Monday, September 26, 2022

උද්ධමනය හා ජීවන වියදම


උද්ධමනය කියන වචනය ගොඩක් අය තේරුම් ගන්නේ ජීවන වියදම වැඩි වීම විදිහට. එක කිට්ටුවෙන් යන දෙකක් වුනත්, මේ දෙක දෙකක්. 

ජීවන වියදම පුද්ගලයෙක්ට හෝ පවුලකට සාපේක්ෂ දෙයක්. එය එක් එක් පවුලේ ජීවන විලාසිතා අනුව පවුලෙන් පවුලට වෙනස් වන දෙයක්. ඒ වගේම ජීවත් වන තැන අනුවත් වෙනස් වෙනවා. ගමක ජීවත් වූ පවුලක් නගරයට පදිංචියට ආවොත් කලින් ජීවන විලාසිතාව ඒ විදිහටම පවත්වා ගන්න වුනත් බොහෝ විට වැඩි වියදමක් යනවා.

උද්ධමනය කියන්නේ මේ විදිහට පවුලෙන් පවුලට, තැනින් තැනට වෙනස් වන දෙයක් නෙමෙයි. උද්ධමනය කාටත් එකයි. එය මුදලේ අගය පිළිබඳ නිර්ණායකයක්. උද්ධමනය අර්ථ දක්වන එක ක්‍රමයක් වන්නේ "සාමාන්‍ය මිල මට්ටම" වැඩිවීම උද්ධමනය ලෙස සැලකීමයි. මේ සාමාන්‍ය මිල මට්ටමෙන් කිසිදු නිශ්චිත පුද්ගලයෙක්ගේ ජීවන වියදම නිරූපණය වෙන්නේ නැහැ. 

උද්ධමනයක් පවතිනවා කියන්නේ බඩු මිල සමස්තයක් ලෙස ඉහළ යනවා කියන එකයි. උද්ධමනය වැඩි වෙනවා කියන්නේ බඩු මිල ඉහළ යන වේගය වැඩි වීම. උද්ධමනය අඩු වෙනවා කියන්නේ අඩු වේගයකින් බඩු මිල ඉහළ යාම. අවස්ථා දෙකේදීම බඩු මිල ඉහළ යනවා. වෙනස් වන්නේ කොපමණකින්ද කියන එක පමණයි. බඩු මිල සමස්තයක් ලෙස අඩු වෙනවානම් එය හැඳින්වෙන්නේ අවධමනය ලෙසයි.

උද්ධමනය අඩු වීම කියන්නේ බඩු මිල අඩුවීම කියලා හිතන ගොඩක් අය ඉන්නවා. ඒ නිසාම, එවැනි අය උද්ධමනය අඩු වීම "මහ පොළොවේ" පෙනෙන්න නැති බව කියනවා. නමුත්, ඇත්තටම මහ පොළොවේ පෙනෙන්න නැත්තේ බඩු මිල අඩුවීමයි. එනම් අවධමනයයි. 70% මට්ටමේ තිබුණු උද්ධමනය 50% දක්වා අඩු වුනා කියන්නේ පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව බඩු මිල තව දුරටත් 50%කින් වැඩියි කියන එකයි. 

උද්ධමනය නිසා බඩු මිල ඉහළ යාම ජීවන වියදම ඉහළ යාමට හේතුවක්. ජීවන විලාසිතා වෙනස් වුවත් හැම දෙනෙකුටම වගේ උද්ධමනය අඩු වැඩි වශයෙන් බලපානවා. ප්‍රායෝගිකව මිනිස්සුන්ට දැනෙන්නේ උද්ධමනය නෙමෙයි. තමන්ගේ ජීවන වියදම ඉහළ යාම. උද්ධමනය කාටත් එකම වුනත්, ජීවන වියදම කෙරෙහි එහි බලපෑම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ නිසා, උද්ධමනය දැනෙන ආකාරය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. 

