Monday, March 20, 2023

ඩොලර් බිලියන තුනක IMF ණය අනුමත වේ!


කාලයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි ඩොලර් බිලියන 3කට ආසන්න ණය මුදල මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කර තිබෙනවා. එහි පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 333ක මුදලක් ලැබෙන්නට නියමිතයි. කියා නැතත්, වසර හතරක් තුළ වාරික නවයකින් අදාළ ණය මුදල ලැබෙන බවකුයි පෙනෙන්න තියෙන්නේ. මේ සමඟම ඉදිරි වසර හතරක කාලය සඳහා මීට පෙර ප්‍රසිද්ධ නොකළ අදාළ සාර්ව ආර්ථික වැඩ පිළිවෙළෙහි ඉලක්ක හා පුරෝකථන ගණනාවක්ද ප්‍රසිද්ධ කර තිබෙනවා.

ආර්ථික වර්ධනය 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු අනුව මේ වසර තුළ ආර්ථිකය තවත් 3%කින් හැකිළීමට නියමිත අතර ඉන් පසු ඉතා සෙමෙන් වර්ධනය වීමට පටන් ගන්නවා. කෙසේ වුවද 2026 වන විටද ආර්ථිකය පවතිනු ඇත්තේ 2018 පැවති මට්ටමට වඩා 5%ක් පහළින්. 

උද්ධමනය 

මෙම වසර අවසාන වෙද්දී උද්ධමනය 15.2% මට්ටමේ පවතිනු ඇති බව අරමුදලේ පුරෝකථනයයි. ඉන් පසුව, 2026 දක්වා වන ඉදිරි වසර තුන තුළ එය ක්‍රමයෙන් 5.2% මට්ටම දක්වා අඩු වෙනවා. අරමුදල විසින් 15.5%-16.5% මට්ටම දක්වා පොලී අනුපාතික ඉහළ දැමිය යුතු බව කියන්න ඇත්තේ ඔවුන්ගේ මෙම 15.2% උද්ධමන ඇස්තමේන්තුව මත පදනම්වයි. මෙම වසර තුළ සාමාන්‍ය උද්ධමනය 28.5% ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා.

සංචිත මුදල් 

මෙම වසර තුළ 23.5%ක සැලකිය යුතු සංචිත මුදල් වැඩි වීමකට ඉඩ සලසා තිබෙනවා. ඒ අනුව, මුදල් සැපයුමද වසර තුළදී 22.6%කින් ඉහළ යනවා. 2026 දක්වා ඉදිරි වසර වලදී මුදල් සැපයුමේ වර්ධනය පාලනය කෙරෙනවා. 23.5%ක සංචිත මුදල් වැඩිවීමක් යනු රුපියල් බිලියන 317ක සල්ලි අච්චු ගැසීමක්. මේ වන විටද එම ප්‍රමාණය ඉක්මවා සංචිත මුදල් වැඩි වී ඇති බැවින් ඉදිරි කාලය තුළ සංචිත මුදල් තව දුරටත් වැඩි කිරීමට ඉඩක් නැහැ. වසර අවසාන උද්ධමනය 15.2% ලෙස ඇස්තමේන්තු කරන්නට ඇත්තේ මුදල් සැපයුමෙහි මෙම ඉහළ යාම මත පදනම්වයි.

ආනයන වියදම් 

මෙම වසරේ ආනයන වියදම ඩොලර් බිලියන 20.6ක් පමණ වනු ඇති අතර 2026 වන විට එම වියදම ඩොලර් බිලියන 23.8 දක්වා  ක්‍රමයෙන් ඉහළ යනවා. 

අපනයන ආදායම් 

අපනයන ආදායම් මෙම වසරේදී ඩොලර් බිලියන 13.7 දක්වාත්, 2026 වන විට ඩොලර් බිලියන 16.1 දක්වාත් ඉහළ දමාගත යුතුයි. මෙය මගේ අදහස අනුව ඉතා අභියෝගාත්මක කටයුත්තක්. මේ අභියෝගය ජයගත යුතුව තිබෙන්නේ බලයේ සිටින කවර හෝ ආණ්ඩු විසිනුයි.

