Monday, August 31, 2015

පූජ්‍ය පක්ෂයට පමණයි!

(Photo credit: http://www.nydailynews.com/)

අනූව දශකයේ පළමු භාගයේ කිසියම් දවසක විහාර මහා දේවී උද්‍යානයේ එළිමහන් රංග පීඨයේ ජිප්සීස් සංගීත ප්‍රසංගයක් පැවැත්වුනේය. මේ කාලයේදී කපුගේ හා නන්දා මාලිනී වැනි ජනතාවාදී ගායක ගායිකාවන්ට සරසවි ඇතුළේ ඒකාධිකාරයකට ආසන්න තත්ත්වයක් පැවති අතර පේරාදෙණිය සරසවියේ එක්තරා සංගමයකින් සංවිධානය කළ සනත් නන්දසිරිගේ සංගීත ප්‍රසංගයක් පවා අවලංගු කිරීමට සිදුවූයේ බාධාවකින් තොරව එය පැවැත්විය හැකි වාතාවරණයක් නොපැවති බැවිනි.

කෙසේ වුවද, ඒ කාලයේදී පුරවැසි බලයක් නොතිබුණු, ජනතාවාදී ගායකයෙක් නොවූ සුනිල් පෙරේරාගේ ඉහත කී සංදර්ශනයට එදා තිබුණු ඉල්ලුමනම් විහාර මහා දේවී උද්‍යානයේ එළිමහන් රංග පීඨයේ ධාරිතාවට වඩා බොහෝ වැඩි එකක් විය. කලින් ප්‍රවේශපත් මිලදී නොගෙන 'එදින දොරටුවෙන්' ලබා ගැනීමට බලාගෙන ආ විශාල පිරිසකගේ බලාපොරොත්තු කඩ වූ අතර ඒ බොහෝ දෙනෙකු කේස් එක ලේසියෙන් අත්හැරීමට සූදානම් වූයේ නැත. මෙහි ප්‍රතිඵලය වූයේ සංවිධාකයින්ට ප්‍රේක්ෂකයින් ඇතුළු කර ගැනීමේදී නිසියාකාරයෙන් ප්‍රවේශපත් පිරික්සීමට ඉඩකඩක් නොලැබීමයි.

තම ශරීර ශක්තියේ ප්‍රමාණය අනුව ප්‍රවේශපත් ඇත්තෝත් නැත්තෝත් හරි හරියට ඇතුළට රිංගා ගනිද්දී සංවිධායකයින් විසින් ප්‍රසංගය ඇරඹීමට නියමිතව තිබුණු වෙලාවටත් පෙර එළිමහන් රංග පීඨයේ යකඩ ගේට්ටු වසා දැමිණි. ඒ වන විටත් ඇතුළේ සියළු ආසන (පඩි) වල මෙන්ම පඩි අතරත් සෙනඟ පිරී සිටියේය. නියමිත වේලාවට සංගීත ප්‍රසංගය ඇරඹිණි.

ඇතුළට රිංගා ගැනීමට හයි හත්තිය නොවූ කණ්ඩායමේ බොහෝ දෙනෙකු ප්‍රවේශපත් මිල දී ගෙන නොතිබුණු නමුත් ඒ අතර ප්‍රවේශපත් මිලදී ගත් අයත් සැලකිය යුතු පිරිසක් වූහ. තරමක් ප්‍රමාද වී පැමිණි අයද එකතු වී මේ කණ්ඩායම තවත් විශාල විය.

එළියේ පැවති උද්ඝෝෂණයේ හඬ ඇතුළේ ශබ්ද විකාශන වල හඬින් යටපත් කිරීම අපහසු වෙද්දී ඇතුළට රිංගා ගැනීමට හයි හත්තිය මදි වී තමන්ගේ මිතුරන්ගෙන් මඟ ඇරුණු තරුණයෙකුට මේ අසංවිධිත කණ්ඩායමේ තනි පුද්ගලයින් තුළ කැකෑරෙන නොසන්සිඳුණු ආශාව කළමනාකරණය කර එක මිටකට ගැනීමට අදහසක් පහළ වූවා විය හැකිය.

"කට්ටියම එකතුවෙලා එකපාර තල්ලුවක් දැම්මනම් ගේට්ටුව ඇරෙයි!" කවුදෝ හෙමිහිට පොඩි ආන්තික තල්ලුවක් දැම්මේය.

"ඔවු, කට්ටියම එක සැරේ තල්ලු කරමු." නාඳුනන මිනිසුන් ගොඩක් එකම අරමුණක් වෙනුවෙන් කණ්ඩායමක් ලෙස සංවිධානය වීමට ගියේ තප්පර ගාණකි.

"එකායි...දෙකායි......තුනායි.....!!!"

ගේට්ටුව විවර වුණත් දම්වැලක් වැනි දෙයක් නිසා එය සම්පූර්ණයෙන් විවෘත වූයේ නැත. ටික දෙනෙකු ඇතුළට රිංගා ගනිද්දී සහායක බල ඇණි කැඳවාගත් ගේට්ටුවේ සිටි සංවිධායකයින් දෙතුන් දෙනා නැවතත් කෙසේ හෝ ගේට්ටුව වසා ගත්තේය.