සමහර අයට උද්ධමනය දැනෙන්නේ සැබෑ උද්ධමනයට වඩා අඩුවෙන්. තවත් අයට එය වැඩියෙන් දැනෙනවා. එය තීරණය වන්නේ ජීවන විලාසිතා මතයි. "මහ පොළොවේ උද්ධමනය" සංඛ්‍යාලේඛණ වල තිබෙන ගාණට වඩා වැඩියි කියා කියන සමහර අය කියන්නේ බොරු නෙමෙයි. බොහෝ විට ඒ කියන්නේ තමන්ගේ ජීවන වියදම ඉහළ යාම ගැන. 

බඩු මිල ඉහළ යාමට හා ඒ හේතුව මත ජීවන වියදම ඉහළ යාමට එකම හේතුව උද්ධමනය නෙමෙයි. සමස්තයක් ලෙස සාමාන්‍ය මිල මට්ටම නොවෙනස්ව තිබියදී වුනත්, බඩු වල මිල ගණන් අඩු වැඩි වෙනවා. සමහර බඩු ගණන් යනවා. තවත් ඒවා අඩු වෙනවා. ඔය ඔක්කොම සමස්තයක් විදිහට ගත්තහම තමයි වෙනසක් නැත්තේ. දැන් මේ වගේ වෙලාවක වුනත් අර මිල ඉහළ යන බඩු වැඩියෙන් පරිභෝජනය කරන කෙනෙකුගේ ජීවන වියදම ඉහළ යනවා. නමුත්, එය උද්ධමනය නෙමෙයි. 

ජීවන වියදම ඉහළ යාම මනින එක අමාරු වැඩක් නෙමෙයි. ඕනෑම කෙනෙකුට ගණන් හිලවු තියා ගත්තොත් තමන්ගේ ජීවන වියදම ඉහළ යන හැටි හරියටම දැන ගන්න පුළුවන්. සමීක්ෂණ කරලා රටේ සාමාන්‍ය තත්ත්වය දැන ගන්නත් පුළුවන්. නමුත්, උද්ධමනය හරියටම මනින එක ඊට වඩා අමාරුයි.

උද්ධමනය කියා කියන්නේ "සාමාන්‍ය මිල මට්ටම" ඉහළ යාම කියලා කතාවට කිවුවත් ඔය "සාමාන්‍ය මිල මට්ටම" කියා කියන්නේ කුමක්ද? එය ආර්ථික විද්‍යාවේ එන වියුක්ත සංකල්පයක් පමණයි. "සාමාන්‍ය මිල මට්ටම" සෘජුව මනින්න බැහැ. එය ඇස්තමේන්තු කිරීම සඳහා කවර හෝ වක්‍ර ක්‍රමයක් අනුගමනය කරන්න වෙනවා. එවැනි නිර්ණායක, එහෙමත් නැත්නම් මිනුම්, ගණනාවක් තිබෙනවා. ඒවා වෙනස් වෙන්නේ  "සාමාන්‍ය මිල මට්ටම" අර්ථ දක්වන විදිහ අනුව.

"සාමාන්‍ය මිල මට්ටම" මනින ප්‍රචලිතම ක්‍රමය පාරිභෝගික මිල දර්ශකයක් යොදා ගැනීමයි. මෙහිදී මිල මට්ටම බලන්නේ පාරිභෝගිකයෙකුගේ දෘෂ්ඨි කෝණයෙන්. ඒ සඳහා, "සාමාන්‍ය" පාරිභෝගිකයෙකු අර්ථදක්වන්න වෙනවා. මේ ක්‍රමයට උද්ධමනය ඇස්තමේන්තු කරන්නේ එවැනි උපකල්පිත සාමාන්‍ය පාරිභෝගිකයෙකුගේ ජීවන වියදම වෙනස් වීම මත පදනම්වයි. ගොඩක් අයට උද්ධමනය හා ජීවන වියදම පැටලෙන්න හේතුවත් මෙයයි. මේ ක්‍රමයේදී ඉලක්ක මිනුම වන්නේ "සාමාන්‍ය" පාරිභෝගිකයෙකු විසින් මිල දී ගන්නා භාණ්ඩ හා සේවා පැසකට සාපේක්ෂව මුදලේ වටිනාකම වෙනස් වීමයි. 

