Tuesday, November 15, 2022

දර්ශනී සමන් කුමාරිට පිළිතුරු


මෙය සාමාන්ය සටහනක් නෙමෙයි. ප්රතිචාරයකට පිළිතුරක්. ෆේස්බුක් වල සීමාවන් නිසා ප්රතිචාර කොටසේ දිගු පිළිතුරු දමන එක කරදරකාරී වැඩක්. නැවත කියවා අඩුපාඩු සකසා නැති, තරමක් දිගු ප්රතිචාරයක් නිසා අත්වැරදී තිබිය හැකියි. හරියට ෆෝර්මට් කරලත් නැහැ. ඒ වගේම, ප්රතිචාර වෙනුවෙන් නැවතත් ඉතා ඉක්මණින් කාලය වැය කළ නොහැකියි. එය මග හැර යාමක් නෙමෙයි. මේ කාර්යය වෙනුවෙන් වැය කළ හැකි ස්වේච්ඡා කාලය දැනටමත් ගොඩක් ඉක්මවා ගිහින්. සටහන් වලට වැටී ඇති අනෙක් අයගේ ප්රතිචාර හා inbox ප්රතිචාර සියල්ල තවමත් කියවා අවසන් නැහැ. ඒවාට ඉඩ ලැබෙන පරිදි පසුව ප්රතිචාර සපයන්නම්. මේ සියල්ල ගැනම කණගාටුයි.

දර්ශනී සමන් කුමාරිගේ ප්රතිචාරය:
"ඉකොනොමැට්ටා credentialed economist කෙනෙක් විදියට ඔබ මීට වඩා (සමහර තැන් වලදී) ප්රවේශමින්, මීට වැඩි research rigour එකක් පෙන්නුම් කරමින් ලියනවනම් ඔබේ ෆෑන්ස්ලා වන අපි කැමතියි. ධීවර සංස්ථාව ගැන ඔබ ලියූ දේ ඔබ ලියූ දෙයක් ලෙස පිළිගන්නට සමහර ප්රේක්ශකයන් අකමැති වී එය ඔබේ පෝස්ටුව උපුටා දැක්වූ දේශපාලන ක්රියාකාරිකයෙකු අතින් දැමූ click bait කැටයමක් ලෙස සිතූ අවස්ථාවක් මා දැක්කා. නමුත් එය ඔබ ලියූ එකක් තමයි- // ඔහොම කිවුවට මාළු විකුණන එකත් ලංකාවේ රජය හා එය මෙහෙයවන ආණ්ඩුව විසින් කරන එක වැඩක්. ලංකා ධීවර සංස්ථාව කියන්නේ ඔය වැඩේට හදලා තියෙන රාජ්ය ආයතනය.// really this is so....words fail me. ඔබ නිවැරදිව හදුනා ගෙන ඈති ලෙස state owned enterprises කියන්නේ මූල්යමය ලෙස ස්වාදීන ආයතන. බජට් එකෙන් මේවා සමහරකට/බොහොමයකට ප්රතිපාදන වෙන් කලත් ඒවා independent sources of revenue තියන self sustaining වෙන්න පුළුවන්තරම් ට්රයි කරන ස්වාදීන ආයතන. ඔබ නිවැරදිව කියන විදියට // එවැනි මූල්යමය ලෙස ස්වාධීන ආයතනයකට අරමුණු දෙකකින් එකක් තියෙන්න පුළුවන්. (1) පුළුවන් තරම් ලාබ සෙවීම (2) තිරසාර පැවැත්ම සඳහා අවශ්ය ලාබයක් සොයා ගනිමින් ස්ථාපනය කළ අරමුණ ඉටු කිරීම. ඔය දෙවැන්න තමයි ඕනෑම ලාබ සඳහා නොවූ ආයතනයක ආකෘතිය (NFP)// ධීවර සංස්ථාව අයිති ඔය දෙවනි කොටසට කියලා ඔබට තේරුම් ගන්නට බැරි ඇයි? එය ස්ථාපනය කරපු අරමුණු වන්නේ එහි vision statement හි තිබෙන ලෙස To be the fundamental resource of the fisheries industry and the inspiration of the local fishing community whilst striving to become the top facilitator of the region's maritime enterprise. ඉතිං එහි විශන් එකත් එක්ක අතිශය එකඟ වෙන independent source of revenue එකක් තමයි ධීවර සංස්ථා outlets. තව දෙයක් ඔබේ දෙවනි අරමුණ 2) තිරසාර පැවැත්ම සඳහා අවශ්ය ආදායමක් (ලාබයක් නොවේ) සොයා ගනිමින් ස්ථාපිත අරමුණු ඉටු කිරීම ලෙස වෙනස් විය යුතුයි නේද? මොකද not for profit ආකෘ තියේ මුදුන් මල් කඩක් වන oxford university එක පවා philanthropic donations හා government grants මත යැපෙනව ගාස්තු අය කිරීමෙන් ලාභ ලබා පමණක් sustainable වීම NFP ආකෘ තියේ ඇතැම් අරමුණු එක්ක compatible නොවෙන්න පුළුවන්. අනෙක් බරපතළ චෝදනාව ඔබට මම එල්ල කරන ඇයි මේ state owned enterprises සමාජවාදී/කොමියුනිස්ට් රාමුවකට කොටු කරන්නේ? ඇයි State-owned enterprises of the United States ගැන හොයන්නෙ නැත්තේ? ඇයි Export–Import Bank of the United States (EXIM), තුළින් රජය එක්ස්පෝට් facilitator කෙනෙක් වෙන්නෙ මක්කටෙයි කියල අහන්නෙ නැත්තේ? ඇයි Federal Home Loan Banks වගේ දෙයක් රජයෙන් ස්පොන්සර් කරන්නේ ඇයි කියල අහන්නෙ නැත්තේ? මම කියන්නේ ඔබ ඔබෙන්ම අහන්නෙ නැත්තෙ ඇයි? එහෙම ඇහුවොත් සමහර විට SOE ගැන වඩා BALANCED විදියට ඔබට හිතන්න පුළුවන් වෙයිද?"
