Sunday, July 2, 2023

EPF එකට කොයි තරම් පාඩුද?

ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා සේවක අර්ථකසාධක අරමුදලට කිසිදු ද්‍රවශීලතා ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු නොවන බව පෙර ලිපියෙන් පැහැදිලි කළා. ඒ නිසා, අරමුදලේ තියෙන සල්ලි ආපසු ගැනීම පිළිබඳව මොනයම් ආකාරයක හෝ ගැටළුවක් කිසිසේත්ම ඇති වෙන්නේ නැහැ. එය ඉතාම පැහැදිලියි. හැබැයි ඔය වැඩේම බැංකුවකට කළානම් ඒ ආකාරයේ ප්‍රශ්නයක් ඇති වීමේ යම් ඉඩක් තිබුණා. 

ඊළඟ ප්‍රශ්නය මේ කරපු වැඩෙන් EPF එකට කොයි තරම් පාඩුවක් වුනාද කියන එක. මේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න කලින්, සාමාන්‍ය කරුණක් ලෙස, කිසියම් ගනුදෙනුවකදී කාට හෝ ලාබයක් වෙනවා කියන්නේ ගනුදෙනුවේ අනෙක් පාර්ශ්වයට අනිවාර්යයෙන්ම පාඩුවක් වෙනවා කියන එක නෙමෙයි. නිදහස් ගනුදෙනුවකදී ගනුදෙනුවේ පාර්ශ්ව දෙකටම වාසියක් ලැබෙනවා. කාටවත් පාඩුවක් වෙන්නේ නැහැ.

කොහොම වුනත්, මේ වුනේ නිදහස් ගනුදෙනුවක්ම නෙමෙයිනේ. "අනේ මගේ ණය ටික ප්‍රතිව්‍යුහගත කරලා දෙන්න" කියලා EPF එක විසින් හෝ වෙනත් කිසිදු ණයහිමියෙක් විසින් රජයෙන් ඉල්ලා සිටියේ නැහැ. මේ ගනුදෙනුව වෙන්නේ ගණුදෙනුවේ එක් පාර්ශ්වයක උවමනාවට. ගනුදෙනුවට නොගියොත් දැනට විශ්‍රාම වැටුප් අරමුදල් වලට ලැබෙන බදු සහනය අහෝසි වෙනවා. ඒ නිසා, ගනුදෙනුව කරන්නේ කැමැත්තෙන්ම වුනත්, කැමැත්ත ගන්නේ ඔළුවට පිස්තෝලයක් තියලා. 

මේ ආකාරයේ පූර්ණ නිදහස් ගනුදෙනුවක් නොවන ගනුදෙනුවකදී පහසුවෙන්ම එක් පාර්ශ්වයකට පාඩුවක් වෙන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම පාඩුවක් විය යුතු නැහැ. ඒ නිසා, පාඩුවක් වීමේ හැකියාව සහ එම පාඩුව ගැන අදහසක් ගන්න පුළුවන් වෙන්නේ යම් විශ්ලේෂණයක් කිරීමෙන් පසුවයි. 

අපි EPF එක පැත්තකින්ම තියලා කවුරු හෝ කෙනෙක් තමන්ගේ ආදායමෙන් 20%ක් විශ්‍රාම ගැනීමෙන් පසුව ප්‍රයෝජනයට ගැනීම සඳහා ඉතිරි කරනවා කියා සිතමු. ඒ සල්ලි තමන් විසින්ම ආයෝජනය කරනවානම් ආයෝජනය කරන්නේ මොන විදිහටද?

දැන් මේ සල්ලි ආපසු ගන්න බලාපොරොත්තු වෙන්නේ වයස අවුරුදු 55 සම්පූර්ණ කරන කිසියම් වසරකදීනේ. කිසිසේත්ම ඊට කලින් සල්ලි ආපහු ගන්නේ නැහැ. ඒ කියන්නේ ද්‍රවශීලතා ප්‍රශ්නය ගැන නොසිතා දිගුකාලීනව වැඩිම ප්‍රතිලාභයක් ලැබෙන විදිහටයි ඔය සල්ලි ආයෝජනය කරන්නේ. එහිදී ඔය දිගුකාලය අතරතුර තමන්ගේ ඉතිරි කිරීම් වල වටිනාකම අඩු වැඩි වීමේ ප්‍රශ්නයක් නැහැ. වැදගත් වෙන්නේ අන්තිමට අතට කීයක් ලැබෙනවද කියන එක.

