Wednesday, August 2, 2023

උද්ධමනය අඩු වුනේ කොහොමද?


පසුගිය (2022) සැප්තැම්බර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය ඉතිහාසයේ ඉහළම අගය වූ 69.8% වාර්තා කළ අතර ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 73.7% තරම් ඉහළ මට්ටමක පැවතුණා. ආහාර උද්ධමනය 94.9% දක්වා ඉහළ යද්දී ආහාර නොවන භාණ්ඩ හා සේවා හා අදාළ උද්ධමනයද 57.6% දක්වා ඉහළ ගියා. මාස දහයකට පසුව, 2023 සැප්තැම්බර් වන විට කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 6.3% දක්වා අඩු වෙලා. ආහාර උද්ධමනය සෘණ පැත්තට ගිහින්.

පළමුව, ලංකාවේ උද්ධමනය මේ තරම් ඉහළ මට්ටමකට ගියේ ඇයි?

උද්ධමනය වැඩි වීමට ප්‍රධානම හේතුව වුනේ පෙර වසර දෙක තුළ සිදු වූ මුදල් සැපයුමේ ප්‍රසාරණය. 2020 හා 2021 දෙවසර තුළ මහ බැංකුවේ සංචිත මුදල් සැපයුම 40.0%කින් ඉහළ ගිය අතර, පුළුල් මුදල් සැපයුම 39.7%කින් ඉහළ ගියා. නමුත්, එම දෙවසර තුළ සමස්තයක් ලෙස ආර්ථිකය වර්ධනය වුනේ නැහැ. ආර්ථිකය 1.3%කින් පමණ හැකිළෙන එකයි සිදු වුනේ. ඒ කියන්නේ රටේ නිෂ්පාදනයට වඩා 41%ක පමණ වේගයකින් මුදල් සැපයුම වර්ධනය වුනා. 

මේ විදිහට මුදල් සැපයුම වැඩි වෙනවා කියන්නේ මිනිස්සුන්ගේ අතට සල්ලි ඇවිත් භාණ්ඩ හා සේවා සඳහා ඉල්ලුම 39.7%කින් ඉහළ යනවා කියන එක. නමුත්, රටේ නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය 1.3%කින් අඩු වෙලා. ඒ කියන්නේ, රටේ භාණ්ඩ හා සේවා සැපයුම ඉල්ලුමට වඩා 41%කින් අඩුයි. ඉල්ලුම හා සැපයුම අතර මේ වගේ විශාල පරතරයක් ඇති වුනහම වෙන්නේ විශාල ලෙස මිල ගණන් ඉහළ යන එක. ඒ කියන්නේ උද්ධමනය වැඩි වීම. 

මුදල් සැපයුම වැඩි වී උද්ධමනය නිසා රටේ භාණ්ඩ හා සේවා මිල ගණන් වේගයෙන් ඉහළ යනවා කියන්නේ රට ඇතුළේ රුපියල බාල්දු වෙනවා කියන එක. රට ඇතුළේ රුපියල බාල්දු වෙනවා කියන්නේ ඒ බාල්දු වීම රටින් පිටතද නිරූපණය වී ඩොලරයක මිල ඉහළ යනවා කියන එක. මෙය විණිමය අනුපාතය තුළින් පිළිබිඹු විය යුතුයි. එය සිදු වෙන්න නොවී ඩොලරයක මිල පාලනය කළ විට ඩොලර් විකිණෙන්නේ කුණු කොල්ලෙට. ඩොලර් මේ විදිහට කුණු කොල්ලෙට විකිණෙද්දී බාල්දු වූ රුපියල් අතේ තිබෙන අය තමන්ගේ රුපියල් ඩොලර් කරනවා. මොකද රුපියල බාල්දු වෙලා අවසන් වුනත් විණිමය අනුපාතයෙන් තවමත් එය පිළිබිඹු නොවන නිසා. 41%කින් ඉහළ ගිහින් තිබුණු රුපියල් සැපයුම ටිකෙන් ටික ඩොලර් වෙද්දී රටේ නිල සංචිත ටික ඉවර වුනා.

විශාල ලෙස මුදල් සැපයුම වැඩි කිරීමෙන් පසුව විණිමය අනුපාතය එක තැන හිර කරගෙන හිටියේ සංචිත වල උදවුවෙන්. සංචිත ටික හිඳුනට පස්සේ තවදුරටත් ඔය වැඩේ කරන්න බැරි වූ නිසා ඩොලරයක මිල පිම්මේ ඉහළ ගියා. ඩොලරයක මිල පාලනය කිරීම මගින් කෘතිම ලෙස පාලනය කරගෙන සිටි උද්ධමනයද, ඩොලරයක මිල මෙන්ම, පාලනයකින් තොරව ඉහළ ගියා.

