Tuesday, August 16, 2022

උද්ධමනය හා බිස්කට් මිල


උද්ධමනය බිස්කට් මිල කෙරෙහි බලපාන්නේ කොහොමද? මේ ප්‍රශ්නයට දිය හැකි පිළිතුරේ කාට වුනත් තේරෙන ඉතා පැහැදිලි කොටසක් තිබෙනවා. උද්ධමනය වැඩි වෙනවා කියා කියන්නේ බිස්කට් හදන්න ගන්න පිටි, සීනි, තෙල්, කිරි, බිත්තර වගේ දේවල් වල මිල වැඩි වෙනවා කියන එක. එතකොට බිස්කට් එකක් හදලා කලින් ගාණට විකුණන්න බැහැ. ඔය ටික කාට වුනත් තේරෙනවා. හැබැයි ඔය කතාවේ ගොඩක් අයට එක පාරට නොපෙනෙන පැත්තකුත් තිබෙනවා. මේ සටහන ඒ නොපෙනෙන පැත්ත ගැනයි. 

වෙනත් බොහෝ දේවල් වගේම බිස්කට් හදන්නත් පිටි, සීනි, තෙල්, කිරි, බිත්තර වගේ අමුද්‍රව්‍ය අවශ්‍යයි. බිස්කට් ඔතන්න ඇසුරුම් අවශ්‍යයි. එතකොට යන්ත්‍ර ක්‍රියා කරවන්න විදුලි බලය අවශ්‍යයි. ඔය හැම දෙයක් සඳහාම අවශ්‍ය පිරිවැය වලට පොදුවේ විචල්‍ය පිරිවැය කියා කියන්න පුළුවන්. 

අපි හිතමු මේ විදිහට බිස්කට් පැකට් එකක් හදන්න යන විචල්‍ය පිරිවැය රුපියල් 100ක් කියලා. ඒ කියන්නේ පැකට් දෙකක් හදන්න වියදම රුපියල් දෙසීයයි. දාහක් හදන්න රුපියල් ලක්ෂයයි. බිස්කට් පැකට් මිලියනයක් හදන්න වියදම රුපියල් මිලියන සීයයි. පැහැදිලියිනේ. 

හැබැයි ඔය වගේ නිෂ්පාදනයක් කරන්න යන්නේ විචල්‍ය පිරිවැයක් පමණක් නෙමෙයි. ඊට අමතරව ස්ථිර පිරිවැයකුත් තිබෙනවා. ඒ කියන්නේ සේවක වැටුප්, යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි, වාහන ආදිය වෙනුවෙන් යන මුදල. එයිනුත් සේවක වැටුප් මාස්පතා ගෙවිය යුතු බව කාටත් පැහැදිලියිනේ. බිස්කට් හදනවද නැද්ද කියන එක අදාළ නැහැ. යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි, වාහන ආදිය වෙනුවෙන් මුදල් ගෙවිය යුත්තේ එකවර වුනත්, පැහැදිලි කිරීමේ පහසුවට මේ වියදම් දරා තිබෙන්නේ බැංකු ණයක් අරගෙන කියා අපි හිතමු. සෑම මාසයකදීම ඔය බැංකු ණය වෙනුවෙන් පොලිය හා ණය වාරික ගෙවිය යුතුයි. බිස්කට් හැදුවත් නැතත් ඒ වියදමත් යනවා. මේ සමස්ත වියදම මාසයකට රුපියල් මිලියන 50ක් කියලා අපි හිතමු. 

දැන් බිස්කට් හැදුවත් නැතත් මාසයකට රුපියල් මිලියන 50ක වියදමක් යනවා. මාසයකට හදන බිස්කට් ප්‍රමාණය පැකට් මිලියනයක් කියා අපි හිතමු. එතකොට එකකට රුපියල් 100 බැගින් තව රුපියල් මිලියන 100ක වියදමක් යනවා. මුළු වියදම රුපියල් මිලියන 150යි. ඒ නිසා, පාඩු නොවෙන්නනම් බිස්කට් පැකට් එකක් අඩු වශයෙන් රුපියල් 150කට විකුණන්න වෙනවා. 

දැන් ඔහොම තියෙද්දී උද්ධමනය නිසා පිටි, සීනි, තෙල්, කිරි, බිත්තර වගේ අමුද්‍රව්‍ය හැම එකකම මිල දෙගුණ වෙලා විචල්‍ය පිරිවැය රුපියල් 200ක් වෙනවා. එහෙම වුණාම, කලින් විකුණපු රුපියල් 150 මිලට බිස්කට් පැකට් එකක් විකුණන්න බැරි බව කාට වුනත් තේරෙනවනේ. අඩුම වශයෙන් රුපියල් 100කින්, ඒ කියන්නේ රුපියල් 250 දක්වා, මිල වැඩි කරන්න වෙනවා. 

ස්ථිර පිරිවැය වැඩි නොවී ඒ විදිහටම තිබුණා කියා අපි හිතමු. කලින් රුපියල් 150ට තිබුණු බිස්කට් පැකට් එකක් දැන් රුපියල් 250 වුනා කියලා ගොඩක් අය ඕක ප්‍රශ්නයක් කර ගන්න එකක් නැහැ. උද්ධමනය නිසා අමුද්‍රව්‍ය මිල ඉහළ ගිහින් බව කාට වුනත් තේරෙනවනේ. නමුත්, ඔය මිල රුපියල් 250 නොවී රුපියල් 450ක් වුනොත් ඔන්න ගොඩක් අය අවුල් වෙනවා. මොකද මෙතැන ගොඩක් අයට පැහැදිලිව නොපෙනෙන කතාවකුත් තියෙනවා.

දැන් ඔය විදිහට උද්ධමනය නිසා බඩු මිල ඉහළ යද්දී තවත් දේවල් වෙනවා. ගොඩක් අයට තමන්ගේ ආදායමෙන් කලින් මිල දී ගත් දේවල් සියල්ලම මිල දී ගන්න බැහැ. එහෙමයි කියලා හාල්, පොල් වගේ අත්‍යාවශ්‍ය දේවල් මිල දී නොගෙන ඉන්නත් බැහැ. කපා හරින්න වෙන්නේ අත්‍යවශ්‍ය නොවන වියදම්. බිස්කට් කියා කියන්නේ ගොඩක් අයට අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයිනේ. ඒ නිසා, මිල වැඩි නොවුනත් යම් පිරිසක් බිස්කට් මිල දී ගන්න එක නවත්වනවා. නැත්නම් අඩු කරනවා. 

දැන් මෙහි ප්‍රතිඵලයක් විදිහට මාසයකට විකිණෙන බිස්කට් ප්‍රමාණය පැකට් මිලියනයේ සිට මිලියන බාගයට අඩු වුනා කියමු. ඒ කියන්නේ මාසයකට යන විචල්‍ය පිරිවැය (රුපියල් 200 බැගින්) නැවතත් මිලියන 100 දක්වා අඩු වෙනවා. ස්ථිර පිරිවැය තවම වැඩි වෙලා නැති නිසා ඒ මිලියන 50 තවම ඒ විදිහටම තියෙනවා. එතකොට මුළු වියදම රුපියල් මිලියන 150යි. හැබැයි හදන්නේ බිස්කට් පැකට් මිලියන බාගයක් නිසා පැකට් එකක පිරිවැය දැන් රුපියල් 300ක් වෙලා. 

