Wednesday, October 5, 2022

රටේ වත්කම් වැඩි වෙලා නැද්ද?

අප්‍රේල් අවසාන වෙද්දී ලංකාවේ මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 23,310ක්. රටේ ජනගහණයෙන් බෙදුවොත් එක් අයෙකුට රුපියල් මිලියනයකට වඩා වැටෙනවා. මේ වගේ විශාල ණය කන්දක් ගොඩ ගැහිලා තියෙද්දී රටකට ගොඩ යන්න පුළුවන්ද?

පළමු වැදගත්ම කරුණ මේ ණය රජයේ ණය මිසක් රටේ ණය නෙමෙයි. මධ්‍යම රජයේ ණය වලින් වැඩි කොටසක් රජයට ණයට දීලා තියෙන්නේ රටේම මිනිස්සු. අදාළ දිනයේදී එම ණය ප්‍රමාණය රුපියල් බිලියන 12,442ක්. ඉතිරි රුපියල් බිලියන 10,868 තමයි විදේශ ණය. රටේ මිනිස්සුන්ගෙන් රජය ණය ගන්නවා කියන්නේ ඒ සල්ලි රටේම කා ළඟ හෝ තියෙනවා කියන එකයි.

මේක කිවුවේ ණය ප්‍රශ්නයේ බර අඩු කරලා පෙන්නන්න නෙමෙයි. මධ්‍යම රජයේ ණය සියල්ල විදේශ ණය නොවුනත්, රටේ විදේශ ණය සියල්ල මධ්‍යම රජයේ ණය නෙමෙයිනේ. ඒ නිසා රටේ මුළු විදේශ ණය ප්‍රමාණය ඔය ගණනට වඩා වැඩියි. 2022 ජූනි මාසය අවසන් වෙද්දී රටේ මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 48,731ක්. නමුත්, රටේ මුළු විදේශ වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 8,292ක් පමණයි. රට මුහුණ දෙන ඩොලර් ප්‍රශ්නය ඕකනේ. 

රටේ විදේශ ණය අර්බුදය ගැන ඕනෑ තරම් කතා කරලා තියෙන නිසා අදත් තව තව ඒ ගැනම කතා කරන්න අදහසක් නැහැ. මේ අර්බුදය ටිකෙන් ටික ඔඩු දුවපු ආකාරය ගැනත් අපි කතා කරලා තියෙනවා. 2001දී රටේ මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 8,372ක් පමණයි. ඕක තමයි 2019 වෙද්දී ඩොලර් මිලියන 54,816 දක්වා වැඩි වුනේ. 

මේ ණයට ගත්ත සල්ලි වලට මොකද වුනේ? කවුරු හරි හොරකම් කරලද? කාලා බීලා නාස්ති කරලද?

මේ වගේ සිල්ලර පැහැදිලි කිරීම් වලට ගොඩක් අය කැමතියි. හැබැයි ඔය වගේ පැහැදිලි කිරීම් වල තියෙන්නේ කතාවේ එක් කොණක් පමණයි. මේ සල්ලි වියදම් කරලා නාස්ති කරලා කියලා අපි කියමු. එක් අයෙකුගේ වියදමක් අනිවාර්යෙයන්ම තවත් අයෙකුගේ ආදායමක් කියලා මම කිවුවනේ. එහෙමනම්, වියදම් වලට ගැලපෙන පරිදි කාගේ හෝ ආදායම් හැදිලා තියෙන්නත් ඕනෑ. කවුරු හරි හොරකම් කළා කියමු. ඔය හොරකම් කරපු සල්ලි එක්කෝ වත්කම් විදිහට තියෙන්න ඕනෑ. එහෙම නැත්නම් වියදම් කරලා වෙන්න ඕනෑ. වියදම් කරලානම් වෙන අයෙකුගේ ආදායම් වෙලා වෙන්න ඕනෑ.

මේ තර්කය අසම්පූර්ණ බව කෙනෙකුට පෙන්වා දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ණයට ගත්ත සල්ලි ආනයන වෙනුවෙන් වියදම් කරලා වෙන්න පුළුවන්. හොරකම් කරපු සල්ලි රටින් පන්නලා වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයන් යටතේ ණය වලට හරියන්න වත්කම් රටේ නැති වෙන්න පුළුවන්.

