Sunday, April 16, 2023

බ්‍රික්ස් මුදල් ඒකකය සහ ඇමරිකන් ඩොලරය


අලුත් අදහසක් නොවුනත්, බ්‍රික්ස් රටවල් පහ එකතු වෙලා ජාත්‍යන්තර මුදල් ඒකකයක් හදන කතාව නැවතත් උඩට ඇවිත් තිබෙනවා. මේ විදිහට අලුත් මුදල් ඒකකයක් හදන්න යන්නේ ඇමරිකන් ඩොලරයට විකල්පයක් ලෙසයි. 

මෙය ඩොලරයට විකල්ප හැදීමට දරා තිබෙන එකම හෝ පළමු උත්සාහය නෙමෙයි. මීට පෙර මේ විදිහට යෝජනා කළ ඇතැම් විකල්ප පසුව සැබෑ විකල්ප බවට පත් වෙලා තිබෙනවා. ඒ අතරින්, සාර්ථකම විකල්පය යුරෝව කියා කියන්න පුළුවන්. බිට්කොයින් වල සිට පසු ගිය වසර කිහිපය තුළ නිර්මාණය කරනු ලැබ ඇති ක්‍රිප්ටෝ මුදල් ඒකක සියල්ලම වගේත් ඩොලරයට විකල්ප ලෙස මතු වී ඇති මුදල් ඒකක ලෙස හඳුන්වන්න පුළුවන්.

ඉහත මුදල් ඒකක වලට අමතරව ඇමරිකාව ඇතුළේම ඩොලරයට විකල්ප ලෙස භාවිතා වන මුදල් ඒකක විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒවා ගැන ඇමරිකාවෙන් පිටත ලොකු සාකච්ඡාවක් සිදු වෙන්නේ නැහැ. මෙවැනි විකල්ප ගණනාවක් තිබුණත් ඇමරිකන් ඩොලරයට තිබෙන ප්‍රමුඛ තත්ත්වය තවමත් එලෙසම තිබෙනවා. 

ඇමරිකන් ඩොලරයට පෙර ලෝකයේ ප්‍රමුඛ මුදල් ඒකකය වුනේ බ්‍රිතාන්‍ය පවුමයි. ආසන්න වශයෙන් දෙවන ලෝක යුද්ධය පැවති කාලයෙන් පසුව ක්‍රමයෙන් බ්‍රිතාන්‍ය පවුම වෙනුවට ඇමරිකන් ඩොලරය ආදේශ වී ඩොලරය මුල් තැනට පැමිණියා. මේ තත්ත්වය තවමත් එලෙසම තිබෙනවා.

ලෝකයේ මහ බැංකු වල විදේශ වත්කම් වලින් 58%ක් පමණ තවමත් ඇමරිකන් ඩොලර්. කලකට පෙර මෙම ප්‍රතිශතය 70% වැනි මට්ටමක තිබුණා. සංචිත මුදල් ඒකකයක් ලෙස ඇමරිකන් ඩොලරය වෙනුවට වෙනත් මුදල් ඒකක ආදේශ වෙමින් ඇතත්, ඇමරිකන් ඩොලරයට තිබුණු ප්‍රමුඛ ස්ථානය තවමත් එලෙසම තිබෙනවා. 

ජාත්‍යන්තර ගනුදෙනු වලින් අඩකට වඩා තවමත් සිදු වෙන්නේ ඇමරිකන් ඩොලර් වලින්. මේ ගනුදෙනු වලින් සැලකිය යුතු ප්‍රමාණයක් සිදු වන්නේ ඇමරිකාවෙන් පිටතදී වෙනත් රටවල් දෙකක් අතරයි. බැඳුම්කර ඇතුළු ජාත්‍යන්තර ණය ගනුදෙනු වලින් අඩකට වඩා සිදු වන්නේද ඇමරිකන් ඩොලර් වලින්. විදේශ විණිමය හුවමාරු ගනුදෙනු වලින් 90%ක පමණදීම ගනුදෙනුවේ එක පැත්තක් ඇමරිකන් ඩොලර්.

පහතින් තිබෙන්නේ 2022 වසර අවසන් වන විට ලෝකයේ මහ බැංකු වල විදෙස් සංචිත ලෙස පවත්වා ගත් ප්‍රධාන මුදල් ඒකක වල ප්‍රමාණයි. 

මුළු සංචිත ප්‍රමාණය - ඩොලර් බිලියන 11,089.0 (100.0%)

ඇමරිකන් ඩොලර් - ඩොලර් බිලියන 6,471.3 (58.4%)

යුරෝ - ඩොලර් බිලියන 2,270.4 (20.5%)

ජපාන යෙන් - ඩොලර් බිලියන 610.9 (5.5%)

බ්‍රිතාන්‍ය පවුම් - ඩොලර් බිලියන 548.7 (4.9%)

චීන යුවාන් - ඩොලර් බිලියන 298.4 (2.7%)

කැනේඩියානු ඩොලර් - ඩොලර් බිලියන 263.7 (2.4%)

ඕස්ට්‍රේලියන් ඩොලර් - ඩොලර් බිලියන 217.5 (2.0%)