සංචිත ටික අඩියටම හිඳෙන්න කලින් ඩොලරය නිදහස් කළානම් ඩොලරයක මිල ඔය තරමටම ඉහළ යන්නේ නැහැ. එහෙමනම්, උද්ධමනයත් ඔය තරමටම ඉහළ යන්නේ නැහැ. ඩොලරයක මිල එක වර විශාල ලෙස ඉහළ යාමෙන්ද උද්ධමනයට යම් බලපෑමක් සිදු වුනා. නමුත්, උද්ධමනයට හේතු වූ ප්‍රධාන කරුණ මුදල් සැපයුම ප්‍රසාරණය වීම. 

පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට මුදල් සැපයුම ප්‍රසාරණය වීම පාලනය කරනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය පාලනය වනු ඇති බව අප කීවේ ඒ දවස් වලමයි. එහෙත්, මුදල් සැපයුම පාලනය කිරීම හා උද්ධමනය පාලනය වීම අතර යම් කාල පමාවක් තිබෙනවා. පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී මුදල් සැපයුම පාලනය කිරීම පටන් ගත්තත් උද්ධමනය ඉහළ යාම නැවතුණේ සැප්තැම්බර් මාසයෙන් පසුවයි. එසේ සැප්තැම්බර් පමණ සිට උද්ධමනය අඩු වී මේ වසරේ මැද වන විට තනි අංකයක් දක්වා පහත වැටෙන බවත් අප විසින් කලින්ම කියා තිබෙනවා. 

කොහොම වුනත්, අප හිතුවාටත් වඩා තරමක් වේගයෙන් උද්ධමනය පහත වැටුණා. ඒ අමතර පහත වැටීමට ප්‍රධාන හේතුව වූයේ ඩොලරයක මිල අප පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා වැඩියෙන් පහත වැටීමයි. ඩොලරයක මිල රුපියල් 300 සීමාවෙන් පහළට පැමිණීම අප විසින් අපේක්ෂා කළ දෙයක් නෙමෙයි. අපගේ අදහස වූයේ මුල් වටයේ නිදහස් කිරීම් වලින් පසුව ඩොලරයක මිල රුපියල් 360 ආසන්න සීමාවක ස්ථාවර වනු ඇති බවයි.

ඩොලරයක මිල ඉහත සීමාවෙන් පහළට පැමිණීම නිසා ආනයනික භාණ්ඩ ගණනාවක මිල ගණන් පහත ගොස් තිබෙනවා. සමස්තයක් ලෙස මෙම අප්‍රේල් මාසයේ සිට දැකිය හැක්කේ උද්ධමනය මෙන්ම මිල මට්ටමද පහත වැටීමේ ප්‍රවණතාවක්. තිරිගු පිටි මිල අඩු වෙද්දී පාන් ආදියේ මිල අඩු වෙනවා. ඉන්ධන මිල අඩුවෙද්දී ප්‍රවාහන වියදම් අඩු වෙනවා. මෙවැනි මිල අඩුවීම් සිදු වන්නේ මුදල් සැපයුම පාලනය කිරීම නිසා උද්ධමනය පාලනය වීමට අමතරවයි. 

කුකුළු මස් හා බිත්තර ආනයනයට ඉඩ දීමෙන් පසුව දැනට පවතින උද්ධමනයට දායක වී තිබෙන එම මිල ගණන්ද පහත වැටෙයි. එවැනි දේ සිදු වන්නේ මුදල් සැපයුම වෙනස් වීමේ බලපෑමකින් නෙමෙයි. එහෙත්, ඩොලරයක මිල රුපියල් 360 වැනි මට්ටමක පැවතියද මේ වන විට උද්ධමනය එක්කෝ තනි අංකයක් වෙනවා. නැත්නම් තනි අංකයකට ආසන්න වී ඉදිරි මාසයේදී තනි අංකයක් වෙනවා. දැනට පවතින තත්ත්වයන් තුළ ඉදිරි මාසයේදී ලංකාවේ උද්ධමනය එහි ඉලක්ක අවම සීමාව වන 4%ට ආසන්න වීමට හෝ ඊටත් අඩු වීමට ඉඩ තිබෙනවා. ඊටත් පසු මාසයේදී උද්ධමනය තවත් පහළ යා හැකියි. ඇතැම් විට අවධමන තත්ත්වයක් ඇති වීමට වුවත් බැරිකමක් නැහැ. කෙසේ වුවත්, ඩොලරයක මිල ඉහළ යාමෙන් මේ තත්ත්වයන් වෙනස් වෙන්න පුළුවන්.

