Saturday, November 12, 2022

කපා කපා කෑලි කපා...


මාළු විකුණන එකත් වෙනත් රැකියා වගේම තවත් එක් රැකියාවක්. අවතක්සේරු කළ යුතු දෙයක් නෙමෙයි. හැබැයි මාළු ආශ්‍රිත අගය එකතු කළ කර්මාන්තයක් හෝ අපනයන කර්මාන්තයක් වගේ සංකීර්ණ කටයුත්තක් කරන එක කෙසේ වෙතත්, ටවුමක මාළු කඩයක් කරන්න ලොකු අධ්‍යාපන මට්ටමක් අවශ්‍ය නැහැ. කපා කපා කෑලි කපා මාළු කෑලි ටික ඔතලා දීලා සල්ලි ගන්න වැඩේ කරන්න මහ ලොකු විභාග පාස් කරන්න අවශ්‍ය නැහැනේ. ඔය වැඩේ කරන ගොඩක් අයට එහෙම ලොකු අධ්‍යාපන මට්ටමක් ඇත්තෙත් නැහැ.

ඇත්ත වෙනකක් විය හැකි වුනත්, මූලාකෘතික මාළුකාරයෙක් කියන්නේ ටිකක් මරුමුස් මනුස්සයෙක්. පොඩ්ඩක් වචනයක් වැරදුනොත් මාළු පිහිය ඉස්සර වෙන්න පුළුවන්. පංතියක ළමයි ඕනෑවට වඩා සද්දේ දානකොට ගුරුවරුන්ට මතක් වෙන්නත් මාළු කඩේ.

"මොකද ළමයි මේ මාළු කඩේ ඇරලා වගේ?"

කොයි තරම් මරුමුස් හැසිරීම් තිබුණත්, විභාග පාස් කරලා නැතත්, මාළු ලෑල්ලක් කරන කෙනෙක් පාඩු ලබන්නේ නැහැ. ඔය ව්‍යාපාරයෙන් ප්‍රමාණවත් ලාබයක් ලැබිය හැකි ස්වභාවික ඉවක් මාළු මුදලාලි කෙනෙක්ට තියෙනවා. මාළු මුදලාලිට තමන්ගේ රස්සාව හරියට කර ගන්න බැරිවෙන්නේ රජය ඒ මනුස්සයාගේ ඔළුවට කුළුගෙඩියෙන් ගහන්න යද්දී පමණයි. 

ආණ්ඩුවක් කරන එකත් මාළු කඩයක් කරනවා වගේ වැඩක්නම්, ඔය වැඩේට වැඩි උගත්කමක් නැති, පොඩ්ඩ වැරදුණාම මාළු පිහිය අතට අරන් පස්සෙන් එළවන, ඉන්න තැන මාළු කඩේ වගේ එක ගාලගෝට්ටියක් කරගන්න පිරිසක් තෝරලා යවන එකේ අවුලක් නැහැ. මාළු පිහිය ළඟපාතක නැත්නම් අතට අහුවෙන දෑකැත්තක් මිටියක් අරන් හරි අයිස් කඩලා, මාළු කෑලි කෑලි කපලා වැඩේ හරියට කරයි කියලා මිනිස්සු හිතනවානම් ඒකටත් වැරැද්දක් කියන්න අමාරුයිනේ. හැබැයි ආණ්ඩුවක් කරනවා කියන එක මාළු කඩයක් කරනවා වගේ සරල වැඩක් නෙමෙයි. 

ඔහොම කිවුවට මාළු විකුණන එකත් ලංකාවේ රජය හා එය මෙහෙයවන ආණ්ඩුව විසින් කරන එක වැඩක්. ලංකා ධීවර සංස්ථාව කියන්නේ ඔය වැඩේට හදලා තියෙන රාජ්‍ය ආයතනය. ලංකාවේ රජය විසින් මාළු විකුණන හින්දමද මන්දා මිනිස්සුත් ඔය වැඩේට ගැලපෙන අයව රජය මෙහෙයවන්න තෝරලා යවනවා. ඒ නිසාම සමහර වෙලාවට නෙමෙයි ගොඩක් වෙලාවට පාර්ලිමේන්තුවත් මාළු කඩේ වගේ. වැඩේ කියන්නේ එහෙම මිනිස්සු ඉඳලත්, රජයට අඩු ගාණේ මාළු විකුණන වැඩේවත් හරියට කර ගන්න බැරි එක. ඒකෙනුත් පාඩුයි!

