Monday, December 12, 2022

ඇමරිකාවේ රාජ්‍ය මැදිහත්වීම්


ඇමරිකාවේ නිවාස චක්‍රය ගැන කලින් සටහනක ලිවුවා. ඇමරිකානුවන් අතරින් තමන්ගේම නිවසක ඉන්නේ ආසන්න වශයෙන් 65%ක පමණ ප්‍රතිශතයක්. මෙම ප්‍රතිශතය විවිධ සාධක මත විචලනය වෙනවා. 

ඇමරිකානුවන්ගෙන් තුනෙන් එකක් පමණ තමන්ගේම නිවසක නොසිටින්න ප්‍රධානම හේතුවක් වන්නේ යාන්තම් වයස දහඅට පිරුණු පසු දරුවන් ගෙවල් වලින් යාම. එසේ ගෙවල් වලින් නවාතැනකට හෝ කුලී නිවසකට යන තරුණ තරුණියන් තමන්ගේම නිවසක් මිල දී ගෙන පිළිවෙලක් වෙන මධ්‍යන්‍ය වයස අවුරුදු 36ක් පමණ වෙනවා. එතෙක්, කුලී නිවසක සිටීම ඔවුන්ගේ තෝරා ගැනීමක්. 

මේ වයස වන තුරු නිතර නිතර රැකියා මාරු කිරීම මීට ප්‍රධාන හේතුවක්. ඉන් පසුව වුනත් ඇමරිකානුවන් නිතර රැකියා මාරු කරන නමුත් එසේ රැකියා මාරු කරන වේගය අඩු වෙනවා. ඒ වගේම ඇමරිකානු කාන්තාවක් විවාහ වන සාමාන්‍ය වයස අවුරුදු 27-28ක් පමණද, පිරිමියෙකු සඳහා මේ වයස අවුරුදු 29-30 පමණද වෙනවා. ඒ කියන්නේ, තමන්ටම ගෙයක් ගන්න එක ගැන හිතන්නේ විවාහ වෙලා දරුවෙක් හෝ දෙන්නෙක් හදලා ඒ දරුවෝ පාසැල් යන වයසට වගේ එද්දී. 

ඇමරිකාවේ සාමාන්‍ය විශ්‍රාම වයස අවුරුදු 66ක්. මෙය 67 දක්වා ක්‍රමයෙන් ඉහළ යාමට නියමිතයි. ඇමරිකානුවෙකුගේ අපේක්ෂිත ආයු කාලය අවුරුදු 77ක් පමණ. ඒ කියන්නේ, අවුරුදු 36ක් වෙලා ගෙයක් ගන්න කෙනෙක්ට ඒ ගෙදර ජීවත් වෙන්න ඉතිරිව තියෙන්නේ අවුරුදු 40ක වගේ කාලයක්. ඒ කාලයෙන් අවුරුදු 30ක් පමණම වැඩ කරන කාලය. 

දැන් කවුරු හරි ගෙයක් ගන්නවානම් ගන්නේ ඔය අවුරුදු 40 ඉන්නනේ. ඒ කාලය ඒ වගේම ගෙයක කුලියට ඉන්න වැය වන්නේ ගේ සල්ලි වලට ගන්න යන මුදලට වඩා අඩු මුදලක්නම් ගෙයක් ගන්න එකේ විශේෂ වාසියක් නැහැනේ. ඒකේ අනෙක් පැත්තත් එහෙමයි. ඒ නිසා, සක්‍රිය නිවාස වෙළඳපොළක් ඇති විටෙක ඔය වියදම් දෙකම ආසන්නව සමාන විය යුතුයි. එහෙම නැත්නම් එකකට ඉල්ලුම නැති විය යුතුයිනේ. ඇත්තටම වෙන්නේත් ඔය වගේ දෙයක්. 

ගෙයක් සල්ලි වලට ගන්න අය සාමාන්‍යයෙන් කරන්නේ වසර 30කට උගස් ණයක් ගන්න එක. මෙම කාලය සාමාන්‍යයෙන් ඇමරිකානුවෙක් පළමු වරට ගෙයක් මිල දී ගන්න වයස සහ විශ්‍රාම වයස අතර කාලයට ආසන්නව සමානයි. 2019දී ඇමරිකානුවෙක් විසින් මසකට ගෙවූ උගස් ණය වාරිකයේ මධ්‍යස්ථ අගය ඩොලර් 1,609ක්. එම වසරේදීම කුලී ගෙදරක ඉන්න කෙනෙක් මාසයකට ගෙවූ මධ්‍යස්ථ මුදලත් ආසන්න වශයෙන් ඩොලර් 1,600ක් පමණ. 

