ශ්‍රී ලංකාව විදේශිකයින්ට වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් කිරීම අත්හිටුවා ඇති බව ඊයේ විදෙස් මාධ්‍ය රැසක්ම වාර්තා කර තිබුණේය. මේ තහනමට හේතුව දින කිහිපයකට පෙර රසිකගේ හා පැරාගේ බ්ලොග් වල වකුගඩු සැත්කම් ගැන පලවී තිබූ ලිපි විය නොහැක. ඔවුන් වකුගඩු බද්ධ කිරීම පිළිබඳව අදහස් පළ කර තිබුණත් ඉහත ආකාරයේ ඉල්ලීමක් කර තිබුණේ හෝ අඩු වශයෙන් අවයව වෙළඳාම ගැන කතා කර තිබුණේ හෝ නැත. තහනමට හේතු වී ඇත්තේ ලංකාවේ සහ ඉන්දියාවේ වෛද්‍යවරුන් කිහිපදෙනෙකු සහ ලංකාවේ රෝහලක් හෝ රෝහල් කිහිපයක් සම්බන්ධ වී සිදු කළේයැයි කියන 'වකුගඩු ජාවාරමකි'.
මෙහි වකුගඩු ජාවාරමක් ලෙස හැඳින්වෙන්නේ මුදලට තමන්ගේ වකුගඩුවක් විකිණීමට කැමති කෙනෙකු විසින් මුදල් ගෙවා වකුගඩුවක් විකිණීමට කැමති කෙනෙකුට අතරමැදියෙකු හෝ අතරමැදියන් කිහිපදෙනෙකු හරහා සිය වකුගඩුවක් විකිණීමයි. ලංකාවේ මෙන්ම ඉන්දියාවේත්, තවත් රටවල් බොහොමයකත් පවතින නීතිය අනුව, ජීවත්ව සිටින කෙනෙකුගේ ශරීර අවයවයක් වෙනත් අයෙකුට පරිත්‍යාග කිරීමට ඉඩකඩ ඇතත් එවැන්නක් මුදලට විකිණීම තහනම් කටයුත්තකි.
ලෝකයේ බොහොමයක් රටවල වකුගඩුවක් බද්ධ කළ යුතු තත්ත්වයේ රෝගීන් විශාල සංඛ්‍යාවක් සිටිති. මේ නිසා, වකුගඩු වලට ලොවපුරාම විශාල ඉල්ලුමක් පවතී. අවයව වෙළඳාම නීති විරෝධී කටයුත්තක් වන රටවල මේ ඉල්ලුම සැපිරෙන ක්‍රමදෙකක් තිබේ. පළමුවැන්න මිය ගිය පුද්ගලයෙකුගේ හොඳ තත්ත්වයේ ඇති වකුගඩුවක් බද්ධ කිරීමයි. දෙවැන්න, ජීවත්වන පුද්ගලයෙකු විසින් පරිත්‍යාග කරනු ලබන වකුගඩුවක් බද්ධ කිරීමයි. කෙසේවුවද, මේ ක්‍රම දෙකෙන්ම සැපිරෙන්නේ වකුගඩු අවශ්‍යතාවයෙන් කොටසක් පමණි. ඒ නිසා, බොහෝ රටවල වකුගඩු වෙනුවෙන් විශාල නොසන්සිඳුණු ඉල්ලුමක්ද පවතී.
2014 වසර තුළ, ඇමරිකාවේ පමණක් වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් 17,107ක් සිදු කරනු ලැබීය. මේ ප්‍රමාණයෙන් 11,570ක්ම මියගිය අයගේ වකුගඩු වූ අතර ඉතිරිය ජීවත්වන්නන් විසින් පරිත්‍යාග කරනු ලැබූ වකුගඩුය. එහෙත්, වසරක් තුළ වකුගඩු සැත්කම් අවශ්‍ය පිරිස මීට වඩා බොහෝ වැඩිය. ඔවුන්ට සිදුවන්නේ වකුගඩුවක් ලැබෙන තුරු පොරොත්තු ලේඛණගතව බලා සිටීමටය. පසුගිය සතිය මුලදී මේ පොරොත්තු ලේඛණයේ වකුගඩු අපේක්ෂාවෙන් සිටි පිරිස 100,791කි. මේ පොරොත්තු ලේඛණයට සෑම විනාඩි 14කටම වරක් අළුතින් රෝගියෙකු එකතු වේ. එමෙන්ම, සෑම දිනකම පොරොත්තු ලේඛණයේ සිටින රෝගීන් 13 දෙනෙකු බද්ධ කිරීමට වකුගඩු නොමැති නිසා මියයති. තවත් 9 දෙනෙකු වකුගඩු බද්ධයකට නුසුදුසු තරමට රෝගී වීම නිසා පොරොත්තු ලේඛණයෙන් ඉවත් කරනු ලබති.
