Tuesday, June 27, 2023

සති අන්තයේදී ණය හුවමාරුව අවසන් වෙයිද?


මේ සති අන්තය තුළ සිදු විය හැකි දේ පිළිබඳව අද හෝ හෙට විස්තරාත්මක සටහනක් ලියන්නට මුලින්ම සැලසුම් කර තිබුණත්, නිවාඩු දින ගැන පළ කළ සටහනට ලැබී තිබුණු ප්‍රතිචාර අනුව, තරමක් කෙටි සටහනක් ඊයේ දිනයේදීම ලියා පළ කළා. අද අපි මේ ගැන තවත් ටිකක් කතා කරමු. 

මහ බැංකුවේ හා මුදල් අමාත්‍යාංශයේ ඉහළම නිලධාරීන් හා දේශපාලන අධිකාරියේ ඉහළම තට්ටුවෙන් පසුව සිදු විය හැකි දේ පිළිබඳව වැඩිම අවබෝධයක් ඇති කණ්ඩායම සේ සැලකිය හැක්කේ වාණිජ බැංකු වල භාණ්ඩාගාර දෙපාර්තුමේන්තු වල සේවය කරන නිලධාරීන් පිරිසයි. අද පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ ප්‍රතිඵල අනුව පෙනී යන්නේ ඔවුන්ටද මේ පිළිබඳව තොරතුරු කිසිවක් ලැබී නැති බවයි. ඒ කියන්නේ බැංකුකරුවන් හා රජය/ මහ බැංකුව අතර කිසිදු අවිධිමත් මූලික සාකච්ඡාවක් සිදු වී නොමැති බවයි.

මෙවැනි තත්ත්වයක් තුළ මුලින්ම සිදු විය යුතු හා සිදු වීමට නියමිත දෙය රජයේ පාර්ශ්වයෙන් බැංකුකරුවන් ඇතුළු භාණ්ඩාගාර බැඳුම්කරහිමියන් වෙත මූලික යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබීමයි. ඊට පෙර, ඒ සඳහා කැබ්නට් මණ්ඩලයේ අනුමැතිය ලබාගත යුතුව තිබෙනවා. ඉන් අනතුරුව, පාර්ලිමේන්තුවේ අනුමැතියද ලබා ගත යුතු වෙනවා. 

සාමාන්‍ය මූලධර්මයක් ලෙස කැබිනට් මණ්ඩල සාමාජිකයින් විසින් එහිදී ගන්නා තීරණ හා සාකච්ඡා කරන දේ පිළිබඳව රහස්‍යභාවය සුරැකීමට බැඳී සිටින නමුත් කැබ්නට් මණ්ඩල අනුමැතිය ලැබූ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමෙන් පසුව ඉතිරි කටයුතු පාරදෘශ්‍ය ලෙස කිරීම සාමාන්‍ය ක්‍රමයයි. 

රජයේ මූලික යෝජනා පිළිබඳව බැඳුම්කරහිමියන් දැනුවත් වූ පසුව, වෙළඳපොළ කම්පනයක් ඇති වීම සඳහා යෝජනාවලියට පාර්ලිමේන්තු අනුමැතිය ලැබීම හෝ නොලැබීම අදාළ වන්නේ නැහැ. එම කම්පනය කොහොමටත් ක්ෂණිකව ඇති වෙනවා. ඒ නිසා, පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා තවදුරටත් රහසිගතව තබා ගැනීමේ තේරුමක් නැහැ. 

මේ අනුව, කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසුව, පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබීමට පෙර, අදාළ මූලික යෝජනා ප්‍රසිද්ධ කරනු ලැබීමට ඉඩ තිබෙනවා. ඒ වගේම, වත්මන් පාර්ලිමේන්තුවේ පවතින බලතුලනය අනුව පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම බොහෝ දුරට සංදර්ශනාත්මක කටයුත්තක් පමණක් විය හැකියි. 