ජංගම ගිණුම් ශේෂය 

මෙය දිගටම ඩොලර් බිලියන 1.1 කට ආසන්න මට්ටමක පවත්වා ගත යුතු වෙනවා.

පොලී ගෙවීම් හැර ජංගම ගිණුම් ශේෂය (දදේනි % ලෙස)

මෙය ධන පැත්තේ තබා ගත යුතුයි. ඒ කියන්නේ ආනයන ආදිය සඳහා වැය කළ හැක්කේ උපයන ඩොලර් පමණයි. විදේශ ණය යෙදවිය හැක්කේ පරණ ණය වාරික හා පොලී ගෙවීමට පමණයි.

2023- 0.2%

2024- 0.9%

2025- 1.1%

2026- 0.8%

අපනයන ආදායම් ඉලක්ක ලඟා කරගත නොහැකි වුවහොත් මෙම ඉලක්ක තුළ රැඳී සිටීමේ හැකියාවක් නැහැ.

විදේශ සංචිත 

මෙම වසර අවසානයේදී ඩොලර් බිලියන 4.43 දක්වාත්, 2026 වන විට ක්‍රමයෙන් ඩොලර් බිලියන 10.89 දක්වාත් වර්ධනය කර ගත යුතුයි. මගේ ඇස්තමේන්තුව මේ වන විට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.5-2.6 ආසන්න මට්ටමක ඇති බවයි. අරමුදලේ පළමු වාරික දෙක ඩොලර් මිලියන 666ක් සේ සැලකුවොත්, සැප්තැම්බරයේ බංග්ලාදේශයට ගෙවිය යුතු ඩොලර් මිලියන 200 ගෙවීමෙන් පසුව, ඩොලර් බිලියන 3ක් පමණ දක්වා සංචිත මුදල් ඉහළ යනවා. ඩොලර් බිලියන 4.43 දක්වා සංචිත වැඩි කර ගැනීමටනම් මහ බැංකුවට වසර තුළ ඩොලර් බිලියන 1.4ක් පමණ වෙළඳපොළෙන් මිල දී ගැනීමට සිදු වෙනවා. පොලී ගෙවීම් හැර ජංගම ගිණුම් ශේෂයෙහි ඩොලර් මිලියන 150ක පමණ අතිරික්තයක් තිබිය යුතු නිසා, අවම වශයෙන් වසර තුළ ඩොලර් බිලියන 1.5ක පමණ ශුද්ධ විදේශ ණය ප්‍රමාණයක් ලබා ගත යුතු වෙනවා. ඊට අමතරව වසර තුළ ගෙවිය යුතු විදේශ ණය හා පොලී ගෙවීම සඳහා ඩොලර් බිලියන 3.2ක් පමණ අවශ්‍ය නිසා මේ ඉලක්කයට යාමටනම් ඩොලර් බිලියන 4.7ක පමණ විදේශ ණය අවශ්‍යයි. එම ණය ප්‍රමාණය ලබා ගැනීම සඳහා සැලසුම් රජය සතුව තිබෙනවා විය හැකියි. 

විදේශ ණය 

දැනට ඩොලර් බිලියන 56.2ක් වන විදේශ ණය 2026 වන විට ඩොලර් බිලියන 63.9 දක්වා ඉහළ යනවා. දදේනියෙහි අනුපාතයක් ලෙස 78% ආසන්න මට්ටමක්. 2023 වසර තුළ ඩොලර් බිලියන 2.5ක පමණ විදේශ ණය අඩුවීමක් පෙන්නුම් කරනවා. ඉහත පරිදි ඩොලර් බිලියන 4.7කින් පමණ විදේශ ප්‍රමාණයක් අලුතෙන් ගනිද්දී ඩොලර් බිලියන 2.5ක විදේශ ණය අඩු වීමක් වීමටනම් ඩොලර් බිලියන 7.2ක පමණ විදේශ ණය කප්පාදුවක් සිදු විය යුතුයි. මෙයින් ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ අභිලාශ පිළිබඳව අදහසක් ගන්න පුළුවන්.

