Tuesday, March 21, 2023

ණයට කෑ යුගය අවසන් කරන IMF වැඩපිළිවෙළ


මේ වන විට IMF වැඩපිළිවෙළ ප්‍රසිද්ධ කර තිබෙනවා. මෙම වැඩපිළිවෙළ පරීක්ෂා කළ විට නිරීක්ෂණය වන්නේ පසුගිය මාස ගණනක් තිස්සේ මෙම වැඩපිළිවෙළ ඇහැට නොදැක, අඳුරේ අතපත ගාමින්, දැනුවත් අනුමාන කිරීම් මත පමණක් පදනම්ව, අප විසින් අපේ පාඨකයින් වෙනුවෙන් කළ විග්‍රහයන් බොහෝ දුරට නිවැරදි බවයි. 

වැඩපිළිවෙළ ගැන කෙටියෙන් කිව හැක්කේ රටට දිගුකාලීනව ගොඩ යා හැකි මගක් එහි පැහැදිලිව ඇති බවයි. හැම කුඩා දෙයක්ම එහි සංගත ලෙස හා තර්කානුකූල ලෙස ඉදිරිපත් කර තිබෙනවා. 

දැනුවත් ශ්‍රී ලාංකික පාඨකයින්ට මට යෝජනා කරන්නට තිබෙන්නේ ලංකාවේ ඉදිරි දේශපාලනය පිළිබඳ තීරණ ගැනීමේදී මෙම ලියවිල්ල පාදක කර ගනිමින් එම තීරණ ගත යුතු බවයි. ඒ, මෙවැනි සංගත හා අංග සම්පූර්ණ ලියැවිල්ලක් වෙනත් කිසිදු තැනක නැති නිසයි.

මෙයින් අදහස් කරන්නේ මෙම ලියැවිල්ල තුළ ඇත්තේ රටේ අනාගතය සැලසුම් කළ හැකි එකම ආකාරය බව නෙමෙයි. වෙනත් විවිධ විකල්ප තිබිය හැකියි. එහෙත්, එවැනි විකල්පයක් හොයන අයෙකුට රෝදය නැවත හොයා ගන්නට මහන්සි නොවී මෙම ලියැවිල්ලෙන් සිය කාර්යය ආරම්භ කරන්න පුළුවන්. 

වැඩ පිළිවෙළ තුළ දිගුකාලීනව සිදු වන දේ මෙලෙස සාරාංශගත කළ හැකියි. 

-රජය ණයට ගෙන වියදම් කරන අවසන් වසර මෙම වසරයි. 2024 සිට රජය වසරක් තුළ වියදම් කරන්නේ එම වසර තුළ එකතු කරගන්නා ආදායම් වලින් කොටසක් පමණයි.

-2027 වන විට රාජ්‍ය ආදායම දදේනියෙන් 15.1% දක්වා වැඩි කරගන්නා අතර ඉන්පසු 2033 වසර දක්වාම එම මට්ටමේ තබා ගැනේ.

-පරණ ණය හා එම ණය වල පොලී ගෙවීම් හැරුණු විට රජයේ වියදම් දදේනියෙන් 12.8%කට සීමා කර ඉන්පසු 2033 වසර දක්වා දිගටම එම මට්ටමේ තබා ගැනේ.

-මේ අනුව, සෑම වසරකදීම රාජ්‍ය ආදායමෙන් 15.2%ක් පරණ ණය හා පොලී ගෙවීම සඳහා වෙන් කෙරේ. අලුතෙන් ණය ගන්නේ පරණ ණය හා පොලී ගෙවීම සඳහා අවශ්‍ය මදිපාඩුව පිරවීමට පමණයි. 

-මේ වසරේ සිට දිගටම වසරක් තුළ ආනයන හා අනෙකුත් අවශ්‍යතා සඳහා වැය කරන්නේ උපයන විදේශ විණිමය (භාණ්ඩ හා සේවා අපනයන ආදායම්, ශ්‍රමික ප්‍රේෂණ ආදිය) පමණයි. එම විදේශ විණිමය ප්‍රමාණයෙන්ද යම් ප්‍රමාණයක් පරණ ණය හා පොලී ගෙවීම වෙනුවෙන් යොදා ගැනේ. 

-අළුතෙන් ගන්නා විදේශ ණය හා අනෙකුත් ප්‍රාග්ධන ආයෝජන මුළුමනින්ම යොදා ගන්නේ පරණ ණය හා පොලී ගෙවීම සඳහා පමණයි. 

-දිගුකාලීනව ආර්ථිකය වර්ධනය වනු ඇත්තේ 3.1% වේගයකින් පමණයි. තව තව ණය නොවී රටේ ආර්ථිකය ස්ථායී ලෙස දිගටම වර්ධනය කළ හැකි උපරිම මට්ටම එයයි. 