පසුගිය 2021 වසරේදී ලංකා ධීවර සංස්ථාවේ පාඩුව රුපියල් මිලියන 63ක්.

ලංකාවේ ආණ්ඩුව මාළු විතරක් නෙමෙයි. තව ගොඩක් දේවල් විකුණනවා. කජු විකුණන්න හදලා තියෙන රාජ්‍ය ආයතනය කජු සංස්ථාව. මාළු විකුණන වැඩෙන් පාඩු වුනාට කජු විකුණන වැඩෙන් ඒ විදිහට පාඩු වෙලා නැහැ. පසුගිය 2021 වසරේදී කජු සංස්ථාව රුපියල් මිලියන 16ක ලාබයක් ලබලා තියෙනවා.

හැම රාජ්‍ය ආයතනයක්ම ධීවර සංස්ථාව වගේ පාඩු ලබන්නේ නැහැ. සමහර ආයතන කජු සංස්ථාව වගේ ලාබ ලබනවා. එහෙමනම් වැරැද්ද රාජ්‍ය ආයතන වලට හරි මිනිස්සු දමලා නැතිකමද?

සමහර විට හරි මිනිස්සු ඔය තැන් වලට වැටුනොත් පාඩු නැති කරලා ලාබ උපයන්න පුළුවන්. එහෙම වෙන්න විදිහක් නැහැ කියලා කියන්න පුළුවන්කමක් නැහැ. හැබැයි ප්‍රශ්නේ එහෙම හරි මිනිස්සු ඇවිත් ලාබ උපයා දෙන එක ගැන කිසිම සහතිකයක් නැතිකම. මාළු විකුණන වැඩේ කරන්න මිනිස්සු රටේ ඕනෑ තරම් ඉඳිද්දී ඒ වැඩේ රජයට බාර දීලා ඊට පස්සේ වැඩේට හරියන මිනිස්සු හොයන අලුත් ප්‍රශ්නයක් හදා ගන්න ඕනෑද?

හැම රාජ්‍ය ආයතනයක්ම හැම අවුරුද්දකම පාඩු ලබන්නේ නැහැ තමයි. සමහර ආයතන එක දිගට පාඩු ලබනවා. තව ඒවා අතරින් පතර ලාබ ලබනවා. ඔය අතර කාලයක් එක දිගට ලාබ ලබන ආයතනත් තියෙනවා. හැබැයි මේ ලාබ කියා පෙන්වන ලාබත් ඇත්තටම ලාබ නෙමෙයි. ගොඩක් වෙලාවට බදු ගෙවන්නාගේ පැත්තෙන් බැලුවහම ඒ ලාබ ලබන ආයතන බොහොමයක්ම පාඩු ලබන ආයතන.

අපි උදාහරණයක් විදිහට කජු සංස්ථාව ගනිමු. කජු සංස්ථාවේ 2021 ලාබය රුපියල් මිලියන 16ක් බව කලින් කිවුවනේ. නමුත්, ඔය ලාබය ගන්න කජු සංස්ථාවේ හිර කරලා තිබෙන ප්‍රාග්ධනය රුපියල් මිලියන 427ක්. ඔහොම හිර කරලා තියන්න ලංකාවේ රජයට අතිරික්ත ප්‍රාග්ධනයක් නැහැනේ. රජයේ ප්‍රාග්ධනය කියන්නේ ණයට ගත්ත සල්ලි. ඒ සල්ලි වලට වාර්ෂිකව පොලී ගෙවිය යුතුයි. 

මේ දවස් වල පොලිය 30% පමණ මට්ටමකනේ. ඒ කියන්නේ රුපියල් මිලියන 427ක් වසරක් හිර කර තියන්න රුපියල් මිලියන 128ක වියදමක් යනවා. දැන් තිබෙන 30% පොලිය අසාමාන්‍ය තත්ත්වයක් ලෙස සලකලා 10%ක පොලියක් සලකමු. ඒත් රුපියල් මිලියන 43ක්. නමුත් කජු සංස්ථාවේ ලාබය රුපියල් මිලියන 16ක් පමණයි. යට කරපු සල්ලි වල පොලී වියදමවත්  ලැබෙන්නේ රුපියල් මිලියන 43ක ලාබයක් ලැබුණොත් පමණයි. 

රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් කෙළින්ම පාඩු ලබනවා. ඒවා පාඩුයි කියන එක කාටත් පැහැදිලියිනේ. නමුත් ඔය ලාබ ලබන රාජ්‍ය ආයතන වලින් වැඩි හරියකුත් ඇත්තටම බැලුවොත් පාඩු ලබන ඒවා බව ගොඩක් අයට එකවර පැහැදිලිව පේන දෙයක් නෙමෙයි. අපි හිතමු කජු සංස්ථාවේ යට කරලා තියෙන ප්‍රාග්ධනය මොන විදිහකින් හෝ ද්‍රවශීල කරලා (මෙය කළ හැකි එකම ක්‍රමය නොවුණත් ගොඩක් අයට තේරෙන බාසාවෙන් කජු සංස්ථාව විකුණලා කියා කියමු) ඔය රුපියල් මිලියන 427 එළියට අරගෙන රජය අලුතෙන් ගන්න ණය වලින් ඔය ප්‍රමාණය අඩු කර ගන්නවා කියන්නේ මේ වෙලාවේනම් වසරකට රුපියල් මිලියන 128ක ඉතිරියක්. නමුත් කජු සංස්ථාව තියාගෙන ඉන්න එකෙන් ලැබෙන්නේ රුපියල් මිලියන 16ක් පමණයි.

පහත ලැයිස්තුවේ තිබෙන්නේ 2021දී ප්‍රධාන රාජ්‍ය ආයතන 52ක ලාබ හෝ අලාබ. ඔය ලාබ වලින් ගොඩක් කජු සංස්ථාවේ ලාබ වගේ තමයි. ප්‍රතිලාභ අනුපාතය දිහා බැලුවොත් ඇත්තටම ඔය පේන ලාබය ලාබයක් නෙමෙයි. ඒ නිසාම සහ තවත් හේතු නිසා ලාබ වලට අනුපාතිකව රජයට ආදායම් ලැබෙන්නේ නැහැ. 

රාජ්‍ය ආයතන අතරින් වුනත් බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ ආයතන වල කැපී පෙනෙන වෙනසක් තිබෙනවා. කිසිසේත්ම පට්ට කාර්යක්ෂමයි කියා කියන්න පුළුවන්කමක් නැතත්, පහත ආයතන සියල්ලම 2021 වසරේදී ලාබ ලබා තිබෙනවා. අනෙක් ඇතැම් රාජ්‍ය ආයතන වලට සාපේක්ෂව මේ ආයතන කාර්යක්ෂමයි. වෙනත් හේතුත් තිබෙනවා.

ලංකා බැංකුව - රුපියල් මිලියන 43,190

මහජන බැංකුව - රුපියල් මිලියන 30,387

ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රුපියල් මිලියන 28,555

රාජ්‍ය උගස් හා ආයෝජන බැංකුව - රුපියල් මිලියන 845

නිවාස සංවර්ධන හා මූල්‍ය සංස්ථා බැංකුව - රුපියල් මිලියන 1,267

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව - රුපියල් මිලියන 2,651

සේවා නියුක්තයින්ගේ භාරකාර අරමුදල් මණ්ඩලය - රුපියල් මිලියන 33,159

සීමාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව - රුපියල් මිලියන 11,725

ජාතික රක්ෂණ භාරකාර අරමුදල - රුපියල් මිලියන 5,936

ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව - රුපියල් මිලියන 310

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය - රුපියල් මිලියන 1,780

රාජ්‍ය ආයතන අතරින් වුනත් බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ ආයතන වල වෙනසක් තිබීම අහම්බයක් නෙමෙයි. එක හේතුවක් වන්නේ මේ ආයතන පාලනය කරන හා ආයතන වල සේවය කරන අයගේ පුහුණුවේ වෙනස. ආයතනයක් ලාබ ලැබිය යුත්තේ ඇයි කියන එක ගැන අවබෝධයක් තිබෙන අය මේ ගොඩේ වැඩියි. දෙවන හා ප්‍රධානම කාරණය මේ අංශ සෑහෙන තරමකට ප්‍රතිනියාමනය වී තිබීම හා ඒ නිසාම වෙළඳපොළ තරඟයට මුහුණ දෙන්න සිදු වී තිබීම. වැඩි විස්තර බැංකු ක්ෂේත්‍රය ගැනම කතා කරන වෙනම ලිපියක කතා කරමු.

බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ තත්ත්වය මෙහෙම වුනත් විදුලිබල, බලශක්ති වැනි වෙනත් ක්ෂේත්‍ර වල දැකිය හැක්කේ කිසිම තරඟයක් නැති රාජ්‍ය ඒකාධිකාරයක්. මේ කරුණ බැහැර කරලා එම ආයතන පාඩු ලබන්නේ කළමණාකරණයේ වැරදි නිසා පමණක් කියලා කියන්න බැහැ. කළමණාකරණයේ වැරදි වුනත් ඒ විදිහට සිද්ධ වෙන්නේ රාජ්‍ය ඒකාධිකාරයක් පවතින සන්දර්භය ඇතුළේ. ලැයිස්තුවට නැවත යමු. පාඩු ලබන ආයතන අතර ඉංජිනේරු වෘත්තියට සම්බන්ධ කාර්යයන් කරන ආයතන වල භූමිකාව ගැනත් පොඩ්ඩක් සැලකිල්ලෙන් බලන්න. 

ලංකා විදුලිබල මණ්ඩලය - රුපියල් මිලියන (-21,450)

ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව - රුපියල් මිලියන (-82,208)

ශ්‍රී ලංකා වරාය අධිකාරිය - රුපියල් මිලියන 25,601

ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය - රුපියල් මිලියන (-2,996)

සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම - රුපියල් මිලියන (-755)

සීමාසහිත ශ්‍රීලන්කන් එයාලයින් සමාගම - රුපියල් මිලියන (-170,751)

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය - රුපියල් මිලියන (-3,143)

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව - රුපියල් මිලියන (-1,020)

ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය - රුපියල් මිලියන 250

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව - රුපියල් මිලියන 43

ඉහත ආයතන වල තීරණ ගන්නා අය සුදුසුකම් නැති අයද? ඒ පත්වීම් දේශපාලන පත්වීම්මද? ඒ අයට විධිමත් ලෙස ලැබෙන වෘත්තීය පුහුණුව එක්කම අවිධිමත් ලෙස ලැබෙන දේශපාලනික පුහුණුව මොන වගේ එකක්ද?

සීමාසහිත මිල්කෝ (පුද්ගලික) සමාගම - රුපියල් මිලියන 330 

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය - රුපියල් මිලියන 158

ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව - රුපියල් මිලියන (-232)

ජනතා වතු සංවර්ධන මණ්ඩලය - රුපියල් මිලියන (-481)

සීමාසහිත කුරුණෑගල වැවිලි සමාගම - රුපියල් මිලියන 468

සීමාසහිත හලාවත වැවිලි සමාගම - රුපියල් මිලියන 511

සීමාසහිත කළුබෝවිටියන තේ කර්මාන්ත ශාලාව - රුපියල් මිලියන (-15)

ශ්‍රී ලංකා කජු සංස්ථාව - රුපියල් මිලියන 16

සීමාසහිත ලංකා ඛණිජවැලි සමාගම - රුපියල් මිලියන 1,205

සීමාසහිත ලංකා පොස්පේට් සමාගම - රුපියල් මිලියන 117

සීමාසහිත කහටගහ ගැරෆයිට් ලංකා සමාගම - රුපියල් මිලියන 4

සංවර්ධන ලොතරැයි මණ්ඩලය - රුපියල් මිලියන 2,954

ජාතික ලොතරැයි මණ්ඩලය - රුපියල් මිලියන 1,003

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව - රුපියල් මිලියන 1,238

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව - රුපියල් මිලියන (-21)

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව - රුපියල් මිලියන 3,157

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල - රුපියල් මිලියන (-258)

සීමාසහිත ස්වාධීන රූපවාහිණී ජාලය - රුපියල් මිලියන (-344)

ශ්‍රී ලංකා රූපවාහිණී සංස්ථාව - රුපියල් මිලියන (-224)

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව - රුපියල් මිලියන 9

ලක්සල - රුපියල් මිලියන (-35) 

රාජ්‍ය දැව සංස්ථාව - රුපියල් මිලියන 1,236

ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව - රුපියල් මිලියන 63

සීමාසහිත ලංකා සතොස සමාගම - රුපියල් මිලියන (-880)

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව - රුපියල් මිලියන (-208)

