Wednesday, July 1, 2026

ලංකාව නැවතත් ඉහළ මැදි ආදායම් මට්ටමට!


ලෝක බැංකු වර්ගීකරණය අනුව ලංකාව නැවතත් ඉහළ මැදි ආදායම් කාණ්ඩය දක්වා උසස් වී තිබෙනවා.

ලෝක බැංකුව විසින් රට රටවල ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය මත පදනම්ව, පහළ, පහළ මැදි, ඉහළ මැදි හා ඉහළ ආදායම් රටවල් ලෙස රටවල් වර්ගීකරණය කරනවා. මෙම වර්ගීකරණය හඳුන්වා දුන් 1988 වසරේදී පහළ ආදායම් රටක් සේ හඳුනා ගැනුණු ලංකාවට 1997 වසරේදී පහළ මැදි ආදායම් කාණ්ඩය දක්වා උසස් වීමට ඉඩ ලැබුණා. ඉන් පසුව, 2018දී ලංකාවට ඉහළ මැදි ආදායම් රටක් විය හැකි වුනත්, ඒ තත්ත්වය පවත්වා ගත හැකි වූයේ එම වසර තුළදී පමණයි. 2019 සිට 2025 දක්වා ලංකාව නැවතත් වර්ගීකරණය වූයේ පහළ මැදි ආදායම් කාණ්ඩයේ රටක් ලෙසයි.

මේ වන විට ලංකාවට නැවත වරක් ඉහළ මැදි ආදායම් කාණ්ඩය දක්වා උසස් වීමට හැකි වී තිබෙනවා. 2025 ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය පදනම්ව ලෝක බැංකුව විසින් වර්ගීකරණය කර ඇති රටවල් 218ක් අතරින් රටවල් 87ක් ඉහළ ආදායම් රටවල් ලෙසත්, රටවල් 59ක් ඉහළ මැදි ආදායම් රටවල් ලෙසත්, රටවල් 47ක් පහළ මැදි ආදායම් රටවල් ලෙසත්, ඉතිරි රටවල් 25 පහළ ආදායම් රටවල් ලෙසත් හඳුනාගෙන තිබෙනවා. 

පසුගිය වසරේ සිදු කළ වර්ගීකරණයට සාපේක්ෂව සිදු වී ඇති ප්‍රධානම වෙනස වන්නේ කලින් පහළ මැදි ආදායම් කාණ්ඩයේ සිටි ශ්‍රී ලංකාව ඇතුළු රටවල් පහක් ඉහළ මැදි ආදායම් කාණ්ඩය දක්වා උසස් වී තිබීමයි. අනෙකුත් රටවල් හතර වන්නේ වියට්නාමය, පිලිපීනය, ජෝර්දානය සහ මයික්‍රොනීසියාවයි. ඊට අමතරව, ටෝගෝ රාජ්‍යය පහළ ආදායම් කාණ්ඩයේ සිට පහළ මැදි ආදායම් කාණ්ඩය දක්වා ගමන් කිරීමට සමත් වී තිබෙනවා. 

අලුත්ම වර්ගීකරණය සිදු කර තිබෙන්නේ පහත පදනම මතයි.

ඩොලර් 1,175 දක්වා - පහළ ආදායම් 

ඩොලර් 1,176 සිට 4,635 දක්වා - පහළ මැදි ආදායම් 

ඩොලර් 4,636 සිට 14,375 දක්වා - ඉහළ මැදි ආදායම් 

ඩොලර් 14,376ට වැඩි - ඉහළ ආදායම් 

මහ බැංකුවේ ඇස්තමේන්තු අනුව, 2025දී ලංකාවේ ඒක පුද්ගල පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් 4,910ක් වුවත්, ලෝක බැංකුව විසින් අදාළ සංඛ්‍යාලේඛනය ඇස්තමේන්තු කරන්නේ ඔවුන්ගේම ක්‍රමවේදයකට අනුවයි. ඊට හේතුව, විණිමය අනුපාතයේ විචලනයන් හේතුවෙන් සිදු වන බලපෑම නිවැරදි කළ යුතු වීමයි. 2025දී ලංකාවේ ඒක පුද්ගල පුද්ගල දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් 4,670ක් ලෙස ලෝක බැංකුව විසින් ඇස්තමේන්තු කර තිබෙනවා. මේ අනුව, ලංකාවට යාන්තමින් ඩොලර් 4,636 සීමාව ඉක්මවා යාමට හැකි වී තිබෙනවා.

මෙම අලුත් වර්ගීකරණයන් ඉදිරිපත් කරමින් ලංකාව ගැන විශේෂ සඳහනක්ද ලෝක බැංකුව විසින් සිදු කර තිබෙනවා.

