ඒ 1993 අප්‍රේල් මාසයේ අග හරියේ එක් සිකුරාදාවකි. වේලාව හවස තුනට පමණ ඇත. පේරාදෙණිය සරසවියේ කලාගාරය අසල ස්ත්යග්රහයකි. රැස් වී සිටින සිසුන් ගණන සියයකට වඩා අඩු මිස වැඩි නැත. එළඹෙන සති අන්තය තුළ මේ පිරිස රඳවා තබා ගැනීම පහසු කරුණක් නොවේ. කලා පීඨ ශිෂ්‍ය සභා නියෝජිතයෙකු වන ගෙම්බා පිරිස දෙස ඇස ගසාගෙනම ඉන්නේ අවධානය ඉවතට යොමු කළ වහාම හිමිහිට මාරු වෙන්නට සෑහෙන දෙනෙකු බලා ඉන්නා බව දන්නා නිසාය.
"මචං, ගෙම්බා. මම පොඩ්ඩක් කාමරේට ගිහිං වොෂ් එකක් දාගෙන එන්නං..."
ඒ ටකරමාය.
"ආපහු එනවනේ, නේද?"
"ඔව්, මචං. එන්නං.."
ඔය කිවුවාට ටකරමා ආපහු නොඑන බව ගෙම්බා සහසුද්දෙන් දනී. හිල්ඩා එකට යන ටකරමා කරන්නේ බෑග් එක ලෑස්ති කරගෙන හිල්ඩා එක අයිනේ හොරගල් අහුලමින් සිට හිල්ඩා ගහ ළඟ නුවර බස් එක නවත්තන පරක්කුවට දිවවිත් එහි නැඟ නුවර ගොස් එතනින් 636 ගෙන වත්තේගම බලා පිටත්වීමයි. ටකරමාට එක සති අන්තයක් ගමේ කෑල්ල හමු නොවී ඉන්න බැරිය.
ගලහ පාර දිගේ හිමිහිට ඇදුණු පරණ මෝටර් රථයක් කලාගාරය අයිනේ නතර වේ. මේ මෝටර් රථය නොහඳුනන කෙනෙකු නැත. එය බහුටාගේය.
මෝටර් රථයකට හිමිකම් කියූ සරසවි සිසුන් සිටියානම් ඒ ඉතාම අතළොස්සකි. බහුටා ඒ අයගෙන් කෙනෙකි. ඔහුට බහුටා කාඩ් එක වැදී තිබුණේ ඔහුගේ මිශ්‍ර, බහුවාර්ගික සම්භවය නිසාය.
අතේ තරමක් සල්ලිය බාගේ ගැවසුනත් බහුටා කා සමඟත් කතාබහ කළ ජනප්‍රිය සිසුවෙකි. බොරු සෝබන සහ නයි ඇදිලි ටික අයින් කර ගත් විට හිතහොඳ සුන්දර මිනිසෙකි.
"කොහොමද මචං වැඩේ යනව නේද? මොනවාද කෙරෙන්න ඕනෑ?"
බහුටා ගෙම්බාව විමසයි.
"මං ලලිත්ට කෝල් එකක් දීල බලන්නම් සපෝට් එකක් ගන්න."
මේ කියන්නේ ලලිත් ඇතුලත්මුදලි ගැනය. ලලිත් ගාමිණීලා ජනාධිපති ප්‍රේමදාසට දෝෂාභියෝග කර නව පක්ෂයක් පිහිටුවා ගෙන පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වී සිටි මේ කාලයේදී පෙර සරසවි වල වීරයින් නොවූ මේ පැරණි එජාප චරිත වලට තරමක වීරත්වයක් ආරෝපණය වී තිබේ.
"උඹේ කෝල් ගැනිල්ල ගැන ඉතිං අපි නොදන්න එකක්යැ...උඹයි මායි අඳුරන ලලිත්!"
ගෙම්බා හිතෙන දේ එළියට නොදා ගිලගන්නේ උදවුවක් කරන්නට බොක්කෙන්ම සූදානම්ව සිටින බහුටාගේ හිත නිකම් රිදවන්නට අවශ්‍ය නොවන නිසාය.
මේ කතාව යන අතරතුර සිසුන් දහ දොළොස් දෙනෙකුම හිමිහිට මාරු වූ බව ගෙම්බාගේ උකුසු ඇසට පෙනේ. කොයිතරම් ඇහැ ගහගෙන හිටියත් මේ ඉන්නා ටික දෙනාගෙන්ද බාගයක් රෑ වන විට අතුරුදහන් වන බව ඔහු පළපුරුද්දෙන් දනී.