ඉල්ලුම සහ සැපයුම සමතුලනය වීම ඒ තරම් ලේසියෙන් නවත්වන්නට නුපුළුවන. උද්ඝෝෂකයෝ වඩාත් හොඳින් සංවිධානය වූහ. යකඩ දම්වැල අන්තිමේදී කැඩුණේය. නැත්නම් ගැලවුණේය.

පඩි මතත්, පඩි අතරත් වාඩි වී සිටි සෙනඟ මර හඬ තලද්දී එළියේ සිටි සෙනග කෙසේ හෝ තම අරමුණ කරා ලඟා වූහ. වාසනාවට මෙන් කිසිවෙකුට අනතුරක් වුණේ නැත. සිංදුව නවත්වා, සිය වාග් කෞෂල්‍යයය උපයෝගී කරගෙන 'පොඩි ටෝක් එකක්' දෙමින් ප්‍රේක්ෂකයින් ඉතා ඉක්මණින් විනයෙහි පිහිටුවීමට සුනිල් පෙරේරාට හැකි වූ නිසා ජනසතු වූ ප්‍රසංගය දැහැමෙන් සෙමෙන් පැවැත්වී වෙනත් කලබැගෑනියක් නැතිව අවසන් විය. එළිමහන් රංග පීඨයේ පඩි තකා පටන්ගත් සටන සුනිල් පෙරේරාගේ ඉල්ලීම පරිදි විනය තකා අවසන් කෙරිණි.

ආන්තික තල්ලුව දැමූ තරුණයාට ඔහු සමඟ පැමිණි මිතුරන් හා එක් වී අවසන් වනතුරු ප්‍රසංගය නැරඹීමට හැකිවිය.

***

2008 වසරේ තුතිපිදීමේ දිනයට පසුව එන කළු සිකුරාදා ඇමරිකාවේ නිවුයෝර්ක් ප්‍රාන්තයේ ලෝන්ග් අයිලන්ඩ් ප්‍රදේශයේ වෝල් මාර්ට් සුපිරි වෙළඳසැලක් ඉදිරිපිට දෙදහසක පමණ ජනතාවක් එක් රැස් වී බලා සිටියේ පාන්දර පහට වෙළඳ සැලේ දොරටු විවෘත වන තෙක්ය. මේ ඇතැම් දෙනා පසුගිය දින හවස හයටත් පෙර මෙහි පැමිණ තිබුණු අතර, වැඩි දෙනෙක් අඩුම වශයෙන් පාන්දර දෙකේ සිට මෙහි රැඳී සිටි අයයි.

විශාල පිරිසක් වෝල් මාර්ට් සුපිරි වෙළඳසැල ඉදිරිපිට මෙසේ එක්රැස් වන්නේ මෙදිනට සාමාන්‍ය මිලට වඩා අඩුවෙන් බොහෝ භාණ්ඩ, විශේෂයෙන්ම ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ සහ ගෘහ විද්‍යුත් උපකරණ වැනි කල් තබා ගත හැකි භාණ්ඩ, මිල දී ගත හැකි බැවිණි. සාමාන්‍යයෙන් මෙසේ අඩුමිලට විකුණන්නේ යම් භාණ්ඩයකින් සීමිත ඒකක ගණනක් පමණක් නිසා එවැන්නක් ලබා ගැනීමටනම් වෙනත් අය මිලදී ගැනීමට පෙර හැකි ඉක්මණින් භාණ්ඩය මිලදී ගත යුතුය.

යම් භාණ්ඩයක හෝ සේවාවක ඉල්ලුම හා සැපයුම ගැලපෙන එහි 'නියම' මිලට භාණ්ඩයක් විකිණේනම් පෝලිම් ඇතිවන්නේ නැත. භාණ්ඩයට වැඩිම වටිනාකමක් දිය හැකි පාරිභෝගිකයින් එය ලබා ගනු ඇත. භාණ්ඩය මිල කෙරී ඇත්තේ මේ නියම මිලට වඩා අඩුවෙන්නම් සැපයුමට වඩා ඉල්ලුම වැඩි වන නිසා, පෝලිමේ ගොස් හෝ පොරකා භාණ්ඩය හිමිකර ගැනීමට ලැබෙන්නේ ඇඟේ හයි හත්තිය ඇති අයටය. ලෝන්ග් අයිලන්ඩ්හි පිහිටි වැලි ස්ට්‍රීම් වෝල් මාර්ට් සුපිරි වෙළඳසැලේ 2008 කළු සිකුරාදා සිදු වූයේද මෙවැන්නකි.

වෙළඳසැල ඉදිරිපිට පාරිභෝගිකයෝ නොඉවසිලිමත්ව සිටිති. එහි සිටින දෙදහසක පමණ සෙනඟ කන්දරාව අනුව තමන්ට අවශ්‍ය දෙය ලබා ගැනීමට දිය යුතු තරඟය සුළුපටු නොවන බව පැහැදිලිය. මේ ඉඩකඩ තරමක් හෝ වැඩිවන්නේ දොරටු ඇරුණු වහාම මුලින්ම වෙළඳසැලට ඇතුළු වුවහොත් පමණි.

