කලින් සටහනෙන් උත්සාහ කළේ ඊට පෙර සටහනට ප්‍රතිචාර ලෙස දමා තිබුණු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු සපයන්න. එහිදී කළ පැහැදිලි කිරීම් ආර්ථික විද්‍යා මූලධර්ම මත පදනම් වූ වියුක්ත පැහැදිලි කිරීම්. මම හිතන්නේ අසනු ලැබූ පහත ප්‍රශ්න වලට පිළිතුරු එම සටහනෙහි තිබෙනවා කියලා.
- ඉන්දියානු තෙල් සමාගම තෙල් සංස්ථාවට වඩා අඩුවෙන් තෙල් විකුණන්නේ නැත්තේ ඇයි?
- ඉන්දියානු තෙල් සමාගම හා තෙල් සංස්ථාව අතර තරඟයක් නැද්ද?
- පවතින තත්ත්වය වෙනස් විය හැක්කේ කවර තත්ත්වයන් යටතේද?
සටහනේ ප්‍රධාන වශයෙන්ම පැහැදිලි කළේ ඒකාධිකාරයක් යටතේ හා ද්වි-අධිකාරයක් යටතේ සාමාන්‍යයෙන් සිදු විය යුතු හා සිදු වන දේවල්. ඉන්දියානු තෙල් සමාගම හා තෙල් සංස්ථාව කියා නොකියා A සමාගම හා B සමාගම ලෙස සඳහන් කළේ මෙම වියුක්ත තත්ත්වයන් ඕනෑම කර්මාන්තයක ඕනෑම සමාගම් දෙකකට අදාළ සාධාරණ තත්ත්වයන් නිසා. A සමාගම හා B සමාගම වෙනුවට වරින් වර ඉන්දියානු තෙල් සමාගම හා තෙල් සංස්ථාව ආදේශ කර තිබෙන්නේ විස්තර කර ඇති සාධාරණ තත්ත්වයන් ඉන්දියානු තෙල් සමාගම හා තෙල් සංස්ථාව සම්බන්ධ සංයුක්ත නිරීක්ෂණ සමඟ ගැලපෙන ආකාරය පෙන්වන්න.
කියපු දේ තේරුම් ගත් බව පෙනෙන අය වගේම තේරුම් නොගත් අයත් ඉන්න බව පේනවා. ගොඩක් අයට වියුක්ත පැහැදිලි කිරීම් තේරුම් ගන්න බැහැ. සංයුක්ත තත්ත්වයන්ගෙන් ඔබ්බට හිතන්න බැරි අයගේ ජනප්‍රිය විවේචනය මහ පොළොවේ තත්ත්වය වෙනස් කියන එක. මහ පොළොවේ තත්ත්වයෙන් එහාට හිතන්න බැරි අයෙකුට අනාගතය සම්බන්ධව නිවැරදි සැලසුමක් හදාගන්න බැහැ. මොකද ඕනෑම කෙනෙකුට නිරීක්ෂණය කළ හැක්කේ වෙලා තිබෙන දේවල් පමණයි. අනාගතයේදී කලින් සිදු වූ දේවල් අනිවාර්යයෙන්ම නැවත ඒ ආකාරයෙන්ම වෙන්නේ නැහැ. අනාගතය තේරුම් ගැනීම සඳහා, මහ පොළොවේ තත්ත්වයන් මත පදනම්ව වුවත්, එයින් ඔබ්බට වියුක්තව හිතන්න වෙනවා.
ඊයේ සටහන පළ කිරීමෙන් පසුව ඉන්ධන වෙළඳපොළ ප්‍රතිනියාමනය කිරීමේ ආරම්භක පියවර සම්බන්ධව නිශ්චිත තොරතුරු දැන ගන්නට ලැබුණා. සමහර විට මගේ ඇස නොගැටුනත්, ලිපිය පළ කරන විට මෙම තොරතුරු ප්‍රසිද්ධ වී තිබුණා වෙන්න පුළුවන්. අදාළ තොරතුරු අනුව, තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් යම් ප්‍රමාණයක් චීන, ඇමරිකන් හා ඕස්ට්‍රේලියානු සමාගම් තුනකට විකිණීමට නියමිතයි.
තෙල් සංස්ථාවේ 2020 වාර්ෂික වාර්තාව අනුව තෙල් සංස්ථාව සතුව ඉන්ධන පිරවුම්හල් 1322ක් තිබෙනවා. ඉන්දියානු ඔයිල් සමාගමේ 2021/22 වාර්ෂික වාර්තාව අනුව එම සමාගම සතු පිරවුම්හල් ප්‍රමාණය 213ක් තිබෙනවා. මේ මෙම ගණන් මේ වන විට වෙනස් වී තියෙන්න පුළුවන්.
