සෘජු බදු හා වක්‍ර බදු ගැන මූලික කරුණු කිහිපයක් පෙර ලිපියෙහි කතා කළා. එහි මා පෙන්වා දුන්නේ සෘජු බදු වලින් මෙන්ම වක්‍ර බදු වලින්ද අවසාන වශයෙන් සිදු වන්නේ එකම දෙයක් බවයි. එසේ නොවන්නේනම්, අඩුම වශයෙන් එකම අවසන් ප්‍රතිඵලය ලැබෙන පරිදි සෘජු බදු, වක්‍ර බදු හෝ මේ දෙකේ මිශ්‍රණයක් බදු ප්‍රතිපත්තිය සේ යොදා ගත හැකි බවයි.
පෙර ලිපියේ මගේ උදාහරණය වෙත මා නැවත යන්නම්. මෙහිදී මා ආර්ථිකය කොටස් තුනකින් නිරූපණය කළා.
1. ධනවතුන් - උපයන ආදායම රුපියල් 5000
2. දුප්පතුන් - උපයන ආදායම රුපියල් 1000
3. රජය - වියදම රුපියල් 3000
සරල උපකල්පනයක් ලෙස ධනවතා මෙන්ම දුප්පතාද තමන් උපයන ආදායමෙන් බදු ගෙවීමෙන් පසු ඉතිරි වන කොටස (ආර්ථික විද්‍යා භාෂාවෙන් disposable income) මුළුමනින්ම පරිභෝජනය කර අවසන් කරනවා. ආයෝජනය කිරීමක් නැහැ. ඇත්ත තත්ත්වය මීට වඩා වෙනස් වුවත් අපි ආයෝජනය දැනට නොසලකා හරිමු.
රජයේ බදු ප්‍රතිපත්තිය වන්නේ ධනවතාගෙන් රුපියල් 2500කුත්, දුප්පතාගෙන් රුපියල් 500කුත් අය කර ගෙන වියදම පියවා ගැනීමයි. රජයේ වියදම පියවා ගත හැකි වෙනත් ආකාර අනන්ත ප්‍රමාණයක් තිබුණත් මා සලකා බලන්නට යන්නේ ඒ ගැන නෙමෙයි. බදු අය කරන්නේ කාගෙන්ද, කොපමණද කියා තීරණය කිරීමෙන් පසුව එය කළ හැකි වෙනස් ආකාර ගැනයි.
පහත ඕනෑම ක්‍රමයකින් ධනවතාගෙන් රුපියල් 2500කුත්, දුප්පතාගෙන් රුපියල් 500කුත් අය කරගත හැකියි.
1. 50%ක ආදායම් බද්දක්
2. 40%ක ආදායම් බද්දක් හා 16.67%ක වැට් බද්දක්
3. 30%ක ආදායම් බද්දක් හා 40%ක වැට් බද්දක්
4. 20%ක ආදායම් බද්දක් හා 60%ක වැට් බද්දක්
5. 100%ක වැට් බද්දක්
ධනවතුන් හා දුප්පතුන් මත පැටවෙන බදු බර තීරණය වන්නේ රජයේ බදු ප්‍රතිපත්තිය මත මිස බදු අය කරගන්නා ක්‍රමය අනුව නෙමෙයි. සෘජු බදු වලින් ලැබෙන ප්‍රතිඵලයම බොහෝ විට වක්‍ර බදු වලින්ද ලබා ගත හැකියි. එහි අනෙක් පැත්තද කළ හැකියි.
මෙය මනඃකල්පිත උදාහරණයක්. දැන් අපි ලංකාවේ ඇත්ත සංඛ්‍යාලේඛණ වෙත එමු. ඇතැම් අය අහන්නේ සෘජු බදු වැඩි කිරීමෙන් පසුවද වක්‍ර බදු අඩු නොකර එලෙසම පවත්වා ගෙන යන්නේ ඇයි කියායි.
