Thursday, July 13, 2023

තවත් අවදානම් අධිභාරයක් එකතු වෙලාද?


කාලෙකට පස්සේ අද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් පැවැත්වුණා. ඊට පෙර, පසුගිය මාස හතරේම භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි පැවැත්වුණේ නැහැ. මාර්තු 13 දින පැවති අන්තිම වෙන්දේසියේදී 18% හා 22% කූපන් පොලී ගෙවන භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි කෙරුණා. එම වෙන්දේසියේදී අලෙවි වූ මිල ගණන් අනුව, ඵලදා අනුපාතික 29.99% හා 28.11% තරම් ඉහළ මට්ටමක පැවතුණා. 22.99%ක් ගෙවලත් 22% කූපන් බැඳුම්කරයෙන් ඉතා සුළු කොටසක් පමණයි විකිණුනේ. 

ඒ අන්තිම වෙන්දේසියට සාපේක්ෂව බැලුවොත්, මේ වන විට ඵලදා අනුපාතික විශාල ලෙස පහත වැටී තිබෙනවා. අද වෙන්දේසියට දැම්මේ 9% හා 11% කූපන් පොලී ගෙවන බැඳුම්කර. ඒවා පිළිවෙළින් 15.74%ට හා 15.67%ට අලෙවි වුනා. ඕනෑනම් මාස හතරකට පෙර පැවති තත්ත්වය එක්ක සංසන්දනය කරලා බාගෙට බාගයක් අඩුවෙලා කියන්න පුලුවන්. හැබැයි ඔය මාස හතරේ සිදු වූ දේවල් සහ රජය හා මහ බැංකුවේ අපේක්ෂාවන් එක්ක බැලුවහම මේ අනුපාතික ඒ තරම්ම අඩු නැහැ. 

පසුගිය මාර්තු වෙද්දී උද්ධමනය තිබුණේ 50% මට්ටමටත් ඉහළින්. මේ වෙද්දී උද්ධමනය 12% දක්වා අඩු වෙලා. ඔය අතර මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික 4.5%කින් අඩු කළා. දේශීය ණය ප්‍රතිව්‍යුහකරණය හා අදාළ කළු පෙට්ටිය විවෘත කෙරුණා. වෙන්දේසියට දැමූ බැඳුම්කර වෙනුවෙන් ගෙවන 9% හා 11% කූපන් පොලී අනුපාතික වලින් පොලී අනුපාතික හා අදාළව මහ බැංකුවේ හා රජයේ අපේක්ෂාව තියෙන්නේ කොයි වගේ තැනකද කියලා හිතාගන්න අමාරු නැහැ. නමුත් වෙළඳපොළ තවමත් ඒ පොලී අනුපාතික භාර ගන්න සූදානම් නැහැ. ඒ ඇයි?

මේ කරුණට තවත් එකතු කිරීමක් විදිහට ඊයේ පැවැත්වුණු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියද සාර්ථක එකක් නොවූ බව කියන්න පුළුවන්. රුපියල් බිලියන 160ක් වෙන්දේසියට දැම්මත් විකුණගන්න පුළුවන් වුනේ එයින් රුපියල් බිලියන 99.7ක් පමණයි. ඒ කෙටිකාලීන පොලී අනුපාතික 1.29%කින් ඉහළ යන්න ඉඩ දුන්නටත් පස්සේ. 

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ කළු පෙට්ටිය ඇරුණු පෙර සතියේ දැකිය හැකි වූයේ වෙනස් තත්ත්වයක්. පසුගිය සතියේදී මාස-3 පොලී අනුපාතික 5.21%කින්ද, මාස-6 පොලී අනුපාතික 3.56%කින්ද, මාස-12 පොලී අනුපාතික 3.13%කින්ද පහළ ගියා. සතියකට පසුව එම හැරවුමෙන් යම් කොටසක් ආපහු හැරිලා. ඊට අමතරව ද්වීතියික වෙළඳපොළේ බැඳුම්කර වල ඵලදා අනුපාතික 9.57% ප්‍රමාණයේ අඩුවීමක් දක්වා විශාල ලෙස පහළ ගියා. අද බැඳුම්කර වෙන්දේසියේ ප්‍රතිඵල අනුව පෙනෙන්නේ එම හැරවුමෙන් යම් කොටසක්ද ආපසු හැරී ඇති බවයි. 

සතියක් ඇතුළත මේ ආකාරයෙන් වෙළදපොළ මනෝගතීන් (market sentiment) වෙනස් වුනේ කොහොමද?