නමුත්, ඔය වැඩේ ඔය විදිහටම වෙන්නේ නැහැ. බිස්කට් පැකට් එකක මිල වැඩි වෙද්දී ඒ හේතුව නිසාත් ඉල්ලුම අඩු වෙනවා. ඒකත් කාටත් පැහැදිලියිනේ. අපි හිතමු දැන් මාසයකට විකිණෙන්නේ බිස්කට් පැකට් ලක්ෂ දෙකක් පමණයි කියලා. විචල්‍ය පිරිවැය රුපියල් මිලියන 40ට බහිනවා. හැබැයි ස්ථිර පිරිවැය මිලියන 50 ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ මුළු වියදම රුපියල් මිලියන 90යි. බිස්කට් පැකට් ලක්ෂ දෙකයි. පැකට් එකක අවම පිරිවැය රුපියල් 450යි.

බිස්කට් හදන්න ගන්න අමුද්‍රව්‍ය වල මිල, ඒ කියන්නේ විචල්‍ය පිරිවැය, වැඩි වෙලා තියෙන්නේ රුපියල් 100කින් පමණයි. ස්ථිර පිරිවැය වැඩි වෙලාම නැහැ. සමාගමේ ලාබ සතේකින්වත් වැඩි වෙලත් නැහැ. හැබැයි රුපියල් 150ට තිබුණු බිස්කට් පැකට් එක දැන් රුපියල් 450ක් වෙලා.

මොන හේතුවකින් හරි මාසයකට විකිණෙන බිස්කට් පැකට් ගණන ලක්ෂය දක්වා අඩු වුනොත් මොකද වෙන්නේ? දැන් විචල්‍ය පිරිවැය රුපියල් මිලියන 20ට බහිනවා. ස්ථිර පිරිවැය මිලියන 50 ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ මුළු වියදම රුපියල් මිලියන 70යි. බිස්කට් පැකට් එකක් විකුණන්න වෙන්නේ අවම වශයෙන් රුපියල් 700කට. නමුත්, ඔය මිලට ඇතැම් විට බිස්කට් පැකට් ලක්ෂයක් විකුණාගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට වෙන්නේ තරඟකාරී සමාගම් අතරින් අල්ලාගෙන ඉන්න වඩාම අමාරු සමාගම වැහිලා යන එක. 

කලින් තිබුණේ සමාගම් දෙකක් පමණක්නම්, දැන් ඒ දෙකෙන් එකක් වැහුණු ගමන් නැවතත් තත්ත්වය වෙනස් වෙනවා. මාසයකට පැකට් ලක්ෂය බැගින් සමාගම් දෙකක් අතර බෙදී ගිහින් තිබුණු ඉල්ලුම එක සමාගමකට යනවා. එතකොට ඉල්ලුම පැකට් ලක්ෂ දෙකක් වෙනවා. ඒ ගාණ විකිණෙනවානම් පැකට් එක රුපියල් 450 බැගින් දීලා වියදම ආවරණය කර ගන්න පුළුවන්. ඒ නිසා, උද්ධමනය දිගටම ඉහළ මට්ටමක තිබුණොත් ඔය වැඩේ වෙලා දැනට ක්‍රියාත්මකව තිබෙන කර්මාන්තත් එකින් එක වැහිලා යන්න පුළුවන්. ඉල්ලුම අඩුවෙන තරමට වැඩේ ඉක්මන් වෙයි.

ලංකාවේ ඇතැම් නිෂ්පාදන අංශ වල සමාගම් සීයක් දෙසීයක් නැතිව දෙක තුනක් පමණක් තියෙන්නේ ඇයි කියන එකත් මේ කතාව ඇසුරෙන්ම පැහැදිලි කරන්න පුළුවන්. ඒක කිසියම් පිරිසකගේ ඒකාධිකාරයක් හෝ මාෆියාවක් නෙමෙයි. ස්ථිර පිරිවැය සැලකිය යුතු දෙස වැඩි කර්මාන්තයකට ක්‍රියාත්මකව පවතින්න කිසියම් අවම ඉල්ලුමක් අවශ්‍යයි. ලංකාව වගේ කුඩා වෙළඳපොළක් තිබෙන රටක බිස්කට් නිපදවන කර්මාන්ත සීයක් පමණ පවතින්න බැහැ. වෙන කර්මාන්තයක් ගත්තත් කතාව ඒකයි. එහෙම පුළුවන් වෙන්නේ අපනයන වෙළඳපොළ ඉලක්ක කළ හැකිනම් පමණයි. නමුත් මේ වගේ කර්මාන්තයකට අපනයන වෙළඳපොළ වෙත පිවිසෙන්න පුළුවන් වෙන්නේත් රට ඇතුළේ පාදක ඉල්ලුමක් තිබේනම් පමණයි. 

සාමාන්‍යයෙන් ඕනෑම නිෂ්පාදන කර්මාන්තයක සැලකිය යුතු ස්ථිර පිරිවැයක් තිබෙනවා. සේවා නිෂ්පාදන වලට මේ ප්‍රශ්නය නැහැ. ලංකාව වගේ කුඩා වෙළඳපොළක් තිබෙන රටක දේශීය ඉල්ලුම පමණක් ඉලක්ක කරගෙන නිෂ්පාදන කර්මාන්ත වැඩි දියුණු කරන්න යාමේදී මතු වන අභියෝගය මේකයි. ස්වීඩනය වගේ විශාල ජනගහණයක් නැති, එහෙත් දියුණු, රටවල දැකිය හැක්කේ වොල්වෝ, එරික්සන්, ඊකෙයා වගේ ලෝක වෙළඳපොළේ තරඟ කරන සමාගම් මිසක් දේශීය වෙළඳපොළ අල්ලගන්න එකිනෙකා එක්ක තරඟ කරන සමාගම් නෙමෙයි. එහෙම කරන්න පුළුවන් ලොකු දේශීය ආර්ථිකයක් තිබෙන ඇමරිකාව වගේ රටවල් තුළයි. ජනගහණය අඩු රටකට ගොඩ යන්න ලොකු සමාගම් කිහිපයක් ඇති. 

29 comments:

  1. ලොකු ලොකු මෝරු ගැලවෙති පොඩිවුන් නැසෙතී
    වෙළෙඳ ලොවක පවතින්නේ එහෙම ගතී
    කුණාටුවකදී මහ ගස් ඇද වැටෙතී
    තණකොළවල‍ට ඒ වගෙ ප්‍රශ්නයක් නැතී

    ReplyDelete
  2. මට මේකේ කරුණු දෙකක් පැහැදිලි කර ගන්න ඕනි. ඉකොනෝ කියන විදියට ඔය කරුණු කාරණා සේරම සලකා බලලා විස්කෝතු සමාගම් දෙක මිල වැඩි කරා නං ඇයි ඒ අය ඊයේ ප්‍රෙස් එකක් තියලා කිවේ අපේ විස්කෝතු කාලා අපිට සහය දෙන්න කියලා. අනික විස්කොතු සමාගම් දෙකේම විස්කෝතු වර්ග වල මිල එක සමානයි. රුපියලක් වත් අඩු වැඩි නැහැ.

    දෙවැනි කාරනේ ලංකාව වගේ කුඩා වෙළඳපලක කර්මාන්ත විශාල සංඛ්‍යාවක් පවතින්න බැහැ කිව්වට අරක්කු හදන සමාගම් කීයක් තියෙනවද? ඒ අය කිසිම දැන්වීමක් වත් දාන්නේ නැතුව අරක්කු විකුනන්නේ සමෝසමේ.
    ඒ තියා ගමක් ගත්තත් දේශීය මත්පැන් නිෂ්පාදන කරන කර්මාන්තකරුවන් කී දෙනෙක් ඉන්නවද? මුළු රටේම ලක්ෂයක් විතර ඇති අඩුම.