මෙයට විකල්ප ලෙස ස්ටීව් හැන්කි විසින් යෝජනා කර තිබෙන ක්‍රමය අනුව ඩොලරයක කළුකඩ මිල "සාමාන්‍ය මිල මට්ටම" ලෙස සැලකෙනවා. එහිදී ඩොලරයක කළුකඩ මිලට සාපේක්ෂව රුපියලේ වටිනාකම නිර්ණය කෙරෙනවා. සංකල්පීය ලෙස ගත්තොත් මෙහි වරදක් නැහැ. එහෙත්, මෙය උද්ධමනය මනින සම්මත ක්‍රමයක් නෙමෙයි. ඒ වගේම පටු මිනුමක්. 

දළ දේශීය නිෂ්පාදිතයේ අවධමනකය උද්ධමනය මනින තවත් සම්මත මිනුමක්. මෙය වඩා නිවැරදි හා පුළුල් මිනුමක් ලෙස හැඳින්විය හැකියි. පාරිභෝගික මිල දර්ශකයක් මගින් "සාමාන්‍ය මිල මට්ටම" මැනීමේදී බලන්නේ පාරිභෝගිකයන්ගේ පැත්ත පමණයි. එහෙත්, දළ දේශීය නිෂ්පාදිතයේ අවධමනකය තුළ පාරිභෝගිකයින්ගේ පැත්තට අමතරව ආයෝජකයින්ගේ, නිෂ්පාදකයින්ගේ මෙන්ම රජයේ ගනුදෙනු සැලකිල්ලට ගැනෙනවා. 

නිෂ්පාදක මිල දර්ශකය උද්ධමනය මනින තවත් ක්‍රමයක්. එමගින් බලන්නේ නිෂ්පාදකයින්ට ලැබෙන මිල ගණන් වෙනස් වීම දෙසයි. 

පාරිභෝගික මිල දර්ශක යන සංකල්පය ගත්තත්, "සාමාන්‍ය" පාරිභෝගිකයෙකු අර්ථදක්වන ආකාරය අනුව මිනුම වෙනස් වෙනවා. 1953 සිට 2008 මැද දක්වාම ලංකාවේ භාවිතා වූ කොළඹ පාරිභෝගික මිල දර්ශකය පදනම් වුනේ 1952දී කොළඹ නාගරික ප්‍රදේශයේ ජීවත් වූ අඩු ආදායම්ලාභී පවුල් හාරසිය ගණනක සාමාන්‍ය පරිභෝජන රටාව මතයි. එහෙත්, 2008 වන විට රටේ සාමාන්‍ය පරිභෝජන රටාව විශාල ලෙස වෙනස් වී තිබුණා. උදාහරණයක් ලෙස අදාළ භාණ්ඩ හා සේවා පැසෙහි විශාල බරක් භූමිතෙල් වලට තිබුණත්, 2008 වන විට රටේ බොහෝ නිවෙස් ආලෝකමත් කළේ විදුලියෙන්. 

වඩා හොඳ "සාමාන්‍ය පාරිභෝගිකයෙකු" හොයා ගැනීමේ අරමුණෙන්, 2008දී කොළඹ පාරිභෝගික මිල දර්ශකය සංශෝධනය කෙරුණු අතර ඉන් පසුවද එම දර්ශකය කිහිප වරක්ම සංශෝධනය කෙරුණා. දැනට වුවත් මෙයින් නිරූපණය වන්නේ කොළඹ නාගරික ප්‍රදේශ වල ජීවත් වන සාමාන්‍ය පාරිභෝගිකයෙකුගේ වියදම් රටාවයි. ඉන් පසුව හඳුන්වා දුන් ජාතික පාරිභෝගික මිල දර්ශකයෙන් මුළු රටේම පාරිභෝගිකයින් නිරූපණය වෙනවා. 