(Part 1) ඔබේ විවේචනාත්මක අදහස් හා යෝජනා සහිත ප්රතිචාරය පිලිබඳව ස්තුතියි! එම අදහස් හා යෝජනා සැලකිල්ලට ගත් බව සඳහන් කරන අතර පිළිතුරු අවශ්යයැයි පෙනෙන කොටස් සඳහා පිළිතුරු සපයන්නම්.
//2) තිරසාර පැවැත්ම සඳහා අවශ්ය ආදායමක් (ලාබයක් නොවේ) සොයා ගනිමින් ස්ථාපිත අරමුණු ඉටු කිරීම ලෙස වෙනස් විය යුතුයි නේද?//
නැහැ. මෙය වැරදීමක් නෙමෙයි. මතක විදිහට මීට පෙර අවස්ථාවකත් මේ ගැන විස්තරාත්මක පැහැදිලි කිරීමක් සමඟ ප්රතිචාරයක් දැම්මා. ඔබේම උදාහරණ අනුව යමින් ඔබ අදහස් කරන්නේ ඇමරිකාව වැනි බටහිර රටක ලාබ සඳහා නොවන ආයතන (NFP) ගැන කියා හිතනවා. NFP ලාබ නොලබන බව සිතීම විශාල වැරැද්දක්. එම ආයතනද PF මෙන්ම ලාබ උපයනවා. මෙය අවධාරණය කර, වගකීමෙන් යුතුව කරන ප්රකාශයක්. මේවා ලාභ ඉපැයීම ප්රධාන අරමුණ කර නොගත් ආයතන මිස ලබා නූපයන ආයතන නෙමෙයි. වෙනස තියෙන්නේ ලාබ උපයන්නේ ඇයි කියන කරුණ තුළයි. PF එකක් ලාබ උපයන්නේ ඒ වෙනුවෙන් මුදල් යෙදවූ අය වෙනුවෙන්. NFP එකක් ලාබ උපයන්නේ ඒ වෙනුවෙන් මුදල් යෙදවූ අයගේ අරමුණ වූ වෙනත් කිසියම් කාර්යයක් වෙනුවෙන්. ඒ වෙනස හැරුණු විට ක්රියාකාරිත්වයේ වෙනත් විශාල වෙනසක් නැහැ.
වෙනත් අරමුණු වෙනුවෙන් වැය කරන කොටසද කොටසද ගිණුම් වාර්තා වල වියදම් සේ සටහන් වන නිසා ගිණුම් වල විශාල ලාබයක් නොපෙනෙන්න පුළුවන්. එය බදු නොගෙවා සිටීම සඳහා කරන (නීත්යානුකූල) වැඩක්. PF එකක ලාභාංශ ගෙවීම් ආදායම් හා වියදම් ගිනුමක වියදම් ලෙස සටහන් වන්නේ බදු ගෙවීමෙන් පසු ලාභයට පහළින්. NFP එකක ප්රධාන අරමුණ වෙනුවෙන් කරන වියදම් තියෙන්නේ ලාභයට ඉහළින්. එවැනි ආයතනයක ලාබ දෙස බලනවා කියන්නේ PF එකක ලාභාංශ ගෙවීම් වලින් පසු ඉතිරි වන කොටස දෙස බලනවාට සමාන දෙයක්. (ආර්ථික විද්යාත්මක පදනමකින්. ගිණුම්කරණ පදනමකින් බැලුවොත් සංසන්දනය නිවැරදියි).