    ReplyDelete
    Replies
    1. //ගමක් ගත්තත් දේශීය මත්පැන් නිෂ්පාදන කරන කර්මාන්තකරුවන් කී දෙනෙක් ඉන්නවද? මුළු රටේම ලක්ෂයක් විතර ඇති අඩුම.//

      මේ කියන එකම තමයි හේතුව. "දේශීය මත්පැන් නිෂ්පාදන" වල ස්ථිර පිරිවැය ඉතාම අඩුයිනේ. ඒ නිසා, එම පිරිවැය ආවරණය කර ගැනීමට විශාල ඉල්ලුමක් අවශ්‍ය නැහැ. නිෂ්පාදකයින් විශාල ගණනකට පවතින්න පුළුවන්. පාන් හදන එක වගේ දෙයක් ගත්තත් එහෙමයි.

      Delete
    2. ' ලංකාව වගේ කුඩා වෙළඳපොළක් තිබෙන රටක බිස්කට් නිපදවන කර්මාන්ත සීයක් පමණ පවතින්න බැහැ. වෙන කර්මාන්තයක් ගත්තත් කතාව ඒකයි.' -ඉකොනොමැට්ටා

      ඔබගේ ලිපියෙන් අදහස් වන්නේ ලංකාව වගේ කුඩා වෙළඳපොළක් තිබෙන රටක බිස්කට් නිපදවන කර්මාන්ත සීයක් පමණ පවතින්න බැහැ. වෙන කර්මාන්තයක් ගත්තත් කතාව ඒකයි කියා. එහෙම නැතුව පාන් හදන කතාවක් කියලා නැහැනේ. ඉකොනෝ හැමදාම පොස්ට් වලින් නාගන්නේ මේ නිසා. පොස්ට් එකේ කියන දේට හාත්පසින්ම වෙනස් දෙයක් කොමෙන්ට් වලින් කියනවා. සමහර විට ඉකොනෝ පොස්ට් එකෙන් කියන්න හදන දේ හරියට පැහැදිලි කරන්නේ කොමෙන්ට් වලින් වෙන්නට ඇති.

      ඒ උනාට ඉකොනොගේ ලිපි වලින් පල වන්නේ ඔබ අදහස් කරන දෙය නොවන්නට ඇතිබවයි පෙන්නේ අපට

      Delete
    3. "වෙන කර්මාන්තයක් ගත්තත් කතාව ඒකයි." කියා කියන්නේ ලිපියේ කියන සමස්ත කතාව ගැන මිසක් සීය කියන අංකය ගැන නෙමෙයි. සීයද. දාහද, එකද කියන ගණන තීරණය වන්නේ අදාළ නිෂ්පාදන කර්මාන්තයේ ස්ථිර පිරිවැය, විචල්‍ය පිරිවැය හා වෙළඳපොළ පරිමාව (ඉල්ලුම) මත.

      //සමහර විට ඉකොනෝ පොස්ට් එකෙන් කියන්න හදන දේ හරියට පැහැදිලි කරන්නේ කොමෙන්ට් වලින් වෙන්නට ඇති.//

      ඔබ නිවැරදියි. ප්‍රතිචාර දමන්න ඉඩ දී තිබෙන්නේ ඒ සඳහා. බ්ලොග් ලිපියක යමක් විස්තර කළ හැකි සීමාවක් තිබෙනවා. ගොඩක් අයට අනුව මෙහි දමන ලිපි දිග වැඩියි. එසේ දිග වැඩි වී තිබෙන්නේ අවශ්‍ය පමණ පැහැදිලි කළ යුතු නිසා. නමුත් කතා කරන කරුණ වඩා සංකීර්ණ වෙද්දී බොහෝ විට ඒ පැහැදිලි කිරීම් ටිකත් ප්‍රමාණවත් නැහැ. ලිපියේ කරුණු වලට අදාළ ප්‍රශ්න මතු වන හැම විටකම මේ අමතර පැහැදිලි කිරීම් කර තිබෙනවා. ඇතැම් විට අමතර ලිපි ලියා තිබෙනවා. නමුත් කණගාටුවට කරුණ ගොඩක් අය ප්‍රතිචාර දැමීමේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නේ අදාළ නොවන දේ සඳහා වීමයි.

      Delete
  3. This is not directly related to this, but it would be great if you could explain and give your opinion. This part was taken from an article written by Kusal Perera "යුරෝපා සංගමයේ ආර්ථික හා මූල්‍ය කටයුතු අධ්‍යක්ෂ ජනරාල්ගේ කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කර ඇති “යුරෝපා සංගමයේ රාජ්‍ය සතු ව්‍යවසාය ඃ පශ්චාත් අර්බුද සන්දර්භයක උගත් පාඩම් හා ඉදිරිය” මැයෙන් වන ආයතනික පත්‍රිකා අංක 031/ජුලි 2016 ට අනුව, “දියුණු ආර්ථිකයන්හි වත්කම් හා රැකියා සඳහා වැඩි දායකත්වයක් ඇත්තේ රාජ්‍ය සතු ව්‍යාපාර වලින් ය.

    ආර්ථික සහයෝගිතා සහ සංවර්ධනය සඳහාවන සංවිධානයේ (OECD -Organisation for Economic Co-operation and Development) සාමාජික රටවල් එකතුව ගත් විට, බහුතර හිමිකාරිත්වයක් ඇති රාජ්‍ය ව්‍යාපාර සතු වත්කම්වල වටිනාකම ඩොලර් බිලියන 2,000 ක් පමණ වේ.

    ජාලගත කර්මාන්ත ක්ෂේත්‍රයන්හි රාජ්‍ය සතු ව්‍යාපාර වැදගත් කාර්ය භාරයක් ඉටු කරති. OECD සංවිධානය ගණන් බලා ඇති ආකාරයට, බල ශක්ති හා ප්‍රවාහන අංශයන්හි සමස්ථ වටිනාකමින් සියයට 40 ක් පමණ ඇත්තේ රාජ්‍ය සතු ව්‍යාපාර වලය. රැකියා වලින්ද සියයට 43 ක් පමණ ඇත්තේ රාජ්‍ය සතු ව්‍යාපාර වලය......... එවගේම ප්‍රංශය, ඉතාලිය, ස්වීඩනය වැනි යුරෝපා සංගමයේ පළමු රටවල් 15 වේද රාජ්‍ය සතු ව්‍යාපාර කැපී පෙනෙති.”



    එම වාර්තාවට අනුව, දියුණු කලමනාකාරිත්වයකට අමතරව, රාජ්‍ය සතු ව්‍යාපාරවල සාර්ථකත්වය ඇත්තේ ඒවායේ තොරතුරු කෙතරම් විවෘතද යන්න මත හා වගවීම් පිළිබඳ නෛතික බැඳීම් කෙතරම් ශක්තිමත්ද යන්න අනුවය. එවගේම එම අධ්‍යනයට අනුව, රාජ්‍ය සතු ව්‍යාපාරවල අරමුණු ඇතැම් විට ලාභ ලැබීමට එහා යන සමාජ ප්‍රගමණය හා බැඳෙන හෙයින් ඒවා නියාමනය කිරීමේ දියුණු ක්‍රමවේද සැකසිය යුතුව ඇත.



    "

    ReplyDelete
  4. ආසියාවෙ වැඩියෙන්ම බිස්කට් කන රටවලින් එකක් ලංකාව. අවුරුද්දකට එක පුද්ගලයෙක් කිලෝ 4ක් විතර. ප්‍රධාන බිස්කට් නිෂ්පාදකයො දෙන්නම ලෝක වෙළඳපල අල්ලලා නේද තියෙන්නෙ? මේ මිල වැඩිවීම කල දුටු කල වල ඉහගන්න දරණ උත්සහයක් බවයි පාරිභෝගික මතය.