ලංකාවේ රාජ්‍ය වියදම් (2021දී) දදේනියෙන් 21%ක්. ඒ කියන්නේ, වක්‍ර බදු අය නොකර සෘජු බදු පමණක් අය කරන්නේනම් රටේ සියලු දෙනාගේම ආදායම් වලින් 21%ක් රජය විසින් ආදායම් බදු සේ අය කළ යුතු බවයි. 2020න් පසුව පැවති උපරිම බදු සීමාවද 18%ක් පමණයි. ඒ අනුව, මෑතකාලීන බදු වැඩි කිරීමට පෙර කිසිදු ලාංකිකයෙකු විසින් වක්‍ර බදු නොමැතිව රාජ්‍ය වියදම් ආවරණය කරගත හැකි තරමේ බදු මුදලක් රජයට ගෙවා නැහැ!
බදු වැඩි කිරීමෙන් පසුව දැන් තත්ත්වය කෙසේද?
බදු වැඩි කිරීමෙන් පසුවද තමන්ගේ ආදායමෙන් 21%ක් බදු සේ ගෙවන්නේ වසරකට මිලියන 6ක පමණවත් ආදායමක් උපයන අය පමණයි. එනම්, මසකට රුපියල් ලක්ෂ පහක පමණවත් ආදායමක් උපයන අය පමණයි. ඊට අඩුවෙන් උපයන කිසිවෙකු තමන්ගේ ආදායමෙන් 21%ක් ආදායම් බදු සේ ගෙවන්නේ නැහැ.
වක්‍ර බදු අය නොකර සෘජු බදු වලින් පමණක් රජයේ ආදායම පියවා ගන්නනම් රටේ සෑම දෙනෙකුටම 21%ක ආදායම් බද්දක් ගෙවන්න සිදු වෙනවා. ඒ කියන්නේ මාසයේ පඩිය රුපියල් 10,000නම් එයින් රුපියල් 2,100ක් ආදායම් බදු ලෙස ගෙවන්න වෙනවා. (ඇතැම් රටවල මෙවැනි විශාල ප්‍රතිශතයක් වැටුපෙන් බදු සේ අය කර ගන්නා බවද කිව යුතුයි.)
රටේ සෑම දෙනෙකුගේම වැටුපෙන් හා අනෙකුත් ආදායම් වලින් 21%ක් බදු සේ අය කර ගැනීම දේශපාලනික ලෙස ශක්‍ය දෙයක්යැයි මා සිතන්නේ නැහැ. දැන් රුපියල් 120,000ක වැටුපක් ලබා ගන්නා අය නාහෙන් අඬන්නේ 1%ක ආදායම් බද්දක් ගෙවන්න සිදු වී තිබීම ගැනයි.
මේ විදිහට හැමෝගෙන්ම බදු අය නොකර ඉහළ ආදායම් ලබන අයගෙන් පමණක් බදු අය කරන්න බැරිද?
පුළුවන්. මම මෙහිදී දේශපාලනය පැත්තකින් තියනවා. අපි හිතමු රටේ වැඩි දෙනෙකුගේ කැමැත්ත අඩු ආදායම්ලාභීන්ගෙන් බදු අය නොකර වැඩි ආදායම්ලාභීන්ගෙන් පමණක් බදු අය කිරීම කියා. කොහොමටත් රටේ ජනගහණයෙන් 45%ක්ම වයස අවුරුදු 10ට අඩු හෝ මසකට රුපියල් 500 නොඉක්මවන ආදායමක් ලබන අයයි. හැමෝගෙන්ම බදු ගත්තත් ගන්න වෙන්නේ ඉතිරි 55%ක පිරිසගෙන් පමණයි. අපි එයින් බාගයක් අත හැර ජනගහණයෙන් 27.5%කගෙන් පමණක් ආදායම් බදු අය කරනවා කියා සිතමු. එම පිරිස තමන්ගේ ආදායමෙන් 25.3%ක් බදු ගෙවනවානම් මෙය කළ හැකියි. මෙහිදී මසකට රුපියල් 28,466ක් උපයන අයෙකුට එයින් රුපියල් 7,197ක් බදු සේ ගෙවන්න වෙනවා. මෙයද දේශපාලනික ලෙස ශක්‍ය නැහැ.
