Tuesday, June 20, 2017

වඳුරු කුණුහරුප, ආගමික සාහිත්‍යය හා ඉතිහාසය


පසුගිය දින වල වඳුරු කුණුහරුප කතාවක් සමාජ ජාලා වල හිට් විය. පසුව ගිරවෙකු හා තාපසයෙකුද එකතු වුණු මේ කතාවේ පළමු වර්ෂන් එකේ තිබුණේ බොහෝ දෙනෙකු අසා ඇතැයි සිතන කිඹුලා විසින් කිඹුලිය වෙනුවෙන් සිය මිතුරු වඳුරාගේ හදවත ගලවා ගැනීමට උත්සාහ කිරීමේ කතාවයි. මූලික ආකෘතිය අතින් මේ කතාව අප විසින් පෙර අසා තිබුණු පංචතන්ත්‍රයේ කතාවට වෙනස් නොවූ අතර කතාව හිට් වීමට හේතු වූයේ කවුරු හෝ මේ කතාවට නිර්මාණශීලී ලෙස එකතු කර තිබුණු, අන්තිමේදී කෝපයට පත්වන වඳුරා විසින් කිඹුලාට අමු තිත්ත කුණුහරුප වලින් බණින කොටසයි. (කරුණාකර මේ කතාවේ අලුත් වර්ෂන් කමෙන්ට් වලට කොපි නොකරන්න.)

මේ වඳුරු කිඹුල් කතාවේ සම්භවය යටත් පිරිසෙයින් වසර දෙදහස් පන්සීයක්වත් පැරණිය. කවුරු හෝ විසින් වසර දහස් ගණනකට පෙර මුලින්ම නිර්මාණය කළ මේ
වඳුරු කිඹුල් කතාව, මෙවැනි වෙනත් කතා මෙන්ම, පරම්පරා ගණනාවක් තිස්සේ කටින් කට හා පසුව වෙනත් ආකාර වලින් සම්ප්‍රේෂණය වී අද වන විට අපේ දැනුමක් බවට පත් වී තිබේ. මේ කතාව අපේ ඉදිරි පරම්පරා වෙතද සම්ප්‍රේෂණය වනු ඇත.

මා කුඩා කාලයේ මගේ වැඩිහිටියන් විසින් මට මෙවැනි කතා කියා දී තිබේ. තවත් මෙවැනි කතා මා විසින් කියවා තිබේ. මා අසා හෝ කියවා ඇති මෙවැනි කතා මා විසින් මගේ දරුවන් කුඩා කාලයේ ඔවුන්ටද කියා දී තිබේ. මේ කතා ඔවුන් විසින් ඔවුන්ගේ දරුවන්ට කියා දෙන්නට හෝ නොදෙන්නට ඉඩ තිබේ. ඇතැම් විට ඔවුන්ගේ දරුවන්ටද මේ කතා කියා දෙන්නට අවස්ථාවක් මටම ලැබෙන්නට හෝ නොලැබෙන්නට පුළුවන.

මගේ දරුවන්ට මා කියා දෙන්නේ මා අසා හෝ කියවා ඇති කතාව කියා කීවත් එය හරියටම ඒ කතාවම නොවේ. මා විසින් හිතාමතාම හෝ අවිඥානිකව ඔවුන්ට කියා දෙන්නේ මා අසා හෝ කියවා ඇති කතාව ඇසුරෙන් මා විසින් සංස්කරණය කරනු ලැබූ කතාවකි. ඇතැම් විට, කතා වල ඇති ඔවුන් දැන නොසිටි පළතුරු හෝ රසකැවිලි වෙනුවට ඔවුන් දන්නා දේ ආදේශ කරන්නට මට සිදු වී තිබේ. ඇත්තටම කියනවානම් එකම කතාව දෙවරක් එක ලෙස කියවෙන්නේද නැත.

ජාතක කතා පොතේ ඇති සුංසුමාර හා වානර ජාතක ඇතුළුව, වඳුරු කිඹුල් කතාවේ ප්‍රභේද විශාල ගණනක් ඇතත් සමාජ ජාලා වල මෑතකදී සංසරණය වූ කතාව වඩාත්ම ආසන්න විෂ්ණු ශර්මන්ගේ පංචතන්ත්‍රයේ ඇති කතාවටය. පංචතන්ත්‍රය ක්‍රිස්තු පූර්ව තෙවන සියවසේදී පමණ මුලින්ම ප්‍රබන්ධ කරන්නට ඇතැයි සැලකේ. එහෙත් එහි ඇති කතා බොහොමයක් ඒ වන විට ජන වහරේ තිබී ඇති කතාය.