මෙම වසරේ මාර්තු මාසයේ සිට ගත වූ මාස හතරක කාලය තුළ උද්ධමනය අඩු වීමට අමතරව සමස්ත මිල මට්ටමද 1.4%කින් පහත ගොස් තිබෙනවා. පසුගිය මාස 10ක කාලය සැලකුවොත් මිල මට්ටම ඉහළ ගොස් තිබෙන්නේ 0.5%කින් පමණයි. මෙයින් අදහස් වන්නේ ඉදිරි මාස දෙකක කාලය තුළ සමස්තයක් ලෙස 0.5%කින් මිල මට්ටම පහත වැටුණොත් සැප්තැම්බර් මාසය වන විට උද්ධමනය ශුන්‍ය විය හැකි බවයි. මිල මට්ටම ඊටත් වඩා පහත වැටුනොත් ඇති වෙන්නේ අවධමනයක්. කෙසේ වුවත් ඩොලරයක මිල මේ වන විට තරමක් ඉහළ ගොස් ඇති නිසා ඉදිරි මාස වලදී ආනයනික භාණ්ඩ වල මිල යම් තරමකින් ඉහළ යාමෙන් අවධමන තත්ත්වයක් ඇති වෙන එක වැළකෙන්න පුළුවන්. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මහ බැංකුවට ලබා දී තිබෙන ඉලක්කය අනුව වසර අවසාන වෙද්දී උද්ධමනය 12%-18% සීමාව තුළ පවත්වා ගත යුතුයි. දිගුකාලීන උද්ධමනය ඉලක්කය වන 4%-6% මට්ටමට යාමට වසර හතරක කාලයක් තිබෙනවා. එහෙත්, මහ බැංකුව මේ වන විටද 4%-6% ඉලක්කයට ගොස් අවසානයි. ඉදිරි මාස පහක කාලය තුළ මිල මට්ටම 4.5%කින් ඉහළ ගියත් වසර අවසන් වෙද්දී උද්ධමනය 6% සීමාව ඉක්මවන්නේ නැහැ. ඒ නිසා, මේ වන විට උද්ධමනය නැවත ඉහළ යාමේ විශාල අවදානමක් පෙනෙන්නට නැහැ. ඩොලරය විශාල ලෙස අවප්‍රමාණය වුනොත් හෝ යම් අනපේක්ෂිත බාහිර කම්පනයක් ඇති වුවහොත් පමණක් තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්.

"උද්ධමනය මනින්නේ පෙර වසරට සාපේක්ෂව. ඒ නිසා, උද්ධමනය පහළ යාම සාමාන්‍ය ගණිතමය කරුණක්!"

ඉහත ප්‍රකාශය අර්ධ සත්‍යයක්. උද්ධමනය මනින්නේ පෙර වසරට සාපේක්ෂව තමයි. ඒ නිසා, "මිල මට්ටම ඉහළ යන වේගය සීමා වුවහොත්" උද්ධමනය පහළ යාම සාමාන්‍ය ගණිතමය කරුණක්. එහෙත්, මිල මට්ටම ඉහළ යාම නිකම්ම සීමා වෙන්නේ නැහැ. ඒ සඳහා මුදල් හා රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති යොදාගනිමින් කළ යුතු කාර්ය භාරයක් තිබෙනවා. පෙර වසරේ ඉහළ උද්ධමනයක් වාර්තා කළ වෙනත් බොහෝ රටවල් ලංකාව මෙන් උද්ධමනය තනි අංකයක් දක්වා අඩු කරගැනීමට සමත් වී නැහැ. 