-උද්ධමනය දිගුකාලීනව 5% මට්ටමේ පවත්වා ගැනේ.

-මේ අනුව නාමික ආර්ථික වර්ධනය වසරකට 8.3%ක් ලෙස පවතිනු ඇත. එයට ඉඩ සලසමින් දිගුකාලීනව මුදල් සැපයුම වසරකට 8.3% බැගින් වැඩි වෙන්නට ඉඩ හරිනු ඇත.

-විදේශ සංචිත ප්‍රමාණය 2028 වන විට ඩොලර් මිලියන 15,875 දක්වා ක්‍රමයෙන් වර්ධනය කර ගනු ඇති අතර ඉන් පසු වසරකට ඩොලර් මිලියන 500 බැගින් වැඩි වේ. 

-2027 වන විට රාජ්‍ය ආදායම දදේනියෙන් 15.1% දක්වා වැඩි කරගන්නා ආකාරය නිශ්චිත ලෙස සඳහන් කර ඇති නමුත් මෙම සටහනේ විස්තර නොකෙරේ. ඉන් පසු, තව දුරටත් බදු වැඩි කරන්නට අවශ්‍ය නොවේ.

-විදේශ විණිමය වෙළඳපොළට මැදිහත් වන්නේ සංචිත එකතු කර ගැනීමේ දිගුකාලීන සැලසුමට අනුව පමණයි. 

-විණිමය අනුපාතය නිදහසේ තීරණය වේ. උද්ධමනය 5% මට්ටමේ පවත්වා ගන්නා නිසා සෑම වසරකදීම ඩොලරයක මිල ඉහළ යයි. (2023 අවසානයේ ඩොලරයක අගය රුපියල් 396 ලෙස උපකල්පනය කර ඇති අතර 2028 අගදී එම අගය රුපියල් 513කි.)

-රුපියල් හෝ ඩොලර් ණයට ගෙන වියදම් නොකළත්, පරණ ණය වල පොලී සම්පූර්ණයෙන්ම ගෙවීමට තරම් ඉතිරියක් නොවන නිසා රජයේ ණය මෙන්ම රටේ ණයද තව දුරටත් ඉහළ යයි. ඒ ණය ගෙවන්නට සෑම වසරකදීම අළුතෙන් ණය ගන්නට සිදු වේ. 

-එහෙත් ආර්ථිකය වර්ධනය වන තරමට ණය වැඩි නොවන නිසා දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස, ඉතා සෙමෙන් වුවත්, ණය අඩු වේ. 

-කෙසේ වුවද, 2022-2027 කාලය තුළ ගෙවන්නට ඇති ඩොලර් මිලියන 25,153ක මුදල ගෙවීමේ හැකියාවක් නැති නිසා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවශ්‍යම දෙයකි.

-ඉහත මුදලින් ඩොලර් මිලියන 2,834ක් පසුගිය වසර තුළ ගෙවිය යුතු වූ ණයයි. එම ණය දැනටමත් පැහැර හැර අවසානය. තවත් ඩොලර් මිලියන 22,319ක් ගෙවන්නට තිබේ.

-ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් වාරික නවයකට ඩොලර් මිලියන 2,982ක මුදලක් ලැබේ.

-මීට අමතරව 2022-2027 කාලය තුළ ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 1,750ක මුදලක්ද, ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 2000ක්ද ලැබේ. එවිට එකතුව ඩොලර් මිලියන 6,738කි.

-ඉහත සඳහන් කළ ඩොලර් මිලියන 22,329ක මුදලෙන් ඩොලර් මිලියන 6,738ක් ගෙවූ පසු තවත් ඩොලර් මිලියන 15,587ක හිඟයක් ඇත.

-විදේශ ණය (ද්විපාර්ශ්වික හා වාණිජ) ප්‍රතිව්‍යුහගත කිරීම මගින් එම ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 14,087ක් සහ දැනටම පැහැර හැර ඇති ඩොලර් මිලියන 2,834ක මුදල 2027 වසර දක්වා නොගෙවා සිටින්නට ඉඩ සලසා ගත යුතුව තිබේ.

-ඉතිරි ඩොලර් මිලියන 1,500 ලබා ගැනීම සඳහා 2027 වසරේදී ස්වෛරිත්ව බැඳුම්කරයක් නිකුත් කරනු ඇත.

-ඉන් පසුව, 2027 හා 2028 වසර වලදීද යම් ණය සහනයක් අවශ්‍ය වේ. 

-මේ අනුව, අපේක්ෂා කරන පරිදි ණය සහන ලබා දීමට ණය හිමියන් කැමති වුවහොත් ඉහත සඳහන් දිගුකාලීන ඉලක්ක ළඟා කර ගත හැකියි. (අපේක්ෂා කරන පරිදි ණය ප්‍රතිව්‍යුහගත කරගත නොහැකි වුවහොත් ඔය තත්ත්වයවත් පවත්වා ගත නොහැකිය. එමෙන්ම රාජ්‍යමූල්‍ය ඉලක්ක ඉටු නොවුවහොත් සිදු වන්නේද එවැන්නකි.)