පංචතන්ත්‍රයේ ඇති කතාවේ සඳහන් පළතුර අඹ නොවේ- දඹයි. මෙය මාදං වැනි පළතුරකි. කතාවේ වඳුරාගේ නම රක්තමුඛ වන අතර කිඹුලාගේ නම කරාළමුඛයි. රක්තමුඛ නම ඇසෙන විට හිතේ මැවෙන්නේ කට රතු වඳුරෙකි. අළුත් කතාව කියවන විට මතක් වෙන්නේනම් වාචාලමුඛ වැනි නමකි.

වානර ජාතකයේ ඇති කතාව පටන් ගන්නේ පංචතන්ත්‍රයේ කතාවේ මැද හරියෙනි. සුංසුමාර ජාතකයේ කතාවද බොහෝ දුරට වානර ජාතකයේ කතාවට සමානය. මේ කතා වල සිටින බෝධිසත්ව වඳුරාගේ හදවත සඟවා ඇති බව කියන්නේ දිඹුල් ගසකය.
වානර ජාතකයේ බෝධිසත්ව වඳුරා කිඹුලාට සිය අප්‍රසාදය පළ කරන්නේ මෙසේය.

"තොපි මා රැවටුව. මම තොප රවටාපීමි. වඳුරන්ගේ හෘදය මාංශයත් දිඹුල් ගස උඩ තිබේද? තා රවටාලා මාගේ ප්‍රාණය ගලවා ගතිමි. තොපගේ උයනේ ඇති අමෘත ඵලාඵලයෙනුත් මට කම් නැත."

බෝධිසත්ව වඳුරෙක් වූ නිසාදෝ මේ වඳුරා කුණුහරුප කියන්නේ නැත. ජන වහරේ පැවති මේ කතාව බුද්ධ කාලයේදීම හෝ බුද්ධ කාලයෙන් සියවස් දෙක තුනකට පසුව බෞද්ධ සාහිත්‍යට එක් වූවා විය හැකිය. ජපානය වැනි රටවලට ගොස් ඇත්තේ (කොන්ජකු මොනොගතරිෂු) මේ බෞද්ධ කතාවයි. අරාබියට ගොස් ඇත්තේ (කලීලා සහ දිම්නා) පංචතන්ත්‍රයේ කතාවයි.


බෝධිසත්ව වඳුරන් විසින් කිඹුලන් හෝ කිඹුලියන් රවටන්නේ ඉහතින් සඳහන් කළ සුංසුමාර හා වානර ජාතක කතා දෙකේ පමණක් නොවේ. වානරින්ද හා කුම්භිල ජාතක වල ඇති කතාද ඉහත කතාවට බොහෝ ආසන්නය. විවිධ වෙනස්කම් සහිතව ලෝකයේ රටවල් ගණනාවකට සම්ප්‍රේෂණය වී ඇති වඳුරු කිඹුල් කතාව හා අදාළව පශ්චාත් උපාධි නිබන්ධන පවා ලියැවී තිබේ.