වයස අවුරුදු 36 වෙද්දී ගෙයක් ගන්න කෙනෙක් විශ්‍රාම යන වයස වන විට උගස් ණය ගෙවා අවසන්. ඉන් පසුව ගෙයි අයිතිය තමන්ට. එහෙත්, දිගටම කුලියට හිටියොත් එවැනි වාසියක් නැතුවම ඒ මුදල වැය කරන්න වෙනවා. අනෙක් අතට, ගෙයක් සල්ලි වලට ගැනීමෙන් පසුව වරිපනම් බදු, නිවාස රක්ෂණය ආදී ලෙස තවත් ගෙවීම් එකතු වෙන නිසා ඒ වාසිය බොහෝ දුරට කැපිලා යනවා. කොහොම වුනත්, අවදානමක් ගෙන කරන ආයෝජනය වෙනුවෙන් ලැබිය යුතු ප්‍රතිලාභ කොටස ඉතිරි වෙනවා.  

කලින් සටහනෙන් කියපු විදිහට ගෙයක් ගන්නනම් ඩවුන් පේමන්ට් එක ගෙවන්න වෙනවා. ඒ සඳහා ප්‍රමාණවත් මුදලක් එකතු කර ගන්න වෙනවා. නමුත්, ගෙයක් අරගත්තට පස්සේ ගෙවන්න වෙන උගස් ණය වාරිකයට කිට්ටු මුදලක් ගෙවල් කුලී ලෙස ගෙවන ගමන් ඔය විදිහට සල්ලි ඉතුරු කරන එක අඩු ආදායමක් ලබන කෙනෙකුට ටිකක් අමාරු වැඩක්. හැබැයි මොන විදිහකින් හරි ගෙයක් ගත්තොත්, කුලී ලෙස ගෙවන මුදලින් උගස් ණය වාරිකය ගෙවාගෙන යන්න පුළුවන්. මෙතන පොඩි ග්‍රිඩ්ලොක් තත්ත්වයක් තියෙන්නේ.

ෆෙඩරල් නිවාස ණය බැංකු වලින් කරන්නේ මෙන්න මේ ග්‍රිඩ්ලොක් එක කඩලා අතේ ලොකු මුදලක් නැති අයටත් ගෙයක් මිල දී ගන්න ඉඩ සලසන එක. එම බැංකු වල අරමුදල් වලින් 3.5% තරම් අඩු ඩවුන් පේමන්ට් එකක් ගෙවලා නිවාස ණයක් ගන්න පුළුවන්. 

ගෙයක් මිල දී ගන්න හිතන, සම්ප්‍රදායික ණයක් ගන්න අමාරු, ඇමරිකානුවෙකුට ෆෙඩරල් නිවාස පරිපාලනයේ උදවුවෙන් නිවසක් මිල දී ගැනීමේ අවස්ථාව ලැබෙනවා. මෙහි රාජ්‍ය මැදිහත්වීමක් තිබෙනවා. එය මොන වගේ එකක්ද කියන එක පසුව පැහැදිලි කරන්නම්. මේ ණය වලට කියන්නේ FHA ණය කියලා. අකුරු තුනේ තියෙන්නේ Federal Housing Administration කියන අර්ථය. ඇමරිකානුවන් විසින් ගන්න නිවාස ණය වලින් 9%-10% අතර ප්‍රමාණයක් FHA ණය.

ඇමරිකාවේ සුබසාධන ක්‍රම ගොඩක් ආරම්භ වී තිබෙන්නේ 1929 මහා ආර්ථික අවපාතයෙන් පසුවයි. පසුගිය අඩ සියවසක පමණ කාලය තුළ ඇමරිකානුවන් අතරින් තමන්ගේම නිවසක වසන ප්‍රමාණය 65% ආසන්න මට්ටමක පැවතී ඇතත් 1940 පමණ වන තුරු මේ අනුපාතය තිබී ඇත්තේ 45% ආසන්න මට්ටමකයි. මහා ආර්ථික අවපාතයෙන් පසුව, 1930දී 47.8%ක් වූ මෙම අනුපාතය 1940 වන විට 43.6% දක්වා පහත වැටී තිබෙනවා. මේ කාලයේදී නිවසක් මිල දී ගැනීමේදී ගෙවිය යුතු ආරම්භක මුදල (ඩවුන් පේමන්ට් එක) නිවසේ වටිනාකමින් 30%-50% වැනි ඉහළ මට්ටමක තිබී ඇති අතර ණය ආපසු ගෙවිය යුතු කාලයද අවුරුදු 5-10කට වඩා වැඩි කාලයක්ව පැවතී නැහැ. එම තත්ත්වයන් යටතේ නිවසක හිමිකරුවෙකු වීම බොහෝ දෙනෙකුට අභියෝගයක්.