උද්ධමනය මැනීම සඳහා භාවිතා කරන විවිධ නිර්ණායක වලින් ලැබෙන මිනුම් එකිනෙකට සමාන නැහැ. එයට හේතුව මේ හැම නිර්ණායකයක්ම "සාමාන්‍ය මිල මට්ටම" හෝ එහි වෙනස්වීම වන "උද්ධමනය" කියන වියුක්ත සංකල්ප මැනීම සඳහා යොදා ගැනෙන මිනුම් මිස "උද්ධමනය" නොවීමයි. නමුත්, ප්‍රායෝගිකව මෙය ප්‍රශ්නයක් නෙමෙයි. මේ හැම මිනුමකින් මෙන්ම බොහෝ විට එකම රටාව නිරූපණය වන අතර දිගුකාලීන හැසිරීම් වල විශාල වෙනස්කම් නැහැ. 

උද්ධමනය මනින්නේ ඇයි? සරලම පිළිතුර උද්ධමනය පාලනය කිරීම සඳහා කියන එකයි. උද්ධමනය පාලනය කළ හැක්කේ මුදල් සැපයුම පාලනය කිරීමෙන්. වඩා පුළුල් පිළිතුරක් ලෙස මුදල් ප්‍රතිපත්ති මගින්. එය කරන්නේ මහ බැංකුවයි.

රටක ජීවත් වන මිනිසුන්ගේ ජීවන තත්ත්වය තීරණය කරන්නේ මුදල් නෙමෙයි. ඔවුන්ට පරිභෝජනය කළ හැකි භාණ්ඩ හා සේවාවන් විසිනුයි. මුදල් ජීවන තත්ත්වය කෙරෙහි බලපාන්නේ භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ හැකියාව හරහා පමණයි. 

වෙනත් විදිහකින් කිවුවොත් රටක මිනිසුන්ගේ ජීවන තත්ත්වය නිර්ණය කරන්නේ ඒ රටේ නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණයයි. තනි පුද්ගලයෙක් හෝ පවුලක් ගත්තත් මේ කතාව මේ විදිහටම වලංගුයි.

ඉහත හේතුව නිසාම, සාමාන්‍ය මූලධර්මයක් ලෙස, රජයට මැදිහත් වී පුද්ගලයෙකුගේ ජීවන තත්ත්වය වඩා යහපත් කළ හැක්කේ තවත් පුද්ගලයෙකුගේ ජීවන තත්ත්වය පහත හෙළමින් පමණයි. බදු අය කර වියදම් කිරීමේදී සිදු වන්නේ මෙයයි. මෙහිදී බදු ගෙවන්නාගේ ජීවන තත්ත්වය අනිවාර්යයෙන්ම පහළ යනවා. රජය එම බදු මුදල් වියදම් කරන ආකාරය අනුව වෙනත් අයෙකුගේ ජීවන තත්ත්වය ඉහළ යනවා. රජය බැංකු නොවන අංශයකින් ණය ගැනීමේදී වෙන්නෙත් මෙයයි. මෙහිදී ණය දෙන්නාගේ මිල දී ගැනීමේ හැකියාව හා එමගින් ජීවන තත්ත්වයද පහළ යනවා.

