසා, IMF එක ඉන්න මතය ඔය අවශ්‍ය අවම සීමාව දක්වා ආදායම් වැඩි කරගත යුතු බවයි. ඒ නිසා, අලුතෙන් දමන්න යෝජනා වී තිබෙන බදු නොදමා සිටීම වැනි දෙයක් හැර දැනට තිබෙන බදු අඩු කිරීමක් කරන්න පුළුවන් තත්ත්වයක් තවම නැහැ. හැබැයි යන විදිහට මේ අවුරුද්ද අන්තිමේදී කලින් හිතුවට වඩා හොඳ තත්ත්වයක් පෙනෙන්න පුළුවන්. 

එහෙම වුනොත් ලබන වසරේදී දැනට තිබෙන බදු අනුපාතික යම් තරමකින් අඩු කරන එක වුනත් කරන්නම බැරි වැඩක් නෙමෙයි. එහෙම කියලා බඩේ ඉන්න ළමයින්ට කේන්දර හදන්න බැහැනේ. අවුරුද්ද ඉවර වෙලා රාජ්‍ය අයවැය ඇස්තමේන්තු හා ජාතික ගිණුම් ඇස්තමේන්තු (දදේනි) එනකම් ඉන්න වෙනවා. ඊට පස්සේ ඒවා පෙන්නලා IMF එකත් එක්ක කතා කරන්න පුළුවන්.

සමහර අය කියන කතාවක් වන්නේ ජනවරම පෙන්නලා IMF එකත් එක්ක හෙට්ටු කරන්න පුළුවන් කියලා. ඒවා මැතිවරණ ඉලක්ක කර කියන කතා. IMF එකත් එක්ක හෙට්ටු කරන්න ජනවරම් පෙන්නන්න අවශ්‍ය නැහැ. රජයේ අපේක්ෂිත ආදායම් කලින් දී තිබෙන ඉලක්ක වලට වඩා වැඩිනම්, ඒ සංඛ්‍යාලේඛණ තහවුරු කර පෙන්නලා බදු කප්පාදුවකට IMF එක කැමති කරගන්න එක අමාරු වැඩක් නෙමෙයි. මීයෝ අල්ලන බව පේනවානම් IMF එක පූසා ඉටිද මැටිද කියලා හොයන්නේ නැහැ. හැබැයි ආදායම් පේන්න නැත්නම්, මොන ජනවරමක් තිබුණත් ඔය හෙට්ටු කිරිලි බොරු!

දැන් යන විදිහට රජයේ ආදායම් වැඩි වෙන බවත්, බදු කපලා ආදායම් අඩු කරගන්න ඉඩක් දැනට නැති බවත් පැහැදිලියිනේ. එහෙම වෙද්දී වියදම් වැඩි වුනේ නැත්නම් අවශ්‍ය ඉලක්ක ප්‍රමාණයට වඩා සල්ලි ඉතුරු වෙනවා. ආණ්ඩුව කාගේ වුනත් ඒ සල්ලි වියදම් කරන්න පුළුවන්. වියදම් කරන්නේ කොහොමද කියන එක දේශපාලන තීරණයක්. 

දැන් අපි රාජ්‍ය සේවක වැටුප් කියන මාතෘකාවට ආවොත්, 2022දී එම වියදම රුපියල් බිලියන 956ක්. 2023දී මේ වියදම රුපියල් බිලියන 940 දක්වා අඩු වී තිබෙනවා. මේ අවුරුද්දේ පළමු මාස හතරේ සංඛ්‍යාලේඛණ අනුව මේ වියදම තවත් අඩු වෙමින් තිබෙනවා. මීට හේතුව පසුගිය කාලයේදී අලුත් බඳවා ගැනීම් සිදු නොකිරීමයි. අපි රුපියල් රුපියල් බිලියන 920 ලෙස සලකමු. ඔය සංඛ්‍යාලේඛණය අනුව, රාජ්‍ය සේවක වැටුප් 25%කින් වැඩි කරන්න අවශ්‍ය වන්නේ රුපියල් බිලියන 230ක පමණ මුදලක්. මේ අවුරුද්දේ පළමු මාස හය තුළ පමණක් ඉලක්කය ඉක්මවා ඉතිරි කරගෙන තිබෙන මුදල රුපියල් බිලියන 403ක්. ඒ කියන්නේ ආණ්ඩුව කාට ගියත් ඔය වැඩේ කරන්න ලොකු අමාරුවක් නැහැ. 

ආණ්ඩුවට ඡන්ද තියන්න සල්ලි තියෙනවද? මැතිවරණයක් සඳහා වැය වන්නේ රුපියල් බිලියන දහයක් හෝ දොළහක් වැනි මුදලක්. දැන් තත්ත්වය අනුව ඒ වගේ මුදලක් වැය කරන එක කිසිසේත්ම ලොකු දෙයක් නෙමෙයි. හැබැයි එහෙමත් බැරි කාලයක් පහු කරලා තමයි දැන් ඉන්න තැනට ආවේ. 

තවත් මැතිවරණයක් අත ළඟද?


පළාත් පාලන මැතිවරණ හැකි ඉක්මණින් පවත්වන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මැතිවරණ කොමිසමට නියෝග කර තිබෙනවා. ඒ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, පැෆරල් සංවිධානය හා විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් විභාගයට ගැනීමෙන් අනතුරුවයි. 

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර අනෙකුත් පළාත් පාලන ආයතන වල කාලය පසුගිය වසරේ (2023) මාර්තු 19 දිනෙන් අවසන් වුනා. පළාත් පාලන මැතිවරණ පණත අනුව එසේ කාලය අවසන් වන දිනයට මාස හයකට පෙර කාලය තුළ මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන මැතිවරණ පැවැත්විය යුතු වුනත් අදාළ මැතිවරණ මේ දක්වාම පවත්වා නැහැ. මැතිවරණ කොමිසමට මෙම මැතිවරණ නියමිත පරිදි පැවැත්වීමට නොහැකි වූයේ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යංශය විසින් ලබා නොදුන් බැවිනුයි. මුදල් අමාත්‍යංශය එසේ කටයුතු කළේ අමාත්‍ය මණ්ඩල නියෝග අනුවයි.

සමගි ජන බලවේගය වෙනුවෙන් රංජිත් මද්දුම බණ්ඩාර විසින් ඉදිරිපත් කර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සමේ පළමු වග උත්තරකරු ලෙස නම් කර තිබුණේ භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධනවයි. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (හා ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු) විසින් මැතිවරණ කොමිසමේ සභාපති පළමු වග උත්තරකරු ලෙස නම් කර තිබුණා. ජාතික ජන බලවේගය වෙනුවෙන් ආචාර්ය හරිනි අමරසූරිය, සුනිල් හඳුන්නෙත්ති හා ආචාර්ය නිහාල් අබේසිංහ විසින් ඉදිරිපත් කර තිබුණු මූලික අයිතිවාසිකම් පෙත්සමේ පළමු වග උත්තරකරු ලෙස නම් කර තිබුණේද භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධනවයි. පැෆරල් සංවිධානය විසින් නීතිපතිව පළමු වග උත්තරකරු ලෙස නම් කර තිබෙනවා. එකට විභාගයට ගත් මෙම පෙත්සම් හතරේ අනෙකුත් වග උත්තරකරුවන් අතර මැතිවරණ කොමිසමේ නිලධාරීන්, අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් හා වෙනත් රජයේ නිලධාරීන් ගණනාවක් සිටිනවා. 

අග විනිසුරුද ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් පළාත් පාලන මැතිවරණ නියමිත පරිදි නොපැවැත්වීම හේතුවෙන් මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදු වී ඇති බව තීන්දු කර තිබෙනවා. මේ සඳහා මූලික වශයෙන්ම වගකිව යුත්තේ නීතිපති විසින් නියෝජනය කරන රටේ විධායකයයි. එමෙන්ම තමන්ට ඇති බලතල පරිදි මැතිවරණ ක්‍රියාවලිය නිසි සේ සැලසුම් කිරීම හා කළමනාකරණය සිදු නොකළ බැවින් මැතිවරණ කොමිසමද මේ සඳහා වග කිව යුතුයි. මුදල් ඇමතිවරයාද වන ජනාධිපතිවරයාද මේ සම්බන්ධව සෘජුව වග කිව යුතු අයෙක්.