"මචං උදේට බ්‍රෙක්ෆස්ට් එකට පාන් ගේන්න ඕනෑ. උඹට පුළුවන් නේද අට විතර වෙනකොට පාන්ගෙඩි පණහක් අරං එන්න."
ගෙම්බා කිසියම් මුදලක් බහුටා අත තබයි.
"මදි පාඩුවක් වුනොත් දාල ගෙනෙන්. මං දෙන්නං."
මේ මුදල පාන් රාත්තල් පණහකට ප්‍රමාණවත් නොවන බව ගෙම්බා නොදන්නවා නොවේ. ඒ මුදල බහුටා කැමැත්තෙන්ම අතින් දමනු ඇත. මෙවැනි වියදම් ආපසු ඉල්ලාගෙන බහුටා පස්සෙන් එන්නේ නැත.
"එහෙනං උදේට එන්නං මචං. මම ලලිත්ට කතා කරල බලන්නන්කෝ මොනව හරි සපෝට් එකක් ගන්න."
මහවැලි ගඟ උඩින්, පැණිදෙනිය පැත්තෙන් ඉර බැස යයි. හන්තාන කඳුවැටිය උඩින් තරු පිරිවරා හඳ නැඟ එයි.
ඉතිරි වී සිටින බැචියන් හත් අට දෙනාව බෙල් එක වදින්නට පෙර නාදන් එකට ඇරලවන්නට ඔවුන්ගේ අයිතිකාරයෝ පිටවෙති. ඉතිරි වී සිටින ටික දෙනාගෙන් කිහිප දෙනෙකු කණ්ඩායම් කිහිපයකට බෙදී කාඩ් ගසති. ඉතිරි අය තෙල් බෙදති.
හන්තාන අඩවියේ මැදුරු කුළුණු සුදු සඳළුතලා පිස එන දුම්වැටියක කටුක දුමාරය දුම්වැටි ප්‍රිය නොකරන සිසුවෙකුගේ නැහැයට අපුලක් දනවයි.
***
පැණිදෙණියෙන් බැස ගිය ඉර හෝ වෙනත් ඉරක් හන්තාන උඩින් මතු වේ. පරිප්පු හොද්දක් සහ සම්බෝල කටට කෙළ උනවමින් පැත්තක බලා සිටී. රැයක් නිදි වැරූ නෙත් සියයක් පමණ පාතරාසය රිසිව බලා සිටින්නේ බහුටාගේ හුචක්කුව ගලහ පාරෙන් මතුවන තුරුය.
වෙලාව අට පසුවී මිනිත්තු දහතුනකි. ගෙම්බා නොඉවසිල්ලෙන් වරින්වර ඔරලෝසුව දෙස බලයි. බහුටාගේ හැටි ඔහොමමය. කවදාවත් කියන වෙලාවට වැඩක් නැත. ඒත් හැම වෙලාවේම කියන්නට හේතුවක්නම් ඇත. කොහොමවුනත් බහුටා කවදාවත් පොලු තියා නැත.
ගෙම්බාගේ පෙනහළු තුළින් රුධිරයට එක් වරම අම්ලකර ධාරාවක් එකතු කරමින් බහුටාගේ මෝටර් රථය කලාගාරය ඉදිරිපිට නතරවේ.
"මචං පරක්කු නෑ නේද?"
බහුටා ඩිකිය විවෘත කරයි. සිසුන් දෙදෙනෙකු වහාම පාන් මළු දෙක ඉවත් කරගනී.
"මචං මං ලලිත්ට කෝල් එකක් ගත්තා. ඒකයි පොඩ්ඩක් පරක්කු වුනේ."
ගෙම්බාගේ මුව අගට නැඟෙන සම්ච්චල් හිනාව ඔහු ආයාසයෙන් වලකා ගනී.
"ගොඩක් වෙලාවට හවස තුනට විතර මේ පැත්තේ එන්නත් පුළුවන්!"
"උඹට හොඳටම ෂුවර්ද හවසට එයි කියලා? උඹ ඇත්තටම කෝල් එකක් ගත්තද?"
මැද්දට පනින්නේ පැත්තක සිටි යකඩයාය. තවත් හත් අට දෙනෙක්ම මේ කතාවට සවන් දෙන්නේ විශාල උනන්දුවකිනි.
"නැතුව බං. මං මේ දැන් පැයකට කලින් කතාකළේ. ඒකයි පාන් ටික ගේන්නත් පොඩ්ඩක් පරක්කු වුනේ."