ස්විස් ෆ්‍රෑන්ක් - ඩොලර් බිලියන 25.3 (0.2%)

වෙනත් - ඩොලර් බිලියන 382.9 (3.5%)

මෙම සංයුතියෙහි දැකිය හැකි විශේෂ කරුණක් වන්නේ ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය නියෝජනය කරන චීනයේ මුදල් ඒකකයට තිබෙන සාපේක්ෂව අඩු ජාත්‍යන්තර පිළිගැනීමයි. මේ පිළිබඳව චීනයට ඇති කණස්සල්ල තේරුම් ගැනීමට අපහසු දෙයක් නෙමෙයි. බ්‍රික්ස් මුදල් ඒකක යෝජනාව හරහා ප්‍රධාන වශයෙන්ම මතු වන්නේ මෙම කණස්සල්ලයි. 

එක්සත් රාජධානියට වඩා විශාල ආර්ථිකයක් තිබෙන ඉන්දියාවට මෙන්ම, ඕස්ට්‍රේලියාවට වඩා විශාල ආර්ථිකයන් නියෝජනය කරන රුසියාවට හා බ්‍රසීලයටද මෙවැනිම කණස්සලක් නොතිබෙන්නට හේතුවක් නැහැ. බ්‍රික්ස් කණ්ඩායම සමඟ සිටින දකුණු අප්‍රිකාවේ ආර්ථිකයනම් ඉහත රටවල් හතරේ ආර්ථිකයන්ට සාපේක්ෂව එතරම් විශාල නැහැ.

කිසියම් රටක මුදල් ඒකකයට ජාත්‍යන්තර පිළිගැනීමක් ලැබීමෙන් අදාළ රටට වාසි ගණනාවක් ලැබෙනවා. ඒ අතරින් ප්‍රධාන වාසිය ආයෝජන ගලා ඒම හරහා මුදල් ඒකකයට ඇති වන ඉල්ලුම නිසා පොලී අනුපාතික ඉතා අඩු මට්ටමක පවත්වා ගනිමින් ණය ලබා ගන්නට හැකි වීමයි. දෙවන වාසිය විදේශ ණය වුවද තමන්ගේ මුදල් ඒකකයෙන්ම ලබාගත හැකි නිසා විණිමය අනුපාතය වෙනස් වීමේ අවදානමට මුහුණ දෙන්නට සිදු නොවීමයි. 

ඉහත වාසි තිබුණත්, මෙහි අවාසිද තිබෙනවා. ප්‍රධානම අවාසිය තමන්ගේ මුදල් ඒකකය ඕනෑවට වඩා ශක්තිමත් වීම නිසා අපනයන තරඟකාරීත්වය පවත්වාගත නොහැකි වීමෙන් දිගින් දිගටම පවතින වෙළඳ ශේෂ හිඟයක් ඇති වීමයි. කාලයක සිට දිගටම පවතින ඇමරිකාවේ වෙළඳ ශේෂ හිඟය මගින් පෙන්නුම් කරන්නේ මෙම අවාසියයි.

එකම හේතුව නොවුනත්, ඇමරිකන් ඩොලරයට තිබෙන පිළිගැනීම පසුපස ඇති ප්‍රධානම සාධකය ඇමරිකානු ආර්ථිකයයි. ඇමරිකානු ආර්ථිකය බ්‍රිතාන්‍ය ආර්ථිකය අභිබවා ප්‍රමුඛ ලෝක ආර්ථිකය බවට පත් වීමත්, ඇමරිකන් ඩොලරය බ්‍රිතාන්‍ය පවුම අභිබවා ප්‍රමුඛ මුදල් ඒකකය වීමත් සමාන්තරව සිදු වූ සිදුවීම් දෙකක්. 

චීන ආර්ථිකය තවමත් ඇමරිකන් ආර්ථිකයට වඩා කුඩා වුවත්, බ්‍රික්ස් රටවල් පහේ ආර්ථිකයන් සියල්ල එකතු කළ විට ඇමරිකන් ආර්ථිකයට වඩා විශාලයි. ඒ වගේම, චීන ආර්ථිකය පමණක් වුවද යුරෝපීය සංගමයේ රටවල් සියල්ලේම ආර්ථිකයන්ට වඩා විශාලයි. පහත තිබෙන්නේ 2021 තත්ත්වයයි.

චීනය - ඩොලර් බිලියන 17,734යි 

ඉන්දියාව - ඩොලර් බිලියන 3,176යි 

රුසියාව - ඩොලර් බිලියන 1,779යි 

බ්‍රසීලය - ඩොලර් බිලියන 1,609යි 

දකුණු අප්‍රිකාව - ඩොලර් බිලියන 419යි 

බ්‍රික්ස් රටවල් පහ - ඩොලර් බිලියන 24,717යි 

ලෝක ආර්ථිකයේ පංගුව - 25.6%යි 


ඇමරිකන් ආර්ථිකය - ඩොලර් බිලියන 23,315යි 

ලෝක ආර්ථිකයේ පංගුව - 24.2%යි 


යුරෝපීය සංගමයේ ආර්ථිකය - ඩොලර් බිලියන 17,177යි.