    ReplyDelete
    Replies
    1. රටේ ජනගහනයට සාපේක්ෂව වැඩියෙන්ම මාරි විස්කෝතු කම්හල් තියෙන්නේ ලංකාවෙද මන්දා?
      https://en.wikipedia.org/wiki/Marie_biscuit

      Delete
    2. //මේ මිල වැඩිවීම කල දුටු කල වල ඉහගන්න දරණ උත්සහයක් බවයි පාරිභෝගික මතය.//

      ඒක තමයි ලිපියෙන් විස්තර කළේ.

      Delete
    3. @ ජගත් පතිරණ,

      ගෝලීය ආර්ථිකමය ලිබරල්වාදීන් (සහ ලංකාවේත් උන්ගේ අදහස් පසුපස දුවන වහල් අනුකාරකයන්) නිතර කියන බයිලාවක් තමයි ආර්ථිකයට රාජ්‍ය මැදිහත්වීම අවම කරලා හෝ නැතිම කරල නිදහසේ ගලායන්න දෙන්න කියන එක (ඒත් වැඩේ තියෙන්නෙ අපි මේක කරාට අනෙක් රටවල් මේක කරන්නෙ නැති එක. චීනෙ ඉන්දියාව වගේ ඔබිවියස් ප්‍රතිඋදාහරණ පැත්තකින් තියමු. අච්චර සාධරණ සාන්ත දාන්ත අයිඑම්එෆ් එකේ තීන්දුවලට බලපෑම් කරන්න නිෂේධ බලය තියෙන එකම සාමාජික රට ඇමරිකා එක්සත් ජනපදය දිහා බලන්න, වෙනත් වචනවලින් කියනවානං ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යය අනුමත නොකරන කිසිම යෝජනාවක් අයිඑම්එෆ් එකේ සම්මත වෙන්නෙ නැත).

      මෙතනදී මට ප්‍රශ්නය තියෙන්නෙ ආර්ථිකමය ලිබරල්වාදීන්ද නිශ්චිත අවස්ථාවල රාජ්‍යය ආර්ථිකයට කරන මැදිහත්වීම් අනුමත කරනවා.

      උදාහරණයක් විදිහට මේ කාලයෙ බටහිර ලිබරල් ආණ්ඩු තියෙන රටවල් හැම එකක්ම දැවැන්ත ලෙස 'හරිත බලශක්තියට' ආයෝජනය කරනවා. සහනාධාර දෙනවා. ඒ විතරක් නොව විදුලි කාර් වගේ 'හරිත බලශක්තිය' එක්ක ගැටගැහිච්ච අනෙක් කර්මාත්නවලටත් සහනාධාර දෙනවා. ඒ විදියට තමයි මේ ආර්ථික වශයෙන්, බලශක්ති ස්ථාවරත්වය පැත්තෙන් මෙන්ම පරිසරයටත් ඉතාම අවාසිදායක 'හරිත බලශක්ති' කතාව නඩත්තු කරන්නේ.

      මේකට අපි මෑත කාලීන තව උදාහරණයක් ගත්තොත් කො-වි-ඩ් ආපු වෙලේ වැ-ක්-සි-න් එකක් හදන්න කියා ට්‍රම්ප් ආණ්ඩුව ඩොලර් බිලියන ගාණක් ඖෂධ සමාගම්වලට ප්‍රධානය කරා. ඒ ඇමරිකානු ජනතාවගෙ මුදල්. ඒක එක හේතුවක් උනා ඔච්චර ඉක්මනට වැ-ක්-සි-න් මාකට් එකට එන්න. යුරෝපා රාජ්‍ය එකතුවෙන් හැදුණු සුපිරි ව්‍යුහයක් වන යුරෝපා සංගමයත් වැ-ක්-සි-න් නිපදනවන්න සහ බෙදා හරින්න විශාල ලෙස ආයෝජනය කරල තියෙනවා. මේවයෙන් ලාභ ලබන්නෙ ඖෂධ සමාගම්. ඒ විතරක් නොවේ රාජ්‍ය මැදිහත්වීමෙන් නීති දාල වැ-ක්-සි-න් ගන්න අනිවාර්ය කිරීම් බලකිරීම් ලෝකෙම කරා. එයින් මේ සමාගම්වලට ගැරන්ටීඩ් මාකට් එකක් හැදුණා. වෙළදපොල තෝරාගැනීම් බල්ලට ගියා. මේක තනිකරම රාජ්‍ය ධනවාදයක්.

      හැබැයි ඉතින් මේ එකකටවත් ආර්ථිකමය ලිබරල්වාදීන් විරුද්ධ වෙනව මං දැකල නෑ. ඔවුන් බොහෝවිට මේව අනුමතත් කරනවා. ඒකට හේතුව ඔවුන් බොහෝවිට දේශපාලනිකවත් ලිබරල්වාදීන් නිසා. ගෝලීය ලිබරල් දේශපාලනික න්‍යායපත්‍රය වෙනුවෙන් බලහත්කාරී රාජ්‍ය මැදිහත්වීම ඔවුන් අනුමත කරනවා. ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාව විසින් පත් කරගන්නා ආණ්ඩු විවිධ කපටි උපක්‍රම සැලසුම් කර බලයෙන් පහ කර මහජන ඡන්දය නැති තම්න්ගේ හිතවාදී හෙංචයියන්ට බලයට පත් කරමින් තම ඇජෙන්ඩා ක්‍රියාත්මක කිරීමට ඔවූන් ඉතා උප්ක්‍රමශීලීව කටයුතු කරන අතර ඒවාට කිසිම විවේචනයක් එල්ල වෙන්නේ නැහැ.

      මේ නිසා අපට සරලව කියන්න පුළුවන් නිශ්චිත අවස්ථාවල ආර්ථිකයට සහ වෙළදපොළට රාජ්‍ය මැදිහත්විම ඔවුන් අනුමත කරන බව්, ඒ ඔවුන්ගෙ දේශපාලනික න්‍යායපත්‍රයට එකගනං විතරයි හැබැයි.

      Delete
  5. ලංකාවේ කෙනෙක්ට වරකා ජෑම් හදලා දියුණුවෙන්න ඇහැකිද?

    ReplyDelete
    Replies
    1. බැරි වෙන්න විශේෂ හේතුවක් නැහැ.

      Delete
  6. අපනයන වෙළෙඳපොළ ඉළක්ක කරගත් මන්චි, මැලිබන් වගේ ආයතනවලට, පාදක දේශීය වෙළෙඳපොලේ කුඩා ඉල්ලුම බලපානවද?

    ReplyDelete
    Replies
    1. මගේ උපකල්පනය මේ ආයතන වල නිෂ්පාදන වැඩි වශයෙන්ම (90% පමණවත්) විකිණෙන්නේ ලංකාවේ කියන එකයි. මට සංඛ්‍යාලේඛණ හමු වී නැහැ. එය එසේ නොවේනම් තත්ත්වය වෙනස්.