ඕකේම අනෙක් පැත්ත වෙන්නත් පුළුවන්. ණය ගැනීම වෙනුවෙන් පෙනී සිටින අයගේ සාමාන්‍ය තර්කය වන්නේ ණය විදිහට ලබා ගන්නා ප්‍රාග්ධනය ආයෝජනය කරලා ණය හා පොලී ගෙවන්න අවශ්‍ය ආදායමට වඩා ආදායමක් උපයන්න පුළුවන් කියන එක. එහෙම වෙලානම්, ඒ ආදායම් වලින් යම් කොටසක් හෝ වත්කම් ලෙස රටේ එකතු වී තියෙන්න ඕනෑ. ඇත්තටම එහෙම වෙලා තිබෙනවා.

රටේ විදේශ ණය ආපසු ගෙවිය හැකි විදේශ වත්කම් රට ඇතුළේ නැහැ කියන එක නැවත කියන්න අවශ්‍ය නැති, මේ වෙද්දී කවුරුත් දන්නා දෙයක්. නමුත්, විදේශ වත්කම් නැහැ කියා කියන්නේ වත්කම් නැහැ කියන එක නෙමෙයි. පසුගිය කාලය මුළුල්ලේ රටේ වත්කම් විශාල ලෙස වර්ධනය වී තිබෙනවා. ගත්ත ණය වලින් වත්කම් හැදිලා නැහැ කියන එක බොරුවක්. ගත්ත ණය මෙන් කිහිප ගුණයක වත්කම් හැදී තිබෙනවා. 

එහෙමනම් ප්‍රශ්නය කුමක්ද?

ප්‍රශ්න කිහිපයක්ම තිබෙනවා. එකක් මේ වත්කම් ආදායම් වන ප්‍රමාණවත් යාන්ත්‍රණයක් නැති වීම. දෙවැන්න ආදායම් තිබෙන වත්කම් වලින් වුවත් ලැබෙන්නේ රුපියල් ආදායම් වීම. තෙවැන්න එම ආදායම් රජයේ ආදායම් නොවීම.

පළමුවැන්න වෙළඳපොළ පුළුල් නොවීම පිළිබඳ ප්‍රශ්නයක්. එයට හේතුව වෙළඳපොළ විරෝධී රාජ්‍ය ප්‍රතිපත්ති. දෙවැන්න රටේ විණිමය ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රශ්නයක්. තුන්වැන්න බදු ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රශ්නයක්. ඔය ප්‍රතිපත්ති ප්‍රශ්න තුන විසඳෙනවානම් ණය ගෙවන එක ප්‍රශ්නයක් නෙමෙයි.

ක්‍රෙඩිට් සුවිස් ආයතනය 2000 වසරේ පමණ සිට ලෝකයේ රටවල් වැඩි ප්‍රමාණයක නිවාස ඒකක වල වත්කම් ඇස්තමේන්තු කරනවා. සාමාන්‍ය මූලධර්මයක් විදිහට ඕනෑම රටක නිවාස ඒකක සතු වත්කම් ප්‍රමාණය ඒ රටේ විදේශ ණය ප්‍රමාණයට වඩා ගොඩක් වැඩියි. ලංකාව කියලා මෙහි වෙනසක් නැහැ. 

ක්‍රෙඩිට් සුවිස් ඇස්තමේන්තු අනුව, 2021 අවසානයේදී ලංකාවේ නිවාස ඒකක සතු ශුද්ධ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 401ක්. ඒ කියන්නේ රටේ විදේශ ණය ප්‍රමාණය වගේ අට ගුණයක්. රජය සතු වත්කම් මෙම ගණනට ඇතුළත් නැහැ.

අදාළ ඇස්තමේන්තු අනුව, 2021 අවසානයේදී ලංකාවේ එක් වැඩිහිටියෙකු සතු වත්කම් ප්‍රමාණය ඩොලර් 27,040ක්. එයින්, ඩොලර් 5,459ක් මූල්‍ය වත්කම්. ඩොලර් 22,259ක් මූල්‍ය නොවන වත්කම්. එක් වැඩිහිටියෙකුගේ ණය ප්‍රමාණය ඩොලර් 678ක්. මූල්‍ය හා මූල්‍ය නොවන වත්කම් එකතු කරලා ණය ප්‍රමාණය අඩු කළාම ඩොලර් 27,040 එනවා. රුපියල් වලින්නම් මිලියන 10කට කිට්ටුයි.