ලෝක ආර්ථිකයේ පංගුව - 17.8%යි 


එසේනම් බ්‍රික්ස් රටවල් පහ එකතු වී මුදල් ඒකකයක් හැදුවොත් ඩොලරය කඩා වැටෙයිද? අඩු වශයෙන් යුරෝවෙන් ඩොලරයට ආ තරමේ තරඟයක් ඇති වෙයිද? 

බ්‍රික්ස් රටවල් පහ එකතු වී මුදල් ඒකකයක් හදා ගත්තා කියා මෙවැනි තත්ත්වයක් ඇති වීමේ ඉඩක් නැහැ. ඊට ප්‍රධානම හේතුව මෙවැන්නක් "නොගැලපෙන රෝද" එකතු කර හදන කරත්තයක් වීමයි. මෙය යුරෝව හදද්දී පැවති තත්ත්වයට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක්.

යුරෝව හදද්දී වගේම දැනටත් යුරෝපීය රටවල් අතර වෙළඳාමෙන් විශාල පංගුවක් එම රටවල් අතරම සිදු වූ වෙළඳාමයි. යුරෝපීය රටවල් අතර වෙළඳාම සඳහා ඇමරිකන් ඩොලරය වැනි කොහේවත් තිබෙන මුදල් ඒකකයක් යොදා ගැනීමට විශේෂ හේතුවක් තිබුණේ නැහැ. මේ කතාව බ්‍රික්ස් රටවල් වලටද වලංගු වුවත්, එම රටවල් අතර සිදු වන වෙළඳාමේ පරිමාව ඉතා කුඩා එකක්. පහත තිබෙන්නේ 2021දී එක් එක් බ්‍රික්ස් රට විසින් අනෙකුත් රටවල් හතරට සිදු කළ අපනයන ප්‍රමාණයේ වටිනාකමයි. 

චීනය - ඩොලර් බිලියන 239.8යි 

ඉන්දියාව - ඩොලර් බිලියන 38.6යි 

රුසියාව - ඩොලර් බිලියන 83.4යි 

බ්‍රසීලය - ඩොලර් බිලියන 95.5යි 

දකුණු අප්‍රිකාව - ඩොලර් බිලියන 18.7යි 

බ්‍රික්ස් රටවල් පහ - ඩොලර් බිලියන 476.0යි 

ලෝක වෙළඳාමේ පංගුව - 2.1%යි 

මේ අනුව, බ්‍රික්ස් රටවල් එකතු වී අලුත් මුදල් ඒකකයක් හදාගෙන එම රටවල් අතර සිදුවන ගනුදෙනු 100%ක්ම එම අලුත් මුදල් ඒකකයෙන් කළත්, එම ගනුදෙනු සියල්ල ලෝක වෙළඳාමෙන් 2.1% පමණයි. මීට සාපේක්ෂව ඇමරිකාවේ ජාත්‍යන්තර වෙළඳ පරිමාව ඩොලර් බිලියන 4,686.1ක් හෙවත් ලෝක වෙළඳාමෙන් 21.0%ක් තරම් විශාලයි. ඒ වගේම, බ්‍රික්ස් රටවල් පහ ඇමරිකාව සමඟ කරන වෙළඳාම පමණක්ම වුවත් බ්‍රික්ස් රටවල් අතර සිදුවන වෙළඳාම මෙන් දෙගුණයක් හෙවත් ලෝක වෙළඳාමෙන් 4.2%ක්. 

බ්‍රික්ස් රටවල් පහේ දළ දේශීය නිෂ්පාදිත එකතුවෙන් 71.7%ක්ම චීනයේ දළ දේශීය නිෂ්පාදිතයයි. එමෙන්ම, මෙම රටවල් අතර වෙළඳාමෙන් 91.0%ක්ම සිදු වන්නේ චීනය සමඟයි. චීනය හැර අනෙක් රටවල් අතර සිදු වන වෙළඳාම මුළු බ්‍රික්ස් වෙළඳාමෙන් 9.0%ක් පමණයි. ඒ නිසා, කිසියම් සූත්‍රයකට අනුව මෙම රටවල් පහේ මුදල් ඒකක සම්බන්ධ කරමින් අලුත් මුදල් ඒකකයක් හැදුවත්, එහි වටිනාකම බොහෝ දුරට තීරණය වන්නේ චීන යුවානයේ වටිනාකම මතයි. අනෙක් මුදල් ඒකක වලට තිබිය හැක්කේ නාමික බලපෑමක් පමණයි. ඒ නිසා, මෙවැනි මුදල් ඒකකයක් හඳුන්වා දීම යනු ප්‍රායෝගිකව චීන යුවානය ජනප්‍රිය කරවීමකට වඩා වැඩි දෙයක් නෙමෙයි.

චීන යුවානය සංචිත මුදල් ඒකකයක් ලෙස ජනප්‍රිය නොවීමට ප්‍රධානම බාධාව වන්නේද චීනයමයි. මෙය අනෙක් බ්‍රික්ස් රට වල මුදල් ඒකක වලටද අදාළ කරුණක්. බ්‍රික්ස් රටවල් කිසිවක ප්‍රාග්ධන ගිණුම් විවෘත නැහැ. එයට සාපේක්ෂව ජනප්‍රිය මුදල් ඒකක හිමි අනෙකුත් රටවල ප්‍රාග්ධන ගිණුම් විවෘතයි. සංවෘත ප්‍රාග්ධන ගිණුමක් ඇති රටක මුදල් ඒකකයක මිලෙන් එහි නියම මිල නිරූපණය වන්නේ නැහැ. ඒ නිසාම, එවැනි මුදලකට සංචිත මුදල් ඒකකයක් ලෙස විශ්වාසය ගොඩ නගා ගැනීමේ හැකියාවක්ද නැහැ.

