Friday, April 24, 2026

ජනවාරි අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය


මෙම (2026) වසරේ ජනවාරි මාසය අවසානයේදී සමස්ත අයවැය හිඟය රුපියල් බිලියන 4කට සීමා වී තිබෙනවා. මාසය ඇතුළත රුපියල් බිලියන 469ක රාජ්‍ය ආදායමක් එකතු වී ඇති අතර රාජ්‍ය වියදම් රුපියල් බිලියන 473කට සීමා වී තිබෙනවා.

පසුගිය (2025) වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව බදු ආදායම් 35.1%කින් වර්ධනය වී ඇති අතර, බදු නොවන ආදායම් 37.5%කින් ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව සමස්තයක් ලෙස රාජ්‍ය ආදායමෙහි 35.2%ක වර්ධනයක් පෙන්නුම් කරනවා. 

රාජ්‍ය ආදායම් මේ අයුරින් සැලකිය යුතු ලෙස වර්ධනය වෙද්දී පුනරාවර්තන වියදම් ඉහළ ගොස් තිබෙන්නේ 1.2%කින් පමණයි. ප්‍රාග්ධන වියදම් 4.0%කින් ඉහළ ගොස් තිබෙනවා. 

පුනරාවර්තන වියදම් ඉහළ යාම මේ තරමටම සීමා වීමට ප්‍රධානම හේතුව පොලී වියදම් 5.1%කින් පහත වැටීමයි. පොලී වියදම් හැර අනෙකුත් පුනරාවර්තන වියදම් 8.6%කින් ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, පොලී වියදම් හැර සමස්ත රාජ්‍ය වියදම් 8.4%කින් ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වුවද, එම ඉහළ යාම 35.2%ක ආදායම් වර්ධන වේගයට වඩා බෙහෙවින්ම අඩුයි. 

පසුගිය වසර ඇතුළත එක් වසර භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 8.96% සිට 8.45% දක්වා අඩු වූ අතර, දදේනි අනුපාතයක් ලෙස රාජ්‍ය ණය ප්‍රමාණයද 95.5% සිට 91.6% දක්වා පහත වැටුණා. පොලී වියදම් අඩු වීමට මේ කරුණු දෙකම හේතු වී තිබෙනවා. එම අඩු වීමෙන් පසුවද, පුනරාවර්තන වියදම් වලින් 56%ක්ම වැය වී තිබෙන්නේ පොලී ගෙවීම් වෙනුවෙනුයි. රාජ්‍ය සේවක වැටුප් වෙනුවෙන් 21%ක්ද, භාණ්ඩ හා සේවා මිල දී ගැනීම් වෙනුවෙන් 5%ක්ද, සහනාධාර හා සුබසාධන කටයුතු වෙනුවෙන් ඉතිරි 18%ද වැය වී තිබෙනවා.

වසරේ ඇස්තමේන්තුගත රාජ්‍ය ආදායමෙන් 8.8%ක්ම ජනවාරි මාසය අවසන් වන විට එකතු වී තිබෙනවා. මේ අනුව, ආදායම් ඉලක්කය කරා යාම පිළිබඳ ගැටළුවක් දැනට පෙනෙන්නට නැහැ.

රටේ නාමික ආර්ථිකය ප්‍රසාරණය වෙද්දී, බදු අනුපාතික අඩු නොකළහොත්, රාජ්‍ය ආදායම් නාමික ආර්ථික වර්ධන වේගය ඉක්මවා ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයක්. රාජ්‍ය ආදායම් එසේ ඉහළ යද්දී රාජ්‍ය වියදම් අනුපාතිකව වැඩි නොකිරීම මගින් අයවැය හිඟය ක්‍රමක්‍රමයෙන් අඩු කර ගත හැකියි. අයවැය හිඟය අඩු වන විට අලුතෙන් ණය ගැනීමේ අවශ්‍යතාවය අඩු වන බැවින් ණය වර්ධනය සීමා වී පොලී වියදම් පහත වැටෙනවා. පොලී වියදම් පහත යාම රාජ්‍ය වියදම් අඩු කරන බැවින් මෙය සාධනීය චක්‍රයක් බවට පත් වී අයවැය හිඟය තවත් පහත වැටෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස රජයේ ණය බරද වඩා වේගයෙන් පහත වැටෙනවා. 