අනෙක් පැත්තෙන්, මීට වඩා හොඳ කොන්දේසි යටතේ ණයක් දී එහි අවදානම දරා ගැනීමේ හැකියාවක් බැංකු වලට තිබුණේ නැහැ. මේ වෙද්දී ඇමරිකාවේ තිබුණු වාණිජ බැංකු ප්‍රමාණය 24,000ක් පමණ. මේවා බොහොමයක් තනි ශාඛාවක් පමණක් තිබුණු කුඩා ව්‍යාපාර. අදටත් ඇමරිකාවේ මේ වගේ කුඩා බැංකු විශාල ප්‍රමාණයක් තිබෙනවා. මම දන්නා තරමින් බැංකු ක්ෂේත්‍රයේ මෙවැනි තරඟකාරිත්වයක් තිබෙන එකම රට ඇමරිකාවයි. 

ඇමරිකාවේ "ලංකා බැංකුව" ගැන මම ටික කලකට පෙර ලිපියක් ලියා තිබෙනවා. ලංකා බැංකුව කියා නිකමට වගේ කිවුවත් ඔය බැංකුවේ නියම නම ස්ටේට් බෑන්ක් ඔෆ් සිලෝන්. මේ බැංකුව තිබුණේ මිනසෝටා ප්‍රාන්තයේ දකුණු කොණේ අයෝවා ප්‍රාන්ත මායිම කිට්ටුව තිබෙන සිලෝන් කියන ප්‍රදේශයේ. ඇමරිකාවේ 42වන උප ජනාධිපති වූ වෝල්ටර් මොන්ඩේලුත් මේ සිලෝන් කියන ප්‍රදේශයේ ඉපදුනු අයෙක්. මේ ප්‍රදේශය සිලෝන් ලෙස නම් කර තිබෙන්නේ ලංකාව හැඳින්වුණු සිලෝන් කියන නම අනුව යමිනුයි.

වසර හතරකට පෙර 2018දී ඔය ලිපිය ලියා පළ කරද්දී ස්ටේට් බෑන්ක් ඔෆ් සිලෝන් නමින් හැඳින්වුණු මේ බැංකුව ඊට අවුරුද්දකට පස්සේ 2019දී පෝර්ටේජ් බෑන්ක් විදිහට නම වෙනස් කරලා. එතෙක් අවුරුදු 117ක් බැංකුව හැඳින්වුණේ ස්ටේට් බෑන්ක් ඔෆ් සිලෝන් ලෙසයි. බැංකු ක්ෂේත්‍රයේ රාජ්‍ය නියාමනය දැඩි වීමට අනුරූපව මේ වගේ පොඩි බැංකු එකකින් එක වැහී යනවා. වැහී යනවා කිවුවට වැහිලම යන්නේ නැහැ. ලොකු බැංකු විසින් මේ වගේ පොඩි බැංකු මිල දී ගන්න එකයි වෙන්නේ. ඉහත කී බැංකුවේ නම වෙනස් වෙලා තියෙන්නෙත් මුල් අයිතිකරුවන් විසින් එය අලුත් ආයෝජකයින් පිරිසකට විකිණුවට පස්සේ. අතුරු කතාවෙන් නැවත මුල් කතාවට එමු.

ඇමරිකානුවන් රටේ ඉතිහාසයේ සිටම ඒකාධිකාර වලට කැමති නැති ජාතියක්. ඇමරිකාවේ මහ බැංකුව වන ෆෙඩරල් සංචිත බැංකුව පවා හදලා තියෙන්නේ එකිනෙකට සම්බන්ධ බැංකු පද්ධතියක් විදිහට. 

කලින් කියපු 1929 මහා අවපාතයෙන් පසුව බැංකු විශාල ප්‍රමාණයක් කඩා වැටුණා. මෙයට පිලියමක් විදිහට 1934දී ෆෙඩරල් තැන්පතු රක්ෂණ සමාගම පිහිටවනු ලැබුවා. ෆෙඩරල් නිවාස ණය ක්‍රමය ආරම්භ වුනෙත් ඔය කාලයේ. පළමු වරට නිවාසයක් මිල දී ගන්නා අයෙකුට වගේම සාමාන්‍ය නිවාස ණයක් ගන්න අසීරු වෙනත් ඇතැම් අයටත් FHA ණයක් සඳහා අයදුම් කළ හැකියි. මෙම ණය ලබා දීම සඳහා ඇමරිකාව ආවරණය වන පරිදි ෆෙඩරල් නිවාස ණය බැංකු 11ක් ස්ථාපනය කර තිබෙනවා.