චීනය කවර හෝ දිනක ප්‍රාග්ධන ගිණුම විවෘත කළහොත් චීනය වෙත බාහිර ප්‍රාග්ධනය ගලා ඇවිත් චීන යුවානය ශක්තිමත් වෙනවා. චීන යුවානය ඩොලරය සමඟ පහසුවෙන් තරඟ කළ හැකි සංචිත මුදල් ඒකකයක් බවට පත් වෙනවා. එහෙත්, ඒ සමඟම චීනයේ අපනයන තරඟකාරීත්වයද නැති වෙනවා. අපනයන මුල් කරගත් චීනයේ ආර්ථික වර්ධනයද මන්දගාමී වෙනවා. 

චීනය හෝ අනෙකුත් කිසිදු බ්‍රික්ස් රටක් මෙම අත්‍යවශ්‍ය පියවර තබන්නට සූදානමක් ඇති බවක් පෙනෙන්නට නැහැ. ඒ නිසාම, චීන යුවානය හෝ අලුතෙන් හදා ගන්නා බ්‍රික්ස් මුදල් ඒකකයක් සංචිත මුදල් ඒකකයක් ලෙස ජනප්‍රිය වීමේ ලොකු ඉඩක් නැහැ. එසේ ජනප්‍රිය වීමම එක්තරා ආකාරයකින් චීනය විසින් ආර්ථික අර්බුදයකට පාර කපා ගැනීමක්. 

ප්‍රාග්ධන ගිණුම විවෘතව නොතිබීමට අමතරව චීන ව්‍යවසාය මත චීන රජයේ මැදිහත්වීම්ද යුවානය ජනප්‍රිය කරවීමට තිබෙන විශාල බාධාවක්. චීන රජයට අවශ්‍ය විටෙක යුවානයේ වටිනාකම මෙන්ම චීනයේ ඇති යුවාන් වත්කම් වල වටිනාකම්ද විශාල ලෙස වෙනස් වන ආකාරයේ බලපෑමක් කළ හැකියි. මෙම අවදානම හමුවේ යුවානය කෙරෙහි බාහිර විශ්වාසය ගොඩ නැගෙන්නේ නැහැ.

කෙසේ වුවත්, ඩොලරයේ ලෝක අධිපත්‍යයෙහි ප්‍රශ්න කිහිපයක්ම තිබෙනවා. ප්‍රධානම ප්‍රශ්නය ඇමරිකාවේ දේශපාලන අධිකාරිය විසින් ඩොලරය දේශපාලන අවියක් ලෙස භාවිතා කිරීමයි. ඩොලරය ලෝකයේ වඩාත්ම විශ්වාසනීය මුදල් ඒකකය බවට පත් වී තිබෙන්නේ ඇමරිකන් ආර්ථිකයේ ශක්තිය මත පදනම්ව මිස ඇමරිකන් දේශපාලන අධිකාරයේ බලපෑම් නිසා නෙමෙයි. එහෙත්, දේශපාලන අරමුණු මත ඇමරිකන් රජය විසින් වරින් වර විවිධ රටවලට සම්බාධක පමුණුවද්දී සිදුවන්නේ ඩොලරය පිළිබඳව ගොඩ නැගී ඇති මෙම විශ්වාසනීයත්වය බිඳ වැටීමයි. 

ඇමරිකාවේ භාණ්ඩාගාර නිලධාරීන් විසින් ඇමරිකානු රජය විසින් ඩොලරයේ ශක්තිය දේශපාලන අවියක් සේ යොදා ගැනීම පිළිබඳව ඔබාමා, ට්‍රම්ප් මෙන්ම බයිඩන් පරිපාලනයටද අනතුරු අඟවා ඇතත්, වෙනත් රටවල මෙන්ම ඇමරිකාවේද දේශපාලන තීරණ වලදී වැඩි අවධානයක් යොමු වන්නේ කෙටිකාලීන ඉලක්ක වලටයි. බ්‍රික්ස් මුදල් ඒකකයක් හැදීම වැනි යෝජනා එන්නේ මෙවැනි හේතු නිසායි. 

17 comments:

  1. මාතෘකාවට අදාල නැතත් මට දැනගන්න දෙයක් තිබෙනවා. ඇමරිකානු ඩොලර් වෙනත් රටවලට නෝට්ටු වශයෙන් යැවීමක් වෙනවාද. වෙනවානම් ඒ මොන හේතු හින්දාද. මම ඉන්න සවුදි අරාබියේ Money Exchange Office එකකින් ඩොලර් ගත්තම මේ දැන් අච්චු ගැහුවද හිතන තරමට අලුත් නෝට්ටු තමයි ලැබෙන්නේ.