ඇමරිකාවේ නීතිය අනුව NFP ලෙස ලියාපදිංචි වී තිබෙන ආයතනයක් එහි ප්රකාශිත අරමුණ නොවන වෙනත් කාර්යයක් සඳහා මුදල් වැය කර ඇත්නම් බදු ගෙවිය යුතුයි. තවත් සීමාවන් ගණනාවක් තිබෙනවා. NFP එකකට මුදල් නොගෙන ස්වේච්ඡාවෙන් වැඩ කරන අයට අමතරව වැටුපට වැඩ කරන අය බඳවාගෙන එම සේවකයින්ගේ වැටුප් ගෙවීම වෙනුවෙන් මුදල් යෙදවිය හැකි වුවත්, එසේ වැටුප් සේ ගෙවිය හැක්කේද වෙළඳපොළ පවතින තත්ත්වයන් මත අදාළ කුසලතා ඇති සේවකයින් තරඟකාරී පදනමින් බඳවා ගැනීම පිණිස ගෙවිය යුතු තරමේ වැටුප් පමණයි. මෙය වරින් වර ඇමරිකාවේ IRS එකේ විගණනයට ලක් වෙනවා. විවිධ NFP ආකෘති, නීතිය අනුව කර තිබෙන වර්ගීකරණයන්, ඒවා අතර සමානකම් හා වෙනස්කම් කතා කරන්න පුළුවන් වුනත් ඉතාම පුළුල් විෂයක් වන මේ ගැන කතා කරන්න යනවා කියන්නේ පොතක් ලියනවා වගේ වැඩක්. ඇමරිකාව ඇතුළේ වුනත් NFP ගැන දුර්මත ප්රචලිතයි. ඒ නිසා, වෙබ් සර්ච් කළොත් ඇතැම් විට මේ සාමාන්ය විස්තරය හා නොගැලපෙන කරුණුත් ඔබට හොයා ගන්න පුළුවන් වෙයි. මේ සාමාන්ය තත්ත්වය.
ලාබයක් ලබන්න ආදායමක් අවශ්ය නිසා ආදායමක් කියන එක කොහොමටත් නිවැරදියි. නමුත් NFP එකක් කවර හෝ ආදායමක් ලැබීම ප්රමාණවත් නැහැ. යාන්තමින් පිරිවැය ආවරණය වන ආදායමක් ලැබීමත් ප්රමාණවත් නැහැ. එවැනි ආදායමක් පමණක් උපයා ස්ථාපිත අරමුණු ඉටු කිරීමේ හැකියාවක් නැහැ. සාමාන්යයෙන් ආයතනයක් වෙනුවෙන් මුදල් වැය කරන අයට ප්රකාශිතව කියන කුමක් හෝ පුළුල් අරමුණක් තිබෙනවා. ඒ අරමුණ ඉටු කර ගැනීමට වියදමක් යනවා. අරමුණ වෙත යන තරමට වියදමද වැඩි වෙනවා. ඒ නිසාම, සාමාන්ය වියදම ඉක්මවා ආදායම් ලබන තරමට අරමුණ කරා වැඩි දුරක් යා හැකියි. මෙය PF එකක් පුළුවන් තරම් ලාබ හොයද්දී සිදු වෙන දෙයමයි. එකම වෙනස එක්රැස් කරගන්නා ලාබ ආයතනයට මුදල් යෙදවූ අය විසින් ඉවත් කර නොගෙන වෙනත් අරමුණක් වෙනුවෙන් යොදවන එක පමණයි.
(Continued…)
(Part 2)
//ඇයි State-owned enterprises of the United States ගැන හොයන්නෙ නැත්තේ? ඇයි Export–Import Bank of the United States (EXIM), තුළින් රජය එක්ස්පෝට් facilitator කෙනෙක් වෙන්නෙ මක්කටෙයි කියල අහන්නෙ නැත්තේ?...//
මේක සාමාන්යයෙන් මම උත්තර දෙන්න මහන්සි වෙන්නේ නැති ඉතාම සම්ප්රදායික විවේචනයකට බොහෝ කිට්ටු එකක්. හරියටම කිවුවොත්, ලිපියේ තිබෙන දේවල් ගැන කතා නොකර එහි නැති දෙයක් ලිපියේ වැරැද්දක් ලෙස පෙන්වීම. වහලෙ කැඩිලා කියා කිවුවහම ඇයි අල්ලපු ගෙදර වහලෙත් කැඩිලා කියල පේන්නේ නැද්ද කියා අහන එකත් ඕකෙම වර්ෂන් එකක්. මේ සටහන ලිවුවේ ලංකාවේ ප්රධාන රාජ්ය ආයතන ගැන. ලංකාවේ රජය විසින් ප්රධාන රාජ්ය ආයතන ලෙස හඳුනා ගන්නා ආයතන 52ක සංඛ්යාලේඛණ මෙහි තිබෙනවා. මට සාපේක්ෂව සහ ඇතැම් පාඨකයින්ට සාපේක්ෂව මෙහි තිබිය යුතු නැති ඒවා වුනත් ඉවත් කරලා නැහැ. මෙය ඇමරිකාවේ රාජ්ය ආයතන ගැන ලියපු ලිපියක් නෙමෙයි. ඒ නිසා State-owned enterprises of the United States ගැන මේ ලිපියෙහි ලියන්න කිසිම අවශ්යතාවයක් නැහැ. නමුත් දැන් ඔබ අසා තිබෙන නිසා සහ එහෙම අහන එක පිටුපස යම් තාර්කික හේතුවක් තිබෙන නිසා වෙනස්කම් (හා සමානකම්) පැහැදිලි කරන්නම්.