කොහේ හෝ තැනක කියවූ පරිදි මේ කතාවේ කිඹුලාගෙන් සංකේතවත් වන්නේ සිය බිරිඳගේ අවශ්‍යතා සැපිරිය නොහැකි දුර්වල ස්වාමි පුරුෂයෙකි. වඳුරා යනු බිරිඳට ඔහු පෙන්වන ප්‍රතිරූපයයි. එහෙත්, කිඹුලා ඔහුගේ සැබෑ ප්‍රතිරූපයයි. ඔහු වඳුරා මෙන් ගසට නැග ඇයට පලතුරු කඩා දෙන්නට නොහැකි (ඇයගේ අවශ්‍යතා සැපිරිය නොහැකි) දුර්වල සැමියෙකි. වඳුරු හදවත ඉල්ලීමෙන් සංකේතවත් වන්නේ බිරිඳ සිය සැමියාගෙන් අපේක්ෂා කරන පෞරුෂත්වයයි. වඳුරා සහ කිඹුලා අතර ගැටුම මේ පුරුෂයා විසින් බිරිඳට පෙන්වන්නට උත්සාහ කරන පෞරුෂත්ව මඟින් ඔහුගේ සැබෑ පෞරුෂත්ව යටපත් කිරීමට උත්සාහ කිරීම තුළ ඇති වන ගැටුමයි. එයින් ඔහුට ජය ගැනීමට නොහැකි වන අතර කතාව අවසන් වන්නේ ඔහුව බිරිඳට එළිදරවු වීමෙනි. වඳුරාගෙන් සමච්චලයට ලක්වීමෙන් සංකේතවත් වන්නේ එයයි. මේ අනුව, මෙහි තේමාව ටිකක් දුරට හඳගමගේ තනි තටුවෙන් පියාඹන්න තේමාවට කිට්ටුය. මනෝ විශ්ලේෂණය මා හදාරා ඇති විෂයයක් නොවන නිසා මේ ගැන මා වැඩි දෙයක් දන්නේ නැත.


මට පෙනෙන හැටියටනම් කිඹුලා මුහුණ දී ඇති ප්‍රශ්නය ආවස්ථික පිරිවැය පිළිබඳ ප්‍රශ්නයකි. එක පැත්තකින් කිඹුලිය සතුටු කිරීම නිසා ලැබෙන අනාගත වාසි තිබේ. අනිත් පැත්තෙන් දිගින් දිගටම අඹ (හෝ දඹ) කන්නට ලැබීමේ අවස්ථාව තිබේ. කිඹුලා මේ වාසි සසඳා කෑම වෙනුවට ලෑම තෝරාගෙන ඇතත් අවසානයේදී තොරතුරු අසමමිතිය පිළිබඳ ගැටළුවකට මුහුණ දී කෑමත් ලෑමත් දෙකම නැති කරගෙන තිබේ. අපට කිසියම් අවස්ථාවක අප සතුව ඇති තොරතුරු මත පදනම්ව විශ්ලේෂණය කර වඩාත්ම වාසිදායක තීරණය ගන්නට හැකි වුවත්, අපේ දැනුමේ සීමාවන් නිසා එසේ ගත් තීරණයක් හොඳම තීරණය නොවන බව පසුව අවබෝධ වන්නට පුළුවන.
 

මා කුඩා කාලයේ මගේ වැඩිහිටියන්ගෙන් ඇසූ වඳුරු කිඹුල් කතාවේ වඳුරා හිටියේ ජම්බු ගසකය. පංචතන්ත්‍රයේ කතාවට සමාන මේ කතාවේ දඹ ගස ලංකාවේදී ජම්බු ගසක් වූවා විය හැකිය.

අප එකිනෙකා කතා කරන භාෂාව 'සිංහල' හෝ 'ඉංග්‍රීසි' වැනි නිශ්චිත භාෂාවක් ලෙස හැඳින්වීමෙන් අදහස් වන්නේ අප කතාකරන භාෂාව එකම භාෂාව බව නොවේ. අප කතා කරන භාෂාව වෙනස් වන්නේ ප්‍රාදේශීය ව්‍යවහාර නිසා පමණක්ද නොවේ. අපේ වයස් මට්ටම්, ලබා ඇති අධ්‍යාපනය හා වෘත්තීය ක්ෂේත්‍රය, කතා කරන්නේ කා සමඟද යන්න වැනි විවිධ හේතූන් මත අපේ භාෂාව වෙනස් වේ. ඒ නිසා, එකම අදහස ප්‍රකාශ කිරීම සඳහා අප විසින් "මේ දෑස කුමටද?", "මේ දෑස මක්කටෙයි?" හෝ "මේ ඇස් ගෙඩි දෙක මොන මගුලකටද?" ආදී විවිධ ආකාර යොදාගන්නට පුළුවන.
 

පරම්පරාවක් තුළ භාෂාවක් විශාල ලෙස වෙනස් වේ. ඊට අමතරම, කිසියම් කතාවකින් ගම්‍ය වන අදහසද කාලයත් සමඟ වෙනස් වේ. ඒ නිසා, අපට අපේ දරුවන්ට කියා දෙන්නට වෙන්නේ අපේ වැඩිහිටියන් අපට කියා දුන් කතාවම නොවේ. ඔවුන් තේරුම් ගන්නේ අප ඔවුන්ට කියා දෙන කතාවද නොවේ. පරම්පරා ගණනාවක් මෙය සිදුවන විට කතාවක් සැලකිය යුතු ලෙස වෙනස් වන්නට පුළුවන.