    ReplyDelete
    Replies
    1. කැමති කෙනෙකුට ඩොලර් නෝට්ටු රටෙන් අරගෙන යන්න තහනමක් නැහැ. සාමාන්‍යයෙන් පරණ නෝට්ටු ඇමරිකාවේදී ගනුදෙනු සඳහා යොදා ගන්න ප්‍රශ්නයක් නැතත්, වෙනත් රටවලදී සල්ලි මාරු කරන්න යන විට ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා බොහෝ දෙනෙක් රටෙන් පිටට යද්දී බැංකුවට ගිහින් අලුත් නෝට්ටු ඉල්ල ගන්නවා. ඒ නැතත් ඇමරිකාවේදී ඩොලර් 20ට වඩා ලොකු නෝට්ටු භාවිතා වෙන්නේ නැති තරම්. ඒ නිසා ඩොලර් 50, 100 නෝට්ටු සාමාන්‍යයෙන් අලුත් පිට තියෙනවා.

      Delete
    2. Chaminda DissanayakeApril 18, 2023 at 6:16 AM

      ස්තූතියි. මට දැනගන්න ඕන උනේ පුද්ගලිකව ගෙනයන නෝට්ටු ගැන නෙවේ. මහ බැංකුවකින් මහ බැංකුවකට ඩොලර් නෝට්ටු එවීමක් සිදුවෙනවද, සිදුවෙනවනම් මොන හේතු හින්දද කියන එක.

      Delete
    3. නෑ. මම දන්නා තරමින් එහෙම ඩොලර් නෝට්ටු යවන්නේ නැහැ.

      Delete
    4. Chaminda DissanayakeApril 19, 2023 at 2:48 AM

      ස්තූතියි

      Delete
  2. ඇමෙරිකාවයි චීනෙයි අතර ගනුදෙනු වෙන්නෙ ඩොලර්වවලින් විතර්ද? චීනෙට බැරිද ඇමෙරිකාවට කියන්න චීනය ආනයනය කරන බඩු වලට යුආන් වලින් ගෙවන්නම් කියල.

    ReplyDelete
    Replies
    1. පුළුවන්. එහෙම කළා කියලා කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඇමරිකාව චීනයෙන් වැඩියෙන් ආනයන කරන නිසා ඒ යුවාන් ටික චීනයේම නවතිනවා. ඇමරිකන් අපනයනකරුවන්ට ඔය යුවාන් ටික පහසුවෙන්ම චීනයේදීම ඩොලර් වලට විකුණන්න පුළුවන්.

      Delete
  3. ඉකොනොට්මැට්ටා , BRICS වල ඉන්න දකුණු අප්‍රිකාවත් න්‍යෂ්ටික අවි හැකියාව සහිත බලවතෙකු බව අමතක කරන්න එපා. ඔතන ආර්ථික සංධානයක් වගේම යටින් යුධ සංධානයකුත් තිබිය හැකියි.
    මේ comments moderate කරල තියෙන්නෙ ඇයි?

    ReplyDelete
  4. මගේ මතය අනුව, මේ වනවිට ලෝකය තුල ඇති ලොකුම බෙදීම ආර්ථික අදහස් අනුව නොවෙයි, දේශපාලන ක්‍රමය මතයි. චීනය සිටිනෙත් open market/ධනවාදී economic ක්‍රමය සදහායි. නමුත් china සහ USA අතර ගැටුම වඩා සුදුසු democratic ක්‍රමයද, ඒකාදිපති ක්‍රමයද යන අදහස අතරයි.

    ඔබ සිතන පරිදි china සහ USA අතර ගැටුමක් (military) ඇතිවිය හැකිද ? නැතිනම් ඉබේම එකදිපති zone එක (චීන, russia, Iran, එත්ක.) සහ democratic zone එක ලෙස දෙකට බැදී ගමන් කරයිද ?

    ReplyDelete
    Replies
    1. ඒකාධිපති ක්‍රමයක් කියා කියන්නේම වෙළඳපොළට රජයෙන් බලපෑම් සිදු වෙනවා කියන එක. ඒ නිසා, ඒකාධිපති ක්‍රමයක් open market/ධනවාදී ක්‍රමයක් වෙන්නේ නැහැ. නොකර බැරි නිසා ධනවාදී ක්‍රමයක ලක්ෂණ අනුකරණය කිරීමක් පමණයි වෙන්නේ. සෘජු යුදමය ගැටුමක් වෙයි කියා මම හිතන්නේ නැහැ. යම් හෙයකින් එවැන්නක් වුනොත් වෙන්නේ පරිධියේ රටක proxy war එකක් ලෙස. යුක්‍රේනයේ වුනා වගේ. එවැනි දේවල් තව තව වෙන්න පුළුවන්. රුසියාවේ සහ චීනයේ තත්ත්වයන් වෙනස්. පුටින් බලයේ ඉන්නේ මැතිවරණ වලින් දිනලා. යම් මොහොතක චීනයේත් දේශපාලන පෙරළියක් වෙන්න පුළුවන්. ආර්ථික වර්ධනය තිබෙන තුරු මිනිස්සු අනෙක් පීඩාවන් දරාගෙන ඉඳියි. ආර්ථික වර්ධනය නැවතුනොත් තත්ත්වය වෙනස් වෙනවා. මෙය අද හෙට වෙන එකක් නැහැ. නමුත් යම් අවස්ථාවක වෙනවා.