පසුගිය (2025) වසර තුළ රාජ්‍ය අයවැය හිඟය දදේනියෙන් 2.3%කට සීමා වූ අතර එය 1956 වසරින් පසුව වාර්තා වූ අඩුම අගයයි. දැනට අනුගමනය කරන රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය දිගටම අනුගමනය කළහොත් වසරක් හෝ දෙකක් ඇතුළත වුවද අයවැය අතිරික්තයක් වාර්තා වීමේ හැකියාවක් තිබෙනවා. එසේ වුවත්, විදේශ අංශයේ දැනට පවතින තත්ත්වයන් සාර්ව ආර්ථික තුලනය කෙරෙහි අහිතකර බලපෑමක් සිදු කිරීමේ අවදානමක් තිබෙනවා. මේ වන විට මැද පෙරදිග යුද තත්ත්වයේ බලපෑම වැඩි අපහසුවකින් තොරව රටට දරා ගත හැකි සීමාව පසු කරමින් තිබෙනවා. 

8 comments:

  1. @ Economatta

    මේ බ්ලොග් පෝස්ට් එකේ ඉදිරිපත් කළ මේ කරුණු පෙළ ගැස්ම දෙස බලන විට, මූල්‍ය දත්ත සහ තාක්ෂණික වාර්තා කියවීමට නොදන්නා, හුදු දේශපාලන ප්‍රවාදයන් පමණක් පදනම් කරගත් කෙනෙකුගේ සංඛ්‍යාත්මක ප්‍රයෝගයක් මෙහි තිබෙන බව මට නම් ඉතාම පැහැදිලියි. විශේෂයෙන්ම, 2026 වසරේ ජනවාරි මාසය සඳහා රුපියල් බිලියන 4ක අයවැය හිඟයක් වැනි අතිශය සුබවාදී සංඛ්‍යාලේඛන පෙන්වීම තුළින් මහබැංකුවඋත්සාහ කරන්නේ රටේ පවතින සැබෑ ආර්ථික පීඩනය වසං කිරීමට වුවද, ප්‍රායෝගික ආර්ථික විද්‍යාවේදී රජයේ සමස්ත වියදම් හා ආදායම් අතර මෙතරම් සමීප අගයක් පවත්වා ගැනීම, විශේෂයෙන්ම වසරකට රුපියල් ට්‍රිලියන ගණනක ණය වාරික සහ පොලිය ගෙවීමට ඇති රටක, දත්ත හැසිරවීමක් (Data Manipulation) මිස යථාර්ථයක් විය නොහැකි බවත් එමෙන්ම භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික සහ දදේනි අනුපාතයක් ලෙස ණය බර අඩු වූ බව පවසන අතරතුරම, පුනරාවර්තන වියදම්වලින් 56%ක්ම පොලී ගෙවීමට වැය වන බව පැවසීම තුළින්ම පෙනෙන්නේ ඔවුන්ගේ තර්කනය පරස්පර විරෝධී බවත් මා ඔබට අවධාරණය කළ යුතුයි.

    ඒ වගේම මැදපෙරදිග අර්බුදය වැනි භූ-දේශපාලනික කරුණු මුවාවෙන් කොටස් වෙළඳපොළේ අවදානම සහ ආයෝජකයන්ගේ හැසිරීම විග්‍රහ කිරීමට උත්සාහ කළත්, රජය සතු රුපියල් ට්‍රිලියනයක තැන්පතුව පාවිච්චි කර තාවකාලිකව හිඟය පියවන බව පැවසීම, මූල්‍ය වෙළඳපොළේ ද්‍රවශීලතා කළමනාකරණය (Liquidity Management) පිළිබඳ නොදැනුවත්කම මනාව පිළිබිඹු කරන කරුණක් වන්නේ, එම අතිරික්ත තැන්පතුව භාවිත නොකරන සමුච්චිත තැම්පතුවක් පමණක් බවත් එය ප්‍රායෝගිකව යොදාගැනීමට නොහැකි නාමික වර්චුවල් එකක් බවත් එසේ භාවිත කළ හැකිනම් මහ බැංකුව දිගින් දිගටම වෙළඳපොළෙන් ණය ගැනීමට හෝ වෙන්දේසි අසාර්ථක වීමට ඉඩ නොදෙන බැවිනි.

