Tuesday, January 10, 2023

බිත්තර කටුවෙන් එහා ලෝකය (තුන්වන කොටස)


බටහිර රටක සුපිරි වෙළඳසැලක විකිණෙන බිත්තර කියා කියන්නේ නිකම්ම ආහාරයක් පමණක් නෙමෙයි. බිත්තර එක්ක තවත් දේවල් ගණනාවක් පැකේජ් වෙලා තිබෙනවා. මිල තීරණය වන්නේ ඒ දේවල් වල වටිනාකමත් එකතු වෙලා. නමුත්, ලංකාව හෝ ඉන්දියාව වැනි රටක බිත්තර කියා කියන්නේ බොහෝ දුරට බිත්තරම තමයි. කවුරු හෝ බිත්තර මිල දී ගැනීමේදී ගෙවන්නේ බිත්තර වල මිල. මේ වෙනස ගැන ලිපි මාලාවේ පළමු කොටසින් පැහැදිලි කළා. 

බිත්තර නිෂ්පාදකයෙකුට උපරිම වශයෙන් අය කළ හැක්කේ පාරිභෝගිකයින්ට සාපේක්ෂ බිත්තරයක වටිනාකම. නමුත්, නිෂ්පාදකයින් අතර තරඟය නිසා බොහෝ විට ඒ මිල අය කරන්න වෙන්නේ නැහැ. අය කරන්න වෙන්නේ ඊට වඩා අඩු මිලක්. මේ විදිහට අය කළ හැකි මිල සහ නිෂ්පාදන පිරිවැය අතර වෙනස තමයි නිෂ්පාදකයාගේ ලාබය. 

තරඟකාරී වෙළඳපොලක මිල කෙරෙහි එක් නිෂ්පාදකයෙක්ට බලපෑමක් කරන්න බැහැ. ඒ නිසාම, මිල වැඩි කරලා ලාබ වැඩි කර ගන්නත් බැහැ. ලාබ වැඩි කරගන්න පුළුවන් එකම ක්‍රමය පිරිවැය අඩු කර ගන්න එක. ඒ නිසා, හැම විටම ලාබ සොයන නිෂ්පාදකයෙක් පිරිවැය අඩු කර ගත හැකි ක්‍රම ගැන හිතනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස අවසාන වශයෙන් බිත්තර නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව ඉහළ යනවා. මෑත ඉතිහාසය තුළ දිගින් දිගටම සිදු වී තිබෙන්නේත්, සිදු වෙමින් තියෙන්නෙත් ඕක.

මිනිස්සු බිත්තර ආහාරයට ගැනීමෙන් සතුටු වුනේ අද ඊයේ නෙමෙයි. මේක අවුරුදු දස දහස් ගණනක ඉතිහාසයක් තිබෙන දෙයක්. සමහර විට මිනිස්සු මිනිස්සු වෙන්නත් කලින්ම බිත්තර ආහාරයට ගත්තා වෙන්න පුළුවන්. ඒ කාලයේ සිට මෑතක් වන තුරුම බිත්තරයක වටිනාකම කියා කියන්නේ එහි ආහාරමය වටිනාකම. එම වටිනාකම විශාල ලෙස වෙනස් වෙලා නැහැ. නමුත්, බිත්තරයක නිෂ්පාදන පිරිවැය ඊට සාපේක්ෂව විශාල ලෙස වෙනස් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම නිෂ්පාදන තාක්ෂණයේ සිදු වූ යුග පෙරළි එක්ක.

මුල්ම කාලයේදී බිත්තර කියා කියන්නේ ස්වභාවයේ පැවතුණු දෙයක්. බිත්තර නිෂ්පාදනය කියා කියන්නේ බිත්තර තියෙන තැන් හොයා ගෙන බිත්තර එකතු කර ගැනීම. නිෂ්පාදන පිරිවැය කියන්නේ මේ වැඩේට අවශ්‍ය ශ්‍රමය. ඊට අමතරව ප්‍රාග්ධනයක් කියා දෙයක් අවශ්‍ය වුනේ නැහැ. 

සමහර විට බිත්තර දෙක තුනක් හොයා ගන්න හැතැම්ම බාගයක් විතර ඇවිදින්න වෙනවා. ඊට වඩා බිත්තර හොයා ගන්නනම් තව ඈතට යන්න වෙනවා. නිෂ්පාදනය වැඩි කරද්දී නිෂ්පාදනය ඉහළ යන අනුපාතයට වඩා වැඩි අනුපාතයකින් පිරිවැය ඉහළ යනවා. ඒ කියන්නේ ආන්තික පිරිවැය එන්න එන්නම වැඩි වෙනවා.