      Delete
  7. ඔබ පසුගිය දිනක බිස්කට් නිෂ්පාදකයකින් විසින් ඒකාබද්ධව පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාව දකින්න ඇති. එයාල කියනව ඔබ කියන ආකාරයෙන් විචල්‍ය පිරිවැය ඉහළ ගිහින් තියෙන්නෙ. ඒ නිසයි මේ මිල වැඩි. කරුණාකර පරිබෝජනය අඩු කරන්න එපා. එහෙම කළොත් මේ කර්මාන්තය බිද වැටෙයි. රැකියා නැති වෙලා යයි කියල.
    ඔබට පේනවාද මේ නිෂ්පාදකයින්ට අවශ්‍ය වන්නේ වෙළඳපල ක්‍රමය පවත්වාගෙන යාම සඳහා පාරිභෝගිකයන් මිසක් සාධාරණ ලාභ පංගුවක් නොවන බව. මන්ද යුරෝපා වෙළද කොතරම් ධනවාදී ක්‍රමයක් පවත්වාගෙන ගියත් මෙවැනි අවස්ථාවලදී මීට වඩා මානූෂීය වූ බවට උදාහරණ තියෙනව.
    පූර්ණ ධනවාදී ක්‍රමයකට අවශ්‍ය වන්නේ කෙසේ හෝ මිලදී ගන්නා පාරිභෝගිකයන් පිරිසක් පමණක් බවට ඉහත නිෂ්පාදකයින්ගේ ප්‍රකාශයෙන් පැහැදිලියි.
    ඒ වගේමයි සමාජවාදී හෝ පූර්ණ රාජ්‍ය මැදිහත්වීමක් සහිත වෙළදපලකදී ඉතා අඩු ගුණාත්මක
    තත්වයකින් යුක්ත බිස්කට් එකක් හදල සමූපකාර සලාක ක්‍රමයකට බෙදල දෙන්න පුළුවන්.
    මේ ක්‍රම දෙක තුළ ඔබ තෝරාගනු ලබන විකල්පය මා දන්නව. නමුත් ඒ ඇයි කියල පැහැදිලි කරන්න පුළුවන්ද? නමුත් බිස්කට් කියන්නෙ විකල්ප සහිත අත්‍යාවශ්‍ය නොවන දෙයක් බවනම් අපි හැමෝම දන්නව.

    ReplyDelete
    Replies
    1. බිස්කට් නිෂ්පාදකයකින් විසින් මීට පෙර ඔය වගේ මාධ්‍ය සාකච්ඡා තිබ්බේ නැහැනේ. ලාබ තියෙනවානම් ඔහොම ඉල්ලීම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය වගේ තැනකට වැටී ඇත්තේ වෙන කරන්නම දෙයක් නැති තැනයි.

      Delete
  8. නන්දලාල් වීරසිංහ චමුදිත එක්ක සාකච්ංහාවෙදි කිව්ව නේද ඕවර් ඉන්වොඉසින්ග් කරන නිසා ඩොලර් එන්නෙනෑ කියල. ඔබේ පහුගිය ලිපියෙකියපුකරුනු වැරදිද ඒ කියන්නෙ?

    ReplyDelete
    Replies
    1. මම ඔය සාකච්ඡාව බලලා නැහැ. මගේ ලිපියෙන් මම ඕවර් ඉන්වොඉසින්ග් සිදු නොවන බව කියලත් නැහැ. සිදු විය හැකි ප්‍රමාණය ගණන් හදලා පෙන්නලත් තියෙනවා. ඕවර් ඉන්වොඉසින්ග් සිදු වනවානම් එයට ප්‍රධානම හේතුව මහ බැංකුවේ විණිමය ප්‍රතිපත්තියේ හා මුදල් ප්‍රතිපත්තියේ වැරැද්ද. රුපියල මහ බැංකුව කියන තරම්ම වටිනවානම් කාටවත් රුපියල් ඩොලර් කර රටින් පිට කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. (ඓතිහාසික වැරැද්දක් මහ බැංකුවට එකවර නිවැරදි කළ හැකියි කියා මම කියන්නෙත් නැහැ).

      Delete
    2. ඔව් ඒක තමයි දැන ගන්න ඇහුවෙ.
      ඔබේ ලිපිය අනුව ඕවර් ඉන්වොඉසින්ග් යම් තරමක් සිදූඋනත් ඒක පහුගිය අවුරුදු 10 බිලියන 40ක් තරම් වෙන්න විදියක් නෑ කියන අදහස තමයි ආවෙ.
      නමුත් මහබැන්කු අදිපති කියන්නෙ 80% විතරම ඕවර් ඉන්වොඉසින්ග් කරල රටට නොගෙන ඉන්නවලු.ඇඟලුම වල අමුද්‍රව්‍ය උදාහරනයට ගෙන ඔහු කිව්වෙ ඒ වගෙ කතාවක්.

      Delete
    3. ලින්ක් එකක් තියෙනවද?

      Delete
    4. https://youtu.be/EhBK2DHcpZA
      විනාඩි 34 විතර ඉඳල බලන්න

      Delete
    5. ලින්ක් එකට ස්තුතියි! මෙම සාකච්ඡාවේ කිසිම තැනක 80% විතරම ඕවර් ඉන්වොයිසින් කරලා රටට නොගෙන ඉන්න බවක් මහ බැංකු අධිපති විසින් කියන්නේ නැහැ. අඩුම වශයෙන් ඒ වචනය හෝ භාවිතා කරන්නේ නැහැ (මට මග හැරී ඇත්නම් කියන්න). ඔහු කියන්නේ පසුගිය මාස පහේ අපනයන ආදායම් වලින් 80%ක්ම එම අපනයනකරුවන් විසින්ම ආනයන හා ණය ගෙවීම් වෙනුවෙන් වැය කර ඇති බවයි. ඔහු කියන්නේ අමුද්‍රව්‍ය ආනයනය සඳහා 60%ක් ගියා කියන එක පිළිගත හැකි වුවත් 80% ගියා කියා පිළිගත නොහැකි බවයි. මේ ප්‍රකාශය ඇතුළේ ඕවර් ඉන්වොයිසින් කිරීම පිළිබඳ ඉඟියක් ඇති බව කෙනෙකුට කියන්න පුළුවන්. මමත් එහෙම හිතනවා.

      දැන් මෙහි මහ බැංකු අධිපතිවරයා විසින් සඳහන් කරන 60% ඔහුගේ විශ්වාසයක් පමණයි. එය දත්ත මත පදනම් වූ ප්‍රකාශයක් නෙමෙයි. මේ ප්‍රතිශතය කවුරුවත්ම හරියටම දන්නේ නැහැ.

      ලංකාවේ අපනයන හැම එකක් වෙනුවෙන්ම ආනයනික යෙදවුම් අවශ්‍යයි. ඒ නිසා, අපනයන ආදායම ලෙස සංඛ්‍යාලේඛන වල තිබෙන ගණන ශුද්ධ විදේශ විණිමය ගලනයක් නෙමෙයි. ඒ අපනයන ටික හදන්නම යම් විදේශ විණිමය ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මෙම ප්‍රමාණය ගැන දැන ගැනීම ඉතා වැදගත්. මේ බව මම පහත ලිපියේ විස්තර කර තිබෙනවා.

      ඩොලර් බැලන්ස් කිරීමේ ප්‍රශ්නය
      http://economatta.blogspot.com/2022/07/blog-post_28.html

      මේ සාකච්ඡාව අනුව මහ බැංකුව විසින් මෙම දත්ත එකතු කරන්න පටන් අරන් තියෙන්නේ (අදාළ දිනයට) සතියකට කලින්. ඊට කලින් කවදාවත් මහ බැංකුව එම දත්ත එකතු කර නැහැ. අපනයනකරුවන් විසින් ආනයන හා ණය ගෙවීම් වෙනුවෙන් තමන්ගේ ඩොලර් වලින් 80%ක්ම වැය කර තිබෙන බව හොයා ගෙන තිබෙන්නේ සාකච්ඡාවට සතියකට කලින් හෝ දවස් ගණනකට කලින්. නමුත්, එය ඕවර් ඉන්වොයිසින් කර ඇති බවට සාක්ෂියක් නෙමෙයි. මහ බැංකු අධිපතිවරයා 60%ක් කියා හිතාගෙන හිටියත් 80%ක්ම ඇත්තටම අවශ්‍ය වෙනවා වෙන්න පුළුවන්. කාලයක් තිස්සේ දත්ත එකතු කරලා මේ ගණන 60% විය යුතු බව තහවුරු කරගෙන තිබුණානම් වෙනසක් තිබෙන බව පැහැදිලියි.