දිගුකාලීන ආයෝජන වලදී ආයෝජකයෙකු සැලකිය යුතු අවදානමකට මුහුණ දෙනවා. අවුරුදු ගණනක් ඉස්සරහට මොනවා වෙයිද කියලා දන්නේ කවුද? එකම ආණ්ඩුව අවුරුදු විස්සක් තිහක් තියෙන්නේ නැහැ. ආණ්ඩු වෙනස් වෙද්දී ප්‍රතිපත්ති වෙනස් වෙනවා. ඊට අමතරව, නොහිතන දේවල් වෙන්න පුළුවන්. කෝවිඩ්, සුනාමි එයි කියලා කලින් හිතුවේ කවුද? මේ සියලුම අවදානම් අවදානම් අධිභාරයක් විදිහට ඵලදා අනුපාතිකයට එකතු වෙනවා.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අවදානම අවදානම් අධිභාරයක් ලෙස බැඳුම්කර ඵලදා අනුපාතික වලට එකතු වී තිබුණා. දැන් එය ඉවත් වෙලා. එහෙත් මෙය ආයෝජකයින් විසින් මුහුණ දුන් අවදානම් අධිභාරයෙන් එක් කොටසක් පමණයි. රටේ ඉදිරි දේශපාලන ප්‍රවණතා මොන වගේ වෙයිද, දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ කොයි තරම් කාලයක් ඔය විදිහට යයිද වගේ දේවල් ගැන කාටවත්ම හරියටම හිතා ගන්න බැහැ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා සේවක අර්ථසාධක අරමුදලට කොපමණ පාඩුවක් වෙයිද කියලා මගෙන් අහපු සමහර අයට මම කිවුවේ රුපියල් බිලියන 100-300 පරාසයේ පාඩුවක් විය හැකි බවයි. මම එහෙම කිවුවේ ඉදිරි කාලයේදී පොලී අනුපාතික තිබිය හැකි මට්ටම ගැන මම හිතන දේ අනුව. මේ හා අදාළ ගණනයන් කර ගත හැකි එක්සෙල් ශීට් එකක් මම කලින් ඉදිරිපත් කළානේ. එහි ගොස් ඕනෑම අයෙකුට බලාගත හැකි පරිදි, ඉදිරි වසර 16ක කාලය තුළ සාමාන්‍ය ප්‍රතිලාභ අනුපාතිකය 11.13% මට්ටමේ තිබුණොත් සේවක අර්ථසාධක අරමුදලට පාඩුවක් හෝ ලාබයක් වෙන්නේ නැහැ. ඊට වඩා වැඩි වුනොත් පාඩුවක් වෙනවා. 11.67%-13.15% පරාසයේ තිබුණොත් රුපියල් බිලියන 100-300 පරාසයේ පාඩුවක් වෙනවා. ඊටත් ඉහළ මට්ටමකට ගියොත් පාඩුව තවත් ඉහළ යනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම පැත්තකින්ම තිබ්බත් ආයෝජනයක් කරද්දී අනාගත පොලී අනුපාතික වෙනස් වන ආකාරය අනුව තමන්ගේ ලාබ අලාබ වෙනස් වීමේ අවදානම ආයෝජකයෙකුට ගන්න වෙනවා. බැඳුම්කර හෝ බිල්පත් වෙන්දේසියක ප්‍රතිඵල වලින් පෙන්නුම් කරන්නේ මෙම අවදානම පිළිබඳ වෙළඳපොළ මනෝගතීන් මොන වගේද කියන එකයි. 

පසුගිය සතියේ වෙළඳපොළ ප්‍රතිචාර වලින් පෙනුණේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හිතපු තරම් කළු නැති යකෙකු ලෙස වෙළඳපොළ විසින් හඳුනාගෙන තිබුණු බවයි. ඒ අනුව, අවදානම් අධිභාරය සැලකිය යුතු ලෙස අඩු වුනා. නමුත් මේ හා අදාළ මහජන මතය පසුගිය සතිය තුළ වෙනස් වුනේ කොහොමද කියන එක කාටවත් රහසක් කියලා මම හිතන්නේ නැහැ. කලින් බැංකු කඩා වැටෙන එක ගැන කිඹුල් කඳුළු හෙලපු ගොඩක් අයට එක පාරටම බැංකු වලට බර නොපැටවීම ප්‍රශ්නයක් වුනා. මේ තත්ත්වය බැංකුකරුවන් විසින් හා අනෙකුත් විභව ආයෝජකයින් විසින් තේරුම් ගන්නේ කොහොමද කියන එක අමුතුවෙන් පැහැදිලි කළ යුතුද?