ඔව්. Export–Import Bank of the United States එක නිශ්චිත වාණිජ අරමුණක් වෙනුවෙන් ස්ථාපනය කර තිබෙන රාජ්ය ආයතනයක්. සාමාන්යයෙන් ඇමරිකාවේ මෙවැනි ආයතන ගොඩක් නැහැ. ඒ වගේම බොහෝ විට එවැනි ආයතනයක් ස්ථාපනය කරන්නේ අදාළ අරමුණ ඉටු කරගන්නා තුරු සීමිත කාලයකට. අවශ්යතාවය දිගටම තියෙනවානම් හරි, කිට්ටුවෙන් යන වෙනත් අවශ්යතාවයක් ඇත්නම් හරි කොන්ග්රස් එක කාලය දිගු කරනවා. නැත්නම් ආයතනය නිකම්ම අහෝසි වෙලා යනවා. ඇමරිකාවේ දැන් තිබෙන මහ බැංකුව හදන්න පෙර තිබුණු second bank එක නිකම්ම අහෝසි වී ගියෙත් ඔය ක්රමයට. අනෙක් රටවල් විදේශ වෙළඳාමට මැදිහත්වීම් කරද්දී ඇමරිකන් රජය එසේ නොකිරීම නිසා ඇමරිකානුවන්ට සිදුවන අවාසිය තුලනය කිරීම මේ ආයතනය පිහිටුවීමේ අරමුණයි. අනෙක් ඇතැම් රටවල් දිගින් දිගටම තමන්ගේ රටට වාසිදායක ලෙස කටයුතු කරන නිසා එහි බලපෑම නිශේධනය කර level playing field එකක් හැදීමට මෙම ආයතනය දිගින් දිගටම රීචාටර් කරන්න සිදු වී තිබෙනවා. චීන රජය විසින් ගත් ඇමරිකාවට අවාසිදායක, නිදහස් වෙළඳාමට බාධා කෙරෙන ක්රියාමාර්ග පදනමක් කරගනිමින් 2019දී මෙහි චාටර් එක 2026 දක්වා දිගු කළා. 2026දී නැවත කොන්ග්රසය නීතියක් සම්මත නොකළොත් මෙය අහෝසි වෙනවා. එහෙත් ප්රායෝගිකව එසේ වෙන්න ඉඩකඩ ඉතාම අඩුයි. මෙය කෙටිකාලීන ඉලක්ක ඇතිව වුනත් දීර්ඝ කාලයක් (වසර 88ක්) පවතින ආයතනයක්.
(Continued…)
(Part 3)
කෙටිකාලීන ඉලක්ක ඇති මෙම ආයතනයේ කටයුතු වෙනුවෙන් වාර්ෂිකව රජයෙන් මුදලක් වෙන් කරන නමුත් එම මුදල යොදවා ලාබ උපයා වසර අවසානයේදී ගත් මුදල හා ලාබය නැවත රජයට ආපසු ගෙවිය යුතුයි. ඇතැම් වසර වල මෙය සිදු වී නැතත් දිගුකාලීනව මෙය සිදු වෙනවා. ඒ අතරම ඒ හරහා ඇමරිකන් ජනතාවට මෙන්ම රජයටද පැහැදිලිව පෙනෙන මුදලින් ඇස්තමේන්තු කළ හැකි ලාබයක් ලැබිය යුතුයි. ඒ කියන්නේ ගිණුම්කරණ ලාබ ලැබීම ප්රමාණවත් නැහැ. ආර්ථික ලාභද තිබිය යුතුයි. ආර්ථික ලාබ ලැබෙන්නේ බදු ගෙවන්නට. ගිණුම්කරණ ලාබ ආයතනයට. මෙවැනි ආයතනයකින් අපේක්ෂිත ඉලක්කය ඉටු නොවේනම් කොන්ග්රසය විසින් එම ආයතනයේ පැවැත්ම පාදක වන නීතිය (mandate එක) අලුත් කරන්නේ (recharter කරන්නේ) නැහැ. මෙවර වසර 7කට අලුත් කළත් බොහෝ විට වසර පහකට වරක් කාර්ය සාධනය පරීක්ෂා කර බලනවා. එහිදී පළමුව ආයතනය බදු ගෙවන්නන්ට බරක් නොවන තරමට ලාභ උපයා තිබිය යුතුයි. දෙවනුව ආයතනය තිබීම නිසා බදු ගෙවන්නන්ගේ ආයෝජනයට ආර්ථික ලාභ (ROI) ලැබී තිබිය යුතුයි.