මේ සෙනඟ පාලනය කිරීම පහසු නොවන බව වෙළඳසැලේ කළමණාකරුවන්ට නොතේරුණා නොවේ. පොලීසියට මේ ගැන දැන්වූවත් ඔවුන්ගේ ප්‍රතිචාරය වූයේ පෞද්ගලික වෙළඳසැලකට එන සෙනඟ කළමනාකරණය කිරීම පොලීසියේ වැඩක් නොවන බවයි. මේ අනුව හයි හත්තිය ඇති සේවකයින් අට දෙනෙකු තෝරා දොරටුව අසළ සෙනඟ පාලනයට යෙදෙවිණි. රාත්තල් 480ක හැඩිදැඩි සිරුරක් තිබුණු, හයිටියේ සිට පැමිණි සංක්‍රමණික පවුලකින් පැවතුනු, 34 හැවිරිදි ඩිමිටායි ඩෙමෝර්ද (Jdimytai Damour) මෙසේ තෝරාගැනුණු දොරටුපාලයෙකි. තාවකාලික සේවකයෙකු වූ ඩිමිටායි වෝල්මාර්ට්හි සේවයට පැමිණ යාන්තම් සතියක් වුනා පමණි.

පහේ කණිසමට ඔන්න මෙන්න කියා තිබුණි. විහාර මහා දේවී උද්‍යානයේදී සිදුවුනාක් මෙන් කොහෙන් හෝ පොඩි ආන්තික තල්ලුවක් එන්නට ඇත. ආන්තික තල්ලුව සැබෑ තල්ලුවක් වී වැලි ස්ට්‍රීම් වෝල් මාර්ට් වෙළඳසැලේ දොරටු ගැලවී ගියේය. දහස් ගණනක් සෙනඟ වෙළඳසැල තුළට එකවර කඩා වදිද්දී දොරටුව ඉදිරිපිටම සිටි ඩිමිටායි කාගේ හෝ ඇඟේ වැදී බිම වැටුණේය. කොයිතරම් හයි හත්තිය තිබුණු යෝදයෙක් වුණත් වැටුණු ඩිමිටායිට නැගිට ගන්නටනම් ඉඩක් ලැබුණේම නැත. ඔහුව පාගාගෙන සිය දහස් ගණනක් සෙනඟ තමතමන්ගේ ඉලක්ක කරා ලඟා වූහ. මෙයින් ඇතැමෙකුට ඩොලර් විස්සක තිහක වාසියක් සැලසෙන්නට ඇත. ඇතැම් අයට එයද අහිමි වන්නට ඇත. ඉල්ලුම සහ සැපයුම අතර කෘතිමව ඇති කර තිබුණු පරතරය වේගයෙන් පියවෙද්දී මේ පරතරය තුළ සිරවුණු ඩිමිටායි අවසන් ගමන් ගියේය.

***
ධනවාදී ආර්ථිකයක ප්‍රධාන මූලධර්මය පුද්ගල අභිලාශ වලට ගරු කිරීමයි. එක් එක් පුද්ගලයාට තමන්ටම ආවේණික වූ පුද්ගල අභිලාශ ඇති බව පිළිගැනීම ආර්ථික විද්‍යා විශ්ලේෂනයක ආරම්භක පියවරයි. පුද්ගල අභිලාශ ඇති වන්නේත්, මේ අභිලාශ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන්නේත් ඇයි යන කරුණ සාකච්ඡා වන වෙනත් විෂය ක්ෂේත්‍ර තිබේ. කෙනෙකුගේ ජීව විද්‍යාත්මක හා සංස්කෘතික පදනම බොහෝ දුරට, සම සමව මෙන්, මේ පුද්ගල අභිලාශ වලට මුල් වේ. ආර්ථික විද්‍යාව පුද්ගල අභිලාශ වෙනස් කිරීමට උත්සාහ නොදරයි. එවැන්නක් දේශපාලනික හෝ ආගමික ඉලක්කයක් විය හැකිය.

ධනවාදී රාමුවක් ක්‍රියාත්මක වන රටක භාණ්ඩයක් හිමිකර ගැනීම සඳහා, ඩොලර් විස්සක තිහක ලාභයක් සඳහා, වෙනත් පුද්ගලයෙකුගේ ජීවිතය ඔහුට අහිමි කරමින් ඔහුගේ සිරුර මතින් දිවයන්නට අවශ්‍ය නැත. එහෙත්, ධනවාදී රාමුවක් ක්‍රියාත්මක වූ පලියට එවැන්නක් සිදු නොවී තිබෙන්නේත් නැත. මෙහි ඇත්තේ ක්‍රමයේ ප්‍රශ්නයක් නොවේ. පුද්ගල ස්වභාවය පිලිබඳ ප්‍රශ්නයකි.

ප්‍රචාරණය මඟින් පුද්ගලයෙකුට භාණ්ඩ පසුපස හඹා යාමට යම් උත්තේජනයක් ලැබීම සිදුවිය හැක්කකි. එහෙත්, ප්‍රචාරණය සිදු වූ පලියට සෑම පුද්ගලයෙක්ම පිස්සුවෙන් මෙන් භාණ්ඩ පසුපස හඹා යන්නේ නැත. සාමාන්‍යයෙන් ප්‍රචාරණය මඟින් කෙරෙන්නේ භාණ්ඩ පසුපස හඹා යෑමේ කොහොමටත් ඇති පුද්ගල අපේක්ෂාව ඉටුකර ගැනීමට පුද්ගලයෙකුට ඇති ඉඩප්‍රස්තා පුළුල් කර දීමයි. ප්‍රචාරණය නිසා සාපේක්ෂව සරල ජීවිතයක් ගතකරන පුද්ගලයෙක්ගේ ජීවිතය සංකීර්ණ වන්නේ නැත.

