Saturday, November 19, 2022

සල්ලි අච්චු ගැසීම


මෙහි සටහන් ලියා පළ කරද්දී පුද්ගලයින් විවේචනය කරමින් හෝ අගය කරමින් ලියන්නට අප වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. අප විමසුමට ලක් කරන්නේ විවිධ ප්‍රතිපත්ති තීරණ හේතුවෙන් සිදුවන හෝ සිදු විය හැකි දෙයයි. එහිදී අදාළ ප්‍රතිපත්ති තීරණ හෝ ක්‍රියාමාර්ග මිස එම තීරණ ගත් පුද්ගලයා කවුද යන්න අප අදාළ කර ගන්නේ නැහැ. අප නිවැරදි සේ දකින තීරණයක් කවුරු ගත්තත් අප ඒ බව කියන්නට පැකිලෙන්නේ නැහැ. වැරදි තීරණ සම්බන්ධවත් මේ ප්‍රතිපත්තියේ වෙනසක් නැහැ.

අප විමසුමට ලක් කරන බොහොමයක් ප්‍රතිපත්ති තීරණ තාක්ෂනික ලෙස ආයතනික තීරණ වුවත්, විශේෂයෙන්ම ලංකාවේ සන්දර්භය තුළ, අදාළ ආයතන පාලනය කරන පුද්ගලයින් එම තීරණ කෙරෙහි කරන බලපැම අපට මග හැර යා නොහැකියි. ඒ හේතුව නිසාම, ලියන කිසියම් කරුණකදී සෘජුව හෝ වක්‍ර ලෙස පුද්ගල සංසන්දනයන් සිදු වන්නේනම් අප එය ප්‍රශ්නයක් කර ගන්නේ හෝ වංගු ගසා මග හැර යන්නේද නැහැ.

මේ කතාව රජයේ හෝ මහ බැංකුවේ තීරණ බොහොමයකටද අදාළයි. මහ බැංකුවේ තීරණ යනු ආයතනික තීරණ මිසක් එහි අධිපතිවරයාගේ තීරණ නෙමෙයි. ඒ හේතුව නිසාම, මහ බැංකුව විසින් අධිපතිවරුන්ගේ ධුර කාල අනුව තොරතුරු හෝ සංඛ්‍යාලේඛණ වෙන් කර පෙන්වන්නේ නැහැ. එහෙත්, විවිධ පුද්ගලයින් විසින් එසේ කරනවා. 

මෑතකදී හිටපු අධිපතිවරුන් දෙදෙනෙකු වන ලක්ෂ්මන් හා කබ්රාල්ගේ කාල වල හා වත්මන් අධිපතිවරයාගේ කාලය තුළ මහ බැංකුව විසින් කළ "සල්ලි අච්චු ගැසීම්" ගැනද එවැනි සංසන්දනයක් සිදුව තිබෙනවා. මේ සටහන ඒ ගැන කිහිප දෙනෙකු විසින් සිදු කළ විමසුම් වලට පිළිතුරක් කියා කියන්න පුළුවන්.

මහ බැංකුව සල්ලි අච්චු ගහන්නේ කොහොමද? මහ බැංකුව අච්චු ගහන සල්ලි කියන්නේ මොනවාද?

මම හිතන්නේ කියවන බොහෝ දෙනෙකුට තේරෙන තැනකින් පටන් ගෙන මෙය පැහැදිලි කිරීම වඩා සුදුසු බවයි. කාගේ හෝ අතේ ඇති රුපියල් සීයේ, පන්සීයේ හෝ පන්දාහේ නෝට්ටුවක් සල්ලි කියා මම කිවුවොත් මෙය කියවන කිසිවෙකු එයට විරුද්ධ වෙන එකක් නැහැ. රුපියලේ හෝ රුපියල් දහයේ කාසියක් වුනත් සල්ලි බව කවුරුත් එකඟ වන දෙයක්.

ලංකාවේ සංසරණයේ ඇති සියලුම රුපියල් නෝට්ටු හා කාසි සංසරණයට එකතු කර තිබෙන්නේ මහ බැංකුව විසිනුයි. ඒ නිසා, සංසරණයේ තිබෙන නෝට්ටු හා කාසි ප්‍රමාණය මහ බැංකුව හරියටම, අන්තිම සතේටම, දන්නවා. මහ බැංකුව මේ තොරතුරු ප්‍රසිද්ධ කළොත් අපිත් දන්නවා. 

පහත තියෙන්නේ 2019 වසර අවසානයේ සංසරණයේ තිබුණු රුපියල් නෝට්ටු ප්‍රමාණය.

රුපියල් 5000 නෝට්ටු මිලියන 89.3ක පමණ වටිනාකම - රුපියල් මිලියන 446,313 යි.

රුපියල් 2000 නෝට්ටු මිලියන 2.0ක පමණ වටිනාකම - රුපියල් මිලියන 4,044 යි.

රුපියල් 1000 නෝට්ටු මිලියන 134.4ක පමණ වටිනාකම - රුපියල් මිලියන 134,368 යි.

රුපියල් 500 නෝට්ටු මිලියන 83.4ක පමණ වටිනාකම - රුපියල් මිලියන 41,697 යි.

රුපියල් 200 නෝට්ටු මිලියන 0.6ක පමණ වටිනාකම - රුපියල් මිලියන 128 යි.

රුපියල් 100 නෝට්ටු මිලියන 236.6ක පමණ වටිනාකම - රුපියල් මිලියන 23,663 යි.