    තව දෙයක් IMF වැඩසටහනේ කොන්දේසි උල්ලංඝනය කරමින් විදුලි බිලට සහ තෙල් මිලට සහනාධාර දීමට සිදුව තිබෙන පසුබිමක, මුදල් "හැකර්වරුන්ට" ලබා දෙන රජයේ අතාර්කික වැඩ තුළින් පෙනෙන්නේ රාජ්‍ය මූල්‍ය පද්ධතියේ පවතින දැඩි විගණන රාමුව (Auditing Framework) සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති දැඩි අධීක්ෂණ ගිවිසුම් (Governance Benchmarks) පිළිබඳ රජයට කිසිදු වැටහීමක් නැති බවත්, ඇත්ත වශයෙන්ම සිදුවන්නේ රජයේ වියදම් කළමනාකරණය කරගත නොහැකිව ණය බර තවදුරටත් වර්ධනය වෙද්දී, මෙවැනි පදනම් විරහිත සංඛ්‍යාලේඛන මගින් ජනතාව මනෝරාජික ලෝකයක තැබීමට උත්සාහ කිරීම බවයි මගේ වැටහීම.

    ReplyDelete
    Replies
    1. මෙහි ඇති ප්‍රධාන "බොරු" සහ පරස්පරතා මම ඔබට පැහැදිලි කරන්නම්

      ​1. අයවැය හිඟය බිලියන 4කට සීමා වීම (The Massive Illusion)

      ​මාසයක් ඇතුළත රුපියල් බිලියන 469ක ආදායමක් ලබද්දී වියදම බිලියන 473ක් ලෙස දක්වා තිබීම සිනහවට කරුණක්.

      ​ලංකාව වැනි රටක මාසිකව ගෙවිය යුතු විදේශ සහ දේශීය ණය වාරික සහ පොලිය පමණක් ගත්තත් එය මීට වඩා අතිශය විශාල අගයක් ගන්නවා.

      ​පොලී වියදම් පමණක් පුනරාවර්තන වියදම්වලින් 56%ක් නම්, අනෙකුත් සියලු වියදම් (වැටුප්, සහනාධාර, නඩත්තු) බිලියන 473කට ඇතුළත් කිරීම ගණිතමය වශයෙන් කළ නොහැක්කක්.

      2. 1956 න් පසු අඩුම අයවැය හිඟය? (Historical Fact Check?)

      ​2025 වසරේ අයවැය හිඟය දදේනියෙන් 2.3%ක් ලෙස හැඳින්වීම සම්පූර්ණ අසත්‍යයක්.

      ​ලංකාවේ වත්මන් ආර්ථික ව්‍යුහය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් (Debt Restructuring) තවමත් සිදුවෙමින් පවතින පසුබිමක, මෙවැනි අගයක් ලබාගැනීම ප්‍රායෝගික නැහැ.

      ​ඇත්ත වශයෙන්ම අපේ පොලී වියදමම දදේනියෙන් 8%ක් - 9%ක් වැනි අගයක් ගන්නා විට, සමස්ත අයවැය හිඟය 2.3%ක් විය නොහැකියි.

      ​3. පොලී අනුපාත සහ ණය බර (Technical Fallacy)

      ​භාණ්ඩාගාර බිල්පත් පොලිය 8.45% දක්වා අඩු වූ බව පැවසුවත්, රජයේ ණය බර (Debt-to-GDP ratio) 95.5% සිට 91.6% දක්වා මාස කිහිපයකින් අඩු වීම ආර්ථික විද්‍යාත්මක හාස්කමක් වගෙයි.

      ​ණය බර අඩු වීමට නම් රටේ දදේනිය (GDP) අතිවිශාල වේගයකින් වර්ධනය විය යුතුයි නැතිනම් ණය ගෙවා අවසන් කළ යුතුයි. අප තවමත් ණය ප්‍රතිව්‍යුහගත කරමින් සිටින නිසා මෙය සිදුවිය නොහැක්කක්.

      ​4. වර්චූවල් චක්‍ර මිථ්‍යාව (The Virtual Cycle Myth)

      මෙහි සඳහන් වන සාධනීය චක්‍රය න්‍යායාත්මකව නිවැරදි වුවත්, එය ක්‍රියාත්මක වීමට නම් රටේ ප්‍රාථමික අතිරික්තයක් (Primary Surplus) ස්ථාවරව තිබිය යුතුයි. නමුත් සහන ලබාදෙමින්, බදු අඩු නොකර, ආදායම 35%කින් වැඩි කරන අතරතුර වියදම 1%කින් පමණක් වැඩි කිරීම ඕනෑම රජයකට සිහිනයක් පමණයි.