"Sri Lanka is a story of recovery. Just three years after a severe economic crisis brought the country to the brink of collapse in 2022, real GDP grew by 5% in 2025, driven by a rebound across industries and growth in financial and tourism services. The reclassification is a marker of resilience, though the country only narrowly crossed the threshold."

"ශ්‍රී ලංකාව යනු නැවත හිස ඔසොවා නැගී සිටීම පිළිබඳ කතාවකි. 2022 දී රටේ ආර්ථිකය මුළුමනින්ම බිඳ වැටෙන තත්ත්වයක ආසන්නය දක්වා රට තල්ලු කළ දැඩි ආර්ථික අර්බුදයක් නිමා කර යාන්තමින් වසර තුනක් ගත වීමටත් පෙර, කර්මාන්ත ක්ෂේත්‍රයන් නැවත ප්‍රබෝධමත් වීම සහ මූල්‍ය හා සංචාරක සේවා ක්ෂේත්‍ර වල වර්ධනය හේතුවෙන් 2025 දී රටේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතය 5% කින් වර්ධනය විය. වර්ගීකරණ සීමාව පසු කර ගොස් ඇත්තේ යාන්තමින් වුවද, මෙසේ ඉහළ මැදි ආදායම් රටක් ලෙස නැවත වර්ගීකරණය වීම ශ්‍රී ලංකාවේ දරා ගැනීමේ හැකියාව සංකේතවත් කරන්නකි."

5 comments:

  1. අපි නොදන්න මොණරතැන්න... සාමාන්‍යයෙන් මහ බැංකු වාර්තාව හැදෙන හැටි ඉගෙන ගත්ත අය දන්නව ඕක හැදෙන්න කොහොමද කියලා...ඕක දිගටම පවත්වාගෙන යන්න පුලුවන් බොරුවක් නෙමෙයි

    ReplyDelete
  2. ඉකොනෝ ලංකාවේ වර්තමාන ආණ්ඩුව සමාජවාදී කොමියුනිස්ට්වාදී අදහස් නිසාම සමාජවාදයේ හැමදේම හැමෝටම සමසමව බෙදන්න හැදුවට, ප්‍රායෝගිකව බලද්දී ඒකේ ලොකු අඩුපාඩු ටිකක් තියෙනවා. එකක් තමයි, මහන්සි වෙලා වැඩ කරන කෙනාටත්, නිකන් ඉන්න කෙනාටත් එකම වගේ ප්‍රතිලාභ ලැබෙද්දී මිනිස්සුන්ගේ මහන්සි වෙලා අලුත් දේවල් කරන්න තියෙන උනන්දුව නැති වෙලා යනවා. මොකද පුද්ගලිකව දියුණු වෙන්න අවස්ථාවක් නැති නිසා. අනික හැමදේම රජය පාලනය කරන්න ගියාම රජයේ නිලධාරීන් බලසම්පන්න වෙලා, දූෂණය සහ අකාර්යක්ෂමතාවය ඉහළ යනවා. නීති රීති වැඩි නිසා අලුත් ව්‍යාපාර බිහි වෙන්නෙත් නෑ. අන්තිමට තරඟකාරීත්වයක් නැති නිසා බඩු බාහිරාදියේ තත්ත්වය බාල වෙලා, රටේ ආර්ථිකය එක තැන පල්වෙන්න ගන්න එක තමයි මේකේ තියෙන ලොකුම අවුල. දැන් බලන්න ආණ්ඩුව පඩියෙන් කපාගන්න රජයේ සේවකයන්ට හාල් කිලෝ 20 ක් දෙන්න හදන වැඩේ? සෝවියට් සංගමය ඒරටේ සියලුම සේවකයන්ට (සෝවියට් දේශය තුල හැමෝම වගේ රජයේ සේවකයෝ) පඩියෙන් කපාගන්න වාහන දෙනවා කියලා කරපු වැඩේම තමයි නේද? රනිල් වික්‍රමසිංහත් සමාජවාදී සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පාලකයෙක් වෙච්ච එකේ මේ කොමියුනිස්ට්වාදීන් ගැන කවර කතාද?