ලෝකයේ ඕනෑම රටක රජයේ හෝ පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් අරමුදලක් ඔවුන් සතු අරමුදල් ආයෝජනය කරන්නේ ඔය ක්‍රමයට. එහිදී විවිධ හේතු නිසා තාවකාලිකව අරමුදලේ වටිනාකම අඩු වැඩි වීම ගැන නොසලකා දිගුකාලීන ප්‍රතිලාභය මත පදනම්වයි අරමුදල් ආයෝජනය කරන්නේ. තවත් සාමාන්‍ය මූලධර්මයක් විදිහට වැඩි අවදානමක් ගන්න තරමට වැඩි ප්‍රතිලාභයක් අපේක්ෂා කරන්න පුළුවන්.

සේවක අර්ථසාධක අරමුදල ක්‍රියාත්මක වෙන්නෙත් ඔය මූලධර්ම අනුව. මේ කාර්යයේදී සේවක අර්ථසාධක අරමුදල කොයි තරම් කාර්යක්ෂමද කියන එක වෙනම කරුණක්. මෙහිදී ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. 

මේ විදිහට දිගුකාලීනව ආයෝජන කරද්දී දිගුකාලීනව උද්ධමනයට වඩා වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීම සාමාන්‍ය ඉලක්කයක්. මෙයට කියන්නේ මූර්ත ප්‍රතිලාභය කියලා. හැබැයි එහිදී මූර්ත ප්‍රතිලාභය ගණනය කරන්නේ අදාළ සම්පූර්ණ කාලය සලකමින් මිසක් එක් එක් අවුරුද්ද වෙන වෙනම අරගෙන නෙමෙයි. දිගුකාලීනව වැඩි මූර්ත ප්‍රතිලාභයක් ගන්න ඉලක්ක කරද්දී ඇතැම් වසර වලදී මූර්ත ප්‍රතිලාභ සෘණ අගයක් ගන්න පුළුවන්. ඒක කිසිසේත්ම ප්‍රශ්නයක් නෙමෙයි. 

ලංකාවේ ස්වෛරිත්ව බැඳුම්කර වල සිදු කර තිබෙන ආයෝජන වලින් විශාල ප්‍රමාණයක් ඔය ආකාරයේ විශ්‍රාමිකයින්ගේ ඉතිරි කිරීම්. බටහිර රටවල ශ්‍රමිකයින් විසින් මහන්සි වී උපයන, විශ්‍රාම දිවිය ගෙවීම සඳහා අවශ්‍ය තමන්ගේ ඉතිරි කිරීම් විශ්‍රාම වැටුප් අරමුදල් හරහා මේ විදිහට ආයෝජනය කර තිබෙනවා. ලංකාවේ රජය විසින් ඒකපාර්ශ්විකව මේ අරමුදල් වලින් 30%ක් කපා හැරියහම සෘජු වශයෙන්ම ඒ විශ්‍රාමිකයින්ගේ බඩට වදිනවා.

වෙනත් රටවල විශ්‍රාම වැටුප් අරමුදල් වල ආයෝජන වලින් 30%ක් කපා හැර තිබුණත් ලංකාවේ විශ්‍රාම වැටුප් අරමුදල් වල ආයෝජන ඒ විදිහට කපා හැරලා නැහැ. අදාළ මුල් මුදල එලෙසම ආපසු ලැබෙනවා. නමුත් ආපසු ලැබෙන්නේ ප්‍රමාද වෙලා. සාමාන්‍ය වශයෙන් ගත්තොත් අවුරුදු දහයකින් ප්‍රමාද වෙලා. 

ලංකාවේ ශ්‍රමිකයෙකුගේ වැඩ කරන වයස අවුරුදු 25-55 සේ සැලකුවොත් වසර 30ක කාලයක්. ඒ කියන්නේ සාමාන්‍ය වශයෙන් EPF එකට ලැබෙන දායක මුදල් අවුරුදු 15ක් එක දිගට ආයෝජනය කර තියන්න පුළුවන්. ඊට වඩා අඩු කාලයකට ආයෝජනය කළා කියලා පාඩුවක් මිසක් ලාබයක් ලැබෙන්නේ නැහැ. 