අපේ පෞද්ගලික අත්දැකීම් නොවන අතීතය අප අවබෝධ කරගන්නේ අප අසන හෝ කියවන "කතන්දර" ඇසුරිනි. එහෙත්, මේ කතන්දර අපට ඇසෙන විට අපේ හිතේ මැවෙන්නේ කතාව කියන තැනැත්තාගේ හිතේ ඇති චිත්ත රූපයම නොවේ. පසුව අප විසින් වචන වලට හරවන්නේ මෙසේ අපේ හිතේ මැවෙන චිත්තරූප මිස අපට කතාව කියාදුන් තැනැත්තාගේ හිතේ ඇති චිත්තරූප නොවේ.

කාලයක් තමන් විසින් දුන් අඹ කෑ ගිරවා අන්තිමේදී වඳුරාගේ හදවත කන්නට තැත්කරන කතාව අසන අප බොහෝ දෙනෙකු ඒ වෙලාවේ මනසින් වඳුරාගේ චරිතය තුළට කිමිදේ. එදා
වඳුරා සිටි තත්ත්වයට පත් වූයේනම්, අප බොහෝ දෙනෙකුට අද මතක් වන්නේ සමාජ ජාලා වල ඇති කතාවේ ආකාරයේ කුණුහරුප වැලක් මිස අප කුඩා කාලයේ අසා ඇති කතාවේ තිබුණු හෝ ජාතක කතා පොතේ ඇති වඩා සභ්‍ය වචන නොවේ. වඳුරු කුණුහරුප කතාව සමාජ ජාලා වල හිට් වෙන්නේ ඒ කතාවේ අවසානයට ඇති වචන කියවන බොහෝ දෙනෙකුගේ චිත්තරූප සමඟ සමීපව සමපාත වන බැවිනි.

කතා වලට පරම්පරා ගණනක් තිස්සේ එකතු වී ඇති වඳුරු කුණුහරුප ගැටලුවක් වන්නේ ඉතිහාසය හදාරන්නට යන විටය. සියලුම ආගම් වලට අයත් ආගමික සාහිත්‍යයේද මේ ප්‍රශ්නය තිබේ.

වංශ කතා මත පදනම්ව වසර දෙදහස් පන්සිය ගණනක ඉතිහාසයක් ගැන අප කතා කළත් ඇත්තටම අප සතු ලිඛිත ඉතිහාසය එතරම් පැරණි නැත. ඓතිහාසික කරුණු වාර්තා කිරීමේදී ලේඛකයින් මතිග්‍රාහී වීම පැත්තකින් තිබ්බත්, වංශකතා පොත් වල ඓතිහාසික කරුණු වාර්තා කිරීම පිළිවෙලකට සිදුවී ඇත්තේ පස්වන සියවසේදී පමණ සිටය. ඊට පෙර වසර දහසක පමණ කාලය ගැන අප දන්නේ පස්වන සියවසේ ජීවත්ව සිටි අය දැන සිටි ඉතිහාසයයි. ඒ ඉතිහාසයෙන්ද, මහින්දාගමනයෙන් පසුව කාලයේ සිදුවූ සිදුවීම් මුඛ පරම්පරාවෙන් වුවත් සෑහෙන තරම් නිවැරදිව සම්ප්‍රේෂණය වී ඇතත් ඊට පෙර කාලය පිළිබඳව ඇත්තේ ඉතා අඩු විශ්වසනීයත්වයකි. කාලයත් සමඟ සැබෑ තොරතුරු වලට 'වඳුරු කුණුහරුප' වැඩි වැඩියෙන් එකතු වේ.