අනෙක් පැත්තෙන් එකතු වෙන බිත්තර ප්‍රමාණය ඉහළ යද්දී අමතර බිත්තරයකින් ලැබෙන සතුට එන්න එන්නම අඩු වෙනවා. ඒ කියන්නේ බිත්තරයක ආන්තික වටිනාකම අඩු වෙනවා. ඔය විදිහට ආන්තික වටිනාකම අඩු වෙලා ආන්තික පිරිවැය ආන්තික වටිනාකම ඉක්මවන මට්ටමට ආවට පස්සේ බිත්තර එකතු කරන්න යන පුද්ගලයා ආපහු හැරිලා තමන්ගේ නවාතැනට එනවා. ඕක තමයි සමතුලිතතාවය.

මේ වගේ තත්ත්වයකදී නිෂ්පාදකයා හා පාරිභෝගිකයා කියන්නේ දෙන්නෙක් නෙමෙයි. එක්කෙනෙක්. නිෂ්පාදනයක් හා පරිභෝජනයක් තිබුණත් වෙළඳපොළක් කියා දෙයක් නැහැ. නමුත්, ඒ වගේ තත්ත්වයකදී පවා වෙළඳපොළ මූලධර්ම වල ඡායාවක් දකින්න පුළුවන්.

වෙන නිෂ්පාදනයක් ගත්තත් ඔය වගේ. අඹ ගෙඩියක් පරිභෝජනය කරන්න අවශ්‍ය කෙනාට අඹ ගහක් තියෙන තැනක් හොයා ගෙන යන්න වෙනවා.  පොල් ගෙඩියක් පරිභෝජනය කරන්න අවශ්‍ය කෙනාට පොල් ගහක් තියෙන තැනක් හොයා ගෙන යන්න වෙනවා. ඒ වැඩේට අවශ්‍ය ආන්තික ශ්‍රමය අමතර අඹ ගෙඩියක හෝ අමතර පොල් ගෙඩියක ආන්තික වටිනාකමට වඩා අඩු වුන ගමන් අතේ තිබෙන අඹ හෝ පොල් ටික අරගෙන ආපහු හැරිලා එනවා. 

ගෘහස්ථ කෘෂිකර්මය ආරම්භ වෙන්නේ ඔය ආන්තික පිරිවැය අඩු කර ගත හැකි ක්‍රම ගැන මිනිස්සු හිතන්න පටන් ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට. අඹ ගහක් පොල් ගහක් ගේ කිට්ටුව හිටවා ගත්තට පස්සේ කලින් අඹ ගස් පොල් ගස් හොයා ගෙන ඇවිදින්න වැය වුනු ශ්‍රමය ඉතුරු වෙනවා. බිත්තර දමන කිකිළියෙක් අල්ලාගෙන ඇවිත් කොටු කර ගත්තට පස්සේ බිත්තර හොයාගෙන ඇවිදින්න වැය වුනු ශ්‍රමය ඉතුරු වෙනවා. මේ විදිහට ආන්තික පිරිවැය විශාල ලෙස අඩු වුනත්, ආන්තික වටිනාකම් ලොකුවට වෙනස් නොවන නිසා පරිභෝජනය විශාල ලෙස ඉහළ යනවා. නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉහළ යනවා. 

මීට අමතරව මේ අදියර වන විට බිත්තර වල ගුණාත්මක භාවයේත් ලොකු වෙනසක් වෙනවා. මුල් යුගයේදී කැලේ මැද හමුවෙන බිත්තරයක් දැම්මේ මොන සතාද කියන එක හරියටම දන්නේ නැහැ. දැන් ඒ වගේ නෙමෙයි. බිත්තරේ කිකිළිගේ කියන එක පැහැදිලියි. ඒ නිසා බයක් සැකක් නැතුව කන්න පුළුවන්. මේ වෙනස නිසා බිත්තරයක වටිනාකම ඉහළ යනවා. පොදු වශයෙන් බිත්තර වල ආන්තික වටිනාකමත් ඉහළ යනවා. ඒ හේතුව නිසාත් පරිභෝජනය ඉහළ යනවා. 

