Monday, July 3, 2023

භාණ්ඩාගාර බැඳුම්කර අයිති කාටද?

විශ්‍රාම පාරිතෝෂික අරමුදල් හැර අනෙකුත් ආයතන හා පුද්ගලයින් සතු වූ භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත නොකළ බව දැන් අප සියල්ලන්ම දන්නා කරුණක්. පහත තිබෙන්නේ 2022 වසර අවසානයේදී භාණ්ඩාගාර බැඳුම්කර වල අයිතිය බෙදී ගොස් තිබුණු ආකාරයයි. පසුගිය මාස හය තුළ මෙම සංයුතියේ විශාල වෙනසක් වී තිබීමේ ඉඩකඩක් නැහැ.

මහ බැංකුව - රුපියල් බිලියන 22යි (0.3%)

බලපත්‍රලාභී වාණිජ බැංකු - රුපියල් බිලියන 3,116යි (35.7%)

බලපත්‍රලාභී විශේෂිත බැංකු - රුපියල් බිලියන 753යි (8.6%)

බලපත්‍රලාභී මූල්‍ය සමාගම් - රුපියල් බිලියන 11යි (0.1%)

සංස්ථා - රුපියල් බිලියන 153යි (1.8%)

රක්ෂණ ආයතන - රුපියල් බිලියන 310යි (3.6%)

සේවක අර්ථසාධක අරමුදල - රුපියල් බිලියන 3,174යි (36.4%)

වෙනත් විශ්‍රාම පාරිතෝෂික අරමුදල් - රුපියල් බිලියන 546යි (6.3%)

රාජ්‍ය ආයතන, අරමුදල් හා රාජ්‍ය ව්‍යවසාය - රුපියල් බිලියන 208යි (2.4%)

තනි පුද්ගලයින් (දේශීය) - රුපියල් බිලියන 102යි (1.2%)

ප්‍රතිමිලදී ගැනීම් - රුපියල් බිලියන 300යි (3.4%)

වෙනත් - රුපියල් බිලියන 12යි (0.1%)

විදේශ ආයෝජකයින් - රුපියල් බිලියන 13යි (0.1%)

එකතුව - රුපියල් බිලියන 8,722යි (100.0%)

ප්‍රාථමික ගැනුම්කාර සමාගම් ගැන කිහිප දෙනෙක්ම අසා තිබුණු නිසා ඒ ගැන කියනවානම්, ඇතැම් වාණිජ බැංකු විසින් රාජ්‍ය සුරැකුම්පත් ගනුදෙනු කිරීම සඳහා වෙනම උප-සමාගමක් හදලා තිබෙනවා. නමුත්, මෙය නීතිමය වෙනසක් පමණයි. ඔය විදිහේ ප්‍රාථමික ගැනුම්කාර ආයතන කියන්නේ බැංකු වලම කොටසක්. ඒ හැරුණු විට, බැංකු වලට සම්බන්ධයක් නැති ස්වාධීන ප්‍රාථමික ගැනුම්කාර සමාගම් දැනට ක්‍රියාත්මකව තිබෙන්නේ හතරක් පමණයි.

ප්‍රාථමික ගැනුම්කාර සමාගම් කියන්නේ තැරැව්කාර සමාගම් මිසක් ආයෝජන සමාගම් නෙමෙයි. සේවක අර්ථසාධක අරමුදල ඇතුළු විශ්‍රාම පාරිතෝෂික අරමුදල්, වාණිජ බැංකු හා අනෙකුත් බැංකු, රක්ෂණ සමාගම් ආදිය රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගන්නේ තමන්ගේම අරමුදල් ආයෝජනය කරන්න. වාණිජ බැංකු විසින් ප්‍රාථමික ගැනුම්කාර සමාගම් ලෙස කටයුතු කරමින් වෙනත් අය වෙනුවෙන්ද ආයෝජන කරන නමුත් වැඩි වශයෙන්ම වෙන්නේ එම සමාගම් වල අරමුදල්ම ආයෝජනය කරන එකයි.

බැංකු නොවන ප්‍රාථමික ගැනුම්කාර සමාගම් සතුව මෙවැනි විශාල අරමුදල් නැහැ. ඒ අයගේ ප්‍රධාන ව්‍යාපාරික කටයුත්ත වෙනත් අයගේ සල්ලි වලින් රාජ්‍ය සුරැකුම්පත් මිල දී ගැනීම හා විකිණීම කරන්න උපකාරී වෙමින් ඒ වෙනුවෙන් කොමිස් මුදලක් ලබා ගැනීම. ඒ නිසා, පසුව විකිණීම සඳහා අතේ තියාගන්න තොග යම් ප්‍රමාණයක් හැරුණු විට මේ සමාගම් සතුව විශාල රාජ්‍ය සුරැකුම්පත් තොග නැහැ. මේ අය කරන්නේ පොඩි අරමුදල් ප්‍රමාණයක් අතේ තියාගෙන ලොකු රෝලක් ගහන එක. 

මෙවැනි බැංකු නොවන ප්‍රාථමික ගැනුම්කාර සමාගම් සතුව තිබෙන භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණය ඇතුළත්ව තිබෙන්නේ ඉහත "සංස්ථා" යටතේ තිබෙන රුපියල් බිලියන 153 ඇතුළේ. මේ ගොඩට බැංකු නොවන ප්‍රාථමික ගැනුම්කාර සමාගම් වලට අමතරව මූල්‍ය කල්බදුකරණ ආයතන (ලීසිං සමාගම්), අනෙකුත් විවිධ පෞද්ගලික සමාගම් වගේම අන්යෝන්ය අරමුදල් ආදී සමාගම් හා අරමුදල් සියල්ලම ඇතුළත්. ප්‍රාථමික ගැනුම්කාර සමාගම් සතුව තිබෙන භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණය මුළු බැඳුම්කර ප්‍රමාණයෙන් 1.75%ක් පමණක් වන ඔය ගොඩෙනුත් කොටසක් පමණයි.

No comments:

Post a Comment

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.