රජය බැංකු අංශයෙන් ණය ගැනීමේදී ක්ෂණිකව කාගේවත් ජීවන තත්ත්වය පහළ යන්නේ නැහැ. මෙහිදී අලුතෙන් සංසරණයට එකතු වන සල්ලි කාගේ හෝ අත් වලට යනවා. එහෙත්, නිෂ්පාදනය වැඩිවීමක් නොවන නිසා වැඩි වූ මුදල් ප්‍රමාණයට අනුරූපව "සාමාන්‍ය මිල මට්ටම" ඉහළ ගොස් සමතුලිතතාවක් ඇති විය යුතුයි. උද්ධමනය යනු මේ කාර්යය කරන වෙළඳපොළ යාන්ත්‍රණයයි. 

රජය විසින් බදු ආදායම් හා බැංකු නොවන අංශ වලින් ණයට ගන්නා මුදල් වියදම් කරද්දී රටේ භාණ්ඩ හා සේවාවන් හා මුදල් ප්‍රමාණය අතර සමතුලිතතාවය වෙනස් වෙන්නේ නැහැ. බදු හෝ ණය ලෙස සල්ලි එකතු කර ගන්නා මොහොතේ මුදල් සැපයුම පහළ ගොස් මුදලේ වටිනාකම ඉහළ යනවා. එම සල්ලි වියදම් කරද්දී නැවත මුදලේ වටිනාකම පහත වැටෙනවා. මේ දෙකම එකවර සිදු වන නිසා මුදලේ වටිනාකමේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ උද්ධමනයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි යම් පිරිසකගේ ජීවන තත්ත්වය පහත වැටෙනවා. ඒ කාගේද කියන එක තීරණය කරන්නේ රජයයි.

බදු සල්ලි වියදම් කරද්දී ජීවන තත්ත්වය අඩු කරන්නේ කාගේද, වැඩි කරන්නේ කාගේද කියන එක රජය විසින් තීරණය කරනවා. සල්ලි අච්චු ගසා වියදම් කරද්දී ජීවන තත්ත්වය වැඩි කරන්නේ කාගේද කියන එක රජය විසින් තීරණය කරන නමුත් එයට අනුරූපව ජීවන තත්ත්වය අඩු කරන්නේ කාගේද කියන එක වෙළඳපොළ යාන්ත්‍රනය හරහා සිදු වීමට ඉඩ හරිනවා. උද්ධමනය විසින් කරන්නේ මේ කාර්යයයි. එහිදී රජය වැඩිපුර වියදම් කළ මුදල උද්ධමන යාන්ත්‍රනය හරහා කාගෙන් හෝ අය කෙරෙනවා. එහිදී යම් පිරිසකගේ ජීවන තත්ත්වය පහළ බහිනවා. 

උද්ධමනය පිළිබඳ මිථ්‍යාව පැහැදිලි කරද්දී පැවසෙන්නේ උද්ධමනය නිසා දිගුකාලීනව රටක මිනිසුන්ගේ ජීවන තත්ත්වයේ හොඳ හෝ නරක වෙනසක් නොවන බවයි. එහෙත්, බදු ගැසීමේදී මෙන්ම, ඇතැම් අයගේ ජීවන තත්ත්වය පහළ යාමක් හා එහි උදවුවෙන් තවත් අයගේ ජීවන තත්ත්වය ඉහළ යාමක් සිදු වෙනවා.

උද්ධමනය පාලනය කළ යුත්තේ එමගින් රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය පහළ යන නිසා නෙමෙයි. ජීවන තත්ත්වය ඉහළ නොයන නිසා. රජය මැදිහත් වී මුදල් සැපයුම වැඩිකර මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ දැමීමට දරන උත්සාහයන් ආපසු හැරවෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. දැන් වෙන්නෙත් ඒකයි. 