නමුත් EPF එකේ අරමුදල් ඔය තරම්ම දිගු කාලයකට ආයෝජනය කරන්නේ නැහැ. ඒකට එක ප්‍රධාන හේතුවක් වන්නේ ලංකාවේ තිබෙන ආයෝජන අවස්ථා සීමා වීම. ප්‍රතිව්‍යුහගත කිරීමට පෙර ලංකාවේ භාණ්ඩාගාර බැඳුම්කර වල සාමාන්‍ය පරිණත කාලය වසර 4.4ක් පමණයි. විශ්‍රාම වැටුප් අරමුදල් සතු බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කළාට පස්සේ මෙම කාලය වසර 10 දක්වා දිගු වෙනවා. එය කලින් නොතිබුණු විකල්පයක් අලුතෙන් ලැබීමක් කියා කියන්නත් පුළුවන්.

හැබැයි අවුලකට තියෙන්නේ මේ ලැබී තියෙන්නේ නිදහස් තේරීමක් නොවීමයි. සාමාන්‍යයෙන් අවුරුදු හතරක සාමාන්‍ය කාලයකට වඩා අවුරුදු 10ක පරිණත කාලයක් වඩා හොඳ තේරීමක් වෙන්නේ පරිණත කාලය දිගු වෙද්දී ලැබෙන ප්‍රතිලාභ අනුපාතය ඉහළ යන නිසා. මේ ප්‍රතිව්‍යුහගත කිරීමේදී එවැනි දෙයක් වෙනවද? 

දැන් අපිට විමසා බලන්න තියෙන මූලික ප්‍රශ්නය ඔය අවසාන ප්‍රශ්නය. ප්‍රතිව්‍යුහගත කළාට පස්සේ ලැබෙන ප්‍රතිලාභය ගැන අපි දන්නවා. 2024 හා 2025 වසර වලදී 12%ක කූපන් පොලියක් ලැබෙනවා. ඊට පස්සේ 9% බැගින් ලැබෙනවා. මෙය ලාබයක්ද පාඩුවක්ද කියන එක තීරණය වෙන්නේ ප්‍රතිව්‍යුහගත නොකළොත් ලබා ගන්න පුළුවන් වෙන ප්‍රතිලාභයට සාපේක්ෂවයි. 

උද්ධමනය කීයද වගේ දේවල් මෙයට අදාළ නැහැ. ඒක වෙනම කරුණක්. උද්ධමනයට වඩා වැඩි ප්‍රතිලාභයක් ලැබුනද නැද්ද කියන එක දිගුකාලීනව මිසක් කෙටිකාලීනව සලකා නොබැලිය යුතු බව කලින්ම කිවුවනේ. ණය ප්‍රතිව්‍යුහගතවීමක් සිදු නොවුනානම්, විශ්‍රාම වැටුප් අරමුදල් වලට, විශේෂයෙන්ම EPF එකට, ලබා ගත හැකිව තිබුණු කූපන් පොලිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා අඩු වෙලාද නැත්නම් වැඩි වෙලාද? 

ගොඩක් අය කතා කරන්නේ කලින් පොරොන්දු වූ කූපන් පොලී අනුපාතික කප්පාදු කරලා කියන පූර්ව උපකල්පනයේ ඉඳලා. හැබැයි ඒ පූර්ව උපකල්පනය සඳහා පදනම කුමක්ද කියලා කවුරුවත් මෙතෙක් පැහැදිලි කරලා නැහැ. 

විදේශ වාණිජ ණය හා අදාළව ණය කප්පාදුවක් මෙන්ම පොලී කප්පාදුවක්ද පැහැදිලි ලෙසම සිදු වී තිබෙනවා. විශ්‍රාම වැටුප් අරමුදල් සතු භාණ්ඩාගාර බැඳුම්කර හා අදාළව ණය කප්පාදුවක් සිදු වී නැහැ. සිදු වෙන්නේ ණය හුවමාරුවක්. කලින් තිබුණු සෑම රුපියලක ණයක්ම අලුත් රුපියල් ණයක් එක්ක මාරු වෙන නිසා මෙහි ණය කප්පාදුවක් නැති බව ඉතාම පැහැදිලියි. පොලී කප්පාදුවක් වෙනවද කියන එක කියන්න පුළුවන් වෙන්නේ කලින් තත්ත්වය හා දැන් තත්ත්වය සංසන්දනය කිරීමෙන් පසුව පමණයි. 