මේ ඇස්තමේන්තුව ආසන්නව හෝ නිවැරදි බව සැක කළ නොහැකියි. ඇස්තමේන්තු අනුව රටේම නිවාස ඒකක වල මූල්‍ය වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 80ක් පමණ වෙනවා. පුළුල් මුදල් සැපයුම, ඒ කියන්නේ රටේ සංසරණය වන නෝට්ටු හා කාසි සහ වාණිජ බැංකු වල තිබෙන මිනිස්සුන්ගේ තැන්පතු ප්‍රමාණය රුපියල් බිලියන 12,000කට කිට්ටුයි. ඩොලර් කළොත් බිලියන 33ක්. රජය විසින් නිකුත් කර තිබෙන භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රමාණයත් ඔය ගාණටම කිට්ටුයි. එතකොට ඩොලර් බිලියන 66ක් වෙනවා. සේවක අර්ථසාධක අරමුදලේ තිබෙන මිනිස්සුන්ගේ සල්ලි ප්‍රමාණය රුපියල් බිලියන 3,000ක් විතර. ඒ කියන්නේ ඩොලර් බිලියන 8ක් වගේ. බැංකු නොවන මූල්‍ය ආයතන වල තිබෙන මිනිස්සුන්ගේ සල්ලි ආදිය එකතු කළාම ඩොලර් බිලියන 80 පහසුවෙන්ම හැදෙනවා.

ලංකාවේ ගොඩක් මිනිස්සු අතේ සල්ලි තියාගෙන ඉන්නවාට වඩා ගෙවල්, ඉඩම්, වාහන ආදියට සල්ලි යට කරන එකනේ කරන්නේ. ඒ නිසා, සල්ලි වලින් තිබෙන වත්කම් ප්‍රමාණය වගේ හතර ගුණයක මූර්ත වත්කම් නිවාස ඒකක සතුව තිබෙනවා කියන එකත් පිළිගන්න අපහසුවක් නැහැ. 

ක්‍රෙඩිට් සුවිස් ඇස්තමේන්තු අනුව, 2001 වසර අවසානයේදී ලංකාවේ නිවාස ඒකක සතු වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 31ක් පමණයි. අවුරුදු විස්සකට පස්සේ ඔය ප්‍රමාණය ඩොලර් බිලියන 401ක් වෙලා. ඒ කියන්නේ ඩොලර් බිලියන 370ක වැඩිවීමක්. ඔය කාලය තුළ විදේශ ණය වැඩිවීම ඩොලර් බිලියන 42ක් පමණයි. 

ගත්ත ණය වලට හරියන්න වත්කම් හැදිලා නැහැ කියන කතාව බොරුවක් බව පැහැදිලියිනේ. වත්කම් හැදිලා තිබෙනවා. ප්‍රශ්නය මේ වත්කම් ප්‍රමාණවත් තරම් ද්‍රවශීල නොවීම, රුපියල් වත්කම් වීම හා බදු හරහා රජයේ ආදායම් නොවීම. 

ඔය විදිහට නිවාස ඒකක වල වත්කම් ඉහළ ගිහින් කියන එක තේරුම් ගන්න සංඛ්‍යාලේඛණ දිහා බලන්නම අවශ්‍ය නැහැ. අඩු වශයෙන් වයස අවුරුදු හතළිහක් වන කෙනෙක්ට පසුගිය වසර විස්ස තුළ තමන් යන එන ගෙවල් කොයි තරම් වෙනස් වෙලාද කියලා මතක් කරගත්තොත් මේ සංඛ්‍යාලේඛණ ගැන සැකයක් හිතෙන එකක් නැහැ. දශක දෙක තුනකට කලින් කොළඹ ඉඳන් දුර පළාතකට යද්දී පාරවල් අයිනේ දකින්න ලැබුණු කටු මැටි ගහපු, පොල් අතු හෙවිල්ලපු ගෙවල් අද ලේසියෙන් හොයා ගන්න පුලුවන් වෙන්නේ ටෙලි නාට්‍ය වලට පසුතල හදන තැන් වල විතරයි. මේ දවස් වල ජනප්‍රිය චරිතයක් වී සිටින අජිත් පැරකුම් ජයසිංහ ඔය වෙනස බොහොම සරල විදිහට විස්තර කරලා තිබුණා. ඒ දවස් වල මළපහ කරන්න තේ වතු අස්සේ රිංගපු රට දැන් වියලි වැසිකිලි යුගයට ඇවිත්!

