Tuesday, January 3, 2023

රාජ්‍ය ආයතන වල වටිනාකම්


පෙර ලිපි දෙකකින් මම පැහැදිලි කළේ තෙල් සංස්ථාව වගේම ශ්‍රීලංකන් ගුවන් සේවයත් මේ වෙද්දී ශුද්ධ සෘණ වටිනාකම් බව. එයින් අදහස් කරන්නේ මෙම ආයතන විකිණීය නොහැකි බව නෙමෙයි. ඒ වගේම, ලිපි ලිවීමේ අරමුණ වුනේ මෙම ආයතන විකිණිය යුතු බව හෝ විකිණිය යුතු නැති බව කියන එකත් නෙමෙයි. පෙන්වන්න අවශ්‍ය වූ ප්‍රධානම කරුණ මේ වගේ ආයතනයක් විකුණලා රජයට අතට ගාණක් ගන්න පුළුවන්කමක් නැති බව. 

රාජ්‍ය ආයතන විකිණිය යුතුද නැද්ද කියන දේශපාලන ප්‍රශ්නය අපි පැත්තකින් තියමු. උපකල්පනයක් ලෙස පමණක් මේ වගේ ආයතනයක් විකුණනවා කියන එක ගැන හිතමු. තෙල් සංස්ථාව වගේම ශ්‍රීලංකන් ගුවන් සේවයද සතුව විකිණිය හැකි භෞතික වත්කම් තිබෙනවා. ඊට අමතරව විකිණිය හැකි අස්පෘශ්‍ය වත්කම් (intangible assets) තිබෙනවා. මේ වත්කම් විකුණා රජයට ආදායමක් ලැබිය හැකියි. නමුත් ඒ විදිහට ලබා ගත හැකි ආදායමකින් මේ වෙද්දී ගොඩ ගැසී තිබෙන මේ ආයතන වල ණය ගෙවලා ඉවර කරන්න බැහැ. ඒ ණය ගෙවන්න වෙන්නේ බදු ගෙවන ජනතාවට. 

කොහොම වුනත් ලංවිම තවමත් තියෙන්නේ ඔය ගොඩේ නෙමෙයි. ලංවිමද දිගින් දිගටම පාඩු ලැබුවත් ලංවිම සතු වත්කම් වල වටිනාකම එහි බැරකම් වලට වඩා වැඩියි. ඒ නිසා, ලංවිම කියන්නේ විකුණා ආදායමක් ලැබිය හැකි ශුද්ධ වත්කමක්. නැවතත් කියන්නේ ලිපියේ අරමුණ ලංවිම විකිණිය යුතුද නැද්ද කියන එක සාකච්ඡා කරන එක නෙමෙයි. ලංවිම වගේ රාජ්‍ය ආයතන වල වත්කම් හා ලාබ ගැන පැහැදිලි කිරීමක් කරන එක.

දැන් ඔය ඉහත ආයතන තුනම පාඩු ලබන රාජ්‍ය ආයතනනේ. එහෙමනම්, ඒ අතරින් දෙකක ශුද්ධ වටිනාකම් සෘණ වෙන්නත් අනෙත් එකේ එසේ නොවෙන්නත් හේතුව කුමක්ද? ඒ ආයතනය සාපේක්ෂව කාර්යක්ෂමද?

සාපේක්ෂව කාර්යක්ෂමද කියන ප්‍රශ්නයට මට ඔව් හෝ නෑ කියා පිළිතුරක් දෙන්න බැහැ. නමුත් ලංවිම ශුද්ධ වටිනාකම සෘණ නොවී තියෙන්නේ ලංවිම වෙනුවෙන් යොදවා තිබෙන පොදු අරමුදල් ප්‍රමාණය තෙල් සංස්ථාව හා ශ්‍රීලංකන් ගුවන් සේවය වෙනුවෙන් යොදවා තිබෙන පොදු අරමුදල් ප්‍රමාණයට වඩා ගොඩක් වැඩි නිසා. එහෙම නොවුනානම්, මේ වෙද්දී ලංවිම වටිනාකමත් සෘණ පැත්තට යා හැකිව තිබුණා. 