මේ දවස් වල පවතින ඉහළ උද්ධමනය තුළ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන ගොඩක් අයගේ ආදායම් ඉහළ ගොස් තිබෙනවා. විශේෂයෙන්ම අත්‍යාවශ්‍ය භාණ්ඩ නිපදවන අයගේ. එය ඔවුන්ගේ ශ්‍රමයේ ඵලදායීත්වය ඉහළ යාමක් ලෙස හඳුන්වන්නත් පුළුවන්. අනෙක් පැත්තෙන් මාස් පඩි ලබන බොහෝ දෙනෙකුගේ මූර්ත ආදායම් පහළ ගොස් තිබෙනවා. එයින් හැඟවෙන්නේ ඔවුන්ගේ ශ්‍රමයේ ඵලදායීත්වය පහළ ගොස් ඇති බවයි. 

පෞද්ගලිකව මමත් මාසික වැටුප් ලබන (හෝ එසේ හඳුන්වා දීමේ ලොකු වැරැද්දක් නැති) අයෙක්. පසුගිය වසර තුළ මගේ වැටුප් වැඩි වී තිබෙන්නේ රටේ පැවති උද්ධමනයට වඩා බොහෝ අඩුවෙන්. ඒ කියන්නේ මගේ මූර්ත ආදායම් පසුගිය වසර තුළ පහළ ගොස් තිබෙනවා. එයට හේතුව මගේ ශ්‍රමයේ ඵලදායීත්වය අඩු වීමයි. 

මා සේවය කරන ආයතනය පසුගිය වසර තුළ ලාබ ලැබුවේ නැහැ. එහෙත් ආයතනය සේවකයින් ඉවත් කළේ හෝ නාමික වැටුප් අඩු කළේ නැහැ. ආයතනයකට එසේ පැවතිය නොහැකියි. උද්ධමනයට අනුරූප ලෙස වැටුප් වැඩි නොකර, සේවකයින්ගේ මූර්ත වැටුප් පහළ යන්නට ඉඩ හැරීම ආයතනයේ අලාභ අඩු කරගත හැකි ක්‍රමයක්. මෙහිදී මගේ මූර්ත වැටුප් පහළ ගොස් ඇතත්, එය මා මගේ රැකියා සුරක්ෂිතතාව වෙනුවෙන් ගෙවිය යුතු වන්දියක්. ආයතනයට සේවක වැටුප් උද්ධමනය හා ගැලපිය හැක්කේ යම් සේවක පිරිසක් ඉවත් කිරීමෙන් පමණයි. එසේ කළේනම්, එක්කෝ මගේ රැකියාව නැති වෙනවා. නැත්නම් ඉවත් කරන අයගේ වැඩ වලින් කොටසක්ද මට කරන්නට සිදු වෙනවා. දෙවැන්නේදී වෙන්නේත් යොදවන ශ්‍රමයට සාපේක්ෂව වැටුප් පහළ යාමක්. 

ශ්‍රමයේ ඵලදායීත්වය අඩු වීම කියන එකෙන් අදහස් වෙන්නේ අඩුවෙන් වැඩ කර ඇති බව නෙමෙයි. ඇතැම් විට වැඩියෙන් වැඩ කර ඇති. එහෙත්, කළ වැඩ වල වෙළඳපොළ වටිනාකම අඩු වෙලා. ශ්‍රමයේ ඵලදායීත්වය තීරණය වන්නේ වෙළඳපොළ තුළයි. එය තීරණය කරන්නේ නිපදවන භාණ්ඩ හා සේවා පරිභෝජනය කරන පාරිභෝගිකයා විසින්. පෞද්ගලික අංශයට කළ හැකි දේ රජය විසින් කිරීමේ ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේද ශ්‍රමයේ ඵලදායීත්වය තීරණය කළ හැකි නිර්ණායකයක් නැති වීමයි. ඒ නිසාම, වැටුප් නියාමනය වන කාර්යක්ෂම යාන්ත්‍රණයක් නැති වීමයි. 

14 comments:

  1. උද්ධමනය ඇතිවෙන්න හේතුව ජනගහන වර්ධන වේගය ධන වීම නේද? ජනගහන වර්ධන වේගය රින වනේ රට වල උද්ධමනය බින්දුවයි හෝ අවමයි.