මේ දවස් වල මෝටර් රථයක හිමිකරුවෙකු වූ බහුටාටවත් ජංගම දුරකතනයක් තිබුණේ නැත. කියන විදිහට ඔහු ලලිත්ට කතාකර ඇත්තේ මහනුවර නාගරික සීමාවේ තිබුණු ඔහුගේ ගෙදර දුරකතනයෙනි. එවරනම්, ගෙම්බාටත් සිනහව පාලනය කර ගැනීම අසීරු විය.
"මචං ඊයෙ රෑ ලලිත්ට වෙඩි තියල. දැන් උදේ ප්‍රවෘත්ති වලට කිවුවේ!"
බහුටාගේ ඇස් උඩයි. මුන් මාව බයිට් එකට ගන්න හදනවද? ඒත්, ගෙම්බා සාමාන්‍යයෙන් එහෙම කරන කෙනෙක් නෙමෙයි.
බහුටා වටපිට සිසාරා බලයි. අනිත් සිසුන්ගේ දෑස් දෙස බලන විට ප්‍රවෘත්තිය තහවුරු කර ගැනීම අසීරු නැත.
බහුටා සිය ඩිජිටල් ඔරලෝසුව දෙස බලයි. එහි අටයි විස්ස සටහන් වී ඇත.
"මචං තව හදිසි වැඩක් තියෙනවා. මං ගිහිං එන්නං!"
බහුටා සිය මෝටර් රථයට නැඟී ගලහ පාර දිගේ ඉගිල යන්නේ ඇසිපිය හෙළන සැනෙකිණි.
(මනඃකල්පිත කතාවකි. සැබෑ සිද්ධියකට සම්බන්ධයක් ඇත්නම් ඒ අහම්බයෙනි.)
***
අනාගතය නිශ්චිතව ලියවී ඇත්ද යන්න ගැටළුසහගත දාර්ශනික ප්‍රශ්නයකි. නිශ්චිත වර්තමානයක් පැවතීම නිශ්චිත අනාගතයක් පැවතීම සඳහා ප්‍රමාණවත් අවශ්‍යතාවයක් නොවූවත් අනිවාර්යය අවශ්‍යතාවයකි. නිශ්චිත වර්තමානයක් නැත්නම් නිශ්චිත අනාගතයක්ද තිබිය නොහැකිය. එසේනම්, නිශ්චිත, නිරීක්ෂකයෙකුගෙන් ස්වායත්ත වර්තමානයක් තිබේද?
අප අත් විඳින වර්තමානය යනු අපේ ඉන්ද්‍රියයන් සහ මොළය එකතු වී අපට පෙන්වන ප්‍රක්ෂේපනයකි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. වෙනත් අයුරකින් කිවහොත්, අප එකිනෙකා වර්තමානය ලෙස හඳුනාගන්නේ එකම දෙය නොවේ. අපේ වර්තමානයට සාපේක්ෂව අප දකින අතීතය හෝ අනාගතයද වෙනස් නොවන ස්ථිර එකක් නොවේ.
ලලිත් ඇතුළත්මුදලි මිය ගියේ හරියටම කොයි වේලාවේද? මට අනුවනම් මා එය දැනගත් මොහොතේය. බහුටා නිරීක්ෂණය කළ ලෝකයේ උදේ අටයි විස්ස දක්වා ලලිත් ඇතුලත්මුදලි ජීවත් විය. ගෙම්බා නිරීක්ෂණය කළ ලෝකයේ ලලිත් ඇතුලත්මුදලි ජීවත් වුනේ උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශය ඇසෙන තුරු පමණි. මාධ්‍ය වල සේවය කළ බොහෝ දෙනෙකු නිරීක්ෂණය කළ ලෝකවල ලලිත් ඇතුලත්මුදලි ඒ වන විට මියගොස් සිටියේය. ඔහුගේ මරණය තහවුරු කළ වෛද්‍යවරයාට අනුව පෙරදින පස්වරු 8.50ට මේ මරණය සිදු විය. ඇතැම් විට, ඔහුට වෙඩි තබනු ලැබූ වෙලාව වූ පස්වරු 8.10ට හෝ ඒ වෙලාවේ සිට මරණය තහවුරු කළ පස්වරු 8.50 අතර යම් මොහොතක මේ මරණය සිදු වූවාද විය හැකි බව යමෙකුට කිව හැකිය.