රජයේ ආදායම 

පසුගිය වසරේ දදේනියෙන් 8.5%ක් වූ රාජ්‍ය ආදායම 2026 වන විට දදේනියෙන් 15.0% දක්වා වර්ධනය කර ගත යුතුයි. මෙය රුපියල් බිලියන 1,900 මට්ටමේ සිට රුපියල් බිලියන 5,600 මට්ටම දක්වා රජයේ ආදායම් වැඩි කර ගැනීමක්. ඒ ගැන ඊට වඩා කියන්න යන්නේ නැහැ. 

පොලී අනුපාතික හා විණිමය අනුපාතය 

බොහෝ දෙනෙකුට දැනගන්නට අවශ්‍යව ඇත්තේ මේ දෙක ගැන වුවත්, මේ දෙකම තීරණය වන්නේ වෙළඳපොළ මත මිස සැලසුමකට අනුව නොවන නිසා, අපේක්ෂා කළ හැකි පරිදිම, පොලී අනුපාතික හා විණිමය අනුපාතය පිළිබඳව කිසිදු සඳහනක් නැහැ. එසේ වුවත්, අනෙක් ගණන් හිලවු මත අරමුදල විසින් මෙම පරාමිතීන් සම්බන්ධව කර ඇති උපකල්පන ගැන අදහසක් ගත හැකියි.

පොලී අනුපාතික සාමාන්‍යයෙන් උද්ධමනයට වඩා තරමක් ඉහළින් පවත්වා ගත යුතුයි. ඒ අනුව, වසර අවසන් වෙද්දී පොලී අනුපාතික 16-18% වැනි මට්ටමක පවතිනු ඇති බව අරමුදලේ පුරෝකථනය බව පෙනී යනවා. ඒ වගේම වසර අවසාන වන විට ඩොලරයක මිල රුපියල් 380 ආසන්නව පවතිනු ඇතැයි සලකා ඇති බවක්ද පෙනෙනවා. මෙම මිල 2026 වන විට රුපියල් 460 පමණ දක්වා ක්‍රමයෙන් ඉහළ යනු ඇති බවද උපකල්පනය කර ඇති බව පෙනෙනවා.

මේ වැඩ සටහන සාර්ථක වෙයිද?

වැඩ සටහනෙහි මූලික කුළුණු දෙකක් වන රාජ්‍ය ආදායම් ඉලක්ක හා අපනයන ආදායම් ඉලක්ක ඉතාම අභියෝගාත්මක ඉලක්කයි. මෙම ඉලක්ක දෙස මා අසුබවාදී ලෙස නොබලන නමුත් ප්‍රායෝගිකව එම ඉලක්ක ලඟා කරගන්නා ආකාරය මට පැහැදිලි නැහැ. රාජ්‍ය ආදායම් ඉලක්ක වලට ගියේ නැත්නම් ප්‍රාථමික අයවැය ඉලක්ක වලට යන්න බැහැ. අපනයන ආදායම් ඉලක්ක වලට ගියේ නැත්නම් ජංගම ගිණුම් ශේෂ ඉලක්ක වලට යන්න බැහැ. ප්‍රාථමික අයවැය ඉලක්ක වලට සහ ජංගම ගිණුම් ශේෂ ඉලක්ක වලට ගියේ නැත්නම් අරමුදලේ වාරික දිගටම ලැබෙන්නේ නැහැ. ඒ නිසා, ඉදිරි වසර හතර රට පාලනය කරන කවර හෝ රජයකට ලේසි වෙන අවුරුදු හතරක් නෙමෙයි. 

ඉතා ඉක්මනින් ඩොලර් බිලියන පහකට ආසන්න විදේශ ණය ප්‍රමාණයක් ලබා ගැනීම ක්ෂණික අභියෝගයක්. ඇතැම් විට මෙම මුදල ලබා ගැනීම සඳහා දැනටමත් කටයුතු සිදු වෙනවා විය හැකියි.