14 comments:

  1. 1.
    //දිගුකාලීනව ආර්ථිකය වර්ධනය වනු ඇත්තේ 3.1% වේගයකින් පමණයි. තව තව ණය නොවී රටේ ආර්ථිකය ස්ථායී ලෙස දිගටම වර්ධනය කළ හැකි උපරිම මට්ටම එයයි.

    -උද්ධමනය දිගුකාලීනව 5% මට්ටමේ පවත්වා ගැනේ.

    -මේ අනුව නාමික ආර්ථික වර්ධනය වසරකට 8.3%ක් ලෙස පවතිනු ඇත//
    8.1% (5+3.1) නොවී 8.3% වෙන්නේ ඇයි?

    2. ණය ප්රතිව්යුහගත කරගන්න එක අපිම කරන්න ඕනෙද? නැත්නම් ත්‍යන්තර මූල්‍ය අරමුදල මැදිහත් වෙනවා ද?

    3.
    //ඉහත සඳහන් කළ ඩොලර් මිලියන 22,329ක මුදලෙන් ඩොලර් මිලියන 6,738ක් ගෙවූ පසු තවත් ඩොලර් මිලියන 15,587ක හිඟයක් ඇත.

    -විදේශ ණය (ද්විපාර්ශ්වික හා වාණිජ) ප්‍රතිව්‍යුහගත කිරීම මගින් එම ප්‍රමාණයෙන් ඩොලර් මිලියන 14,087ක් /=
    //
    මෙතන 1500ක ණයක් ප්රතිව්යුහගත නොකර ාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර අරගෙන ගෙවන්න යෝජනා කරල තියෙන්නෙ ඇයි?

    4

    //මීට අමතරව 2022-2027 කාලය තුළ ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 1,750ක මුදලක්ද, ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 2000ක්ද ලැබේ. එවිට එකතුව ඩොලර් මිලියන 6,738කි.//
    මේවත් ණයද ප්‍රදානයන් ද?

    5. 2027 පස්සේ ප්රතිව්යුහගත කරපු ණය ගෙවන්නේ කොහොමද කියන එක මේ වැඩපිළිවෙළේ scope එකෙන් පිට ද?

    ReplyDelete
    Replies
    1. 1. (1+5%)*(1+3.1%) = (1+8.3%)
      2. ඔය වැඩසටහන හදන්න උදවු වී එය පිළිගැනීම තමයි අරමුදලේ මැදිහත් වීම. ප්‍රතිව්‍යුහගත කරන ණය ආපසු ලැබෙන බව ණයහිමියන්ට තහවුරු වෙන්නේ වැඩසටහන නිසා. වැඩසටහනට අමතරව ඉදිරි කාලයේ එය දිගටම ක්‍රියාත්මක වන බවට සහතිකයක්ද අවශ්‍ය වෙනවා. එම සහතිකය දෙන්න වෙන්නේ ලංකාවට.
      3. ප්‍රතිව්‍යුහගත කරන ණය ආපසු ගෙවිය යුතුයි. අරමුදලෙන් ගන්න ණයත් ආපසු ගෙවිය යුතුයි. එසේ ගෙවන්න වෙද්දී නැවත ස්වෛරිත්ව බැඳුම්කර ගන්න වෙනවා. දැන් එය කළ නොහැකියි. නමුත් වසර හතරක් පමණ වැඩසටහන සමඟ සිටියොත් අඩු පොලියට ස්වෛරිත්ව බැඳුම්කර ණය ගත හැකි තත්ත්වයක් හදාගන්න පුළුවන්. එය වැඩසටහනේ ඉලක්කයක්.
      4. ණය. ඔය වගේ ලොකු ප්‍රදාන හම්බ වෙන්නේ නැහැ. හැබැයි පොලිය අඩු ඇති. එය සහනයක්.
      5. ඔව් සහ නැහැ. පසුගිය වසර දක්වා ලංකාව ණය ගෙවුවා. වැඩසටහන අවසන් වෙද්දී ඒ ක්‍රමයටම ණය ගෙවිය හැකි තත්ත්වයක් හැදෙනවා. අනෙක් පැත්තෙන් ණය ප්‍රතිව්‍යුහගත කරද්දී 2027න් පස්සේ ණය ප්‍රතිව්‍යුහගත කරපු ණය ගෙවන විදිහ ඔවුන්ට පැහැදිලි කරන්න වෙනවා. මෙයට උදවුවක් ලෙස තමයි අරමුදල වැඩසටහන හදා දී තිබෙන්නේ.