2021 අවසානය වන විට තෙල් සංස්ථාව තුළ ආයෝජනය කර තිබුණු පොදු අරමුදල් ප්‍රමාණය = රුපියල් බිලියන 61.5

එම ආයෝජන වලින් උපයා ඇති මුදල = රුපියල් බිලියන (-419.0)යි.

2021 අවසානය වන විට ඉතිරිව ඇති පොදු අරමුදල් ප්‍රමාණය = රුපියල් බිලියන (-357.5)යි.


2021 මාර්තු අවසාන වන විට ශ්‍රීලංකන් ගුවන් සේවය තුළ ආයෝජනය කර තිබුණු පොදු අරමුදල් ප්‍රමාණය = රුපියල් බිලියන 82.5යි.

එම ආයෝජන වලින් උපයා ඇති මුදල = රුපියල් බිලියන (-371.7)යි.

2021 මාර්තු අවසාන වන විට ඉතිරිව ඇති පොදු අරමුදල් ප්‍රමාණය = රුපියල් බිලියන (-289.3)යි.


2022 සැප්තැම්බර් අවසාන වන විට ලංවිම තුළ ආයෝජනය කර තිබුණු පොදු අරමුදල් ප්‍රමාණය = රුපියල් බිලියන 545.3යි.

එම ආයෝජන වලින් උපයා ඇති මුදල = රුපියල් බිලියන (-309.2)යි.

2022 සැප්තැම්බර් අවසාන වන විට ඉතිරිව ඇති පොදු අරමුදල් ප්‍රමාණය = රුපියල් බිලියන 236.0යි.

පේනවනේ වෙනස. තෙල් සංස්ථාවට රුපියල් බිලියන 61.5ක් හා ශ්‍රීලංකන් ගුවන් සේවයට රුපියල් බිලියන 82.5ක් දමද්දී ලංවීමට රුපියල් බිලියන 545.3ක් පොම්ප කරලා තියෙනවා. ඒ නිසා, රුපියල් බිලියන 309.2ක් පාඩු වුනාට පසුවත් තවත් රුපියල් බිලියන 236.0ක් ඉතිරි වෙලා තියෙනවා. 

හරියටම ගණන් හැදුවොත් ලංවිම පාඩුව තෙල් සංස්ථාවේ හා ශ්‍රීලංකන් ගුවන් සේවයේ පාඩුවට වඩා වැඩි වෙන්න පුළුවන්. මොකද බැංකු වලින් කෙළින්ම ණය ගත්තහම ඒ ණය වල පොලිය වියදමක් විදිහට එකතු වෙලා පාඩු වලට එකතු වෙනවා. නමුත්, රජය ණය වෙලා ගන්න සල්ලි රාජ්‍ය ආයතනයක යට කළහම ඒ ණය වල පොලිය එකතු වෙන්නේ රජයේ ගිණුමක. ඒ පොලී වියදම් අදාළ රාජ්‍ය ආයතනයේ වියදමක් විදිහට ගිණුම් වල සටහන් වෙන්නේ නැහැ. තෙල් සංස්ථාවේ හා ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිර කර තිබෙන පොදු අරමුදල් ප්‍රමාණය අඩු නිසා මේ වෙනස අඩුයි. ලංවිම මේ කොටස ඊට වඩා ගොඩක් වැඩියි. 

සෛද්ධාන්තිකව මේ මොහොතේ ලංවිම විකුණලා රජයට රුපියල් බිලියන 236.0ක ශුද්ධ ආදායමක් ලබා ගන්න පුළුවන්. නමුත්, ලංවිම තුළ ආයෝජනය කර තිබෙන රුපියල් බිලියන 545.3ක මුදල මුළුමනින්ම ලබා ගන්න බැහැ. ඒ මුදල වෙනුවෙන් දිගින් දිගටම ගෙවා තිබෙන ණය පොලී ටික හොයා ගන්නත් බැහැ. ඔය තරමේ ශුද්ධ වත්කමක් ලංවිම තුළ ඉතිරි වී තිබෙන්නේ කාලයෙන් කාලයට ලංවිම ණය ගෙවීමේ බරින් ලංවිම නිදහස් කරලා ඒ බර බදු ගෙවන්නන් මත පටවා තිබෙන නිසා. තෙල් සංස්ථාව හෝ ශ්‍රීලංකන් ගුවන් සේවය මේ වෙලාවේ විකුණනවානම් එසේ විකුණන්න වෙන්නෙත් එම ආයතන වල ණය බර බදු ගෙවන්නන් වෙත පවරා අදාළ ආයතන ණය බරින් නිදහස් කිරීමෙන් පසුව පමණයි. 