කෙසේ වුවත්, මුදල් අමාත්‍යංශයේ හා මහා භාණ්ඩාගාරයේ ලේකම් මේ සඳහා වග කිව යුතු නැහැ. ඔහු කර ඇත්තේ අමාත්‍ය මණ්ඩලය හා මුදල් ඇමතිවරයා විසින් ලබා දුන් නියෝග ක්‍රියාත්මක කිරීමක් පමණයි. අධිකරණ තීන්දුව අනුව, මේ සම්බන්ධව පොදුවේ අමාත්‍ය මණ්ඩලය වගකිව යුතු වන්නේද නැහැ. ඊට හේතුව රාජ්‍ය වියදම් ප්‍රමුඛතා තීරණය කිරීම සඳහා ඔවුන්ගේ කැමැත්ත ලබා ගැනීමට පෙර එමගින් මැතිවරණය කෙරෙහි සිදු විය හැකි බලපෑම පිළිබඳව ඔවුන්ව ප්‍රමාණවත් තරමින් දැනුවත් කර නොතිබීමයි. මේ අයුරින්ම, රජයේ මුද්‍රනාලයාධිපති, පොලිස්පති ඇතුළු අනෙකුත් වග උත්තරකරුවන්ද මේ මූලික අයිතිවාසිකම් කඩකිරීම සම්බන්ධව වගකීමෙන් නිදහස් කර තිබෙනවා.

අධිකරණ නියෝගය අනුව මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන මැතිවරණ හැකි ඉක්මණින් පැවැත්විය යුතු අතර එසේ කිරීමේදී ව්‍යවස්ථානුකූලව පැවැත්විය යුතු අනෙකුත් මැතිවරණ වලට බාධාවක් සිදු නොවිය යුතුයි. මෙම මැතිවරණ සඳහා දැනටමත් නාම යෝජනා කැඳවා අවසන්ව ඇති බැවින් මැතිවරණය පැවැත්වීම ඉතා ඉක්මණින් කළ හැකි කටයුත්තක්. කෙසේ වුවත්, ජනාධිපතිවරණ දිනයට තවත් ඇත්තේ සති හතරක් පමණයි.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය වැනි කටයුතුද බොහෝ දුරට අවසන්ව පැවති නිසා ජනාධිපතිවරණයට පෙර පළාත් පාලන මැතිවරණ පැවැත්වීම වුවද කළ නොහැක්කක් නෙමෙයි. එසේ නොකරන්නේනම්, ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසුව කෙටි කලක් ඇතුළත පළාත් පාලන මැතිවරණ පවත්වන්නට සිදු වෙනවා. 

ජනාධිපතිවරණය අනුර කුමාර දිසානායක හෝ සජිත් ප්‍රේමදාස විසින් ජයගතහොත් දින කිහිපයක් ඇතුළත පාර්ලිමේන්තුවද විසුරුවා හරින්නට ඉඩ තිබෙන බැවින් මැතිවරණ කොමිසමට මහ මැතිවරණයක් පැවැත්වීමට සිදු වීම පිළිබඳවද සිතා බලන්නට සිදු වෙනවා. මේ තත්ත්වය හමුවේ මැතිවරණ කොමිසම කෙසේ කටයුතු කරනු ඇතිද? 

රටේ මිනිස්සුන්ගේ ප්‍රධාන ප්‍රශ්න දෙක?


මේ වෙලාවේ ලංකාවේ මිනිස්සු තමන්ට අනුව රට මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න දෙක ලෙස හඳුනා ගන්නා කරුණු දෙක කුමක්ද? පහත තිබෙන්නේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ මත ශ්‍රී ලංකා විමසුම් සමීක්ෂණය අනුව, 2024 අප්‍රේල්-ජූලි අතර කාලයේදී රටේ ජනතාව ප්‍රතිචාර දක්වා ඇති ආකාරයයි.

ආර්ථිකය/ ආර්ථික අර්බුදය - 59%

ජීවන වියදම/ උද්ධමනය - 55%

රැකියාව/ විරැකියාව - 38%

ඉහළ බදු - 21%

අල්ලස්/ දූෂණ - 6%

සෞඛ්‍ය/ සෞඛ්‍ය සේවා - 6%

මත් ද්‍රව්‍ය/ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම - 5%

අධ්‍යාපනය - 4%

එක් එක් තනි පුද්ගලයින්ට "මහ පොළොවේ තත්ත්වය" විවිධ ආකාරයෙන් පේනවා. එය තීරණය වෙන්නේ තමන් නිතර ඇසුරු කරන්නේ මොන වගේ අයද කියන එක මතයි. ගොඩක් අය වැඩිපුර ඇසුරු කරන්නේ තමන්ගේ අදහස් වලට කිට්ටු අදහස් තිබෙන අයවයි. විශේෂයෙන්ම විරුද්ධ මතධාරීන්ව පේන්නවත් බැරි මානසිකත්වයක ඉන්න අය ඇසුරු කරන්නේම තමන්ගේ අදහස් වලට සමීප අදහස් තිබෙන අයයි. ඒ නිසා එවැනි අයට මහ පොළොවේ තත්ත්වය සේ පෙනෙන්නේ තමන් දකින්නට කැමතිම තත්ත්වයයි. 

මහ පොළොවේ තත්ත්වය හරියට දැනගන්න පුළුවන් වෙන්නේ රටේ ජනතාව නිසි ලෙස නිරූපනය වන නියැදි සමීක්ෂණයක් මගින් පමණයි. අඩුපාඩු රහිත එකක් නොවුනත්, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණය එවැන්නක්.

පසුගිය (2023) වසරට සාපේක්ෂව 69% සිට 59% දක්වා අඩු වී ඇතත්, තවමත් රටේ බොහෝ දෙනෙකු විසින් ආර්ථිකය/ ආර්ථික අර්බුදය ප්‍රධානම ප්‍රශ්න ලෙස හඳුනා ගන්නවා. ඒ වගේම, උද්ධමනය පාලනය වී ඇතත්,  බඩුමිල පෙර මට්ටමට අඩු වී නැති නිසා, ජීවන වියදම තව දුරටත් රටේ ප්‍රධානම ප්‍රශ්න දෙකෙන් එකක් ලෙස බොහෝ දෙනෙකු විසින් හඳුනා ගන්නවා. 

වැදගත් නිරීක්ෂණයක් වන්නේ රැකියාව/ විරැකියාව ප්‍රධාන ප්‍රශ්නයක් සේ හඳුනාගන්නා පිරිස 16% සිට 38% දක්වා ඉහළ ගොස් තිබීමයි. ආර්ථිකය හැකිලීමේ බලපෑමට අමතරව රාජ්‍ය අංශයේ බඳවා ගැනීම් නැවතී තිබීමද මෙයට හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම, ජීවන වියදම ඉහළ ගොස් තිබීම නිසා විරැකියා ප්‍රශ්නයේ බර වැඩියෙන් දැනෙනවා වෙන්නත් පුළුවන්.

ඉහළ බදු ප්‍රශ්නයක් සේ දකින ප්‍රමාණය 21%ක් පමණ වෙනවා. අල්ලස්/ දූෂණ ප්‍රධාන ප්‍රශ්නයක් සේ දකින ප්‍රතිශතය 11% සිට 6% දක්වා පහත වැටී ඇති අතර මත් ද්‍රව්‍ය/ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම ප්‍රශ්නයක් සේ දකින අයගේද විශාල අඩුවීමක් දැකිය හැකියි. 

Thursday, August 22, 2024

නන්දලාල් වීරසිංහ හොඳම මහ බැංකු අධිපතිවරුන් අතරට!


ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාවේ අළුත්ම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ හොඳම ලෝකයේ හොඳම මහ බැංකු අධිපතිවරුන් 10 දෙනා අතරට එක් වී තිබෙනවා. A+ ශ්‍රේණිගත කිරීමක් සමඟ ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ ඉන්දියාවේ, ඩෙන්මාර්කයේ හා ස්ව්ට්සර්ලන්තයේ මහ බැංකු අධිපතිවරුන් තිදෙනායි. ඉන් පසුව, නන්දලාල් වීරසිංහ ඇතුළු මහ බැංකු අධිපතිවරුන් 7 දෙනෙකු A ශ්‍රේණිගත කිරීම් හිමිකරගෙන තිබෙනවා. එම කාණ්ඩයට අයත් අනෙකුත් රටවල් වන්නේ බ්‍රසීලය, චිලී, මුරුසිය, මොරොක්කෝව, දකුණු අප්‍රිකාව හා වියට්නාමයයි. ඇමරිකාව, කැනඩාව, යුරෝපීය සංගමය, ස්වීඩනය හා නෝර්වේ ඇතුළු තවත් රටවල් 15ක මහ බැංකු අධිපතිවරුන්ට A- මට්ටම හිමි වී තිබෙනවා. 