මේ දෙවන අදියර වෙද්දී ප්‍රාග්ධනය කියා දෙයක් හැදිලා. අඹ ගහට පොල් ගහට අයිතිකාරයෙක් ඉන්නවා. කිකිළියෙක්ට අයිතිකාරයෙක් ඉන්නවා. පොල් අයිති පොල් ගහේ අයිතිකාරයාට. බිත්තර අයිති කිකිළිගේ අයිතිකාරයට. හැබැයි ඒ එක්කම තමන්ගේ පෞද්ගලික දේපොළ, පෞද්ගලික ප්‍රාග්ධනය ආරක්ෂා කර ගැනීමේ අමතර ප්‍රශ්නයක් එනවා. ඒ වෙනුවෙන්ද ශ්‍රමය යොදවන්න වෙනවා.

වත්තේ ඉන්න කිකිළියන් නරින්ගේ, උගුඩුවන්ගේ ගොදුරක් වෙන්න පුළුවන්. එහෙම වුනොත් කාලයක් තිස්සේ එක්රැස් කරගත් ප්‍රාග්ධනය එක රැයින් අහිමි වෙන්න පුළුවන්. කිකිළියෝ ටික ආරක්ෂා කරගන්න කුකුළු කූඩුවක් හදන්න වෙනවා. ඊට පස්සේ කිකිළියන් වගේම කුකුළු කූඩුවත් ප්‍රාග්ධනයක් බවට පත් වෙනවා. 

නරින්ගෙන්, උගුඩුවන්ගෙන් බේරා ගත්තා කියලා ප්‍රාග්ධනය විනාශ වෙන එක මුළුමනින්ම නවත්වන්න බැහැ. ප්‍රාග්ධනය කොහොමටත් ක්ෂය වෙනවා. ලෙඩ වෙලා, වයස්ගත වෙලා කිකිළියෝ මැරෙනවා. එහෙම වෙද්දී නිෂ්පාදන මට්ටම තියා ගන්නනම් දිගින් දිගටම ආයෝජන කරන්න වෙනවා. බිත්තරයක් අද කෑමට නොගෙන රක්කවලා කුකුළු පැටවු හදාගන්න එක ආයෝජනයක්. හැබැයි ඒ විදිහට බිත්තරයක් රක්කවද්දී කන්න තිබෙන බිත්තරයක් අඩු වෙනවා. බිත්තරය කාලා ලබන්න තිබුණු සතුට අහිමි වෙනවා. 

ආයෝජන ගැන නොහිතා පරිභෝජනය ගැන පමණක් හිතුවොත් ප්‍රාග්ධනය ක්ෂය වී යන එක කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. ඊට පස්සේ වෙන්නේ පරිභෝජන මට්ටම පහත වැටිලා සතුට විශාල ලෙස අහිමි වීම. ආයෝජනයේදී වෙන්නේ අනාගත සතුට වෙනුවෙන් වර්තමාන සතුට කැප කිරීමක්. කොයි තරමටද කියන එක පෞද්ගලික තේරීමක්. 

බිත්තරයක් රක්කවද්දී බිත්තරය කෑමේ සතුට අහිමි වෙනවා. නමුත් කුකුළු පැටියා ලොකු වෙලා බිත්තර දමන්න පටන් ගත්තට පස්සේ ඒ නැති වුනු සතුට පොලියත් එක්ක ආපසු ලැබෙනවා. පොල් ගෙඩියක් හිටවද්දී පොල් ගෙඩිය කෑමේ සතුට අහිමි වෙනවා. නමුත් පොල් ගහ ලොකු වෙලා ගෙඩි හැදෙන්න පටන් ගත්තට පස්සේ  ඒ නැති වුනු සතුට පොලියත් එක්ක ආපසු ලැබෙනවා. ආයෝජන වල ප්‍රතිඵල ලබා ගන්න කාලයක් බලා ඉන්න වෙනවා. ඒකට ඉවසීම අවශ්‍යයි. අවදානමක් ගන්නත් වෙනවා. අවදානමට බයේ ආයෝජන කරන්න බැහැ. 

එහෙමයි කියලා නොකා නොබී ආයෝජන කරන එකෙත් තේරුමක් නැහැනේ. මෝඩ අවදානම් ගන්න එකෙත් තේරුමක් නැහැ. ආයෝජන හා පරිභෝජනය අතර ප්‍රසස්ථ සමතුලනය පෞද්ගලික තේරීමක්. කොහොම වුනත් අද පරිභෝජනය සීමා කරලා හැකි තරම් ආයෝජන කරන තරමට වැඩි වැඩියෙන් ප්‍රාග්ධනය එක්රැස් වෙලා අනාගත පරිභෝජන විභවය ඉහළ යනවා. 