ඉහත ගණන් අනුව, පිරවුම්හල් 1535කින් ඉන්දියානු ඔයිල් සමාගම සතු ප්‍රමාණය 14%ක් පමණයි. මෙය එම සමාගමේ වෙළඳපොළ පංගුව පිළිබඳ ආසන්න දර්ශකයක් (proxy measure) සේ සලකන්න පුළුවන්. වාර්ෂික වාර්තාව අනුව ඇත්තම වෙළඳපොළ පංගුව 12%ක් පමණයි. ඉතිරි 88% තිබෙන්නේ තෙල් සංස්ථාව සතුවයි.
ඉහත තත්ත්වය ද්වී-අධිකාරයක් (duopoly) වුවත්, වඩා සමාන වන්නේ ඒකාධිකාරයකටයි. එවැනි තත්ත්වයක් තුළ ආයතන දෙක තරඟ තරඟ කළේ වුවද ඉන්දියානු ඔයිල් සමාගම විසින් තෙල් සංස්ථාවේ මිලටම තෙල් විකිණීම අපේක්ෂා කළ හැකි තත්ත්වයයි. අදාළ සිද්ධාන්ත පෙර ලිපියේ පැහැදිලි කර තිබෙනවා.
ඊට අමතරව මේ තරඟකරුවන් දෙදෙනා අතර සමාන තරඟයක් නැහැ. එක් තරඟකරුවෙකු තරඟ තීරකයාද වෙනවා. එම තරඟකරු විසින් අනෙක් තරඟකරුට අත්පත් කරගත හැකි උපරිම වෙළඳපොළ පංගුවද තීරණය කරනවා. මෙය සමාජවාදී ක්‍රමයක් මිස, කිසිසේත්ම, වෙළඳපොළ ක්‍රමයක් නෙමෙයි. තෙල් සංස්ථාවේ ඒකාධිකාරයට ඉන්දියානු ඔයිල් සමාගම විසින් සුළු තරඟයක් දුන් පමණින් එය ධනවාදයක් හෝ නිදහස් වෙළඳපොළක් වෙන්නේ නැහැ.
දැන් මෙම තත්ත්වය වෙනස් වෙන්නේ කොහොමද? පිරවුම්හල් විකිණීම් වලින් පසුව මුලින්ම ඇති වන්නේ මෙවැනි තත්ත්වයක්.
තෙල් සංස්ථාව - පිරවුම්හල් 872යි (56.8%යි)
ඉන්දියානු සමාගම - පිරවුම්හල් 213යි (13.9%යි)
චීන සමාගම - පිරවුම්හල් 150යි (9.7%යි)
ඇමරිකන් සමාගම - පිරවුම්හල් 150යි (9.7%යි)
ඕස්ට්‍රේලියානු සමාගම - පිරවුම්හල් 150යි (9.7%යි)
ඉන් අනතුරුව, එක් එක් විදේශ සමාගම විසින් තවත් පිරවුම්හල් 50 බැගින් හදනවා. එවිට තත්ත්වය මෙවැන්නක්.
තෙල් සංස්ථාව - පිරවුම්හල් 872යි (50.3%යි)
ඉන්දියානු සමාගම - පිරවුම්හල් 263යි (15.2%යි)
චීන සමාගම - පිරවුම්හල් 200යි (11.5%යි)
ඇමරිකන් සමාගම - පිරවුම්හල් 200යි (11.5%යි)
ඕස්ට්‍රේලියානු සමාගම - පිරවුම්හල් 200යි (11.5%යි)
මේ සියල්ල සිදුවීමෙන් පසුව හැදෙන්නේ මොන වගේ වෙළඳපොළක්ද?
කිසිසේත්ම පූර්ණ තරඟකාරී වෙළඳපොළක් නෙමෙයි. ඒක කාට වුනත් පැහැදිලි දෙයක්. අඩුම වශයෙන් කතිපයාධිකරී තරඟයක් හෝ මෙහි ඇති වන්නේ නැහැ. ඒ, මෙම අවසන් තත්ත්වය තුළද වෙළඳපොළ පංගුව තීරණය වන්නේ තරඟය මත නොව ශ්‍රී ලංකා රජයේ කැමැත්ත අනුව නිසයි. වෙළඳපොළ පංගුව රජය විසින් තීරණය කරද්දී මිල ස්වායත්තව තීරණය වන්නේ නැහැ.
මෙහිදී සිදුවන්නේද රජයේ මධ්‍යගත සැලසුමක් තුළ වෙළඳපොළ සැලසුම් කිරීමක් පමණයි. විදේශ සමාගම් වලට යම් අවස්ථාවක් ලැබීම එම සැලසුමේ කොටසක් ලෙසම සිදු වන දෙයක් පමණයි. මෙය තව දුරටත් සමාජවාදී මධ්‍යගත ක්‍රමයයි.