Monday, August 19, 2024

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණය


මේ වන විට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සිදු කළ සමීක්ෂණයක් පිළිබඳව යම් කතාබහක් ඇති වී තිබෙන අතර කිහිප දෙනෙකු විසින්ම ඒ පිළිබඳව අපෙන් විමසා තිබෙනවා. පළමුව කිව යුත්තේ මේ දින වල සමීක්ෂණ ප්‍රතිඵල ලෙස විවිධ ලේඛණ ගණනාවක් සංසරණය වන බවයි. එවැනි ඇතැම් ලේඛණ ඉතා සැලකිලිමත් ලෙස සකස් කළ ව්‍යාජ ලේඛණ සේ හඳුනාගත හැකියි. එහෙත්, ඒ බව සාමාන්‍ය පුද්ගලයෙකුට පහසුවෙන් හඳුනාගත නොහැකි තරම් සූක්ෂ්ම ලෙස පිළියෙල කර තිබෙනු දැකිය හැකියි. 

මෙවැනි සමීක්ෂණයක නිරවද්‍යතාවය පිරික්සීමේදී මා පළමුව කරන්නේ සමීක්ෂණය සිදු කර ඇති ආයතනය හෝ පුද්ගලයින් ගැන සොයා බැලීමයි. යම් කීර්ති නාමයක් ඇති ආයතනයක් විසින් සිදු කර ඇති සමීක්ෂණයක්නම් සහ අදාළ ආයතනය විසින් නිල වශයෙන්ම සමීක්ෂණය පිළිබඳ වගකීම භාරගෙන ඇත්නම් මේ පළමු පරීක්ෂණය සමත් සේ සැලකිය හැකියි.

දෙවන පරීක්ෂණය වන්නේ අදාළ සමීක්ෂණය සිදු කර ඇති හා දත්ත විශ්ලේෂණය කර ඇති ක්‍රමවේදයයි. මෙම දෙවන පරීක්ෂාව සමත්ව ඇති සේ මීට පෙර පහසුවෙන් හඳුනාගත හැකි වූයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් අඛණ්ඩව සිදු කරගෙන යන සමීක්ෂණය පමණයි. දැන් මෙම විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සිදු කර ඇති සමීක්ෂණයද මේ ගොඩට දැමිය හැකියි.

හෙළකුරු මත විමසුම, ඇතැම් යූටියුබ් නාලිකා වලින් සිදු කර ඇති මත විමසුම්, ෆේස්බුක් හා ට්විටර් මත විමසුම් හා සුදත්ත වැනි අයගේ මත විමසුම්ද ඉහත සඳහන් පළමු පරීක්ෂාවේදී යම් ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නා නමුත් දෙවන පරීක්ෂාවේදී සෘජු ලෙසම බැහැර වෙනවා. 

ලංකාවේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය පිළිබඳව විශාල උනන්දුවක් පවතින නිසාත්, මෙතෙක් පිළිගත හැකි ක්‍රමවේදයකට අනුව සමීක්ෂණයක් කළේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් පමණක් නිසාත්, තවත් ආයතනයක් විසින් එවැනි සමීක්ෂණයක් සිදු කිරීමෙහි විශාල වටිනාකමක් ඇතත්, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සිදු කර ඇති මෙම සමීක්ෂණයෙහි ප්රතිඵල ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමේ අභිප්‍රාය පිළිබඳව සෘජුව විමසීමක් කර නොමැති බැවින් එය සෘජුවම සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ සමීක්ෂණ ප්‍රතිඵලය හා සැසඳිය නොහැකියි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සමීක්ෂණය සඳහා නියැදියක් තෝරාගෙන තිබෙන්නේ කෙසේද?

ප්‍රසිද්ධ කර ඇති තොරතුරු අනුව, මෙම සමීක්ෂණය සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි හා සියලුම ප්‍රධාන ජනවර්ග ප්‍රමාණවත් අයුරින් නියෝජනය වන පරිදි 1,352 දෙනෙකුගේ නියැදියක් තෝරා ගෙන තිබෙනවා. මේ අනුව, මෙම නියැදිය සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ නියැදියට වඩා ප්‍රමාණයෙන් විශාල හා ලංකාවේ වැඩිහිටි ජනගහණය වඩා හොඳින් නියෝජනය වන නියැදියක්. සමීක්ෂණ නිලධාරීන් 71 දෙනෙකු විසින් ජූලි 1-12 අතර කාලය තුළ මොවුන්ව මුහුණට මුහුණ සමීක්ෂණය කර තිබෙනවා. 

මීට සාපේක්ෂව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ නියැදි වල මෙන්ම ක්‍රමවේදයේද අඩුපාඩු තිබෙනවා. ඒවා පෙර විස්තර කර ඇති බැවින් නැවත විස්තර කරන්නේ නැහැ. 

මෙම සමීක්ෂණයෙහි ජනාධිපතිවරණ ප්‍රතිඵලය හා අදාළව අදහසක් ලබා ගත හැකි සේ සැලකෙන ප්‍රශ්නය පහත ප්‍රශ්නයයි.

"ඔබගේ පවුලේ වර්තමාන අවශ්‍යතා සඳහා විසඳුම් ලබා ගැනීමට වඩාත්ම සුදුසු පුද්ගලයා සේ ඔබ සලකන්නේ කවුද?"

"Who do you think is best suited to address the current needs of your immediate family?"

සමීක්ෂණ ප්‍රතිඵලය මෙවැන්නක්.

අදහසක් නැහැ - 12.2%

කවුරුවත් නැහැ - 28.8%

රනිල් වික්‍රමසිංහ - 24.3%

සජිත් ප්‍රේමදාස - 19.3%

අනුර කුමාර දිසානායක - 15.5%

අසා ඇති ප්‍රශ්නයේ ස්වභාවය අනුව මේ ප්‍රතිඵලය නිවැරදියි කියා මා සිතනවා. එහෙත් මෙම ප්‍රතිඵලයෙන් ඉදිරි ජනාධිපතිවරණදී ඡන්දය භාවිතා කිරීමට ඉඩ ඇති ආකාරය ගැන සෘජු අදහසක් ලබා ගත හැකියැයි මා සිතන්නේ නැහැ. 

ප්‍රශ්නයේ ස්වභාවය අනුව කෙනෙකුට එකවර තේරුම් යන්නේ මෙහි අසනු ලබන්නේ පවුලේ ආර්ථික අවශ්‍යතා පිළිබඳව යන්නයි. ජනාධිපතිවරණ අපේක්ෂයින් අතරින් ආර්ථිකය ගොඩ දැමීම ප්‍රධාන සටන් පාඨයක් කරගෙන තිබෙන්නේ රනිල් වික්‍රමසිංහයි. ඒ අනුව, මේ ප්‍රශ්නයෙන් ඔහුට වඩා වාසිදායක ප්‍රතිඵලයක් ලැබෙන්නට ඉඩ තිබෙන බව පැහැදිලියි. මීට සාපේක්ෂව මාලිමා කඳවුර වටා එක්රැස් වී සිටින බොහෝ දෙනෙකු එසේ එම කඳවුරට එකතු වී සිටින්නේ පවුලේ වර්තමාන අවශ්‍යතා සඳහා විසඳුම් ලබා ගැනීමටම නෙමෙයි. ඒ නිසා, මම මේ ප්‍රතිඵලය ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කරන්නට ඉඩ ඇති ආකාරයේ සෘජු පිළිබිඹුවක් ලෙස සලකන්නේ නැහැ. 

වෙනත් විවිධ කරුණු හා අදාළව ජනාධිපති අපේක්ෂයින් වෙත දක්වා තිබෙන විශ්වාසය දෙස බැලූ විට ඔවුන්ගේ ප්‍රතිපත්ති වෙනස්කම් වල බලපෑම පැහැදිලිව දකින්න පුළුවන්. ආර්ථිකය ගොඩ ගැනීම, IMF සමඟ ගනුදෙනු කිරීම, විරැකියා ප්‍රශ්නය විසඳීම, නීතිය හා සාමය සුරැකීම වැනි කරුණු හා අදාළව වැඩි දෙනෙක්ගේ විශ්වාසය ලබන්නේ රනිල් වුවත්, දූෂණ වැළැක්වීම, ආර්ථික අර්බුදයට වගකිව යුතු අයට දඬුවම් දීම, පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණය ඉටු කිරීම ආදී කරුණු වලදී ඉදිරියෙන් සිටින්නේ අනුර කුමාර දිසානායකයි. සුළු ජාතිකයින්ගේ ප්‍රශ්න විසඳීම හා අදාළව සජිත් රනිල්ට වඩා යාන්තමින් ඉදිරියෙන් ඉන්නවා. 

කෙසේ වුවත්, මෙම සමීක්ෂණයේදී ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමේ අභිප්‍රාය පිළිබඳව සෘජු ලෙස විමසීම් කර ඇති ප්‍රශ්න දෙකක් දැකගත හැකියි. 

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය දෙන්නේ කාටද කියා ඔබ මේ වන විට තීරණය කර තිබෙනවාද?