රුපියල් 50 නෝට්ටු මිලියන 114.4ක පමණ වටිනාකම - රුපියල් මිලියන  5,721 යි.

රුපියල් 20 නෝට්ටු මිලියන 293.6ක පමණ වටිනාකම - රුපියල් මිලියන 5,877 යි.

රුපියල් 10 නෝට්ටු මිලියන 126.0ක පමණ වටිනාකම - රුපියල් මිලියන 1,260 යි.


සංසරණයේ තිබුණු නෝට්ටු වල මුළු වටිනාකම = රුපියල් මිලියන  663,139 යි. 


මේ විදිහටම අපට සංසරණයේ තිබුණු කාසි ප්‍රමාණයේ වටිනාකමත් බලාගන්න පුළුවන්.

රුපියල් 10 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 6,721 යි.

රුපියල් 5 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 4,696 යි. 

රුපියල් 2 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 1,477 යි. 

රුපියලේ කාසි වල වටිනාකම - රුපියල් මිලියන 964 යි. 

සත 50 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 185 යි. 

සත 25 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 121 යි. 

සත10 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 39 යි. 

සත 5 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 23 යි.

සත 2 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 6 යි. 

සතයේ කාසි වල වටිනාකම - රුපියල් මිලියන 4 යි. 

සංසරණයේ තිබුණු කාසි වල මුළු වටිනාකම = රුපියල් මිලියන 14,828 යි. 

ඔය රුපියලෙන් පහළ කාසි ඇත්තටම දැන් සංසරණයේ නැහැ. නමුත්, ඒවාත් මහ බැංකුවේ සංඛ්‍යාලේඛණ වල තිබෙනවා. මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණයේ මුහුණත වටිනාකම රුපියල් මිලියන 677,967ක්. ඔය 2019 අවසාන වෙද්දී තිබුණු තත්ත්වය. 

දැන් අපි 2021 අවසානයේදී තත්ත්වය දිහා බලමු. 

රුපියල් 5000 නෝට්ටු මිලියන 145.9ක පමණ වටිනාකම - රුපියල් මිලියන 729,384 යි.

රුපියල් 2000 නෝට්ටු මිලියන 1.5ක පමණ වටිනාකම - රුපියල් මිලියන 2,951 යි.

රුපියල් 1000 නෝට්ටු මිලියන 160.8ක පමණ වටිනාකම - රුපියල් මිලියන 160,771 යි.

රුපියල් 500 නෝට්ටු මිලියන 104.6ක පමණ වටිනාකම - රුපියල් මිලියන 52,284 යි.

රුපියල් 200 නෝට්ටු මිලියන 0.6ක පමණ වටිනාකම - රුපියල් මිලියන 126 යි.

රුපියල් 100 නෝට්ටු මිලියන 274.7ක පමණ වටිනාකම - රුපියල් මිලියන 27,472 යි.

රුපියල් 50 නෝට්ටු මිලියන 141.7ක පමණ වටිනාකම - රුපියල් මිලියන  7,087 යි.

රුපියල් 20 නෝට්ටු මිලියන 361.7ක පමණ වටිනාකම - රුපියල් මිලියන 7,235 යි.

රුපියල් 10 නෝට්ටු මිලියන 124.9ක පමණ වටිනාකම - රුපියල් මිලියන 1,249 යි.


සංසරණයේ තිබුණු නෝට්ටු වල මුළු වටිනාකම = රුපියල් මිලියන 988,628 යි.

රුපියල් 20 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 41 යි. 

රුපියල් 10 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 7,674 යි. 

රුපියල් 5 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 5,168 යි. 

රුපියල් 2 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 1,588 යි. 

රුපියලේ කාසි වල වටිනාකම - රුපියල් මිලියන 1,023 යි. 

සත 50 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 185 යි. 

සත 25 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 121 යි. 

සත10 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 39 යි. 

සත 5 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 23 යි. 

සත 2 කාසි වල වටිනාකම - රුපියල් මිලියන 6 යි. 

සතයේ කාසි වල වටිනාකම - රුපියල් මිලියන 4 යි. 

සංසරණයේ තිබුණු කාසි වල මුළු වටිනාකම = රුපියල් මිලියන 16,472 යි. 

2021 අවසානයේදී මහ බැංකුව විසින් නිකුත් කර තිබුණු මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණයේ මුහුණත වටිනාකම = රුපියල් මිලියන 1,005,099 යි. 

2019 අවසානයේදී මහ බැංකුව විසින් නිකුත් කර තිබුණු මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණයේ මුහුණත වටිනාකම = රුපියල් මිලියන 677,967 යි 

2019-2021 කාලය තුළ සංසරණයේ පැවති මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණයේ නාමික වටිනාකම වැඩි වීම = රුපියල් මිලියන 327,132යි. 

2022 මාර්තු 31 වන විට මෙම ප්‍රමාණය රුපියල් මිලියන 1,099,324 දක්වා ඉහළ ගොස් තිබුණා.

ඒ අනුව, 2019 අවසානයේ සිට 2022 මාර්තු 31 දක්වා කාලය තුළ සංසරණයේ පැවති මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණයේ නාමික වටිනාකම වැඩි වීම = රුපියල් මිලියන 421,352ක්. මෙය 62.2%ක වැඩි වීමක්.

