පසුගිය සටහන පළ කළේ ලංකාවේ විදේශ සංචිත ගැනයි. එහි විදේශ සංචිත ලෙස හැඳින්වූවේ දළ විදේශ වත්කම්. තේරෙන බාසාවෙන් හදිසියකට වියදමට අතේ තියෙන සල්ලි කියා කියමු. හැබැයි මේ සල්ලි කාලයක් තිස්සේ උපයා ඉතිරි කරගත් තමන්ගේම සල්ලි නෙමෙයි. මේ සල්ලිත් ණයට ගත් අනුන්ගේ සල්ලි.
ලංකාව නිදහස ලබද්දී ලංකාව සතුව ඒ විදිහට ඉතිරි කරගත් තමන්ගේම විදේශ වත්කම් තිබුණා. ඒවා නියම විදේශ වත්කම්. දැන් තිබෙන නමට පමණක් විදේශ සංචිත වගේ නෙමෙයි. නිදහසින් පසු අනුගමනය කළ ජාතිකවාදී හා සමාජවාදී ප්‍රතිපත්ති නිසා අවුරුදු පහළොවක් පමණ යද්දී ඒ වත්කම් ඉවර වෙලා ලංකාව ශුද්ධ ණයකරුවෙක් බවට පත් වුනා. තවමත් කතාව වගේම තවත් දශක ගණනක් යන තුරු කතාව වන්නේත් එතැන් සිට කතාවයි.
රටක් සතුව ප්‍රමාණවත් තරමින් තමන්ගේම විදේශ වත්කම් තිබේනම් එවැනි රටකට ගෙවුම් ශේෂ අර්බුද වලට මුහුණ දෙන්න සිදු වන්නේ නැහැ. නමුත්, ණයට ගත් අනුන්ගේ සල්ලි වලින් විදේශ සංචිත පවත්වා ගනිද්දී වරින් වර ඔය ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා. මෙය විසඳුමක් නැති ප්‍රශ්නයක් නෙමෙයි. විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමයි. ඔය ක්‍රමය තුළ සිටින තාක් වරින් වර නැවත නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යන්න සිදු වෙනවා. 1965 සිට ලංකාවේ කතාව ඕකයි. තවත් රටවල් ගණනාවක කතාවත් ඕකයි.
ඉන්දියාව නිදහස ලැබුවේ ලංකාවට ආසන්න කාලයකයි. රටේ ප්‍රමාණයට සාපේක්ෂව නිදහස ලබද්දී ඉන්දියාව සතුව ලංකාව සතු වූ තරම් විදේශ සංචිත තිබුණේ නැහැ. ඒ වගේම, ඉන්දියාව අනුගමනය කළේත් ජාතිකවාදී හා සමාජවාදී ආර්ථික ප්‍රතිපත්තියක්. මෙහි ප්‍රතිඵලයක් විදිහට ඉන්දියාවට ලංකාවටත් කලින් ගෙවුම් ශේෂ අර්බුද යුගයට පා තබන්න වුනා.
ඉන්දියාවට මුල් වරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගන්න සිදු වුනේ 1957දී. එතැන් සිට 1991 දක්වා කාලය තුළ ඉන්දියාවට 7 වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගන්න සිදු වුනා. එහෙත්, 1991දී ඉන්දියාව මේ තත්ත්වය තීරණාත්මක ලෙස වෙනස් කර ගත්තා. ඉන්පසුව, ඉන්දියාවට ගෙවුම් ශේෂ අර්බුද වලට මුහුණ දෙන්න සිදු වී නැහැ. නැවත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගන්න සිදු වී නැහැ.
ලංකාවේ 1977දී සිදු වූ ආකාරයේ වෙළඳපොළ වෙත නැඹුරු වූ ප්‍රතිසංස්කරණ පිළිබඳව මෙන්ම ආර්ථිකය විවෘත කිරීම පිළිබඳවද ඉන්දියාව ගැඹුරෙන් සිතුවේ 1991දී. ඒ අතින් ලංකාව ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටියා. එහෙත්, ලංකාවේ ප්‍රවේශය වූයේ වැඩි වැඩියෙන් විදේශ ණය ගනිමින් රජය මුල් වී ප්‍රාග්ධන ආයෝජන කිරීමයි. ඒ නිසා, ආර්ථිකය විවෘත කිරීමේ හා වෙළඳපොළට වැඩියෙන් ඉඩ දීමේ වාසි හමුවේ වුවත්, ලංකාවේ ගොඩ නැගුනේ අස්ථාවර, භංගුර ආර්ථිකයක්.