ආර්ථික විද්‍යා මුලධර්ම අනුව ඉල්ලුම හා සැපයුම අතර නොගැලපීමක් ඇත්නම් එහි නිදහස් ගණුදෙණු වලට යම් බාධාවක් පැවතිය යුතුය. මෙහි ඇති බාධාව මිල පාලනයයි. යමෙකු කැමති වුවත් සිය වකුගඩුවක් මුදලට අලෙවි කිරීමේ අවස්ථාව සාමාන්‍යයෙන් නිදහස් වෙළඳපොළ මූලධර්ම අනුගමනය කරන ඇමරිකාවේද නැත. මේ නිසා, මේ හා අදාළව ඇමරිකාවේත් පෝලිම් තිබේ.
ඉහත ආකාරයේ වෙළඳපොළ අවහිරතාවක් ඇති විට සිදුවිය හැකි එක් දෙයක් වන්නේ නීති විරෝධී වෙළඳපොළක මේ ඉල්ලුම හා සැපයුම සමතුලිතවීමයි. නීතිය සාපේක්ෂව ඉහළින් ක්‍රියාත්මක වන ඇමරිකාව තුළ 'අත යටින්' වකුගඩු විකිණීම අසීරු කාර්යයකි. එහෙත්, ලංකාව හා ඉන්දියාව ඇතුළු බොහෝ රටවල මෙය සිදුවේ. මෙහිදී, වකුගඩුදායකයා ඉදිරිපත්වන්නේ සිය වකුගඩුව නොමිලේ පරිත්‍යාගකරන්නෙකු ලෙසිනි. මුදල අතයටින් හුවමාරු වේ.
මෙවැනි අතයටින් සිදුවන ජාවාරමකදී ගණුදෙණුවට සම්බන්ධ වන පාර්ශ්ව වලට කිසිදු නීතිමය රැකවරණයක් නැත. වකුගඩුව ලබාදෙන බව පවසා මුදල් ගෙන පසුව එය ප්‍රතික්ෂේප කිරීම මෙන්ම වකුගඩුව ලබාගෙන පොරොන්දු වූ මුදල ලබා නොදී සිටීමද විය හැකි දේවල්ය. අවස්ථා කිහිපයකදී හෝ සිදුවී ඇති බව වාර්තා වී ඇති දේවල්ය. එමෙන්ම, නීති විරෝධී තත්ත්වය යටතේ මෙවැනි මුදල් හුවමාරුවක් සිදුවන විට වකුගඩු දායකයා අතට මුදලක් ලැබෙන්නේ අතරමැදි ජාවාරම්කරුවන් රැසකගේ ගාස්තු අඩුවීමෙන් පසුවය.
මුදල් ලබාගෙන හෝ නොගෙන වකුගඩුවක් පරිත්‍යාග කිරීම විශාල ධෛර්යයක් අවශ්‍ය කටයුත්තකි. තමන්ගේ සමීපතමයෙකු වෙනුවෙන් මෙවැනි පරිත්‍යාගයක් කිරීමට පසුබටවන්නෙකු මුදල් පිණිස එවැන්නක් කිරීමට ලොකු ඉඩකඩක් ඇතැයි මම නොසිතමි. කෙසේවුවද, නීතිවිරෝධී තත්ත්වයක් යටතේ වුවත් මුදල් පිණිස වකුගඩු ලබාදෙන්නෝ සිටිති. එසේ කරන්නේ, කවර පදනමකින් හෝ, ලැබෙන මුදල නිසා එවැන්නෙකු ලබන සතුට වකුගඩුව අහිමිවීමේ අවාසියට වඩා වැඩි නිසාය. අනෙක් අතට, අතේ මුදල් ඇති, වකුගඩුවක් අවශ්‍ය අයෙකු එවැන්නක් ලබා ගැනීමට විශාල මුදලක් ගෙවීමට සූදානම් වීම තේරුම් ගත හැකි කරුණකි. අවයව ජාවාරමට නීතිමය බාධා පැනවූ විට සිදුවන්නේ දෙදෙනෙකුටම සිදුවිය හැකි යහපතක් බලහත්කාරයෙන් වැළැක්වීමයි.