      ​මේ නිසාම මේ පෝස්ට් එක ලියා ඇත්තේ ජනතාවට සෑම දෙයක්ම සුබදායකයි කියා බොරුවක් පෙන්වා ජනතාව රැවටිමට මිස මහ බැංකු වාර්තා හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දත්ත මත පදනම්ව නෙවෙයි. මෙහි ඇති සංඛ්‍යා ලේඛන එකිනෙක ගැටෙනවා. මෙය හරියට මාසික වැටුප රුපියල් 50,000ක් වන අයෙක්, රුපියල් 48,000ක ණය වාරික ගෙවන ගමන්, මුළු පවුලම නඩත්තු කරලා මාසෙ අන්තිමට රුපියල් 2,000ක් ඉතිරි කළා කියනවා වගේ "බොළඳ" කතාවක්.
      ​දේශපාලන වාසි තකා මෙවැනි ව්‍යාජ දත්ත නිර්මාණය කිරීම රටේ සැබෑ ආර්ථික විග්‍රහයකට කරන බාධාවක් නේද?

      Delete
  2. මේ අනෝ ලා දෙන්නමගේම comments බැලුවම පෙන්නේ ,
    1. පට්ට මෝඩ comments කියල මොකද මේක 2026 ජනවාරි අවසානයේදී රාජ්‍යමූල්‍ය තත්ත්වය. මැදපෙරදිග පර්ශ්නය ඇති උනේ කවද්ද... විදුලි බිලට සහ තෙල් මිලට වැඩි කරේ කවද්ද කියල දින වකවානු බල්ලනේ නැතුව ඔහේ කියවනවා...

    2. මේ ආණ්ඩුවේ සහ මහබැංකුවේ දත්ත හරියට මොලේ කල්පනාකරලා බැලුවම පේනවා 2024 ට වඩා ඉතා සුළු වරදානයක් තියනවා ආර්ථික ප්‍රශ්න තාම විසදිලා නැ ඉකොනොමැට්ටා පැහැදිලිව පෙන්වා දෙනවා මේ විදියට ගියොත් ආර්ථික ප්‍රශ්න අඩු වෙන්න පුළුවන් කියල... මේ මේ අනෝ ලා දෙන්නමගේම පොස්ට් දාන්නේ හරියට ඉකොනොමැට්ටා ලිපිය තේරුම් අරගෙන නෙමේ... එක්කෝ බය වෙලා මේ ආණ්ඩුවේ සහ මහබැංකුවේ වැඩපිළිවල සාර්ථක වේවි කියල...

    3. විශේෂයෙන්ම වසරකට රුපියල් ට්‍රිලියන ගණනක ණය වාරික සහ පොලිය ගෙවීමට ඇති රටක. නිකක් ඔහේ කියවන්නේ නැතුව කොහෙද තියන්න රුපියල් ට්‍රිලියන ගණනක ණය ගෙවන්න ඕනේ කියල මහබැංකු අදිපති කියපු විදියට 2026 ගෙවන්න තියන ණය සහ පොලිය 2025 ට වඩා අඩු වෙනවා එහෙම බැලුවම අද තියන USD වලට අනුව රුපියල් ට්‍රිලියන 1 ට වඩා අඩු ප්‍රමාණයක් ණය සහ පොලිය 2026 ගෙවන්න තියන්නේ...

    4. පොලී වියදම දන්නේ නැ අයවැය හිඟය දන්නේ නැ වැරදි නම් වැරැද්ද කොහෙද තියන්නේ. මේවා හරියට තාම මේ ලෝකේ පැතලි තැටියක් කියල කියන කට්ටිය වගේ... මොකද මහබැංකුවේ වාර්තා ගණනය කිරීම් තියනවා කොහෙද වැරැද්ද?