11 comments:

  1. රජයට අති විශාල ඉඩම් කන්දරාවක් තියනව. මිනිස්සුන්ට සල්ලි තියනව. ඇයි ඒව සින්නක්කර පවරන්න බැරි

    ReplyDelete
  2. රේල්වේ එක පෞද්ගලිකරණය කරන බැරිද? එංගලන්තයේ රේල්වේ එක පුද්ගලීකරණය අසාර්ථක උනාද?

    ReplyDelete
  3. ශ්‍රී ලංකන් එක මීට කලින් එමිරේට්ස් සමාගම සමග දිව්වේ. ඒ සමාගම ගන්න කලින් ශ්‍රී ලංකන්, එවකට එයාර් ලංකා සමාගම ලාබ ලැබුවේ නැහැ නේද. එහෙනම් ඇයි එමිරේට්ස් මේකේ කොටස් ගත්තේ?

    ReplyDelete
    Replies
    1. එයාර් ලංකා සමාගම දිගින් දිගටම පාඩු ලැබුවේ නැහැ. 1990-1995 අතර එයාර් ලංකා සමාගම ලාබ ලැබුවා.

      Delete
  4. ඉකොනෝමැට්ටා,


    දැන් අලුත්ම සීන් එක තියෙන්නෙ බිත්තර පිටරටින් ගෙන්වන කතාවනේ...
    මට තියෙන පස්නෙ. (බිත්තර සදහා විතරක්ම නෙවෙයි)


    පිට රටක හදලා,
    නැවක එවන්න ගාස්තු ගෙවලා
    (Storage + Handling + Transport + Custom clearance, tax, etc)
    ආයෙත් ලංකාවට ගෙන්වන එකා ලාභයක් තියාගෙන,
    තොග වෙලෙන්දත් ලාභයක් තියාගෙන
    සිල්ලර වෙලෙනෙදත් ලාභයක් තියාගෙන,

    අපිට, සාමාන්‍ය මිනිස්සුන්ට, ලංකාවෙ නිශ්පාදනය වෙන බිත්තරයකට වඩා අඩුවෙන් කොහොමද දෙන්නෙ...???

    ---------
    මොකක්ද ලෝකල් ප්‍රඩක්ශන් වල තියෙන අවුල, (බිත්තර විතරක් නෙවෙ, කෘෂිකර්මය, ධිවර වගෙ ඒවත්)
    පරන යල්පැන ගිය තාක්ශනයද???

    -------
    කොරියන් උන් මෙහෙන් මිනිස්සු ගන්නවා නෙහ් බන් උන්ගෙ මාලු බෝට්ටු වල වැඩට,
    අපිට මාලු කෑල්ලක් කන්න පුකත් දෙන්න වෙන්න ගානට ගනන් ලංකාවෙ...
     

    ReplyDelete
  5. ආර්ථික වශයෙන් පහල ස්තරය තුල සිටින අති බහුතර මිනිසුන්ට සරීරියට අවශ්‍ය ප්‍රොටීන් ලබාගැනීම සඳහා තිබූ එකම ආහාරය කිකිළි බිත්තරයයි. එය ද මේ මොහොතේ රං කිකිළිගේ බිජු මෙන් පාලන මිලක් රහිතව රන් පවුම් සේ මිල ඉහල නගිනු පෙනේ.

    ආන්ඩුව මේ මිල ගැටලුව විසඳාගැනීමට දැමිය හැකි සියළුම දහංගැට දමා බැරිවූ කල ගැටලුව අභියාචනාධිකරණයට ද ගියේය. නමුත් එයද පලක් නොවීය. පාදමෙන් ආර්ථිකය දෙදරාගිය අර්බූද වලට උපරි ව්‍යුහයේ ඇති අධිකරණ වගන්ති තුල පිළිතුරු නොමැති බව ඒ හරහා ඔප්පු විය.

