Thursday, April 13, 2023

සුබ අලුත් අවුරුද්දක්!

හෙට (2023 අප්‍රේල් 14) තවත් සිංහල අලුත් අවුරුද්දක් උදාවෙනවා. මෙවර සිංහල අවුරුදු උදාව හෙවත් සූර්යයාගේ මේෂ සංක්‍රාන්තිය සිදු වන්නේ ග්‍රෙගෝරියන් දින දසුන අනුව අප්‍රේල් මස 14 දින පස්වරු 2:29ටයි. ඒ මොහොතේදී ශක වර්ෂයෙන් 1944 වසර ගෙවී 1945 වසර උදා වෙනවා. 


මේ සමඟ පළ කර ඇති පළමු ඡායාරූපයෙන් පෙනෙන්නේ මීන රාශිය ලෙස හඳුනාගන්නා තාරකා රටාවයි. හඳුනාගැනීමේ පහසුව සඳහා අදාළ තාරකා ඉරිවලින් යා කර තිබෙනවා. මේ තාරකා රටාව නූලකින් බැඳුණු මාළුන් දෙදෙනෙකු ලෙස මුලින්ම බැබිලෝනියානුවන් විසින් හඳුනා ගනු ලැබූ අතර මීන යන සංස්කෘත නම මෙන්ම ඒ සඳහා බටහිර භාවිතා වන ලතින් නමද (Pisces) මාළුවා/ මාළු යන අරුත සපයනවා (දෙවන රූපය බලන්න).


මේ තාරකා එක් පොකුරක් ලෙස පොළොවට මෙසේ පෙනුණත් ඒවා ඇත්තටම තියෙන්නේ එකිනෙකට ආලෝක වර්ෂ ගණනක් දුරිනුයි. එම තාරකා වලින් දහයකම හඳුනාගත් ග්‍රහලෝක තිබෙනවා. මීන රාශි මණ්ඩලයේ දීප්තිමත්ම තාරකාව වන ඊටා පිසියම් (Eta Piscium) ආලෝක වර්ෂ 294ක් ඈතින් පිහිටා ඇති කහ යෝධයෙක්. ඉර මෙන් 26 ගුණයක් විශාල, 3.5-4 ගුණයක ස්කන්ධයක් ඇති එහි දීප්තිය ඉරේ දීප්තිය මෙන් 316 ගුණයක් [1].

දෙවෙනියට දීප්තිමත්, ඉර මෙන් දහ ගුණයක් විශාල හා 61 ගුණයක් දීප්තිමත් ගැමා පිසියම් තාරකාවද කහ යෝධයෙක් වන අතර ආලෝක වර්ෂ 138ක් දුරින් පිහිටා තිබෙනවා. ආලෝක වර්ෂ 106ක් දුරින් පිහිටා ඇති ඔමේගා පිසියම් ඉර මෙන් 20 ගුණයක් විශාල වන අතර, අයෝටා පිසියම් තරුව ආලෝක වර්ෂ 44.73ක් දුරින් පිහිටා ඇති ඉරට වඩා තරමක් විශාල තරුවක්.

මේ තාරකා පද්ධතියේ ඉතිරි තාරකා ඔමික්රොන් පිසියොන්, ඇල්ෆා පිසියම්, එප්සිලෝන් පිසියම්, ඩෙල්ටා පිසියම්, තීටා පිසියම්, නියු පිසියම්, බීටා පිසියම් (අරාබි බසින් ෆුම් අල්-සම්මක් හෙවත් මාළු කට), කප්පා පිසියම්, ලැම්ඩා පිසියම්, සීටා (zeta) පිසියම්, 19 පිසියම් (TX පිසියම්), 107 පිසියම්, 96G පිසියම්, 54 පිසියම්, 6G පිසියම් හා වැන් මානන්ගේ තරුව ලෙස නම් කර තිබෙනවා. තාරකා රටාවේ ෂඩාශ්‍රය සැදී ඇත්තේ ගැමා, කප්පා, ලැම්ඩා, අයෝටා, තීටා හා 19 පිසියම් තරු හයෙනුයි. ආලෝක වර්ෂ 148ක් ඈතින් පිහිටි සීටා පිසියම් (ζ Psc) යනු ජ්‍යෝතිෂයේදී රේවතී නැකත ලෙස හඳුනාගන්නා තාරකාවයි.