අන්තවාදී පරිසරවාදය ගැනත් යමක් කිව යුතුයි. මිනිස්සු ජීවත් වෙනවා කියන්නේම ස්වභාවික පරිසරය වෙනස් කරනවා කියන එක. පවතින තත්ත්වය වෙනස් කරනවා කියන එක. අනාගතය වෙනස් කරනවා කියන එක. පවතින තත්ත්වය ඒ විදිහටම තිබිය යුතුයි කියා හිතන එක විකාර අදහසක්. පරිසරය කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙන දෙයක්. 

මිනිස්සු වගේම සත්තුත් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් පරිසරය වෙනස් කරනවා. එහිදී වැදගත් වෙන්නේ තමන්ගේ පැවැත්ම. අනෙක් දේවල් වැදගත් වෙන්නේ මේ වෙනස් කිරීම් සීමාව පැනලා අවසාන වශයෙන් තමන්ගේම අනාගත පැවැත්මට තර්ජනයක් වෙන මට්ටමකට ආවට පස්සේ. කැලේ තිබෙන බිත්තරයක් එකතු කරගෙන ආවහම ඒ බිත්තරෙන් පැටියෙක් හැදෙන එක නවතිනවා. පරිසරය වෙනස් වෙනවා. පොල් ගෙඩියක් පලාගෙන කෑවහම වෙන්නෙත් ඒකයි. පරිසරය වෙනස් නොකර කාටවත් ජීවත් වෙන්න බැහැ.

ගෘහස්ථ කෘෂිකර්මය හා ගෘහස්ථ සත්ත්ව පාලනය පටන් ගත්තට පස්සේ මිනිස්සු පරිසරය වෙනස් කිරීමෙන් එහාට ගිහින් ස්වභාවික පරිණාමයේ නීතිත් වෙනස් කරන්න පටන් ගන්නවා. මේ වැඩේ අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙමෙයි. අඩු වශයෙන් අවුරුදු හත් අට දාහකට කලින් පටන් ගත්ත දෙයක්. 

අලුතෙන් පොල් හිටවද්දී හිටවන්නේ හොඳට ගෙඩි හැදෙන පොල් ගහක ගෙඩියක්. රක්කවන්න ගන්නේ හොඳට බිත්තර දමන කිකිළියෙකුගේ බිත්තර. මරාගෙන කන්නේ අඩුවෙන්ම බිත්තර දමන කිකිළිව. මේ තේරීම නිසා පරම්පරාවෙන් පරම්පරාවට පොල් පලදාව ඉහළ යනවා. බිත්තර පලදාව ඉහළ යනවා. 

මේක කැලේ බිත්තර දමපු කාලයේදී සිදු වුනු ස්වභාවික වරණයට වඩා වෙනස්. ඒ කාලයේදීත් ස්වභාවික වරණය සිදු වුනා. නමුත් ස්වභාවික වරණයේදී ඉතිරි වුනේ විලෝපිකයින්ගෙන් බේරී, තමන්ගේ කෑම හොයාගෙන ජීවත් වෙන්න පුළුවන් සත්තු. ගෘහස්ථ වාතාවරණයේදී මේ දේවල් ඒ තරම් වැදගත් නැහැ. විලෝපිකයින්ගෙන් බේරා ගන්න එක කරන්න අයිතිකාරයෙක් ඉන්නවා. පස්සේ පස්සේ කෑම දෙන එක, ලෙඩ රෝග වලක්වන එක වගේ දේවල් කරන්නෙත් අයිතිකාරයා. ඒ නිසා, ස්වභාවික වරණයේදී වුනත් වැදගත්ම සාධකය වෙන්නේ පලදාව. මේක ගෘහස්ථ සත්ත්ව පාලනයට වගේම ගෘහස්ථ කෘෂිකර්මයටත් අදාළයි. 