1992 වසරේදී ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය හිමිවූයේ ගැරී බෙකර්ටය. ජුලියෝ එලියස් සමඟ එක්ව 2007 වසරේදී ඔහු විසින් පළ කළ පර්යේෂණ පත්‍රිකාවකින් පෙන්වා දුන්නේ වකුගඩුවක් සඳහා ඩොලර් 15,200ක මුදලක් ගෙවන්නේනම් ඇමරිකාවේ වකුගඩු සඳහා වන ඉල්ලුම හා සැපයුම සමතුලිත වනු ඇති බවයි. අවයව වෙළඳාමට එරෙහිව නැඟෙන ප්‍රධානම තර්කයක් වන්නේ එයින් ආදායම අඩු අයට අසාධාරණයක් වන බවයි. මේ හා අදාළව බෙකර්ගේ හා එලියස්ගේ යෝජනාව වූයේ මේ මුදල ෆෙඩරල් රජය විසින් වකුගඩු දායකයාට ගෙවිය යුතුබවයි. මේ මුදල එවැනි රෝගීන්ගේ රුධිරය පිරිසිදු කිරීම (dialysis) වෙනුවෙන් රජය වැය කරන මුදලට වඩා අඩුබවත්, ඇමරිකාවේ වකුගඩු බද්ධ කිරීමේ සැත්කමකට වැයවන මුදලින් 10%ක් පමණක් බවත් ඔවුහු පෙන්වා දුන්හ. ඉන්දියාව හා අදාළවද ඔවුන් මෙවැනිම ගණනය කිරීමක් සිදු කර තිබේ.
දැනට ලෝකයේ වකුගඩු පරිත්‍යාග කිරීම වෙනුවෙන් මුදලක් ලබාගැනීම නිත්‍යානුකූල වන්නේ ඉරානයේ පමණි. වෙනත් අංශ වලින් කෙතරම් පිටුපසින් සිටියත් මේ කරුණ හා අදාළව නිදහස් වෙළඳපොළ මූලධර්ම පිළිගැනීම අතින් ඉදිරියෙන්ම සිටින්නේ ඉරානයයි. ඒ නිසා, ඉරානයේදී පමණක් වකුගඩු බද්ධයක් අවශ්‍ය කෙනෙකුට පොරොත්තු ලේඛණයක නොරැඳී ඒ කටයුත්ත කරගැනීමේ හැකියාව තිබේ.
ඇමරිකාව වැනි රටක කෙසේ වෙතත්, ලංකාව හෝ ඉන්දියාව වැනි රටක අවයව වෙළඳාම නීතිගත කිරීමේ ඇති ප්‍රශ්නය වකුගඩුවක් පරිත්‍යාග කිරීම හා අදාළ අවදානම වඩා වැඩිවීම සහ ඒ අවදානම ගැන අඩු ආදායම්ලාභී, වකුගඩුවක් විකිණීමේ වැඩි ඉඩකඩක් ඇති කණ්ඩායමට නිසි අවබෝධයක් නොමැති විය හැකි වීමයි. ඒ නිසා, මෙවැනි කටයුත්තකදී දැඩි නියාමනයක් අවශ්‍ය වේ. එහෙත්, එවැනි නියාමනයක් සාර්ථක ලෙස ක්‍රියාවට නැඟිය හැකි යාන්ත්‍රණයක් ලංකාව වැනි රටක තිබේද යන්න සැක සහිතය.
අනෙක් අතට, ජීවිත ගණනාවක් බේරා ගැනීමේ හැකියාව ඇති, මිය ගිය අයගේ වකුගඩු විශාල ප්‍රමාණයක් නිකම්ම වැළලී යාමද සැලකිල්ලට ගතයුතු කරුණකි. අවයව පරිත්‍යාග කිරීමට කැමැත්ත ඉල්ලා සිටින බොහෝ රටවල මෙසේ කැමැත්ත ලබා දෙන්නේ රටේ ජනගහණයෙන් සුළු ප්‍රතිශතයකි. මෙයට විකල්පයක් ලෙස ඇතැම් රටවල් අවයව පරිත්‍යාගයට ඇති කැමැත්ත සාමාන්‍ය තත්ත්වය ලෙස සලකා එයට අකමැති අයට ඒ බව දැනුම් දෙන ලෙස ඉල්ලා ඇත. මෙසේ කළ විට අකැමැත්ත දැක්වීමට ඉදිරිපත් වන්නේද මුළු ජනගහණයෙන් සුළු පිරිසක් බැවින් මේ ක්‍රමය යටතේ අවයව සැපයුම බොහෝ සේ වැඩිකරගත හැකිය.