මීන රාශිය ලෙස හඳුනාගන්නා තාරකා රටාවට සාපේක්ෂව, මේෂ රාශියට අදාළ තරු රටාව සාපේක්ෂව ඉතා සරල එකක් (තෙවන ඡායාරූපය). මෙය බැබිලෝනියානුවන් විසින් මුලින්ම ගොවියෙකු ලෙස හඳුනාගත් නමුත් පසුව ගොවියා එළුවෙකු වෙනවා (සිවුවන රූපය). 


මේෂ රාශිය ලෙස හඳුනාගන්නා තාරකා මණ්ඩලයේ හඳුනාගත් ග්‍රහලෝක සහිත තාරකා පහක් තිබෙනවා. මෙහි ප්‍රධාන තාරකා ඇල්ෆා ඒරියටිස්, බීටා ඒරියටිස්, ඩෙල්ටා ඒරියටිස්, ගැමා ඒරියටිස්, සී ඒරියටිස් හා එප්සිලෝන් ඒරියටිස් ලෙස හැඳින්වෙනවා. බීටා හා ගැමා ඒරියටිස් ලෙස හැඳින්වෙන්නේ පළමු නැකත වන අස්විද නැකත ලෙස ජ්‍යෝතිෂයේදී හඳුනාගන්නා තාරකා රටාවයි. 35 ඒරියටිස්, 39 ඒරියටිස් හා සී ඒරියටිස් හෙවත් 41 ඒරියටිස් ලෙස හැඳින්වෙන්නේ දෙවන නැකත වන බෙරණ නැකත ලෙස ජ්‍යෝතිෂයේදී හඳුනාගන්නා තාරකා රටාවයි. 

අරාබි බසින් රාස්-අල්-හමාල් (එළු හිස) ලෙස හැඳින්වෙන ඇල්ෆා ඒරියටිස් තරුව ආලෝක වර්ෂ 66ක් දුරින්ද, බීටා ඒරියටිස් ආලෝක වර්ෂ 59.6ක් දුරින්ද, ගැමා ඒරියටිස් ආලෝක වර්ෂ 160ක් දුරින්ද, ඩෙල්ටා ඒරියටිස් ආලෝක වර්ෂ 168ක් දුරින්ද, සී ඒරියටිස් හෙවත් බෙරණ තරුව ආලෝක වර්ෂ 160ක් දුරින්ද, එප්සිලෝන් ඒරියටිස් ආලෝක වර්ෂ 293ක් දුරින්ද පිහිටා තිබෙනවා.

මීන හා මේෂ රාශි ඇතුළු රාශි දොළහත්, නැකැත් ලෙස සිංහලෙන් හඳුන්වන නක්ෂත්‍ර තාරකා මණ්ඩල විසිහතත් අහසේ ස්ථානගත වී ඇති ආකාරය අනුව නැගෙනහිර ක්ෂිතිජයෙන් චක්‍රීය රටාවකට මතු වෙනවා. හඳ එළිය වැඩි දවසක දැකිය නොහැකි වුවත්, හඳ එළිය අඩු, වලාකුළුද අඩු දවසක අහස නිරීක්ෂණය කළොත් මේ රාශි දොළහ මෙන්ම නැකැත් විසිහතද හඳුනාගැනීමට බැරිකමක් නැහැ. එහෙත්, මෙම රාශි හා නැකැත් සියල්ලම එකවර දැකීමේ හැකියාවක් නැහැ. පියවි ඇසින් දැක හඳුනාගත හැකි රාශි හා නැකැත් දවස හා වෙලාව අනුව තීරණය වෙනවා. 