    5. "ණය බර අඩු වීමට නම් රටේ දදේනිය (GDP) අතිවිශාල වේගයකින් වර්ධනය විය යුතුයි නැතිනම් ණය ගෙවා අවසන් කළ යුතුයි." 2025 දී ගත්ත ණයට වඩා වැඩි පර්මනයකින් GDP USD වැඩි වෙලා තියනවා මේක හාස්කමක් නෙමේ මේක තමා සරල ගණිතය

    ReplyDelete
  3. ඉකොනොමැට්ටා මේ පෝස්ට් එක ලිවීමට පාදක කරගත් මූලාශ්‍ර වල වරදක් ඇති බවයි මට නම් පේන්නේ, මට හිතෙන විදියට වරද ලංකාවේ රජය මහබැංකුව සහ භාණ්ඩාගාර විසින් නිකුත් කරන ව්‍යාජ සංඛ්‍යාලේඛන මත පදනම්ව මේ පෝස්ට් එක ලිවීමයි.

    මම දකින්නේ මෙය සංඛ්‍යා ලේඛන මගින් කරන මායාවක් (Statistical Illusion) කියලයි. ආර්ථික විද්‍යාවේදී අපි කියනවා "ඉලක්කම්වලට බොරු කියන්න බැහැ, නමුත් බොරුකාරයන්ට ඉලක්කම් පාවිච්චි කරන්න පුළුවන්" කියලා.

    ​මේ මායාව සිදුවන ප්‍රධාන ආකාර ත්‍රිත්වයක් මම ඔබට සරලව පෙන්වා දෙන්නම්:

    ​1. නාමික අගය සහ තාත්වික අගය අතර වෙනස (Nominal vs Real Values)

    ​ආණ්ඩුව පෙන්වන ආදායම් වර්ධනය (35%) බොහෝ විට සිදුවෙන්නේ බදු පදනම පුළුල් වීම නිසා නෙවෙයි, උද්ධමනය නිසා භාණ්ඩ මිල ඉහළ යෑමේදී එකතු වන වැට් (VAT) වැනි වක්‍ර බදු වැඩි වීම නිසයි.

    ​උදාහරණයක් විදියට රුපියල් 100ක බඩුවට 15% බදු ගැහුවම රුපියල් 15යි. ඒ බඩුවම උද්ධමනය නිසා රුපියල් 200 වුණාම, බදු ප්‍රතිශතය වෙනස් නොවුණත් රජයට රුපියල් 30ක් ලැබෙනවා. ආදායම 100%කින් වැඩි වුණා වගේ පෙනුණත්, ඒක ජනතාවගේ පීඩනය මිස ආර්ථිකයේ සැබෑ දියුණුවක් නෙවෙයි.

    ​2. ණය කළමනාකරණයේ "කෘතිම" අඩු වීම

    ​රජයේ ණය දදේනියෙන් 91% දක්වා අඩු වූ බව පැවසීම පිටුපස තියෙන්නේ රුපියලේ අගය කෘතිමව පාලනය කිරීමයි.

    ​ලංකාවේ විදේශ ණය ඩොලර්වලින් තියෙන්නේ. රුපියල ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් කළ සැණින්, රුපියල්වලින් පෙන්වන ණය ප්‍රමාණය අඩු වෙනවා. නමුත් අපි ඩොලර්වලින් ගෙවිය යුතු ණය ප්‍රමාණය ඒ විදිහටම තියෙනවා. මේක හරියට මීටරයක සම්මත දුර දිග වෙනස් කරලා අලුත් සම්මතයෙන් දුර මනිනවා වගේ වැඩක්.

    ​3. "වෙනස් කළ නොහැකි" වියදම් සඟවා තැබීම

    ​රජයේ වියදම් 1.2%කින් පමණක් වැඩි වූ බව පැවසීම තාක්ෂණිකව කළ නොහැක්කක්.

    ​රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කරන බව පවසමින්, සහනාධාර (අස්වැසුම වැනි) වැඩි කරන බව පවසමින්, අනෙක් පැත්තෙන් වියදම් සීමා වුණා කියන්නේ කෙසේද? මෙහිදී බොහෝ විට කරන්නේ "ගෙවිය යුතු බිල්පත්" (Arrears) ගෙවීම් අත්හිටුවා ඒවා ගිණුම් පොත්වලින් ඉවත් කර තැබීමයි. එතකොට පොත්වල වියදම අඩුයි, හැබැයි පොළොවේ ණය එහෙම්මමයි.