පලදාව වැඩි වෙනවා කියන්නේ ඒකක පිරිවැය අඩු වෙනවා කියන එක. නමුත් මේ විදිහට පලදාව වැඩි කර ගැනීම සඳහා ගන්න ක්‍රියාමාර්ග එක්ක ප්‍රාග්ධන යෙදවුම් අවශ්‍යතාවත් එන්න එන්නම වැඩි වෙනවා. ස්ථිර පිරිවැය ඉහළ යනවා.  ස්ථිර පිරිවැය ඉහළ යද්දී ඒකක පිරිවැය අඩු වෙන්නනම් පරිමාව අනුරූපව ඉහළ යා යුතුයි.

ප්‍රාථමික මට්ටමේ ගෘහස්ථ කෘෂිකර්මයේදී පාරිභෝගිකයා හා නිෂ්පාදකයා එක්කෙනෙක්. වෙළඳපොළක් නැහැ. ඒ නිසාම නිෂ්පාදකයින් අතර තරඟයකුත් නැහැ. ගෘහස්ථ කෘෂිකර්මයේ ද්වීතියික අවදියේදී, ඒ කියන්නේ බිත්තර නිෂ්පාදනයේ තුන්වන යුගයේදී, මේ තත්ත්වය වෙනස් වෙනවා. මේක වෙන්නේ වැඩි වැඩියෙන් මිනිස්සු කෘෂිකර්මයෙන් ඈත් වීමට සමාන්තරව.

මිනිස්සු කෘෂිකර්මයෙන් ඈත් වෙන්නේ තමන්ගේ ශ්‍රමය වඩා ඵලදායී ලෙස යෙදවිය හැකි තැන් වලට. එහිදී කෘෂිකාර්මික නොවන නිෂ්පාදන වැඩි වැඩියෙන් බිහි වෙන්න පටන් ගන්නවා. මේවා හැදෙන්නේම වෙළඳපොළ ඉලක්ක කරගෙන. පාරිභෝගිකයින් අතර ලොකුම කණ්ඩායම තව දුරටත් කෘෂිකර්මයේ රැඳී ඉන්න අය. ඒ අයට මේ අලුත් නිෂ්පාදන පරිභෝජනය කරන්න ඉඩ ලැබෙන්නේ තමන්ගේ කෘෂිකාර්මික නිෂ්පාදන සමඟ හුවමාරු කර ගැනීම මගින්. මේ එක්ක බිත්තර වගේ දේවල් වලට කලින් නොතිබුණු හුවමාරු වටිනාකමක් ලැබෙනවා.

බිත්තර නිෂ්පාදනයේ පළමු හා දෙවන යුග වලදී නිෂ්පාදකයින්ට බිත්තර නිෂ්පාදනය කරන්න අවශ්‍ය වුනේ තමන්ගේ පරිභෝජනය සඳහා අවශ්‍ය ප්‍රමාණය දක්වා පමණයි. ඒ වැඩේට කිකිළියෝ හතර පස් දෙනෙක් හිටියහම ඇති. වැඩිපුර බිත්තර තිබුණා කියලා කරන්න දෙයක් නැහැ. ඒවායේ ආන්තික වටිනාකමක් නැති තරම්. 

දැන් තත්ත්වය වෙනස්. බිත්තර වලට හුවමාරු වටිනාකමක් තිබෙනවා. වැඩියෙන් බිත්තර නිපදවිය හැකි තරමට වෙන වෙන දේවල් වැඩියෙන් පරිභෝජනය කරන්න පුළුවන්. අනෙක් පැත්තෙන් කෘෂිකර්මයෙන් ඈත් වෙන අයට තව දුරටත් බිත්තර අවශ්‍යයි. ඒ බිත්තර අවශ්‍යතාවය සපුරන්න වෙන්නෙත් කෘෂිකර්මය තුළ තව දුරටත් රැඳී ඉන්න අයට. 

මේ තත්ත්වය තුළ ගෘහස්ථ කුකුළු කූඩු හැදෙනවා. මේවා පෙර අදියරේදී තිබුණු විදිහේ කුකුළු කූඩු නෙමෙයි. ඒ අදියරේදී කුකුළු කූඩුවකින් බොහෝ විට කෙරුණේ දවල් දවසේ වත්තේ ඇහිඳගෙන කන කිකිළියන්ට (හා කුකුළන්ට) රාත්‍රී කාලයේ ආරක්ෂාව සපයන එක පමණයි. දැන් එහෙම නෙමෙයි. කූඩුව කියන්නේ තනිකරම කිකිළියන්ගේ ජීවිතය.