      අපි කියමුකෝ අමුද්‍රව්‍ය පිරිවැය 60% විය යුතු බව. නමුත්, ඉතිරි 20% ගත්තේ ණය ගෙවන්න වෙන්න පුළුවන්. මහ බැංකු අධිපතිවරයා විසින්ම ණය ගෙවපු කතාව කියනවා. මහ බැංකුවට ලැබුණු දත්ත විශ්ලේෂණය කළානම් ඔය කොටස් දෙක හරියටම බලා ගන්න තිබුණා.

      පසුගිය කාලය පුරාම ඩොලර් වලට විශාල ඉල්ලුමක් තිබුණා. ඒ බව කවුරුත් දන්නවා. ඒ වාතාවරණය තුළ අපනයනකරුවන්ට තමන්ට ලැබී ඇති ඩොලර් වලට අමතරව අනාගතයේ ලැබෙන්න නියමිත ඩොලර්ද විකුණන්න අවස්ථාව ලැබුණා. ඒ විදිහට කලින්ම විකුණපු ඩොලර් දැන් මිල දී ගත් අයට දෙමින් සිටිනවා වෙන්න පුළුවන්. ඒ වගේම, විදේශ කොටස්හිමියන්ට තමන්ගේ ලාභාංශ ලෙස ලැබුණු රුපියල් ඩොලර් කර රටින් ගෙන යාමේ ප්‍රශ්නයක් තිබුණා. යම් තරමකින් ඒ වැඩෙත් වෙනවා වෙන්න පුළුවන්. ඔය දේවල් වලට අමතරව යම් ප්‍රමාණයකින් ඕවර් ඉන්වොයිසින් කිරීමත් සිදු වෙනවා විය හැකියි. නමුත් කිසිසේත්ම 80% විතරම ඕවර් ඉන්වොයිසින් වෙන්න විදිහක් නැහැ. මහ බැංකු අධිපතිවරයා එවැනි කතාවක් කියන්නෙත් නැහැ.

      Delete
    6. තැන්ක්ස් පිලිතුරට.නැවත අහල බලන්න ඕන.

      Delete
    7. ඔබ කියපු කොටස ආසන්න ටික පමණයි බැලුවේ. අවසානය දක්වානම් බැලුවේ නැහැ. හැබැයි මේ ගැන අදහස් දක්වන්නේ ඒ කොටසේ.

      Delete
  9. ඉකොනොමැට්ටා,

    ලංකාවේ විස්කෝතු කර්මාන්තය ගැන පවසතොත් මිනිස්සුන්ට ඔය ගාණට බිස්කට් කන්න සල්ලි නෑ. බිස්කට් කියන්නේ අත්‍යාවශ්‍යම දෙයක් නෙවෙයි සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ ගැනීමට මිනිස්සුන්ට සිදුවෙලා තියෙනවා. ඒවාගේත් මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති නිසා ඒවා මිලදී ගැනීමෙන් පසුව කිසිවෙකුගේ අතේ මුදලක් ඉතුරු වන්නේ නැත.. නිදසුන් වශයෙන් පෙට්‍රල් :- 2020 පැවැති මිල 137 දැන් මිල 450 මීට අමතරව ආනයනික ස දේශීය දෙකේම සහල්, පරිප්පු, සීනි, මස්, මාලු, බිත්තර, සබන්, දත් බෙහෙත්, විදුලි බිල්පත්, ජල බිල්පත් ආදී වශයෙන්.. එක්ස්පෝර්ට් කිරීමට ක්‍රමයක් ඇත්නම් ඒ සඳහා අවධානය යොමුකරන්න උවමනායි. මම හිතන්නේ නෑ දුප්පත් මිනිස්සුන්ගේ පරිභෝජනය ඉහළ යයි කියලා.

    පිට්කිරි වෙනුවට දියර කිරි, නැත්නම් පිට්කළ පොල්කිරි ආදේශ කරගෙන නිශ්පාදනය කළා නම් පිටරටින් ගේන මාගරීන් වෙනුවට පොල්තෙල් ආදේශ කරන්න පුලුවන් නම් වියදම් අඩු කරගන්න පුලුවන් මන් හඳුනන දයානි කුලතුංග කියලා ලංකාවේ කේක් හදන කෙනෙක් මේ දවස් වල ඉම්පෝටඩ් ප්‍රඩක්ට්ස් වල අධික මිල ගණන් නිසාම මාගරීන් වෙනුවට ලංකාවේ පොල්තෙල් ලෝකල් දියරකිරි ආදේශ ගැන පර්යේෂණ කරමින් ඒවා යොදන්නෙ. දේශීය විස්කෝතු නිෂ්පාදක සමාගම් තම ආයතන විවිධ ප්‍රමිති සහතික ලබා ඇතිබව ප්‍රචාරය කළද මෙරට පාරිභෝගිකයින්ට අලෙවි කරන්නේ තත්වයෙන් පහත් නිෂ්පාදන බව නොරහසකි. බොහෝ විස්කෝතු වර්ග දවටනයෙන් ඉවතට ගන්නා අවස්ථාවේදීම කුඩුවේ. විස්කෝතුවල ගණකම ඒ තරම්මත් අඩුයි. එමෙන්ම දවටනය තුළට කුඩා දරුවෙකුගේවත් ඇඟිල්ලක් දමා විස්කෝතුවක් පිටතට ගැනීමට නොහැකි තරම් දවටනය පටුයි. මාස කිහිපයකට වතාවක් විස්කෝතුවල ප්‍රමාණය මිලිමීටරයකින් පමණ කුඩාවේ. මේ සියලු නිරීක්ෂණ අප දුටුවේ අද ඊයේ නොව, දැනට වසර විස්සකටත් පෙර සිටයි. එලෙස සිය රටේ සහෝදර පුරවැසියන් මෝඩයන් යයි සිතා, හුදු ලාබය පමණක් පසුපස ලුහුබඳින සමාගම් කෙරෙහි පාරිභෝගිකයින්ගේ සිත් සසල වෙයිද?

    විවිධ සමාගම් තම තමාගේ විස්කෝතුවලට එකම නම යොදා, ඒවා අලෙවි කරගැනීමට කරන ප්‍රචාරණ යුද්ධය සඳහා කොතරම් ධනයක් වැය කරන්නේද? අලෙවිකරණයේ "me too products" ලෙස හැඳින්වෙන එම උගුලෙන් මිදී, ප්‍රචාරනය අවම කළහැකි අනන්‍යතාවයක් සහිත, නියම ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන පමණක් අලෙවි කරන්නේ නම්, දේශීය විස්කෝතු කර්මාන්තය කඩා නොවැටෙනු ඇත.

    ReplyDelete
  10. ඉකොනොමැට්ටා,

    ලංකාවේ මෑත කාලීන ආර්ථික දේශපාලනික සංදර්භය තුළ 1977න් පසු විවෘත වෙළඳපොළ ආර්ථිකයක් දෙසට ශ්‍රී ලංකාව යොමුවූ මුත්, එහිදී වචනාර්ථයට පරිපූර්ණව ගැලපෙන විවෘත ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනුණේ නෑ මොකද ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන 1978දී රටේ නම ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ලෙස ව්‍යවස්ථාගත කළ විට එහි තිබූ ‘සමාජවාදී’ නාමය බොහෝ දෙනෙකුගේ විවේචනයට, විහිළුවට ලක් වුණා.