      Delete
  5. ඉකොනො ඔබ ගෝලීය මූල්‍ය තත්ත්වයත්, ආර්ථික විද්‍යා සංකල්ප වගේම දේශපාලනය ගැන වගේම කෘත්‍රිම බුද්ධිය සහ ස්වයංක්‍රීයව යන්ත්‍ර හරහා ස්වයංකරණය වැනි දෑ ගැනත් කතා කරපු නිසා කලකට පෙර ජනප්‍රිය බ්ලොග් කරුවෙක් වුණු අල්තයීර් නමින් බ්ලොග ලියපු බුද්ධි, දේශපාලනය සහ කෘතිම බුද්ධි ගැන යමක් කියන්න කැමතියි.

    කට්ටිය කියන විදිහට ලංකාවේ හොඳ ඇහැක් තිබුණු ඡායාරූප ශිල්පියෙක් කියන ලංකාවේ බුද්ධි ජීවිතය අවසන් කරද්දී ලෝකෙ ප්‍රමුඛතම ඡායාරූප තරඟයක් වන Sony 2023 තරගයේ පළමු තැනට තේරුණ ඡායාරූපයක අයිතිකාරයා ඒ තෑග්ග ප්‍රතික්ෂේප කරනව එම ඡායාරූපය කෘතිම බුද්ධිය, AI භාවිතයෙන් නිර්මාණය කළ බව පවසමින්.

    දැනට ඒ අයි තාක්ෂණය මෙවලමක් ලෙස භාවිතා කරන කට්ටිය ඡායාරූප විතරක් නෙමේ ගීත, ලේඛන කලාව, රියදුරන් නැති කාර්, කෘතිම therapist ල වගේම ඖෂධ නිෂ්පාදනය දක්වාම පසුගිය මාස කීපයේ දී තදින් භාවිත වුණා. මේක ඊලග තලයට ගෙනියමින් මිනිස් මොළේට computer සමග සංනිවේදනය කරන්න හදනවා neuralink නෙට්වර්ක් හරහා, ඔබ මේ ගැන හිතන්නේමොකක් ද?

    මිනිසුන්ට වඩා හැම දෙයක්ම කෘතිම බුද්ධිය හොඳට කරනව. ලංකාවට නිවාඩුවට ගෙදර පැමිණ ලංකාවෙ පාරක Level 2 autonomy තියන කාරෙකක් පදිද්දි වුණත් ඒක හොඳට තේරෙනවා කොච්චර හොඳට අපිව ලේන් එකේ තියාගන්නවද, හදිසියකදී බේරගන්න වද යන්න. නින්ද යෑම පවා එයා තේරුම් ගන්නවා.

    ලෝකෙ තාක්ෂණික දියුණුව සමග නොසිතූ විරූ ලෙස වෙනස්වෙනව හිතාගන්න බැරි වේගෙන්. ඒ වෙනසට හැඩගැහෙන්න බැරිවෙන රටවලට යන එන මං නැති වෙන බවත් පැහැදිලි කරුණක්. මම හිතන්නේ බුද්ධි හිටියේත් ඒ වගේ වැරදි රටක බවයි, ඔහු බලාපොරොත්තු වුණ වෙනස නොවෙන බව දැනගත්තාම එයා ජීවිතය වෙන තැනකට ගෙනියනවා.

    හැබැයි ඒ මොනවා උනත් මම හිතන්නේ බුද්ධිගෙ ක්ෂේත්‍රය අසහනකාරී frustrating දේශපාලනය හෝ ඉලක්කය #systemchange නොවුනානම් බුද්ධි ත් කෘතිම බුද්ධිය මෙන් වඩා තර්කානුකූල සහ නිවැරදි විය හැකිව තිබුණා!

    ඒ අනුව දිවියෙන් සමුගත් Buddhi Prabodha Karunaratne ට සුබ ගමනකට ආසිරි පතා සෙත් වදන් පවසමින් ලංකාවේ 2022 රාජපක්ෂ විරෝධී අරගලයට රැල්ලට සම්බන්ධ වූ මේ බුද්ධි වැනි ගොඩක් තරුණ තරුණියන්, මේ මොහොතේ දි (ඇතැම් රනිල් වික්‍රමසිංහයන් ගේ හිතවාදී සුළු පිරිසක් හැරෙන්නට) බහුතරයක් දැඩිව අපේක්ෂා භංගත්වයට පත් වී frustration නිසා රට හැර යාමේ සිට ජීවිතය හැර යන එක දකින්න වීම ඉතාමත් කණගාටුදායක තත්වයක් නේද? මෙය ඉතාම අවාසනාවන්ත තත්ත්වයක් තරුණ තරුණියන් දේශපාලන ව්‍යාපෘති සඳහා බළල් අත් ලෙස යොදාගන්න ඔවුන්ට අනවශ්‍ය සිහින සිත්තම් මනෝරාජික සිහින දේශයන් මවපූ හැම කෙනෙක්ම මේ මරණවල සහ ජීවිත විනාශයන් වල වගකීම බාර ගන්න අනිවාර්යයෙන් සූදානම් විය යුතුයි. ඔවුන්ට ස්වභාව ධර්මය විසින්ම නිසි දඬුවම් ඉතාමත් ඉක්මනින් ලබා දෙනු නොඅනුමාන ඇති බව මට නම් 100% විශ්වාසයි. කෙසේ වෙතත් මේ ගැන පෝස්ට් එකක් දාලා සාකච්ඡා කිරීම හොඳයි නේද?