කිකිළියෝ හතර පස් දෙනෙකුට වත්තේ ඇහිඳගෙන කන්න පුළුවන් වුනත් කිකිළියෝ සීයකට විතර ඒ විදිහට වත්තේ ඇහිඳගෙන කන්න බැහැ. උන්ට කෑම දමන්න වෙනවා. මේ වැඩෙන් බිත්තර නිෂ්පාදනයේ ආන්තික පිරිවැය ඉහළ යනවා. නමුත්, බිත්තර වල ආන්තික වටිනාකම වැඩි වෙලා නිසා ඒක ප්‍රශ්නයක් නෙමෙයි. බිත්තර වල ආන්තික වටිනාකම වැඩි වෙලා තියෙන්නේ බිත්තර වල සිදු වී තිබෙන ගුණාත්මක භාවයේ වෙනසක් හෝ වෙනත් භෞතික වෙනසක් නිසා නෙමෙයි. කෘෂිකර්මයෙන් ඈත් වූ අයගේ ශ්‍රමයේ වටිනාකම ඉහළ ගිහින්, ඔවුන්ගේ මිල දී ගැනීමේ හැකියාව ඉහළ ගොස් ඇති නිසා. ඒ අයට තව දුරටත් වත්තේ කිකිළියෝ හදන්න අවශ්‍ය නැහැ. බිත්තර වෙනුවෙන් වියදම් කළ හැකි සල්ලි තිබෙනවා. වෙනත් විදිහකින් කිවුවොත් බිත්තර වලට සාපේක්ෂව සල්ලි වල වටිනාකම අඩු වෙලා. බිත්තර ගනිද්දී ගෙවන්න වෙන සල්ලි නිසා අහිමි වන සතුට අඩු වෙලා. 

බිත්තර නිෂ්පාදනයේ පළමු යුගයේ සිට දෙවන යුගයට එද්දී, ඒ කියන්නේ කැලෙන් බිත්තර එකතු කර ගැනීමේ සිට වත්තෙන් බිත්තර එකතු කර ගැනීම දක්වා එද්දී, බිත්තර වල ගුණාත්මක භාවය පොඩ්ඩක් වැඩි වෙලා පිරිවැය විශාල ලෙස අඩු වෙනවා. වෙනස වෙන්නේ සැපයුම පැත්තෙන්. නමුත්, තෙවන යුගයට එද්දී වෙන්නේ ගුණාත්මක භාවයේ ලොකු වෙනසක් සිදු නොවී, පිරිවැය ඉහළ යන එක. එහෙම වෙද්දීත් මේ යුග පරිවර්තනය වෙන්නේ තනිකරම වාගේ ඉල්ලුම වෙනස් වීම මත පදනම්වයි. පිරිවැය ඉහළ යාමට විචල්‍ය පිරිවැය ඉහළ යාම මෙන්ම ස්ථිර පිරිවැය ඉහළ යාමද බලපානවා. 

බිත්තර නිෂ්පාදනය හා අදාළව ලංකාව තවමත් බොහෝ දුරට ඉන්නේ මේ තෙවන යුගයේ. බොහෝ කුකුළු ගොවිපොළවල් තවදුරටත් ගෘහස්ථයි. කිකිළියෝ ගණන වැඩි වෙලා. එහෙත්, බොහෝ විට එම ප්‍රමාණය දහසකට අඩුයි. පසුගිය (2022) වසරේදී ලංකාවේ සිටි බිත්තර නිෂ්පාදකයින් 29,240 දෙනෙකු අතරින් කිකිළියන් දහසකට වඩා වැඩි ප්‍රමාණයක් අයිතිව තිබුණේ නිෂ්පාදකයින් 1,179 දෙනෙකුට පමණයි. ගොවිපොළක සිටින කිකිළියන් ප්‍රමාණයේ සාමාන්‍ය අගය 232ක් පමණයි. ඒ කියන්නේ එයින් එක් කිකිළියකගේ සිදුවන වෙනසක් වුනත් පෞද්ගලිකව නිරීක්ෂණය වන, පවුලේ අයගේ ශ්‍රමයෙන් පහසුවෙන් ගොවිපොළ නඩත්තු කළ හැකි මට්ටමක්. 