    ආර්ථික කළමනාකරණය කියන්නේ මැජික් එකක් නෙවෙයි. මේ දත්තවල පෙන්වන "අයවැය අතිරික්තය" සහ "පොලී අනුපාත අඩුවීම" අතර තියෙන සම්බන්ධය හරිම සැක සහිතයි. රජය උත්සාහ කරන්නේ IMF සහ ජාත්‍යන්තර ආයෝජකයන් ඉදිරියේ "අපි හරි දක්ෂයි" කියලා පෙන්වන්න වුණත්, සාමාන්‍ය මිනිහගේ සාක්කුවට දැනෙන යථාර්ථය මේ ඉලක්කම්වලට වඩා ගොඩක් වෙනස්.

    ​සංඛ්‍යා ලේඛන මගින් පින්තූරයක් අඳින්න පුළුවන්, හැබැයි ඒ පින්තූරය ඇතුළේ ජීවත් වෙන්න බැහැ.

    අනෙක රජය විසින් ඉදිරිපත් කරන මෙම සංඛ්‍යාලේඛන යනු ආර්ථික විද්‍යාත්මක පදනමකින් තොරව, හුදෙක් දත්ත හැසිරවීම (Data Manipulation) මගින් මවන ලද "සංඛ්‍යාත්මක මිරිඟුවක්" පමණක් බව අවධාරණය කළ යුතුයි

    ඒ මන්දයත්, රටතුල භාණ්ඩ හා සේවා මිල ඉහළ යෑම නිසා නාමිකව (Nominal) වැඩි වන වැට් බදු ආදායම රටේ සැබෑ නිෂ්පාදන වර්ධනයක් ලෙස පෙන්වීමට උත්සාහ කිරීමත්, අනෙක් පසින් රාජ්‍ය සේවක වැටුප් හා සහනාධාර වැඩි වන පසුබිමක වියදම් වර්ධනය 1.2%ක් වැනි අතාර්කික අගයකට සීමා වී ඇති බව පැවසීමත් ගණිතමය වශයෙන් එකිනෙකට පරස්පර වන බැවිනි. විශේෂයෙන්ම, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවසන් එකඟතාවලට පැමිණ නොමැති අවස්ථාවක, රුපියලේ අගය කෘතිමව ස්ථාවරව තබා ගනිමින් ඩොලර් ණය ප්‍රමාණය රුපියල්වලින් පෙන්වන විට ලැබෙන තාවකාලික අඩුවීම "ණය බර පහත වැටීමක්" ලෙස අර්ථකථනය කිරීමත්, රජය සතු යැයි කියන රුපියල් ට්‍රිලියනයක තැන්පතුවක් පවතිද්දී තවදුරටත් ඉහළ පොලියට වෙළඳපොළෙන් ණය ගැනීමත් මගින් පෙනී යන්නේ මෙය මූල්‍ය විනයක් නොව, මහජනතාව සහ ජාත්‍යන්තර ආයතන නොමඟ යැවීම සඳහා සකස් කරන ලද "පොත් තැබීමේ මායාවක්" බවයි

    එබැවින් මෙම ඉලක්කම් තුළ පෙන්වන සුබවාදී පින්තූරය සහ සාමාන්‍ය ජනතාවගේ ජීවන වියදම සහ රටේ සැබෑ ණයගැතිභාවය අතර පවතින්නේ අතිවිශාල පරතරයක් බව අප වටහාගත යුතුයි.

    ReplyDelete
  4. Yohan Peiris,
    1. "නාමික අගය සහ තාත්වික අගය අතර වෙනස" ඔබ කියන කතාවේ යම් සතයක් තිබුනත් එක 100% හරි නැ. මොකද ආණ්ඩුවට මොන බොරු කරත් "ඉලක්කම්වලට බොරු කියන්න බැහැ" ඔබ කියන විදියට උද්ධමනය නිසා රුපියල් 200 වුණාම ආණ්ඩුවේ වියදම් අඩුම ගානේ 25% වත් වැඩි වෙන්න ඕනේ 2026 ජනවාරි මාසේ නමුත් ඔබට ඕනෙනම් බලන්න පුළුවන් ආණ්ඩුවේ වියදම් වැඩි වීම ගොඩක් අඩු අගයක් ආදායම වැඩි වීම සමග බැලුවම මොකද ඉලක්කම්වලට බොරු කරන්න බැ... කොහෙන් හරි මාට්ටු වෙනවා...දත්ත බැලුවම ආණ්ඩුව උද්ධමනයට වඩා ආදායම වැඩි කරගෙන තියනවා වියදම් අඩුවෙන් කළමනාකරණය කරගෙන...