2015 ජනවාරි 08 දින පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජය විය. රටේ බොහෝ දෙනෙකුට අනුව ඔහුව පරාජය වූයේ මැතිවරණ කොමසාරිස් විසින් අවසන් මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කළ අවස්ථාවේදීය. එහෙත්, මහින්ද රාජපක්ෂ සිය මැතිවරණ නියෝජිතයින්ගෙන් ලබාගත් තොරතුරු අනුව මේ ප්‍රතිඵලය ඊට පෙර දැනගෙන සිටියේය. ඒ නිසා මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් වන විට ඔහුට අනුව ඔහු පැරදී අවසන්ය. කෙසේවුවද, ඡන්ද විමසීම අවසන් වන විට මෙය තීරණය වී අවසානය. එසේනම්, මහින්ද පැරදුනේ ඒ මොහොතේද? එසේ නැත්නම් ඊටත් පෙර "ආන්තික ඡන්දය" ප්‍රකාශ වුණු මොහොතේද?
මහින්ද පැරදුණු එවැනි නිශ්චිත මොහොතක් තිබිය හැක්කේ නිරීක්ෂකයෙකුට සාපේක්ෂව පමණි.
***
සැන්දෑව සුන්දරය. සැන්දෑව පෙම්වතුන්ට වඩාත් සුන්දරය. කෝකිලා සහ සුපුන් ගාලුමුවදොර සිට ඈත සිතිජය දෙස බලා සිටිති. ඉර ඈත මුහුදේ ගිලේ. ඉතිරිව ඇත්තේ එහි අවසන් කඩක් පමණි. සුන්දර ගාලුමුවදොර සුන්දර සැන්දෑව සුපුන්ගේ කැමරා කාචයේ සටහන් වේ. පස්වරු 6:03 ලෙස වෙලාවද එහි සටහන් වේ. එහෙත්, ඔහු හෝ ඔහුගේ කැමරා කාචය දකින ඈත සිතිජයේ ඇත්තටම ඉර නැත. ඔවුන් මේ දකින්නේ විනාඩි 8කුත් තත්පර 19කට පෙර එහි තිබුණු ඉරයි.
තවත් ටික වෙලාවකින් සඳ නැඟගෙන එනු ඇත. එසේ පැමිණ තත්පර 1.29 කින් පසු සුපුන් සහ කෝකිලා පෙම් සුව විඳිමින් සඳ එළියේ කිමිදෙනු ඇත. සඳ හා සමඟ තරුද පැමිණ ඔවුන්ගේ සොඳුරු පෙම් ලොව එළිය කරනු ඇත. එහෙත්, ඔවුන් දකින මේ බොහෝ තරු දැන් ඇත්තටම නැත. ඒවා මියගොස් වසර සිය ගණනකි. දහස් ගණනකි. මිලියන් ගණනකි. බිලියන් ගණනකි.
සුපුන් සහ කෝකිලා ඔවුනොවුන් දෙස ආදරයෙන් බලති. සුපුන් මේ දකින්නේ ඔහු දෙස දැන් බලා සිටින කෝකිලාව නොවේ. කෝකිලා දැන් බලා සිටින්නේ ඇය දෙස දැන් බලා සිටින සුපුන් දෙසද නොවේ.
(Image: misstourist.com)
කාලේ ගෙවෙන ඉක්මන.. මුල් ටික කියවලා හිනාවුනා.. මද ටික කියවලා කල්පනා කර.. අන්තිම ටික කියවල.. හ්ම්ම්.. ඉක්මනට ගෙදර දුවන් යන්න හිතුනා.. :)
ReplyDeleteතාත්ත කෙනෙක්ව ඉක්මණින් ගෙදර යවාගන්න පුළුවන් වුනා කියන්නේ ලිපියෙන් වැඩක් වෙලා...
Deleteහොද කථාවක් ඒ වගේම හිතන්ඩ යමක් තියනවා.
ReplyDeleteස්තුතියි!
Deleteසාපේක්‍ෂතාවාදය ; කාලය හා අවකාශය ගැන හොඳ සටහනක්
ReplyDeleteස්තුතියි!
Deleteමේ ලිපිය කියවා මට සිහිවුණේ ස්ටීවන් කිං ගේ නවකතාවක් අනුව නිපදවූ එක් ටෙලි චිත්‍රපටයක්. එහි කතාවේ තිබුණේ ගුවන් ගමනක් යන පිරිසක් යානය ටයිම් ව්රැප් එකකට අසුවී විනාඩි කිහිපයක් අනාගතයට යෑම ගැන කතාවක්.
ReplyDeleteමගේ බැචාලා දෙදෙනකුට විතර මෝටර් සයිකල් තිබුණා. තව සමහර අයට තියෙන්න ඇති, නමුත් අප දැක්කේ නුවර අවට අය පමණයි.