පැහැදිලි ලෙසම Export–Import Bank of the United States යනු මූල්යමය ස්වාධීනත්වය සහිත ආයතනයක්. ප්රධාන අරමුණ ලාබ ලැබීම නොවුනත් ලාබ සොයමින් එම ලාබ අරමුණ සඳහා යොදවන ආයතනයක් ("EXIM is considered a self-financing agency, which means that EXIM collects funds from credit program customers which are used to offset, or “pay-back” the EXIM appropriation to the U.S." "When self-financing, any additional collections made in excess of the amount paid back for the appropriation are sent to Treasury to offset the federal debt."). පෞද්ගලික අංශයට කළ හැකි දේවල් කරන්න නොයන, පෞද්ගලික අංශයෙන් සිදු නොවන දේ කිරීමට පිහිටුවා තිබෙන ආයතනයක් ("When private-sector lenders are unable or unwilling to provide financing, EXIM fills in the gap for American businesses by offering financing programs." "EXIM assumes credit and country risks that the private sector is unable or unwilling to accept"). එසේ වුවද බදු මුදලින් නඩත්තු නොවන, බදු ගෙවන්නන්ට මුදල් උපයා දෙන ආයතනයක් (බදු ගෙවන්නන්ට මුදල් උපයා දෙන ආයතනයක්. (Since 1992, ... EXIM has sent a net $9.0 billion to the U.S. Treasury for repayment of U.S. debt. ).
(Continued…)
(Part 4)
//ඇයි Federal Home Loan Banks වගේ දෙයක් රජයෙන් ස්පොන්සර් කරන්නේ ඇයි කියල අහන්නෙ නැත්තේ?//
වැරදි අදහසක්. Federal Home Loan Banks ඇමරිකන් රජයෙන් ස්පොන්සර් කරන්නේ නැහැ. (නීතියෙන් නියාමනය හරහා වෙළඳපොළ ගයිඩ් කිරීමක් හැර) මෙම බැංකු පොදු සමාගම් නොවුනත්, කොටස් වෙළඳපොළ ලැයිස්තුගත කර තිබෙන සමාගම්. අයිතිය තියෙන්නේ ඇමරිකාවේ බැංකු හා අනෙකුත් මූල්ය ආයතන (7600ක් පමණ) සතුවයි. මෙය සමුපකාරයක හා රක්ෂණ වැඩ පිළිවෙලක මූලධර්ම මත ක්රියාත්මක වන ආයතනයක්. රජයෙන් ලබා දී තිබෙන සහාය බදු වලින් නිදහස් කිරීම. වෙනත් NFP වලටත් මේ බදු නිදහස ලැබෙනවා. නිවාස ණය දෙන මූල්ය ආයතනයක පෙර වසරේ ලාබ වලින් 10%ක් FHLB කොටස් වල ආයෝජනය කළ යුතුයි. එම මුදල් යෙදවිය හැක්කේ (ඔබ ඔබ නිවැරදිව දන්නවායැයි සිතන) නිශ්චිත අරමුණ සඳහා. එය කරන්නෙත් පාඩුවට නෙමෙයි. අදාළ ව්යාපාරික කටයුත්තෙන් ලාබ උපයන අතර එම ලාබ කොටස් හිමියන් අතර බෙදී යනවා.
මේ එක් එක් ආයතනය ක්රියාත්මක වන සාර්ථක ආකෘති දෙකක් තිබෙනවා. ඒවා වෙළඳපොළ මත පදනම් වූ ආකෘති. ඔබ ඉදිරිපත් කළ ඉහත නිදර්ශන දෙකේදීම සිදු වී තිබෙන්නේ පෞද්ගලික අංශය විසින් ගන්නට මැලිවෙන අවදාමනක් රජය විසින් ගෙන වෙළඳපොළ කාර්යක්ෂම කිරීමයි. එහෙම නැතුව පෞද්ගලික අංශයට කළ හැකි මාළු විකිණීම වැනි වැඩක් රජය විසින් කරන එක නෙමෙයි. අවදානම ගන්නේ පාඩු ලබන්න බලාගෙන නෙමෙයි. එය නීතිය තුළම පැහැදිලිව හා නිශ්චිත ලෙස සඳහන් දෙයක්. අවදානම ගන්නවා වගේම ලාබත් ලබනවා. බදු ගෙවන්නන්ට වාසියක් මිසක් බරක් නැහැ. ආකෘති දෙකම කෙටිකාලීනව tax-neutral.
Part 5
//මොකද not for profit ආකෘතියේ මුදුන් මල් කඩක් වන oxford university එක පවා philanthropic donations හා government grants මත යැපෙනව ගාස්තු අය කිරීමෙන් ලාභ ලබා පමණක් sustainable වීම NFP ආකෘතියේ ඇතැම් අරමුණු එක්ක compatible නොවෙන්න පුළුවන්.//
මේකත් ඔබ පටලවාගෙන තිබෙන දෙයක්. philanthropic donations හා government grants කියා කියන්නේ බටහිර රටක සරසවියක ව්යාපාරික ආකෘතියේම කොටසක්. සිසුන්ගෙන් ගාස්තු අය කරනවා වගේම මෙයත් සල්ලි හොයන ප්රධාන ක්රමයක්. philanthropic donations එකතු කිරීම සඳහා සාමාන්යයෙන් ඕනෑම ප්රධාන සරසවියක වෙනම අංශයක් තිබෙනවා. එහි වැටුප් ලබන සැලකිය යුතු තරමේ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඔවුන් එසේ ආධාර එකතු කිරීම පිලිබඳව විශේෂ පුහුණුවක් ලබපු අය. මේ විෂය සඳහා විශ්ව විද්යාල උපාධි පාඨමාලා වගේම පශ්චාත් උපාධි පාඨමාලාද තිබෙනවා. මෙය ආයතනය නඩත්තු කිරීම සඳහා පිනට සල්ලි ගැනීමක් නෙමෙයි. බදු මුදල් මෙන් බලෙන් ගන්න දෙයකුත් නෙමෙයි. මුදල දෙන කෙනාට අවශ්ය වැඩේ කරන්න ගන්න මුදලක්. ඒ මගින් සේවයක් සැපයීමක්. මුදල් අය කර උගන්වනවා වගේම තමයි.