බුද්ධ ධර්මයද පරම්පරාවෙන් පරම්පරාවට මුඛ පරම්පරාවෙන් එද්දී අලුත් කොටස් එකතු වීම, පැවති කොටස් වෙනස් වීම හා ඉවත්වීම මෙන්ම අර්ථකතන වෙනස් වීමද දිගින් දිගටම සිදු වී තිබේ. ලංකාවේ සංස්කෘතිය තුළ ජීවත් වන කෙනෙක් බුද්ධ ධර්මය තේරුම් ගන්නේත් සම්ප්‍රේෂණය කරන්නේත් තමන්ගේ දැනුමට සාපේක්ෂවය. මේ වන විට ථෙරවාද බුද්ධාගම ලෙස හඳුනාගන්නා බුද්ධාගමේ ප්‍රභේද සියල්ල කිසියම් අවදියකදී ලංකාව හරහා අදාළ රටවලට සම්ප්‍රේෂණය වී ඇති නිසා ථෙරවාද බුද්ධාගමේ ඕනෑම ප්‍රභේදයක් ලංකාවේ සංස්කෘතික ලකුණු වලින් විනිර්මුක්ත නොවේ.


නිවැරදි ඉතිහාසය කුමක්දැයි තේරුම් ගැනීමට අප අසන හා කියවන ඉතිහාස කතන්දර වලින් මේ වඳුරු කුණුහරුප ඉවත් කරන්නට සිදුවේ. එහෙත්, මෙහි ඇති ගැටළුව සැබෑ ඉතිහාසය කුමක්දැයි හරියටම නොදන්නා අප විසින් අපේ දැනුමට සාපේක්ෂව සිතමින් අප හමුවේ ඇති ඉතිහාසයෙන් වඳුරු කුණුහරුප ඉවත් කරන්නට යාමේදී අවසාන වශයෙන් ඉතිහාසයට අප අතින් වඳුරු කුණුහරුප එකතු වන්නට ඉඩ තිබීමයි. ඒ නිසා, වඩාත්ම සුදුසු දෙය වන්නේ, කෙතරම් විශ්වසනීය නොවූවත්, ඓතිහාසික තොරතුරු විකෘති නොකරන අතරම අපේ කෝණයෙන් එම තොරතුරු විශ්ලේෂණය කිරීමයි. මෙය ආගමික සාහිත්‍යයටද අදාළය.


(Image: http://www.dailymail.co.uk/news/article-1094657/PICTURED-The-Japanese-snow-monkeys-enjoy-hot-bath.html)

15 comments:

  1. වඳුරු කුණුහරුප වලිනුත් ඉගෙන ගන්න සෑහෙන්න දේවල් තියෙනවා.. :)

    ReplyDelete
    Replies
    1. තව පරම්පරා කිහිපයකට පසු ඉතුරු වන වර්ෂන් එක ඔය වර්ෂන් එක වෙන්නත් පුළුවන්.

      Delete
  2. ආගමික කතාවලත් මිනිසුන් බොහෝ දෙනෙකු කැමති යාන්තමින් හෝ වඳුරු කුණුහරුප කෑලිවලට විතරයි.

    උදාහරණයක් ලෙස නලිනි ජාතකයේ මා කැමති බමුණා චූ කළ තැන තණකොල කෑ මුව දෙන ගැබ් ගත්තේ කෙසේද, රජු තම දියණිය ගණිකා වෘත්තියේ යෙදවූයේ කෙසේද වැනි දහම් කරුණු විශ්ලේෂණයට සහ එහි ඇති එවැනි වෙනත් දේ ගැන මිස තවමත් නොතේරෙන එහි ඇතැයි සැළකෙන වැදගත් පණිවඩයට නම් නොවේ!