පොල් වත්තක පොල් කඩලා ලෙලි ගැහුවට පස්සේ ඔය ගොඩේ ලොකු, පොඩි, මධ්‍යම ප්‍රමාණයේ පොල් තිබෙනවා. ඒ පොල් සිල්ලරට විකිණෙන්නේ වෙනස් ගණන් වලට. හැබැයි පොල් මුදලාලි කෙනෙක් ඔය පොල් ගොඩ තොගේට ගනිද්දී ගොඩ දිහා බලලා එක පාරට ගාණක් කියනවා මිසක් ගෙඩි වෙන් කරලා ගණන් කියන්නේ නැහැ. 

දැන් ඔය වගේ පොල් ගොඩකින් ලොකු ගෙඩි ටික විතරක් තෝරා ගත්තොත් වැඩි ගාණකට විකුණන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ ඉතුරු වෙන පොඩි ගෙඩි ටික විකුණගන්න අමාරු වෙනවා.

භාණ්ඩාගාර බැඳුම්කර සියල්ලම එක සමාන නැහැ. ගෙවන කූපන් පොලිය, කල් පිරීමේ කාලය ආදිය අනුව ඒවා එකිනෙකට වෙනස්. මේ වන විට වෙළඳපොළේ බැඳුම්කර වර්ග 64ක් තිබෙනවා. විශ්‍රාම වැටුප් අරමුදල් සතු භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කරද්දී, ඒ කියන්නේ රජය විසින් මේ බැඳුම්කර ලබාගෙන ඒවා වෙනුවට වෙනත් බැඳුම්කර නිකුත් කරද්දී සිදු වෙන්නේ ඔය එක එක බැඳුම්කර වර්ගය වෙන වෙනම ගන්නේ නැතුව තොගේම එකට ගන්න එක. ඊට පස්සේ මේ බැඳුම්කර වර්ග 64 වෙනුවට අලුත් බැඳුම්කර වර්ග 12ක් නිකුත් කරනවා. 12% හා 9% කියන්නේ ඒ අලුත් බැඳුම්කර වෙනුවෙන් ගෙවන කූපන් පොලිය.

දැනට නිකුත් කර තිබෙන බැඳුම්කර ප්‍රමාණයේ මුළු වටිනාකම රුපියල් බිලියන 9,032ක්. ඔය ගොඩේ තිබෙන බැඳුම්කර වර්ග 64 වෙනුවෙන් ගෙවන්න පොරොන්දු වී තිබෙන කූපන් පොලී අනුපාතික 5.0% සිට 22.5% දක්වා විශාල පරාසයක විහිදෙනවා. අදාළ විස්තර මේ සමඟ පළ කරන වගුවේ තිබෙනවා. දැනට 5.0%ක කූපන් පොලියක් ලැබෙන බැඳුම්කරයක් 9% හෝ 12% ලැබෙන එකක් එක්ක හුවමාරු වෙද්දී විශ්‍රාම වැටුප් අරමුදලකට සැලකිය යුතු වාසියක් වෙනවා. ඒ වගේම, 22.5%ක කූපන් පොලියක් ලබාගත හැකි එකක් හුවමාරු කරද්දී පාඩුවක් වෙනවා. පොල් විකුණද්දී වගේ තොගේම එකට දෙනවා මිසක් තෝරා බේරාගෙන මේ හුවමාරුව කරන්න බැහැ.

ඔය බැඳුම්කර ගොඩේ 22.5% කූපන් පොලියට නිකුත් කරපුවා තියෙන්නේ රුපියල් බිලියන 416ක්, එනම් මුළු තොගයෙන් 4.6%ක් පමණයි. ඔය වගේ ලොකු කූපන් පොලී වලට බැඳුම්කර නිකුත් කළේ ණය පැහැර හැරියට පස්සේ. බැඳුම්කර වලින් වැඩි කොටසක් ඊට කලින් අඩු කූපන් පොලියකට නිකුත් කරපුවා. 