මීට අමතරව ණය ප්‍රතිව්‍යුහගත කිරීම ක්ෂණික අභියෝගයක් ලෙස තිබෙනවා. ස්වෛරිත්ව බැඳුම්කර සඳහා ගෙවිය යුතු මුදල් ප්‍රමාණයෙන් අඩක් පමණ ලබා ගැනීමට ඔවුන් කැමති විය යුතු බවකුයි මට පෙනෙන්නේ. එසේ නැත්නම් මේ ඉලක්ක වලට යන්න බැහැ. මෙම අභියෝගය, මගේ අදහස අනුව, ඉහත කී අභියෝග දෙක තරම් අමාරු නැහැ. වඩාත්ම අමාරු ඉහත කී රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමේ සහ අපනයන ආදායම් වැඩි කර ගැනීමේ අභියෝගයයි. මේ වන විට ස්වෛරිත්ව බැඳුම්කර හිමියන් විසින් රටේ ආර්ථික වර්ධනය හා බැඳුනු ණය ආපසු ගෙවීමක් ඉල්ලා සිටීමට යන බවක්ද වාර්තා වී තිබෙනවා. ඒ කියන්නේ ආර්ථිකය හැකිළුනොත් අඩුවෙන් හා වර්ධනය වුනොත් වැඩියෙන් ගන්න ක්‍රමයක්.

සාර්ථක ලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වුනත් කවදා හෝ එම ණය ආපසු ගෙවන්න වෙනවා. එවිට නැවතත් රටට සැලකිය යුතු අභියෝගයකට මුහුණ දෙන්න වෙනවා. කෙසේ වුවත්, ඒ ගැන දැන්ම කතා කරන එකේ තේරුමක් නැත්තේ ඊට කලින්ම එන රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමේ සහ අපනයන ආදායම් වැඩි කර ගැනීමේ අභියෝග සුළුපටු නොවන නිසයි. අදාළ ඉලක්ක වලට නොගියොත් නැවත පෙර වසරේ මෙන් විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්නට ණය ආපසු ගෙවන්නට සිදු වන කාලය දක්වා ඉන්න වෙන්නේ නැහැ. මෙම ඉලක්ක වලට යන ආකාරය තවමත් කිසිවෙකු විසින් පැහැදිලි කර නැහැ. රත් වූ හට්ටිය අතට ගන්න වෙන්නේ ඊළඟට බලයට පත් වෙන කවර හෝ ආණ්ඩුවටයි.

අරමුදලේ ණය කියන්නේ ගඟේ ගහගෙන යද්දී අල්ලාගෙන ගොඩ පීනන්නට උදවු වන වැලක් මිසක් ජැක්ගේ මායා බෝංචි වැල වැනි වැලක් නෙමෙයි. ගොඩ පීනීම සහ ඉන් පසු නැවත සැඩ පහරකට අහු නොවන දුරක් ගං ඉවුරේ සිට ඇවිදගෙන යාම රට හමුවේ තිබෙන අභියෝගයයි. 

16 comments:

  1. එළකිරිMarch 20, 2023 at 8:14 PM

    "රත් වූ හට්ටිය අතට ගන්න වෙන්නේ ඊළඟට බලයට පත් වෙන කවර හෝ ආණ්ඩුවටයි"

    මේකට සුදුසුම ජාතික ජන බලවේගය.

    ReplyDelete
    Replies
    1. බලෙන්ම හරි අනුර සහෝදරයාගේ පක්ෂය සහ පුතාණෝගේ කයිවාරු හොර රැල කියන දෙගොල්ලොම සෙට් කරලා හෝ වෙන වෙනමම කාල අන්තර දෙකකට ඔවුන්ට අවශ්‍ය පරිදි නොබියව තීන්දු තීරණ ගැනීමට හැකියාවද සහිතව බලය ලබා දිය යුතුයි. එතකොට එයාලගේ දක්ෂතාවය හා සැබෑ හැකියාවන් අපට ප්‍රායෝගිකව අත් දකින්නට පුළුවන් නමුත් ප්‍රායෝගිකව ප්‍රශ්නය තියෙන්නේ ඔවුන් පාලනය භාර ගැනීමට අකමැති වීමයි. බොරුවට කයිවාරු ගගහ ඉන්නේ ඒත් රනිල් වගේ ඉදිරිපත් වෙලා පාලනය අතට ගන්නේ නෑ නේ ද?