මේ වැඩි වීමෙන් රුපියල් මිලියන 318,413ක් වැඩි වුනේ 2019 අවසානයේ සිට 2021 සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ. ඒ කියන්නේ ආසන්න වශයෙන් මහ බැංකු අධිපති ලක්ෂ්මන්ගේ කාලය තුළ. ඉතිරි රුපියල් මිලියන 102,944 වැඩි වුනේ ආසන්න වශයෙන් මහ බැංකු අධිපති කබ්රාල්ගේ කාලය තුළ.

කොහොම වුනත්, මහ බැංකුව විසින් සල්ලි අච්චු ගහනවා කියන කතාව ඔය තරම්ම සරල නැහැ. මහ බැංකුව විසින් සල්ලි අච්චු ගසා සංසරණයට එකතු කරන ආකාරය මම කිහිප වරක්ම විස්තරාත්මකව පැහැදිලි කර තිබෙනවා. පසුව නැවතත් පැහැදිලි කරන්නම්. එතෙක්, දැන් කියා තිබෙන ටික පැහැදිලියිනේ. රුපියල් නෝට්ටු හා කාසි කියන්නේ සල්ලි බව කවුරුත් දන්නවා. මෙය කිසිසේත්ම විවාදිත කරුණක් නෙමෙයි. තේරුම් ගන්න අමාරු කරුණකුත් නෙමෙයි. 

මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නෝට්ටු හා කාසි තියෙන්නේ කොහේද? මෙයින් කොටසක් මිනිස්සුන්ගේ අතේ තියෙනවා. ඉතිරි කොටස බැංකු වල. මිනිස්සු කිවුවහම ව්‍යාපාරත් ඇතුළත්. මේකත් පැහැදිලියිනේ. පහළ තියෙන්නේ 2022 ජූනි 30 වෙද්දී තත්ත්වය. 

2022 ජූනි 30 වෙද්දී බැංකු වල තිබුණු නෝට්ටු හා කාසි ප්‍රමාණය = රුපියල් මිලියන 317,305 යි. 

2022 ජූනි 30 වෙද්දී බැංකු වලින් පිට තිබුණු නෝට්ටු හා කාසි ප්‍රමාණය = රුපියල් මිලියන 797,471 යි. 

2022 ජූනි 30 වෙද්දී මහ බැංකුවෙන් පිට තිබුණු මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණය = රුපියල් මිලියන 1,114,776 යි. 

ඒ කියන්නේ 2022 මාර්තු හා ජූනි අතර සංසරණයේ පැවති මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණයේ නාමික වටිනාකම වැඩි වී තියෙන්නේ රුපියල් මිලියන 15,452කින්. අවශ්‍යනම් කලින් වකවානු එක්ක සංසන්දනය කරගන්න. 

දැන් ඔය මහ බැංකුවෙන් පිට තිබුණු මුළු නෝට්ටු හා කාසි ප්‍රමාණයෙන් බැංකු වලින් පිට තිබෙන කොටස කොහොමටත් සංසරණයේ තිබෙන කොටසක්නේ. ඒ මිනිස්සුන්ගේ අතේම තිබෙන මිනිස්සුන්ගේ සල්ලි. ඒ වගේම, බැංකු වල තියෙන්නෙත් මිනිස්සුන්ගේම සල්ලිනේ. මිනිස්සුන්ට ඕනෑ වෙලාවක ඒ සල්ලි ආපහු ගන්න පුළුවන්. 

මේ ප්‍රමාණය බැංකු වල තියෙන මිනිස්සුන්ගේ මුළු සල්ලි ප්‍රමාණය නෙමෙයි. ඕනෑ වෙලාවක ආපහු දෙන්න බලාගෙන බැංකු වල ලාච්චු වල, සේප්පු වල හෝ ATM වල තියෙන සල්ලි ප්‍රමාණය. එහෙම නැත්නම් අදාළ දවසේ මිනිස්සු බැංකුවේ තැන්පත් කරපු සල්ලි. ඒ කියන්නේ සංසරණයේ තියෙන, අතින් අත යන නෝට්ටු හා කාසි වලින්ම කොටසක්.

මහ බැංකුව විසින් එළියට දමලා සංසරණයේ තියෙන නෝට්ටු හා කාසි ඔය විදිහට මිනිස්සුන්ගේ අතේ තිබිලා බැංකු වලට එනවා. නැවත බැංකු වලින් මිනිස්සුන්ගේ අතට යනවා. හැබැයි මේ විදිහට කැරකෙන්නේ එකම නෝට්ටු හා කාසි ටික. 

උදාහරණයක් විදිහට මිනිස්සු අතේ තිබෙන රුපියල් සීයේ නෝට්ටු වලින් කොටසක් දේශපාලනඥයෙක් විසින් එකතු කරගෙන තමන්ගේ බැංකු ගිණුමේ දාගත්තා කියලා හරි, ඉන් පසුව ඒ සල්ලි පන්දාහේ කොළ වලින් බැංකුවෙන් අරගෙන මැතිවරණ ප්‍රචාරණ වැඩ වෙනුවෙන් වියදම් කළා හරි කියලා රටේ සංචිත මුදල් සැපයුම වෙනස් වෙන්නේ නැහැ. සංසරණය වෙන්නේ කොහොමටත් සංසරණයේ තිබුණු මුදල් නෝට්ටු. 