මේෂ රාශිය මෙන්ම මීන රාශියද අපට පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකියි. සූර්යයාද අපට නිරීක්ෂණය කළ හැකියි. එහෙත්, මේෂ සංක්‍රාන්තිය අපට පියවි ඇසින් නිරීක්ෂණය කළ නොහැකියි. හෙට (අප්‍රේල් 14) මේෂ සංක්‍රාන්තිය සිදු වන විට ලංකාවට හවස් කාලයයි. ඒ වෙලාවේ ඉර අහසේ පෙනෙන්නට තිබුණත්, ඉර එළිය නිසා මීන රාශිය හෝ මේෂ රාශිය පියවි ඇසින් දැකිය නොහැකියි. ඒ නිසාම මේෂ සංක්‍රාන්තිය සිදුවන ආකාරයද පියවි ඇසින් දැකිය නොහැකියි

මේ වසරේ මේෂ සංක්‍රාන්තිය සිදුවන්නේ දිවා කාලයේ වුවත්, ලබන (2024) වසරේදී මෙය සිදු වීමට නියමිතව ඇත්තේ ලංකාවේ වේලාවෙන් පස්වරු නවයට පමණ නිසාත්, හඳ එළිය අඩුවෙන් ඇති අමාවක පෝය පසු වී දින කිහිපයකට පසු දිනක නිසාත්, වැසි දිනයක් නොවුවහොත් පහසුවෙන්ම අහසේ තාරකා රටා පියවි ඇසින් දැක හඳුනාගත ගත හැකියි. එහෙත්, ඒ වෙලාවේ මීන හා මේෂ රාශි මෙන්ම ඉරද තිබෙන්නේ පොළොවේ අනෙක් පැත්තේ නිසා මේෂ සංක්‍රාන්තිය දෑසින් දකින්නට කෙසේවත් ඉඩක් නැහැ.

මේෂ සංක්‍රාන්තිය යනු පොළොවේ සිටින නිරීක්ෂකයෙකුට "දැකිය හැකි" පරිදි සූර්යයා මීන රාශියේ හා මේෂ රාශියේ සීමා වෙන් කරන බෙදුම් ඉර පසු කිරීමයි. මෙය සිදුවන්නේ රාත්‍රී කාලයකනම්, පොළොවට ආවරණය වන නිසා, කෙසේවත් දැකිය නොහැකියි. දිවා කාලයේ මෙය සිදු වුවද, සූර්යයාගේ ආලෝකය නිසා මීන හා මේෂ රාශි නියෝජනය කරන තාරකා පන්ති පියවි ඇසින් දැකිය නොහැකියි. හරියටම සිදුවන මොහොත කෙසේවත් දැකිය නොහැකි වුවත්, මෙම සංසිද්ධිය ආසන්න ලෙස හෝ පියවි ඇසින් දැකිය හැක්කේ දිවා කාලයක මේෂ සංක්‍රාන්තිය සිදු වී, හරියටම ඊට ආසන්න මොහොතක පූර්ණ සූර්යග්‍රහණයක් සිදු වුවහොත් පමණයි. එයද ඉතාම දුලබ සිදුවීමක්. ඒ නිසා, මේෂ සංක්‍රාන්තිය යනු වියුක්තව සිතා මනසින් දැකිය යුතු දෙයක්. 

වසර දහස් ගණනකට පෙර ජීවත් වූ විද්‍යාර්ථින්ටද මේෂ සංක්‍රාන්තිය කවදාවත් පියවි ඇසින් දැකිය හැකි වූයේ නැහැ. එහෙත්, දිවා කාලයේ ඉරේ ගමනත්, රාත්‍රී කාලයේ තාරකා වල ගමනත් නිරීක්ෂණය කිරීම මගින් පියවි ඇසට නොපෙනෙන අවස්ථා වල අදාළ ග්‍රහවස්තු හා තාරකා වල සාපේක්ෂ චලිතය ආකෘතිගත කිරීම මගින් මේෂ සංක්‍රාන්තිය සිදුවන වෙලාව හරියටම නිගමනය කිරීමට ඔවුන්ට හැකි වුනා. සංයුක්ත නිරීක්ෂණ මත පදනම්ව වියුක්ත ආකෘතියක් ගොඩනගා ගෙන වසර දෙදහසකට පමණ පෙර ඔවුන්ට මෙවැනි ගණනය කිරීමක් කළ හැකි වීම අපූරු දෙයක්.