ආදායම් උපයන්නන් 80%ක්ම බදු වලින් නිදහස් කර ජනගහණයෙන් 11%කගෙන් පමණක් ආදායම් බදු අය කළොත් කොහොමද? ඒකත් (සෛද්ධාන්තිකව) කරන්න පුළුවන්. ඒ අයට 38%ක් ආදායම් බදු ගෙවන්න වෙනවා. ඒ කියන්නේ මාසයකට රුපියල් 54,258ක් උපයන කෙනෙකුට රුපියල් 20,632ක් බදු විදිහට ගෙවන්න වෙනවා. මාසයකට රුපියල් 54,258ක් උපයන්නේ නැති අය ඔය වැඩේට කැමති වෙයි. තමන් බදු ගෙවිය යුතු නැහැනේ. තමන්ට බදු ගෙවන්න වෙනකම් හැමෝම සමාජවාදී. හැබැයි තමන්ට බදු ගෙවන්න වෙච්ච ගමන් ඒ සමාජවාදය ඉවරයි! කවුරුත් කැමති තමන්ට වඩා ආදායම් උපයන අයට බදු ගහලා තමන් වෙනුවෙන් වියදම් කරනවටයි.
අපි ඔය සීමාව තවත් උඩට දමමු. ආදායම් උපයන්නන් 90%ක්ම බදු වලින් නිදහස් කර ජනගහණයෙන් 5.5%කගෙන් පමණක් ආදායම් බදු අය කළොත් කොහොමද? මේකත් සෛද්ධාන්තිකව කරන්න පුළුවන්. දැන් මේ ඉතිරි පිරිසට 52.5%ක බද්දක් ගෙවන්න වෙනවා. ඒ කියන්නේ, මාසයකට රුපියල් 79,000ක් උපයන කෙනෙකුට එයින් රුපියල් 41,486ක් බදු විදිහට ගෙවන්න වෙනවා. ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ.
ආදායම් බදු සීමාව උඩට තල්ලු කරන තරමට ඉතිරි වන පිරිස මත පැටවෙන බදු බර එන්න එන්නම වඩ වඩා ඉහළ යනවා. ඒ නිසා මේ වැඩේ ප්‍රායෝගිකව කළ හැකි දෙයක් නෙමෙයි. මෙහෙම කළ ගමන් ඒ අය බදු බර නිසාම ආදායම් නූපයා ඉන්න පෙළඹෙනවා. මහන්සි වෙලා උපයන ආදායමෙන් තමන්ට ප්‍රයෝජනයක් නැත්නම් ඇති පලේ කුමක්ද?
සෘජු බදු වලින් පමණක් රජයේ වියදම් පියවා ගන්නනම් රටේ සියලු දෙනාගෙන්ම යම් හෝ ආදායම් බද්දක් අය කරන්න වෙනවා. ඉහළ ආදායම්ලාභීන් මත වැඩි බදු බරක් පටවන්න පුළුවන්වුනත් ඔවුන් මත මුළු බරම පටවන්න බැහැ. නමුත්, ලංකාවේ ගොඩක් දෙනෙක්ට අවශ්‍ය තමන්ට බදු ගහන්නේ නැතිව තමන්ට වඩා වැඩියෙන් ආදායම් උපයන අයට පමණක් බදු ගහන්න. බදු අයකරන සීමාව කීය වුනත් මේ ප්‍රශ්නය තියෙනවා. සෘජු බදු වෙනුවට වක්‍ර බදු වැඩියෙන් අය කරන්න ලංකාවේ රජය පෙළැඹී තියෙන්නේ මේ ප්‍රායෝගික ප්‍රශ්නය නිසයි.
එහෙමනම්, වක්‍ර බදු විතරක් අය කරලා නවතින්නේ නැතිව සෘජු බදු වැඩි කළේ ඇයි?
සරලවම වක්‍ර බදු වලින් විතරක් රජයේ වියදම් පියවා ගන්න එකත් ප්‍රායෝගික නැහැ. 2021 සංඛ්‍යාලේඛණ අනුව රටේ සමස්ත පරිභෝජන වියදම (රාජ්‍ය පරිභෝජනය හැර) දදේනියෙන් 70.3ක්. ඒ කියන්නේ දදේනියෙන් 21.0ක රාජ්‍ය වියදම් ආවරණය කර ගන්න පරිභෝජනය මත 29.9%ක බද්දක් ගහන්න වෙනවා. හැම භාණ්ඩයක් හා සේවාවක් මතම 30%ක වැට් එකක් ගැහුවොත් වැඩේ ගොඩ. වෙන බදු අය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත්, දැනට අය කරන වැට් බද්ද 15%ක් පමණයි. ගොඩක් භාණ්ඩ හා සේවා ඒ වැට් බද්දෙනුත් නිදහස්. ඇතැම් බඩු වැට් බද්දෙන් නිදහස් කරනවා කියන්නේ ඉතිරි වන බඩු වලට 30%ක බද්දක් ගහලත් මදි කියන එකයි. කෙටියෙන් කිවුවොත්, සෘජු බදු වැඩි කළා කියලා වක්‍ර බදු අඩු කරන්න පුළුවන්කමක් නැහැ. ඔය දෙවර්ගයේම බදු ආදායම් එකතු කළත් රාජ්‍ය වියදම් ඊට වඩා වැඩියි.