මීට අමතරව තවත් දෙයක් වෙනවා. බැංකු වලට ඔය විදිහට සල්ලි ආපුවහම බැංකු වලට ඒ තරම්ම සල්ලි අවශ්‍ය නැත්නම් බැංකු විසින් ඔය සල්ලි මහ බැංකුවේ ගිණුමක තැන්පත් කරනවා. එහෙම කරද්දී සංසරණයේ තියෙන නෝට්ටු හා කාසි නැවත මහ බැංකුවටම එනවා. මිනිස්සු බැංකු වලින් සල්ලි ආපසු ගන්නවා වගේම බැංකු වලට සල්ලි ඕනෑ වුනාම බැංකු ගිහින් මහ බැංකුවෙන් සල්ලි ගන්නවා. පැහැදිලියිනේ.

දැන් ඔය විදිහට මහ බැංකුවේ තැන්පත් කරලා තියෙන්නේ බැංකු වලට අයිති සල්ලි. ඒ සල්ලි කලින් මහ බැංකුව විසින්ම සංසරණයට එකතු කරපුවා වීම වෙනම කතාවක්. හැබැයි දැන් මේ සල්ලි මහ බැංකුවට අයිති නැහැ. ඒ නිසා, අදාළ බැංකුව ඉල්ලපු ගමන් ඔය සල්ලි ආපසු දිය යුතුයි. හරියටම බැංකුවේ තිබෙන මිනිස්සුන්ගේ සල්ලි බැංකුවේ සල්ලි නොවෙනවා වගේ. 

දැන් නෝට්ටු හා කාසි සංසරණය වෙන ක්‍රමය තවත් පැහැදිලියිනේ. මිනිස්සු අතින් බැංකුවට. බැංකුවෙන් මහ බැංකුවට. මහ බැංකුවෙන් නැවත බැංකුවට. බැංකුවෙන් මිනිස්සු අතට. හැබැයි කැරකෙන්නේ එකම සල්ලි ටික. 

ඔය විදිහට සල්ලි සංසරණය වෙමින් මහ බැංකුවට එන වෙලාවට මහ බැංකුව විසින් පරණ වෙච්ච නෝට්ටු එකතු කරගෙන ඒවා විනාශ කරලා ඒ වෙනුවට අළුත් නෝට්ටු සංසරණයට එකතු කරනවා. සමහර විට දාහේ කොළ පහක් වෙනුවට පන්දාහේ කොළයක් එළියට දමනවා. හැබැයි ඔය වගේ දේවල් කළා කියලා මුදල් ප්‍රමාණයේ වෙනසක් වෙන්නේ නැහැ.

අපි කලින් සංසරණයේ ඇති මුදල් ප්‍රමාණය කියලා ගණන් හැදුවේ මිනිස්සු අතේ හා බැංකු වල තිබෙන නෝට්ටු හා කාසි ප්‍රමාණය විතරයිනේ. නමුත් මහ බැංකුවේ තිබෙන බැංකු වලට අයිති මුදල් ප්‍රමාණයත් සල්ලිම කියන එක දැන් පැහැදිලි ඇතිනේ. මොකද නැවත මහ බැංකුවට ඇවිත් තිබුණත් මේ සල්ලි මහ බැංකුවේ තියලා තියෙන්නේ තාවකාලිකව පරිස්සමට. මහ බැංකුවට ඒ සල්ලි වල අයිතියක් නැහැ. ඇත්තටම කිවුවොත් බැංකු විසින් හදිස්සියකට ගන්න ඒ විදිහට සල්ලි යම් ප්‍රමාණයක් මහ බැංකුවේ තියන්න ඕනෑ කියන එක නීතිමය අවශ්‍යතාවයක්. අපි කතා කරන කරුණට ඒක ඒ තරම් වැදගත් නැහැ. 

දැන් අපි මේ පදනම මත බැලුවොත් සංසරණයේ, ඒ කියන්නේ මිනිස්සු අතේ හා බැංකු වල, තිබෙන නෝට්ටු හා කාසි වලට අමතරව මහ බැංකුවේ ගිණුම් වල තිබෙන සල්ලිත් සල්ලිනේ. ඒ නිසා, අපිට සල්ලි ගැන කතා කරද්දී ඒ ප්‍රමාණයත් එකතු කරන්න වෙනවා. මහ බැංකුවේ ගිණුමක තියෙන සල්ලි කියන්නේත් නෝට්ටු හා කාසි වගේම තමයි. බඩේ බත් වගේ ෂුවර් සල්ලි. මොකද ඉල්ලන වෙලාවට අච්චු ගහලා හරි සල්ලි ආපහු දෙන්න මහ බැංකුවට පුළුවන්. බැංකුවක තියෙන සල්ලි වගේ බැංකුව බංකොලොත් වෙයි කියන අවදානම නැහැ. 

ඔය ගොඩවල් තුන එකතු කරලා තමයි සංචිත මුදල් කියා කියන්නේ.

සංචිත මුදල් = බැංකු වලින් පිට තිබෙන නෝට්ටු හා කාසි + බැංකු වල තිබෙන නෝට්ටු හා කාසි + මහ බැංකුවේ තිබෙන බැංකු වලට අයිති සල්ලි.

මම හිතන්නේ මේ විදිහට කිවුවහම ඕනෑම කෙනෙක්ට මේක තේරෙයි. සල්ලි කියලා වඩාත්ම පහසුවෙන් ඕනෑ කෙනෙක්ට හඳුනා ගන්න පුළුවන් ඔය ගොඩවල් තුනෙන් එකක තිබෙන සල්ලි පමණයි. වෙන විදිහකට කිවුවොත් ෂුවර්ම සල්ලි. 