වෙනිසියුලාව:

2022 සැප්තැම්බර් උද්ධමනය - 157.4%

2023 ජූනි උද්ධමනය - 404.4%


කියුබාව:

2022 සැප්තැම්බර් උද්ධමනය - 37.2%

2023 මැයි උද්ධමනය - 45.5%


ආජන්ටිනාව:

2022 සැප්තැම්බර් උද්ධමනය - 83.0%

2023 ජූනි උද්ධමනය - 115.6%


සිම්බාබ්වේ: 

2022 සැප්තැම්බර් උද්ධමනය - 107.5%

2023 ජූනි උද්ධමනය - 175.8%


ලෙබනනය:

2022 සැප්තැම්බර් උද්ධමනය - 162.5%

2023 ජූනි උද්ධමනය - 253.6%

ඉහළ උද්ධමනයක් ඇති වීමෙන් පසු එම ඉහළ උද්ධමනය පැවති කාලයට සාපේක්ෂව උද්ධමනය මනින නිසා නිකම්ම උද්ධමනය අඩු වේනම් ඉහත රටවල උද්ධමනය අඩු නොවී තවත් ඉහළ යාමට හේතුවක් නැහැ. උද්ධමනය කොපමණ ඉහළ ගියත්, එසේ ඉහළ යාම නිසාම නිකම්ම අඩු වෙන්නේ නැහැ. 

"උද්ධමනය අඩු කළේ පොලී අනුපාතික අහස උසට නග්ගලා!"

උද්ධමනය ඉහළ යද්දී පොලී අනුපාතික ඉහළ යාම ඉතාම සාමාන්‍ය සංසිද්ධියක්. මහ බැංකුවක් නොතිබුණත් මේ වැඩේ වෙනවා. උද්ධමනය ඉහළ යද්දී ඉතිරි කරන්නෝ, තැන්පතු කරුවෝ උද්ධමනය හා ගැලපෙන ඉහළ පොලියක් බලාපොරොත්තු වෙනවා. එවැනි ඉහළ පොලියක් නොලැබේනම් සල්ලි සල්ලි විදිහට තියා නොගෙන හාල්, පොල් වගේ දෙයක් අරන් තියා ගන්න එක ඔවුන්ට ලාබයි. මොකද හාල්, පොල් මිල වේගයෙන් ඉහළ යන නිසා යම් කාලයකට පසුව හාල්, පොල් සංචිත විකුණා උද්ධමනය හා ගැලපෙන ප්‍රතිලාභයක් ලබන්න පුළුවන්. ඒ නිසාම, උද්ධමනය හා ගැලපෙන සේ පොලී අනුපාතික වැඩි නොකළොත් බැංකු වලින් එළියට යන තරමට බැංකු වලට සල්ලි එන්නේ නැහැ. ඒ විදිහට බැංකු පවත්වා ගෙන යන්න බැහැ.

හැබැයි මහ බැංකුවකට පුළුවන් ඉහත සමතුලිතතාවය වෙනස් කරන්න. මහ බැංකුව විසින් උද්ධමනයට වඩා අඩු පොලියකට ණය දෙනවානම් බැංකු වලට ඉහත කී අරමුදල් ප්‍රශ්නය ඇති වෙන්නේ නැහැ. ප්‍රමාණවත් තැන්පතු නොලැබීමේ හානිය එයින් පූරණය වෙනවා. නමුත් අනෙක් පැත්තෙන් මෙයින් අදහස් වෙන්නේ මහ බැංකුව විසින් දිගින් දිගටම සල්ලි අච්චු ගසමින් උද්ධමනය නඩත්තු කරනවා කියන එක. ඒ නිසා, උද්ධමනය අඩු වෙන්නේ නැහැ. උද්ධමනය පාලනය කරන්නනම් බැංකු පද්ධතිය ඇතුළේ මුදල් ඉල්ලුම හා සැපයුම තුලනය වන පොලී අනුපාතිකයට අනුරූපව මහ බැංකුව විසින් බැංකු වලට ණය දෙන පොලී අනුපාතිකයද වෙනස් කරන්න වෙනවා. එහෙම නැත්නම් වෙන්නේ බැංකු විසින් දිගින් දිගටම අඩු පොලියට මහ බැංකුවෙන් ණයට සල්ලි ගන්න එක. ඒ සල්ලි අච්චු ගහන සල්ලි.

උද්ධමනය 15%-20% වගේ මට්ටමකට යන බව පැහැදිලිව පෙනෙද්දී මහ බැංකුව විසින් පොලී අනුපාතික ඒ මට්ටමට වැඩි කළානම් උද්ධමනය 70% වගේ මට්ටමකට යන්නේ නැහැ. නමුත්, ඒ වැඩේ ඒ විදිහට වුනේ නැහැ. පසුව වුනත්, උද්ධමනය හා ගැලපෙන තරමට මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වැඩි කළේ නැහැ. එහෙත්, අප්‍රේල් මාසයේ සිට සිදු කළ ප්‍රතිපත්ති පොලී අනුපාතික වැඩි කිරීම් වලින් උද්ධමනය පාලනය කිරීම සඳහා සැලකිය යුතු තල්ලුවක් ලැබුණා.