    මේ අතර බිත්තර ඉන්දියාවෙන් ගෙන්වීම සඳහා වන සූදානමක්ද පවතී. එහිදී ඉන්දියාවෙන් ගෙන්වන බිත්තරයක් රුපියල් විසිපහක් වැනි මුදලකට අලෙවි කල හැකි බවද පැවසේ. මෙහිදී දේශීය බිත්තරයක් රුපියල් හැත්තෑවකට හැත්තෑපහකට අලෙවි වෙද්දී ඉන්දියාවෙන් ආනයනය කල බිත්තරයක් රුපියල් විසිපහකට අලෙවි කල හැක්කේ කෙසේද ..?

    මෙයට හේතුව ඉන්දියාව තුල බිත්තරයක් නිශ්පාදනය කිරීමට වැයවෙන පිරිවැය මෙන් තුන් ගුණයක පිරිවැයක් එම බිත්තරය ලංකාව තුල නිශ්පාදන කරීම සඳහා වැයවීමයි. ඊට හේතුව ඉන්දියානු මහා කර්මාන්ත වලට සාපේක්ෂව ලංකාව තුල ඇත්තේ නොදියුනු සුළු පරිමාණ කර්මාන්ත වීමය.

    දේශිය වශයෙන් නිශ්පාදනය කරන යම් බාන්ඩයක මිල එකී බාන්ඩයේ ජාත්‍යන්තර මිල මෙන් දෙගුණයක් පමණ වේනම් එහි අර්ථය එකී (දේශීය දේශීය බාන්ඩය නිශ්පාදනය කරන) කර්මාන්තයේ පැවැත්ම ඓතිහාසික වශයෙන් මේවනවිටත් කල් ඉකුත්වී ඇති බවය.

    මෙහි ඇති පැහැදිලි යථාර්තය නම් අපේ රටේ රාජ්‍ය අංශයේ ව්‍යවසායකත්වයන් පමණක් නොව සියළු පෞත්ගලික අංශයේ ව්‍යවසායකත්වයන් පවා ගෝළීය සන්දර්බයක් තුල මේවනවිටත් බංකොලොත්ව අවසන්ව ඇති බවය. අවසාන වටයේදී මේවා නඩත්තුකරගෙන යෑමේ අවසාන පිරිවැය දැරීමට සිදුවන්නේද පොදු මහජනතාවටමය.

    බිත්තර කර්මාන්තයේ පමණක් නොව රට තුල පවතින සෑම සියලු නිශ්පාදන කර්මාන්තවල තත්වයද මෙසේමය. උදාහරණයක් ලෙස සහල් මෙට්‍රික් ටොන් එකක් ආනයනය කිරීමට යන පිරිවැය මෙන් දෙගුණයකට ආසන්න පිරිවැයක් සහල් මෙට්‍රික් ටොන් එකක් රට තුල නිශ්පාදනය කිරීමට වැයවේ. මෙහිදී බොහෝ දේශීය නිශ්පාදනයන් පවත්වාගෙන යාම සඳහා රජය විශාල පිරිවැයක් දරයි.

    විශේෂයෙන් වී වගාව සම්බන්දයෙන් ගත් කල රජය විශාල පිරිවැයක් දරා පොහොර පවා අඩු මුදලකට නිශ්පාදකයාට ලබා දෙයි. අවසානයේ වගාව පාඩුවූ විට ඒ පාඩුව රජය දරාගෙන ගොවියාට වී සඳහා සහතික මිලක්ද ගෙවයි. ඊට අමතරව වගාපාලු වන්දි සඳහාද, අලි වැටවල්, වාරිමාර්ග, වැව් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහාද රජය විශාල මුදලක් වැයකරයි. නමුත් මේ මොක කරත් මේ ක්‍රියාවලිය හරහා කිසිදා ගොඩ ගිය ගොවියෙක්ද නැත. බිඳවැටෙමින් පවතින දේශීය නිශ්පාදනයකට රජය මැදිහත්ව විශාල වන්දියක් ගෙවමින් තාවකාලික මුක්කුවක් ගසාගෙන සිටීමක් පමණක් මෙහිදී සිදුවේ.