වඩා විවෘත හා වෙළඳපොළ වෙත නැඹුරු වූ ආර්ථික ප්‍රතිපත්ති නිසා ලංකාවේ ආර්ථිකය ඉන්දියාවේ ආර්ථිකයට වඩා වේගයෙන් වර්ධනය වුනා. එහෙත්, එයට සමාන්තරව රටේ ශුද්ධ විදේශ බැරකම්ද වේගයෙන් ඉහළ ගියා. ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් ආර්ථික වර්ධනය ගැන සිතු තරමටම ආර්ථික ස්ථාවරත්වය ගැන හිතුවේ නැහැ. එයින් වෙනස්ව, ඉන්දියාව ආර්ථික වර්ධනය ගැන හිතුවේ ආර්ථික ස්ථාවරත්වයද පවත්වා ගනිමිනුයි. ලංකාවේ හා ඉන්දියාවේ ඉරණම් වෙනස් වුනේ මේ හේතුව නිසා.
හැම විටම මෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විසඳුම් හොයන්නේ ඒ වෙලාවේ අතේ සල්ලි නැති ප්‍රශ්නයටයි. රටක ශුද්ධ විදේශ වත්කම් හිඟයක් පැවතීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රශ්නයක් ලෙස දකින්නේ නැහැ. මෙය තේරුම් ගැනීමට අපහසු දෙයක් නෙමෙයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේම ජාත්‍යන්තර සංවිධානයක්. ජාත්‍යන්තර සංවිධානයකට ලෝකයේ හැම රටක් දෙසම එක ලෙස බලනවා මිස එක් රටකට විශේෂත්වයක් දක්වන්න බැහැ. ලෝකයේ හැම රටකටම ශුද්ධ විදේශ වත්කම් පවත්වා ගන්න බැහැ. ශුද්ධ විදේශ වත්කම් තිබෙන රටවල් තියෙන්නනම් ශුද්ධ විදේශ බැරකම් තිබෙන රටවලුත් ලෝකයේ තිබිය යුතුයි. තමන් සිටිය යුත්තේ කොයි ගොඩේද කියා තෝරා ගැනීම අදාළ රටේ ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ වැඩක්.
දශක හයක පමණ කාලයක් තිස්සේ රටක් විදිහට ලංකාවේ ශුද්ධ විදේශ වත්කම් සෘණ පැත්තේ තිබුණත් මහ බැංකුව සතුව ශුද්ධ විදේශ වත්කම් තිබුණා. එවැනි ශුද්ධ විදේශ වත්කම් නොමැතිව ජාතික මුදල් ඒකකය වන රුපියලේ වටිනාකම පවත්වා ගැනීමේ හැකියාවක් කවදාවත්ම ශ්‍රී ලංකා මහ බැංකුව සතු වූයේ නැහැ. ලංකාවේ රුපියලට ලංකාවෙන් පිටතදී කිසිම පිළිගැනීමක් නැහැ.
ඇමරිකාවට, එක්සත් රාජධානියට හෝ ජපානයට තමන්ගේ මුදල් ඒකක වලින් ගෙවා වෙනත් රටවලින් භාණ්ඩ ආනයනය කළ හැකියි. ඒ නිසාම, යම් සීමාවන් තුළ වුවත්, සැබෑ නිෂ්පාදනයක් සිදු නොකර සල්ලි අච්චු ගැසීම මගින්ම වුවත් භාණ්ඩ ආනයනය කළ හැකියි. එහෙත්, ලංකාව වැනි රටකට එසේ කළ නොහැකියි. රුපියල් හුවමාරුවට කිසිවෙකු ලංකාවට භාණ්ඩ හෝ සේවාවන් සපයන්නේ නැහැ. රුපියලේ වටිනාකම රැඳී තිබෙන්නේම ඩොලර් වැනි වෙනත් මුදල් ඒකක වලට හුවමාරු කිරීමේ හැකියාව මතයි.