පොලී අනුපාතික හා මුදල් සැපයුම කියන්නේ එකම සංසිද්ධියක පැතිකඩ දෙකක් මිසක් කරුණු දෙකක් නෙමෙයි. මුදල් සැපයුම පහසුවෙන් ඇහැට පේන්නේ නැහැ. පොලී අනුපාතික පැහැදිලිව පේනවා. ඒ නිසා, මුදල් සැපයුම දිහා බලාගෙන එය පාලනය කරන එකට වඩා පොලී අනුපාතික දිහා බලාගෙන මුදල් සැපයුම පාලනය කරන එක ලේසියි. මේක වාහනයක රෝද දෙස බලන්න වද නොවී සුක්කානම පාලනය කරමින් රෝද හසුරුවනවා වගේ වැඩක්. 

ලෝකයේ බොහොමයක් රට වල මහ බැංකු විසින් උද්ධමනය පාලනය කිරීම සඳහා මුදල් සැපයුම පාලනය කරන්නේ පොලී අනුපාතික පාලනය කිරීම මගින්. මේ වන විට ඇමරිකාවේ උද්ධමනය 3% මට්ටමෙනුත් පොඩ්ඩක් පහළට ඇවිත්. නමුත් ඇමරිකානු මහ බැංකුවේ ඉලක්කය උද්ධමනය 2% මට්ටමට ගන්න එක. මේ ඉලක්කය අරමුණු කරගෙන පසුගිය සතියේදීත් ඇමරිකාවේ මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික වැඩි කළා. වෙනස 1%ක් කියලා පොලී අනුපාතික වැඩි කිරීම නැවැත්තුවේ නැහැ. ඇමරිකානු මහ බැංකුව ඩොලරයේ අගය පවත්වා ගන්නේ ඒ විදිහටයි. 

ඒ නිසා, "උද්ධමනය අඩු කළේ පොලී අනුපාතික අහස උසට නග්ගලා!" කියන කතාවේ අහස උසට කියන වැරදි කෑල්ල අයින් කළ පසු ඉතිරි කොටස නිවැරදි වුනත් ඒ කියමන "දොස්තර ලෙඩේ සනීප කළේ බෙහෙත් දීලා!" කියනවා වගේ කතාවක්. දොස්තර කෙනෙක් සාමාන්‍යයෙන් ලෙඩ සනීප කරන්නේ බෙහෙත් දීලා. ඒ වගේම, මහ බැංකුවක් සාමාන්‍යයෙන් උද්ධමනය අඩු කරන්නේ මුදල් සැපයුම අඩු කරලා. මුදල් සැපයුම අඩු කරන්නේ පොලී අනුපාතික ඉහළ යන්න ඉඩ දීම මගින්. 

"උද්ධමනය අඩු කළේ මහ බැංකුව මිසක් රජය නෙමෙයි!"

රටක මහ බැංකුවක ප්‍රධානම කාර්යය මිල ස්ථායීතාවය පවත්වා ගැනීම, එහෙමත් නැත්නම් අඩු, ස්ථාවර උද්ධමනයක් පවත්වා ගැනීම. මහ බැංකුවක් කියලා වෙනම ස්වාධීන ආයතනයක් හදන්නේම ඒ වැඩේට. උද්ධමනය අඩු කරන එක රටක මහ බැංකුවේ වැඩක් මිසක් රජය විසින් කළ යුතු දෙයක් නෙමෙයි. ඒ නිසා, මේ ප්‍රකාශය ඇත්ත වුනත්, එය "බස් එක එළෙවුවේ ඩ්‍රයිවර් මිසක් කොන්දොස්තර නෙමෙයි!" කියනවා වගේ කතාවක්. බස් එක එළවන එක ඩ්‍රයිවර්ගේ රාජකාරියක් මිසක් කොන්දොස්තරගේ රාජකාරියක් නෙමෙයි. 