මේ විදිහට විවිධ කූපන් පොලී යටතේ නිකුත් කළ බැඳුම්කර සියල්ල ගත්තහම සාමාන්‍යයක් විදිහට රජය මේ වන විට ගෙවන්නේ 11.97%ක කූපන් පොලියක්. බැඳුම්කර ආයෝජකයින්ට සාමාන්‍ය වශයෙන් ලැබෙන කූපන් පොලිය ඕකයි. එක් එක් ආයෝජකයා සතුව තිබෙන බැඳුම්කර වර්ග වල සංයුතිය අනුව මෙය අඩු වැඩි වෙන්න පුළුවන්. බැඳුම්කර වලින් 40%ක් පමණම තියෙන්නේ EPF එක සතුව නිසා එහි සංයුතිය බොහෝ දුරට මුළු බැඳුම්කර ප්‍රමාණයේ සංයුතියට ආසන්නව සමාන විය යුතුයි. ඒ නිසා, දැනට ලැබෙන කූපන් පොලියත් 12%ට ආසන්නව සමාන විය යුතුයි. 

ණය ප්‍රතිව්‍යුහගත කළාට පස්සේත් විශ්‍රාම වැටුප් අරමුදල් වලට 2024 හා 2025 වසර වලදී 12%ක කූපන් පොලියක් ලැබෙනවා. ඒ කියන්නේ ලොකු අඩුවීමක් හෝ වැඩි වීමක් නැතුව දැන් ලැබෙන කූපන් පොලියම ලැබෙනවා. ඊට පස්සේ ලැබෙන්නේ 9%ක පොලියක්. 

ඔය සාමාන්‍ය කූපන් පොලිය 12% මට්ටමට ගියේ පසුගිය අප්‍රේල් මාසයේ සිට ඉහළ කූපන් පොලී යටතේ බැඳුම්කර නිකුත් කළ නිසා. මේ වැඩේ දිගටම වෙන්නේ නැහැ. බොහෝ විට නැවත බැඳුම්කර නිකුත් කරනු ඇත්තේ 12% හෝ ඊට අඩු කූපන් පොලියක් ගෙවමිනුයි. උද්ධමනය 50% ඉක්මවා තියෙද්දී පොරොන්දු වූ කූපන් පොලිය උද්ධමනය තනි ඉලක්කමකට ආවට පස්සේ ගෙවන්න අවශ්‍ය නැහැ. 

ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් නොකළොත්, දැනට නිකුත් කර තිබෙන බැඳුම්කර කල් පිරෙද්දී ලැබෙන සල්ලි නැවත ආයෝජනය කරන්න වෙනවා. එවිට කලින් කූපන් පොලියම ලැබෙන්නේ නැහැ. ඒ නිසා, බැඳුම්කර සඳහා ලැබෙන සාමාන්‍ය කූපන් පොලිය එන්න එන්න පහළ යනවා. 2027 වන විට මේ සාමාන්‍ය අගය 9% මට්ටමට ආවොත් සහ ඉන් පසුව දිගටම ඒ මට්ටමේ තිබුනොත් ණය ප්‍රතිව්‍යුහගත කළා හෝ නොකළා කියලා වෙනසක් වෙන්නේ නැහැ. කූපන් පොලී අනුපාතික 9% මට්ටමට වඩා අඩු වුනොත්, EPF එක වගේ විශ්‍රාම වැටුප් අරමුදල් වලට ලාබයක් වෙනවා. වැඩි වුනොත් පාඩුවක් වෙනවා,

පසුගිය වසරේ කූපන් පොලී 22.5% මට්ටමට යද්දීත් ඔය විදිහේම පාඩුවක් වුනා. අරමුදල් වලින් කොටසක් ඒ වෙද්දී 5% වගේ ගෙවන බැඳුම්කර වල හිර වෙලා. මේක කවුරුවත් කරපු වැරැද්දක් නෙමෙයි. ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. උද්ධමනය ඉහළ ගිහින් පොලී අනුපාතික ඉහළ යද්දී ඕනෑම විශ්‍රාම වැටුප් අරමුදලකට යම් පාඩුවක් වෙනවා. මොකද ඒ ඉහළ පොලී අනුපාතික වල වාසිය ගන්න බැරි විදිහට සල්ලි කලින්ම දිගුකාලීනව ආයෝජනය කරලා. අනෙක් අතට පොලී අනුපාතික අඩු වෙද්දී වාසියක් වෙනවා. මොකද වෙළඳපොළ පොලී අනුපාතික පහත වැටුනත්, තමන්ගේ සල්ලි කලින්ම දිගුකාලීනව ආයෝජනය කරලා අවසන් නිසා ඉහළ පොලිය දිගටම ලැබෙනවා. 

