මා මුලින්ම පෞද්ගලික ඊමේල් ලිපිනයක හිමිකරුවකු වූයේ 1995දීය. එවකට මා සේවය කළ ආයතනය සතු වූ, සෙලින්කෝ ආයතනයෙන් ලබාගත් අන්තර්ජාල සම්බන්ධතා පැකේජය සමඟ නොමිලේ ccom.lk ඊමේල් ලිපින තුනක් ලැබෙන බවත්, ඒ තුනෙන් ආයතනයේ නමට සාදාගෙන තිබුණු කාටත් පොදු ලිපිනය පමණක් ප්‍රයෝජනයට ගෙන තිබුණු බවත් දැනගත් මම ඉතිරි දෙකෙන් එකක් මගේ නමට හදාගත්තෙමි. ඒ නිසා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාටද නොතිබුණු සුවිශේෂී වරප්‍රසාදයක් භුක්ති විඳීමට මට හැකි විය. එවකට ටෙලිකොම් ආයතනය අන්තර්ජාල සේවා සැපයීමේ පුරෝගාමියා වී නොසිටි බව මගේ අනුමානයයි.
කෙසේවුවද, එම වසර අවසානයේදී මට මගේ නමට හොට්මේල් ඊමේල් ලිපිනයක්ද සාදා ගැනීමට හැකි විය. ඊමේල් භාවිතයේ පෙරළියක් ඇති කරමින් සබීර් සහ ජැක් විසින් නොමිලේ පෞද්ගලික ඊමේල් ලිපින ලබාදීමේ පුරෝගාමී කාර්යය නිල වශයෙන් දියත් කෙරුවේ 1996 ඇමරිකානු නිදහස් දවසේදී වුවත් ඊට මාස හත අටකට පෙර සිටම ඔවුන්ගේ පරීක්ෂණ සේවාවන් යටතේ ඊමේල් ලිපින නිකුත් කෙරුණේය. එවකට මා මයික්‍රොසොෆ්ට් සමාගමේ බීටා ටෙස්ටර් කෙනෙකු ලෙස ලියාපදිංචි වී සිටි නිසා ඒ හා අදාළ ෆෝරමයක සාකච්ඡාවකින් හොට්මේල් ගැන දැනගෙන මුලින්ම ලිපිනයක් ලබා ගත හැකි විය. හොට්මේල් ගිණුම සේවා ආයතනයකට සම්බන්ධ නොවූ නිසා රැකියා මාරු කරද්දී මේ ලිපිනය සෑහෙන කලක් අඛණ්ඩව භාවිතා කළ හැකි විය. මේ ඊමේල් සම්බන්ධතාව නිසා රටින් පිටත සිටි, පෞද්ගලිකව නොදන්නා 'යතුරු පුවරුවේ මිතුරි මිතුරියන්' කිහිප දෙනෙකුව ඇසුරු කිරීමේ අවස්ථාවද හිමි විය.
පදනමක් නැති වයිරල් ඊමේල් හතර අතට ෆෝර්වඩ් කිරීමේ ඉතිහාසය කෙතරම් පැරණිදැයි මා නොදන්නා නමුත් අද දක්වාත් සංසරණය වන එවැනි ඇතැම් ඊමේල් බොහොමයක්ම මා මුලින්ම කියවූයේ 1995/96 කාලයේදී බව මට හොඳින් මතක තිබේ. ඒ කාලයේදී බොහෝවිට මේ කතන්දර වල පසුබිම වූයේ ඇමරිකාවේ යම් ආයතනයක් හෝ ප්‍රදේශයකි.
ඉහත ආකාරයේ එක් ඊමේලයකින් කියවුනේ පැසිෆික් සාගරය මැද පිහිටි දූපතක් සහ මහාද්වීපික ඇමරිකාවෙන් පිටත පිහිටි ඇමරිකාවේ ප්‍රාන්තයක් වන හවායිහි සංචාරය කළ කැලිෆෝර්නියානුවෙකුට සිදුවූ බරපතල අකරතැබ්බයක් ගැනය. සිය සංචාරය අතරතුරදී ඔහු හවායි මුහුදු වෙරළක් යාබදව පිහිටි සංචාරකයින් ඉලක්ක කරගත් කුඩා වෙළඳසැලකින් අන්නාසි කෑල්ලක් මිලදී ගෙන ඇත. අන්නාසි කපද්දී වෙළෙන්දාගේ අතේ සුළු කැපුමක් ඇතිවූ බව මේ කැලිෆෝර්නියානුවා දැක්කත් ඔහු එය එතරම් ගණනකට ගෙන නැත. මේ වෙළෙන්දාට ඒඩ්ස් තිබී ඇති බවත් අන්නාසි යුෂ සමඟ මුසු වූ ඔහුගේ රුධිරය බිඳක් හේතුවෙන් තමන්ටද එච්අයිවී වයිරසය ශරීරගත වී ඇති බවත් කැලිෆෝර්නියානුවා දැනගන්නා විට ඔහු ප්‍රමාද වැඩිය.