දැන් කාට හරි අහන්න පුළුවන් එහෙමනම් උද්ධමනය 70% දක්වා ඉහළ ගියේ මහ බැංකුවේ වැරැද්දෙන් මිසක් රජයේ වැරැද්දෙන් වෙන්නත් බැහැ නේද කියලා. ඔව්! උද්ධමනය 70% දක්වා යාම තනිකරම මහ බැංකුව විසින් මහ බැංකුවේ රාජකාරිය හරියට නොකිරීම නිසා සිදු වූ දෙයක්. මෙහිදී මහ බැංකුව පැත්තෙන් ඉදිරිපත් කරන නිදහසට කාරණය මහ බැංකුවට ස්වාධීනව තමන්ගේ රාජකාරිය කරන්න රජය ඉඩ දුන්නේ නැහැ කියන එක. සමහර අවස්ථා වලදී අපි ඒ බව ඇස් පනාපිට දැක්කා.

පසුගිය වසරක පමණ කාලය තුළ මහ බැංකුවට ස්වාධීනව කටයුතු කරන්න ඉඩ ලැබුණා. එය උද්ධමනය අඩු කිරීම සඳහා රජය විසින් උදවු වූ එක් ආකාරයක්. නමුත්, උද්ධමනය මේ තරම් ඉක්මණින් අඩු වීමට රජයෙන් ලැබුණු දායකත්වය ඊට වඩා වැඩියි. 

පසුගිය වසරක කාලය තුළ රජය විසින් සැලකිය යුතු තරමින් තමන්ගේ ආදායම් වැඩි කරගත්තා. ඒ වගේම, සෑහෙන තරමකින් ආදායම් වලට අනුරූපව වියදම් ගලපා ගත්තා. රජය විසින් එසේ නොකළේනම් රජයේ ණය අවශ්‍යතාවය මීට වඩා ගොඩක් වැඩි මට්ටමකට යනවා. ඒ හේතුවෙන්, මුදල් ඉල්ලුම ඉහළ ගොස් පොලී අනුපාතික මත පීඩනය මීට වඩා ගොඩක් ඉහළ යනවා. 

උද්ධමනය 70% මට්ටමකට ගියත් මහ බැංකුව පොලී අනුපාතික 70% මට්ටම ඉක්මවා වැඩි කළේ නැහැ. ප්‍රතිපත්ති පොලී අනුපාතික 15% වගේ මට්ටමක නැවතුනා. භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික වුනත් 30% ආසන්න මට්ටමකින් එහාට ගියේ නැහැ. 70% උද්ධමනය 6% දක්වා අඩු කර ගන්න පොලී අනුපාතික ඒ මට්ටමට යන්න ඉඩ දීම ප්‍රමාණවත් වුණා. එහෙම වුනේ, රජය පැත්තෙන් ආදායම් හා වියදම් අතර පරතරය විශාල ලෙස අඩු කර ගැනීමක් සිදු වුනු නිසා. 

රජය පැත්තෙන් මේ දේවල් නොවුනානම් මහ බැංකුවට මේ තරම් පහසුවෙන් හා ඉක්මණින් උද්ධමනය අඩු කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේම, පොලී අනුපාතික තවත් ඉහළ යන්න ඉඩ දී එම ඉහළ පොලී අනුපාතික වැඩි කාලයක් එලෙස පවත්වා ගන්න සිදු වෙනවා. එහෙම අවශ්‍ය නොවුනේ රජය පැත්තෙන් සැලකිය යුතු මූල්‍ය පාලනයක් සිදු වූ නිසා. ඒ නිසා, උද්ධමනය ඉක්මණින් අඩු කර ගැනීමේ ගෞරවයෙන් යම් කොටසක් රජයටද හිමි විය යුතුයි. 

"උද්ධමනය අඩු කළේ ආර්ථිකය අකුලලා!"

රටක ආර්ථිකය කියන්නේ කුඩයක් අකුලනවා වගේ අකුලන්න පුළුවන් එකක් නෙමෙයි. දිගුකාලීනව රටක ආර්ථිකයේ ප්‍රමාණය මිල මට්ටම මත තීරණය වෙන්නේ නැහැ. ආර්ථිකයේ ප්‍රමාණය කියා කියන්නේ රටේ භාණ්ඩ හා සේවා නිෂ්පාදිතය. උද්ධමනය අඩු වුනත් වැඩි වුනත් ගස් වල ගෙඩි හැදෙනවා. මුහුදු ගියොත් මාළු අහු වෙනවා. වෙනත් සංකීර්ණ නිෂ්පාදනයක් ගත්තත් එහෙමයි. හැබැයි මෙයින් මම කියන්නේ නිෂ්පාදනය කෙරෙහි උද්ධමනයේ මොනයම් හෝ බලපෑමක් නැහැ කියලා නෙමෙයි. පොලී අනුපාතික ආදිය හරහා යම් බලපෑමක් සිදු වෙනවා. 