    2. මට නම් "රුපියල ඩොලරයට සාපේක්ෂව ශක්තිමත්" කියන එක මම නම් දැක්කේ නැ 2024/sep ඉදල "ඩොලරය...රුපියලට සාපේක්ෂව ශක්තිමත් වෙනවා" කියල තමා මට පෙන්නේ දැන් රුපියල් 319 වෙනවා 1 ඩොලර් එකක්...2026 ඩොලර්වලින් ගෙවන්න තියන ණය ඉතාම සුළු පමාණයක් ඩොලර් මිලියන 100ට අඩු පමාණයක් අඩු වෙනවා 2025 එක්ක බැලුවම... නමුත් රුපියල බාල්දු උන නිසා රුපියල් ණය පමාණය වැඩි වෙලා තියනවා... අපහු බලන්න ඔබ කියපු කතාවේ අනිත් පැත්ත වෙලා තියන්නේ...

    3. "වෙනස් කළ නොහැකි" වියදම් සඟවා තැබීම - මේකට මම එකග වෙනවා. දත්ත නැ.. හරියටම කියන්න.. මොකද ආණ්ඩුව 2025දී පරාක්දන වියදම් 2026 ට අරගෙන තියනවා... "ගිණුම් පොත්වලින් ඉවත් කර තැබීමයි" කියන එක සම්පුර්නයක් වැරදි කියමනක් ඒවා 2026 දී වෙනස් කරලා තියනවා... නමුත් මම දැක්කේ ආණ්ඩුවේ පරාක්දන වියදම් තමා මම දැක්කේ... අපි නිකන් බොරු උදාහරණයක් ගත්තොත් විදේශ අමාත්යංශය ශ්‍රීලන්කන් ගුවන් සේවයට ගෙවන්න තියන මුදල 2026 ට කල් දානවා... බොරුවට පෙන්නනවා විදේශ අමාත්යංශය වියදම් අඩුවෙලා කියලා 2025 දී නමුත් ශ්‍රීලන්කන් ගුවන් සේවය 2025 දී ඒ පාඩුව පැහැදිලිව තියනවා විදේශ අමාත්යංශය 2025 දී මේ මුදල ගෙවල නැ කියල එක නිසා හරියට බලනවානම් "ඉලක්කම්වලට බොරු කියන්න බැහැ"

    ReplyDelete
  5. ඇමරිකන් ඉකොනො පච දාන්න එපා

    ReplyDelete
  6. @ Economatta

    නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ (NYU) මහාචාර්ය ස්කොට් ගැලවේ (Scott Galloway - Prof G) මෑතකදී දැඩි අනතුරු ඇඟවීමක් කරමින් ප්‍රකාශ කළේ, පවතින භූ-දේශපාලනික කම්පන සහ බලශක්ති අර්බුදය හේතුවෙන් ගෝලීය වෙළඳපොළ තුළ ඩොලර් ට්‍රිලියන 10ක පමණ දැවැන්ත කඩාවැටීමක් සිදුවිය හැකි බවයි.

    ලංකාවේ රජය පවසන පරිදි IMF සමඟ ඇති කරගත් Debt Sustainability Analysis (DSA) හෙවත් ණය තිරසාරභාවය පිළිබඳ විශ්ලේෂණය කිසිසේත්ම වෙනස් කළ නොහැකි ගිවිසුමක් නෙවෙයි. ආර්ථික විද්‍යාවේදී DSA එකක් කියන්නේ ස්ථිතික (Static) දෙයක් නෙවෙයි, එය ගතික (Dynamic) ලේඛනයක්.

    ​ස්කොට් ගැලවේ මහාචාර්යවරයා පවසන පරිදි ලෝක දේශපාලන කම්පන සහ තෙල් මිල ඉහළ යෑම නිසා ආර්ථිකයේ මූලික උපකල්පන (Assumptions) වෙනස් වෙනවා නම්, පැරණි DSA එකක් මත රටක් පවත්වාගෙන යෑම හරියට කැඩුණු මාලිමාවකින් නැවක් පදවනවා වගේ වැඩක්.