එහෙමනම් කළ යුත්තේ රාජ්‍ය වියදම් අඩු කරන එක නෙමෙයිද? ඒ ගැන මම මේ ලිපියේ කතා කරන්න යන්නේ නැහැ. කලින් ලිපි වල කතා කරලා තිබෙනවා.
ගොඩක් අයට ප්‍රශ්නයක් වී තිබෙන්නේ ආදායම් උපයන සියල්ලන්ම බදු දැලට අසු නොවීම. ප්‍රායෝගිකව හරියට ආදායම් බදු ගෙවන්න වෙන්නේ වැටුප් ලබන අයට. අනෙක් ගොඩක් අය කරන්නේ ආදායම් හංගන එක. ඒ නිසාම, බදු ගෙවන අයට වැඩි බරක් වැටෙනවා.
මේ කණස්සල්ල ඉතාම සාධාරණ එකක්. බදු ගෙවිය යුතු ආදායම් උපයන බොහෝ දෙනෙක් බදු ගෙවන්නේ නැහැ. තමන්ගේ ආදායම් හංගනවා. මෙය හැකි ඉක්මණින් නිවැරදි කළ යුතුයි. එහෙම කියලා මේ වැඩේ මාසයකින් දෙකකින් කරන්න පුළුවන්කමක් නැහැ. මේක අමාරු වැඩක්. ඒ වැඩේ කරන තුරු දැලට අහුවෙලා ඉන්න මාළුන්ව අතාරින්න පුළුවන්කමක් රජයට නැහැ. මෙහි අසාධාරණයක් තිබෙනවා තමයි. නමුත් ඓතිහාසිකව සිදු වූ වැරැද්දක් නිවැරදි කරන්න කාලයක් අවශ්‍යයි.
රජය සැලසුම්කර තියෙන්නේ ඉදිරි වසර කිහිපය තුළ ක්‍රමක්‍රමයෙන් බදු දැල ශක්තිමත් කර බදු පදනම විශාල කර ගන්නයි. එවිට බදු ගෙවන සුළු පිරිස මත වැටෙන බර අඩු විය හැකියි. මෙය සිදුවිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙන්ම මහ බැංකුවේද නිර්දේශයයි.
ඔය වැඩේ කියන විදිහටම වෙයිද? (සමහර අයගේ වචන වලින්, රනිල් ඔය වැඩේ කරයි කියලා විශ්වාසද?) ඒක මට කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. මට කා ගැනවත් සහතික වෙන්න බැහැ. ඒ වගේම, මීට කලිනුත් ඔය සැලසුම් ඔය විදිහටම තිබුණා. නමුත් ප්‍රායෝගිකව වැඩේ වුනේ නැහැ. වැඩේ වෙන්නනම් දේශපාලන බලපෑම් කළ යුතුයි.
බදු පැහැර හැරීම් වැළැක්වීම කළ හැකි හොඳම ක්‍රමයක් වන්නේ රටේ සියලු දෙනාටම ආදායම් වාර්තා ගොනු කිරීම අනිවාර්ය කිරීමයි. වාර්තා ගොනු කරනවා කියන්නේ බදු ගෙවනවා කියන එකම නෙමෙයි. සාමාන්‍යයෙන් ආදායම් වාර්තා වලට ඇතැම් වියදම්ද ඇතුළත්. එක් අයෙකුගේ වියදමක් කියා කියන්නේ තවත් අයෙකුගේ ආදායමක්. හැමෝම ආදායම් වාර්තා ගොනු කරනවානම් වියදම් පැත්ත හා ගලපා සඟවන ආදායම් හොයා ගන්න පුළුවන්.