    ReplyDelete
    Replies
    1. මෙය කලක් මමත් කැමැත්තෙන්ම සිටි ජාතක කතාවක්. මුවදෙන කෙසේ වෙතත්, කිසියම් අවස්ථාවක ගැහැණියක් ගැබ් ගන්නා ආකාර නමයක් ගැන බුදු හාමුදුරුවෝ කියපු තැනක් ගොඩාක් ඉස්සර බුදුසරණ පත්තරයක කියෙවුවා මතකයි. xxx රජුගේ අන්තඃපුර බිසවුන් 500කට yyy හිමි මාස හයක් දිනපතා බණ කියන්න යාමෙන් පසු බිසෝ වරු 500ම ගැබ් ගෙන yyy හිමිගේ කපාපු පළුව වගේ පුතුන් පන්සීයක් වැදීමෙන් පසුව xxx රජු හොඳටම අවුල් වෙනවා. ගැහැණියක් ගැබ් ගන්නා තවත් හේතු 8ක් ඇති බව xxx රජුට පැහැදිලි කර බුදු හාමුදුරුවෝ ප්‍රශ්නය විසඳනවා. ඒ අනුව පුරුෂයෙකු දැක ඒ පුරුෂයාගේ රූපය කෙරෙහි දැඩි ආශාවක් ඇති වීමෙන්, පුරුෂයෙකුගේ කටහඬ අසා ඒ කෙරෙහි දැඩි ආශාවක් ඇති වීමෙන් ආදී කරුණු නමයක් තියෙනවා. ඒ වෙලාවේ වෙලා තියෙන්නේ ඔය දෙවෙනි එක. යාන්තම් මතකයේ තියෙන මේ කතාව හරියටම තහවුරු කරගැනීම සඳහා මෙය තියෙන තැන මම කලක සිට හොයනවා. (දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න) දැන්නම් කෘතීම ගැබ් ගැන්වීම් නිසා මේ වගේ දේවල් වෙන්නත් පුළුවන්.

      Delete
    2. කෝසල රජ්ජුරුවෝ දේශපාලනයෙදි අති දක්ශයෙන්. අනිත් වැඩවලදී මෝඩයෙක්.
      එයා කවුරුහරි කියපු බොරුවකට ඇවිස්සිලා බුදුහාමුදුරුවො ලඟට ආවා. බුදුහාමුදුරුවෝ සම්‍යක්ප්‍රයෝගයක් කරලා එයා හරවා යැව්වා. ඕක එච්චරයි.

      Delete
    3. ඔය සිද්ධිය සඳහන් සූත්‍රය හෝ ත්‍රිපිටක කොටස මතකද?

      Delete
  3. ඉකොනොමැට්ටා මේ දිනවල ඉන් බිට්වීන් ජොබ් ද? නැති නම් මේ සමර් නිවාඩුව ද?

    ReplyDelete
    Replies
    1. මෙය අපේ ග්‍රීෂ්ම නිවාඩුව. ගිය අවුරුද්දේ ලංකාවට ගිය නිසා එය ඒ වෙනුවෙන්ම ගෙවී ගියත් අතරින් පතර කෙටි සංචාර හැරුණු විට මේ නිවාඩුවේ ටිකක් කාල වේලා තියෙනවා. රැකියා අතර කියන එකත් ටිකක් හරි වුනත් මෙවර රැකියා ස්ථානයේ වෙනසක් වෙන්නේ නැහැ. තනතුරේ සුළු වෙනසක් පමණයි. :)

      Delete
    2. එහෙම ඇහැව්වේ, එක ලිපියක තීන්ත වේලෙන්න කලින් තවත් එකක් පළ කරන නිසායි!

      Delete
    3. පහුගිය දවස් වල තීන්ත ගාන වැඩත් ටිකක් කළා. උෂ්ණත්වය ඉතා වැඩි නිසාත්, දිවා කාලය ඉතා දිගු නිසාත් තීන්ත ගාන පරක්කුවට වේලෙනවා. :) උත්තර අර්ධ ගෝලයට ග්‍රීෂ්ම සූර්ය නිවෘත්තිය හෙටනේ. රසිකලටනම් එහි අනිත් පැත්ත.

      Delete
  4. කතාවට අලුත් අර්ථකතනයක්. මේ අර්ථකථනයට මම කැමතියි. ඉකොන් ගේ ප්‍රියතම "ආවස්ථික පිරිවැයත් "කොහොම හරි රිංගල තියනවා.
    මම ලමයින්ට අන්දරේ ගේ කතා කියා දී තිබෙනවා. ඔවුන් වැඩියෙන්ම කැමති එක අන්දරේ සීනි කාපු හැටි. "මොට්ට රජා" රවටපු හැටි අගෙයි කියල දෙන්නම එකම විධිහට ඒ කතාවට කැමතියි. මම කිව්වේ ඒක දක්ෂ කම කියල. (රවටනවට වඩා.)

    ReplyDelete
    Replies
    1. අන්දරේ නම ඇසෙන විට මට දැනෙන්නේ ටිකක් රුසියන් ගතියක්. පොඩි කාලේ ඉඳලම රුසියන් කතාපොත් වල අන්ද්රෙයි නම දැකල පුරුදු නිසා වෙන්න ඇති.