මේෂ සංක්‍රාන්තිය සමරන සියල්ලන්ටම සුබ අළුත් අවුරුද්දක්!

(මෙම ලිපිය 2017 අප්‍රේල් 13 දින පළ කළ ලිපියක් තරමක් සංශෝධනය කර නැවත පළ කිරීමක්.)

5 comments:

  1. හොඳ පෝස්ට් එකක් ඉකොනොමැට්ටා සිංහල අලුත් අවුරුද්ද ගැන තාරකා විද්‍යා ඇසකින් බැලීමක්, මේ ගැන ලංකාවේ ප්‍රවීණ තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා පවසන්නේ තාරකා විද්‍යාවේ හිරු මුදුන් වීම සහ සාපේක්ෂ චලිතය ලංකාවේ අවුරුදු නැකැත් කමිටුවේ අවුරුදු උදාව යන දෙක එකිනෙකට වෙනස් දෙකක් බවත් අප්‍රේල් මාසේ 13-14 එය හරියටම සිදුවන්නේ නැති බවත්.

    ලංකාවේ අවුරුදු ක්‍රීඩා වල ඉතිහාසය ගැන ඔබ හිතන්නේ මොකක් ද? අද උදේම එක්තරා විහිළු පෝස්ට් එකක් දැකලා තාමත් මට හිනා, මෙන්න මේකයි

    ////පෞද්ගලික රූපවාහිනි නාලිකාවක අවුරුදු උත්සවයෙ බොරු කීමෙ තරඟයට දිගු පෝලිමක් විය.

    අහල ගම් හතක සෙනඟ මෙයට එකතු විය. බොරු ගසා කප් පිට කප් ගැසුවෝද තරඟයට එකතු වී සිටියහ.

    සංවිධායකයන්ට මෙය මහත් අපහසුතාවයක් වූයේ කිලෝමීටරයක් විතර දිගු පෝලීම පාලනය කර ගත නොහැකි වීම නිසාය.

    තරඟය අවලංගු කරොත් මුළු අවුරුදු උත්සවයම කාලගෝට්ටියක් වනු ඇත. ගුටි කෙළියක් වනු ඇත. ගම් වල අවුරුදු උත්සව වලට සහභාගි වූවෝ ඇත්නම් එය මනාව දනිති. බොහෝ අවුරුදු උත්සව අවසන් වන්නෙ රණ්ඩු සරුවල් වලින්ය.

    සංවිධායකයො අන්ත අසරණ විය. එක් මොලය තිබූ තරුණයෙක් ප්‍රධාන සංවිධායකගෙ කණට කර රහසක් කිව්වේය. ප්‍රධාන සංවිධායක විසින් ලවුඩ් ස්පීකර් එක අතට ගෙන විශේෂ දැනුම් දීමක් කල අතර තරඟයට සහභාගී වී සිටි සියලුම දෙනා කිසිවෙකුත් අපේක්ෂා නොකළ පරිදි සාමකාමීව තරඟයෙන් ඉවත් විය.

    සංවිධායකයන් පැවසු ඒ විශේෂ නිවේදනය කුමක්ද..?

    " තව ස්වල්ප මොහොතකින් අනුර කුමාර දිසානායක සහෝදරයා මේ තරඟයට සහභාගී වෙනවා.."

    එපමණකි.

    සමාප්තයි.

    නිලන්ත සත්සර ගමගේ ✍️

    ReplyDelete
  2. ඔබටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  3. ධනවාදය ෆො ද වින්April 14, 2023 at 4:54 AM

    සුබ අලුත් අවුරුද්දක් වීවා® ඉකුනො.