ලංකා ධීවර සංස්ථාව - රුපියල් මිලියන (-63)

ලංකා ධීවර වරාය නිෂ්පාදන නීතිගත සංස්ථාව - රුපියල් මිලියන (-140)

සීමාසහිත ලංකා පොහොර සමාගම - රුපියල් මිලියන 124

සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම - රුපියල් මිලියන 260

සීමාසහිත හොටෙල් ඩිවෙලොපර්ස් ලංකා සමාගම - රුපියල් මිලියන (-947)

සීමාසහිත ලංකා සීනි සමාගම - රුපියල් මිලියන 1,577

ඉහත ආයතන 52හි ලාබ අලාබ වල ශුද්ධ එකතුව - රුපියල් මිලියන (-86,042)

වසර තුළ තෙල් සංස්ථාවේ, විදුලිබල මණ්ඩලයේ හා ශ්‍රීලන්කන් ගුවන් සේවයේ අලාබය පමණක් රුපියල් බිලියන 274 ඉක්මවනවා. මෙම මුදල 2021 වසර තුළ සමාගම් වලින් හා පුද්ගලයින්ගෙන් එකතු කළ මුළු ආදායම් බදු ප්‍රමාණයටත් වඩා වැඩියි. 

11 comments:

  1. අනික ඕව ලාබ ලැබුවත් එන්නෙ ඒක්දිකාරයක් හරහා.

    ReplyDelete
  2. සංස්ථාවේ මාළු ඉස්තරම් ඉකොනෝ.

    ReplyDelete
  3. හරිම වටිනා ලිපියක්. මට නම් හිතෙන්නේ ධීවර සංස්ථාව වගේම රාජ්‍ය සතු බොහෝ ව්‍යාපාර ලාබ ලබන්නට පුළුවන් . දුම්රිය ලංගම වුනත් එහෙමයි. හැබැයි නිසි දැනුමක් තියෙන ප්‍රධානීන් පත් කරලා ඒ වෙනුවෙන් පෞද්ගලික අංශය එක්ක තරග කරන්නට , නව තාක්ෂණය එක්ක හරි දැක්මක්, ව්‍යාපාර නිදහසක් වගේම හරි මිල සුත්‍රයකුත් තියෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය කියෝල මේ වගෙ කමෙන්ට් දානව කියන්නෙ ඉකොනොට ලියපු අත කපාගන්න හිතෙනව ඇති.

      Delete
    2. @ අනුරුද්ධ

      ඔබ සිටින කැනඩාව පමණක් නොවෙයි ඔස්ට්‍රේලියාව ඇතුළු විශේෂයෙන් ලෝකයේ තම පුරවැසියන් මානව සංවර්ධන දර්ශකයේ ඉහළින් සිටින කුඩා දූපත් නොවන මිලියන දහයට වැඩි ජනගහනයක් ඇති රටවල් සියල්ලම ගත් කළ ඒ සෑම රටකම පාහේ රාජ්‍ය අංශය අවම වශයෙන් 20% ක් විතර හෝ ඊට වඩා වැඩි වීම දකින්නට පුළුවන් විශේෂයෙන් අධ්‍යාපන සෞඛ්‍ය සේවා දියුණු නම් මෙය ඉතාමත් පොදුවේ දකින්නට පුළුවන් හැබැයි එක්සත් ජනපදයේ මීට වඩා වෙනස් ඒ නිසාම ද මන්දා එරට සෞඛ්‍ය සේවා හා අධ්‍යාපන ක්‍රමය එතරම් දියුණු නොවන බවත් යුරෝපීය රටවල් සහ බොහෝදෙනෙක් හිතන්නේ

      ඔබ කියන කතාවේ ඇත්තක් තියෙනවා තවත් කරුණක් වන්නේ ලංකාවේ රජයේ ආයතන පොදුවේ පාඩු ලබන නමුත් සමස්තයක් ලෙස ගත්විට ඒ ලාභය පෞද්ගලික අංශයට හෝ පොදුවේ සාමාන්‍ය පුරවැසියන් අතට පත් වන බව

      මේ නිසා සමස්තයම වඩා ගැඹුරු ලෙසින් අධ්‍යනය කරන්න ඕන සැබෑ තත්ත්වය අවබෝධ කර ගැනීමට

      විශේෂයෙන් මම කුඩා කාලයේ 1990 ගණන් වල මතකයේ හැටියට ඒ කාලයේ සහ ජේ ආර් ආර් ප්‍රේමදාස පාලන යුගයන්හි සිට ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය පුද්ගලීකරණය කිරීම සිදුවෙනු අසා දැක ඇති මා ඕස්ටේ‍ර්ලියාවට පැමිණ රජයේ ඒකාධිකාරී ක්‍ෂේත්‍ර කොපමණ තියෙනවා ද යන්න දැක ඇත්තටම පුදුමයට පත්වුණා.