ඔව් - 42.9%

නැහැ - 57.1%

ඉදිරි ජනාධිපතිවරණයේදී ඔබ ඡන්දය දෙනවාද?

ඔව් - 81.7%

නැහැ - 10.4%

තවම තීරණය කර නැහැ - 7.9%

මේ අනුව, ඒ වෙද්දී ඡන්දය දීමට තීරණය කර තිබුණු අයගෙන් ඡන්දය දෙන්නේ කාටද කියා තීරණය කර තිබුණු ප්‍රතිශතය 52.5%ක් පමණයි. සිංහල ඡන්දදායකයින් අතර මෙම ප්‍රතිශතය 58.3%ක් වූ අතර ඒ අනුව අතීරක කොටස 41.7%ක්. මේ ජූලි 1-12 අතර පැවති තත්ත්වය. ඒ වන විට ජනාධිපතිවරණය පිළිබඳව නිවේදනය කර තිබුණේ නැහැ. යම් වැඩිවීමක් සිදුවී තිබෙනවා විය හැකි වුවත්, මේ බොහෝ දෙනෙකු තවමත් තීරණයක් ගෙන නැතුවා විය හැකියි. 

මුජිබ්වාදයේ සිට බංග්ලාදේශ ජාතිකවාදය දක්වා...



පෙර ලිපියෙන් විස්තර කළේ නූතන බංග්ලාදේශය බිහි වෙද්දී මුජිබ්වාදය විසින් සිදු කළ කාර්ය භාරය සහ මුජිබුර් රහ්මන් ඝාතනයෙන් බංග්ලාදේශයේ මුජිබ්වාදයද කඩා වැටී සියා රහ්මන් බලයට පත් වීම දක්වා සිදු වූ සිදුවීම් පෙළ ගැනයි. මේ සියල්ල සිදු වෙන්නේ වසර හතරක පමණ කෙටි කාලයක් තුළයි.

1970 දෙසැම්බර් 7 - ෂේක් මුජිබුර් රහ්මාන්ගේ නායකත්වයෙන් අවාමි ලීගය ඒකාබද්ධ පකිස්ථානයේ පළමු (හා අවසන්) මහ මැතිවරණය ජය ගැනීම හා අපේක්ෂිත පරිදි බල හුවමාරුවක් සිදු නොවීම.

1971 මාර්තු 26 - ෂේක් මුජිබුර් රහ්මාන් අත් අඩංගුවට පත් වීම. ෂේක් මුජිබුර් රහ්මාන් වෙනුවෙන් සියා රහ්මන් විසින් බංග්ලාදේශ ස්වාධීනත්වය ප්‍රකාශයට පත් කිරීම හා යුද්ධය ආරම්භ වීම 

1971 දෙසැම්බර් 16 - පකිස්ථාන හමුදා යටත් වීම සහ යුද්ධය අවසන් වීම 

1972 ජනවාරි 10 - ෂේක් මුජිබුර් රහ්මාන් නිදහස් වී නැවත බංග්ලාදේශයට පැමිණීම 

1972 නොවැම්බර් 4 - ව්‍යවස්ථාදායක සභාව විසින් බංග්ලාදේශයේ පළමු ව්‍යවස්ථාව සම්මත කර ගැනීම 

1972 දෙසැම්බර් 16 - පළමු බංග්ලාදේශ ව්‍යවස්ථාව බලාත්මක වීම 

1973 මාර්තු 7 - නිදහස් බංග්ලාදේශයේ පළමු මහ මැතිවරණය හා එම මැතිවරණය ෂේක් මුජිබුර් රහ්මාන්ගේ නායකත්වයෙන් අවාමි ලීගය ජය ගැනීම. 

1974 දෙසැම්බර් 28 - ෂේක් මුජිබුර් රහ්මාන් විසින් හදිසි නීතිය පැනවීම හා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ප්‍රසිද්ධියේ විවේචනය කරමින් සියලු දේශපාලන පක්ෂ තහනම් කර තනි පක්ෂ ක්‍රමයක් හඳුන්වා දීම.

1975 ජනවාරි 25 - ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ෂේක් මුජිබුර් රහ්මාන් විධායක ජනාධිපති බවට පත් වීම. ව්‍යවස්ථාදායකයේ මෙන්ම අධිකරණයේද බලතල කප්පාදු කිරීම.

1975 අගෝස්තු 15 - ෂේක් මුජිබුර් රහ්මාන් ඝාතනය වීම සහ ඛොන්දකාර් අහමඩ් වීසින් රාජ්‍ය බලය ලබා ගැනීම 

1975 නොවැම්බර් 3 - සිරගත කර සිටි අවාමි ලීගයේ නායකයින් බන්ධනාගාර තුළදී ඝාතනය කිරීම සහ ඉන් අනතුරුව මේජර් ජනරාල් ඛාලිඩ් මොෂරාෆ් විසින් ඛොන්දකාර් අහමඩ්ව ඉවත් කර හමුදා ආණ්ඩුවක් පිහිටුවීම.

1975 නොවැම්බර් 7 - මේජර් ජනරාල් ඛාලිඩ් මොෂරාෆ් ඝාතනය වීම සහ සියා රහ්මන් බලයට පත් වීම.

දැන් ඔය විදිහට තමයි හමුදා නිලධාරියෙක් වූ සියා රහ්මන් මුලින්ම බලයට පත් වෙන්නේ. සියා රහ්මන් කියන්නේ ඛලිඩා සියාගේ සැමියා සහ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ නිර්මාතෘ. ෂේක් මුජිබුර් රහ්මාන්ගේ නිදහස් ප්‍රකාශනය ඔහු වෙනුවෙන් කියෙවුවේ සියා රහ්මන් නිසාත්, විමුක්ති යුද්ධයේ සේනාධිනායකයෙක් වූ නිසාත්, ඔහුටත් බංග්ලාදේශ නිදහස් අරගලයේ උරුමයක් තිබෙනවා. 

තව දුරටත් මතක් කළ යුතු කරුණක් වන්නේ ෂේක් මුජිබුර් රහ්මාන් ඝාතනය සිදු වන විට ඒකාධිපතිත්වයක් කරා යමින් සිටීම, දූෂන චෝදනා, පවුලේ අයට සැලකීම පිළිබඳ චෝදනා ආදිය එල්ල වීම නිසා ඔහුගේ ජනප්‍රියත්වය පිරිහිලයි තිබුණේ. ඒ වෙද්දී ඔහු වසර හතරකට කලින් හිටපු යුද වීරයා නෙමෙයි. 

දේශපාලනයට අලුත් මූණක් වූ සියා රහ්මන්ට ඒ වන විට මෙවැනි චෝදනා නැහැ. ඒ වගේම ඔහු යුද විරුවෙක්. බංග්ලාදේශ නිදහස් සටනට දේශපාලන නායකත්වය සැපයුවේ ෂේක් මුජිබුර් රහ්මාන් වුනත් යුද්ධය සිදු වෙද්දී මුජිබුර් රහ්මාන් සිටියේ සිරගතවයි. යුද්ධය කළේ සියා රහ්මන් වැනි සේනාධිනායකයෝ. ඒ වගේම, කලින් සිදු වුනු කුමන්ත්‍රණ වල ප්‍රතිඵලයක් ලෙස සියා රහ්මන්ට බලය ලැබෙනවා මිසක් ඒ කුමන්ත්‍රණ ඔහු මුල් වී කරපුවා නෙමෙයි. යම් සැක මතු වී ඇතත් මුජිබුර් රහ්මාන් ඝාතන කුමන්ත්‍රණයට සියා රහ්මන් සම්බන්ධ බවට පැහැදිලි සාක්ෂියක් නැහැ.

ඉහත සියලු තත්ත්වයන් දේශපාලනිකව සියා රහ්මන්ට වාසිදායක වුනත්, ඔහුට අවාමි ලීගයේ සහයෝගය ලබා ගන්න හැකි වෙන්නේ නැහැ. ලැබුණු බලය දිගටම පවත්වා ගෙන යන්නනම් ඔහුට ෂේක් මුජිබුර් රහ්මාන් විසින් සිදු කළ අයුරින් කිසියම් දේශපාලන දර්ශනයක් ඉස්සරහට දමන්න වෙනවා. බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය නිර්මාණය කරමින් ඔහු මේ වැඩේ කරනවා. 

අවාමි ලීගය වගේ ස්ථාපිත දැවැන්ත පක්ෂයක් රටේ තියෙද්දී එයට විකල්ප දේශපාලන දර්ශනයක් ඉදිරිපත් කරන කෙනෙකුට අවාමි ලීගයේ දේශපාලන දර්ශනයේ අඩුපාඩු පිළිබඳව අවධානය යොමු කරන්න සිදු වෙනවා. ඒ කියන්නේ මුජිබ්වාදයට විකල්පයක් යෝජනා කරන්න සිදු වෙනවා.