ගත්ත විදේශ ණය නිවාස ඒකක වල වත්කම් ඉහළ යාමට සෘජුව සම්බන්ධයි. ඩොලර් ණයට අරගෙන අඩුවට විකුණලා විණිමය අනුපාතය පාලනය කරද්දී, එහි අවසන් ප්‍රතිවිපාක කුමක් වුවත්, වාසිය රට පුරාම පැතිරී යනවා. සිමෙන්ති කොට්ටයක්, විදුලි උපාංගයක් මිල දී ගන්න කෙනෙක් ඒවා ගන්නේ "නියම මිලට" වඩා අඩුවෙන්. ලංකාවේ ආනයන වලින් 80%ක්ම අතරමැදි භාණ්ඩ හා ආයෝජන භාණ්ඩ බව කලින් ලිපි වල කියා තිබෙනවානේ. ඔය ආනයන වලින් රට ඇතුළේ වත්කම් හැදෙනවා. හැදිලා තිබෙනවා. 

පහුගිය කාලයේ ගොඩක් අය හදාගත්තු ලොකු හෝ තමන්ගේ ආදායමේ තරමට ලොකු ගෙවල් බොහොමයක් ඇතුළේ ණයට ගත්ත ඩොලර් තියෙනවා. ඒ ගෙවල් හැදෙද්දී ඉදිකිරීම් කර්මාන්තයේ විශාල පිරිසකට රැකියා ලැබී ඔවුන්ගේ ආදායම් වැඩි වුනානේ. ඒ විදිහට ආදායම් වුනෙත් ණයට ගත්ත ඩොලර්. ඔය විදේශ ණය නොගෙන දේශීය ණය වලින් අයවැය හිඟය පියෙවුවානම්. පොලී අනුපාතික තිබුණාට වඩා ගොඩක් වැඩි වෙලා. ඒ කියන්නේ ගෙවල් හදන්න ගත්ත ණය වල පොලියෙන් කොටසක් ගෙවලා තියෙන්නෙත් ණයට ගත්ත ඩොලර් වලින්. කවුරු හරි පොදු දේපොළ අවභාවිතා කළානම් බොහෝ දුරට ඒ සල්ලිත් ගෙවල්, ඉඩම් වෙලා.

8 comments:

  1. නොහිතන දෙයකි අද ඉකොනෝ පෙන්වන්නේ
    මට නං හොඳයි, මගෙ දැනුමයි වඩවන්නේ
    ඒත් කොහේ හරි වැරැදී තියෙනවනේ
    ඒ කරුමයද අපි අද මේ විඳවන්නේ?

    ReplyDelete
  2. ඉකොනෝමැට්ටා අදහස් කරන්නේ ණය වෙලා කිව්වට ඒවාගෙන් වෙන වත්කම් අරන් තියෙනවා කියලද? එහෙම බැලුවොත් ඒ වත්කම් වල වටිනාකම අනුව අපි නය නැතුවත් ඇති නේද?

    ReplyDelete
    Replies
    1. රටේ නිවාස ඒකක වල වත්කම් වැඩිවීම විදේශ ණය වැඩිවීමට වඩා ගොඩක් වැඩියි. නමුත් ලංකාවේ ප්‍රශ්නය විදේශ බැරකම් වැඩි වෙන එක (ණය, විදේශ ආයෝජන ලබා ගන්න එක) ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ බැරකම් නිසා රට ඇතුළේ හැදෙන වත්කම් විදේශිකයින්ට විකුණන්න බැහැ. ඔන්න රට විකුණනවෝ! ඉතිං ඔය වත්කම් ටික ආච්චිගේ පෙට්ටගම වගේ තියාගෙන, ඒවායෙන් ආදායමකුත් නැතිව, නොකා නොබී පොලී ගෙවනවා.