      අද අපට ඇති දැනුම මත පදනම්ව එදා ලංකාවේ රජයට මෙහෙම කරන්න තිබුණා යැයි ඉකෝන් කියා ඇති දේ දුටු විට මට සිහිවුනේ මා කලකට පෙර සිතූ කරුණක්. එනම්, 1848 කැරැල්ලේ දී ඇයි පුරන් අප්පුලා ලංකාව ජනරජයක් කරන්නට නොසිතා ගොංගාලේගොඩ බණ්ඩා නම් අයෙකු සොයා ඔහු රජ කරවන්නට ක්‍රියා කළේ යන්න. ඒ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ බහුතර ඉංග්‍රීසි ජනපද එකතු වෙලා ෆෙඩරල් ආකාරයේ බලය බෙදීමක් ද සහිතව ඉතා වැදගත් ජනරජයක් පිහිටුවා තිබුණු නිසා ඒ ආකාරයට වැඩ කරන්න තිබුණා නේද කියන එක

      කොහොම වුණත් වසර ගණනාවකට කලින් මෙහෙම කළා නම් කියා, අද අපරදෘෂ්ටිය සහිතව ලංකාවට චෝදනා කිරීම තේරුමක් නෑ. ඒ කාලේ නොවේ අසූවේ දශකයේ පවා ලාංකීයයන්ගේ යටත්විජිත ස්වාමියා වූ එංගලන්තයේ ප්‍රධාන ප්‍රවාහන සේවය, විදුලි සංදේශ සේවය, විදුලිබලය තිබුණේ රාජ්‍ය ඒකාධිකාර ලෙසයි. එනිසා, 1956 දී බණ්ඩාරනායක රජය ලංකාවේ ප්‍රවාහන සේවය රජය යටතට ගැනීමට සිතීම පුදුමයක් නොවෙයි. අදත් සිඩ්නි නගරයේ බස්, සහ තදාසන්න/ප්‍රාදේශීය ප්‍රවාහන සේවා සපයන්නේ රජය මගින්. ඒවා ව්‍යාපාර නොව සේවා ලෙසයි සැලකෙන්නේ. ඒවාත් පාඩු ලබන ආයතනය තමයි

      මම හිතන්නේ ජපානයේ රජයේ ආයතන තමයි ලෝකෙ තියෙන වැඩියෙන්ම පාඩු ලබන රාජ්‍ය ආයතන හැබැයි ජපානයේ පෞද්ගලික අංශයේ ව්‍යවසායයන් කර්මාන්ත වලට ඒ හරහා විශාල වශයෙන් ලාභ ලබාගැනීමට ඉඩ ලැබී තියෙනවා තරගකාරී ලෙස උසස් තත්වයේ නිෂ්පාදන අපනයනය කිරීම හරහා

      Delete
    3. ජපානයෙ මොන රජයේ ආයතනෙද පාඩු ලබන්නෙ?

      Delete
  4. සතොස ආයතනය පහුගිය කාලේ ලාබ ලැබුවා නේද? ඒ කියන්නේ විශාල පෞද්ගලික සුපිරි වෙළඳසල් සමග වෙළඳපලේ තරග කර ඒ ලාබය උපයා ඇත්තේ.

    ඉකොනෝ කියන විවෘත වෙළදපලේ බිස්නස් කරල ආණ්ඩුවට දිනන්න බැහැ කියන තර්කය මෙතනට අදාල වෙන්නේ කොහොමද? හාල්, පරිප්පු, බීලුණු වගේ දේවල් අඩුවටත් දෙන්නේ සතොස හරහා. මත්පැන් වලින් ලාබයක් එනවා කියන එක නම් ඇත්ත. ඒත් හැම සතොස ම අරක්කු නැහැනේ.