ආයතනයේ නමට ෆෙඩරල් කියා තිබුණත් මේ ෆෙඩරල් නිවාස ණය බැංකු රජයට අයිති නැහැ. එක් එක් බැංකුවේ අයිතිය තියෙන්නේ අදාළ ප්‍රදේශයේ සාමාජික වාණිජ බැංකු වලට. එක් එක් සාමාජික වාණිජ බැංකුව විසින් තමන්ගේ පෙර වසරේ ලාබයෙන් 20%ක් තමන්ගේ ප්‍රදේශයේ ෆෙඩරල් නිවාස ණය බැංකුවේ කොටස් මිල දී ගැනීම සඳහා වෙන් කළ යුතුයි. මේ ෆෙඩරල් නිවාස ණය බැංකු පාලනය කරන්නෙත් එම සාමාජික බැංකු විසින්මයි. ඒ වගේම, ලාබ බෙදා ගන්නෙත් එම සාමාජික බැංකු විසින්. 

ආයතනයේ නමට ෆෙඩරල් කියා තිබුණත් මේ ෆෙඩරල් නිවාස ණය බැංකු රජයට අයිති නැහැ කියා කිවුවනේ. ඒ වගේම, ආයතනයේ නමට නිවාස ණය කියා තිබුණත් මේ ෆෙඩරල් නිවාස ණය බැංකු වලින් සෘජුව නිවාස ණය ගන්න බැහැ. ඒ වගේම නමට බැංකු කියා තිබුණත් මේ ආයතන ඇත්තටම බැංකුත් නෙමෙයි. 

නිවාස ණයක් ගන්න කෙනෙක්ට එය ගන්න වෙන්නේ තමන් කැමති බැංකුවකින්. ඒ විදිහට තමන් කැමති බැංකුවකින් නිවාස ණයක් ගනිද්දී, අදාළ අවශ්‍යතා සපුරන කෙනෙකුට සාමාන්‍ය ණයක් වෙනුවට FHA ණයක් ගන්න පුළුවන්. මේ වැඩේට ණය ගන්නා තැනැත්තා ෆෙඩරල් නිවාස ණය බැංකුවකට යා යුතු නැහැ. ඒ වෙනුවට වෙන්නේ සාමාජික වාණිජ බැංකු විසින් අදාළ ෆෙඩරල් නිවාස ණය බැංකුවේ අරමුදල් යොදාගෙන ණය දෙන එකයි. හැබැයි මෙහිදී ආයතන දෙකෙන්ම ණය අනුමත විය යුතුයි. 

දැන්නම් FHA ණයක් ගන්න එකේ ලොකුම වාසිය ඩවුන් පේමන්ට් එක අඩු වීම. නමුත්, මුල් කාලයේදී සාමාන්‍ය නිවාස ණයක ආපසු ගෙවීමේ කාලය අවුරුදු 5-10ක් වෙද්දී FHA ණයක් අවුරුදු 20-30කින් ආපසු ගෙවීමේ වාසියත් විශාල වාසියක්ව තිබී තිබෙනවා. මේ ක්‍රමය ආවට පස්සේ දැන් වෙළඳපොළත් ඊට අනුරූපව වෙනස් වෙලා.

එක ගමකට සීමාවුණු පොඩි වාණිජ බැංකුවක් එක්ක බලද්දී ඒ වගේ බැංකු දහසකට වඩා ප්‍රමාණයක් සාමාජිකත්වය දරන ෆෙඩරල් නිවාස ණය බැංකුවක් විශාල ආයතනයක්. පොඩි බැංකුවකට ගන්න බැරි අවදානම් ඒ වගේ ලොකු ආයතනයකට ගන්න පුළුවන්. මේ යාන්ත්‍රනය නිසා වාණිජ බැංකු අතර තරඟකාරිත්වය හා ඒ හේතුවෙන් ඇති වෙන කාර්යක්ෂමතාවය ඒ විදිහටම තිබෙනවා. බැංකු කුඩා වෙද්දී නැති වෙන පරිමාණයේ වාසිය (ඉකොනොමි ඔෆ් ස්කේල්) ෆෙඩරල් නිවාස ණය බැංකුව නිසා ලැබෙනවා. එයට ඒකාධිකාරයක් තිබුණත්, ඒකාධිකාරය දරන්නේ අදාළ ප්‍රදේශයේ බැංකු සියල්ලම විසින් සාමූහිකව නිසා වැඩේ කිසිම අවුලක් නැහැ. ඒ වගේම, රටම ආවරණය කරන එක ෆෙඩරල් නිවාස ණය බැංකුවක් වෙනුවට බැංකු 11ක් තිබෙන නිසා, මේ ආයතන වල කාර්යක්ෂමතාවය පිළිබඳ සංසන්දනයක්ද සිදු වෙනවා. ඇමරිකාවේ විදුලිබල සැපයුම් කර්මාන්තය වගේ දෙයක් ගත්තත් ක්‍රියාත්මක වෙන්නේ ඔය මූලධර්මය. මම හිතන්නේ ලංවිම කොටස් කිරීමේ යෝජනාව ඇතුළේ තියෙන්නෙත් ඔය මූලධර්මය.