දැන් ලංකාවේ ඇතැම් දුෂ්කර පාසැල් වල සිසුන්ට දිවා ආහාර සපයන වැඩ සටහන් ගණනාවක් තිබෙනවා. අප ප්රදේශයේ ශ්රී ලාංකික පවුල් ගණනාවක් මේ සඳහා මාස්පතා මුදල් යවනවා. මේ කාටවත් ලංකාවේ අදාළ පාසැලට ගිහින් දිනපතා කෑම උයා දෙන්න බැහැ. ඒ නිසා, එහෙම කරන කෙනෙකුට "තමන්ට අවශ්ය වැඩේ කරගන්න" සල්ලි යවනවා. එය චිත්රපටියක් බලද්දී මෙන් තමන්ගේ සතුට වෙනුවෙන් ගෙවන මිලක්. මෙහි අතුරු ප්රතිඵලයක් ලෙස පාසැල් සිසුන්ට වාසියක් වෙනවා. චිත්රපටියක් බලද්දීත් එයින් යම් පිරිසකට වාසියක් වෙනවා. oxford university එකට philanthropic donations දෙන අය එම සරසවිය හරහා කරගන්නෙත් ඒ වගේ තමන්ට අවශ්ය වැඩක්. එසේ කරන්න අවශ්ය අය සොයා යමින් මුදල් එකතු කර ගැනීම කියන්නේ ව්යාපාරික කටයුත්තක්. එම සරසවිය සේවාදායකයෙක්. මෙය තරඟකාරී ව්යාපාරයක්. ඔය වැඩේ කරන්නේ oxford university එක පමණක් නෙමෙයි. ඒ වගේම විශ්ව විද්යාල පමණකුත් නෙමෙයි. එහිදී අනෙක් තරඟකරුවන් හා තරඟකරන්න වෙනවා. හැම විටම වඩා කාර්යක්ෂම වෙන්න සිදු වෙනවා.
අඩු මිලට හොඳ අධ්යාපනයක් ලබා දීම කාර්යක්ෂමතාවය පෙන්විය හැකි ක්රමයක්. වැඩි මිලක් අය කර අධ්යාපනයේ ගුණාත්මක භාවය පහළ දැමුවොත් එයින් ලාබයක් ලැබෙන නමුත් philanthropic donations අඩු වී ලාබ අඩු වෙනවා. ඒ නිසා අඩු මිලට හොඳ අධ්යාපනයක් ලබා දීමත් ලාබ වැඩි කර ගැනීම සඳහාම දායක වන කරුණක්. කවර හෝ හේතු නිසා philanthropic donations ලැබෙන ආයතන වලට මෙය සාර්ථක ව්යාපාරික ආකෘතියක්. (මේ හේතු විස්තර කරන්න යන්නේ නැහැ).
මෙයින් oxford university එකේ ප්රධාන අරමුණ අවතක්සේරු කිරීමක් කරන්නේ නැහැ. මේ කොටසෙන් විස්තර කළේ සාමාන්ය ව්යාපාරික ආකෘතියක මෙය විය හැකි ආකාරයක් පමණයි. oxford university එක ඇතුළු බොහෝ විශ්ව විද්යාල වල ආදායමෙන් ටියුෂන් හා පර්යේෂණ ආදායම් එක්ක බැලූ විට philanthropic donations කොටස ඒ තරම්ම විශාල කොටසක් නෙමෙයි. government research grants කියන්නෙත් philanthropic donations වගේම තමයි. පිනට දෙන සල්ලි නෙමෙයි. නිශ්චිත කාර්යයක් සඳහා තරඟකාරී පදනම මත දෙන සල්ලි. මේ research grants ගන්න ඕනෑම සරසවියක් විශාල මහන්සියක් දරනවා. ඒ වෙනුවෙන්ම ආයෝජන කරනවා. උදාහරණයක් ලෙස research grants ගැනීමට මහන්සි වෙන අයට එසේ කිරීම වෙනුවෙන් grant දෙනවා. oxford university එක පවත්වා ගෙන යන්නේ ලාබ ලැබීමේ අරමුණ පෙරදැරිව නෙමෙයි. නමුත් එම ආයතනය ලාබ ලබන ආයතනයක්. අදාළ අරමුණ ඉටුකර ගත හැක්කේ ලාබ ලබන තරමටයි. කෙසේ හෝ ලාබ ලබන එකනම් ලාබ සෙවීම ප්රධාන අරමුණ කරගත් ආයතනයක්වත් නොකරන දෙයක්. ඕනෑම ලාබ ලබන ආයතනයකට ආචාර ධාර්මික සීමාවන් තිබෙනවා. ඊට අමතරව business scope එකකුත් තිබෙනවා. පහත තියෙන්නේ පසුගිය වසර වල oxford university එකේ ලාබ.