මේ ආකෘතිය තුළ බිත්තර නිෂ්පාදකයෙකු විසින් කරන්නේ සුළු අගය එකතු කිරීමක් පමණයි. කුකුළු පැටවුන් මිල දී ගැනීම සහ දිගින් දිගටම කෑම දීම විචල්‍ය පිරිවැයක්. බිත්තර ලබා ගැනීම සඳහා අවශ්‍ය පෝෂණය සහිත කුකුළු කෑම ලබා දිය යුතුයි. බිත්තර පලදාව අඩු වෙද්දී කිකිළියන් මසට විකිණිය හැකියි. කෙසේ වුවත්, පරිමාව විශාල නොවන නිසා විශාල ලාබයක් ලැබිය නොහැකියි. ලාබයක් සේ පෙනෙන දෙය බොහෝ විට ආර්ථික ලාබයක් නෙමෙයි. මේ වෙනුවෙන් යොදවන පවුලේ අයගේ ශ්‍රමය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභයයි. එම ශ්‍රමය වෙනුවෙන් වැඩි වටිනාකමක් ලබා ගත හැකි විකල්ප අවස්ථා අඩු නිසා මේ ආකෘතිය වැඩ කරනවා. 

ලෝකයේ බිත්තර කර්මාන්තය මේ අදියර පසු කර සිවුවන අදියර දක්වා ගොස් දැන් බොහෝ කලක්. ඇමරිකාව වැනි රටක බිත්තර නිෂ්පාදනය කෘෂිකාර්මික නිෂ්පාදනයකට වඩා බොහෝ දුරට කිට්ටු මහා පරිමාණ ස්වයංක්‍රීය කාර්මික නිෂ්පාදනයකටයි. ලංකාවේ කුකුළු ගොවිපොළ 29,240ක සිටින මුළු කිකිළියන් ප්‍රමාණය මිලියන 6.78ක් පමණයි. ඇමරිකාවේ එක් නිෂ්පාදකයෙකු සතුව පමණක් කිකිළියන් මිලියන 46.78ක් සිටිනවා. නිෂ්පාදකයින් 8 දෙනෙක් සතුව කිකිළියන් මිලියන 10කට වඩා වැඩියෙන් සිටින අතර, නිෂ්පාදකයින් 55 දෙනෙකු සතුව කිකිළියන් මිලියනය ඉක්මවා සිටිනවා. කිකිළියන් ලක්ෂ පහකට වඩා සිටින නිෂ්පාදකයින් ප්‍රමාණය 67ක්. 

මෙවැනි මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයින් සිටින්නේ ඇමරිකාවේ පමණක් නෙමෙයි. මෙක්සිකෝවේ, බ්‍රසීලයේ, යුක්‍රේනයේ, ජපානයේ මෙන්ම සිරියාවේ හා තායිලන්තයේ පවා බිත්තර දමන කිකිළියන් මිලියන 10කට වඩා සිටින නිෂ්පාදකයින් සිටිනවා. මේ මට්ටමෙන් බිත්තර නිෂ්පාදනය සිදු වෙද්දී, ශ්‍රමය ඒ තරම් වැදගත් නැහැ. වඩා වැදගත් වන්නේ ප්‍රාග්ධනයයි. කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදකයෙකුට ඉහත ආකාරයේ මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයෙකු හා තරඟ කිරීම අසීරුයි. මේ තත්ත්වය හමුවේ ඉන්දියාව පසුගිය කාලය පුරා ඉහත මා විස්තර කළ තෙවන අදියරේ සිට සිවුවන අදියර දක්වා වේගයෙන් පරිවර්තනය වෙමින් සිටිනවා. 

මතු සම්බන්ධයි. 

4 comments:

  1. මොනවාද ඉකොනෝ මේ ලියලා තියෙන විකාර? මොළේ අමාරුකාරයොන්ට හොදයි.

    ReplyDelete
  2. මේක ලියපු ගොන් තඩියා දන්නේ නැද්ද ලංකාවට වඩා ඇමරිකාවේ වෙළදපොල සෑහෙන්න විශාල බව. ඉතිං ඒ දෙක සංසන්දනය කරන එකම මෝඩ කමක්.

    කුකුල් බිත්තර නෙමේ කුකුල් බෙටි කන එකෙක්ද කොහෙද

    ReplyDelete
  3. පවුද්ගලික අංශයේ තරගකාරිත්වය තුලින් මිල ඉබේම අඩු වෙනවා ?. මේක හැමවෙලේම සත්‍ය නැහැ
    මුන් සංගම් අටවගන්නවා. ඔක්කොම එකතුවෙලා මිල වැඩි කරනවා. මිල අඩුවෙන් දෙන මෝඩ නිෂ්පාදකය කවුද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.