Saturday, July 15, 2023

ජූනි මාසයේ මහ බැංකුවේ මැදිහත්වීම්


ජූනි මාසය තුළ මහ බැංකුව විසින් ඩොලර් මිලියන 77.5ක් මිල දී ගෙන ඩොලර් මිලියන 91.0ක් විකුණලා තිබෙනවා. ඒ කියන්නේ ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 13.5ක් විකුණලා. මේ ප්‍රමාණය සාපේක්ෂව ඉතා සුළු ප්‍රමාණයක් වුවත්, මේ විදිහට මහ බැංකුව විසින් ඩොලර් විකුණන්නේ මාස ගණනාවකට පසුවයි. 

පසුගිය අප්‍රේල් හා මැයි මාස වලදී මහ බැංකුව ඩොලර් විකිණුවේම නැහැ. වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්න එක පමණයි කළේ. ඊට පෙර මාස තුනේදී යම් ඩොලර් ප්‍රමාණයක් විකිණුවත් ඒ ප්‍රමාණය මිල දී ගත් ප්‍රමාණයට වඩා අඩුයි. සුළුවෙන් වුවත්, ජූනි මාසයේදී මේ ප්‍රවණතාව වෙනස් වෙලා. ඒ වගේම, සුළුවෙන් වුනත් නිල සංචිත ප්‍රමාණයත් පහළ ගිහින්.

මෙම වසරේ පළමු මාස පහ ඇතුළත මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ඩොලර් මිලියන 1,899.10ක් මිල දී ගෙන එයින් ඩොලර් මිලියන 226.17ක් නැවත විකුණා තිබුණා. ඒ කියන්නේ ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 1,672.93ක් මිල දී ගෙන තිබුණා. ජුනි අවසාන වෙද්දී මෙම ප්‍රමාණය ඩොලර් මිලියන 1,659.43 දක්වා අඩු වෙලා. ඒ වගේම, සංචිත ප්‍රමාණයත් ඩොලර් මිලියන 3,491 සිට ඩොලර් මිලියන 3,468 දක්වා අඩු වෙලා.

විණිමය අනුපාතයේ තාවකාලික විචලනයන් සීමා කර ගැනීම සඳහා මහ බැංකුව විසින් මෙවැනි මැදිහත් කිරීම් කරන එකේ කිසිම වැරැද්දක් නැහැ. ඩොලරයක මිල වේගයෙන් පහත වැටෙද්දී මහ බැංකුව මැදිහත් වෙලා විශාල වශයෙන් ඩොලර් මිල දී ගෙන එම පහත වැටීම සීමා කළා. දැන් මිල ඉහළ යද්දී ඒ විදිහට කලින් මිල දී ගත් ඩොලර් වලින් යම් ප්‍රමාණයක් විකුණන එකේ කිසිම වැරැද්දක් නැතත්, මහ බැංකුව විසින් ළඟා කර ගත යුතු විදේශ සංචිත ඉලක්කත් එක්ක මහ බැංකුවට ලොකුවට ඩොලර් විකුණන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසාම, ඩොලරයක මිල ඉහළ යන එක ලොකුවට පාලනය කරන්න පුළුවන්කමකුත් නැහැ. දිගින් දිගටම ඔය වැරැද්ද කරන්න ගිහින් අත විතරක් නෙමෙයි සරුවාංගෙම පුච්චගෙන ඒ ගින්නෙන් රටම ගිණි තියපු මහ බැංකුව විසින් නැවතත් එම පරණ වැරැද්දම කරන්න උත්සාහ කරන එකක් නැහැ. යෝජිත සාර්ව ආර්ථික වැඩපිළිවෙළ තුළ එහෙම කරන්න පුළුවන් අවකාශයකුත් නැහැ.

පසුගිය දෙසතියක කාලය තුළ ඩොලරයක මිල ඉහළ යන ප්‍රවණතාවක් පැහැදිලි ලෙසම දකින්න පුළුවන්. එම කාලය තුළ මහ බැංකුව විසින් සුළු වශයෙන් හෝ ඩොලර් විකිණුවා මිසක් මිල දී ගත්තා කියලා හිතන්න අමාරුයි. ඒ කියන්නේ, බැංකු පද්ධතිය ඇතුළේ ඩොලර් ද්‍රවශීලතා හිඟයක් ඇති වෙලා කියන එක. මේ හිඟයට කරුණු කීපයක් හේතු වෙන්න පුළුවන්.