    ReplyDelete
    Replies
    1. එවැනි සෘජු සම්බන්ධයක් නැහැ.

      Delete
  2. අපේ රටේ නං ජීවන තත්ත්වය බලන්න කවුරුත් නැති ගාණයි
    උද්ධමනය අහසටම ගිහිල්ලත් නැවතිල්ලක් නැති වෙන පාටයි
    අපි මොට්ටයි, අපටම ගැලපෙන්නට පාලකයන් පත් වෙන විදිහයි
    ඉන්දීය සයුරේ අමුතු මුතු ඇටේ ඉරණම කොහොමට වෙයිද සැකයි!

    ReplyDelete
  3. උද්දමනය නරකයි කියන්නෙ මොන හේතුවක් නිසාද?

    ReplyDelete
    Replies
    1. අඩු, ස්ථාවර උද්ධමනයක් තිබීම නරක නැහැ. ආර්ථික ප්‍රතිපත්ති හදන්නේ යම් උද්ධමනයක් පවත්වා ගැනීම ඉලක්ක කරගෙන. වඩා හානිකර අවධමනයයි. උද්ධමනය ප්‍රශ්නයක් වෙන්නේ සීමාව පැන, පාලනය ගිලිහුණු විටයි.

      Delete
  4. එන්ගලන්තෙත් ගෝට කරපු දේ කරල නේද? ඉකොනොගෙ අදහස මොකක්ද?

    ReplyDelete
  5. අපි දැන් කඩෙන් කන එක අඩු කරලා ගෙදරින් කනවා. බස් එකේ ටවුන් එකට යනවා . වියදම් අඩු කරන්න කල හැකි හැම දෙයක්ම කරනවා. එතකොට ත්‍රී වීල් , රෑ කෑම කඩ, හොටෙල් සැලුන් වගේ ආදායම අඩු වෙන්නේ නැද්ද? වැඩ වල වෙළඳපොළ වටිනාකම අඩු වෙලා නෙවෙයි වැඩ අඩුවෙලා කියලයි මට හිතෙන්නේ.. ශ්‍රමයේ ඵලදායීත්වය තීරණය වන්නේ වෙළඳපොළ තුළ නමුත් කාලයට අනුරුඋපව නෙවෙයිද . එදා පලදායී ත්‍රී වීල් රස්සාව අද වේලෙනවා

    ReplyDelete
    Replies
    1. උද්ධමනකාරී තත්ත්වයක් යටතේ ත්‍රිරෝද රථ හිමියෙකු වැනි අයෙකුගේ (සහ මෙහි සඳහන් අනෙකුත් සේවා සපයන්නන්ගේ) සේවාවන් සඳහා වන ඉල්ලුම අඩු වෙනවා. ඉල්ලුම අඩු වෙද්දී ආදායම කලින් මට්ටමේ පවත්වා ගැනීම සඳහා මිල (සේවා ගාස්තු) වැඩි කරන්න වෙනවා. බොහොමයක් සේවා සපයන්නන් දැනටමත් සේවා ගාස්තු වැඩි කර තිබෙනවා. ඉල්ලුම අඩු වීමට අනුරූපව අවශ්‍ය පමණ මිල වැඩි කළේ නැත්නම් ආදායම අඩු වෙනවා. නමුත් මිල වැඩි කරද්දී ඒ හේතුව නිසාත් ඉල්ලුම අඩු වෙනවා. ඒ නිසා, ඇතැම් විට ආදායම කලින් මට්ටමටම එන තුරු මිල වැඩි කරන්න බැරි වෙන්න පුළුවන්. එසේ නොවෙන්නත් පුළුවන්. මෙවැනි සේවා සපයන්නෙකු කලින්ට සාපේක්ෂව "වේලෙනවා" වෙන්න පුළුවන්. මොකද සැපයුම අනිවාර්යයෙන්ම අඩු වෙලා නිසා. නමුත්, එන සීමිත පාරිභෝගිකයින්ගෙන් වැඩි මිලක් අය කර ආදායම පවත්වා ගන්නවා වෙන්න පුළුවන්. ආදායම වැඩි වෙලා වෙන්නත් පුළුවන්.