    ReplyDelete
    Replies
    1. I'm expecting different opinions on a different perspective from you to be honest, what I'm asking is what is the end result of the so called Anti Rajapakse "aragalaya" …….. in 2022?

      To be honest emphasising my own views, RW and his henchmen retained the power with the full support of western powers and their opprtunitistic ally India. Still, bloody Rajapakse rascals are governing the country under the guidance of RW and his masters, the allies.

      I've been closely involved with the Aragalaya in the beginning and I personally know that there were so many deal people in the aragalaya and they diverted the hopes of the ordinary folks to achieve their agendas. Please do not label all as anti "aragala" people, who are criticising the unsuccess story of the aragalaya as UNP or Rajapaksha bayyos… As educated people of the community, we must understand the reality.

      Delete
  6. ඉන්දියාව බ්‍රික්ස් සහ කොඩ් වගෙ එකිනෙක පෑහෙන්නෙ නැති අලයන්සස් වල ඉන්න එකෙන් මොනවද බලාපොරොත්තු වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. සරලවම කියනවනම් "අවස්ථාවාදය" කියලා කියන්න පුළුවන්. ඉන්දියාව චීනය සමග ගේමක ඉන්නේ බොරුවට. දැනට ඔවුන්ගේ ආර්ථිකය රඳා පවතින්නේ එක්සත් ජනපදය සමග වන වෙළඳගණුදෙනු මත නිසා, නමුත් චීනය සමග හෝ රුසියාව සමග ඔවුන්ට ආර්ථික වාසියක් නෑ දැනට පවතින තත්ත්වය තුළ, හැබැයි ලෝක බල දේශපාලනය වෙනස් වෙලා වෙනස් තත්ත්වයක් මත අවශ්‍ය වන්නේ නම් ඔවුන් ඉක්මනින් පැත්ත මාරු කරලා එක්සත් ජනපදයට පහර දෙන්නට පැකිලෙන එකක් නෑ. ඔවුන් රට පෙරට තියාගෙන කටයුතු කරන අතර චීන රුසියානු සතුරන් නිසා බටහිර කඳවුරට චොයිස් එකක් නෑ ඉන්දියාව ඒ තත්ත්වය උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගන්නා බවද පැහැදිලියි නේද?

      Delete
    2. රුසියාව ඔය රටවල් දෙකම ෂේප් එකේ බැලන්ස් කරන්නේ හරියට ලංකාවේ නන්දසීනි ලොක්ක ආරක්ෂක ලේකම් කාලේ ෆොන්සේකා සහ කරන්නාගොඩ වගේ එකිනෙකට පරස්පර පසමිතුරු සොල්දාදුවන් දෙන්නෙක් ගානට බැලන්ස් කරා වගේ, නමුත් මෑන් ජනාධිපති විදියට හරියට ගේම ගහගන්න බැරි වෙලා චොර වෙලා ගියා, ඒ වගේ තමයි

      ඔය බ්රික්ස් මුදල් ඒකකය මූල්‍ය වශයෙන් බාන්ස් කරගන්න සණස නැත්නම්
      සකසුරුවම් හා ණය ගනුදෙනු පිලිබද සමූපකාර සමිතිය පී. ඒ. කිරිවන්දෙනිය ඒ කාලේ රටපුරා ලංකාවෙ අන්ත ග්‍රාමීය පවුල්වලින් , මරණාධාර සමිති, පන්සලේ දායක සමිති, ගොවි සමිති, දහම් පාසැල් , කාන්තා සමිති වලින් රුපියල දෙක එකතුකරල ගේම ගැහුව විදියට ගේමක් දෙන්න බැරි වෙයිද?

      ලංකාවේ ඒ කාලෙ ගංවල හිටපු උන්ට මොලේ නෑ, ණයට දුන්නෙ උපරිම 50,000 යි ..
      සමිතියෙ වැඩට ගත්තෙ ගමේ පන්සලේ දායක සබාවෙ, මරණාධාර සමිතියෙ , ගොවි සමිතියෙ , සබාපතිල, ලේකම් ල , භාන්ඩාගාරික ල ...

      උනුත් ඉතිං බැහැල ගේම රන් කරා .. උන්ට පොඩි පොඩි ගනන් හොරා කන්නත් චාන්ස් දුන්නා .. නැතිනම් මේක ගෙනියන්න බෑ කියන එක කිරිවන්දෙනිය දැනගෙන හිටියා
      එහෙම කරල ලස්සනට ගේම් එක ප්ලේ කරා ..
      හොද කන්සෙප්ට් එකක් ..