රුපියල් දී ඩොලර් වැනි වෙනත් මුදල් වර්ග ලබා ගත හැකි බවද විශ්වාසයක්. ඒ විශ්වාසයේ පදනම ශ්‍රී ලංකා මහ බැංකුව සතු ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණයයි. ඒ නිසාම, රුපියල ගනුදෙනු මාධ්‍යයක් ලෙස පිළිගැන්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවශ්‍ය පමණ ශුද්ධ විදේශ සංචිත පවත්වා ගත යුතුයි. එම ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණවත් නොවන්නේනම්, තිබෙන ප්‍රමාණය හා ගැලපෙන පරිදි රුපියල අවප්‍රමාණය වීමට ඉඩ හැරිය යුතුයි. මෙය නොකිරීමේ අනිවාර්ය ප්‍රතිඵලය ගෙවුම් ශේෂ අර්බුදයක්.
වෙනත් ඕනෑම මහ බැංකුවක් මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව විසින්ද කාලයට අනුරූපව හා ආර්ථික වර්ධනයට අනුරූපව රුපියල් සැපයුම ඉහළ දමනවා. එහි වරදක් නැහැ. මේ විදිහට රුපියල් සැපයුම ඉහළ දමද්දී ඊට සමාන්තරව මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම්ද ඉහළ යා යුතුයි. මහ බැංකුව විසින් විදේශ විණිමය මිල දී ගැනීම මගින් ශුද්ධ විදේශ වත්කම් ඉහළ දමා ගත හැකියි. එසේ නැත්නම් රුපියල අවප්‍රමාණය වීමට ඉඩ හරිමින් දැනට තිබෙන විදේශ වත්කම් ප්‍රමාණයේ රුපියල් වටිනාකම ඉහළ දමාගත හැකියි. ඔය දෙකෙන් එකක්වත් නොකර රුපියල් සැපයුම වැඩි කළොත් ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දෙන්න සිදු වෙනවා.
රූප සටහනෙහි දැකිය හැකි පරිදි, 2020 පෙබරවාරි පමණ වන තුරු මහ බැංකුව සතු වූ ශුද්ධ විදේශ වත්කම් ක්‍රමයෙන් ඉහළ ගියා. මෙය සාමාන්‍ය තත්ත්වයයි. එහෙත් ඉන්පසුව මේ ප්‍රවණතාව වෙනස් වුනා. ඩොලරයක මිල ප්‍රමාණවත් තරමින් ඉහළ යාමට නොදී දිගින් දිගටම සල්ලි අච්චු ගහද්දී මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් වේගයෙන් අඩු වෙන්න පටන් ගත්තා. 2021 අගෝස්තු වෙද්දී මහ බැංකුවේ විදේශ බැරකම් විදේශ වත්කම් ඉක්මවා ගොස් ශුද්ධ විදේශ වත්කම් සෘණ පැත්තට ගියා. ඒ කියන්නේ මහ බැංකුව බංකොලොත් වුනා.
මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් සෘණ පැත්තට යාමෙන් පසුවද තවතවත් ණය වීම නැවතුනේ නැහැ. මහ බැංකුව විසින් අසල්වැසියන්ගෙන්, විශේෂයෙන්ම ඉන්දියාවෙන්, ඩොලර් ණයට ගනිමින් එම ඩොලර් අඩු මිලට වෙළඳපොළේ විකිණුවා. මේ වෙද්දී දළ සංචිත යම් තරමකින් වැඩි වී ඇතත්, තවමත් මහ බැංකුව ශුද්ධ ණයකරුවෙක්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලැබුණා කියා ඉහත තත්ත්වය ක්ෂණිකව වෙනස් වෙන්නේ නැහැ. එක පැත්තකින් ශේෂ පත්‍රයට වත්කමක් එකතු වෙද්දී අනෙක් පැත්තෙන් ඊට සමාන බැරකමක්ද එකතු වෙනවා. ඒ නිසා, ශුද්ධ විදේශ වත්කම් තත්ත්වයේ කිසිදු වෙනසක් සිදු වෙන්නේ නැහැ. කෙටියෙන් කිවුවොත්, ණය අරගෙන විදේශ වත්කම් වැඩි කරගැනීම මගින් මේ අවුල ලිහන්න බැහැ.
අවුල ලිහන්නනම් මහ බැංකුවට රුපියල් ගෙවා වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්න වෙනවා. ඒ ක්‍රමය මගින් සංචිත වැඩි කර ගන්න වෙනවා. වෙන විසඳුමක් නැහැ.