පසුගිය වසර විස්ස තුළ මේ කතාවේ ඉන්දියානු, මැලේසියානු, ඉන්දුනීසියානු, අප්‍රිකානු හා ලතින් ඇමරිකානු ආදී විවිධ වර්ෂන් වරින් වර ඊමේල් හරහා සංසරණය වනු මා දැක තිබේ. මේ කතාව මට යළි සිහිපත් වූයේ එච්අයිවී ආසාදිතයෙකු බවට සමාජයේ පැතිර පවත්නා මතය හේතුවෙන් අධ්‍යාපන ඇමතිවරයාගේ ගම්පළාතේම දරුවෙකුට කලාපයේ පාසැලක් ලබා දිය නොහැකි බව නියෝජ්‍ය කලාප අධ්‍යක්ෂවරයා පවසා ඇති බව දැකීමෙනි.
දරුවාගේ මව පවසන පරිදි දරුවා එච්අයිවී ආසාදිතයෙකු නොවේ. ඒ බව රුධිර පරීක්ෂණයකින්ද තහවුරු කරගෙන තිබේ. මවගේ ප්‍රකාශය අනුව පෙනෙන්නේ දරුවා ඇත්තටම එච්අයිවී ආසාදිතයෙකු වීනම් මේ තීරණය ඇය විසින් අපහසුවකින් තොරව පිළිගනු ඇති බවයි.
එච්අයිවී පිලිබඳ දැනුම අතින් ලංකාව තවමත් සිටින්නේ ඉතා පිටුපසිනි. පහතින් ඇත්තේ, 15-49 වයස් කාණ්ඩයේ විවාහක හෝ පෙර විවාහකව සිට ඇති කාන්තාවන් 14,692ක නියැදියක් යොදාගෙන සිදු කළ දීප ව්‍යාප්ත සමීක්ෂණයක ප්‍රතිඵල අනුව සක්‍රිය ලිංගික සම්බන්ධතා පැවැත්විය හැකි එම වයස් කාණ්ඩයේ කාන්තාවන්ගේ එච්අයිවී සම්බන්ධ දැනුම හා ආකල්ප පිලිබඳ සාරාංශයකි.
-එච්අයිවී ගැන අසාවත් නැති 8.2%ක් සිටී.
-බැලූ බැල්මටම නිරෝගී, සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකු ලෙස පෙනෙන අයෙකු එච්අයිවී ආසාදිතයෙකු විය හැකිය. මේ බව දන්නේ කාන්තාවන්ගෙන් 61.0%ක් පමණි.
-මදුරුවන් දෂ්ඨ කිරීමෙන් එච්අයිවී වෛරසය ශරීරගත නොවේ. මේ බව දන්නේ කාන්තාවන්ගෙන් 47.1%ක් පමණි.
-කිසියම් අද්භූත බලවේගයක් එච්අයිවී ආසාදනයට හේතුවක් විය හැකි බව 21.3%ක් සිතති.
-එච්අයිවී ආසාදිතයෙකු සමඟ කෑම බෙදාහදාගැනීම නිසා වෛරසය ශරීරගත නොවේ. මේ බව දන්නේ කාන්තාවන්ගෙන් 59.9%ක් පමණි.
-මවුකිරි මඟින් මවකගෙන් දරුවෙකුට එච්අයිවී වෛරසය සම්ප්‍රේෂණය විය හැකිය. මේ බව දන්නේ කාන්තාවන්ගෙන් 62.1%ක් පමණි. ඖෂධ භාවිතයෙන් මේ අවදානම පාලනය කළ හැකි බව දන්නේ 13.9%ක් පමණි.
-එච්අයිවී ආසාදිත පවුලේ සාමාජිකයෙකුට සාත්තු සප්පායම් කිරීමට සූදානමින් සිටින්නේ කාන්තාවන්ගෙන් 45.9%ක් පමණි.