මුජිබ්වාදයේ එක් කුලුනක් ප්‍රජාතන්ත්‍රවාදය වුනත්, එයින් අදහස් වුනේ බටහිර පරමාදර්ශය වූ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය නෙමෙයි. සමාජවාදී ලෝකයේ සම්මුතිය වී තිබුණු තනි පක්ෂ ක්‍රමය. මුජිබ්වාදයේ මේ අඩුපාඩුව වෙත අවධානය යොමු කරමින් සියා රහ්මන් විසින් එක දොරක් විවෘත කර ගන්නවා. ඒ අනුව, නැවතත් බහු පක්ෂ ක්‍රමයට ඉඩ ලැබෙනවා. ඒ ඉඩ විවෘත වෙන්නේ ආගමික හා වාර්ගික දේශපාලනයට තිබුණු තහනමද ඉවත් කරගෙනයි.

මේ එක්ක සියා රහ්මන්ව කොටස් දෙකකට ආකර්ශනය වෙනවා. එක් කොටසක් මුස්ලිම් පක්ෂ. අනෙක් කොටස චීන පාර්ශ්වයේ සමාජවාදී පක්ෂ. මේ කාලයේදී ඇමරිකාව ඇතුළු බටහිර ලෝකය සෝවියට් කඳවුරට එරෙහිව චීනය එක්ක උපාය මාර්ගික සහයෝගීතාවයක හිටපු නිසා චීනය පැත්තට නැඹුරු වීම සහ බටහිර වෙත නැඹුරු වීම එකක් මිසක් දෙකක් වුනේ නැහැ. මුජිබ්වාදයට සාපේක්ෂව සියා රහ්මන්ගේ දේශපාලන දර්ශනය ස්ථානගත වුනේ දක්ෂිනාංශයට බරවයි. 

දෙපැත්තක හිටපු මේ පාර්ශ්ව දෙකේ තවත් පොදු ලක්ෂණයක් වුනේ ඉන්දියානු විරෝධය. ඉස්ලාම් දේශපාලන පක්ෂ වලට හින්දු ඉන්දියාවට වඩා මුස්ලිම් පකිස්ථානය වෙත යම් ඇඟලුම්කමක් තිබුණා. චීන සමාජවාදී කඳවුරට සෝවියට්-ඉන්දියා සම්බන්ධතා නිසා ඉන්දියාව එක්ක ප්‍රශ්න තිබුණා. ඔවුන් බංග්ලාදේශ නිදහස සැබෑ නිදහසක් නොවන බවට තර්ක කළා. එය බංග්ලාදේශ ජනතාව ඉන්දීය ආධිපත්‍යයකට යටවීමක් විදිහට විග්‍රහ කෙරුණා. ඇත්ත තත්ත්වය දිහා බැලුවොත්, ඉන්දියානු හමුදා මැදිහත්වීම් නොවන්නට බංග්ලාදේශ නිදහස් සටන පහසුවෙන් ජයගන්න ලැබෙන්නේ නැහැ. ඒ අනුව, බංග්ලාදේශය කියන්නේ ඉන්දියාවේ නිර්මාණයක්. 

මුජිබ්වාදයේ සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදය (බටහිර අර්ථදැක්වීම් අනුව ඒකාධිපතිත්වය) වෙනුවට බටහිර ලිබරල් ප්‍රජාන්තන්ත්‍රවාදය පැත්තටත්, අනාගමිකත්වය වෙනුවට ආගමික නිදහස පැත්තටත් නැඹුරු වීම මගින් සියා රහ්මන්ට මුජිබ්වාදයට විකල්පයක් විය හැකි දේශපාලන දර්ශනයක් ඉදිරිපත් කළ හැකි වුනත්, මුජිබ්වාදයේ කුළුණු හතරෙන් ශක්තිමත්ම කුළුන වුනේ බංගලි ජාතිකවාදය නිසා ඒ කුළුණට පහර දිය හැකි විකල්පයක් නැතිව ඔහුට ඉදිරි ගමනක් තිබුණේ නැහැ. ඒ වගේම, ජාතිකවාද ඉක්මවා යන ජාත්‍යන්තරවාදයක් මේ සඳහා යෝග්‍ය වුනෙත් නැහැ. සමාජවාදය හා අනාගමිකත්වය පැත්තෙන් විතැන් වෙද්දී ජාත්‍යන්තරවාදය ඒ පැකේජ් එකට ගැලපුනේ නැහැ. 

මුජිබ්වාදයේ ජාතිකවාදය වෙනුවට විකල්පයක් විදිහට වෙනත් ආකාරයක ජාතිකවාදයක් හඳුන්වා දෙමින් සියා රහ්මන් මේ ප්‍රශ්නය සාර්ථකව විසඳා ගත්තා. බංග්ලාදේශ ජාතිකවාදය හැදෙන්නේ ඔය විදිහට. ඒක තමයි බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය විසින් අවාමි ලීගයට එරෙහිව පාවිච්චි කළ සහ තවමත් පාව්ච්චි කරන ප්‍රධානම අවිය. 

මුජිබ්වාදයේ ජාතිකවාදය භාෂාව මත පදනම් වූ ජාතිකවාදයක්. එය පකිස්ථානයෙන් මානසිකව වෙන් වීම සඳහා උදවුවක් වුනත්, බංගලි ජාතිකවාදයේ අතුරු ඵලයක් විදිහට බංග්ලාදේශයේ බංගලියන් ඉන්දියාවේ බටහිර බෙංගාලයේ බංගලියන් එක්ක මානසිකව එකතු වෙනවා. ඇත්තම තත්ත්වය අනුව බැලුවොත් ඉතිහාසය පුරාම සියවස් ගණනක් බංගලියෝ කියන්නේ එකම ජාතියක්. ආගම් අනුව හින්දු හා මුස්ලිම් ලෙස බෙදීම කෘතීම හා දේශපාලනික දෙයක්. මේක තරමක් දුරට උඩරට පහතරට ලෙස සිංහලයින් බෙදීමට සමාන කරන්න පුළුවන්. නමුත් ඇමරිකා-චීන කඳවුර පැත්තට බර, ඉන්දියානු විරෝධයක් තිබෙන, දේශපාලන ව්‍යාපාරයකට අවශ්‍ය වෙන්නේ මොන විදිහකින් හෝ ඔය සම්බන්ධය කඩන්න. 

සියා රහ්මන් මේ වැඩේ කරන්නේ බංග්ලාදේශ-බංගලි ජාතිකත්වයක් පිළිබඳ අදහස ඉස්මතු කරලා. ඒක ටිකක් දුරට සිංහල-බෞද්ධ වගේ අදහසක්. ජාතිකත්වය හැදෙන්න භාෂාව හා ආගම යන දෙකම එකට එකතු වෙලා. මේ දේශපාලන දර්ශනය අනුව, බංග්ලාදේශ-බංගලි කියන්නේ ඉන්දියානු-බංගලි ජාතියෙන් වෙනස් වෙනම ජාතියක්. 

බංග්ලාදේශ-බංගලි ජාතිකයන් ඉන්දියානු-බංගලි ජාතියෙන් වෙනස් වෙන්නේ කොහොමද? ඇත්තටම බැලුවොත් තිබෙන එකම ප්‍රධාන වෙනස්කම ආගම. ඒ නිසා ආගම ඉස්මතු නොකර ඔය වැඩේ කරන්න බැහැ. සියා රහ්මන්ගේ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය විසින් කිවුවේනම් හාත්පසින්ම වෙනස් කතාවක්. ඔවුන් තර්ක කළේ බංගලි ජාතිය කියා කියූ විට බංගලි නොවන චක්මා ගෝත්‍රිකයින් වැනි සුළුතර බැහැර කෙරෙන බව හා බංග්ලාදේශ ජාතිකත්වය යටතේ ඔවුන්ද එකතු කළ හැකි බවයි. නමුත් ඇත්තටම මේ වැඩෙන් වුනේ ජනගහනයෙන් 1%කටත් අඩු චක්මා ගෝත්‍රිකයින් පමණක් නොව 8%ක් පමණ වන හින්දු ආගමිකයින්ද බැහැර වී බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය බංගලි-මුස්ලිම් පක්ෂයක් වීම. ඊට සමාන්තරව අවාමි ලීගය සුළු ජාතීන්ට හා ආගමිකයින්ටද එකතු විය හැකි තැනක් වෙනවා. ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂය වගේ. 