මේ වන විට සංශෝධනය කර ඇති ගෝඨාභය බදු ක්‍රමය තුළ අධ්‍යාපනය හා සෞඛ්‍ය වෙනුවෙන් කරන වියදම් බදු වලින් නිදහස් කරගත හැකි වුනා. මේ වගේ ක්‍රමයක් ඇති විට, පෞද්ගලික චැනල් ගාස්තු, ටියුෂන් ගාස්තු ආදිය වියදම් ලෙස වාර්තා වෙනවා. එවිට අනෙක් පැත්තෙන් ඒවා ආදායම් සේ වාර්තා වී ඇත්දැයි පරික්ෂා කළ හැකියි. දියුණු රටවල බදු වාර්තා විගණනය වෙන්නේ මේ ක්‍රමයටයි. හැබැයි මේ ක්‍රමය සාර්ථක වන්නේ රටේ සියල්ලන්ම බදු ගොනු කරන්නේනම් පමණයි. මගේ අදහසනම් ලංකාවේ පවතින තත්ත්වය තුළ රටේ සියල්ලන්ටම බදු ගොනු කිරීම අනිවාර්ය කිරීම ඉතාම උචිත දෙයක්.
ගොඩක් දියුණු රටවල් වල වක්‍ර බදු 20%ක් පමණ බවත් සෘජු බදු 80%ක් පමණ බවත් ගොඩක් අය කියන කතාවක්. මේ කතාව සමාජවාදී කඳවුරේ අය වගේම ලිබරල් කඳවුරේ අයත් කියනවා. කතාවත් ඇත්ත. හැබැයි එහෙම වෙලා තියෙන්නේ ඒ රටවල වක්‍ර බදු ලංකාවට වඩා ගොඩක් අඩු නිසා නෙමෙයි. සෘජු බදු ගොඩක් වැඩි නිසා. ඒ රටවලත් ලංකාවේ වගේම වක්‍ර බදු තිබෙනවා. ඊට අමතරව රටේ වැඩි දෙනෙක්ට ආදායම් බදු ඇතුළු සෘජු බදුත් විශාල ලෙස ගෙවන්න වෙනවා. බදු වැඩි නිසා රට අත ඇරලා යනවා කියලා (බොරුවට) කියන සමහර අයට රට අත හැරලා ගිහින් ලංකාවට වඩා අඩුවෙන් බදු ගෙවන්න ලැබෙන්නේ නැහැ.
ක්‍රොස් චෙක් කරන ක්‍රම ලංකාවේ තියෙද
ReplyDeleteසැලසුම් කරන වැඩ නියමෙට කෙරෙනවද
තිළිණිගෙ ළඟට ගිය අය බදු ගෙවලාද
කියා හොයන්නට සමතුන් ඉන්නවද?
Australiaවේ තිබෙනේ මෙහි සදහන් කර තිබෙනආකාරයේ system එකක්. මම දන්නා තරමින්, රටේ හැම කෙනෙක්ම annual tax file කල යුතුයි. A$ 180,000 ට (annual income ) වැඩි අදායම 45% marginal tax rate එකකට යටත්. Economatta කියන විදිහටම මේවගේ ලොකු tax rate එකක් නිසා Australiaවේ ආර්ථිකයේත් යම්කිසි ප්‍රශ්න ගොඩක් මතුවෙලා තියෙනවා. උදාහරණයක් විදිහට, සමහර දෙනෙක් වැඩිය වගකීමක් සහිත රැකියා වලට එතරම් උනන්දුවක් නැහැ, ගොඩක් දෙනෙක් investment properties ගන්න යොමුවෙලා (investment වලට ගන්න loans වල interest එක tax සදහා deduction එකක්) මේක property buble එකක් හැදෙන්න එක හේතුවක් වෙලා.
ReplyDeleteමට හිතෙන විදිහට රටවල් දෙක තියෙන්නේ අන්ත දෙකක. ලංකාවේ මේ තරම් සුළු tax rate එකකටත් මෙතරම් විරොදයක් යොමුවීම කණගාටුවට දෙයක්. මට මතක් වෙන්නේ පොඩිකාලේ අපි අහපු 'ආඩි හත්දෙනාගේ කැද හැලිය' කතාව.