පළමුව, ඩොලර් මිලියන 855ක සංවර්ධන බැඳුම්කර වලින් ඩොලර් මිලියන 748ක්ම තිබෙන්නේ දේශීය බැංකු සතුව. දේශීය බැංකු වල විදේශ ශාඛා වලින් රජය විසින් ලබාගත් තවත් ඩොලර් ණය යම් ප්‍රමාණයකුත් තිබෙනවා. මේ ණය වලින් 30%ක් නොලැබී යද්දී බැංකු වල ඩොලර් වත්කම්ද ඒ ප්‍රමාණයෙන් අඩු වෙනවා. ගිණුම්කරණ ක්‍රමවේද වල උදවුවෙන් බැංකු වල ශේෂ පත්‍ර වල මේ විදිහට විදේශ වත්කම් අඩු වෙන එක නොපෙන්වා ඉන්න පුළුවන් වුනත්, එහෙම කළා කියලා කවුරු හරි බැංකුවෙන් ඩොලර් ආපසු ඉල්ලුවාම මතු වන ප්‍රශ්නය නැති වෙන්නේ නැහැ. ඒ නිසා, අඩුව පුරවා ගන්න බැංකු වලට යම් ඩොලර් ප්‍රමාණයක් එකතු කර ගන්න වෙනවා.

මේ විදිහට කප්පාදුවට ලක්වෙන්නේ බැංකු වල දේශීය ණය පමණක් නෙමෙයි. බැංකු විසින් ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර වල කර තිබෙන ආයෝජන ප්‍රමාණය ඉහත සංවර්ධන බැඳුම්කර ආයෝජන ප්‍රමාණය මෙන් දෙගුණයකට කිට්ටුයි. මේ ඩොලර් වලින් 30%කුත් ආපසු ලැබෙන්නේ නැහැ. ඒ නිසා, ඒ අඩුව පුරව ගන්නත් බැංකු වලට සංචිත හදා ගන්න වෙනවා. මේ වැඩේට කොපමණ කාලයක් යයිද කියලා මම හරියටම දන්නේ නැහැ. මාස කිහිපයක් වෙන්න පුළුවන්. කාලය කොපමණ වුනත් අඩුව පිරෙනකම් ඔය ඩොලර් ඉල්ලුම තිබෙනවා.

දෙවනුව, පසුගිය මාස කිහිපය තුළ ඩොලරයක මිල පහත යාම සහ ඉහළ පොලී අනුපාතික නිසා කෙටිකාලීන ආයෝජන විදිහට රටට ඩොලර් ගලා ආවා. දැන් මේ තත්ත්වයන් දෙකම කණපිට හැරිලා නිසා ඒ ආපු ඩොලර් ආපසු යන්න පටන් අරගෙන. ඩොලර් රටට එද්දී මහ බැංකුව විසින් එම ඩොලර් මිල දී ගෙන සංචිත වලට එකතු කරගත් නිසා අවශ්‍ය වූ විටෙක ආපසු විකුණන එකේ ප්‍රශ්නයක් නැතත්, එහෙම කළොත් මහ බැංකුවේ සංචිත ඉලක්ක වලට යන්න අසීරු වෙනවා. මහ බැංකුව විසින් මිල දී ගත් ඩොලර් ආපසු විකිණුවේ නැත්නම් ඒ ඩොලර් ටික අඩු වෙන්නේ බැංකු පද්ධතිය ඇතුළේ තිබෙන ඩොලර් වලින්.

තෙවනුව, තවමත් ආනයන පාලන ඉවත් වෙලා නැහැ. මේ තහනම් කොයි වෙලාවේ හෝ ඉවත් කරන්නම වෙනවා. එවිට ඩොලර් ඉල්ලුම ඉහළ ගිහින් ඩොලරයක මිල වැඩි වෙනවා. මේ වැඩේ කරලා ඉවරයක් කරන තුරු, ඔය දිහා බලාගෙන තීරණ ගන්න අය ඉන්න නිසා, ඩොලර් සැපයුම තරමක් අඩු වෙන්න පුළුවන්. මම හිතන්නේ දැනටත් ඒ වැඩේ වෙනවා. ඒ නිසා, මිල ඉහළ යන එකට බයේ ඔය වැඩේ ප්‍රමාද කරනවානම් ඒක මෝඩ වැඩක්. 