    ReplyDelete
  3. > චන්දෙට කලින් පච වැඩ බැරි අනුර කුමාර කිව්වෙ

    > පැය විසිහතරෙන් විසදනවා
    > එක් පෑන් පාරින් ගෙදර යවනව
    > පඩි බාගයෙන් වාහනයක් ගන්න පුලුවන් වගේ කතා

    ඕනෑම රටක, දේශපාලකයන් චන්දයක් එනකොට කියන හැම එකම 100% ඇත්ත කියල හිතන මිනිස්සු ඉන්න මේ රට ඇතුළුව අනික් රටවල් නිසා තමා ලෝකෙම මේ වගේ තත්වෙකට පත් වෙන්නේ. Trump ව ගෙනාවෙත් ඇමෙරිකාවේ හිටපු මේ වගේ හිතන මිනිස්සුම තමා.... මේ අය තමා හිතන්නේ රනිල් කියන්නේ පට්ට වැඩ කාරයෙක් 2022 පොඩ්ඩක් miss උන එක 2048 අවුරුදු 99ක් වෙනකොට ගොඩ දානවා කියල...🤣

    ReplyDelete
  4. ඡන්දෙ ගන්න කවුරුත් බොරු කියනවා, එහෙම කියලා බේරෙන්න පුළුවන්ද මේ රජයට? ඔව් මීට කලින් හිටපු 76 වසරක සාපේ බොරු කිව්වා ජනතාව රැවැට්ටුවා ඒත් අපි ජනතාව රවට්ටන්නේ නැහැ කියපු නිසායි 3% හිටපු පක්ෂෙ කට 3න් 2ක් දීලා බැලුවේ ජනතාව...ඒත් මුන් අනිත් හැමෝටම වඩා ජනතාවට බොරු කලා , රැවැට්ටුවා.. ජනතාව විදිහට ලැජ්ජා වෙන්න මුන් වගේ බොරු කරයන්ට කඩේ යන්න... ඇත්ත ඇත්ත විදිහට දකින්න කොන්දක් තියා ගන්න... මෙයාලගේ හදුන් කිව්වේ ඡන්දෙට කලින් stage වල, පාලකයා ජනතාවට දෙන ඡන්ද පොරොන්දු කැඩුවොත් නීතිමය පියවර ගන්නා පුළුවන් තැනට අපි නීති හදනවා කියලා(තාම ශාක්ෂි තීනවා අන්තර්ජාලයේ ඒ videos)...කෝ හැදුවද 3න් 2ක් තිනවනේ, ඇයි ඒ නීති සම්මත කරලා මුලින්ම මේ ආණ්ඩුවේ පැය 24න් පෝය දෙකෙන්... මාස 6න් කරනවා කිව්ව ඒව නොකරපු එකට අදාල අයට දඩුවම් දෙන්නකෝ. මං කාටවත් කඩේ යන්නේ නැහැ, මට කඩේ යන්න ඕනිත් නැහැ, මට පක්ෂයක් නැහැ, මට ඕනි මේ රට මොකා හරි කමක් නැහැ හරියට හදන්නයි..එච්චරයි, හිටපු උන් නරක නිසා තමයි කොහේවත් හිටපු මුන්ට බලය දුන්නේ...දීලා බලන්න හදනවා කියපු නිසා..බැලුවම හිටපු උන්ට වඩා මුන් බොරු කාරයෝ...කලින් උන් හොරකම් කළා නම් උන් ට නඩු දාලා උන්ගෙන් ඒ සල්ලි ගන්න...නැතුව ජනතාවට නාට්‍ය පෙන්නලා වැඩක් නැහැ ජනතාවට ඕනි හොරුන්ගෙන් සල්ලි අරන් නැවත භාණ්ඩාගාරය පුරවන එක පමණයි...නැතුව කවුරුවත් හිරේ ගිය කියලා මේ රටේ දුප්පත් ජනතාවට වෙන සෙතක් නැහැ...උන්ගේ සල්ලි නඩු දාලා අරන් බාන්ඩගාරෙට දාගෙන, එක පුරවලා, අහිංසක මිනිස්සුන්ට දැන් ගහන දරා ගන්න බැරි tax එක අඩු කළොත් ජනතාවට අධික ජීවන බරෙන් මිදිලා ඔලුව උස්සන් ජීවත් වෙන්න පුළුවන්.

    ReplyDelete
  5. හම්බකරන වයසේ කොල්ලෝ විතරක් නොවෙයි,කෙල්ලොත්
    මාරම පීඩනයක ඉන්නේ..
    ගොඩක් අය බදින්නෙත් නැ බ්ණ්දත් ළමයි හදන්නෙත් නෑ..
    වාහන පදින එක කෙසේවෙතත් කාලා ඇදලා, දෙමව්පියන් ට සලකලා ඉන්නත් මදි පඩිය ලක්ෂයක් තිබ්බත්..ගොඩක් ළමයිට 50000-100000අතර පඩි..ඒක හැරෙන්නත් මදි..ඉගෙනගන්න ලමයි, ලෙඩ හැදුණු දෙමව්පිය්න් ඉන්නවා නම් ණයත් වෙන්න තමයි වෙන්නේ..කොල්ලෙක්ට bike එකක ෆිනෑස් එකවත් ගෙවාගන්න බෑ ඒ තරමට අමාරුයි ආර්තිකය.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.