    කෙසේ වෙතත් මේ ගැන මනා විවරණයක් දෙමින් 1979 මාර්තු 23දා හොරණ ශ්‍රීපාලි සෞන්දර්ය විශ්වවිද්‍යාල පීඨය විවෘත කිරීමේ උත්සවයේදී ජේ.ආර්. මෙම කාරණය පැහැදිලි කළේ;

    “දැන් හුඟදෙනෙක් අහනවා තමුන්නාන්සේලා ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ලෙස සමාජවාදය කියන්නේ එක්සත් ජාතික පක්ෂය සමාජවාදී පක්ෂයක් ද කියලා. ඔව්, අපි සමාජවාදී පක්ෂයක්. මා දැන් තෝරා දෙන්න යන වචනය සමාජවාදයයි. මේ රටේ සීයට හැටක් බඩු නිපදවන මාර්ග, බඩු බෙදන මාර්ග, මුදල් හුවමාරු කරන ක්‍රම රජයට හෝ මහජනයාට අයිතියි. සමාජවාදය කියන්නේ ඒකයි. ඩී.ඇස්. සේනානායක මහත්මයාගෙ කාලෙ තමයි (රජයේ) ඉඩම් පුද්ගලයන්ට, ධනපතීන්ට විකිණීම තහනම් කෙරුවෙ. ඒ නිසා ඒ සමාජවාදී ක්‍රමය අපි ආරක්ෂා කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා වගේ ම. නමුත් අඩුපාඩු රාශියක් තියෙනවා.

    “එහෙත් රජය මේවා හොඳට පාලනය කරන්නෙ නැහැ. ඇතැම් ආයතන හොඳට පාලනය කරන්නෙ නැහැ. දූෂණ වැඩ කෙරෙනවා. රජයට ගත්තු වතුවල අඩුපාඩු තියෙනවා. හොරකම් කෙරෙනවා. පුද්ගලයන් අත තිබුණ කාලෙ වගේ මනා පාලනයක් නැහැ. නියම විදියට පාලනයක් නැත්නම් සමාජවාදය ඉතාමත් ම භයානක වාදයක් වෙනවා. භයානක ක්‍රමයක් වෙනවා.”

    “බහුතර ජනතාවට අපි කෝකත් කරන්නෙ තමුන්නාන්සේලාගේ ප්‍රයෝජනයට. තමුන්නාන්සේලා ධනපතියන් වෙනවා නම් සන්තෝෂ වෙනවා. ධනපති ක්‍රමයට අපි විරුද්ධයි. නමුත් ධනපතීන්ට විරුද්ධ නැහැ. ධනපති ක්‍රමය කියන්නේ සටනකින්, ලේ වැගිරීමකින්, එක් එක්කෙනා පාගලා සූරා කාලා, කඩා වඩාගෙන තමන්ගෙ දියුණු වීම පමණක්, තමන්ගෙ මුදල් ගැන පමණක්, තමන්ගෙ කර්මාන්තශාලාව ගැන පමණක්, තමන්ගෙ මුදල් ගැන පමණක්, තම තමන් පෞද්ගලිකව දියුණු වීම ගැන පමණක් තණ්හාධික ලෙස ක්‍රියා කිරීම. ඒ ක්‍රමයට (අපි) අකැමැතියි. ඊට ඉඩ දෙන්නෙ නැහැ. නීති මාර්ගයෙන් සේවකයන්ගෙ ජීවිත ආරක්ෂා කිරීමට, පඩිය ආරක්ෂා කිරීමට, රැකියා ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ රටේ දුප්පතුන් ධනපතීන් වීමේ වැරැද්දක් නැහැ. සමාජවාදී ආණ්ඩුක්‍රමයක් යටතෙ ධනපතීන් නැහැ…..”

    ලංකාවේ මෑත කාලීන 1977න් පසු 2005 පමණ වනතෙක් පැවති සමාජ ආර්ථික ක්‍රමය තේරුම්ගැනීම සඳහා එම කතාව අතිශය වැදගත් වේ. ජේ.ආර්. විදේශ ආයෝජනවලට ලංකාව නැවත විවෘත කළ අතර කලින් පැවති ආණ්ඩු විසින් වන්දි ගෙවා රජයට පවරාගෙන තිබුණු වතු සමාගම් වැනි ඇතැම් ව්‍යවසාය නැවත පෞද්ගලික බදුදීමට කටයුතු කළා.

    ReplyDelete
    Replies
    1. Cooperatives (සමුපකාර) are businesses owned by “member-owners”. Co-ops are democratically controlled by their member-owners, and unlike a traditional business each member gets a voice in how the business is run. Services or goods provided by the co-op benefit and serve the member owners.

      ලංකාවේත් ලෝකයේ බොහෝ සමාජවාදී යයි කියන රටවල වුණා සේම සමුපකාර රජය විසින් ම අල්ලාගෙන තවත් එක් රාජ්‍ය ව්‍යවසායක් බවට පත් කර තිබිණි. ඒවා සමුපකාර වූයේ නමට විතරය. සමගි පෙරමුණු සමාජවාදී රජය සමුපකාර සංකල්පය ම කාබාසිනියා කර දැමූ අතර ඉන් පසු පැමිණි ජේ.ආර්.ගේ ආණ්ඩුව ද එය ඒ අන්දමින්ම පවත්වාගෙන ගියේය. මෙම විවිධ සේවා සමුපකාර සමිති දැන් මරණ මංචකයේ සිටියත්, තවමත් ඒවා නිදහස් වෙළඳපොළ තරගකාරීත්වයට බාධාකාරී වන, මහජන මුදලින් අයුතු වරප්‍රසාද ලබන ඵලදායී නොවන රාජ්‍ය ව්‍යවසාය වේ.

      ලංකාවේ ආර්ථිකය 1956ට කලින් පැවති මේ රටේම ආර්ථිකයට සාපේක්ෂව තවමත් එතරම් විවෘත නැත. පෞද්ගලික දේපල රජයට පවරා ගනිමින් හා අලුතින් පිහිටුවන ලද සංස්ථා, මණ්ඩල, අධිකාරි ආදිය වෙළඳපොළ ප්‍ර‍මුඛත්වය ලබාදීමට අමතරව ඇතැම් ඒවා ඒ ක්ෂේත්‍ර‍වල ඒකාධිකාරයන් බවට ද පත්කරන ලදී. මෙම තත්වය තවමත් අඩු වැඩි වශයෙන් පවතී.

      ලංකාවේ රාජ්‍ය ඒකාධිකාරී ආර්ථිකය විවෘත කිරීමේ සංකේතාත්මක අවුරුද්ද ලෙස සමගි පෙරමුණු රජය පරාජය කරමින් එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණි 1977 අවුරුද්ද සැලකිය හැකි වුව ද, එම විවෘත කිරීම පවා ඉතා සාපේක්ෂ එකකි. තවමත් රාජ්‍ය අංශය ඉතා ශක්තිමත් වන අතර රාජ්‍ය ව්‍යවසාය සිල්ලර වෙළඳාම දක්වා බොහෝ ව්‍යාපාරයන්හි යෙදී සිටියි.

      බලශක්ති, ජල සම්පාදනය වැනි අංශයන්හි රාජ්‍ය ඒකාධිකාරයන් තවමත් පවත්වාගෙන යන අතර රාජ්‍ය මුල්‍ය ප්‍ර‍තිපත්ති සම්පාදනයේදී රාජ්‍ය බැංකු වැනි ව්‍යවසායන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අවධානය යොමුකරනු ලැබේ.