මෙහිදී විශේෂයෙන් කිව යුත්තේ මෙම වෙළඳපොළ කම්පනය සිදුවීමට නියමිතව ඇත්තේ භාණ්ඩාගාර බැඳුම්කර හා අදාළව පමණක් බවයි. භාණ්ඩාගාර බිල්පත් ආයෝජන හෝ බැංකු වල ඇති ස්ථිර තැන්පතු ආදිය කෙරෙහි මෙයින් සෘජු බලපෑමක් සිදු වීමේ ඉඩක් නැහැ. 

රජයට බලහත්කාරයෙන් භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ හැකියාවක් නැහැ. මෙහිදී සිදු වනු ඇත්තේ දැනට නිකුත් කර ඇති භාණ්ඩාගාර බැඳුම්කර වෙනුවට වඩා දිගු කාලයකින් කල් පිරෙන භාණ්ඩාගාර බැඳුම්කර ස්වේච්ඡාවෙන් හුවමාරු කර ගැනීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබීමයි. මෙය, පෙර ලිපියක විස්තර කර ඇති, ඝානාවේ සිදු වූ දෙයට සමාන දෙයක් වනු ඇති බව මගේ අදහසයි. 

මේ ආකාරයේ වැඩපිලිවෙළක් සාර්ථක වීමටනම් දැනට නිකුත් කර තිබෙන භාණ්ඩාගාර බැඳුම්කර වලින් සැලකිය යුතු කොටසක් අදාළ බැඳුම්කරහිමියන් විසින් ස්වේච්ඡාවෙන් අලුතෙන් නිකුත් කරන බැඳුම්කර සමඟ හුවමාරු කරගත යුතුයි. හුවමාරුවෙන් පාඩුවක් සිදුවේනම් එවැනි ස්වේච්ඡා හුවමාරුවක් සිදු වීමේ ඉඩක් නැහැ. 

මෙහිදී රජයේ පාර්ශ්වයට තිබෙන එක් සාපේක්ෂ වාසියක් වන්නේ භාණ්ඩාගාර බැඳුම්කර වලින් සැලකිය යුතු කොටසක් රජයේම කොටස් සේ සැලකිය හැකි, සේවක අර්ථසාධක අරමුදල හා රාජ්‍ය බැංකු සතුව තිබීමයි. එම බැඳුම්කර අලුත් බැඳුම්කර වර්ගයක් හා හුවමාරු කර ගනු ලැබුවහොත්, ඒ හේතුව නිසාම අලුත් බැඳුම්කර වල ද්‍රවශීලතාව ඉහළ ගොස් පැරණි බැඳුම්කර වල ද්‍රවශීලතාව පහත වැටෙනවා. ඒ හේතුවෙන් අනෙක් ආයතන වල බැඳුම්කරද හුවමාරු කිරීමට පෙළඹුමක් ඇති වෙනවා. ඊට අමතරව මහ බැංකුව සතු භාණ්ඩාගාර බිල්පත්ද අලුතෙන් නිකුත් කරන දිගුකාලීන භාණ්ඩාගාර බැඳුම්කර බවට පරිවර්තනය කරනු ලැබුවහොත් හුවමාරු කිරීම සඳහා වන පෙළඹුම තවත් ඉහළ යනවා. කෙසේ වුවද, මෙය තීරණය වනු ඇත්තේ අලුත් බැඳුම්කර වෙනුවෙන් ගෙවීමට යෝජිත කූපන් පොලී අනුපාතික හා කල් පිරීමේ කාල මතයි.

ඝානාවේ අත්දැකීම් අනුව, මෙවැනි ස්වේච්ඡා හුවමාරුවක් සති අන්තය තුළ සිදු වී අවසන් වීමේ විශාල ඉඩක් පෙනෙන්නට නැහැ. රජය බැඳුම්කර හුවමාරු කිරීම පිළිබඳව තීරණය කිරීම සඳහා සති කිහිපයක පමණ කාල රාමුවක් ලබා දෙන්නට වැඩි ඉඩක් තිබෙනවා. හුවමාරුව නිසා එක් එක් බැංකුවට සිදු විය හැකි වාසි අවාසි සලකා බැලීම දින දෙක තුනකින් කළ හැකි දෙයක් නෙමෙයි. එම කාලය තුළ දැකිය හැකි වන ප්‍රගතිය අනුව, රජය විසින් මුල් වටයේදී ඉදිරිපත් කෙරෙන යෝජනා පසුව වරක් හෝ කිහිප වරක් සංශෝධනයට ලක් කරනු ලැබීමේ කිසියම් ඉඩක්ද තිබෙනවා. ඇතැම් විට එසේ නොකර කාලය දිගු කිරීමක් කරන්නත් පුළුවන්. බැඳුම්කරහිමියන්ගෙන් වැඩි පිරිසක් මුල් යෝජනාවලියට ප්‍රතිචාර දක්වනු ලැබුවහොත් එය රජය විසින් ලබාගන්නා විශාල ජයග්‍රහණයක්.