2020/21: Surplus before tax - GBP 830.2 million
2019/20: Surplus before tax - GBP 295.1 million
(Continued…)
Part 6
//ධීවර සංස්ථාව අයිති ඔය දෙවනි කොටසට කියලා ඔබට තේරුම් ගන්නට බැරි ඇයි?//
ආයතනයක විෂන් මිෂන් බලා ආයතනය විග්රහ කරන්න යාම ගැන කණගාටු වෙනවා. පිටකවරය බලා පොතක් ගැන දැන ගැනීම මම මේ හා සසඳන්නේ නැත්තේ යම් දුරකට එය කළ හැකි නිසයි. ගොඩක් වෙලාවට විෂන් මිෂන් හදන්නේ advertising agency.
ලංකා දුම්කොළ සමාගමේ විෂන් එක "Our vision is to build A Better Tomorrow by reducing the health impact of our business through offering a greater choice of enjoyable products for our consumers." දැන් ඔබ කියන්නේ ලංකා දුම්කොළ සමාගම සිගරැට් හදා විකුණන එක අතුරු කාර්යයක් කියලද? Distilleries Company of Sri Lanka එකේ මිෂන් එකේ කොටසක් "Uplifting the quality of life of our people." ඕවායේ වැරැද්දක් නැහැ කියා පහසුවෙන් තර්ක කරන්න පුළුවන්. නමුත් මේ ආයතන කරන්නේ දුම්වැටි, මත්පැන් විකුණා ලාබ හොයන එක. ප්රධාන අරමුණ ඒක. ජාතික ලොතරැයි මණ්ඩලයේ විෂන් එක "The leader creating state investment through the contribution of all communities aimed at socio-economic development of the country." නමුත් ප්රායෝගිකව කරන්නේ ලොතරැයි විකුණා පුළුවන් තරම් ලාබ හොයන එක.
පහත තියෙන්නේ ලංකා ධීවර සංස්ථාවේ වෙබ් අඩවියේ ඇති තොරතුරු අනුව එහි කාර්යයන් (https://www.cfc.gov.lk/web/index.php?option=com_content...
.).
“Present Situation - Current Activities
Following are the main business activities being carried out by the Ceylon Fisheries Corporation at present.
Purchase of fish directly from fishermen through our regional offices.
Import of fish.
Distribute and sale of fish at a reasonable rate to the consumers through our retail fish outlets.
Sale of packet fish at a reasonable rate through State Institutions like Lak Sathosa, Co-op Cities etc. to reduce the cost of living of the consumers.
Supply of fish to all Government Hospitals.
Conducting of Mobile fish sales in rural areas.
Conducting of Fish Mela sales in popular towns.
Production and sale of fish fillet.
Production and sale of ice to fisheries sector and other traders.
Providing cold room facilities to fisheries sector and other traders.
Providing processing facilities to foreign fishing vessels.
Purchase of fish from the foreign fishing vessels.”
ඔය ලැයිස්තුව දිගට නොලියා වචන දෙකකින් ලියනවානම් මටනම් සුදුසුම වචන දෙක "මාළු විකිණීම". එයට ඔබ එකඟ නැත්නම් මම තර්ක කරන්න යන්නේ නැහැ. මෙය තර්ක කර එකඟතාවයකට පැමිණිය නොහැකි subjective කරුණක්.
(continued..)
Part 7
//ඇයි මේ state owned enterprises සමාජවාදී/කොමියුනිස්ට් රාමුවකට කොටු කරන්නේ?//
මම දන්නා තරමින් කොමියුනිස්ට් සමාජයක් කියන්නේ මනෝරාජික අදහසක්. කොමියුනිස්ට් සමාජයක රජයක් කියා එකක් නැහැ. ඒ නිසාම state owned enterprises තියෙන්න විදිහකුත් නැහැ. මම සටහනේ කිසිම තැනක ඔය වචනය පාවිච්චි කරලත් නැහැ. (එහෙම කරලනම් කියන්න) කොමියුනිස්ට් කොහොම වුනත් state owned enterprises සමාජවාදී අදහසක්. ධනවාදයට බර තියන රටක රජය විසින් පෞද්ගලික අංශයට කළ හැකි ව්යාපාර කිරීම ඉතා අඩුවෙන් සිදුවන දෙයක්. එහෙම සිදුවෙනවානම් බොහෝ විට ඒ වෙන්නෙත් (සමාජවාදය නොවුනත්) සමාජවාදී මූලධර්ම මත. නමුත් සමාජවාදී මූලධර්ම ක්රියාත්මක වෙන්නෙත් ධනවාදී රාමුවක් ඇතුළේ. සමාජ ප්රජාතන්ත්රවාදී ලෙස හඳුන්වන රටවල වෙන්නේ ඒකයි. සමාජවාදී කියන වචනය මම යොදාගත් තැන මතක නැහැ. එසේ යොදාගත්තා වෙන්න පුළුවන්. එහෙම යොදාගෙන ඇත්නම් එහි වරදක් මට පෙනෙන්නේ නැහැ.