-එච්අයිවී ආසාදිත වෙළෙන්දෙකුගෙන් එළවළු මිල දී ගැනීමට කාන්තාවන්ගෙන් 70.6%ක් සූදානම් නැත.
-එච්අයිවී ආසාදිත, එහෙත් නිරෝගී ගුරුවරියකට තවදුරටත් ඉගැන්වීමට ඉඩදියයුතුයැයි සිතන්නේ කාන්තාවන්ගෙන් 37.2%ක් පමණි.
මේ සමීක්ෂණය ඇමරිකානු ආධාර යටතේ දියුණු වෙමින් පවතින රටවල සිදුකෙරෙන සමීක්ෂණ මාලාවක ලංකාවේ පැවැත්වුණු මෑතකාලීනම සමීක්ෂණයයි. එය පැවැත්වුණු 2006/07 කාලයේ සිට ගතවුණු වසර කිහිපය තුළ දැනුමේ හා ආකල්ප වල කිසියම් වර්ධනයක් සිදුවී තිබීමේ ඉඩකඩක් ඇතත්, තත්ත්වයේ විශාල වෙනසක් සිදුවී ඇතැයි මා සිතන්නේ නැත. එච්අයිවී සම්බන්ධ දැනුම හා ආකල්ප අධ්‍යාපන මට්ටම සමඟ විශාල ලෙස වෙනස් වුවද, කොළඹ වැනි නාගරික දිස්ත්‍රික්ක වල හා උසස්පෙළ සමත් කොටස් අතර වුවද දැනුමේ හා ආකල්ප වල විශාල හිස්තැන් තිබේ.
ආප්ප කෑමෙන් පසු ආණ්ඩු පෙරලී ඇති බව වාර්තා වී ඇතත්, අන්නාසි කෑමෙන් පසු කිසිවෙකුට එච්අයිවී වයිරසය ශරීරගත වූ බවක් වාර්තා වී නැත. මෙවැනි "පොෂ්" ලෙස පෙනෙන අවිද්යාවන් පැතිරවීමට හිතාමතාම හෝ නොදැනුවත්ව බොහෝ විට වැඩි වශයෙන්ම දායක වන්නේ සාපේක්ෂව යම් උගත්කමක් ඇති අයයි.
(Images:, )
සිනමාහලක ආසනක තිබී ඇනුණු ඉඳිකටුවකින් තමාට HIV ආසාදනය වූ බව කියැවෙන මෙවැනිම වි-සංදේශයක් මා වෙත forward කර එවුවේ අපගේම විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යා අංශයේ batch-top බවට පත් වූ මිතුරියක විසින් එක්සත් ජනපදයේ තම ආචාර්ය උපාධිය හදාරමින් සිටින අවදියේ.
ReplyDeleteඊට මා යැවූ පිළිතුරෙන් පසු කිසි දා ඇගෙන් සඳෙසක් නොලැබුණේ මගේ පිළිතුර සැර වැඩි වීම නිසාද නැතිනම් මගේ ඉංගිරිසිය ඈට තරම් නොවන නිසාදැයි මා තවම දන්නේ නෑ.
මෙවැනි වි-සංදේශයක් වැඩිපුර නොහිතා හෝ තවෙකෙකුට යොමු කළ කෙනෙක් කුලියාපිටියේ දරුවාගේ අධ්‍යාපන අයිතිය අහිමි කිරීමට සුළුවෙන් හෝ දායක වී තිබේ.
Delete-කිසියම් අද්භූත බලවේගයක් එච්අයිවී ආසාදනයට හේතුවක් විය හැකි බව 21.3%ක් සිතති/////// යන්තර මන්තර ගැන 24 පැය රේඩියෝවෙන් පත්තර වලින් බෙදන රටක මෙය පුදුමයක් නොවේ
ReplyDeleteMind parasites!
Deleteතමාගේ HIV ආසාදිතතාව විසි හතර හැවිරිදි චාල්ස් දැනගන්නේ නිවාඩුවට ගම රට පැමිණ රැකියාව සඳහා නැවත විදෙස් ගත වීමට වීසා ලබා ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණයට යොමුවන අවස්ථාවේය. පවුලේ වෛද්‍යවරයා ඔහුගෙන් දෙවන වරටත් රුධිර සාම්පලයක් ඉල්ලා සිටින්නේ කලින් ලබා ගත් ලේ 'ඉහිරුණු' බව කියමිනි. පළමු වතාවේ මෙන් පැය දහහතරක් උපවාසයෙහි නියැලෙන්නට උවදෙස් දී රුධිර සාම්පලය ලබා නොගත්තේ මන්දැයි ඔහු කල්පනා කරමින් සිටින අතරතුරය වෛද්‍යවරයා 'ඩිස්පෙන්සරිය වැසුවායින් පසුව' අම්මාත් තාත්තාත් සමඟ පැමිණ හමුවන්නට ඔහුට දන්වා සිටින්නේ.