ඩිමිටායිගේ මරණය ඇමරිකානු සමාජය කම්පනය කළේ ඩොලර් විස්සක තිහක ලාභයක් සඳහා පුද්ගලයෙකුගේ ජීවිතය ඔහුට අහිමි කිරීම සාමාන්‍ය ඇමරිකානුවෙකුගේ පුද්ගල අභිලාශය නොවන නිසාය. මේ සිද්ධියෙන් පසුව එවැනි දේ නැවත සිදුවීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනිණි. එහෙත්, කිසිදු සමාජ සැකැස්මක් සර්ව සම්පූර්ණ නැත. ඒ නිසා මෙවැනි දේ නැවතත් සිදුවිය හැකිය. වඩා වැදගත් දෙය වැරදි වලින් ඉගෙන ගැනීමයි. යම් ක්‍රමයක් සර්ව සම්පුර්ණ ලෙස සැලකූ වහාම එය තවදුරටත් විද්‍යාවක් නොවී ආගමක් බවට පත් වේ. මෙය විද්‍යාවටද පොදුය. විද්‍යාව විද්‍යාවක් වන්නේම එය ප්‍රශ්න කිරීමට අභ්‍යන්තරයෙන්ම ඉඩකඩ සැලසී ඇති බැවිනි.

***
ලංකාවේ පොදු ප්‍රවාහන සේවයක් භාවිතා කිරීමේදී ආසනයක් අල්ලා ගැනීම සඳහා බලු පොරයකට යොමුවීමට සිදුවේ. ජයගන්නේ ශක්තිවන්තයාය. මා දන්නා දියුණු රටවල් බොහොමයකම මෙය මේ අයුරින් සිදු නොවන්නේ ඒ රටවල පොදු ප්‍රවාහන සේවාවන් වඩා දියුණු නිසාම නොවේ. මිනිසුන්ගේ හැසිරීමේ ස්වභාවයේ ඇති වෙනසද නිසාය.

ප්‍රවේශපත්‍රයක් ලබාගෙන බස් රථයකට හෝ දුම්රියකට නැඟුණු පසු මගේ සතුට උපරිමයක් වන්නේ ආසනයක් ලැබුණොත් මිස හිටගෙන යාමට සිදුවුවහොත් නොවේ. එසේනම්, ගැබිණි මවකට හෝ ආබාධිත පුද්ගලයෙකුට මා මගේ අසුන දිය යුත්තේ ඇයි? සරල පිළිතුරක් ලෙස එය නීතියක් හෝ රීතියක් වන බව පැවසිය හැකිය. එහෙත්, මේ නීති රීති කියන්නේත් අහසින් කඩා වැටෙන ඒවා නොවේ. ආයතනගත වී ඇති පුරුදුම පමණි.

මගේ පුද්ගල අභිලාශ ඇතුලේ ඉන්නේ මා පමණක්ම නොවේ. එහි මගේ පංචස්කන්ධයෙන් බාහිර, මා අවට ලෝකයේ වෙනත් සංඝටක වලටද යම් බරක් තිබේ.  ශක්තිවන්තයෙකු වන මා අසුන්ගෙන සිටිද්දී මට වඩා දුර්වල කෙනෙකු හිටගෙන යනවිට මට රිදේ. එයින් මට සතුටක් ලැබිය නොහැකිය. මගේ සතුට වැඩි වන්නේ මා මගේ අසුන පරිත්‍යාග කළ විටය.

කෙසේ වුවද, මගේ අසුන පරිත්‍යාග කිරීමෙන් මට සතුටක් ලැබිය හැක්කේ සාපේක්ෂ තත්ත්වයන් යටතේ පමණි. මගේ ගමනාන්තය බොහෝ දුරනම් අසුන පරිත්‍යාග කිරීමේ මගේ ආවස්ථික පිරිවැය බොහෝ වැඩිය.

දුර්වල අයෙකුට තම අසුන පරිත්‍යාග කර සතුටක් ලැබීම බොහෝ දෙනෙකුගේ පුද්ගල අභිලාශය වූ විට එය සමාජ අභිලාශය බවටද පත් වේ. සමාජ අභිලාශ නීති හෝ රීති බවට පත්වේ. එවිට දුර්වල අයෙකුට තම අසුන පරිත්‍යාග කර සතුටක් නොලබන අයෙකුට වුවද මේ පොදු සමාජ අභිලාශයට යටත් වීමට සිදුවේ.

ආබාධිතයින්ට, ගැබිණි මවුවරුන්ට, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මෙන්ම කාන්තා පක්ෂයටද පොදු ප්‍රවාහන සේවාවන්හි අසුන් වෙන්වන්නේ මේ පදනම අනුවය. එහෙත්, (මා දන්නා තරමින්) නීතියක් නොවන මේ වෙන්කිරීම ප්‍රායෝගික කටයුත්තක් වන්නේ ඒ සඳහා පොදු සමාජයෙන් ලැබෙන දායකත්වයේ ප්‍රමාණයටය. පොදු සමාජයේ බහුතරයකගේ සහයෝගය නැත්නම් නීතියක් වුවද පොතට පමණක් සීමාවනු ඇත.