සමාජවාදී ආර්ථික ක්රමයක් කියන්නේ වෙනම එකක්. ඔබ කියන (මගේ සටහනේම මුලින් විස්තර කළ) දෙවන ආකෘතිය තියෙන්නේත් ධනවාදී රාමුවක් ඇතුළේ. සමාජවාදී ආකෘතිය ඊට වඩා මුළුමනින්ම වෙනස් එකක්. ඒකේ (ආන්තීය තත්ත්වයේදී) පෞද්ගලික අංශයක් නැහැ. නිෂ්පාදනය බෙදා හැරීම ආදී සියල්ල කරන්නේ රජය. ඒ නිසාම බදු කියා දෙයකුත් නැහැ. බදු මුදලින් නඩත්තු වීම හෝ සුබසාධනය කියා එකකුත් නැහැ. ලංකාවේ සමසමාජ/කොමියුනිස්ට් පක්ෂ වල පරමාදර්ශය වුනේ ඔය ක්රමය. දැන් තිබෙන සමහර පක්ෂ තවමත් ඉන්නෙත් ඔතැන. පෞද්ගලික අංශය නැත්තටම නැති කළ නොහැකි වුනත් වාමාංශික සභාග ආණ්ඩු යන්න හදපු තැන ඕක. දැනට ලංකාවේ ඉතිරිව තිබෙන රාජ්ය ව්යවසාය බොහොමයක් (මම එකින් එක පරීක්ෂා කර නැහැ) ඔය සමාජවාදී පරමාදර්ශය ඇතුළේ හදපු ආයතන වල ඉතිරි වී තිබෙන නෂ්ඨාවශේෂ මිසක් මම විස්තර කළ දෙවන ආකෘතියේ ආයතන නෙමෙයි. ධීවර සංස්ථාව හැදුවේ ලංකාවේ ධීවර කර්මාන්තයට සම්බන්ධ හැම කටයුත්තක්ම රාජ්ය ඒකාධිකාරයක් යටතේ කරන්න. ඒ විදිහටම වැඩ සිදුවුනානම් පෞද්ගලික ධීවර කර්මාන්තයක් කියා එකක් නැහැ. ධීවර කර්මාන්තයත් විදුලි බල සැපයුම් කර්මාන්තය වගේ වෙනවා.
“The Ceylon Fisheries Corporation was established in 1964 under the State Industrial Corporations Act. No.49 of 1957 and commenced its commercial operations in 1965. At the commencement, the objectives of the Corporation covered the entire fisheries sectors. The objectives of the Corporation were given in the Extra Ordinary Gazette Notification, number 14186 01st October 1964 is mentioned below.
The Corporation should directly or through authorized agents engage in fish production using trawlers in deep sea fishing operations.
The Corporation should directly or through authorized agents engage in fish processing (canning and drying, processing) and in the production of fish by products.
The Corporation should directly or through authorized agents engage in the distribution and sale of fish on wholesale and retail basis.
The construction and maintenance of fishery harbours, anchorages inclusive of cold storage rooms.
Import and sales of fishing gear and necessary equipments to the fisheries industry.
The Corporation should act for and on behalf of the Department of Fisheries or any other Government Department for the purpose of development of the fishing industry.
The construction of boats and small ships for the fisheries industry.
To provide facilities for the repairs and maintenance of fishing boats.
Manufacture and sale of fisheries equipments.
The CFC is a Statutory Government Organization, which is fully owned by the State and has it’s unitary status as the apex body of the fisheries industry under the Ministry of Fisheries & Aquatic Resources Development.”
ඔය සමාජවාදී ආයතනික ව්යුහය තමයි අද තිබෙන තැන දක්වා රූපාන්තරණය වී තියෙන්නේ. වෙනත් ගොඩක් රාජ්ය ආයතන ගත්තත් එහෙමයි (ලංවිම, තෙල් සංස්ථාව, ශ්රී ලන්කන්). මේ හැම එකක්ම සමාජවාදී මූලධර්ම මත හදපු ආයතන මිසක් oxford university එක වගේ ලිබරල් ආයතන නෙමෙයි. ඉතා පැහැදිලිවම ලංකා ධීවර සංස්ථාව අද කරන මූලික හා ප්රධානම කාර්යය මාළු විකුණන එක. ඒක කරන්නේ ලාබ ලබන්න. එය explicitly කියපු අවස්ථා තිබෙනවා. විස්තර ලියන්න ගියොත් තවත් ගොඩක් දිගට යනවා. පහත ලිපිය කියවන්න. මම නිරවද්යතාවය තහවුරු කළ කරුණු තිබෙන එකක් නොවුනත්, නිවැරදියි කියා හිතන කරුණු තිබෙන ලිපියක්.

2 comments:

  1. ඉකොනෝ මහත්තයා කාන්තාවක් එක්ක චැට් කරපු එකක් අපි කියවන එක හරි නැති නිසා මේක කියෙව්වේ නැහැ.

    ReplyDelete
    Replies
    1. දර්ශණ සමන් කුමාර වෙන්න ඇති.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.