උද්ධමනය කියා දෙයක් ඇති වෙන්නෙම රටේ නිෂ්පාදනය ඉක්මවා භාණ්ඩ හා සේවා සඳහා වන ඉල්ලුම ඉහළ ගිය විටයි. ඒ වගේ, තත්ත්වයක් කෙටිකාලීනව පැවතිය හැකි වුවත් දිගුකාලීනව පවතින්න බැහැ. කෙටිකාලීනව ගබඩා වල තිබෙන සංචිත ක්ෂය වෙන්නට ඉඩ හරිමින් නිෂ්පාදනය ඉක්මවා පරිභෝජනය කරන්න පුළුවන්. හැබැයි ගබඩා හිස් වන තුරු පමණයි. ලංකාව වගේ කුඩා ආර්ථිකයක් තිබෙන රටකට යම් කාලයක් විදේශ වලින් ණය ගනිමින්, එම ණය වලින් රටේ නිෂ්පාදනය ඉක්මවා භාණ්ඩ හා සේවා පරිභෝජනය කරන්න පුළුවන්. හැබැයි ඒකටත් සීමාවක් තිබෙනවා. ආර්ථික අර්බුදය ඇති වුනේ ඒ සීමාව පැන්නට පස්සේ.

උද්ධමනය විශාල ප්‍රශ්නයක් වෙන්න කලින්ම ලංකාවේ ආර්ථිකය හැකිලෙන්න පටන් අරගෙනයි තිබුණේ. 2019 වසරේදීත් රටේ ආර්ථිකය 0.2%කින් හැකිලුනා. එතකොට කෝවිඩ් ඇවිත් නැහැ. පාස්කු බෝම්බ ප්‍රහාර වලින් පසු සංචාරක කර්මාන්තය බිඳ වැටීම වගේ දේවල් ඊට බලපෑවා. 2020දී ආර්ථිකය 4.6%කින්ම හැකිලුනා. වසංගතය හමුවේ රට වසා දැමීම ඊට හේතු වුනා. 2021දී රට විවෘත කිරීමෙන් පසු 3.5%ක වර්ධනයක් ආවත් පෙර වසරේ වූ 4.6%ක අඩු වීම ආවරණය වුනේ නැහැ. 

ඉන්පසුව, 2022දී ගෙවුම් ශේෂ අර්බුදයක් ඇවිත් ඉන්ධන පෝලිම් හැදී, විදුලිය කැපෙද්දී ආර්ථිකය 7.8%කින් හැකිලුනා. ගෙවුණු වසර තුළ වූ ආර්ථිකයේ මේ හැකිලීම වැඩිපුරම සිදු වුනේ වසරේ දෙවන කාර්තුවේ සිටයි. උද්ධමනය විශාල ලෙස වැඩි වීම සිදු වුනෙත් එම කාලයේදී. මේ දෙක එකටම සිදු වූ දෙයක්. 

උද්ධමනය පාලනය නොවී දිගින් දිගටම ඉහළ ගියානම් විදුලි කප්පාදු ආදී හේතු නිසා ආර්ථිකය තව තවත් හැකිලෙනවා මිසක් වර්ධනය වෙන්නේ නැහැ. එහෙත්, මේ වන විට රටේ ආර්ථිකය නැවත පිළිසකර වීමට සමාන්තරව ආර්ථිකයේ හැකිලීමද නැවතෙමින් තිබෙනවා. ආනයන පාලන ආදිය තවමත් තිබෙන නිසා ආර්ථිකය තවමත් අර්බුදයට පෙර පැවති මට්ටමට ඇවිත් නැති වුනත් මෙම කාර්තුවේදී ඇතැම් විට යම් හෝ වර්ධනයක් සිදු වෙන්න වුනත් බැරිකමක් නැහැ. උද්ධමනය ඉහළ යාම හා ආර්ථිකය හැකිලීම එකට සිදු වී ඇති බවත්, උද්ධමනය නැවත පහළ ස්ථාවර මට්ටමක ඉද්දී ආර්ථිකය හැකිලීමද සමාන්තරව අඩු වී හෝ නැවතී ඇති බවත්, ඉදිරියේදී ආර්ථික වර්ධන දත්ත ප්‍රකාශ වෙද්දී දැකගන්න ලැබෙයි. 

"උද්ධමනය අඩු කළේ බදු වැඩි කර පරිභෝජනය සීමා කරලා!"