      Delete
  2. සිරිලක නං දිළින්දා
    මුලා වැල් පාගලද මංදා
    ඉන්නේ බැද්දෙ හිංදා
    මඟ හොයා ගනු ඇතිද මතු දා

    ReplyDelete
  3. ප්‍රශ්න ගොඩක් ආවා!
    //කෙසේ වුවද 2026 වන විටද ආර්ථිකය පවතිනු ඇත්තේ 2018 පැවති මට්ටමට වඩා 5%ක් පහළින්//
    ජන ජීවිතයට මේකෙන් මොන වගේ බලපෑමක් තියෙයිද? උදාහරණයක් විදිහට ගත්තොත් ඒක පුද්ගල ඉන්ධන පරිභෝජනය

    //මේ වන විටද එම ප්‍රමාණය ඉක්මවා සංචිත මුදල් වැඩි වී ඇති බැවින් ඉදිරි කාලය තුළ සංචිත මුදල් තව දුරටත් වැඩි කිරීමට ඉඩක් නැහැ//
    ඒ කියන්නේ ණය අනුමත වෙන්නත් කලින්, එක ඉලක්කයක් ළඟා කර ගන්න බැරි වුණා කියන එක නේද? අනිත් ඉලක්ක ගැන ලොකුවට බලාපොරොත්තු තියා ගන්නෙ කොහොමද?

    //ඊට අමතරව වසර තුළ ගෙවිය යුතු විදේශ ණය හා පොලී ගෙවීම සඳහා ඩොලර් බිලියන 3.2ක් පමණ අවශ්‍ය නිසා //
    මේ ප්‍රමාණය ණය ප්රතිව්යුහගත කිරීමක් සිදු වුණත් ගෙවන්න වෙනවද?

    //අපනයන ආදායම් මෙම වසරේදී ඩොලර් බිලියන 13.7 දක්වාත්, 2026 වන විට ඩොලර් බිලියන 16.1 දක්වාත් ඉහළ දමාගත යුතුයි//
    මේකට සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායමත් ඇතුළත් ද?

    //පසුගිය වසරේ දදේනියෙන් 8.5%ක් වූ රාජ්‍ය ආදායම 2026 වන විට දදේනියෙන් 15.0% දක්වා වර්ධනය කර ගත යුතුයි. මෙය රුපියල් බිලියන 1,900 මට්ටමේ සිට රුපියල් බිලියන 5,600 මට්ටම දක්වා රජයේ ආදායම් වැඩි කර ගැනීමක්//
    ඒ කියන්නේ දළ දේශීය නිෂ්පාදනය බිලියන 23000 ඉඳන් බිලියන 40000 දක්වා 2026 වෙනකොට වැඩිවෙනවා කියන එක නේද?
    මේ ඉලක්කයට යනවට වඩා රජයේ වියදම අඩුකරගන්න එක ්‍රායෝගික නැද්ද?

    //ස්වෛරිත්ව බැඳුම්කර සඳහා ගෙවිය යුතු මුදල් ප්‍රමාණයෙන් අඩක් පමණ ලබා ගැනීමට ඔවුන් කැමති විය යුතු බවකුයි මට පෙනෙන්නේ//
    Haircut?