දැන් අපි 2019 අවසානයේ ඔය ගොඩවල් තුන වෙන වෙනම අරගෙන බලමු.

2019 අවසානයේදී බැංකු වල තිබුණු නෝට්ටු හා කාසි = රුපියල් මිලියන 183,759 යි. 

2019 අවසානයේදී බැංකු වලින් පිට තිබුණු නෝට්ටු හා කාසි = රුපියල් මිලියන 494,208 යි.  

2019 අවසානයේදී මහ බැංකුවේ දමා තිබුණු බැංකු වල සල්ලි = රුපියල් මිලියන 254,582 යි.  

2019 අවසානයේදී මුළු සංචිත මුදල් ප්‍රමාණය = රුපියල් මිලියන 932,549 යි. 

2019 අවසානයේදී මහ බැංකුව විසින් අච්චු ගසා එළියට දමා තිබුණු මුළු මුදල් ප්‍රමාණය තමයි ඔය. එම ගණනට නැවත මහ බැංකුවේම තැන්පත් කර තිබෙන සල්ලිත් ඇතුළත්. මොකද ඒ සල්ලි මහ බැංකුව විසින් නිකුත් කරපුවා වුනත්, දැන් තියෙන්නෙත් මහ බැංකුවේ සේප්පු වලම වුනත්, මහ බැංකුවට අයිති සල්ලි නෙමෙයිනේ. 

සංචිත මුදල් කියන්නේ ඔය සල්ලි ටික. මම හිතන්නේ මම විස්තර කර තිබෙන විදිහට ඕකේ පටලවගන්න කිසිම දෙයක් නැහැ. තේරුම් ගන්න අමාරු කිසිම දෙයක් නැහැ. එකඟ වෙන්න බැරි දේවල් නැහැ. ඒ වගේම, ඔය විස්තරය කියවලා තේරුම් ගන්න කිසිම ආර්ථික විද්‍යා දැනුමක් අවශ්‍යත් නැහැ.

දැන් අපි 2022 මාර්තු අවසන් වෙද්දී තත්ත්වය බලමු. ඒ කියන්නේ අලුත් අධිපති නන්දලාල් වැඩ බාර ගන්න සතියකට වගේ කලින්. 

2022 මාර්තු අවසානයේදී බැංකු වල තිබුණු නෝට්ටු හා කාසි = රුපියල් මිලියන 281,791 යි. 

2022 මාර්තු අවසානයේදී බැංකු වලින් පිට තිබුණු නෝට්ටු හා කාසි = රුපියල් මිලියන 817,533 යි.  

2022 මාර්තු අවසානයේදී මහ බැංකුවේ දමා තිබුණු බැංකු වල සල්ලි = රුපියල් මිලියන 287,376 යි.  

2022 මාර්තු අවසානයේදී මුළු සංචිත මුදල් ප්‍රමාණය = රුපියල් මිලියන 1,386,700 යි. 

ඒ අනුව, 2019 අවසානයේ සිට 2022 මාර්තු 31 දක්වා කාලය තුළ සංචිත මුළු මුදල් ප්‍රමාණයේ වැඩි වීම = රුපියල් මිලියන 454,151ක්. මෙය 48.7%ක වැඩි වීමක්.

මේ විදිහට සංචිත මුදල් ප්‍රමාණය වැඩි වෙන්නේ කොහොමද?

මම හිතන්නේ සංචිත මුදල් කියන්නේ මොනවද කියන එක මම හොඳින් පැහැදිලි කළා. මෙයින් අදහස් කරන්නේ මහ බැංකුවේම නැවත තැන්පත් කර තිබෙන නෝට්ටු හා කාසිද ඇතුළුව, මහ බැංකුව විසින් සංසරණයට එකතු කර තිබෙන නෝට්ටු හා කාසි ප්‍රමාණය. ඔය විදිහට තේරුම් ගත්තහම හරිම සරලයි. 

ඕකට භාණ්ඩාගාර බිල්පත් වගේ නොතේරෙන දේවල් පටලවා ගන්න අවශ්‍ය නැහැ. තේරෙන කෙනෙක්නම් පටලවා ගත්තට ප්‍රශ්නයක් නැහැ. හැබැයි සංචිත මුදල් හා භාණ්ඩාගාර බිල්පත් පටලවා ගෙන ප්‍රකාශ නිකුත් කරන ගොඩක් අය දැන් මේ සටහන සැලකිල්ලෙන් කියවා අවසන් කළ ඔබ හැමෝටම තිබෙනවායැයි මම හිතන ඒ මූලික අවබෝධයවත් නැති අයයි.

සංචිත මුදල් කියන්නේ මොනවාද කියා හොඳින් පැහැදිලි කළත් සංචිත මුදල් අඩු වැඩි වෙන්නේ කොහොමද කියලා මම මේ සටහනේ පැහැදිලි කළේ නැහැ. මීට කලින් වාර ගණනක්ම එය පැහැදිලි කර තිබෙනවා. එය පැත්තක තියා, සංචිත මුදල් වලට නැවත ආවොත්, මම ඔය මුලින් විස්තර කළ සල්ලි ප්‍රමාණය, ඒ කියන්නේ සංචිත මුදල් ප්‍රමාණය, මිනිස්සු, බැංකු හා මහ බැංකුව අතර නිරන්තරයෙන් කැරකෙනවා. සමහර විට මහ බැංකුව එක නෝට්ටුවක් විනාශ කරලා ඒ වෙනුවට වෙන නෝට්ටුවක් එළියට දමනවා. හැබැයි එහෙම කළා කියලා සංචිත මුදල් ප්‍රමාණයේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ.

