Thursday, November 17, 2022

වෙරළු ගෙඩියක වටිනාකම කොපමණද?

ඩොලර් එක දැන් තියෙන මට්ටමේ තියෙන්නේ පාලිත තත්ත්වයක් යටතේ කියලා කවුරුත් වගේ දන්නවා. ඩොලරයක මිල නිදහසේ තීරණය වෙන්න ඇරිය යුතු බව IMF එකේත් නිර්දේශයක්. ඒ විදිහට ඩොලරය නැවත පා කළහම කීයට යයිද කියන එක ගොඩක් අයට තිබෙන ප්‍රශ්නයක්. 

මේ ප්‍රශ්නය මට පිළිතුරු දිය හැකි ප්‍රශ්නයක් නෙමෙයි. එහෙම පුළුවන්නම්, මම ඒ ගැන සටහනක් නොදා ඉන්නේ නැහැ. මේ වැඩේ මූලධාර්මික ලෙසම කළ නොහැකි වැඩක්. මොකද එහෙම පුළුවන්නම්, එයින් අදහස් වන්නේ ඩොලරයට වෙළඳපොළෙන් ස්වායත්ත කිසියම් ආකාරයක වාස්තවික වටිනාකමක් තියෙනවා කියන එක. 

ඩොලරයක මිල පමණක් නෙමෙයි වෙනත් ඕනෑම දෙයක වටිනාකම සම්බන්ධ ධනවාදී අදහස භාණ්ඩයකට හෝ සේවාවකට එවැනි වාස්තවික (objective) වටිනාකමක් නැහැ කියන එක. භාණ්ඩයකට ඒ මත යෙදවූ ශ්‍රමය මත පදනම් වන විශ්වීය (universal), වාස්තවික වටිනාකමක් තියෙනවා කියන එක මාක්ස්වාදී අදහසක්. මාක්ස්වාදයේ එන සූරාකෑම කියන කතාව ප්‍රබන්ධ කර තියෙන්නේ ඔය උපකල්පනය මත පදනම්වයි.

ධනවාදී ආර්ථික විද්‍යා මූලධර්ම අනුව ඕනෑම භාණ්ඩයක හෝ සේවාවක වටිනාකම කියන්නේ ආත්මීය (subjective) කරුණක්. එය එක් එක් පුද්ගලයාට සාපේක්ෂයි. රජයට හෝ වෙනත් පුද්ගලයෙක්ට කවදාවත් ඒක හරියටම දැන ගන්න බැහැ. වෙළඳපොළ ක්‍රමය කාර්යක්ෂම වන්නේම මේ හේතුව නිසා. ගනුදෙනු හරහා භාණ්ඩයකට අඩු ආත්මීය වටිනාකමක් දෙන අය අතේ තිබෙන භාණ්ඩ එම භාණ්ඩයටම වැඩි ආත්මීය වටිනාකමක් දෙන අය අතට යනවා. මේ හරහා අගය එකතු වීමක් (value addition) සිදු වෙනවා. ගනුදෙනු වැඩි වන තරමට භාණ්ඩය මත අගය එකතු වීම වැඩියි. 

"වෙරළු ගෙඩියක වටිනාකම කොපමණද?


කාගෙවත් ඇස නොගැටෙන 

ඇති නිසා හැමතැනම අපමණව 

ගස් යට වැටී කුණුවන 

වෙරළු ගෙඩියක 

වටිනාකම කොපමණද?


දහදියෙන් පෙඟී ගිය 

අත් මිටක මොලවාන 

උතුරනා සෙනෙහසින් අපමණව 

ඔබට දෙන්නට 

සඟවාගෙන ආ වෙරළු ගෙඩියක 

වටිනාකම කොපමණද?


නැති නිසා ඔබ ආවේ 

සොවින් පිරි හදවතින් අපමණව 

වීසි කළ ලාච්චුව මුල්ලකට 

කුණු වී දිරා යන 

වෙරළු ගෙඩියක 

වටිනාකම කොපමණද?"


උඩින් තියෙන ජනක විජයකුලසූරියගේ කවියේ භාණ්ඩයක වටිනාකම පිළිබඳ ධනවාදී අදහස ඉතාම හොඳින් පැහැදිලි කරනවා. ධනවාදී ආර්ථික විද්‍යාව අනුව, ලාච්චුව මුල්ලේ කුණු වී දිරා යන වෙරළු ගෙඩියටත් ආත්මීය වටිනාමක් තිබෙනවා. නමුත් එය විශ්වීය වටිනාකමක් නෙමෙයි. වටිනාකම තියෙන්නේ එක් නිශ්චිත පුද්ගලයෙක්ට. ඒ පුද්ගලයාටම වුනත්, ඒ වෙරළු ගෙඩියේ තිබෙන ආත්මීය වටිනාකම සර්වකාලීන වටිනාකමක් නෙමෙයි. කාලයත් එක්ක වටිනාකම් වෙනස් වෙනවා.

කිසියම් පුද්ගලයෙකු විසින් භාණ්ඩයකට දෙන ආත්මීය වටිනාකම අපිට හරියටම දැන ගන්න බැරි වුනත්, ඒ ගැන යම් අදහසක් ගන්න පුළුවන්. හැබැයි එය කළ හැක්කේ නිදහස් වෙළඳපොළක් ඇත්නම් පමණයි. මෙය ඩොලරයක මිලටත් අදාළයි.