    ReplyDelete
  4. සුබ අලුත් අවුරුද්දක් වේවා ඉකොනොමැට්ටා, ඔබ මෙහි කතා කර ඇති අස්විද බෙරණ ආදී නැකැත් එක්ක කල්පනා උනේ කාලය කල්පිතයක් නේද කියල. කාලය යනු කල්පිතයක් (hypothesis) කියලා සෑහෙන කාලේකට ඉස්සර Lao Tzu චීන දර්ශනවාදියා තියලා තියෙනව සරලවම Time is a Created Thing කියල. වසර දෙදහස් හයසීයක් විතර ඉස්සර Lao Tzu ත් මනඃකල්පිතයක් කියලා ඇතැමුන් කියනවා නමුත් මං එයාට හරි කැමතියි. Tzu කියපු මගෙ තව ප්‍රියතම quote එකක් "A good Traveller has no fixed plans and is not intent on arriving" යන්න. මේ ගැන ඔබේ අදහසුත් ලිවිය හැකි නම් ඉතා වැදගත් වේවි.

    ලංකාවේ අලුත් අවුරුද්දේපවතින නොනගතය කියලා කියන්නේ සංක්‍රාන්ති සමයක් එහෙම නැත්නම් සරලව කිව්වොත් නැකැතක් නැති වෙලාවක් කියලා කියනවනේ.

    දැන් බලන්න ළමා කාලෙ බයිසිකලේ අරන් එළියට බහින්න දෙන්නෙත් නෑ අනතුරු වැඩියි කියල. ඒත් මේක තමයි ඉතින් බයිසිකල් පදින්නත් හොඳම වෙලාව පාරට රතිඤ්ඤා දාන උන් නැත්තං. බල්ලොත් හැංගිලා නිසා. ඉතිං පොඩි කාලේ බයිසිකලෙං නොනගතේ වෙලාවෙ පන්සලට ගියාම නොනගතේ ගැන අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ ඒ කාලේ කිව්ව නැකතත් හූනට කියල. ඒ වෙලාවට අපේ සෙට් එකම ගෙදර කන්න දෙන්නැති නිසා පන්සලේ දන්ගෙට රිංගලා බඩ පුරෝ ගන්නව.

    මගේ ජීවිතයට නම් නැකැත් අදාල වුනේ නෑ කවදාවත්. කොච්චර වැදගත් තීරණයක් වුණත් මං ගන්නේ ඒක වෙන වෙලාවට, විය යුතු වෙලාවට මට අවශ්‍ය වෙලාවට හරි හෝ වැරදි වුණත්. හැබැයි ඉතින් වැරදිච්ච වෙලාවලුත් නැතුව නෙමේ.

    ඒ නිසා අවුරුදු කාලේ ලංකාවේ ඉන්නවා නම් වගේම මෙහේදිත් ඉඩක් ලැබුණොත් අවුරුද්දේ නැකැත් නං මං එන්ජෝයි කරනවා, ඒක වෙනසක් නිසා, විශේෂයෙන්ම වෙලාවට කන එක. මගෙ පවුලෙ පොරවල් නං enjoy කරන්නේ මාත් එක්ක ගනුදෙනු කරන නැකත. හැබැයි ඉතිං මේව නිසා නැකැත් වැදගත් කියන එක ලමයින්ගේ ඔළුවට පොඩි කාලෙම යන එකට නම් එකඟ වෙන්න බැහැ.

    කොහොම හරි මේක කියවන රටින් පිට වගේම ලංකාවේ ඉන්න අයටත්
    සැමට ප්‍රීතිමත් සිංහල දමිළ සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏

    ReplyDelete
  5. තාරකා විද්‍යාවට අනුව සූර්යයාගේ මේෂ සංක්‍රාන්තිය සිදු වන්නේ අප්‍රේල් 20-22 අතර දිනක නේද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.