    //ඒ වගේම වසර අවසාන වන විට ඩොලරයක මිල රුපියල් 380 ආසන්නව පවතිනු ඇතැයි සලකා ඇති බවක්ද පෙනෙනවා//
    විකුම්සිහ මැතිඳා ඩොලරය රුපියල් 185 පමණ වනු ඇතැයි පුරෝකථනය කර ඇත. මෙය රාජපක්ෂ-විමල් වීරවංශ-JVP- සජිත් පන්නයේ ගැලරි කතාවක් ද? නැතහොත් මෙම වැඩපිළිවෙළ ගැන එතුමාට ඇති අනවබෝධය නිසා සිදු වූවක් ද? මෙයට ඔබට පිළිතුරක් දීමට නොහැකි බව මම දන්නවා. නමුත් හේතුව දෙවැනි එක නම් අනාගතය අති භයංකාරයි.

    ReplyDelete
    Replies
    1. //
      //පසුගිය වසරේ දදේනියෙන් 8.5%ක් වූ රාජ්‍ය ආදායම 2026 වන විට දදේනියෙන් 15.0% දක්වා වර්ධනය කර ගත යුතුයි. මෙය රුපියල් බිලියන 1,900 මට්ටමේ සිට රුපියල් බිලියන 5,600 මට්ටම දක්වා රජයේ ආදායම් වැඩි කර ගැනීමක්//
      ඒ කියන්නේ දළ දේශීය නිෂ්පාදනය බිලියන 23000 ඉඳන් බිලියන 40000 දක්වා 2026 වෙනකොට වැඩිවෙනවා කියන එක නේද?
      මේ ඉලක්කයට යනවට වඩා රජයේ වියදම අඩුකරගන්න එක ්‍රායෝගික නැද්ද?
      //
      ප්‍රාථමික අයවැය ඉලක්කය සපිරෙනවා නම් රාජ්‍ය ආදායම සඳහා මෙහෙම වෙනම ඉලක්කයක් දෙන එකේ වැදගත්කම කුමක්ද?

      Delete
    2. 1. ඒක පුද්ගල ඉන්ධන පරිභෝජනය කෙටිකාලීනව ටිකක් අඩුවෙයි.
      2. නැහැ. ණය අනුමත වන බව මහ බැංකුව කලින්ම දන්නවා. සංචිත මුදල් ඉහළ ගොස් තිබෙන්නේ ඩොලර් මිල දී ගත් නිසා. කොහොමටත් ආරම්භයේදී එය සිදු වෙනවා. සමහර විට තවත් වැඩි වෙයි. පසුව අඩු කරන්න වෙයි.
      3. මම හිතන විදිහට මෙම ප්‍රමාණය ගෙවිය යුතු කොටස.
      4. නැහැ. භාණ්ඩ අපනයන පමණයි. සේවා ආදායම් කොහොමටත් අපේක්ෂා කර තිබෙනවා.
      5. රුපියල් බිලියන 37000 පමණ. වියදම් සීමාවන් වෙනම තිබෙනවා.
      6. NPV based adjustment
      7. පිළිතුරක් දිය හැකියි. විණිමය අනුපාතය IMF ඉලක්කයක් හෝ කොන්දේසියක් නෙමෙයි. ඉතා විශාල ප්‍රාග්ධන ගලනයක් සිදු වුවහොත් ඩොලරයක මිල පහත බහින්න පුළුවන්. කොහොම වුනත් මෙය ගැලරි කතාවක් (කතාව අහපු නැති නිසා කියපු දෙය සහ සන්දර්භය හරියටම දන්නේ නැහැ. කියපු දෙය විකෘති කළ වාර්තාවක් වෙන්නත් පුළුවන්).
      8. දැන් ලංකාව ගිහින් අනෙක් රටවල් වල රජයන්ගෙන් ණය සහන ඉල්ලා සිටිනවා. එහි බර දරන්න වෙන්නේ එම රටවල බදු ගෙවන්නන්ටයි. එහිදී ලංකාවේ බදු ගෙවන්නන්ට ආතල් එකේ ඉන්න දී පැත්තක ඉන්න අපේ බදු මුදල් නාස්ති කරන්නේ ඇයි කියන ප්‍රශ්නයට ඒ රටවල රජයයන්ට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා වෙන රටවල බදු ගෙවන්නන්ගෙන් බදු අය කර ලංකාවේ ණය කපා හරින්න කියා ඉල්ලන්න කලින් ලංකාවේ බදු ගෙවන්නන්ට බදු ගහලා ඉන්න වෙනවා.