ReplyDelete"Son, I know you since infancy so I don’t want to beat around the bush…" කියා කතාව පටන් ගන්නා වෛද්‍යවරයා ඉන්පසු කුමක් කීවේද චාල්ස්ට මතක නැත. වෛද්‍යවරයාත් තම දෙමාපියනුත් කිසියම් බැරෑරුම් දෙයක් ගැන කරන දීර්ඝ සංවාදය ඔහුට නිහඬ සිතුවම්පටයකි. වචන කිසිවක් කණට නොයයි. සංවාදයට මැදිවනු බැරිව මුව වියැළී ගොසිනි.
එදිනම රාත්‍රියේ තාත්තා සමඟ ගුහාවක් බඳු තම අඳුරු කාමරයේදී පැවැත්වූ දීර්ඝ, විච්ඡින්න සාකච්ඡාවෙන්ද ඔහුට මතක එකම එක කියමනකි. "පුතා මොනව වුනත් දැන් මට වැදගත් එකම දේ ඔබේ අනාගතය...අපි ඒ ගැන කතා කරමු" (“Son, whatever happened, the most important thing to me now is your future…Let us talk about that”)
චාල්ස් නෛජල් ද සිල්වා | Charles Nigel de Silva (1970 - 2010)
~Taboo Subjects December 6, 2010
ඇනෝ, මේ පෝස්ට් එක ගැන හොයාගන්න බැරිවුණා. ඒත් අදාළ පුද්ගලයා ගැන තොරතුරු ගොඩක් කියෙවුවා. ස්තුතියි!
Deleteඔබට ඒඩ්ස් වැළඳී ඇතිදැයි ඔබේ ජ්‍යෝතිෂවේදියාගෙන් විමසා දැනගත හැකිය. හැක්..
ReplyDeleteඔබේ ජ්‍යෝතිෂවේදියාට ඒඩ්ස් වැළඳුනු විට?
Deleteඑවිට එතුමා සැමටම එය අළෙවි කරනු ඇත.
Deleteමැට්ටෝ උඹ සෙලින්කෝ එකේ මොන කොම්පැනියෙද උන්නේ... මාත් සෙලින්කෝ එකේ... මෙතනෙ දාන්න අකමැති නම් මේල් එකක් දාපන්..
ReplyDeleteමාතා, මා එකවට සේවය කළ ආයතනය සෙලින්කෝ සමූහ ව්‍යාපාරය යටතේ පාලනය වූවක් නෙමෙයි. ඒ දවස්වල ලංකාවේ ඊමේල් සේවා සැපයූ ආයතන කිහිපය අතරින් සෙලින්කෝ කමියුනිකේෂන්ස් ඉදිරියෙන් හිටියා.
Deleteමේ සිද්ධිය පිලිබඳ විශාල ජනමාධ්‍ය අවධානයක් යොමුවූවත් කිසිම ජන මාධ්‍යයක් ඒ ප්‍රව්ර්‍තිය සමගම ඒඩ්ස් පිලිබඳ ප්‍රමානවත් දැනුවත් කිරීමක් සිදු නොකළේය. අපේ ජනමාධ්‍යයට මාධ්‍ය වගකීම පිලිබඳ කිසිම දැනුමක් නොමැති හැඩයි.
ReplyDeleteයම් හෙයකින් දරුවාට ඒඩ්ස් තිබුණානම් වෙනත් අයගේ යහපත වෙනුවෙන් ඔහුට පාසැලක් ලබා නොදිය යුතුයි වැනි අදහසක් සමාජගත වුණොත් එය හොඳ දෙයක් නෙමෙයි.
Deleteමම හිතන්නේ ඔය ගැන හරියටම අධ්‍යාපන ඇමැතිත් දැනුවත් නෑ
ReplyDeleteLankawen STD ,HIV adu kireematanam softsex promote kala uthuya. Ape evun bus jack gahanne evani avastha nethi nisaya.
ReplyDeleteLankawen STD ,HIV adu kireematanam softsex promote kala uthuya. Ape evun bus jack gahanne evani avastha nethi nisaya.
ReplyDelete