ආනයන සීමාවන් ඉවත් කළොත් මිල පොඩ්ඩක් ඉහළ ගිහින් ඊට පස්සේ අළුත් තැනක ස්ථාවර වෙයි. ඔය වැඩේ කරන එක කල් යද්දී ඔය මිල වැඩි වීම දිහා බලාගෙන ඩොලර් සැපයුම්කරුවෝ තමන්ගේ අර්පණයන් ඉහළ දමන එක වලක්වන්න බැහැ. ඒ නිසා, වැඩේ පරක්කු කළත් මිල තෙරපුමෙන් සැලකිය යුතු කොටසක් තිබෙනවා. වැඩේ කරලා අහවර කළානම් ඔය ප්‍රශ්නය ඉවරයි.

සමහර විට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වන තුරු හෝ ලෝක බැංකු සල්ලි ලැබෙන තුරු වැඩේ අදිනවා වෙන්න පුළුවන්. ඒ වගේ විශේෂ හේතුවක් තියෙනවානම් පොඩ්ඩක් කල් දැම්මට කමක් නැහැ. නමුත් එහෙම කරන්නත් අවශ්‍යම නැහැ. උදාහරණයක් විදිහට ලෝක බැංකු සල්ලි සති දෙකකින් හෝ මාසයකින් එනවනම් ඒ එද්දී මිල පහත වැටෙන බව වෙළදපොළ සහභාගීවන්නෝ දන්නවා. ඒ නිසාම, ඊට කලින් වුනත් අර්පණයන් සිදු කරන්නේ ඒ ගැන සලකලා. ඒ නිසා, ඒ අනාගත මිල අඩු වීමේ බලපෑම කළින්ම එනවා. 

7 comments:

  1. ඔය මොනවා උනත් 2022 ජූලි 09 දින වූ සෝ කෝල්ඩ් "මහා" විප්ලවීය මහජන ව්‍යාපාරයකින් ලංකාවේ හිටපු ජනපතිවරයා ඉතිහාසය තුල පළමු වතාවට ධූරයෙන් ඉවත් කිරීමේ සුවිශේෂී සිදුවීමෙන් අවුරුද්දකට පසුව අප නැවත සුපුරුදු පරිදිම ණයට කමින් සිටිමු. කිසිඳු නව නිශ්පාදනයක්, නව ආර්ථික වෑයමක්, නව මාවතක් ගැන වගේ වගක් නැත. රටක් පෙරලීමට තරම් විසාල ශක්තියක් තිබුණ බව පෙන්වන ලද මහා අරගලකාරී ජනතාවක් නැවත අද්භූත ජනක ලෙස උදාසීනව ගොස් ඇත....

    දැන් මේ දවසද වසරකට වරක් "සමරන දවසකි"..... හේතුව අපි ආසා ''සැමරීම්'' වලටය.... මේ සුවිශිෂ්ඨ දවස සැමරිය යුත්තේ එදා ඒ දවස යෝජනා කළ ''අරමුණ'' දිනාගැනීමෙනි. නැතිව අයි.එම්.එෆ් ණයෙන් තුන්වේල කෑමේ ප්‍රීතියෙන් නොවේය.....

    රනිල් වික්‍රමසිංහ යනු 'ජනතාව විසින්' පත්කළ ජනාධිපතිවරයෙක් නොවේය. ඔහු කිසිම ආර්ථික දේශපාලන දර්ශණයක් ඉදිරිපත්කොට එය ක්‍රියාත්මක කිරීමට "ජනතා වරම" ලැබූවෙක් නොවෙයි. සත්‍ය නම් ඔහු එය ඉදිරිපත්කළ හැමවිටකම ජනතාව ඔහු ඉදිරිපත් කළ ආර්ථික දේශපාලනය ප්‍රතික්ෂේප කළේ 1994 පමණ ඈතක සිට පහුගිය 2019 දක්වාම එහෙමමය.