අනෙක් පැත්තෙන් සේවක අර්ථසාධක අරමුදලට විශාල පීඩනයක් එල්ල වෙමින් තිබෙනවා. අපේ ලිපියෙන් පෙන්වූ අඩුපාඩු ගණනාවක් නිවැරදි කර වෙරිටේ රිසර්ච් විසින් ඉදිරිපත් කර තිබෙන අලුත් ඇස්තමේන්තුව හදා තිබෙන්නේද ප්‍රධානම වැරැද්ද නිවැරදි කර නොවන නිසා එම අලුත් ඇස්තමේන්තුවද වැරදි වුවත්, වෙරිටේ රිසර්ච් විසින් සේවක අර්ථසාධක අරමුදලට හා මහ බැංකුවට කරන විවේචනය ඉතාම වලංගු විවේචනයක්. සේවක අර්ථසාධක අරමුදල විසින් බැඳුම්කර ආයෝජන වලින් වෙළඳපොළ සාමාන්‍ය ප්‍රතිලාභ තරමට ප්‍රතිලාභ ලබා ගන්නවාද? මේ විවේචනයට පිළිතුරු දීම මහ බැංකුවේ වැඩක්.

කොහොම වුනත්, ඔය විවේචනය ඉදිරිපත්ව තිබෙන පසුබිමක, ඒ වගේම ගණන කීය වුනත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා පාඩුවක් විඳින්න වී තිබෙන පසුබිමක සේවක අර්ථසාධක අරමුදලට බැඳුම්කර හෝ බිල්පත් වෙන්දේසියකට ලන්සු තියද්දී කලින්ට වඩා සැලකිලිමත් වෙන්න සිදු වෙනවා. අනෙක් පැත්තෙන් මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අසු නොවුණු අනෙක් සියල්ලන්ටම අනාගතයේ තමන්ගේ ණයද ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමේ යම් අවදානමක් පෙනෙන්න තිබෙනවා. සතියකට කලින් අනෙක් පැත්තේ තිබුණු මහජන මතය දැන් තියෙන්නේ අනෙක් අයගේ ණයත් ප්‍රතිව්‍යුහගත කරන්න කියන පැත්තේ. මේ ආකාරයෙන් මහජන මතය වෙනස් වීමේ අවදානම ආයෝජකයෙක්ට නොසලකා හරින්න බැහැ. ඒ නිසා, ඒ අවදානම පොලී අනුපාතික වලට එකතු කරන්න වෙනවා.

ශ්‍රී ලංකා රජය විසින් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා අදාළ තමන්ගේ යෝජනා ඉදිරිපත් කර ඇතත් මේ යෝජනා සඳහා විදේශ ණයහිමියන්ගේ එකඟත්වය තවමත් ලැබී නැහැ. ඒ වගේම, රාජ්‍යමූල්‍ය ඉලක්ක ලඟා කර ගැනීම හා පවත්වා ගැනීම සෑහෙන්න අසීරු වැඩක්. මේ අවදානම් එක්ක ඉදිරි කාලයේදී දෙවන ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වීමේ අවදානම මුළුමනින්ම ඉවත් වෙන්නේ නැහැ. යම් හෙයකින් එවැන්නක් කරන්න සිදු වුනොත්, නැවත වරක් එහි බර විශ්‍රාම වැටුප් අරමුදල් මත පමණක් පටවන්න බැරි බව කාට වුනත් තේරෙනවා. ඒ නිසා, ලංකාවේ රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කරන දේශීය හෝ විදේශ ආයෝජකයෙකුට තව දුරටත් තමන්ගේ ආයෝජනය ණය පැහැර හැරීමේ අවදානමෙන් නිදහස් ආයෝජනයක් විදිහට සලකන්න බැහැ. මේ හේතුව නිසා, රාජ්‍ය සුරැකුම්පත් ණය පොලී මත කිසියම් ස්ථිර අවදානම් අධිභාරයක් එකතු වී තිබෙනවා වෙන්න පුළුවන්.

මෙයින් කියන්නේ ඉදිරියේදී පොලී අනුපාතික අඩු නොවන බව නෙමෙයි. පොලී අනුපාතික අඩු නොවේනම් මහ බැංකුවට කළ හැකි තවත් විවිධ දේ තිබෙනවා. නමුත් පොලී අනුපාතික ගොඩක්ම පහළට ගන්න එක ලේසි නැහැ. උද්ධමනය හා නාමික පොලී අනුපාතික අතර දිගුකාලීනව වුවත් අර්බුදයට පෙර නොතිබුණු පරතරයක් ඉතිරි වෙන්න පුළුවන්. 

No comments:

Post a Comment

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.