සංචිත මුදල් ප්‍රමාණය වැඩි වෙන්නේ මහ බැංකුව විසින් කිසියම් වියදමක් කරද්දී. උදාහරණයක් විදිහට මහ බැංකුව විසින් අධිපතිවරයාගේ වැටුප් ගෙවද්දී සංචිත මුදල් ප්‍රමාණය වැඩි වෙනවා. පරණ අධිපතිවරයෙකුගේ විශ්‍රාම වැටුප් ඇරියස් ගණන් හදලා මුදලක් ගෙවද්දී සංචිත මුදල් වැඩි වෙනවා. මොකද මේ දේවල් වෙනුවෙන් රජය අයවැයෙන් මුදල් වෙන් කරන්නේ නැහැ. මහ බැංකුවට මිනිස්සුන්ගෙන් බදු අය කරන්නත් බැහැ. මහ බැංකුව කරන්නේ සල්ලි අච්චු ගහලා වියදම් කරන එක.

මහ බැංකුව විසින් මහ බැංකුවේ පාවිච්චියට පරිගණකයක් මිල දී ගනිද්දී සංචිත මුදල් වැඩි වෙනවා. මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගෙන විදේශ සංචිත තර කර ගනිද්දී සංචිත මුදල් වැඩි වෙනවා. මහ බැංකුව විසින් රජයෙන් හෝ වෙළඳපොළෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගනිද්දීත් සංචිත මුදල් වැඩි වෙනවා. 

මහ බැංකුව වියදම් කරද්දී සංචිත මුදල් වැඩි වෙනවා වගේම, මහ බැංකුවට ආදායම් ලැබෙද්දී සංචිත මුදල් ප්‍රමාණය අඩු වෙනවා. උදාහරණයක් විදිහට මහ බැංකුව මහ බැංකු ප්‍රකාශනයක් විකුණලා රුපියල් පන්සීයක් අය කරද්දී සංසරණයේ තිබෙන රුපියල් පන්සීයක් නැවත මහ බැංකුවට එනවා. ඒ එන්නේ තැන්පතුවක් විදිහට නෙමෙයි. මහ බැංකුව විසින් උපයපු ආදායමක් විදිහට. ඒ නිසා, මහ බැංකුවේ තිබෙන බැංකු වල තැන්පතු වගේ මේ රුපියල් පන්සීය පරිස්සම් කරන්න දෙයක් නැහැ. ඔය විදිහටම මහ බැංකුවේ එකතු කරගෙන තිබෙන විදේශ සංචිත විකුණද්දීත් සංචිත මුදල් අඩු වෙනවා. මහ බැංකුව විසින් කලින් මිල දී ගෙන තිබෙන භාණ්ඩාගාර බිල්පතක් විකුණද්දීත් සංචිත මුදල් අඩු වෙනවා.

මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය සංචිත මුදල් ප්‍රමාණය තීරණය කරන එක් සාධකයක් පමණයි. ඒ නිසා, ඒ දිහා බලලා මහ බැංකුව සල්ලි අච්චු ගහලද නැද්ද කියා තීරණය කරන්න බැහැ. ඒක අලියාගේ කණ අතගාලා අලියා ගැන ලොකු ප්‍රකාශ කරනවා වගේ වැඩක්. එහෙම කරන්න අවශ්‍යත් නැහැ. මොකද මහ බැංකුව විසින් සතිපතාම සංචිත මුදල් ප්‍රමාණය පිළිබඳ නිවැරදි තොරතුරු ප්‍රසිද්ධ කරනවා.

මහ බැංකු අධිපති ධුරයට ලක්ෂ්මන් පත් වුනේ 2019 දෙසැම්බර් 24. කබ්රාල් එම ධුරයට ආවේ 2021 සැප්තැම්බර් 15. නන්දලාල් වැඩ භාරගත්තේ 2022 අප්‍රේල් 7. පහතින් තියෙන්නේ මේ දවස් වලට ආසන්නම දවස් වල සංචිත මුදල් ප්‍රමාණ.

2019 දෙසැම්බර් 26න් අවසන් වූ සතිය - රුපියල් මිලියන 941,498 යි.

2021 සැප්තැම්බර් 16න් අවසන් වූ සතිය - රුපියල් මිලියන 1,291,257 යි.

සංචිත මුදල් වැඩිවීම - රුපියල් මිලියන 349,759 යි.


2022 අප්‍රේල් 7න් අවසන් වූ සතිය - රුපියල් මිලියන 1,425,822 යි.

සංචිත මුදල් වැඩිවීම - රුපියල් මිලියන 134,565 යි.


2022 නොවැම්බර් 17න් අවසන් වූ සතිය - රුපියල් මිලියන 1,336,145 යි.

සංචිත මුදල් අඩු වීම - රුපියල් මිලියන 89,677 යි.