එසේනම්, මෙවැනි දුර්වලතාවක් නැති පූජ්‍ය පක්ෂය සඳහා අසුන් වෙන්කළ යුත්තේ ඇයි? මේ අය ගිහියන් මෙන් බස් රථයට හෝ දුම්රියට නැඟීමට පොරකනු දැකීමට අපි කැමති නැත. අපි මේ අයගෙන් (විශේෂයෙන්ම බෞද්ධ භික්ෂූන්ගෙන්) කෝටියක් සංවර සීලය රකිනු බලාපොරොත්තු වෙමු. ඔවුන් සංවරව හැසිරුණු විට අපට සතුටක් ලැබේ. එසේනම්, එහි මිලද අප විසින් ගෙවා දැමිය යුතුය. පූජ්‍ය පක්ෂය සඳහා වෙන්කරන අසුන මේ සඳහා ගෙවන මිලෙන් කොටසකි.

කෝටියක් සංවර සීලය අමතක කළත්, සාමණේර ශීලයේ දශ වන ශික්ෂා පදය අනුව භික්ෂූන්ට රන්-රිදී අතගෑම කැප නැත. මෙහි රන්-රිදී ලෙස සඳහන් වූවත් ඇත්තටම මෙයින් අදහස් වන්නේ මුදල් යන්නයි. මා කුඩා කාලයේ මේ සිල්පදය රකින භික්ෂුවක දැකීම දුලබ දසුනක් නොවීය. එවැනි භික්ෂුවක් බස් රථයකට ගොඩවූ විට බසයේ සිටින්නෙකු වහා ඉදිරිපත් වී ප්‍රවේශපත සඳහා මුදල් ගෙවයි. එය සිදු නොවුවහොත් කොන්දොස්තර වරයා ටිකට්පත ඉහළට ඔසවා "අපේ හාමුදුරුවන්ගේ ටිකට් එකට කවුද ගෙවන්නේ?" කියා හෝ "හාමුදුරුනමක් වැඩලා ඉන්නවා" කියා හයියෙන් කියයි. එයටත් ප්‍රතිචාරයක් නොලැබුණොත්, කොන්දොස්තරවරයා තමන්ගේ වියදමෙන් ටිකට්පත ලබාදෙනු ඇති අතර තත්ත්වය ඒ තරමටම බැරෑරුම් වන්නේ ඉතාම කලාතුරකිනි.

පිරිවෙන් විශ්ව විද්‍යාල වී හාමුදුරුවරුන් ගුරුවරුන් වී වේතන ලබාගැනීම සාමාන්‍ය තත්ත්වය වෙද්දී අපේ ආච්චිලා සීයලා පවා පෝයට සමාදන් වූ දහවන සිල්පදය නිකම්ම හැලී ගියේය. සමහර විට මුදලේ රන් වටිනාකම නැති වූ විට මෙය වූවාදැයි දන්නේත් නැත. එහෙත්, තායිලන්තයේනම් බොහෝ හිමිවරු මේ සිල්පදය තවමත් අකුරට රකිති. එවැනි භික්ෂූන් වෙනුවෙන් මුදල් වියදම් කිරීමට දායකයෝ සැදී පැහැදී සිටිති.

හාමුදුරුවන් වෙනුවෙන් වෙනත් අය ටිකට් ගැනීම මා සිතන පරිදි අවුරුදු හතලිහකට පමණ පෙර නැති වී ගියත් හාමුදුරු කෙනෙකුට ආසනයක් දීම ප්‍රතික්ෂේප කිරීමට තරම් සමාජය 'එඩිතර' වීම අලුත්ම ප්‍රවණතාවයකි. මෙයින් පෙනීයන්නේ හාමුදුරු කෙනෙකු දුම්රියේ ආසනයක් අල්ලා ගැනීමට ගිහියන් හා පොරකෑම ප්‍රශ්නයක් නොවේයැයි සිතන අය දැන් වැඩි බවයි. හාමුදුරුවරු පොලීසිය සමඟ හරි හරියට ඔට්ටු අල්ලන, සිරිකොතේදීත් පාර්ලිමේන්තුවේදීත් ධර්මය බේරා ගැනීම සඳහා ධාතු කරඬු මසාජ් කරගන්නා කාලයක බස් එකේ සීට් එකක් අල්ලාගැනීමට පමණක් බලු පොරයට සෙට් වෙන්නට බැරි ඇයි කියා සිතන අය සිටීනම් එහි ඇති පුදුමයක් නැත.

***
තමන් වෙනුවෙන් ආසන වෙන්ව තිබියදීත් එයින් වැඩි ප්‍රයෝජනයක් ලැබිය නොහැකි වන කණ්ඩායම් තුනක් (අඩු වශයෙන්) ගැන මා අත්දැකීමෙන්ම දනිමි.
1. ගර්භණී වී මාස 3ක් පමණ වන කාන්තාවන්- බොහෝ කාන්තාවන්ට ගර්භණී සමයේ අමාරුම කාලය මෙයයි.
2. තරුණ වයසේ සිටින යුද්ධයේදී පාද අහිමිව කෘතීම පාද භාවිතා කරන අය- මේ අය බැලූ බැල්මට හැඩිදැඩි තරුණයින්ය.
3. විශේෂ නිල ඇඳුමක් නො අඳින ආගමික පුජකයින්.