දැන් මේ දෙවන පියවරට යාමෙන් පසුව පාරිභෝගිකයින්ට අඩුවට තෙල් ලැබෙයිද?
එවැනි සහතිකයක් නැහැ. එය වක්‍රව හෝ තීරණය කරන්නේ ශ්‍රී ලංකා රජයයි. තරඟකරුවන් අතර තරඟයක් ඇති වී මිල පහත වැටෙන්නටනම් කරුණු කිහිපයක්ම සම්පූර්ණ විය යුතුයි.
- තරඟකරුවන්ට ව්‍යාප්ත වී නිදහසේ වෙළඳපොළ පංගුව වැඩි කර ගැනීමට ඉඩ ලැබිය යුතුයි.
- තෙල් සංස්ථාවද අනෙක් තරඟ කරුවන් මෙන්ම ආර්ථික ලාබ උපයන ආයතනයක් විය යුතුයි.
ඉහත කොන්දේසි දෙක අවම කොන්දේසි දෙකක්. දැනෙන මිල අඩුවීමක් සිදු වනු ඇත්තේ වෙනත් තරඟකරුවන්ටද නිදහසේ වෙළඳපොළට පිවිසීමට ඉඩක් ලැබෙන්නේනම් පමණයි.
එහෙමනම්, මේ කරපු වැඩෙන් කිසිම වැඩක් නැද්ද?
අනිවාර්යයෙන්ම වැඩක් තිබෙනවා. මෙයද සමාජවාදී ක්‍රමයම වුවත් මෙහිදී සිදුවන්නේ සෝවියට් සමාජවාදී ක්‍රමයේ සිට චීන සමාජවාදී ක්‍රමය වෙත විතැන් වීමක්. සෝවියට් සමාජවාදී ක්‍රමයට සාපේක්ෂව චීන සමාජවාදී ක්‍රමය වඩා කාර්යක්ෂමයි. එහි වෙළඳපොලට යම් ඉඩක් තිබෙනවා. හැබැයි මේ සියල්ල සිදු වීමෙන් පසුවද ලංකාවේ ඉන්ධන වෙළඳපොළ චීනය සිටින තැනටවත් එන්නේ නැහැ.
මෙහි රජයට යම් මුදලක් හොයා ගන්නට ලැබීමේ ක්ෂණික වාසිය තිබෙනවා. එහෙත් මා වැඩි අවධානයක් යොදන්නේ දිගුකාලීන ප්‍රතිඵල කෙරෙහියි. මධ්‍යගත සමාජවාදී ක්‍රමයක සිටින රටකට ක්ෂණිකව වෙළඳපොළ විවෘත කරන්න බැහැ. එය ක්‍රමක්‍රමයෙන් යම් කාලයක් අරගෙන කළ යුතු දෙයක්. දැනට වෙන්නේ පොඩි වෙනසක් පමණක් වුවත් මෙය අවශ්‍ය දිසාවට තැබූ නිවැරදි පියවරක්.
මෙයින් ලැබෙන පළමු වාසිය තෙල් සංස්ථාව මුහුණ දෙන ව්‍යාපාරික අවදානමකදී රටේ ඉන්ධන සැපයුම සුරක්ෂිතව පැවතීමයි. දෙවන වාසිය තෙල් සංස්ථාවේ සේවකයින්ට රටේ පාරිභෝගිකයින් හා රජය ප්‍රාණ ඇපයට ගැනීමේ අවස්ථාව අහිමි වීම තුළ එම ආයතනය වඩා කාර්යක්ෂම කිරීම සඳහා දොරටුවක් විවර වීමයි.
පවතින තත්ත්වය තුළ, අද හෙටම නොවුනත්, යම් හෝ තරඟයක් ඇති වී මිල අඩු වීමට කිසිම ඉඩක් නැද්ද?
මෙය අනිවාර්යයෙන් සිදු වීමටනම් වෙළඳපොළ පංගු මීට වඩා සමාන ලෙස බෙදී යා යුතුයි. ඒ සඳහා, අවශ්‍ය කොන්දේසි පෙර ලිපියෙහි තිබෙනවා.