බංග්ලාදේශ-බංගලි ජාතිකත්වය උලුප්පා පෙන්වන්න ඉන්දීය-බංගලි භාෂාවේ හා බංග්ලාදේශ-බංගලි භාෂාවේ වෙනස්කම් උලුප්පා පෙන්වන්න වෙනවා. මේවා දකුණේ භාෂාවේ හා උඩරට භාෂාවේ වෙනස්කම් වැනි සියුම් වෙනස්කම්. ඇත්තටම එකම භාෂාව. නිදහසෙන් පස්සේ කාලයක් භූගොලීයව ඈතින් තිබෙන (බටහිර) පකිස්ථානය එක්ක එකට හිටපු නිසා පහු පහු වෙද්දී බංග්ලාදේශ-බංගලි භාෂාවට උර්දු වචන වැඩියෙන් කලවම් වෙලා තිබෙනවා. බංග්ලාදේශ-බංගලි භාෂාවේ යම් අනන්‍යතාවයක් ඇත්නම් ඒ මේ උර්දු වචන නිසා. බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය විසින් කරන්නේ මේ වගේ වචන වලට බර තබමින් වෙනස්කම් උලුප්පන එක. 

බංග්ලාදේශ විමුක්ති යුද්ධයේ වගේම අවාමි ලීගයේද උද්යෝග පාඨය "බංග්ලාදේශයට (බෙංගාලයට) ජයවේවා!" කියන තේරුම තිබෙන "ජොයි බංග්ලා!" කියන එක. බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය විසින් මෙය "බංග්ලාදේශ් සින්දාබාද්!" ලෙස වෙනස් කරනවා. "ජොයි" යන්න බිඳී එන්නේ බෙංගාලි භාෂාවේ මූලාරම්භ භාෂාවක් වන සංස්කෘත භාෂාවේ "ජය" යන්නෙන්. සින්දාබාද් කියන්නේ පර්සියානු සම්භවයක් තිබෙන වචනයක්. ඔය වගේ පොඩි දේවල් වලින් තමයි බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය විසින් බංග්ලාදේශ-බංගලි ජාතිකත්වයක් පිළිබඳ අදහස ඉස්මතු කරලා දේශපාලන අවකාශයක් හදා ගන්නේ.  

බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය හදලා ඒ වටා ශක්තිමත් ජන බලයක් ගොඩ නගා ගැනීමෙන් පසුව, සියා රහ්මන් විසින් 1979දී මැතිවරණයක් පවත්වනවා වගේම අවාමි ලීගය පරදවා එයින් ජයගන්නවා. ඒ අනුව, හමුදා පාලනයද අවසන් වෙනවා. නමුත් ඔය ව්දිහට නැවත ස්ථාපනය කෙරෙන බංග්ලාදේශයේ ප්‍රජාතන්ත්‍රවාදයට ඒ පාරත් වැඩි ආයුෂ තියෙන්නේ නැහැ. අවුරුදු දෙකකට පස්සේ 1981දී සියා රහ්මන්ද ඝාතනය වෙනවා.

මුජිබුර් රහ්මන් ඝාතනය වන විට ඔහුගේ ජනප්‍රියත්වය ගිලිහී තිබුණත්, සියා රහ්මන් ඝාතනය වන විට ඔහු ජනප්‍රිය පුද්ගලයෙක්. ඔහුගේ අවමගුලට විශාල ජනකායක් සහභාගී වෙනවා. අලුතෙන් හදපු බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය තවමත් ජනප්‍රියයි. සියා රහ්මන්ගේ උප ජනාධිපති අබ්දුස් සතාර් ව්‍යවස්ථාව අනුව වැඩ බලන ජනාධිපති වෙලා මාස හයකට පසුව ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙනවා. ඒ අනුව, අබ්දුස් සතාර් ජනාධිපති වුනත් ඔහුට ජනාධිපති සේ කටයුතු කරන්න වෙන්නේ මාස කිහිපයක් පමණයි. හමුදාපති මුහම්මද් එර්ශාඩ් විසින් අබ්දුස් සතාර්ව බලයෙන් පහ කර හමුදා ආණ්ඩුවක් පිහිටුවනවා. එර්ශාඩ් පාලනය අවසන් වන්නේ 1990 අවසානයේදී. 

ෂේක් මුජිබුර් රහ්මාන් වගේම සියා රහ්මන්ද යුද වීරයෙක්. එය ලංකාවේ මහින්ද රාජපක්ෂ- සරත් ෆොන්සේකා සම්බන්ධයට යම් තරමකින් සමාන කළ හැකි ආකාරයේ සම්බන්ධයක්. නමුත් හමුදා ඇතුළේ සිටි නිදහස් සටනට සම්බන්ධ වූ කොටස් වල සහයෝගය ලබා ගන්න සියා රහ්මන්ට හැකි වන්නේ නැහැ. ඔවුන්ගේ පක්ෂපාතිත්වය දිගටම තිබෙන්නේ අවාමි ලීගයටයි.

මෙය මේ විදිහට වෙන්න එක හේතුවක් වන්නේ ෂේක් මුජිබුර් රහ්මාන්ගේ දේශපාලන බල ව්‍යාපෘතිය තුළ නිදහස් සටනට සහයෝහය දුන් හමුදා කොටස් වලට විශේෂ වරප්‍රසාද දීම මගින් තමන් වටා බල පවුරක් ගොඩ නගා ගන්න ගත් උත්සාහය. සිවිල් දේශපාලන නායකයෙක් වූ මුජිබුර් රහ්මාන්ගේ දෘෂ්ඨි කෝණයෙන් බලද්දී නිදහස් සටනට සහයෝහය දුන් හමුදා කොටස් වීරයින්. එසේ නොකළ අය ද්‍රෝහීන් නොවුනත් අඩු වශයෙන් "දෙවන පංතියක" අය.

නමුත් හමුදා විනය යටතේ කාලයක් පුහුණු වූ අයෙක් හිතන්නේ මේ ආකාරයටම නෙමෙයි. හමුදා විනය ඇතුළේ වඩා වැදගත් වන්නේ ඉහළින් එන අණ පිළිපැදීම හා පක්ෂපාතිත්වයයි. විනයගරුක හමුදා නිලධාරියෙකුගේ පැත්තෙන් බැලු විට බංග්ලාදේශ නිදහස් අරගලය කැරැල්ලක්. අරගලකරුවන්ගේ පැත්තේ හිට ගැනීම හමුදා විනය කඩ කිරීමක්. 

ඒකාබද්ධ පකිස්ථාන හමුදා වල සිටි ඇතැම් බංගලි සෙබළුන් නිදහස් අරගලයට එකතු වුනත් හැමෝම එහෙම කළේ නැහැ. ඇතැම් අයව මෙම යුද්ධය අවසන් වන තුරු පකිස්ථානයේ රඳවා ගනු ලැබුවා. තවත් අය පැත්තක් නොගෙන ස්වේච්ඡාවෙන්ම පකිස්ථානයේ රැඳී සිටියා. යුද්ධය අවසන් වීමෙන් පසුව හමුදා තුළ එවැන්නට ලැබුනේ කුඩම්මාගේ සැලකිල්ලක්. සියා රහ්මන්ගේ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයට එකතු කර ගත හැකි වූ බොහෝ හමුදා සෙබළුන් නිදහස් අරගලයට සහභාගී නොවූ මෙවැනි අයයි. 

සියා රහ්මන් ජනාධිපති ලෙස පත් වීමෙන් අනතුරුව හමුදාපති ලෙස පත් කළ මුහම්මද් එර්ශාඩ්ද ඉහත කී දෙවන කණ්ඩායමට අයත්, යුද්ධයේ උරුමයක් නොතිබුණු අයෙක්. යුද්ධය සිදුවන කාලය තුළ පකිස්ථානය විසින් යුද සිරකරුවෙකු ලෙස රඳවාගෙන සිටි ඔහුට නැවත බංග්ලාදේශයට එන්නට ඉඩ ලැබෙන්නේ 1973දී ඉන්දිරා ගාන්ධි හා අලි භූතෝ අතර අත්සන් කෙරෙනු සිම්ලා ගිවීසුමෙන් අනතුරුවයි. 

යුද උරුමයක් තිබුණු සියා රහ්මන්ටද කළ නොහැකි වූ දෙයක් එවැනි උරුමයක් නොතිබුණු එර්ශාඩ්ට කිරීමේ හැකියාවක් නොතිබුණු බැවින් ඔහුට අවාමි ලීගයේ ආධාරකරුවන් ආකර්ෂණය කර ගත හැකි වූයේ නැහැ. ඒ නිසා, එර්ශාඩ් වඩා නැඹුරු වූයේද බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ මතවාදය පැත්තටයි. එර්ශාඩ් විසින් නිල වශයෙන්ම බංග්ලාදේශය මුස්ලිම් රටක් ලෙස නම් කරනවා. 