    පහුගිය දශක කිහිපය තුල ​ආර්ජන්ටිනාව, යුක්රේනය සහ සැම්බියාව වැනි රටවල් ලෝකයට පෙන්වා දී තිබෙන්නේ තත්ත්වයන් වෙනස් වන විට ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කර අනිවාර්යයෙන්ම අදාල IMF ආදී බරපතල කොන්දේසි හැකි ඉක්මනින්ම ගෝලීය ආර්ථික තත්ත්වය අනුව වහාම යාවත්කාලීන කරගත යුතු බවයි.

    ​සංචිතවල 'ණය' පදනම (The Illusion of Reserves)

    ​ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය දෙස බලා සතුටු වීමට පෙර, එහි සංයුතිය (Composition) දෙස බැලිය යුතුයි.

    ලංකාවේ ඩොලර් බිලියන හතක පමණ ​සංචිතවලින් අතිවිශාල ප්‍රමාණයක් චීන මුදල් හුවමාරු (Swap) සහ විවිධ ගෝලීය ආයතනවලින් ලබාගත් වාණිජ ණය මිස, අපේ අපනයන ආදායමෙන් උපයාගත් ශුද්ධ ධනය (Net International Reserves) නෙවෙයි.

    පහුගිය මාස එක හමාරක පමණ කාලය තුල ඉරාන ගල්ෆ් යුද්ධය සමයේ ලංකාවේ ​රජය විසින් අපනයනකරුවන්ට තමන්ගේම ඩොලර්වලින් ඉන්ධන ගෙන්වා ගැනීමට අවසර දීමෙන්ම පැහැදිලිවම තහවුරු වන්නේ, ජාතික සංචිත හරහා බලශක්ති අවශ්‍යතාව සපුරාලීමට තරම් ද්‍රවශීලතාවක් (Liquidity) මහ බැංකුව සතුව නොමැති බවයි.

    ​3. මහ බැංකුවේ 'සැඟවුණු' ණය (Hidden Liability)

    ​මෙතන තියෙන ලොකුම අර්බුදය තමයි, රජයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම්වල මහ බැංකුව ලබාගෙන ඇති බිලියන ගණනක විදේශ ණය (PBOC Swap ආදිය) ඇතුළත් නොවීමයි.

    ​මහ බැංකුව නව පනත හරහා ස්වාධීන වුවත්, ඔවුන්ගේ ගිණුම්වල ඇති ණය පියවන්නේ කෙසේද යන්න පිළිබඳව ලිඛිත සැලැස්මක් මෙතෙක් රටට හෙළි කර නැහැ. මෙය පාරදෘශ්‍යභාවය පිළිබඳ බරපතල ගැටලුවක්.

    ReplyDelete
    Replies
    1. "ලංකාවේ ඩොලර් බිලියන හතක පමණ ​සංචිතවලින් අතිවිශාල ප්‍රමාණයක් චීන මුදල් හුවමාරු (Swap) සහ විවිධ ගෝලීය ආයතනවලින් ලබාගත් වාණිජ ණය මිස, අපේ අපනයන ආදායමෙන් උපයාගත් ශුද්ධ ධනය (Net International Reserves) නෙවෙයි."

      ඔබ ඔය කියන කතාව හරි 2024 ට කලින් මොකද ඊට කලින් අපිට විදේශ ​සංචිත කියල තිබුනේ ණය. රටේ විදේශ අදායම මදි විදේශ වියදම් පියවගන්න නමුත් 2025 මේක වෙනස් 2025 අපිට ඩොලර් බිලියන 7 පමණ විදේශ සංචිතවලින් ඩොලර් බිලියන 3-3.5 පමණ තියන්නේ ආණ්ඩුවේ මුදල්....මහබැංකු වාර්තා බලන්න... ඉකොනොමැට්ටා ලිපියක් තියනවා "ශුද්ධ විදේශ සංචිත" වෙනස් වීම ගැනත්....

      "මෙතන තියෙන ලොකුම අර්බුදය තමයි, රජයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම්වල මහ බැංකුව ලබාගෙන ඇති බිලියන ගණනක විදේශ ණය (PBOC Swap ආදිය) ඇතුළත් නොවීමයි." මේ කතාව සම්පුර්න වැරදි කියමනක් "Multilateral institutions" ලංකාව දිගටම pay කරගෙන අවා default උනාට පස්සේ උනත්...

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.