මේක සාර්ථක ආකෘතියක්. හැම ෆෙඩරල් නිවාස ණය බැංකුවක්ම ලාබ ලබනවා. ඒ වගේම, ෆෙඩරල් නිවාස ණය බැංකුවක "ප්‍රමාණය" සාමාජික බැංකු වල ලාබ අනුව විචලනය වෙනවා. බැංකු වැඩියෙන් ලාබ ලබන කාල වකවානු වලදී FHA ණය වැඩියෙන් ලැබෙනවා. 

ණය ගන්නා කෙනෙක්ගේ පැත්තෙන් බැලුවහම, ඩවුන් පේමන්ට් එක අඩුවෙන් ගෙවීමේ වාසිය තිබුණත්, ණය වාරිකයට වගේම මුල් ණය මුදලටත් රක්ෂණ වාරික මුදලක් එකතු වෙනවා. වැඩි අවදානමක් ගන්නා අතරම කඩා නොවැටී ෆෙඩරල් නිවාස ණය බැංකු පවත්වා ගෙන යා හැකිව තිබෙන්නේ ණය ගෙවීම නැවතුනු විටෙක හිඟ ණය මුදල රක්ෂණය හරහා ලැබෙන නිසා. FHA ණය වලට රාජ්‍ය මැදිහත්වීමක් වෙන්නේ මේ රක්ෂණ ක්‍රමය හරහා.

රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනය ෆෙඩරල් නිවාස පරිපාලන ආයතනය. හැබැයි ඒ ආයතනය වුනත් බදු මුදලෙන් නඩත්තු වන ආයතනයක් නෙමෙයි. ෆෙඩරල් නිවාස ණය බැංකු වලට රක්ෂණ වන්දි ගෙවන්නේ රක්ෂණ වාරික විදිහට එකතු කර ගන්නා අරමුදල් වලින්. මේ වැඩේට ෆෙඩරල් රජය මැදිහත් වෙන්නේ එවැනි අවදානමක් ගත හැකි පෞද්ගලික ආයතනයක් නොතිබුණු පසුබිමක. 

එහෙත්, මේ වෙද්දී නිවාස ණය රක්ෂණය කරන පෞද්ගලික ආයතන ගණනාවක් බිහි වී තිබෙනවා. ඒ නිසා, FHA නොවන ණයක් වුනත්, 5%ක පමණ අඩු ඩවුන් පේමන්ට් එකක් ගෙවා වසර 30ක් වැනි දිගු කාලයකට ලබා ගන්න පුළුවන්. රජය වෙළඳපොළ මාර්ගෝපදේශනය කරමින් වෙළඳපොළ දියුණු වීමට උදවු කරනවා මිසක් ඒකාධිකාරයක් නඩත්තු කරමින් එයට බාධා කරන්නේ නැහැ. මේ වැඩේට බදු මුදල් නාස්ති කරන්නෙත් නැහැ.

9 comments:

  1. ෆෙඩරල් වචනෙ ඇහුනත් වෙවුලමු අපි නං
    එපා! බලය අඩු කෙරෙනා දේවල් නං
    රටට පාඩුවක් මුත් 'කන්නට හැකි නං'
    උන් කති; මෙහෙයවති සටනට අම්බරුවන්!

    ReplyDelete
    Replies
    1. නිදී, ලංකාවේ කරන්නේ අරගලේ කියලා තමන් අකමැති මී හරක් ටිකක් එළවලා ඒ වෙනුවට තමන් කැමති වෙනත් මී හරක් ටිකක් රිප්ලේස්මන්ට් එකක් විදිහට ගෙන එන එකනන්, සමාජ ජාල වල පැය ගානක් මහා පල් හෑලි ලියමින් මඩ ගහමින් තමන් කැමති මී හරකව විතරක් පුම්බන්න දගලන එකනන්, ඒකට දේශපාලනය ගැන උනන්දුවක් නැති සාමාන්‍ය බහුතර ජනතාවට දස වධ දෙමින් පාරවල් වහගෙන බස් ගෙවල් දොරවල් ගිණි තියා ගෙන රට තව කන්නේ නැතුව තමන් කැමති මී හරකා ගෙන ඒමේ යුතුකමේ වහල් කම චන්දෙ දවසට විතරක් තියා ගත්තම ඇති නේද?