      Delete
  3. ඔබ කියන වත්කම් ආසන්න ලෙස නිවැරදි පුරෝකථනයන්. ඕනෑම රටක ක්‍රමිකව වත්කම් වැඩිවීම සිදුවිය හැකියි කාලානුරූපව. මොකද මේ වන විට ලෝකයේ කිසිදු රටක් පූර්ණ සංවෘත තත්වයක නැහැ. ඒ නිසා කුඩා පරිමාන ආර්ථික කටයුතුවලින් පවා රටක වත්කම් ඉහල යනව. කොරියන් ගිය තරුණයින් හැමෝටම වගේ උදාහරණ ලෙස ගෙයක් තියෙනව. ඒව වත්කම්. කාගෙ හෝ වියදමක් කාගෙ හෝ ආදයමක් තමයි. නමුත් අපි වගේ රටක තියෙන්නෙ බොහෝ දෙනෙක්ගෙ වියදම් පවුල් කීපයක ආදායම් වීම. ඒ පවුල් ඒව වියදම් කරනවාද නැවත? මම හිතන්නෙ වැඩි ප්‍රමාණයක් සංචිත බවට පත් වෙනව වතකම්වලින් එයාල පූර්ණ වුනාට පස්සෙ. ඉතින් ඔය කියන වත්කම් තිබුණට දැන් ඒව ඵලදායී නැහැ රටක ආර්ථිකය දිව වීමට තරම්. ඔහේ තියෙනව.

    ගෙවල් තියෙනව. ගෙවල් ඇතුලෙ මිනිස්සුනට කන්න නැහැ. ඔබ කියන ලෙස විදේශ ණය හෝ අපනයන ආදායම්, ප්‍රේශණ හෝ වෙනත් ඕනෑම ලැබීමක් ආදායම් උපයන ආයා්ජනයක නොයෙදවන්නනෙම් වෙන්නෙ මේක තමයි. මොන මගුලක් හරි හදල පිටරටට විකුණනන්නෙ නැත්තම් මේ වගෙ හොම්බෙන් යන්න පුළුවන්. නෙළුම් කුලුණු, ක්‍රීඩාංගනත් එහෙම වත්කම්. හැබැයි ඵලක් නැහැ. ඉතින් ඔය කියන ගෙවල් දොරවල් තිබූණත් ඒවත් නිෂ්ඵලයි දැන්. නමුත් අපිට ලොකු ගෙයක් තියෙනව කිය කියා ඉන්න පුළුවන්. ඇතුලෙ ජීවිතේ හිස්.දුප්පත්.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. රට ඇතුළේ ප්‍රමාණවත් වත්කම් තිබෙනවා. මේක 1948 නෙමෙයි. 1977ත් නෙමෙයි. අඩු වශයෙන් 2001 හෝ නෙමෙයි. ඒ වත්කම් ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගන්නවානම් ණය වෙන්න අවශ්‍ය නැහැ. එක්තරා කණ්ඩායමක් අතේ රුපියල් ගොඩ ගැසී තිබෙනවා. නමුත්, ඒ අය අවදානමක් අරගෙන ඒ රුපියල් ඵලදායී නිෂ්පාදන වෙනුවෙන් ආයෝජනය කරන්නේ නැහැ. ඒකත් ඒ අයගේ වැරැද්දක්ම නෙමෙයි. රජයට ණය දී ඉහළ පොලියක් ගන්න පුළුවන් වුනාම ලොකු අවදානමක් ගන්න පෙළඹවීමක් ඇති වෙන්නේ නැහැ. මෙතැනත් පාදක ප්‍රශ්නය රජයේ අයවැය හිඟය. අනෙක් පැත්තෙන් ඇතැම් වත්කම් වල මිල බලා ඉඳිද්දී ඉහළ යනවා. ඒ නිසා ආදායමක් නොලැබුණත් වත්කම් ඉහළ යාමක් වෙනවා. ඇමරිකාවේ අලුත් කාර් එකක් ගත්තොත් අවුරුදු පහකට පස්සේ වටිනාකම තුනෙන් පංගුවක් පමණ වෙලා. ඒ නිසා, කාර් එකක් අරගෙන තියාගෙන ඉන්න එකේ වැඩක් තියෙන්නේ එය පාවිච්චි කරනවානම් හෝ ආදායම් උපයන වැඩකට යොදවනවානම් පමණයි. නමුත් ලංකාවේදී වාහනයක් අරගෙන ගෙදර තියාගෙන ඉඳලා සමහර විට අවුරුදු පහකට පස්සේ ගත්ත ගාණට වඩා වැඩියෙන් විකුනන්න පුළුවන්. මේවා සාර්ව ආර්ථික ආකෘතියේම ප්‍රශ්න. ගෙවල් වලට ආවොත්, ඇමරිකාවේ කාට හරි රස්සාව නැති වුනොත්, ආදායම් අඩු වුනොත්, ඉන්න ගේ විකුණලා පොඩි ගේකට යනවා. වැඩි ආදායමක් ලැබෙන රස්සාවක් ලැබුණොත් ඉන්න ගේ විකුණලා ලොකු ගේකට යනවා. නමුත් ලංකාවේ එවැන්නක් වෙන්නේ නැහැ. මෙයට හේතුව නෛතික බාධාවන් හා සංස්කෘතික කරුණු වල එකතුවක්. අවසාන වශයෙන් මෙහි ප්‍රතිඵලය රටේ වත්කම් වලින් ලොකුම කොටස ද්‍රවශීල නොවීමයි. ඒ නිසා, ආර්ථික අර්බුදයක් ඇති අවස්ථාවක මිනිස්සුන්ට දැනෙන පීඩාව වැඩියි. වෙළඳපොළ ද්‍රවශීලනම්, සක්‍රියනම්, මේ වගේ වෙලාවක ණය අඩු කර ගෙන වියදම් කළමණාකරනය කරගන්න පුළුවන්. දැන් වෙලා තියෙන්නේ ලොකු ගෙයක් ඇතුළට වී හූල්ල හූල්ල ඉන්න. අර යශෝරවයේ වගේ ගෙදර ශීතකරණ තිබෙනවා. නමුත් හිස්. කවුරු හරි ආවහම කඩෙන් ඔරේන්ජ් බාර්ලි අරගෙන හොරෙන් කුස්සිය පැත්තෙන් ගෙනත් ශීතකරණයට දමන්න ඕනෑ. ගෙදර වාහන තියෙනවා. තෙල් ගහන්න සල්ලි නෑ. හැබැයි කොච්චර අමාරු වුනත් ඕවා අතාරින්නේත් නැහැ. මොකද නිකම් ගෙදර තියාගෙන හිටියත් වටිනාකම වැඩි වෙනවා.