මේ විදිහට කාලයක් තිස්සේ විශාල ලෙස ඉහළ දමා තිබෙන සංචිත මුදල් ප්‍රමාණයෙන් කොටසක් හෝ අඩු කිරීම ඉතාම ආයාසකර කටයුත්තක්. මෙය තාක්ෂනික ලෙස බැලුවොත් මහ බැංකුවේ ආයතනික කටයුත්තක් වුවත්, එසේ කිරීම සඳහා මහ බැංකුවට නායකත්වය දීම පිළිබඳව වත්මන් මහබැංකු අධිපතිවරයාව අගය කරන එක අසාධාරණ කටයුත්තක් නෙමෙයි. 

තත්ත්වය එසේ තිබියදී, මහ බැංකුවට පිළිතුරු දිය නොහැකි වීමේ වාසිය ගනිමින්, පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතා කරමින්, වැරදි තොරතුරු ඉදිරිපත් කර රටේ ජනතාව නොමග යවමින්, ඇතැම් පුද්ගලයින් විසින් පෙන්වන්නේ ලංකාවේ දේශපාලනඥයා මොන වගේ අයෙක්ද කියන එකයි. විමසිල්ලක් නොකර මේ වගේ පුවත් ප්‍රචාරය කරන මාධ්‍ය ගැන කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි.

11 comments:

  1. නන්දලාල්ල ගත්තු තීරණ වල ප්‍රතිඵල දැන් දැන් මහපොළොවෙ පේන්න තියනවා කියලා හිතෙනවා...අමාරුවෙන්, ඒත් හිමිට අවශ්‍යය දිශානතියට රට යන බවක් පේනවා..

    ReplyDelete
  2. විද්වත් මහතෙකු කිව්ව කතාවකි අද නං මට සිහිපත් වෙන්නේ
    'සංඛ්‍යා ලේඛන හරියට පාරේ තියෙන ලයිට් කණු වාගෙයිනේ'
    අඳුර නසන අතරේ ඒ කණුවම තවත් සේවයක් සපයන්නේ
    බේබද්දන්ටයි, උන් ඒ කණුවට හේත්තු වී නොවැටී ඉන්නේ

    ReplyDelete
  3. භාන්ඩාගාර බිල් පත් මිලදී ගන්න මහ බැන්කුවෙ ඇති තැන්පත් මුදල් භාවිතා කරන්න බැරිද? එහෙම කලොත් සන්චිත වැඩි වෙන්නෙ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. වාණිජ බැංකුවක් විසින් ප්‍රාථමික වෙළඳපොළෙන් භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම සඳහා මහ බැංකුවේ ඇති තමන්ගේ මුදල් භාවිතා කරද්දී එම මුදල් රජයේ ගිණුමකට බැර වී බැංකුව සතු ගිණුම් ශේෂය අඩු වන නිසා ඒ අවස්ථාවේදී සංචිත මුදල් ප්‍රමාණයද අඩු වෙනවා. බොහෝ විට එම රජයේ ගිණුම තිබෙන්නේ තවත් බැංකුවක නිසා එම දෙවන බැංකුව නැවත එම මුදල් මහා බැංකුවේ තමන්ගේ ගිණුමට දැම්මොත් සංචිත මුදල් ප්‍රමාණය නැවත මුල් මට්ටමටම එනවා. එසේ නොකළොත් එය වෙන්නේ නැහැ. එක් වාණිජ බැංකුවක් වෙනත් වාණිජ බැංකුවකින් භාණ්ඩාගාර බිල්පත් මිලදී ගනිද්දී මහ බැංකුවේම ඇති එක් බැංකුවකට අයිති ගිණුමකින් වෙන බැංකුවක ගිණුමකට සල්ලි මාරු වෙන නිසා සංචිත මුදල් ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ.

      Delete
  4. ස්තූතියි , මටත් අර පාර්ලිමේන්තුවේ බැනපු එක තේරුනේ නැහැ. දැන් පැහැදිලියි

    ReplyDelete
  5. ඉකොනෝමැට්ටා කියන්නේ නන්දලාල් වෙන්න බැරිද

    ReplyDelete
    Replies
    1. නෑ නන්දලාල් නෙවෙයි වෙනත් කෙනෙක් හැබැයි නන්දලාල් වගේම කලකට පෙර කබරගොයා හිටපු කාලේ උන් යටතේ වැඩකරපු බටහිරින් ලංකාව වැනි රටවලට දෙන ලණු ගෙඩි පිටින් ගිලපූ කෙනෙක් බවයි සමාජ ජාල වලට අනුව කට්ටිය කියන්නේ මේ ගැන එළකිරි අතුළු අනෙකුත් සමාජ ජාලයන් වල ඉකොනොමැට්ටා ගැන පළවී ඇති පෝස්ට් බලලා අදහසක් ගන්න පුළුවන් වේවි මම හිතන්නේ අවුරුදු පහළවක් විතර ඉස්සර මහ බැංකුවෙන් ඉවත් වෙලා ටික කාලයක් එංගලන්තේ සහ පසුව ජනපදයට ඇවිත් තියෙන්නේ එහෙම නේද ඉකොනොමැට්ටා? ඔබ අනූ ගණන් වල අග භාගයේ වගේ කෙටි කලක් විදුලි සංදේශ අංශයට සම්බන්ධ වී කටයුතු කළ බවට එළකිරි අතුළු අනෙකුත් සමාජ ජාලයන් වල පවසා ඇති චෝදනා ඇත්තක් තියෙනවා ද?

      Delete
  6. මොකක් ගැනද මේ ලියලතියෙන්නෙ?
    වස්තු බීජය මොකක්ද?