      මට නම් දැන් ලංකාවේ නිව්ස් බලන්නත් අප්පිරියයි ඇති වෙලා තියෙන්නේ, වෙලාවට ඒ කාලේම මාරු වුණේ දැන් ඔය රටින් මාරු වෙන්නත් බෑනෙ ඔය හිඟන කල්ලතෝනි වෙන රටවල් වලින් බාරගන්නේ නෑ කොන්ඩම් වගේ යූස් කලා වීසි කළා, ලංකාවේ අරගලය කරපු සමහරක් මී හරක් හිතාගෙන හිටියෙ උන්ව උඩ දාල උන්ව අරන් සීටිසන්ෂිප් දෙයි කියලා අපට නම් හිකෙන් පුනා දැන් බලු වෙලා කුජීත වෙලා ඉන්නේ සම හරක් තාම හිරේ, තව උන්ට නඩු, පොලිස් රිපෝට් තාම ගන්න බැරුව කෙළවිලා ගිහින් අපි ඒ කාලේ කට කැඩෙනකම් කිව්වා එක එකාගේ ඇජෙන්ඩා වලට නැටවෙන්නේ නැතුව ෂේප් එකේ මගැරලා ඉඳපල්ලා කියලා කෝ බකපඬි මී හරක් ඇහැව්වා ද? ඕ.පු. ප්‍රීති වෙසක් කියලා නිකන් හිටියා මමත් ඊට පස්සෙ අන්තිමට දැන් අපි එදා කියපු දේවල් හරිලු... පවු නේද?

      Delete
  2. අනුරට ඉතාලියේදි ඉහළ පිළිගැනීමක්

    (ඉතාලියේ සිට)

    ඉතාලියේ සංචාරයක නිරත ජාතික ජන බලවෙගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ඉතාලියේ ලාංකිකයෝ මහත් හරසරින් පිළිගනු ලැබූහ.

    රෝම,නාපෝලි,කතානියා, ෆිරෙන්සි හා මිලානෝ හි ජනහමු කිපයක් සදහා අනුර කුමාර මහතා දෙදින සංචාරක නිරත විය. ඔහු පිලිගැනිමට හා ජන හමු සදහා විශාල පිරිසක් සහභාගි වූහ.

    ශ්‍රි ලාංකික දේශපාලකයකු සහභාගිවු ජනහමුවක් සදහා ඉතාලියේ මෙවන් පිරිසක් පැමිණි හා විශාල තරුණ තරුණියන්ගේ සහභාගිත්වයක් දැක්නට ලැබුණු ප්‍රථම අවස්ථාද මෙය බව ඊට සහභාගී වුවෝ පවසති.

    මිලානෝ නගරයේ ජනහමුව ඇමතු දිසානායක මහතා මෙසේ පැවැසීය: අපේ රටේ ආණ්ඩුව පෙරළිවලදී ඒ රැල්ල ඒ ප්‍රවණතාව හැදුවේ විදේශගත ශ්‍රී ලාංකීයන් බව අප කවරුත් දන්වා. අද මෙහි රැඳී සිටින සියලු දෙනාගෙන් එහෙම නව පෙරළිට සූදානම් බව පෙන්නුම් කරනවා .මෙතන ඉන්න අය ඉතාලියට ආවේ නැවත යන්න බලාගෙන. නමුත් එහෙම යන්න බෑ ඔබට ඉතාලියට එන්න වෙලා තිබෙනවා . ඔබට ආර්ථික ගැටලුව නො තිබුණත් තම මාතෘභූමිය ආර්ථික වශයෙන් කඩා වැටී තිබෙන මොහොතක තම රට ගැන හැඟීමක් ආදරයක් තම රට අලුත් දිසාවකට යොමු කිරීමට හැඟීමක් ඇතිවී තිබෙනවා.

    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ආණ්ඩුක්‍රමට ව්‍යවස්ථා වෙනස් කිරීම, නීතිය විධානය ආධිපත්‍යය සුරකින රටක් ඇති කිරීම, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීම,ලෝකයත් එක්ක පිළීගන්න රටක් බවට පත් කිරීම,දූෂිතයන්ට දඬුවම් දීම වැනි දෙවල් ජාතික ජන බලවේගය ප්‍රධාන අරමුණ බව ද වැඩි දුරටත් පැවසීය .

    ReplyDelete
  3. 'මිනසෝටා ප්‍රාන්තයේ දකුණු කොණේ අයෝවා ප්‍රාන්ත මායිම කිට්ටුව තිබෙන සිලෝන් කියන ප්‍රදේශයේ. ඇමරිකාවේ 42වන උප ජනාධිපති වූ වෝල්ටර් මොන්ඩේලුත් මේ සිලෝන් කියන ප්‍රදේශයේ ඉපදුනු අයෙක්. මේ ප්‍රදේශය සිලෝන් ලෙස නම් කර තිබෙන්නේ ලංකාව හැඳින්වුණු සිලෝන් කියන නම අනුව යමිනුයි.'

    හමුදාව දම්මලා ඔය කියන පැත්ත අල්ලාගෙන අපේ රටට ඈදා ගන්න බැරි වෙයිද?