ඩිමිටායි ඩෙමෝර්ගේ මරණය පිළිබඳ කම්පනය මේ ගීතයෙන් මතු කෙරේ.

22 comments:

  1. /* "කට්ටියම එකතුවෙලා එකපාර තල්ලුවක් දැම්මනම් ගේට්ටුව ඇරෙයි!" කවුදෝ හෙමිහිට පොඩි ආන්තික තල්ලුවක් දැම්මේය. */

    /* ආන්තික තල්ලුව දැමූ තරුණයාට ඔහු සමඟ පැමිණි මිතුරන් හා එක් වී අවසන් වනතුරු ප්‍රසංගය නැරඹීමට හැකිවිය.*/

    ආන්තික තල්ලුව යැයි කිව යුත්තේ ආරම්භක තල්ලුවට නොව අවසාන තල්ලුවට නොවේද?

    ReplyDelete
    Replies
    1. ඔව්, අවසාන එක තමයි. මම මෙතැනදී අදහස් කළේ ගානට ෆෝර්ම් වී, ඒත් අසංවිධිතව කෑගසමින් සිටි මේ කණ්ඩායමට සංවිධානය වී ගේට්ටුව කැඩීම සඳහා පෙළඹවීමට හේතුවුණු අවසාන සාධකය ගැන. එක් කෙනෙක් මතක් කරනකම් කවුරුත් ඒ ගැන සිතුවේ නෑ.

      Delete
    2. එය ආන්තික "යමක්" නොවේ, නායකත්වය හෝ නුවණ වැනි ප්‍රමුඛ දෙයකි.

      Delete
  2. /* එවැනි භික්ෂුවක් බස් රථයකට ගොඩවූ විට බසයේ සිටින්නෙකු වහා ඉදිරිපත් වී ප්‍රවේශපත සඳහා මුදල් ගෙවයි. එය සිදු නොවුවහොත් කොන්දොස්තර වරයා ටිකට්පත ඉහළට ඔසවා "අපේ හාමුදුරුවන්ගේ ටිකට් එකට කවුද ගෙවන්නේ?" කියා හෝ "හාමුදුරුනමක් වැඩලා ඉන්නවා" කියා හයියෙන් කියයි. */

    ජීවිතේට දැකලා නෑ මේ වගේ දෙයක් නම්, සමහර විට මා වැඩිඔපුරු හිටියේ කොළඹ අවට නිසා ද මන්දා?

    මා අසා තිබුණු එක කතාවක් නම් සමහර සාදුලා සල්ලි වෙනුවට තැපැල් මුද්දර අරගෙන එන බව, ඒවායින් බස් ගාස්තුව ගෙවන්නට ගොස් කොන්දොස්තරයෙකුගෙන් බැණුම් ඇසූ බවත් ය.

    රන්-රිදී වලට ඇති අකැප මුදල් කොල සහ කාසි සඳහා දිගු කර ගන්නවා නම්, මුදල් ොකල සහ මුද්දර අතර වෙනසක් තිබේ යැයි සිතන්නේ ඇයි කියායි මට ඒ කාලේ හිතුනේ!

    ReplyDelete
    Replies
    1. මම මේ කිවුවේ පන්සල් වල සිටි ග්‍රාමවාසී භික්ෂූන් ගැන. මෙහෙම අය ගැන මට මතක හැත්තෑ ගණන් වලදී. හැබැයි මුදල් අතනොගාන වනවාසී භික්ෂූන්නම් ගොඩක් මෑත කාලයේත් හිටියා. තවමත් ඇති. ඒ අය සාමාන්‍යයෙන් බස් වල යන්නේ නැහැ. සමහර වෙලාවට දවස් දෙකතුනක් විතර එකදිගට පයින් යනවා.

      Delete
  3. //කෝටියක් සංවර සීලය අමතක කළත්, සාමණේර ශීලයේ දශ වන ශික්ෂා පදය අනුව භික්ෂූන්ට රන්-රිදී අතගෑම කැප නැත.//
    මේවා කාලෙත් එක්ක වෙනස් විය යුතු දේවල්. බුදු හාමුදුරුවෝ මේ කාලේ වැඩ හිටියා නම්, ඔය කෝටියට එකතු වෙන්නේ වෙන, වෙන දේවල්. දේශ්පාලෙනය තහනම් කිරීම, මිනිසුන් මැද කෑකෝ ගැසීම තහනම් කිරීම වගේ ඒවා දකින්ට ලැබෙයි. හැබැයි පයින් හැතැප්ම ගානක් වඩින්ට කියන එකක් නම් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව්, ගොඩක් විනය නීති හා ශික්ෂාපද පැනෙව්වේ කාලයට සහ දේශයට සාපේක්ෂව. මේවා ඉගැන්වීමේ මූලික හරය නෙමෙයි. ලොකු පිරිසක් කළමණාකරණය කරන විට ආයතනික නීති පද්ධතියක් නැතුව බෑනේ.