    සමහර පෞද්ගලික සුපර්මාර්කට් වලත් සිල්ලර බදු වලට වඩා අදායමක් අරක්කු වලින් හොයනවා. ලාබයත් එහෙම ඇති. පහුගිය දවසක නිවුස් එකක් තිබ්බා මුළු දිනක මුළු අදායම ලක්ෂ 70 ක් උන සුපිරි වෙළදසලක එම මුදලින් ලක්ෂ 50 ක් ලැබී තිබුනේ මත්පැන් අලෙවියෙන් බව.

    සංස්ථා මාළු නං ලංකාවේ කොහෙත් හොදයි. අනික් පෞද්ගලික වෙළෙන්දෝ වගේ හොරට කිරන ඒවා, පරණ මාළු විකිනිලි නැහැ. සංස්ථා මාළු වලට වැඩිය ගොඩක් විට එළියේ මාළු මිල වැඩියි. එත් මම සංස්ථාවට යන්නේ බඩු හොද නිසා.

    ලක්සල නම් දැන් වහන්න සුදානම් කරලා තියෙන්නේ. ඔකේ අලාබයක් තියෙනවා කියලා පෙන්නුවට විශාල තොග ප්‍රමානයක් තියෙනවා, ඉඩකඩම්, ෂෝරූම් සැහෙන්න තියෙනවා නගර වල හොදම තැන් වල, ඒවා හරියට කළමනාකරණය නැතිකමයි ප්‍රශ්නේ. සෙමි ගවමන්ට් යන්න පුළුවන් නං ලාබයක් ගන්න පුළුවන්. ලක්සල චෙන් එකත් එක්ක රෙස්ටුන්රට්, බාර් එහෙමත් ඕපන් කරලා විදේශිකයන්ට ගැලපෙන අන්දමට.

    ReplyDelete
  5. අනික රුපවාහිනීය උනත් එහෙමනේ. අද ලංකාවේ කොයි චැනල් එකත් තමුන් ගාව තමයි හොදම, අලුත්ම තාක්ෂනය තියෙන්නේ කිව්වට රුපවාහිනියේ තියෙන සම්පත්, සේවක දැනුම අනික්වායේ නැහැ.

    අදටත් ලංකාවේ කොහේ ඉදන් හරි ලයිව් දෙන ප්‍රෝග්‍රෑම් එකක් අනාගන්නේ නැතුව දෙන්න පුළුවන් රුපවාහිනියට විතරයි. එක ඉතින් මාධ්‍ය ක්ෂත්‍රයේ ඉන්න කවුරුත් අවිවධයෙන්ම පිළිගන්න දෙයක්.

    රුපවාහිනිය කරන්න ඕනි තමුන්ගේ දැනුම බෙදා දෙන එක. නවකයන්ට මේ ගැන උගන්වන පාඨමාලා පටන් ගන්න එක. දැන් ඒක පටන් අරන් තියෙනව. ශ්‍රී ලංකා පදනම් ආයතනය එක්ක ඕක කරන්න ඕනි.

    ReplyDelete
  6. ඉතින් මේ තත්වය වෙනස්කරන්න ඔබගේ යෝජනා මොනවද

    ReplyDelete
  7. //පසුගිය 2021 වසරේදී ලංකා ධීවර සංස්ථාවේ පාඩුව රුපියල් මිලියන 63ක්.//

    වෙන මොකුත් ලියන්න ඕනි නෑ. මෙන්න උදාහරණයක්.
    බත්තරමුල්ලේ තියෙනවා විශාල මාළු වෙළෙඳ සලක්. පුද්ගලික එකක්. පටන් ගන්න කාලේ තරමයි- දැන් තියෙන විදිහයි හොඳම සාක්කියක්, දක්ෂ පරිපාලනයට. සිරිකත කැන්දා ගන්නේ කොහොමද කියලා රාජ්‍ය නිලධාරීන්ව ඒ වගේ තැන්වල මාළු කපන්න යවල ඉගැන්නුවොත්...

    ReplyDelete
  8. ලංකාවේ එයාලයින් එකනම් පාඩු ලබන්නේ පර්සිගේ කලේ ඉදලම නෑදෑකමට මුල්පුටු දුන්න නිසා . පාඩු ලබන ආයතන පුද්ගලික අංශයට දෙනවට මිනිස්සු විරුද්ද වෙන්නේ ඇයි කියල හිතාගන්න බෑ

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.