(Image:
ඩොලර් 15,000 යි?
ReplyDeleteඇමරිකා එ.ජ. ට විදේශ විනිමය විශාල ලෙස හොයා ගත හැකි වේවි.
මෙය සිදුවීමට ලොකු ඉඩකඩක් නැත.
Delete1. මේ මිල වෙනත් රටවලට සාපේක්ෂව ඉතා ඉහළ මිලකි. ඉරානයේ ඉල්ලුම සැපයුම සමතුලිත වන මිල ඩොලර් 2000-4000 පමණ වේ. ඉන්දියාවේ නීතිමය බාධා යටතේත් මේ මිල ඩොලර් 1000 පමණ වේ.
2. මේ මිල ඇමරිකාවේ ඉල්ලුම සැපයුම සමතුලිත වන මිලයි. ඇමරිකාවේ වකුගඩු ඉල්ලුම මසකට 3000 පමණ වේ. මෙයින් අඩක් පරිත්‍යාගශීලින් විසින් නොමිලේ ලබා දේ. හිඟය ඇත්තේ ඉතිරි 1500ටය. ඇමරිකාවේ ජනගහණය මිලියන 320කි. මුළු ඉල්ලුම සැපිරීමට ලක්ෂ දෙකකින් එක් අයෙක් ඉහත මිලට වකුගඩුවක් ලබාදීම ප්‍රමාණවත්ය. මෙසේ වකුගඩුවක් දෙනු ඇත්තේ මේ මුදල් නිසාම බව එයින් අදහස් නොවේ. ආගමික හෝ සදාචාරාත්මක හේතු මත එසේ කිරීමට කැමති එහෙත් ඒ ගැන හරි තීරණයක් නැති අය මේ මුදල නිසා දිරිමත් වනු ඇත. බෙකර්ගේ සහ එලියස්ගේ පර්යේෂණ පත්‍රිකාවට අනුව, මෙවැනි දිරිගැන්වීම් මුදලක් ලබා දුනහොත් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමති වන එක් අයෙක් මසකට වරක් 200,000ක පිරිසක් අතරින් සොයාගැනීම අපහසු නොවනු ඇත. ඒ මිස, ඒ මිලට අසීමිත වකුගඩු සැපයුමක් ඇතිවන බව එයින් අදහස් නොකෙරේ. අනෙක් අතට මේ මුදල (ඇමරිකාව තුළදී) වකුගඩුවක් පරිත්‍යාග කිරීම නිසා ඇති වන සියලුම අවදානම් හා ආර්ථික අවාසි වල (මේ පර්යේෂකයින්ට අනුව) උපරිම තක්සේරුවකි. (වකුගඩුවක් පරිත්‍යාගකරන්නෙකුගේ ජීවිතය ඒ හේතුවෙන් කෙටිවීමේ අවදානම 0.1%කි. ලංකාව හා ඉන්දියාව වැනි වෙනත් රටවල මේ සම්භාවිතාව මෙයට වඩා බොහෝ වැඩි බව මගේ අදහසයි.)
පොඩ්ඩක් මේක ගැන කියෙව්වා. වකුගඩු බද්ධයකට ගත හැකි වන්නේ අනතුරක් නිසා මොළය මියගිය අයගේ වකුගඩු පමණයි. ඒ කියන්නෙ මියගිය අයකුගේ වකුගඩු බද්ධ කරන්න ගන්න බැහැ වගේ. අනතුරකින් මොලයේ ක්‍රියාකාරීත්වය අත් හිටපු කෙනෙක්ගේ පවුලේ උදවිය කැමතිනම් අවයව ලබාගන්න පුලුවන් නිසා වකුගඩුව ලබා ගැනීමට හැකිවෙනවා. එබැවින් ලබා ගත හැකි වකුගඩු ප්‍රමාණය සීමා සහිත වෙනවා.