    ReplyDelete
  4. ඇමරිකන්කාරයාට ගෙවල් නැති නිසාද ඇප්ගනිස්තානේ තම්බිලගේ ගෙවල් වලට බෝම්බ අතෑරියේ?

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ 1.22 යකෝ ඇෆ්ගනිස්ථානයට කලින් යුරෝපයේ ජර්මනිය ඉතාලිය සහ ජපානය පරමාණු බෝම්බ පවා දැම්මා ඒක නම් කමක් නැහැ කියමුකෝ

      ඒත් කොරියානු අර්ධද්වීපය, වියට්නාමයට ටොන් ගනන් බෝම්බ ගහලා ඒ රටේ වනාන්තර වලින් 3/5 ක් විතර විනාශ කරලා මිලියන ගණනක් මිනිස්සු මරලා දාලා කැම්භ්පූචියා ලාඕස් වගේ රටවල් වලටත් බෝම්බ ගහලා මිනී මරලා ඒත් මදිවෙලා ඉරාකයෙන් 91 කුඩු පට්ටම් වෙන්න නෙලලා සම්බාධක දාලා අවුරුදු දහයක් පමණ දිගු කාලයක් ඒ රට අනාථ කළා

      ඊට අමතරව පහුගිය අවුරුදු විස්සක් විතර කාලේ සෝමාලියාව හයිටි ඉරාකයේ තෙල් නිධි ටීක අල්ලලා ලිබියාව විනාශ කරලා ලිබියාවේ බොර තෙල් නිධි අල්ලාගෙන යුක්රේනයේ මන්දමානසික ගොන් ජනාධිපතියා අන්දලා රුසියාව එක්ක වලියක් සෙට් කරලා ඒ රටත් විනාශ කරලා තියෙන්නේ ඔය නිවාස ප්‍රශ්න විසඳන්න වෙන්න පුළුවන්

      ලංකාවට එම් සී සී ගිවිසුම අත්සන් කරන්න සෙට් කළේත් ඒක නිසා වෙන්න පුළුවන් බොහෝ දුරට ලංකාවේ 2015 සිරිසේන ගමරාලවත් 2019 නන්දසේන බැසිල් හොර හවුල සහ 2022 රනිල් බලයට පත් කර ගත්තේත් එක්සත් ජනපදයේ මැදිහත් වීමෙන් ඔවුන්ගේ ඉන්ටරෙස්ට් එක ක්‍රියාත්මක කරන්න ඕන නිසා බව හැමෝටම රහසක් නෙවෙයිනේ ඒත් ඇමරිකානු නිවාස ප්‍රශ්න විසඳන්න වෙන්න ඇති

      ඇත්තටම ඉකොනොමැට්ටා එක්සත් ජනපදය මැදපෙරදිග කලාපයේ යුද්ධවලට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන දහයක් විතර නාස්ති කරලා තියෙන්නේ ඇයි?

      ඇෆ්ගනිස්ථාන යුද්ධය වෙනුවෙන් වියදම් කරපු සල්ලි ඩොලර් ට්‍රිලියන හයක් විතර වෙනවා නේද දැන්? ඒවා රිකවර් කර ගැනීම කරන්නේ කොහොමද? මේවා ගැන ඇහුවාම ඉකොනොමැට්ටාට කට උත්තර නෑ නේද? කටේ පිට්ටු සද්ද නැතුව මාරු වෙලා යනවා ඒත් ලංකාවේ ආණ්ඩුව දුප්පත් හිඟන මනුස්සයෙකුට දෙන සහනාධාර කප්පාදු කරන්න රජයේ ආයතන විකුණලා දාන්න කියලා කෑ ගහනවා ඔය එක්සත් ජනපදයේ ෆෙඩරල් ආණ්ඩුව යුද්ධ කෝලාහල ආණ්ඩු මාරු කරන්න කරන මෙහෙයුම් වගේ කුණුහබ්බ වලට නාස්ති කරන ඩොලර් ට්‍රිලියන ගණනක් වෙනුවට (චීනය බිලියන කීපයක් විතරක් ණය ලබා දී අප්‍රිකා රටවල් ගොඩක් තමන්ගේ පැත්තට සෙට් කරගත්තා වගේ) ලංකාව වගේ රටවල් වලට ඇමරිකානු ඩොලර් බිලියන කීපයක් ආර්ථික ආධාර උපකාර සහිතව සංවර්ධන උපදෙස් ලබා දෙනවා නම් සහ ඇමරිකානු මාකට් එකට කෝටා ලබා දී චීනය වෙනුවට මේ රටවලින් ආදේශක නිෂ්පාදන හා සේවා ලබාගැනීමට හැකි නම් මම හිතන්නේ ඊට වඩා ගොඩාක් ලේසියෙන්ම මේ රටවල් වල බහුතර ජනතාවගේ හිතත් දිනාගෙන ආණ්ඩුවල නායකයන් වුණත් ඇමරිකන් අරමුණු වෙනුවෙන් කැමති කරගන්න පුළුවන් වෙයි කියලා