      Delete
    2. "හැබැයි පයින් හැතැප්ම ගානක් වඩින්ට කියන එකක් නම් නෑ"

      බුදුන් වහන්සේ පාද චාරිකාව ප්‍රිය කල බව සහ මැනවින් පාද චාරිකාවේ නියැළුන බව ඔබට අමතක වෙලා ඇති. බුද්ධත්වයෙන් පසු පුරා වසර 45ක් මුළුල්ලේ සිදු කල පාද චාරිකා වන්හි යෙදුන සතුපුම් ගණන ලක්ෂයකට අධිකයි .උන්වහන්සේගේ මහා පරිනිර්වාන චාරිකාව පවා සැතපුම් දහසක් ඉක්මවූ පාද චාරිකාවක්.
      සමරසේකර

      Delete
    3. සමරෙ අංකල් බලන් හිටිය වගේ කියන හැටි.... අයි.ටී.ඇන්. එකේ බන කියන්න යවන්න ඕනි....
      බුදු හාමුදුරුවො දැන් හිටියනම් පන්සලට පඬුරක් දාලා පොලීසියෙන් ශේප් වෙන හැටිත් කියයි නේහ්....

      Delete
    4. පොකු අපූරු අදහසක් මතු කළා. බුදුහාමුදුරුවො සිටියානම් මිනිසුන් මැද කෑකෝ ගැසීම, පක්ශ දේශපාලනය කිරීම ( රොටී පිළිස්සීම ) ,රැකියා කිරීම ආදිය තහනම් කරනු ඇති.එසේම මුදල් පාවිච්චියට ( බස් එකේ යන්න වගෙ ) යම් යම් සීමා යටතේ අවසරද දෙනු ඇති.සමහර විට වාහන බලපත්‍ර ලබා ගැනීමටද අවසර දීමට ඉඩ තිබිණි.

      Delete
    5. අද කාලේ බුදු සාදු හිටියා නම් ඒ අවුරුදු 45 ම ගෙවන්නේ පාරලෙයිය වනයේ නිසා සමරසේකර අංකල් කියන විදියට සැතපුම් ලක්‍ෂයේ පා ගමන යන්න වෙන්නේ නෑ!

      Delete
    6. නිකමට අහන්නේ.. බුදු හාමුදුරුවෝ අද හිටියනම් වාහනයක් පාවිච්චි කරන එකක් නැද්ද? පයින් යන්න ගතවෙන කාලේ අපරාදේ කියල උන්නාන්සේට හිතෙන එකක් නැද්ද? ඍද්දියෙන් යන්න පුළුවන් නම් අවුලක් නෑ..

      Delete
    7. කල්යානමිත්‍ර,

      ඔබ 20 වන සිය සියවසේ අපේ රේ සිටි ශ්‍රේෂ්ඨ සංඝ පිතෘ වරයෙකු වන බලන්ගොඩ ආනන්ද මෛත්‍රි හිමියන් ගැන අසා ඇතැයි සිතමි . උන්වහන්සේ වාහනයකින් ගමන් නොකර සැතපුම් ගණන් පයින්ම ගමන් කිරීමට මහත් රුචිකත්වයක් දැරුහ. තුන්මුල්ලේ හන්දියේ ථිබෙන විශ්ව විද්‍යාල ප්‍රතිසංවිධාන කොමිසමට විද්යෝදය විශ්ව විද්‍යාලයේ සිට වැඩියේ පා ගමනින්ය. ඒ උන්වහන්සේගේ නිල රථය තිබියදීමය .ඔබේ දෙනෙත් ඉදිරියේ 20 වන සියවසේ උදාහරණ තිබියදීම බුදුන් වහන්සේගේ සිතුවිලි සෙවීමට නිකමට අහන්නේ මන්ද? ඔබ විශ්ව විද්‍යාලයක ඉගෙන ගත්ත නේද? යමක් නිකමට අහන්නේ නැතිව අදාළ අධ්‍යනයක් කර මතයක් පැවසීම නරකද?

      සමරසේකර

      Delete
    8. ක/කා
      අද කාලේ නරක වැඩ කරන භික්ෂුන් වහන්සේලා සිටින නිසා අදදවසේ බුදුන් වහන්සේ වැඩ සිටියා නම් දිගටම පාරිලේයිය වනයේ දිවි ගෙවයි කියා ඔබට හිතන්නේ බුදු දහම ගැන තිබන ඔබේ මද දැනුම නිසාය.ඔබ විනය පිටකය මදක් පෙරලා බැලුවොත් අද දින සිටින දුසිල්වත් භික්ෂුන් වසන්සේලාට වඩා දුසිල්වත් භික්ෂුන් වහන්සේලා එකල සිටි බව ඔබට ප්නෙනු ඇත. එවැන්නන් අරභයා විනය නිති පැනවූ බුදුන් වහන්සේ බුධත්වයෙන් පසු ජීවත්වූ වසර 45න් වසර 16ක්ම වැඩ වාසය කලේ සැවැත් නුවර ජේතවනාරමයේදිය. පාරිලෙය්‍ය වනයේ සිටියේ මාස 3ක් පමණි.

      වැරදි සෙවීමේ අටියෙන් අදහස් පල කිටිමට පෙර අදාළ කාරණය ගැන අධ්‍යනයක යෙදීමෙන් පසු මතයක් පල කිරීමට තර ඔබ තාමත් මුහුකුරා නොගියේ මන්ද ?