ReplyDeleteමා හිතන පරිදි, මෙයින් අදහස් වන්නේ ඇමරිකාවේ නීතිය අනුව සාමාන්‍ය මරණයකි. මරණයක් ලෙස තහවුරු වීමට මොළය නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි තරමට අකර්මන්‍ය විය යුතුය. හෘදය වස්තුව හෝ වෙනත් අත්‍යාවශ්‍ය ශරීර අවයවයක් නැවතුනු විට නීතිය අනුව මියගිය බව නොසැලකේ. ක්ෂණිකව රෝහල්ගත වීමේ පහසුකම් ඇති තත්ත්වයක් යටතේ වකුගඩු ක්‍රියාකාරීව පවතිද්දී මොළය මියයාම සිදුවීමට ක්‍රම රැසක් තිබේ (උදාහරණ රිය අනතුරු). කෙසේවුවත්, මියගිය අයගෙන් අවයව ලබාගැනීමේ සීමාවක් තිබේ.
Deleteඇත්තෙන්ම බලෙන් ගත්ත අවස්තා තියනවද? ඉන්දියාවෙ, දකුණු ඇමරිකාවෙ ඒ ගැන කතා නම් තියනවා
Deleteලංකාවෙත් කතා තියෙනවා... :D
Deletetall stories mr GL .... many floors up
Deletepra jay
ඉස්සරහට මිනිස්සු ඉගෙන ගන්න එකක් නෑ.. ඇහක්, වකුගඩුවක්, ලේ ටික්ක අරවා මේවා දීලා සෑහෙන ගානක් හොයා ගන්න පුළුවන් නේ...
ReplyDeleteමිනිසුන් මහා පරිමාණයෙන් මෙවැන්නක් කිරීමට පෙළඹුනොත් සැපයුම වැඩිවී මිල විශාල ලෙස අඩුවේ. එවිට මේ උනන්දුව නැවතත් අඩුවේ. ලංකාවේ දැනටත් ලේ මුදලට විකුණන අයට ඒ වෙනුවෙන් ලැබෙන මිල ඉතා අඩුබව මගේ අදහසයි.
Deleteඊශ්‍රායලයේ නම් හොඳ මුදලක් ලැබෙනවා.. කළු ජාතිකය්න් තමයි විකුණන්නේ...
Deleteඔබ හරි, මාතා. ඊශ්‍රායලය මිනිස් අවයවයකට වැඩිම මිලක් ගෙවන රටක්.
Deleteවකුගඩුවක ක්‍රියාකරිත්වය මොළය, හදවත, පෙනහැල්ල තරම් සංකීර්ණ නැත.
ReplyDeleteදැනටමත් පර්යේශකයන් කෘත්‍රීම වකුගඩු පර්යේෂනවල නියැලී සිටිනවා.
තව අවු 5කින් 10කින් කෘත්‍රීම වකුගඩුවක් මිල දී ගැනීම හැකි වේ යැයි සිතමි.
එකඟයි, ඇනෝ. දැනටත් කරන්නේ ශරීරයෙන් පිටතදී මෙය කිරීමනේ. මේ ගැන කලකට පෙර බාගෙට ලිවුවත් ඒ සටහන සම්පූර්ණ කරන්න වුනේ නැහැ. තාක්ෂනය විසින් බොහෝ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙනු ඇති. කෙසේවුවත්, කෘතීම වකුගඩුවක මිල, අඩුම වශයෙන් ආරම්භයේදී, මීට වඩා බොහෝ වැඩි වෙයි. ඒ නිසා නීත්‍යානුකූල හෝ නීතිවිරෝධී අවයව වෙළඳපොළක් ගැන තවත් කාලයක් යනතුරු පුවත් මැවෙයි.
Deleteලංකාවේ කීයෙන් කීදෙනාද වකුගඩුවක් පරිත්‍යාග කරන්න කැමති.
ReplyDeleteමෙහි ඇති අවදානම පිළිබඳව අධි තක්සේරුවක් තිබීම හා/හෝ ලංකාවේදී එසේ කිරීමේ ඇත්තටම ලොකු අවදානමක් තිබීම මෙයට හේතුව වියහැකියි.
Deletehttp://www.theunioncares.com
ReplyDeleteස්තුතියි, ඇනෝ!
Deletea good post..
ReplyDeleteවකුගඩු ඉල්ලුම සහ සැපයුම ගැනත් ආර්ථික සමීක්ෂණයක් කරල තියෙනවා නේද.ඉකොන්ගෙයි ඉයන්ගෙයි ඇම්බ්ලම් බොහෝ දුරට එක සමානයි.දෙන්නාම පටන් ගන්නෙත් ඉයන්නෙන්.