ReplyDeleteඉන් හිතවත් ඩබා ගේ සයිකලට අපට අවසන් වසරේ දී ක්‍රියාකාරී කමිටුවේ වෑඩ සඳහා සෑහෙන්න ප්‍රයෝජනවත් වුණා!
අපේ බැච් එකේනම් ඔය ගණන වැඩි ඇති. අවුරුදු දෙක තුනක් එක එක දේවල් කරලනේ ගොඩක් අය ආවේ.
Deleteහුග කාලයකට පස්සේ මේ පැත්තේ ආවෙ
ReplyDeleteඅර නම් ටික නම් මරු.
ස්තුතියි!
DeleteWhat a post..!! So much to think. Awesome..!! Just finished hslf of your posts.!!
ReplyDeleteThanks, Tikka! Nice to hear.
Deleteසමහර අයට තාමත් මහින්ද පැරදිලා නැහැ....
ReplyDeleteවිවිධ අයට වෙනස් හේතු නිසා එහෙම පෙනෙනවා, තිසර. සමහර අයට වෙනස ඔරොත්තු දෙන්නේ නැති නිසා. සමහර අයට වෙනසක් නොපෙනෙන නිසා.
Deleteඅපගේ අතීතය සහ වර්තමානය (මෙය අතීතයට අයත්, සිදුවී අවසන් අපගේ දැනුමින් වර්තමානය ලෙස නිරික්ෂණය කරන දෙයකි)අප විසින් නිරික්ෂණය කරණුයේ අප සතුව ඇති දැනුම සහ තොරතුරුවල ප්‍රමාණය අනුවය. අනාගතයද අපට මෙලෙස විය හැකියැයි පුර්ව නිශ්චයන් කල හැක්කේද ඒ අනුවම පමණක්මය. ඒ අනුව එක් අයෙකුට පෙනෙන අතීතය, වර්තමානය සහ අනාගතය වෙනත් කෙනෙකුට වඩා සෑම විටකදීම වාගේ යම් වෙනසක් සහිත විය හැකිය.
ReplyDeleteඅපගේ දැනුමේ ප්‍රමාණය හා ලබාගත හැකි තොරතුරු ප්‍රමාණය වැඩිවන තරමට අපට අතීතය, වර්තමානය සහ අනාගතය පිලිබදව වන අපගේ නිරික්ෂණය වඩාත් පුලුල් වනු ඇතැයි මම සිතමි.
මේ ගැන ඔබ හිතන විදිහ මම හිතන විදිහට ගොඩක් කිට්ටුයි.
Deleteහරිම අපූරුයි. වෙනස්ම මානයක් කරා පාඨකයා ගෙනයන ලිපියක්!
ReplyDeleteමාර ලිපියක් ඉකෝන්!
ReplyDeleteස්තුතියි!
Deleteඑකම ගඟට දෙපාරක් බහින්න බෑ කියලා කියන්නේ........
ReplyDeleteone can never step in the same river twice
ඔව්, මයියා. ගඟක්නම් ගලනවා පේනවා. අනිත් හැම දෙයක්ම ගලන්නේ හිමින් නිසා අපි ඒවා වෙනස් නොවන දේවල් කියලා රැවටෙනවා.
Deleteඅපූරුයි!!!
ReplyDeleteamuthuma rasayak athi lipiyak..
ReplyDeleteහැමදෙයක්ම හැම මොහොතකම වෙනස් වෙනවා..
ReplyDeleteඑතකොටම මතක් වෙනවා..
'ස්වාමීනි නවතින්න'
'අංගුලිමාලය,මම නැවතී සිටිමි'
ඒත් එක්කම මතක් වෙනවා..
ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත කියලා
ඒ හිංදා මිලි තත්පර 0.7ක් අතීතය වර්තමානය උන අනිත්මිනිස්සු වගේම ගස්ලබ්බා හුස්මක් ගන්නවා..
ජයවේවා..!!
හෙහ් හෙහ් , මල්ටා ලඟනම් සෙලියුලර් ෆොන් එකක් තිබ්බා, ගඩොල් භාගයක් විතර ලොකු එකක්.
ReplyDeleteමට මිස් වෙච්ච ලිපියක්. ඊයේ පෙරේද රුසියාවට යන්න ගියේ ස්වීඩනය හරහා. ඉතින් ලන්ඩන් වේලාවෙන් අනාගතයට ගිහින් අපහු එනකොට අතීතයට ආව.
ReplyDelete