    ReplyDelete
    Replies
    1. තෙරුවන් සරණයි ඔයාට

      Delete
  7. රුපියලේ අගය ‘ෆික්ස් කරාට’ කබ්රාල්ට බැන්නට නන්දලාලුත් ඒකම කරද්දි එයාට බනින්නේ නැත්තේ ඇයි?ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ස්ථාවරව පවත්වා ගැනීම ආර්ථික අර්බුදයට හේතුවූ කරුණක් වූ බවට චෝදනා එල්ල වූව ද, වත්මන් මහ බැංකු අධිපතිවරයා යටතේ ඉකුත් මාස 06 ක කාලයක් පුරාවටම සිදුව ඇත්තේ ද රුපියල ස්ථාවරව තබා ගැනීමක් වන අතර, ඒ තම ධුරකාලය යටතේ ස්ථාවරව පවත්වා ගත් මිලටත් වඩා ඉහළ මිලක බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් පවසයි.

    හිටපු මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසුවේ ඉකුත් නොවැම්බර් 17 වන දින ඉන්දියාවේ WION පුවත් සේවය වෙත විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි.

    තම ධුරකාලය තුළ රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව රු. 300 ට අවම මට්ටමක පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය වීම සිදුවූයේ තමාට පෙර මහ බැංකු අධිපතිධුරය හෙබවූ මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා ගේ ධුරකාලය තුළ බවත්, 2021 සැප්තැම්බර්වල මහ බැංකුව විසින් ගත් මෙම තීන්දුව තම ධුරකාලය තුළ 2022 මාර්තු දක්වා පවත්වා ගත් බවත් සඳහන් කළ කබ්රාල් මහතා, රුපියල ස්ථාවර අගයක පවත්වා නොගෙන පා කර හැරිය යුතු බවට යෝජනා කළ ඇතැම් පාර්ශවයන් එසේ කළේ නම් ඉහළ යන ණය කන්දරාවේ වගකීම භාරගැනීමට ඉදිරියට පැමිණෙන්නේ ද යන්න ප්‍රශ්න කළේය.

    එමෙන්ම, තම ධුර කාලය තුළ ගත් සියලු තීරණ මුදල් මණ්ඩලයේ අනුමැතිය මත ගනු ලැබූ තීරණ බවට සිහිපත් කළ හිටපු මහ බැංකු අධිපතිවරයා, රුපියල ස්ථාවරව පවත්වා ගැනීම සම්බන්ධයෙන් තමාට චෝදනා එල්ලකළ පාර්ශවයන් වත්මන් මහ බැංකු අධිපතිවරයා ද එම ක්‍රියාවම ඊටත් වඩා වැඩි මිලකට සිදුකරන විට චෝදනා එල්ල නොකරන බව ද අවධාරණය කරයි.

    රුපියල පා කර හැරීමෙන් ආයෝජන අවස්ථා නොපැමිණෙන බව කල් තියා හඳුනා ගැනීම මත එසේ නොකළ අතර, රුපියල පා කර හැරීමෙන් පසුව ද එකඳු ආයෝජනයක් හෝ පැමිණ තිබෙන්නේ දැයි කබ්රාල් මහතා ප්‍රශ්න කර සිටියි. 2022 මාර්තු වලින් පසු රුපියලේ ස්ථාවරභාවය නිදහස් කර දැමීමට මහ බැංකුව ප්‍රතිපත්ති වෙනස්කළ බව සිහිපත් කරන හිටපු අධිපතිවරයා, තමා එම ධුරයෙන් ඉවත්ව යන විට ද රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව රු. 300 ට ඉතාම ආසන්නව තිබූ බවට සිහිපත් කළේය.

    වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යටතේ ගතවූ මාස 06 ක කාලය තුළ රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව ස්ථාවරව තබා ගෙන ඇති බවත්, එහෙත් එය තම ධුරකාලය තුළ පවත්වා ගත් මිලට වඩා විශාල අගයක් (රු. 371) වී ඇති බවත් සිහිපත් කළ කබ්රාල් මහතා, රුපියල ස්ථාවර කිරීමේ ප්‍රතිපත්තිය ම වත්මන් මහ බැංකු පරිපාලනය විසින් අනුගමනය කරන්නේ නම් මෙතරම් ඉහළ මිලක පිහිටා එය සිදුකරන්නේ ඇයි ද යන්න ප්‍රශ්න කර සිටියි.

    එමෙන්ම, තමා රුපියල ස්ථාවරව පවත්වා ගැනීමට අදාළව බරපතල විවේචනයන් ඉදිරිපත් කළ පුද්ගලයන් වත්මන් මහ බැංකු අධිපතිවරයා ද එම ප්‍රතිපත්තියම පවත්වා ගන්නා විට ඔහුට විවේචනයන් ඉදිරිපත් නොකරන බව ද හෙතෙම සිහිපත් කරයි.

    ඒ අනුව, තම ධුරකාලය තුළ ගත් තීරණවල වටිනාකම ජනතාව අවබෝධකර ගත යුතු බවත්, රට තුළ මතුව ඇති ආර්ථික අර්බුදය හමුවේ ආර්ථිකය ආරක්ෂා කර ගැනීමට තමා කැපවූ බවත් කබ්රාල් මහතා යෝජනා කර සිටියි.

    https://sinhala.lankanewsweb.net/11/20/34660/

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.