ReplyDeleteපර්යේෂණ පත්‍රිකා සහ පර්යේෂණ වාර්තා අඩු වශයෙන් තිහක් පමණ කියවලා තියෙනවා. ලංකාව සම්බන්ධවනම් කිසිවක් දැක නැහැ.
Deleteඉකෝන් ලංකාවෙ බ්ලැක් මාකට් එකේ අතරමැදියො වකුගඩුවක් රුපියල් 35000/= මිළදී අරගෙන 120 000/= වගේ අලවි කරන අවස්ථා තියෙනවා.. වැඩි කාලයක් නෑ.. ඊයෙ පෙරේද ම.
ReplyDeleteජයවේවා..!!
ඔබ කියන ගණන් දැනට ඇති පර්යේෂණ වාර්තා බොහොමයක් සමඟ සැසඳෙනවා. වකුගඩු සඳහා ඇති ඉල්ලුම බොහෝදුරට නීති විරෝධී ලෙස සැපිරෙනවා. මෙහිදී වකුගඩුලාභියා ගෙවන මුදලින් විශාල කොටසක් (ඔබේ උදාහරණය අනුව බැළුවත් 70% පමණ) අතරමැදියන්ට යන නිසා වකුගඩුවක් විකුණන කෙනෙකුට තමන්ට සිදුවන ආර්ථික අවාසියේ සහ අවදානමේ අගයවත් බොහෝ විට ලැබෙන්නේ නැහැ. දකුණු ආසියානු කලාපයෙන් අතරමැදියන්ගේ වියදම්ද ඇතුළත්ව, පවතින නීතිමය බාධාවන් යටතේ වුවත්, ඇමරිකන් ඩොලර් 1000ක පමණ මිලකට වකුගඩුවක් සොයාගැනීම අපහසු නැති බවයි පෙනෙන්නේ.
Deleteඑංගලන්තයේ අලුත් නීතියකට අනුව මියයන හැම කෙනෙක් ගේම අවයව ගණන් පුළුවන්. කැමති නැත්නම් ඒ බව සඳහන් කරලා තියෙන්න ඕනේ.
ReplyDeleteමේ ක්‍රමයට මාරු වුනු යුරෝපීය සහ වෙනත් රටවල් කිහිපයක්ම (ප්‍රශ්නයෙන් සම්පූර්ණයෙන්ම ගැලවීමට නොහැකි වුවත්) සාර්ථක ප්‍රතිඵලයක් ලබාගෙන තිබේ. ඇතැම් රටවල් opt out කරන අයව අධෛර්යය කිරීමටද ක්‍රියාමාර්ග ගෙන තිබේ.
Deleteමිනිස් අවයව ජාවාරමක් වෙලා
ReplyDeleteජාත්‍යන්තර අවයව වෙළඳපොළ විශාල ලෙස පැතිරුණු එකකි. කවර නීතිමය බාධාවන් පැවතියද එය තව දුරටත් වර්ධනය වේ.
Deleteකැමැත්ත අහන්න දෙයක් නැහැ, මැරිච්ච ඕනෑම කෙනෙක්ගේ ගන්න පුළුවන් අවයව සියල්ල ගත්තත් කමක් නැහැ...
ReplyDeleteලංකාවට ඔය නීතිය එන්න තව ටික කාලයක් අරගත්තට කමක් නෑ කියලයි ගස්ලබ්බා හිතන්නෙ.මොකද අවයව වෙනුවෙන් ජීවිත හානි කිරීම් ඇතිවීමේ ලොකු තර්ජනයක් තියෙනවා හරි හැටි 'සාධාරණව' නීතිය ක්‍රියාත්මක නොවෙන සහ එය සාමාන්‍යකරනය උනු තත්වයක් තුල.
Deleteරටේ තත්වෙත් හොඳ උනාම ඔහොම කරනකන් ඤාතීන් දැනුවත්කිරීම සහ අවයව දන්දීම පිළිබඳ දැනුවත්කිරීම් සිදු උනා නම් ලංකාවෙ අවයව ගැටලුවක් ලොකු වෙන එකක් නෑ..
මියගිය පසු ශරීර කොටස් ඉවත් කිරීම ඇතැම් ආගමික විශ්වාස වලට පටහැනි දෙයකි. එමෙන්ම, ඇතැම් තත්ත්වයන් යටතේ 'පණ යන්නට කලින්ම' අවයවය ඉවත් කර ගැනීමේ අවදානමක්ද සුළු වශයෙන් හෝ තිබේ.
Deleteස්තුතියි!
ReplyDelete