මහ බැංකුවට රුපියල් ගෙවා වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්න පුළුවන් වෙන්නේ වෙළඳපොළේ ප්‍රමාණවත් ඩොලර් අතිරික්තයක් තිබුණොත් පමණයි. අපනයන ආදායම්, සේවා ආදායම්, ශ්‍රමික ප්‍රේෂණ ආදී කවර හෝ ක්‍රමයකින් එම අවශ්‍ය ඩොලර් ප්‍රමාණය රටට පැමිණිය යුතුයි. රටට ඩොලර් ආවේ නැත්නම් මහ බැංකුවට ඩොලර් මිල දී ගන්න ක්‍රමයක් නැහැ. ඒ නිසාම, ශුද්ධ විදේශ වත්කම් වැඩි කරගන්නත් ක්‍රමයක් නැහැ. ඒ කියන්නේ, රුපියලට නැවත වටිනාකමක් ලබා දීමේ හැකියාවක් නැහැ.
වෙළඳපොළේ යම් ඩොලර් අතිරික්තයක් තිබුණත් එම අතිරික්තය ඉක්මවා මහ බැංකුව විසින් වෙළඳපොළෙන් වැඩියෙන් ඩොලර් මිල දී ගන්න ගියොත් එහි ප්‍රතිඵලය වන්නේ ඩොලරයක මිල ඉහළ යාමයි. ශුද්ධ විදේශ වත්කම් ධන පැත්තේ ඇති වෙලාවකනම් මෙයින් වෙන්නේ එම වත්කම් (රුපියල් අගය) තවත් ඉහළ යාමයි. නමුත් ශුද්ධ විදේශ වත්කම් සෘණ පැත්තේ තියෙද්දී ඩොලරයක මිල ඉහළ යාමෙන් එම සෘණ අගය ඉහළ යනවා. ඒ නිසා, මේ වගේ වෙලාවක වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්න එකත් දෙපැත්ත කැපෙන ආයුදයක්. ඒ නිසාම, මේ වැඩේ කරන්න වෙන්නේ පරිස්සමට හා සීරුමාරුවට.
ඉහත කරුණු සියල්ල සලකා බලමින්, යෝජිත සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ තුළ මහ බැංකුවේ ශුද්ධ විදේශ බැරකම් අඩු කර ගෙන ක්‍රමයෙන් ශුද්ධ විදේශ වත්කම් ගොඩ නගා ගැනීම සඳහා වැඩ පිළිවෙළක් සකස් කර තිබෙනවා. මේ වැඩ පිළිවෙළ අනුව, මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්නේ ඉලක්ක සීමාවක් තුළයි. ඕනෑවට වඩා හදිසියෙන් හෝ වැඩියෙන් ඩොලර් මිල දී ගන්න යන්නේ නැහැ. විණිමය අනුපාතයද ස්ථාවරව තබා ගනිමින් සංචිත ගොඩ නගා ගත හැක්කේ ඒ ක්‍රමයටයි.
මාර්තු අවසානයේදී ඩොලර් මිලියන 2,755ක් වූ මහ බැංකුවේ දළ නිල සංචිත මේ වසර අවසානයේදී ඩොලර් මිලියන 4,431 දක්වා ඉහළ නංවා ගැනීම යෝජිත සාර්ව ආර්ථික වැඩ පිළිවෙළේ ඉලක්කයයි. එහෙත්, ඒ වන විටද මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් සටහන් වනු ඇත්තේ රුපියල් බිලියන සෘණ 480ක් ලෙසයි. මෙම අගය ධන පැත්තට යනු ඇත්තේ 2024 වසර තුළයි. අපහසුවක් නොමැතිව රුපියලේ වටිනාකම පවත්වාගත හැකි මට්ටමකට ඉහළ යනු ඇත්තේ 2026 වසර තුළයි. එතෙක්, ශ්‍රී ලංකා රුපියලේ ශක්තිය වනු ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රැඳී සිටීම නිසා ලැබෙන සහතිකයයි.
ඉකොනෝ දන්නවද මෙල්බන් සිට කටුනායක ආ ශ්‍රීලංකන් ගුවන්යානය අයහපත් කාලගුණය පිට දමා මත්තලට යවපු කතාව? ඒ විතරද මගීන් ඊට පස්සෙ සාමාන්‍ය අශෝක් ලේලන්ඩ් බස්වලින් කොළඹට ගෙනත්? මේකට විරෝධතාවක් සංවිධානය කර දූෂිත රනිල් රාජපක්ෂ පාලනය එලවා දැමීමට පියවර ගත යුතුයි. මෙය කේන්ද්‍ර කොට අලුත්ම අරගලයකට මුල් පුරමු
ReplyDelete