තෙල් සංස්ථාව මින් ඉදිරියටද මිල සූත්‍ර ක්‍රමය අනුගමනය කරනු ඇතැයි සිතමු. එහිදී පාඩු නැති කර ගැනීමක් මිස ලාබ වැඩි කරගැනීම ඉලක්ක කිරීමක් සිදු වන්නේ නැහැ. නමුත් ඉතිරි තරඟකරුවන් හතර දෙනාට යම් ලාබයක් අවශ්‍යයි. ඔවුන්ට ලාබ ලෙස ලබා ගන්න වෙන්නේ තෙල් සංස්ථාවට වඩා කාර්යක්ෂම වී පිරිවැය අඩු කර ගැනීමේ වාසියයි. එම වාසියෙන් කතිපයාධිකාරී වෙළඳපොළක සාමාන්‍ය ලාබ ඉක්මවන සුපිරි ලාබ ලැබෙන්නේනම් මිස මිල තරඟයක් (price competition) ඇති වන්නේ නැහැ. මිල තවදුරටත් තීරණය වන්නේ තෙල් සංස්ථාවේ මිල අනුවයි.
එහෙත් තෙල් සංස්ථාව හා අනෙකුත් සමාගම් අතර පිරිවැය වෙනස (කාර්යක්ෂමතා වෙනස) ගොඩක් වැඩිනම් අනෙකුත් සමාගම් වලට කතිපයාධිකාරී වෙළඳපොලක සාමාන්‍ය ලාබ ඉක්මවන සුපිරි ලාබ ලැබෙන නිසා මිල තරඟයක් ඇති වී මිල අඩුවීමක් සිදු වෙනවා. මේ හේතුව නිසාම තෙල් සංස්ථාවට යම් පමණකින් හෝ කාර්යක්ෂම වීමට සිදු වෙනවා.
'තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් යම් ප්‍රමාණයක් චීන, ඇමරිකන් හා ඕස්ට්‍රේලියානු සමාගම් තුනකට විකිණීමට නියමිතයි. '
ReplyDeleteමට දැනගන්න ඇති ආකාරයට මේ ගිවිසුම් අත්සන් කර අවසන්. දැන් වෘත්තීය සමිති විරෝධතා දක්වන්නේ ත්‍රස්ත විරෝධී පනත සම්මත කරගැනීමට මතයක් හැදීම සදහා.
ඉකොනෝ,
අලුත් මහ බැංකු පණත ලබා ගන්න තැනක් දන්නවද?
මතක විදිහට මම ගත්තේ පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන්.
DeleteDear Econo, from where did you get the red queen logo or did you design? It is same as our CEPETCo Logo but naked Man
ReplyDeleteඅතපය ගැට ගසා වතුරට ඇද දාලා
ReplyDeleteදැන් පීනපං කියලා- හරිබරි ගැහිලා
බලං ඉන්න තකතිරු ගොන් වාහේලා
ඉන්න රටක් තියෙදැයි බලමුද හොයලා
ඉකොනො ඔය ඔබ සමාගම් වලට ඉන්ධන හල් වල හිමිකම් කියන ප්‍රතිශත සියල්ල එනම් සිපෙට්කො 50.3% අයි ඕ සී 15.2 % චීන ඇමරිකානු සහ ඕස්ට්‍රේලියානු සමාගම්වලට 11.5% බැගින් බෙදා දුන්නත් මම හිතන්නේ ඔවුන්ගේ අලුත් ඉන්ධනහල් පණහේ ලොකේෂන් එක කැපෑසිටි එක, මාකටින් කැම්පේන් මිල ගණන් අඩුවීම සහ ඉන්ධන වල කොලිටි එක අනුව බොහෝ දුරට හොඳ තරඟයක් ඇතිවෙන්න පුළුවන් කියලා මට හිතෙනවා, ඒ ගැන ඔබේ අදහස කුමක්ද?
ReplyDeleteතව දෙයක් මේ පුංචි වීඩියෝ ක්ලිප් එකේ ඇමති කාංචන විජේසේකර පවසන්නේ විදුලි බිල මණ්ඩලය තෙල් සංස්ථාව වැනි ආයතන වල පෆෝමන්ස් evaluation වලින් පමණක් ඉදිරියට බෝනස් ගෙවන බවත් වැඩ නොකරන නම් සංස්ථාවේඉන්න වෘත්තීය සමිති නායකයන් සේවයෙන් ඉවත් කර නීති මගින් ඔවුන්ගේ අයිතීන් පාලනය කරන බවයි මේ බලන්න
https://fb.watch/jB6tTIeQEQ/
මේ හරහා රජයේ ආයතන පෞද්ගලීකරණය කිරීමෙන් ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ පාලනය විදේශිකයෝ අතට පත් කිරීමට රනිල් කටයුතු කළ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහ ජවිපෙ ජාතික බලවේගයේ මතයයි.
මේ බලන්න මේ ක්ලිප් එකේ පුබුදු කෙටියෙන් කියනවා එහි ඇති භයානක තත්වයන්
මේ පැත්තත් ඔය වගේම සැලකියයුතු නේද?