    ඇත්තෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට 'ලංකාව' නම් සමාගමේ වැඩිම කොටස් හිමි බලය හිමි නේටෝ හවුලේ ආර්ථික අංශය වන IMF නමැති ආයතනය විසින් තමන්ගේ Funds නිවැරදිව කළමණාකරණය වෙනවාදැයි සෙවීමටත් සියලුම ප්‍රධාන අංශ ඔවුන්ගේ න්‍යාය පත්‍රයට අනුව නැටවෙන බව සහතික කර ගැනීමටත් පත්කළ ප්‍රධාන විධායක නිළධාරියෙකි (CEO). නැතිව රනිල් ජන+අධිපතිවරයා නොවේය. එහෙම නමුත් ලංකාව ඇතුලත ඔහුගේ පත්වීමේ ක්‍රමය ව්‍යවස්තානුකූලය. අපේ රටේ ජනාධිපතිලාට වඩා ඉන්නේ ඇත්තටම ඔය CEO ලාය. වැඩිම කොටස් හිමියා චීනය වන විට චීනය තම CEO පත්කරණ අතර ව්‍යපාරය පාඩුලබා එය IMF විසින් කොටස් මිළදීගැනීමකින් පසු ඔවුන් තම CEO ලෙස රනිල් වික්‍රමසිංහ පත්කර ඇත.

    රනිල් වික්‍රමසිංහ ඊළඟට බොහෝවිට ජනාධිපතිවරණයකට නොයා ජනමතවිචාරණයකට යාමට ඉඩ ඇත. ප්‍රතිවාදියා ලෙස මහින්ද රාජපක්ෂ නැතිනිසාත් වැලේවැල් නැති පොහොට්ටුව රනිල්ට මුක්කුවක් ගැසිය හැකිනිසාත් චන්දයට යාමට ඉඩක් ඇතත් එය සීයට සීයක් ෂුවර් නැත. තවම ජනාතාවගේ යම් තරමක බරක් NPP එක දෙසට ඇති නිසා චන්ත්දයකට යාමේ අවදානම රනිල් ගත්තත් ඉංදියාව ගනීදැයි මට විශ්වාසයක් නැත. ඉන්දීය අධීක්ෂණය සහ අවශ්‍යතාව මත ක්‍රියාත්මක වන නූතන 2023 IMF වැඩසටහනේ ​ෆන්ඩ්ස් ආරක්ෂිත බව දැනුන වහාම රනිල්ගේ වැඩකොටස අවසන් වෙයි. එවිට ඉංදියාව රනිල්ට ගෙදර යන්නට යයි දැනුම් දෙනු ඇත.

    නමුත් එයින් පසුව එන නව ඇමරින්දියානු අනුප්‍රප්තිකයා කව්ද...?

    චින පිළ රාජපක්ෂවරුන් දුර්වල වනවිට තම CEO ලෙස තෝරාගෙන ඇත්තේ කව්ද....?

    මේ පිල් දෙකේ CEO කෙනෙක් නොවී සැබෑ ජනාධිපතිවරයෙක්ට බලයට පත්වීම කොයිතරම් අමාරුවෙයිද...?

    එහෙම නොවී ඉන්න දැනටමත් විදේශ අතකොලු බවට පත් වී ඇති බව පැහැදිලිව පෙනෙන අනුරට පාඨලීට හෝ සජිත් ප්‍රේමදාසට හැකිද....? එසේ කිරීමට ඔවුන් කිසිවෙකුට හෝ කොන්දක් තිබේද? යම් හෙයකින් එසේ කිරීමට තැත් කලොත් එවිට ලෝකයෙන් එන ප්‍රතිචාරය කොයිවගේ වෙයිද...?

    දැනටම රටේ හැම තැනම රිංගමින් කෝචිචියෙත්, ඉරිදා පොලේත් යමින් බලය තහවුරු කරගෙන ඇති ජුලීචන්ග් ​නෝනා ඒ වෙනුවෙන් නිකංම ඉඳියිද...? කෝන්ක්‍රීට් විතරක්ම දාන්නට නොව තවත් දිගුකාලීන වුවමනා ඇතිව ඩොලර් බිලියන ගණං අඩු පොළියට කොන්දේසි විරහිතව ණයදුන්න චීනා නිකංම බලා ඉඳියිද? අප මත අයෝමය හස්තයකින් වෙර යොදා මෙහෙයවන භාරතීය ලොකු අයියා කුමක් කරාවිද?

    මේ නිසාම සැබෑ ජනාධිපතිවරයෙක් නොවන CEO කෙනෙක් කිසිවිටක අළුත් මාවතක් කපන්නේ නැත. ඉහත නම්වලින් CEO කෙනෙක් නොවී ජනාධිපතිවරයෙක් ලෙස ඉදිරියට ඒමේ පෞරුෂය එක් අයකුට හෝ තියෙනවාද.? එහෙම වෙන කෙනෙක්වත් පෙනෙන නොපෙනෙන මානයක සිටීද?