      Delete
    3. 7. විශාල ප්‍රාග්ධන ගලනයක් ආවත් ජංගම ගිණුම් ශේෂය ඉලක්කගත මට්ටමේ පවත්වාගෙන යන ගමන් ඩොලර් එකේ අගය පහළ වැටෙන්න දෙන්න පුලුවන්ද?

      Delete
    4. විශාල ප්‍රාග්ධන ගලනයක් ආවොත් ජංගම ගිණුම් ශේෂය ඉලක්කගත මට්ටමේ පවත්වාගෙන යන ගමන් ඩොලර් එකේ අගය පහළ වැටෙන්න දෙන්න පුලුවන්. මෙසේ වෙන්න ඉඩ දිය යුතු බව IMF එක පැහැදිලිව කියා තිබෙනවා. මෙම වසර තුළ මහ බැංකුව ඩොලර් බිලියන 1.4ක් මිල දී ගත යුතුයි. ඊට වඩා මිල දී ගන්න බැහැ.

      Delete
    5. ඉහත රනිල්ගේ කතාවනම් විකෘති කළ වාර්තාවක් බව වෙනත් තැනක දැක්කා. ඔහු කියා තිබෙන්නේ මේ තරමට පහත වැටෙන්නේ නැති බව කියලයි එහි තිබුණේ.

      Delete
    6. එතකොට ආයිත් පාරක් අපනයනවල මිල වැඩි වෙලා තරගකාරිත්වය අඩු වෙන ගමන් ආනයන ලාභ වෙලා ජංගම ගිනුමේ ඍණ ශේෂයක් ඇතිවෙන්නේ නැද්ද

      Delete
    7. හරි, මම හිතන්නේ ඔබ කියන්න ඇත්තේ යම්කිසි කාල රාමුවක් තුළ ගෙවන්න තියෙන ණය වලට වඩා වැඩි ප්‍රාග්ධන ප්‍රවාහයක් ආවොත් ඩොලරයේ මිල පහල යන්න පුලුවන් කියලා නේද

      Delete
  4. බදු හා මුද්දර ගාස්තු හැරුණු විට රජයේ ආදායම් ලෙස සලකන්නේ මොනවාද? SOE වල ආදායම් රජයේ ආදායම් ලෙස සලකන්නේ නැහැ නේද?

    ReplyDelete
    Replies
    1. SOE වල ලාබ වලින් ලාභාංශ ලෙස ගෙවන කොටසක් ඇත්නම් රජයේ ආදායමක් වෙනවා. උදාහරණයක් ලෙස SLT.

      Delete
  5. බෝතලයක් ගහලා සමරමු

    ReplyDelete
  6. ඉකොනොමැට්ටා රනිල් වික්‍රමසිංහ මහතා පවසන ආකාරයට ඩොලර් එක රුපියල් 185 මට්ටම දක්වා වන පරිදි රුපියල ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා මේක කෙටි වීඩියෝ එකේ කෙටියෙන් පැහැදිලි කරන නිසා මේක බලන්න

    https://youtu.be/480nBOz7uWE

    ඇත්තටම රනිල් වික්‍රමසිංහ කියන විදියට රුපියල ශක්තිමත් බලවත් කරන්න පුළුවන් වෙයි ද? මේ ගැන ඔබේ නිරීක්ෂණය සහ අදහස් මොනවද ඉකොනොමැට්ටා? මේ ගැන පැහැදිලි කිරීමක් කරමින් පෝස්ට් එකක් දාන්න පුළුවන් නේද?

    ReplyDelete
  7. පැහැදිලි මහජන වරමක් සහ විශ්වාසයක් ආණ්ඩුවක් විසින් දිනාගන්නෙ නැතුව ඔයවගේ බරපතල ප්‍රතිසංස්කරණ කරන්න පුලුවන් වෙයිද ?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.