      Delete
  4. රටේ මුලු වත්කම් ප්‍රමානයට ඉන්ග්‍රිසියෙන් කියන්නෙ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. මේකේ කතා කළේනම් රටේ මුළු වත්කම් ප්‍රමාණය ගැන නෙමෙයි. නිවාස ඒකක වල වත්කම් ගැන. (Household assets)

      Delete
  5. 2010 සිට household wealth එකේ ලොකු uptick එකක් තියෙනවා. මේ කාලයේදීම තමයි ලොකුවට විදේශීය ණය ලබාගෙන තිබෙන්නේ. එහෙම බැලුවාම රටේ මිනිස්සුන්ගේ අනාගතය උකස්කර පිටින් ණය අරගෙන, ඒවා ඒ මිනිස්සුන්ටම බෙදලා, ඒ මිනිස්සුන්ගේ ප්‍රසාදය දිනාගෙන තියෙනවා. උරගේ මාළු උරාගෙ පිටේම තියල කපල.ironically, දැන් මිනිස්සු හොයනවා ඒ ණය වලින් කරපු දේවල්,ඒ මුදල් තමන් ගේම ගෙවල් වල ගොඩ ගසා තියෙන බව දන්නැහැ.

    රැවුටුන බව තේරුම් ගන්න මිනිස්සුන්ට දැනුමකුත් නැහැ, mainstream media වලින් දැනුවත් කරනෙත් නැහැ (ඒ media control කරන්නෙත් එක්කෝ ඒ මිනිස්සුන්ව රවටපු පාලකයෝ හෝ ඒ පාලකයෝ හරහා ගොඩගිය දනවතුන් විසින්). පාලකයෝ, පාලකයෝ හරහා capital ගොඩගහාගත් දනවතුන්, එකටම එක්වුන රාජ්‍ය සේවකයන් විසින් හදා ගත්ත ලොකු network එකක්.

    මෙතරමින් හෝ දැනුවත් කරන්න ගන්න උත්සාහයට economatta ට බොහොම ස්තුතියි. නමුත් ලොකු වෙනසක් වෙයි කියල මටනම් හිතන්න අමුරුයි. ප්‍රදාන වශයෙන්ම media වල control නිසා.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.