      Delete
    2. මෙවැනි වෘත්තිකයන් ආදායම යම් තරමකට වැඩි කර ගත්තා උනත් පෙර තිබූ පරිභෝජනය කරගෙන යන්න තරම් වැඩි කරගන්න එක ප්‍රායෝගික නැහැ නේද? මොකද මට ලැබිලා තියෙන අද්දැකීම් වල හැටියට, මාසික වැටුප ලබන බොහෝ දෙනෙක් මුලින්ම කපා දමන වියදම් මෙවා.

      Delete
    3. වෙන්න පුළුවන්. උද්ධමනය විසින් අත්‍යාවශ්‍ය නොවන දේ නිපදවන අයගේ ආදායම් අත්‍යාවශ්‍ය දේ නිපදවන අය වෙත විතැන් කරනවා. එවිට ශ්‍රම වෙළඳපොළ තුළ ශ්‍රමය විතැන් වීමක්ද වෙනවා. ඒ හරහා තමයි බෝහෝ දෙනෙකුට අවශ්‍ය දේ නිපදවීම දිරිමත් කෙරෙන්නේ. ශ්‍රම වෙළඳපොළ නම්‍යශීලීනම් අවසාන වශයෙන් ආදායම් වෙනස් වීම්ද තුලනය වෙනවා. උදාහරණයක් ලෙස ගොවීන්ගේ ආදායම් ඉහළ ගොස් ත්‍රිරෝද රථ හිමියන්ගේ ආදායම් අඩු වුනා කියමු. එහිදී ත්‍රිරෝද රථ හිමියන්ගෙන් කොටසක් ගොවිතැනට බහිනවා. ගොවි නිෂ්පාදන සැපයුම් ඉහළ ගිහින් තරඟය නිසා මිල (ටිකක්) අඩු වෙනවා. ත්‍රිරෝද රථ සේවා සැපයුම් පහළ ගිහින් අඩු වූ ඉල්ලුම එක්ක ගැලපුනාට පස්සේ ඉතිරි වී ඉන්න අයගේ අඩු වූ ආදායම් වැඩි වෙනවා.

      Delete
    4. මේකත් කාලයත් සමග උද්ධමනය විසින්ම ඉබේ විසඳෙන ප්‍රශ්නය ක් නේද? සැපයුම් වැඩි අත්‍යවශ්‍ය සේවා හෝ භාණ්ඩ නිෂ්පාදනය නොකරන ක්ෂේත්‍ර වල පුද්ගලයන් ට එක්කෝ ජීවන තත්ත්වය පහළ දමාගෙන ඉන්න වෙනවා නැතිනම් තම ශ්‍රමය ඉල්ලුම වැඩි ක්ෂේත්‍රය කට විතැන් කරන්න වෙනවා. නමුත් මෙවැනි වෙනසක් ඇති වෙන්න ආර්ථිකය යම් තරමකට ස්ථාවර වෙලා තව දුරටත් මේ විදියට යන්න බෑ කියලා තේරෙන්න අවශ්‍යයි නේද? දැන් පේන විදියට රටේ 90% වැඩි බහුතර ජනතාව හිතන් ඉන්නේ IMF ණය මුදල ලැබුණ ගමන් පෙර හිටපු ලාබ අධිපාරිභෝජන ජීවන ක්‍රමයට යන්න පුළුවන් කියලා.

      Delete
  6. මාකට් එක ඔක්කොම විසදනවා කියන එකත් අවසානයේ පන්තිරහිත කොමිනිස් සමාජයක් හැදෙනවා වගේම සීන් එකක් බ්‍රෝ

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.