එර්ශාඩ් විසින් බලය අත් පත් කර ගැනීමට පෙර ළඟ ළඟ සිදු වූ හමුදා කුමන්ත්‍රණ වලට එක් ප්‍රධාන හේතුවක් වුයේ හමුදා තුළ වූ බෙදීම් හා කල්ලිවාදයි. ප්‍රධානම බෙදීම තිබුණේ නිදහස් සටනට සම්බන්ධ වූ හා නොවූ කොටස් අතරයි. එර්ශාඩ්ගේ දැඩි හමුදා පාලනය යටතේ සිදු වූ එක් සාධනීය දෙයක් වන්නේ හමුදාව විනයගත කරනු ලැබීමයි. ඒ හේතුවෙන් හමුදා කුමන්ත්‍රණද නැවතුණා.

අනෙක් අතට එර්ශාඩ් විසින් රාජ්‍ය බලය පැහැර ගත්තේ එවකට ජනප්‍රියව සිටි බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ ජනාධිපතිව ඉවත් කරමිනුයි. ඒ නිසා, ඔහුගේ ප්‍රධාන දේශපාලන ප්‍රතිවාදියෙකු වූයේ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයයි. මේ තත්ත්වය තුළ, සතුරාගේ සතුරා මිතුරාය යන න්‍යාය අනුව, විප්‍රවාසීව සිටි සීක් හසීනාට නැවත බංග්ලාදේශයට පැමිණ අවාමි ලීගය සංවිධානය කිරීමට ඉඩ ලැබෙනවා. පසුගිය අගෝස්තු 5 දින හවස්වරුවේ විරෝධතාකරුවන් විසින් ගිණි තබා විනාශ කළ ඇගේ ධන්මොන්ඩි නිවෙස වෙත ප්‍රවේශ වීමට ඇයට නැවතත් ඉඩකඩ ලැබෙන්නේ මෙයින් පසුවයි.

කෙසේ වුවත්, ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා වීදි බැස එර්ශාඩ් පාලනය අවසන් කිරීම සඳහා හසීනාගේ අවාමි ලීගය හා ඛලිඩා ෂියාගේ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය අත්වැල් බැඳගන්නවා. ගංවතුරට නයි මුගටි එක කොටේට ගොඩ වෙනවා කියනවනේ. එහි ප්‍රතිඵලයක් ලෙස පැවැත්වෙන මැතිවරණය ජයගන්නේ ඛලිඩා ෂියාගේ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයයි. අවාමි ලීගයට නැවත බලයට පැමිණෙන්නට ඉඩ ලැබෙන්නේ 1996දී. ඒ මුජිබර් රහ්මන් ඝාතනයෙන් වසර 21කට පසුවයි.

අවාමි ලීගය බලයේ නොසිටි වසර 21ක කාලය තුළ, විශේෂයෙන්ම බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය බලය හොබවද්දී, බංග්ලාදේශය ඉතිහාසය නැවත ලියැවෙනවා. ඒ අනුව, නිදහස් බංග්ලාදේශයේ නිර්මාතෘ ලෙස මුජිබුර් රහ්මාන්ගේ භූමිකාව දියාරු වී සියා රහ්මන්ගේ දායකත්වය උඩට ඉස්සෙනවා. මුජිබර් රහ්මන්ගේ දියණිය, ෂීක් හසිනා, 1996දී බලයට පත්වීමෙන් පසුව නැවතත් ඉතිහාසයේ වැරදි "නිවැරදි කරන්නේ" ඉතාම ආක්‍රමණශීලී ආකාරයකිනුයි.

මේ කාලය මට බංග්ලාදේශය පිළිබඳ පෞද්ගලික අත්දැකීම් තිබෙන කාලයක්. ඔය කාලයේ බංග්ලාදේශයට යන අයෙකුට හැඟෙන්නේ එරට මුජිබුර් රහ්මන්ගේ ප්‍රවේණි දේපොළක් ලෙසයි. මැතකදී කඩා දැමුණු ස්මාරක බොහොමයක් ඔය කාලයේ ඉදි වූ ඒවා විය යුතුයි. මේ කාලයේදී හා ඉන් පසුව, රට පුරා පිහිටි අධිවේගී මාර්ග, පාලම්, ගුවන් තොටුපොළ, උද්‍යාන, විශ්ව විද්‍යාල, රෝහල් ගණනාවක් ඔහුගේ නමින් නම් කර තිබෙනවා. 

මුජුබුර් රහ්මන්ගේ උපන් දිනය වන මාර්තු 17 මෙන්ම ඔහුව ඝාතනය කෙරුණු අගෝස්තු 15 දිනයද (අඩු වශයෙන් පසුගිය වසර තෙක්) බංග්ලාදේශයේ රජයේ නිවාඩු දිනයි. මීට අමතරව, බංග්ලාදේශ ස්වාධීනත්වය ප්‍රකාශයට පත්  කළ මාර්තු 26 දිනය මෙන්ම යුද්ධය ජයගත් දෙසැම්බර් 16 දිනයද මුජුබුර් රහ්මන්ව සමරනු ලබන රජයේ නිවාඩු දිනයි.

අවාමි ලීගය හා බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය අතර බංග්ලාදේශයේ දේශපාලන බලය මාරු වෙද්දී එරට ඉතිහාසයද නැවත නැවත වෙනස් ලෙස ලියැවෙනවා. ඒ නිසා, බංග්ලාදේශයට එරට පාලනය කරන දේශපාලන පක්ෂයෙන් ස්වායත්ත නිරපේක්ෂ ඉතිහාසයක් කවදාවත්ම තිබුණේ නැහැ. එයට හේතුව මේ පක්ෂ දෙකම අඩු වැඩි වශයෙන් බංග්ලාදේශ නිදහස් අරගලයට උරුම කියන හා යම් ආකාරයක ජාතිකත්වයක් මත පදනම් වූ "පවුලේ පක්ෂ" වීමයි. මේ තත්ත්වයන් එක්ක, දැන් නැවතත් සිදුවෙමින් තිබෙන, බංග්ලාදේශ ඉතිහාසය නැවත ලිවීම පළමු වරට සිදුවන දෙයක් නොවන බව පැහැදිලි විය යුතුයි. 

මුජිබුර් රහ්මන් විසින් සමාජවාදී විප්ලවයක් නොකළත්, මුජිබුර් රහ්මන්ගේ මුජිබ්වාදී බංග්ලාදේශයේ ආර්ථිකය සමාජවාදී ආර්ථිකයක්. මෙම කාලයේදී රටේ සියළුම බැංකු, රක්ෂණ සමාගම් හා කම්හල් විශාල ප්‍රමාණයක් ජනසතු කෙරුණා. (හැබැයි මේ ගොඩක් පෞද්ගලික කම්හල් රට හැර පලාගිය (බටහිර) පකිස්තානුවන් විසින් අත් හැර ගිය ඒවා. මේ නිසා මාක්ස්වාදීන් විසින් මුජිබ්වාදය විවේචනය කළේ "එපා වී දමා ගිය සමාජවාදයක් - abandoned socialism" ලෙසයි). පෞද්ගලික සමාගම් වල උපරිම ලාබය සීමා කෙරුණා. ලාබ වැඩිනම් එවැනි ආයතන ජනසතු කරන බව නිවේදනය කෙරුනා. (තරමක් වෙනස් ආකෘතියක් යටතේ දැන් චීනය කරන්නේ එයයි). පෞද්ගලික ඉඩම් අයිතිය බිඝා 25කට (අක්කර 15ක් පමණ) සීමා කෙරුණා. කෙසේ වුවත්, අමතක නොකළ යුතු කරුණක් වන්නේ එම කාලයේදී ඉන්දියාව හා ලංකාව වැනි කලාපයේ රටවල පැවතියේද මෙවැනි සමාජවාදී ආර්ථික ක්‍රමයන් බවයි.

කෙසේ වුවත්, මුජිබුර් රහ්මන් ඝාතනයෙන් පසුව බංග්ලාදේශයේ සමාජවාදයද අවසන් වුනා. එය පූර්ණ වෙළඳපොළ ආර්ථිකයක් නොවුනත්, මිශ්‍ර ආර්ථිකයක් සේ හැඳින්විය හැකි තරමට දක්ෂිනාංශික හැරවුමක් ක්‍රමිකව සිදු වුනා. කවර අඩුපාඩු මධ්‍යයේ වුවද හමුදා ආණ්ඩු යම් තරමකින් හෝ ජනප්‍රියව පැවතීමට මේ හැරවුමද උදවු වූවා විය හැකියි. මුජිබුර් රහ්මන්ගේ අවාමි ලීගයට සාපේක්ෂව බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය මෙන්ම එර්ශාඩ්ගේ ජාතික පක්ෂයද (ජාතීයො පාර්ටි) මුල සිටම පෙනී සිටියේ පෞද්ගලික අංශයට වැඩි තැනක් දුන් ආර්ථික ප්‍රතිපත්ති වෙනුවෙන්. 