      Delete
    2. ඔව් මගේ ළමයි හිතුවෙත් රුස්සෙක් කියල. අන්ද්රේ

      Delete
  5. (පෝස්ට් එකට අදාලද දන්නෙ නෑ.)
    මට fascinating දෙයක් තමයි ග්‍රීක් කතා හා හින්දු කතා අතර සමානතා. දේව මණ්ඩලවල සමානතාද ඇතුලුව. (ඉන්දු යුරෝපීය සම්බන්ධතා )

    සමහර ජාතක කතා වලටත් ග්‍රීක කතාවල බලබෑම තිබුනයි කියලා මත තියනවා

    ReplyDelete
    Replies
    1. වත්මන් (බටහිර) දැනුම හා ක්‍රමවේද බොහෝ දුරට පදනම් වී තිබෙන්නේ ග්‍රීක දැනුම මතනේ. පසුගිය වසර 200දී පමණ ප්‍රචලිතව තිබුණු මතය දැනුමේ උල්පත ග්‍රීසිය වගේ එකක්. විශේෂයෙන්ම, එයට ප්‍රධාන හේතුව අද ජීවත් වන කෙනෙකුට තේරුම් ගත හැකි පරිදි බොහෝ දේ ලිඛිතව ලියා ඉතිරි වී තිබෙන්නේ ග්‍රීසියේ වීමයි. පසුගිය වසර 10 පමණ ලියැවී ඇති පොත් වල (දැනුත් අතේ කිහිපයක් තියෙනවා) මේ අදහස අභියෝගයට ලක් කර තිබෙනවා. ඒවායේ කරුණු සහගතව පෙන්වා තිබෙන්නේ ග්‍රීසියට මේ දැනුම ලැබුණේ පෙරදිගින් (මිසරය, බැබිලෝනියාව) බවයි. ඒ කියන්නේ ග්‍රීසියේදී නිර්මාණාත්මක දෙයක් නොකෙරුණු බව නෙමෙයි. ග්‍රීසියේදී ඒ සංකල්ප වෙනස් හා වැඩි දියුණු වෙනවා. ඇතැම් ග්‍රීක දේව පිළිම හරියටම සමානව, නමුත් ඇඳුම් සහිතව මිසරයෙන් හමු වෙනවා. මිසර පිළිම වසර 2000ක් පරණයි. (පොතේ ඡායාරුප බැලූ විට සමානත්වය පැහැදිලිව පෙනෙනවා). ඉන් පසුවත් එකිනෙකට සම්බන්ධව හා සමාන්තරව ලෝකයේ කිහිප තැනක එකම දේවල් සිදු වී තිබෙනවා. ඒ වගේම ග්‍රීක ශිෂ්ඨාචාරය ගැන අද දන්නා දේ ගොඩක් පදනම් වෙන්නේ විශාල ප්‍රදේශයක පැතිරුණු හා සමජාතීය නොවූ, ග්‍රීක ශිෂ්ඨාචාරයේ එක් කුඩා නගරයක් පමණක් වන ඇතැන්ස් වල ඉතිරි වී ඇති දේ මත පදනම්ව. මිසර, බැබිලෝනියන් දැනුම ග්‍රීසියට යන්න පෙර ඉන්දියාවට පැමිණ තිබෙනවා. පසුව නැවත ඇලෙක්සැන්ඩර්ගේ කාලයේ පමණ සිට ග්‍රීසිය/රෝමය සමඟ නැවත දැනුම් හුවමාරුවක් දෙපැත්තටම වෙනවා. දැනුමට අමතරව පෞද්ගලික සම්බන්ධතා තුළ පවා මේ සම්බන්ධය තියෙනවා. දැන් අශෝක අධිරාජයා ගත්තත් 25%ක් ග්‍රීක්නේ. අශෝකගේ පියා බින්දුසාරව සීසර් ඔපරේෂන් එකකින් බිහි කිරීමේ සිද්ධිය තමයි පසුව ජුලියස් සීසර්ට ආදේශ වන්නේ. රාශි චක්‍රය ඉන්දියාවට ඇවිත් තියෙන්නේ ග්‍රීසිය හරහා.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.