කවුරු හෝ කෙනෙක් රුපියල් 360කට ඩොලරයක් මිල දී ගන්නවානම් එයින් අදහස් වෙන්නේ එම පුද්ගලයා ඩොලරයට දෙන ආත්මීය වටිනාකම අවම වශයෙන් රුපියල් 360ක් බවයි. එය ඊට වඩා වැඩි ඕනෑම ගණනක් වෙන්න පුළුවන්. ඒ වගේම, එය විකුණන පුද්ගලයා ඩොලරයකට දෙන උපරිම ආත්මීය වටිනාකම රුපියල් 360යි. එය ඊට වඩා අඩු ඕනෑම ගණනක් වෙන්න පුළුවන්. 

දැන් එතකොට ඩොලරයක මිල කියා කියන්නේ කුමක්ද? 

ඕනෑම භාණ්ඩයක, මේ උදාහරණයේදීනම් ඩොලරයක, වෙළඳපොළ මිල කියන්නේ සමස්තයක් ලෙස අදාළ භාණ්ඩයට වැඩිම සමුච්ඡිත ආත්මීය වටිනාකමක් ලබා දෙන මිලයි. ඒ ඇයි?

වෙළඳපොළ මිල කියා කියන්නේ ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිල. අපි හිතමු ඩොලරයක ඉල්ලුම හා සැපයුම සමතුලිත වන මිල රුපියල් 400ක් කියලා. එයින් කියැවෙන්නේ කුමක්ද? 

ඩොලරයකට රුපියල් 400 ඉක්මවන ආත්මීය වටිනාකමක් දෙන ඕනෑම කෙනෙකුට වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්න පුළුවන්. ඒ කියන්නේ වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්න හැම කෙනෙක්ම ඒ වෙනුවෙන් ගෙවන්නේ තමන්ට සාපේක්ෂ ඩොලරයක ආත්මීය වටිනාකමට වඩා අඩු මිලක්. අනෙක් අතට තමන් අතේ තිබෙන ඩොලරයක රුපියල් 400 ඉක්මවන ආත්මීය වටිනාකමක් නොදකින ඕනෑම කෙනෙකුට තමන්ගේ ආත්මීය වටිනාකමට වඩා වැඩි මිලකට ඩොලරයක් විකුණන්න පුළුවන්. මේ වැඩෙන් වෙන්නේ ඩොලර් විකුණන වගේම මිල දී ගන්නා හැම කෙනෙක්ම අතිරික්ත තෘප්තියක් ලබන එක. අතිරික්ත ආත්මීය වටිනාකමක් එකතු කර ගන්න එක.

දැන් ඔය මිල රුපියල් 400 නොවී රුපියල් 360 මට්ටමේ හිර කර ගෙන ඉඳිද්දී වෙන්නේ කුමක්ද? ඩොලරයට රුපියල් 360ක ආත්මීය වටිනාකමක් නොදෙන අය තමන්ගේ ඩොලර් විකුණනවා. ඒ අයට වගේම ඒ ඩොලර් මිල දී ගන්න අයටත් කලින් වගේම වාසියක් වෙනවා. නමුත් රුපියල් 360ක් ගෙවා ඩොලර් මිල දී ගන්න අවශ්‍ය සියල්ලන්ටම ඒ සඳහා අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ අය අතෘප්තිමත්. ඒ ඇතැම් අය ඩොලරයකට රුපියල් 400ක් වුවත් ගෙවන්න කැමතියි.  ඒ වගේම, ඩොලර් එකකට රුපියල් 380ක ආත්මීය වටිනාකමක් දෙන කෙනෙකුට එය රුපියල් 360 බැගින් විකුණන්න අවශ්‍ය නැහැ. නමුත් මිල රුපියල් 400 වුනොත් තමන් අතේ තිබෙන ඩොලරය විකුණා රුපියල් 20ක වාසියක් ලබන්න පුළුවන්. මිල පාලනය නිසා ඒ වාසිය නැති වෙනවා. 

වටිනාකම් වල තිබෙන ආත්මීය ස්වරූපය නිසාම ඉල්ලුම හා සැපයුම සමතුලිත වන වෙළඳපොළ මිල හරියටම දැනගන්න පුළුවන් එකම ක්‍රමය නිදහස් ගනුදෙනු වලට ඉඩ හරින එකයි. එහෙම නොකර ඒ මිල කලින් දැන ගන්න ක්‍රමයක් නැහැ. එහෙම කරන්න හදනවා කියන එකම රජය විසින් ව්‍යවසායකයින් පුහුණු කරනවා වගේ විරුද්ධාභාෂයක්.

කොහොම වුනත් විණිමය අනුපාතයේ දිගුකාලීන හැසිරීම පැහැදිලි කරන ක්‍රය ශක්ති සාම්‍ය මූලධර්මය වගේ මූලධර්ම තිබෙනවා. ඒ ඇසුරෙන් විණිමය අනුපාතයේ අපේක්ෂිත හැසිරීම පිළිබඳ යම් අදහසක් ගන්න පුළුවන්. ඒ ගැන අපි ඉදිරි සටහනක කියවමු.



2 comments:

  1. ආත්මයක් නැති එවුන්ය වැඩිය සිටින්නේ - එතකොට
    ආත්මීය වටනාකම කොහොම ලබන්නේ
    පෙර පිනකට වලිගෙ නැතිව ඉපදිල ඉන්නේ - ඔව්වොව්!
    ඒ හින්දයි අපිව මසට නොමරා ඉන්නේ

    ReplyDelete
  2. More than economics , this is Life Lesson

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.