අවාමි ලීගය 1996දී නැවත බලය ලබා ගන්නේ වසර 21කට පසුවයි. ඒ අතරතුර දිගු කාලයක් ඉන්දියාවේ කල් ගෙවූ ෂීක් හසීනාව ඉන්දියාව විසින් නැවත බංග්ලාදේශය වෙත එවන්නේ හොඳින් "පුහුණු කිරීමෙන්" පසුව යන්න ප්‍රචලිත අදහසක්. මුජිබුර් රහ්මන්ගේ කාලයේ සිටම අවාමි ලීගය හඳුනා ගැනුනේ ඉන්දීය හිතවාදී පක්ෂයක් ලෙසයි. එහෙත්, 1991න් පසු ඉන්දියාව 1970-75 කාලයේ පැවති ඉන්දියාව නෙමෙයි. ඒ වෙද්දී ඉන්දියාව වෙළඳපොළ වෙත නැඹුරු වූ රටක්. ලෝක තත්ත්වයන්ද වෙනස් වෙලා. මේ තත්වයන් එක්ක ෂීක් හසීනා නැවත මුජිබුර් රහ්මන්ගේ සමාජවාදයට යන්නේ නැහැ. ඒ නිසාම, අවාමි ලීගයේ හා බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති අතර තව දුරටත් විශාල වෙනස්කම් නැහැ. මෙය චන්ද්‍රිකාගේ ආගමනයෙන් පසුව ශ්‍රීලනිපයේ සිදු වූ පර්වර්තන වලින් පසුව එජාප හා ශ්‍රීලනිප ආර්ථික ප්‍රතිපත්ති ඒක-දිශානුගත වීමට සමාන කළ හැකියි.

අනුව දශකය වන විට ලෝක දේශපාලනය තුළ සිදුව තිබුණු තවත් ප්‍රධාන වෙනස්කමක් වූයේ මාක්ස්වාදය මත පදනම් වූ සමාජවාදී රාජ්‍ය බිඳ වැටෙමින් හෝ දුර්වල වෙමින් තිබීම හා ආගමිකත්වය හා බැඳුනු දේශපාලනය නැවත හිස ඔසොවමින් පැවතීමයි. ඒ නිසා, ෂීක් හසීනාට මුලින් පැවති අනාගමික බංග්ලාදේශ රාජ්‍යය නැවත හදන්නට හැකි වන්නේ නැහැ. එහෙත්, ඇය ඉන්දියාව අනුගමනය කරමින් ඒ දිශාවට යම් දුරක් ගමන් කරනවා. අවාමි පක්ෂයේ දේශපාලනය තුළ රජය අනාගමික නොවුනත් එය මුස්ලිම් රජයක්ද නෙමෙයි. යම් තරමක අතරමැදි තත්වයක්. මෙය අවාමි ලීගය හා බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය අතර ප්‍රධාන වෙනස්කමක්. ඒ නිසාම, අවාමි ලීගය බංග්ලාදේශයේ හින්දු ආගමිකයින් ඇතුළු සුළුතර කොටස් වලට වඩා ආකර්ශනීය පක්ෂයක්. 

සුළු ජාතිකත්වය හා අදාළ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ ස්ථාවරය වන්නේ ඉස්ලාම් ආගමික රාජ්‍යයක් තුළ සියලු සුළුතර කොටස් වල අයිතිවාසිකම් හොඳින් ආරක්ෂා වන බවයි. මෙය ලංකාවේ සිංහල-බෞද්ධ රාජ්‍යයක සුළුතර කොටස් වල අයිතිවාසිකම් හොඳින් ආරක්ෂා වන්නේය යන තර්කයට බොහෝ දුරට සමාන තර්කයක්. මේ මතවාදය සුළුතරයන්ට එරෙහි මතවාදයක් නොවුනත්, එම මතවාදය මගින් සුළුතරයන්ට එරෙහි මතවාද පෝෂණය වීම පහසුවෙන්ම සිදු වන බව ලංකාවේදී මෙන්ම බංග්ලාදේශයේදීද නිරීක්ෂණය කළ හැකි වූ දෙයක්. මේ වෙනස්කම් නිසා, බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය සම්ප්‍රදායවාදී මුස්ලිම් ආගමික කොටස් වලටත්, අවාමි ලීගය වඩා ලිබරල් මුස්ලිම් ආගමිකයන්ට හා සුළුතර කොටස් වලටත් වඩා ආකර්ශනීය වනු දැකිය හැකියි. කෙසේ වුවත්, ආර්ථික ප්‍රතිපත්ති අතර විශාල වෙනස්කම් නැහැ.

අරගලකරුවන්ගේ දේශපාලන මතවාදය දෙස සුපරීක්ෂාකාරී ලෙස බැලු විට පෙනී යන්නේ ජාතිකත්වය පිළිබඳ ඔවුන්ගේ අදහස් බොහෝ දුරට සමාන වන්නේ බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය විසින් පෙනී සිටි බංග්ලාදේශ-බංගලි ජාතිකත්වය සමඟ බවයි. බංග්ලාදේශ-බංගලි ජාතිකත්වය පෙනී සිටින්නේ ඉස්ලාම් ආගමික බංග්ලාදේශයක් වෙනුවෙන්. මේ මතවාදය අනුව, "සැබෑ මුස්ලිම්වරුන්" යනු සුළුතර අයිතිවාසිකම් ආරක්ෂා කරන පිරිසක්. අරගලයට සම්බන්ධ වූ ශිෂ්‍ය කණ්ඩායම් විසින් පොලු මුගුරු රැගෙන හින්දු කෝවිල් ආරක්ෂා කළේ මේ මතවාදය අනුවයි. එහෙත්, බංග්ලාදේශ-බංගලි ජාතිකත්ව මතවාදයේ අතුරු ඵලයක් ලෙස ඉස්ලාම් ආගමික අන්තවාදය මතුවීම නොවැලැක්විය හැකි ප්‍රායෝගික යථාර්තයක් බව අප‍ට පෙනෙන්නට ඇති දෙයයි.

මා පෙර විස්තර කළ පරිදි බංග්ලාදේශ විමුක්ති අරගලයට සම්බන්ධ වූ කොටස් දිගටම රැඳී සිටියේ අවාමි ලීගය සමඟයි. බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය වෙත වැඩිපුරම ආකර්ෂණය වුනේ විමුක්ති අරගලයට සෘජුව සම්බන්ධ නොවූ හෝ ඒකාබද්ධ පකිස්ථානයක් වෙනුවෙන් පෙනී සිටි ආගමික කොටස් හා වාමාංශික කණ්ඩායම්. ඒ නිසාම, මෑතකාලීන අරගලයට ප්‍රධාන වශයෙන්ම හේතු වූ කෝටා ක්‍රමය හරහා සිදු වූයේ අවාමි ලීගයේ ආධාරකරුවන්ට නිල වශයෙන්ම දිගින් දිගටම විශේෂ සැලකිලි දැක්වීමක්. මෙයින් අසාධාරණයට ලක් වූ බොහෝ දෙනෙක් බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය ප්‍රධාන අනෙකුත් අවාමි ලීගයට එරෙහි දේශපාලන පක්ෂ වල ආධාරකරුවන්ගේ පවුල් වල අයයි. ඒ නිසා, බංග්ලාදේශ අරගලය පොදු මහජන නැගිටීමකට වඩා එක් දේශපාලන කඳවුරක නැගිටීමක්. අනෙක් දේශපාලන කඳවුර, එනම් අවාමි ලීගයට හිතවත් දේශපාලන කඳවුර, මේ මොහොතේ අඩපණව ඇතත් එයද බංග්ලාදේශ දේශපාලනය තුළ නොසලකා හැරිය නොහැකි දැවැන්ත බලවේගයක්. 

ෂීක් හසීනා විසින් විපක්ෂය දුර්වල කළ වසර පහළොවක් එක දිගට බංග්ලාදේශය පාලනය කිරීම නිසා ආණ්ඩු විරෝධී පක්ෂ වල ආධාරකරුවන් දිගින් දිගටම පීඩාවට ලක් වුනා. අරගලය හරහා පුපුරා ගියේ එම පීඩනයයි. මෙම ලිපි මාලාවෙහි විස්තර කර ඇති පරිදි මීට පෙරද අවස්ථා ගණනාවක මෙවැනි තත්ත්වයන් බංග්ලාදේශය තුළ ඇති වී තිබෙනවා. මේ අවස්ථාව අවසන් අවස්ථාව කියා හිතන්න අමාරුයි.