      Delete
    2. 3. 1500 වගේ ගානක් තෝරා ගන්න විශේෂ හේතුවක් තියෙනවාද

      Delete
    3. මම හිතන්නේ ඊට වඩා ගණනකට එකවර යන එක අවදානම් නිසා වෙන්න ඇති. ඒ වගේම මීට පෙර මීට වඩා ලොකු බැඳුම්කර නිකුත් කර තිබෙන නිසා ගොඩක්ම පහළට යන්නත් අවශ්‍ය නැහැ. කොහොම වුනත් මේවා හරියටම මේ විදිහටම වෙන්න අවශ්‍ය නැහැ. මේ සියල්ල සැලසුමක කොටස්. සමස්ත සැලසුමයි වැදගත්. මෙම ගණන බිලියනයක් හෝ දෙකක් වුනා කියලා සමස්ත සැලසුමට හානියක් වෙන්නේ නැහැ. සීරුමාරු කරන්න පුළුවන්.

      Delete
  2. Governance diagnostics නම් වැඩපිළිවෙළක් ගැනත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යම්කිසි ප්‍රකාශයක් කරලා තිබුණා. Rule of law වගේ IMF එක වැඩිය මැදිහත් නොවන දේවල් කීපයක් ගැන එහි සඳහන් වුණා. මේ ගැනත් පොඩි විස්තරයක් කරන්න පුලුවන්ද

    ReplyDelete
  3. //මේ වසරේ සිට දිගටම වසරක් තුළ ආනයන හා අනෙකුත් අවශ්‍යතා සඳහා වැය කරන්නේ උපයන විදේශ විණිමය (භාණ්ඩ හා සේවා අපනයන ආදායම්, ශ්‍රමික ප්‍රේෂණ ආදිය) පමණයි. එම විදේශ විණිමය ප්‍රමාණයෙන්ද යම් ප්‍රමාණයක් පරණ ණය හා පොලී ගෙවීම වෙනුවෙන් යොදා ගැනේ. //
    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මේ අවස්ථාවේ ලබා දෙන වාරිකය සඳහාත් මේ කොන්දේසිය අදාල ද?

    ReplyDelete
  4. ස්තූතියි මේ අනර්ඝ සාරාංශය ට. මෙය තව තැන්වල බේදා ගන්න අවසර දෙන්න .
    මීට අමතරව, සමාජ ආරක්ශණ වැඩපිළිවෙළ , දූශණය අවම කිරීම, මහබැංකුව ස්වාධීන කීරීම ආදී වෙනත් මාතෘකාත් මේ යෝජනාවලියේ තියෙනවා නේද,

    මං හිතන්නේ මේ ගැන ඉකෝන් කතා කරන්න ඉන්නේ පසුවට
    . රජය ද දේ නි 15.5% අදායමක් ලබා ගන්න කොට සහ එයින් කොටසක් පමනක් රජයේ වියදම් හැටියට තබා ගන්න කොට විශාල පීඩනයක් ලංකාවේ මිනිස්සුන්ට දරන්න වෙනවා. ඉකෝන් මේ ගැන පසුවට වවිස්තර ලියයි කියලා විශ්වාස කරනවා.

    ReplyDelete
  5. The International Monetary Fund (IMF) is allowing Sri Lanka to utilise funds from its latest bailout for fiscal support, unlike previous loans that could only be used to ease balance of payments crises, central bank governor Nandalal Weerasinghe said in an interview with Bloomberg

    මෙයින් කියැවෙන්නේ ඔබ මේ විදිහට දක්වා තිබෙන දේ නේද

    ///-ඉහත මුදලින් ඩොලර් මිලියන 2,834ක් පසුගිය වසර තුළ ගෙවිය යුතු වූ ණයයි. එම ණය දැනටමත් පැහැර හැර අවසානය. තවත් ඩොලර් මිලියන 22,319ක් ගෙවන්නට තිබේ.

    -ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් වාරික නවයකට ඩොලර් මිලියන 2,982ක මුදලක් ලැබේ.


    ReplyDelete
  6. මමනම් ඊයෙ රතිඤ්ඤා කරලක් පත්තු කරා. තේ ඉඩමක් තියෙනවා. ගන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. ඒක විකුණනව. ඉන්න ටිකේ කාල ඉන්න ඕන. 2033 වෙනකල් ඉන්න බෑ.

    ReplyDelete
  7. මහින්ද මහත්තයා ආවානම් මොන ජිමික්ස් එක දාල හරි ආයේ ඩොලර් එක 180ට ගේනවා.. 😝😁😜

    ReplyDelete
  8. 2023 ඩොලර් එක රු.396 සහ 2028 දි 513 ක් වෙනකොට බඩුමිල වැඩිවෙනවා.එවිට උද්ධමනය 5% මට්ටමේ තබා ගන්නේ කෙසේද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.