සාමාන්‍යයෙන් රටක පරිභෝජනය කියන්නේ නිෂ්පාදනය හරහා ලැබෙන ආදායම වැය කරන ආකාරය. බදු අඩු වුනත් වැඩි වුනත් බදු හරහා වෙන්නේ එම බදු ගෙවන්නන්ගේ පරිභෝජනය සීමා කෙරෙන එක. නමුත්, බදු විදිහට එකතු කර ගන්නා අරමුදල් රජය විසින් පරිභෝජනය කරන නිසා බදු අඩු වුනත් වැඩි වුනත් රටේ පරිභෝජනය වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ පරිභෝජනය කරන්නේ කවුද කියන එක පමණයි. 

ඉහත හේතුව නිසාම රජය විසින් බදු කපා ඊට අනුරූපව වියදම් සීමා කළොත්, බදු ගෙවන්නන්ගේ පරිභෝජනය ඉහළ යන නමුත් රජයේ පරිභෝජනය අඩු වන නිසා රටේ පරිභෝජනය ඉහළ යන්නේ නැහැ. නමුත්, බදු කපා රජයේ වියදම්ද පවත්වා ගත් විට රටේ පරිභෝජනය ඉහළ යනවා පමණක් නෙමෙයි නිෂ්පාදනය ඉක්මවා රටේ පරිභෝජනය ඉහළ ගොස් උද්ධමනය ඇති වෙනවා. ඒ ගැන කලින් කතා කළා. 

උද්ධමනය මගින් කරන්නේ රජය ආදායම ඉක්මවා වියදම් කිරීම හේතුවෙන් රටේ පරිභෝජනය හා නිෂ්පාදනය අතර පැවති අසමතුලිතතාව නිවැරදි කරන එක. මෙහිදී භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ ගොස් එම නිෂ්පාදකයින්ගේ ආදායම්ද ඉහළ යනවා. ඔවුන්ට වැඩි පරිභෝජනයක් කළ හැකි වෙනවා. නමුත්, එයට සමාන්තරව රජයේ සේවකයින් වැනි අයට පරිභෝජනය අඩු කරන්නට සිදු වෙනවා. බදු වැඩි කර (හෝ වියදම් කපා) රජයේ අයවැය තුලනය කර නොගතහොත් වෙන්නේ දිගින් දිගටම මේ අසමතුලිතතාව නඩත්තු වෙමින් උද්ධමනයද නඩත්තු වීමයි.

උද්ධමනය පාලනය නොකළහොත් දිගින් දිගටම ඒ හරහා යම් පිරිසකගේ පරිභෝජනය සීමා වීමක් සිදු වෙනවා. බදු වැඩි කරද්දීද සිදු වන්නේ එවැන්නක්. ඒ නිසා, බදු වැඩි කර ඒ හරහා පරිභෝජනය සීමා කිරීමෙන් උද්ධමනය මගින් පරිභෝජනය සීමා වීම වලක්වන්න පුළුවන්. කොහොම වුනත් ඔය දෙකෙන්ම ඇතැම් අයගේ පරිභෝජනය සීමා වීමක් වෙනවා. ඒ නිසා, "උද්ධමනය අඩු කළේ බදු වැඩි කර පරිභෝජනය සීමා කරලා!" කියන එකේ ලොකු වැරැද්දක් නැහැ.


2 comments:

  1. 2020 හා 2021 දෙවසර තුළ මහ බැංකුවේ සංචිත මුදල් සැපයුම 40.0%කින් ඉහළ ගියේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. බදු අඩු කළ නිසා රජයේ ආදායම් විශාල ලෙස අඩු වුනා. නමුත් ඊට සමාන්තරව වියදම් අඩු නොකළ නිසා අඩුව පුරවන්න ණය ගන්න සිදු වුනා. එහෙත්, ප්‍රමාණවත් තරම් පොලී අනුපාතික වැඩි නොකළ නිසා වෙළඳපොළ තුළ බැඳුම්කර විකිණීම මගින් අවශ්‍ය පමණ ණය ගන්න පුළුවන් වුනේ නැහැ. ප්‍රතිඵලය සල්ලි හොයා ගැනීමට මහ බැංකුවට භාණ්ඩාගාර බිල්පත් විකිණීමයි. මහ බැංකුව බිල්පත් මිල දී ගත්තේ සල්ලි අච්චු ගහලා. ඒ කියන්නේ සංචිත මුදල් සැපයුම වැඩි කරලා.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.