    මේවා මෙහෙම වන අතරේ මහාජනතාවක් පාරට බසින්නට හේතුව වූ ආර්ථික, දේශපාලනික අර්බුදය එක දශමයකින්වත් මේ වනතෙක් විසඳී නැත. ඩොලර් බිලියන ගණන් ණය ණයමය. ඔබට නොපෙණුනාට දිගින් දිගටම අප එම අර්බුදවල පතුලටම කිඳාබසිමින් සිටිමු. දැන් රේටින් අපිට පක්ෂව එන්නේ අපි එයාලාට හිස නමා හේත්තුවූ නිසා පමණය.

    ගෝඨාභය දිනිය යුතුවූයේ මේ මූඩියකින් පැලැස්තර දමා වසාතිබුණ ගඳ බෝතලයේ මූඩිය ඇරීම වෙනුවෙන්ය. ඔහු මූඩිය ඇර රටේ ආර්ථිකයේ සැබෑ ගඳ අපට දැනෙන්ට සැලැස්වූ අතර උඩුගුවනේ උන් ඔබ පාරට පැන්නේ ඒ ගඳ දැනීම නිසාය. අවුරුදු පණහක් පාලක පංතිය වැඩකරන්නේ මේ ගඳ ඔබට නොදැනී වසා තැබීමටය.

    නැවතත් අළුත් වටයකින් රනිල් වික්‍රමසිංහ මේ උත්සාහ කරමින් සිටින්නේ කෙසේහෝ 'ඔබට ගඳ නොදැනෙන ලෙස' ඒ පල්වුණ බෝතලයේ මූඩිය ආපහු වැසීමටය.

    'ජන අරගලයෙන්ව' වසරකට පසු ඔබට අවශ්‍ය මූඩිය වසා තව තවත් මේ සමස්ත ආර්ථික සමාජීය යාන්ත්‍රණය පල්කිරීමටදැයි ඔබේ සැමරීම්වලට පෙර විනාඩියක් හිතාබලන්න.
    දැනට මේ තියෙන්නේ තිබ්බ දුර්වල, බංකොලොත් රටම තිබ්බාටත් වඩා දුර්වලව සහ බංකොලොත්වය.

    ReplyDelete
  2. ඉන්දියානු රුපියල්, චීන යුවාන් සහ ඇමරිකන් ඩොලර් වලින් ලංකාව තුළ ගණුදෙනු වලට අවසර දුන්නෙත් ඉන් වෙන වාසි අවාසි මොනවද ඉකොනො?

    ReplyDelete
    Replies
    1. ක්ෂණිකව දැනෙන බලපෑමක් වෙන එකක් නැහැ. දිගුකාලීනව රුපියල ටිකෙන් ටික දුර්වල වෙයි (එසේ ඉඩ නොදීමට සාපේක්ෂව).

      Delete
  3. ලංකාවට එන විදේශිකයින්ගෙන් එන විදේශ විනිමය සහ සංචාරක කර්මාන්තයෙන් එන විදේශ විනිමට වැඩි වෙලා නේද පහුගිය මාස කිහිපයට සාපේක්ෂව ?. එතකොට ඩොරල් එක අඩු වෙන්න ඕනේ නේද. අපේ අපනයන මේ අර්බුදයට කලින් තිබ්බ තත්වයේ නැද්ද?

    නය ගෙවන්න පටන් ගත්තම සහ පුළුල් විදියට ආනයන කරාම ඩොරල් එක මීටත් වඩා ගොඩක් වැඩි වෙන්න පුළුවන්ද?
    එතකොට අපේ අපනයන සහ විදේශ විනිමය අර්බුදයට කලින් තිබ්බ තත්වයට ලං වෙනවා නම්, ඩොලර් ප්‍රශනයක් වෙන්න බැහැ නේද?

    ReplyDelete
    Replies
    1. 1. තවම අර්බුදයට පෙර මට්ටමට ඇවිත් නැහැ.
      2. අර්බුදයට පෙර තුලනය වුනේ යම් තරමක් ණය අරගෙනනේ.

      Delete
  4. මහ බැන්කුවේ සිදුකරන USD මිලදි ගැනීම් විකිනීම් පිලිබද දත්ත ලබා ගන්නේ කොහෙන්ද?

    ReplyDelete
    Replies
    1. මහ බැංකුවෙන්ම තමයි. (ආර්ථික දර්ශක වාර්තා වල)

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.