      තමන්ගෙ අතේ තිබිච්ච පොඩි ගානකින් අනුන්ගෙ සල්ලි රන් කරවල ලංකාවෙ බැංකුවක් පටන්ගත්ත කියන්නෙ මොලේ තමයි ..

      ඒ කාලෙ හැමෝම කිරිවන්දෙනිය ගැන මහ ඉහලින් වරණනා කරාට මට පෙනුන එකම දේ පොර ලෝක කපටියෙක් කියන එක ..

      ඒ තරමටම ගං වල උන් ඇන්දුවා ...

      😂😂😂😂😂

      මැද්දේ ලොකු 'ණ' කිරිවන්දෙනිය උන්නැහේගේ උපක්‍රමයක්. එයින් තමා එයා සණස නිර්මාතෘ විදියට පෙනී සිටින්නේ.

      ලංකාවේ සකසුරුවම්කම හා ණය ගනුදෙනු පිළිබඳ සමුපකාර සමිති ඇරඹුවේ කිරිවන්දෙනිය කියා ඔහුගේ අතවැසියන් ප්‍රචාරයක් ගෙන ගියා. එහෙත් ලංකාවේ සකසුරුවම්කම හා ණය ගනුදෙනු ගණුදෙනු සමුපකාර සමිති ව්‍යාපාරය ඇත්තටම ඇරඹුණේ 1906 දී. ඇත්තටම නම් ඒ සන්දියේ සමුපකාර කියන වචනය තිබුනෙත් නෑ. ඒ වෙනුවට භාවිත වුණේ එක්සත් සහකාර යන්නයි.

      කිරිවන්දෙණිය උන්නැහේ කෑගල්ලේ ගමක සකසුරුවම්කම හා ණය ගනුදෙනු සමුපකාර සමිතියක සභාපති වෙලා, ඉන්පසු කෑගල්ල දිස්ත්‍රික් සංගමයේ සභාපති වුණා. පසුව ඔහු ලංකාවේම අග්‍රස්ථ සංවිධානය වන ශ්‍රී ලංකාවේ සැකසුරුවම්කම හා ණය ගනුදෙනු පිළිබඳ සමුපකාර සමිති මහා සංගමයේ සභාපති ද වුණා.
      ගම්උදාව ව්‍යාපාරයේ නිවාස දසලක්ෂයේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ණය දීමට රජය තෝරා ගත්තේ සමුපකාර සමිති. ඒ සඳහා ගම් මට්ටමින් සකසුරුවම් හා ණය ගනුදෙනු සමුපකාර සමිති විශාල සංඛ්‍යාවක් පිහිටවනු ලැබුවා. (තිබුණු සමිති සංඛ්‍යාව මෙන් 4 ගුණයක් පමණ) මේවා අදාළ දිස්ත්‍රික් සංගමයේ සමාජිකත්වය ලබා ගත් අතර ඒ සමිති වලට ණය ලැබුනේ දිස්ත්‍රික් සංගමය වෙතින්. දිස්ත්‍රික් සංගම්වලට ණය ලැබුනේ මහා සංගමයෙන්.
      ඒ සභාපති වූ කිරිවන්දෙණිය උන්නැහේ අමුතුම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා.

      ඒවා බොහෝ ධනාත්මක සංවර්ධනාත්මක ය'යි පෙනුණු නමුත් ඒ ඒ සියල්ල කේන්ද්‍රගත වී තිබුණේ ඔහු සහ ඔහුගේ පවුලේ උදවියයි සකසුරුවම්කම හා ණය ගණුදෙනු සමුපකාර සමිති, සමුපකාර ණය දෙන සමිති හෙවත් "සණස" කළේ කිරිවන්දෙණිය.

      මෙකී "සණස" මූලික කරගනිමින් ඔහු සිය පවුලේ ව්‍යාපාරික කීපයක්ම පිහිටුවා ගත්තා. සණස සංවර්ධන බැංකුව, සණස රක්ෂණ සමාගම etcetc. එනයින් "සණස" නිර්මාතෘ ඔහු තමා. එහෙත් ශ්‍රී ලංකාවේ සකසුරුවම්කම හා ණය ගනුදෙනු පිළිබඳ සමුපකාර ව්‍යාපාරයේ නොවෙයි

      ඒ ඔය කතාවේ සුළු කොටසක් පමණයි.

      මා සමුපකාර ව්‍යාපාරය ගැන ලොකු
      හැදෑරීමක සිටින කෙනෙක්. වෙනත් පොත් කරන අතරේම සමුපකාර ව්‍යාපාරය ගැන ද පොත් දෙකක් මේ වන විට පළ කොට තිබෙනවා. තුන් වන පොත ලියමිනුයි ඉන්නේ. බොහෝ දුරට වැඩ අවසන් කොට ඇති ඒ පොතේ නම මේ වන විටත් තීරණය කොට හමාරයි. එහි නම වනු ඇත්තේ " සමුපකාරය - ඒ කුමක්ද?". ප්‍රකාශක එකඟ වුණොත් මේ අවුරුද්දේ ම එන්නත් පුළුවන්.

      මෙම බ්ලොග් එකේ දුටු පෝස්ට් සහ කොමෙන්ට්ස් සැබැවින්ම මට ප්‍රයෝජනවත් වූ බව ද කිව යුතුයි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.