මේකම සාමාන්‍ය පුද්ගලයෙක්ට වුනත් අදාළයි. 20%කට අවුරුදු පහක ස්ථිර තැන්පතුවක් දමපු කෙනෙක්ට ඒ පොලිය දිගටම ඒ විදිහටම ලැබෙනවා. ඒ නිසා, ඔය කාලය ඇතුළත පොලිය 10% වුනා කියලා බය වෙන්න දෙයක් නැහැ. හැබැයි අනෙක් අතට පොලිය 30% වුනොත් මාස හයක ස්ථිර තැන්පතුවක් දමපු කෙනාට එහි වාසිය ගන්න පුළුවන්. අවුරුදු පහකට හිර කරපු කෙනෙකුට ඒ වාසිය අහිමි වෙනවා. මේකට ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අදාළ නැහැ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා විශ්‍රාම වැටුප් අරමුදල් වල සල්ලි වෙනුවෙන් ලැබෙන පොලිය 2027-2028 අතර අවුරුදු දහයකට 9% මට්ටමේ සීල් වෙනවා. ඔය කාලයේදී අලුතෙන් නිකුත් කරන බැඳුම්කර වල කූපන් පොලිය 9%ට වඩා වැඩි වුනොත් එහි වාසිය ලබා ගැනීමේ අවස්ථාව අහිමි වෙනවා. නමුත් කූපන් පොලිය 9%ට වඩා අඩු වී තිබුනොත් වෙන්නේ දැන් තත්ත්වයට සාපේක්ෂව ලාබයක්.

ඉහත තත්ත්වය නිසා EPF එකට සිදු විය හැකි ලාබ හෝ පාඩු දැන්ම හරියට ගණන් හදන්න බැහැ. ඒක තීරණය වෙන්නේ අනාගතයේ සිදු වන දේවල් මත. යෝජිත සාර්ව ආර්ථික වැඩපිළිවෙල එක දිගටම හරියට ක්‍රියාත්මක වෙලා උද්ධමනය දිගටම 5% ආසන්න මට්ටමක තියාගන්න පුළුවන් වුනොත් කූපන් පොලී 7% වගේ මට්ටමකට අඩු වෙයි. එහෙම වුනොත් විශ්‍රාම වැටුප් අරමුදල් වලට වෙන්නේ වාසියක්. නමුත් වැඩේ අවුල් වෙලා උද්ධමනය ඉහළ ගිහින් පොලී අනුපාතික ඉහළ මට්ටමකට ගියොත් EPF එකට එම ඉහළ පොලී වල වාසිය ගන්න තිබෙන ඉඩකඩ නැතිව යනවා. රාජ්‍ය අංශයේ සිදු විය යුතු ප්‍රතිසංස්කරණ සිදු වුනේ නැත්නම් එහෙම වෙන්න පුළුවන්.

මේ ලිපියේ කතා කළේ ප්‍රතිව්‍යුහගත කළ පසු හා එසේ නොකළේනම් බැඳුම්කර වලට ගෙවන කූපන් පොලී ගැන. මේ කූපන් පොලී වලින් EPF එකට හෝ වෙනත් ආයෝජකයෙකුට ලැබෙන සැබෑ ප්‍රතිලාභය අදහස් වෙන්නේ නැහැ. ඒ වගේම, EPF සාමාජිකයින්ට ලැබෙන ප්‍රතිලාභය අදහස් වන්නේත් නැහැ. මෙයට සම්බන්ධයක් තිබුනත් ඒවා වෙනම කතා. ගොඩක් අය කතා කරන්නේ මේ තුන එකිනෙක පටලවා ගෙන. ලිපිය දිගු වන නිසා ඒ කරුණු දෙක ගැන මෙහි කතා කරන්නේ නැහැ. නමුත් කෙටියෙන් කිවුවොත් කූපන් පොලිය 9%ක් ලබා ගනිමින් සාමාජිකයින්ට 10% හෝ 11% වැනි ප්‍රතිලාභයක් ගෙවන්න බැරිකමක් නැහැ. වෙනත් කරුණු මත එය අඩු හෝ වැඩි විය හැකියි. 



1 comment:

  1. අර කලින් ලිපියෙ කමෙන්ට් එකක ඇනෝ කෙනෙක් අහල තිබ්බ වගේ EPF දායක මුදල 25% (15%&10%) සහ ETF දායක මුදල 5% කිරීම යහපත් නැද්ද? ඒකෙන් ආණ්ඩුට දේශපාලන - ආර්ථික වාසියක් වෙන්නෙ නැද්ද?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.