      උදාහරණ ලෙස ලංකාවේ පොදු ප්‍රවාහනය විධිමත් කිරීමේ ප්‍රබල බාධකයක් ලෙස සැලකෙන්නේ ඒකාබද්ධ කාලසටහන් සම්බන්ධයෙන් ලංගම දක්වන විරෝධයයි. එමගින් ලංගම බිඳවැටී එහි සේවය කරන විශාල පිරිසකට රැකියා අහිමි වේය යන පදනමින් රජය එම ක්ෂේත්‍රයට තීරණාත්මක මැදිහත් වීමක් කරන්නේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙස පොදු ප්‍රවාහනයේ දැඩි අවිධිමත් බවක්, අනවශ්‍ය තරගකාරීත්වයක්, දැඩි සම්පත් නාස්තියක් හා අකාර්යක්ෂමතාවක් නිර්මාණය වී තිබේ.

      වර්තමාන අර්බුදය වෙත අප ආපසු යොමු වුවහොත්, ඉල්ලා සිටින සිස්ටම් චේන්ජ් හෙවත් ක්‍රම වෙනස තිබෙන්නේ කොතැනදැයි අවබෝධ කරගත හැකි, ලංකාවේ අර්බුදයේ කොටස් දෙකකි.

      01. අපනයන ඇතුළු ආදායමට වඩා ආනයන වියදම වැඩිවීමයි.

      02. රාජ්‍ය ආදායම මෙන් දෙගුණයකටත් වඩා රජය වියදම් කිරීමයි. එම වියදම පියවාගැනීම සඳහා මාස් පතා ණයගැනීමෙන් දේශීය හා විදේශීය වශයෙන් රටම ණයවී අන්තිමට ණය ගෙවාගැනීමට ද බැරි විය.

      බදු ආදායම සහ රජයේ වියදම අතර තිබිය යුත්තේ අතිරික්තයකි. එය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 01 ක් වත් විය යුතුය. රජයේ ආදායම වියදමට වඩා වැඩි විය යුතුය. එහෙත් දැන් තිබෙන්නේ හිඟයකි.

      A. දැන් රජයේ බදු ආදායම රුපියල් ට්‍රිලියන 1.5කි. (1,500 billion LKR)

      B. රජයේ වියදම රුපියල් ට්‍රිලියන 3.5කි. (3,500 billion LKR)

      රජයේ වියදම්වලින් 30%ක් වැය වන්නේ රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීමටය. තවත් 30%ක් ණය පොලිය ගෙවීමට වැය වෙයි. ඉතිරි 30% විවිධ සහනාධාර සඳහා වැය වෙයි.

      රාජ්‍ය වියදම් අවම කිරීමේදී පාඩුු ලබන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් කළ යුත්තේ කුමන දෙයක් ද යන්න වැදගත්ය. මේ සම්බන්ධයෙන් වරලත් මූල්‍ය විශ්ලේෂකයන්ගේ සංගමයේ උපදේශක සභාපති හා අධ්‍යක්ෂ රවී අබේසූරිය, ලංකාදීප පුවත්පතේ ලිපියක මෙසේ පවසයි:

      “නිල දත්ත පෙන්නුම් කරන්නේ රාජ්‍ය ආයතන අතරින් (SOEs) ආයතන පහක් 2022 මුල් මාස 4 තුළ රුපියල් බිලියන 931ක්, පාඩු ලබා ඇති බවය. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය නිසා ජනතාව මත පැටවී ඇති බර ඉවත් කළ යුතුය. එක් විකල්පයක් වනුයේ වඩා හොඳ පාලනයක් සහ රාජ්‍ය ව්‍යවසායවල වගවීම සඳහා කොළඹ කොටස් වෙළඳපොළේ සියලුම රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ලැයිස්තුගත කිරීමයි. අනෙක් විකල්පය වන්නේ සිංගප්පූරුවේ Temasek පදනම හෝ මැලේසියාවේ Khazanah Nasional Berhadවැනි සමූහ ව්‍යාපාර ආයතනයක් පිහිටුවීමයි. අමාත්‍යංශ ප්‍රතිපත්ති සහ නිසි නියාමනය පිළිබඳව අවධානය යොමු කළ යුතුය.”

      ලංකාවේත් සිස්ටම් චේන්ජ් පටන්ගන්නට සිදු වන්නේ මෙතැනිනි. තව බොහෝ දේ කළ යුතුය. ඒ ගැනත් පස්සේ කාලය අමාරුවෙන් හොයාගෙන සාකච්ඡා කරමු.

      Delete
  11. මුදල් අර්බුද අස්සේ කෝටි 63477ක තොරම්බල් ගෙනල්ලා

    (සුජිත් හේවාජුලිගේ )

    රටේ විදේශ මුදල් අර්බුදයක් පවතින බව දැන දැනත් 2020 වර්ෂයේදී විවිධ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ( තොරම්බල් බඩු) ගෙන්වීම සඳහා ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 63477ක පමණක් මුදලක් වැය කර ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශය කළ අධ්‍යයනයකදී තොරතුරු හෙළිවූ බව එහි මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

    මෙම භාණ්ඩවලින් වැඩි හරියක් අත්‍යවශ්‍ය නොවන සහ මෙරටදී නිෂ්පාදනය කළ හැකි ඒවා බව පැවසූ මහාචාර්යවරයා මෙම අනවශ්‍ය භාණ්ඩ ගෙන්වීමට වැයවූ මුදලින් තෙල් නැව් 100 කට ආසන්න සංඛ්‍යාවක් ගෙන්වීමට හැකියාව තිබූ බවද ප්‍රකාශ කළේය.

    මේ අධ්‍යයනයේ දී හෙළි වූ තොරතුරු අනුව පැන්සල්, පෑන්,මකන සහ තීන්ත රිබන් සඳහා රුපියල් කෝටි 215ක්ද සරුංගල් ඇතුළු සෙල්ලම් බඩු සඳහා රුපියල් කෝටි 984 ක් ද ඔලුව පීරන පනා සඳහා කෝටි 31ක්ද කොහු ඉදල් සඳහා කෝටි 35ක් ද වතුර බෝතල් සඳහා කෝටි 55 ක්ද අවි ආයුධ සඳහා කෝටි 95ක්ද සපත්තු කුඩ හිස් වැසුම් සඳහා කෝටි 655ක්ද සබන් ඇතුළු පවිත්‍රකාරක ද්‍රව්‍ය සඳහා කෝටි956ක්ද සුවඳ විලවුන් ක්‍රීම්වර්ග සඳහා කෝටි 1775ක්ද පළතුරු යුෂ වර්ග සඳහා කෝටි 74ක්ද චීස් හා බටර් සඳහා කෝටි 336 ක්ද එළවළු සහ පලතුරු සඳහා රුපියල් කෝටි 18,382ක්ද ( ඩොලර් මිලියන නමසිය විසි හතරක්) විවිධ ගෘහ භාණ්ඩ සඳහා කෝටි 1869ක්ද වාහන අමතර කොටස් සඳහා කෝටි 19,000ක්ද සත්ව සම් සඳහා කෝටි 493ක්ද ප්ලාස්ටික් සහ රබර් සඳහා කෝටි 18522ක්ද වැය කර ඇතැයි එම සමීක්ෂණයේදී තොරතුරු අනාවරණයවී ඇත.

    එළවලූ පළතුරු සඳහා වැය කෙරුණු රුපියල් කෝටි 18,382 ක මුදලින් තෙල් නැව් 19 ක්ද ගෘහ භාණ්ඩ ගෙන්වීමට වැයවූ රුපියල් කෝටි 1869 ක මුදලින් තෙල් නැව් දෙකක්ද ප්ලාස්ටික් සහ රබර් ගෙන්වීමට වැය වූ රුපියල් කෝටි 18522ක මුදලින් තෙල් නැව් 19ක්ද ගැනීමට හැකියාව තිබුණු බව මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා වැඩිදුරටත් පැවසීය.

    මහාචාර්ය අතුකෝරල මහතාගේ මූලිකත්වයෙන් මෙම අධ්‍යයනය කරනු ලැබ ඇත.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.