      සමරසේකර

      Delete
  4. එදා අතීතයේ බුදුන් දවසේදි රජවරැ සිටුවරැ මැති ඇමති වරැ ඒ සියල්ල අතහැර සසුනෙහි පැවිදි විය.
    වර්ථමානයේ පැවිද්ද පසෙක තබා රජකමි මැති ඇමති කමි කරන්නට භික්ෂූන් වහන්සේලා ගිහියන් හා කරට කර දේශපලන පොර පිටියේ සටනට බැස ඇත.

    ReplyDelete
  5. ඇමරිකානු ක්‍රමයට මම කැමතියි. එහි පොදු දේපොළ විකාරයක් නැති නිසා. පොදු දේපොළ ක්‍රමය තුලින් සිදුවන්නෙ එම දේපොළ පාලනයට කළමනාකාරීත්වයක් අවශ්‍ය වීමත් අවසානයේ එම දේපොල වල නිළ නොවන හිමිකාරීත්වය එම කළමනාකාරීත්වයට හිමිවීමත්.
    සමාජවාදය එහි ස්වභාවයෙන්ම මනෝරාජිකයි. සමාජවාදය බිහිවෙනවානම් බිහිවෙන්නෙ ධනවාදය එහි උපරිමයට ලගාවී මිනිසා ආධ්‍යාත්මික ලෙස පරිණාමය වූ පසුයි.
    මේ සිදුවීමෙන් පසු ඇමරිකානු සමාජය කම්පනය වීම ඔවුන්ගෙ අගය කළ යුතු සංවේදීත්වයක්.

    හමුදුරුවරුන්ට මගීන් ටිකට් අරන් දුන්න යුගය මට නම් මතක නෑ.
    සුන් පිරිනොනමන්න තරම් එඩිතර අය දැන් ඉන්නවාද දන්නෙ නෑ.මම නම් ඒකත් තවම දැකල නෑ. හාමුදුරුවරු හැසිරෙන විදියට ඉදගෙන නෙමේ හිටගෙනවත් යන්න දෙන්න නරක බවයි මගෙ පුද්ගලික මතය. මට නම් හාමුදුරුවරු ගැණ කිසිම ගෞරවයක් නෑ. කහපාට යුනිෆෝම් එකක් දාගත්ත පංචස්කන්ද විතරයි. අපෙයි මේ අයගෙයි එකම වෙනස අපි එළිපිට කරන දේ මේ අය හොරෙන් කරන එක විතරයි.

    ReplyDelete
  6. මුදල් අත පත නොගානා හාමුදුරුවරුන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් කොළඹ ප්‍රධාන බස් නැවතුමේ ඇති කාර්යාලයෙන් විවිධ වටිනාකම් ඇති කූපන් වැනි ප්‍රවේශපත්‍ර අලවියට තිබුණා මතකය. බණක් දානයක් වැනි අවස්ථාවන්හිදි උවැසි උවැසිනියන් මේවා මිලදි ගෙන හාමුදුරුවරුන්ට පූජා කරන සිරිතක්ද එකල අපේ ගම්වල පැවතිනි. කතා කීපයක් ම ඔස්සේ ඔබ මතු කර පෙන්වන කාරණය ඉතාමත් පැහැදිලිය.

    ReplyDelete
  7. //මෙහි ඇත්තේ ක්‍රමයේ ප්‍රශ්නයක් නොවේ. පුද්ගල ස්වභාවය පිලිබඳ ප්‍රශ්නයකි
    100% true

    ReplyDelete
  8. අර උඩම පින්තුරේ ඉන්නේ ඩිමිටායි ද? රාත්තල් හාරසියගානක් බර බවක් නම් පෙන්නේ නෑ. මොනවා උනත් ඒ මනුස්සය පවු.

    නලීන් ගේ පොස්ට් එකයි තව යා ෂා කියන බ්ලොග් එකේ පොස්ට් එකයි දෙකම කියෙව්වා මේ ගැන.. මගේ අදහසුත් මිට ලඟින්ම යනවා. පුජ්‍ය පක්ෂයට හා අබාධිතයන්ට නම් සිට දෙන්නොනේ කතාව නීතියක් විදියට තියෙනවා. අනිත් අය ගැන දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. පොටෝ එක ඔය සිද්දියට ගොඩක් කලින් ගත්ත එකක් වෙන්න ඇති.

      Delete
  9. ඒ කාලේ විකටර් ගෙ 'ස' කටුගස්තොටදි බැලුවෙත් ආන්තික තල්ලු වල පිහිටෙන් තමයි!

    පූජක පක්ෂයට ආසන වෙන් කිරීම ගැන ඒතරම්ම ප්‍රශ්ණයක් නෑ නමුත් හැම ආගමකම පූජකයින්ට මේ වරප්‍රසාදය හිමි වෙනවද?

    ReplyDelete
  10. මැට්ටාගේ විග්‍රහයන් අපුරුයි.. අර හාමුදුරු ටිකට් සීන් එක මම දැකල ම නෑ. හැබැයි සමහර බස් තියෙනවා පුජ්‍ය පක්ෂයට නොමිලේ කියල යන..

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.