    ReplyDelete
  6. විනේ කටින උන් තරහක් නැතිවාම
    කණේ කොහොඹ මිරිකනවලු හැමදාම
    විනේ තියෙන්නේ කොතනද දැන දැනම
    අනේ රජවරුත් 'නිඳි වදිනව' තාම!

    ReplyDelete
  7. ඇමරිකන් අප්පච්චි.

    ReplyDelete
  8. ඉකොන්, මේ තුනම රජයේ දෙපාර්තමේන්තු නොවන නිසා එම ආයතන වලට අයත් විශාල නිශ්චල දේපල තියෙන්න පුලුවන්. උදාරණයකට ආයතනයට අයිති ඉඩම්. ඒවා වෙලඳ පොල වටිනාකමට මිල කර මේ වටිනාකමට එකතු කරන්න ඕන නේද? නැත්නම් එම ඉඩකඩම් රජයට අයිති වෙනම සමාගමකට පවරා ඒවා මෙම ආයතන වලට බද්දට දිය යුතුයි. එවිට එම ඉඩම් වල අයිතිය රජයට අයත් සමාගමක ඉතුරු වෙනවා. ඒවගේම තමයින් ලංවිමට අයත් සම්ප්‍රේශණ පද්ධති. සමහර විට ඒවා ගිණුම වල ක්ශය කරලා තියෙන්න පුළුවන්. එව්න සම්ප්‍රේශන පද්ධතියක් අද ප්‍රතිශ්ඨාපන වටිනාකම ගණනය කරලා (යම් ප්‍රමාණයක් අඩුකර ) ආයතනේ වටිනාකමට එකතු කරන්න ඕන. අනික පුද්ගලික අංශයට පවරන කොට ලංවිමට ඒකාධිකාරයක් තිබෙනවා. ඒනිසා වැඩි වටිනාකමක් එකතු වෙනවා. තෙල් සංස්ථාවටත් ඉන්නේ එක තරඟකාරයයි.

    ReplyDelete
    Replies
    1. මේ ආයතන තුනේම වත්කම් ලෙස තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම ඔබ කියන ආකාරයේ නිශ්චල දේපොළ (plant property and equipment). විශේෂයෙන්ම ලංවිම. ලංවිම ශුද්ධ වත්කම් සාපේක්ෂව වැඩිත් මේ හේතුව නිසා. ඒ වගේම, ශුද්ධ වත්කම් තිබියදීත් ලංවිම පවත්වා ගෙන යාම සඳහා භාණ්ඩාගාරයෙන් සල්ලි පොම්ප කරන්න සිදු වී තියෙන්නේත් තිබෙන වත්කම් ද්‍රවශීල වත්කම් නොවන නිසා. මම හිතන්නේ මෙහිදී වඩා නිවැරදි වෙළඳපොළ වටිනාකම මත (marked to market) තක්සේරු කරන එකයි. ප්‍රතිශ්ඨාපන වටිනාකම වඩා ගැලපෙන්නේ හානි පූරණය වගේ දෙයක් ගැන හිතද්දී. උදාහරණයක් ලෙස රක්ෂණය කිරීමේදී. සාමාන්‍ය මූලධර්මයක් ලෙස ප්‍රතිශ්ඨාපන වටිනාකමට (සමාන දෙයක් අලුතෙන් මිල දී ගන්න යන මුදලට) වත්කම් විකිණීය නොහැකියි. කෙසේ වුනත්, මේ ආයතන වල ශේෂ පත්‍ර වල හැම දෙයක්ම marked to market තක්සේරු කර නැහැ. බොහෝ වත්කම් තක්සේරු කර තිබෙන්නේ ක්ෂය වීමේ පදනම මත. marked to market වටිනාකම residual වටිනාකමට (after depreciation) වඩා වැඩි අවස්ථා වලදී පමණක් සැබෑ වටිනාකම මේ පෙන්වන ගණනට වඩා වැඩි විය හැකියි.

      Delete
  9. මාගේ එළකිරි ඩොට් කොම් වෙබ් අඩවියේ සමාජිකයන් දෙදෙනෙක් පාපැදියෙන් කොළඹ සිට බදුල්ලට ගියා. පහත ලින්කුවෙන් ඔබටත් එම ගමන ගැන කියවන්න පුළුවන් මහත්මයා.

    සුන්දරත්වයේ සයිකල් සවාරිය

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.