යම් හෙයකින් රජයේ මූලික යෝජනා පසුව වෙනස් වුවද එසේ වෙනස් වන්නේ පළමු යෝජනා වල ආකෘතිය ඔස්සේම බැවින් මෙම ණය හුවමාරු යෝජනාව නිසා ඇති වන වෙළඳපොළ කම්පනය සමනය වීම බැංකු නිවාඩු කාලය තුළ සිදු විය හැකියි. එමෙන්ම, සිදු වන වෙනස්කම් එක් එක් බැංකුවේ ගිණුම් කෙරෙහි බලපාන ආකාරය වෙනස් නිසා මෙම යෝජනා ප්‍රසිද්ධ වීමෙන් පසුව, ඉදිරි සතිය තුළ, වාණිජ බැංකු වල කොටස් මිල ගණන් වල විචලනයන් සිදු විය හැකියි. ඒ හැරුණු විට පාරිභෝගික තැන්පතු වලට බලපාන වෙනසක් සිදු වෙන එකක් නැහැ.

මේ කිසිවක් පුරෝකථන නෙමෙයි. මේ කියූ සියල්ල පැය විසිහතරක් ඇතුළත නිවැරදි නොවන බව පෙනී යා හැකි අනුමාන පමණයි. උද්ධමනය වැනි සාර්ව ආර්ථික විචල්‍ය වල හැසිරීම සෑහෙන තරම් නිවැරදිව පුරෝකථනය කළ හැකි වුවත්, ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් ගන්නට ඉඩ තිබෙන තීරණ පිළිබඳව කළ හැක්කේ අනුමාන කිරීමක් පමණයි. කෙසේ වුවත්, අප මෙම අනුමාන සිදු කරන්නේ රජය සතුව දැනට තිබෙන විකල්ප පිළිබඳව විශ්ලේෂණය කිරීමෙන් පසුවයි. 

කෙටියෙන් කිවුවොත් දැනට ප්‍රකාශිත දේ සහ ජාත්‍යන්තර අත්දැකීම් අනුව මගේ අදහස වන්නේ භාණ්ඩාගාර බැඳුම්කර ස්වේච්ඡාවෙන් හුවමාරු කර ගැනීම සඳහා ණයහිමියන් වෙත විකල්ප ඉදිරිපත් කරමින් හා යම් කාලයක් ලබා දෙමින් රජය විසින් ඉදිරිපත් කරන මූලික යෝජනාවලියක් ඉදිරි දින දෙක තුළ ප්‍රකාශයට පත් විය හැකි වුවත්, මෙම කටයුත්ත අවසන් වීම සඳහා අවම වශයෙන් සති කිහිපයක්වත් ගත විය හැකි බවයි. ඒ අතර, ලබන සතියේ බ්‍රහස්පතින්දා (ජූලී 6) මහ බැංකුව විසින් නැවතත් සැලකිය යුතු ලෙස ප්‍රතිපත්ති පොලී අනුපාතික පහත දැමීමටද ඉඩ තිබෙනවා.

1 comment:

  1. රජයේ වාහන වාෂ්ප වෙනවා, එකක් දෙකක් නොව දාස් ගණන්
    වැදගත් ලිය-කියවිලි හෙම එහෙමත් වෙලා තියෙනවා අතුරුදහන්
    එව්වයෙ නිම් නැත- නවතින්නෙත් නැත, නඩු ඇත්තෙත් නැත අනේ ඉතිං
    කියයි කතන්දර- සිදු වෙයි අණ්ඩර තවත් කප්පරක් කල් යනකං

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.