      නමුත් අනවශ්‍ය ලිබරල් ගොබිල්ලුන්ගේ මෝඩාභිමානය වෙනුවෙන් අනවශ්‍ය කොන්දේසි විවේචන සහ බලහත්කාරයෙන් කරන මැදිහත් වීම් නිසා අන්තිමට නැති ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ මේ ගැන ඇමරිකානු එක්සත් ජනපදයේ දැනුම් තේරුම් ඇති අයට පැහැදිලි කරමින් ඒ අයව convince කරන්න ඉකොනොමැට්ටා වගේ අයට උත්සාහ කරන්න අදහසක් නැද්ද?

      Delete
  5. 'ඇමරිකානුවන් රටේ ඉතිහාසයේ සිටම ඒකාධිකාර වලට කැමති නැති ජාතියක්'

    ඉකොනෝට අමු කැවිලද? ඇමරිකන්කාරයෝ තරං ඒකාධිකාරයෙන් පෙලෙන තවත් පිරිසක් නෑ ලෝකේ.

    ඒ තියා ඇමරිකන් කොම්පැනි වෙන ෆේස්බුක්, කොකා කෝලා, මයික්‍රෝ සොෆ්ට් වගේ කොම්පැනි කොච්චර දඩ කාලා තියෙනවද අනික් රට වල් වලින් ඒකාධිකාරයෙන් වැඩ කරන්න ගිහිං.

    අනික් කොම්පැනි වට්ටන්න ඔය සමාගම් මොන තරම් දුෂ්ඨ වැඩ කරනවද.

    ඉකොනෝ දැන් නං ඕවර් යනවා වගේ නේද. කඩේ ගියාට ඔහොම රෙදි නැතුව කඩේ යන්න එපා balan🤭අයටත් ලැජ්ජයි නේ

    ReplyDelete
  6. පේරාදෙණිය සරසවියේ හිටපු උපකුලපතිට සහ ඔහුගේ පුතාට පහර දීමට ඉකොනොමැට්ටා සම්බන්ද ද?

    ReplyDelete
  7. නන්දලාල් යන්නෙත් මගේ අඩිපාරෙ..! – කබ්රාල්ගෙන් හෙළිදරව්වක්

    වර්තමාන මහබැංකු අධිපති ආචාරය නනදලාල් වීරසිංහ ආර්ථිකය හැසිරවීමට අනුගමනය කරමින් සිටින්නේ මීට කාලෙකට ඉහත තමන් කළ දේ ම බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

    මුදල් මණ්ඩලය සහ මහබැංකු අධිපතිවරයා අතින් සිදුවෙන්නේ තමන් කළ ආකාරයෙන් ම ඩොලරයේ අගය ඉහළ යා නොදී පාලනය කිරීම බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මහබැංකු අධිපතිවරයා,

    “අද මට මේ අය චෝදනා කරනවා ඩොලරයේ අගය ඉහළ යා නොදී බලහත්කාරයෙන් පාලනය කළා කියලා. ඒ විදිහට රුපියලේ අගය රැකගත් නිසා රටේ ආර්ථිකය කඩා වැටුණා කියළා මට චෝදනා කරනවා. නමුත් අද මහ බැංකු අධිපති හා මුදල් මණ්ඩලය කරන්නෙත් එදා මම කළ දේ ම යි. ඒකෙ වැරැද්දක් මම දකින්නේ නෑ. හැබැයි එදා මම එහෙම කළ එක වැරදියි කියන අය අද මේ අය කරන දේ ගැන මොකුත් කියන්නේ නෑ.

    මට එල්ල කරලා තියෙන සියලු ම චෝදනා මම ප්‍රතික්ෂේප කරනවා. මම නීති විරෝධී දෙයක් කරලා නෑ. රටේ ආර්ථිකය කඩා වැට්ටුවෙත් නෑ. එදා තිබුණු ආර්ථිකය පාලනය කරලා මම ජනතාවට සහන ලබා දුන්නා. අද මොකද වෙන්නේ. රටේ ජනතාවට බර පටවන්නේ නැතිව විකල්ප ක්‍රමවලට රාජ්‍ය පාලකයෝ යායුතුයි කියන එක තමයි මම හිතන්නේ. මේ සම්බන්ධයෙන් විකල්ප ක්‍රම තියෙනවා ඒවා සොයා බැලිය යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන විතරක් ම විශ්වාසය තියලා කටයුතු කිරීම පමණක් ම මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා විසඳුමක් නෙවෙයි” යනුවෙන් හිටපු මහා බැංකු අධිපතිවරයා පවසනවා.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.