Sunday, September 17, 2023

බැඳුම්කර හුවමාරුවේදී සිදු වුනේ කුමක්ද?


මෙය පාඨකයින් කිහිප දෙනෙකුගේම ඉල්ලීම් අනුව, දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය තුළ සිදු වූ දේ පිළිබඳව කරන සරල පැහැදිලි කිරීමක්. මෙම කරුණු මීට පෙර වරින් වර පැහැදිලි කර ඇතත්, අප හා පසුව එක් වූ බොහෝ දෙනෙකු සතුව තවමත් මේ හා අදාළ මූලික තාක්ෂණික දැනුම නැති නිසා, ඔවුන්ට මෙම ලිපිය උදවුවක් වේයැයි සිතනවා. 

බැඳුම්කරයක් කියන්නේ කුමක්ද?

බැඳුම්කරයක් කියන්නේ කිසියම් රජයක් හෝ සමාගමක් විසින් නිකුත් කරන ණය උපකරණයක්. මෙවැන්නක් වෙළඳපොළේ විකිණීම මගින් රජයක් හෝ සමාගමක් විසින් තමන්ගේ අරමුදල් හිඟ පියවා ගන්නවා. ඕනෑම බැඳුම්කරයක "මුහුණත අගයක්" සහ "කල් පිරෙන දිනයක් තිබෙනවා".

මුහුණත අගය - කල් පිරෙන දිනයේදී බැඳුම්කරයේ අයිතිකරුට ලැබෙන මුදලක් 

කල් පිරෙන දිනය - බැඳුම්කරකරයේ අයිතිකරුට එහි මුහුණත අගයට සමාන මුදලක් ආපසු ලැබෙන අනාගත දිනයක්.

කූපන් බැඳුම්කරයක් කියන්නේ කුමක්ද?

කූපන් රහිත බැඳුම්කරයක් මිල දී ගන්නා අයෙකුට අනාගතයේදී ලැබෙන්නේ එහි මුහුණත වටිනාකම පමණයි. එහෙත්, කූපන් බැඳුම්කර සඳහා කල් පිරෙන දිනය දක්වා කිසියම් "කූපන් පොලියක්" ලැබෙනවා. මෙම කූපන් පොලිය බැඳුම්කරයක මුහුණත වටිනාකමේ ප්‍රතිශතයක්. සාමාන්‍යයෙන් වසරකට දෙවරක් කූපන් පොලී ගෙවනවා. මෑතකදී සිදු වූ බැඳුම්කර හුවමාරුවට පෙර ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කර තිබුණු ස්වෛරිත්ව බැඳුම්කර හා භාණ්ඩාගාර බැඳුම්කර සියල්ලද, සංවර්ධන බැඳුම්කර වලින් වැඩි ප්‍රමාණයක්ද නිකුත් කර තිබුණේ ස්ථාවර හා කාලයත් සමඟ වෙනස් නොවන කූපන් පොලියක් යටතේයි. 

උදාහරණයක් ලෙස, 2015 මාර්තු 1 දින රුපියල් මිලියන 10,058ක මුහුණත වටිනාකමැති භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරනු ලැබුවා. මෙම බැඳුම්කර කල් පිරෙන්නේ වසර 30කට පසුව 2045 මාර්තු 1 දිනයි. එම කාලය අතරතුර බැඳුම්කරහිමියන්ට 12.5%ක වාර්ෂික කූපන් පොලියක් ලැබෙනවා. රුපියල් සියයක මුහුණත් අගයක් සඳහා වරකට රුපියල් 6.25 බැගින් වසරකට දෙවරක් මෙම කූපන් පොලී ආදායම ඔවුන්ට ලැබෙනවා. බැඳුම්කරයක් නිකුත් කිරීමෙන් පසුව එහි මුහුණත අගය, කල් පිරෙන දිනය හෝ කූපන් පොලිය ගෙවන ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ. 

ඇතැම් බැඳුම්කර සඳහා ලබා දෙන කූපන් පොලිය කල් පිරෙන කාලය තුළ වෙනස් විය හැකියි. උදාහරණයක් ලෙස හුවමාරු පදනම මත පසුගිය සතියේදී නිකුත් කළ 2027 මාර්තු 15 දින කල් පිරෙන බැඳුම්කර සඳහා වසර තුනක් යන තුරු 12%ක කූපන් පොලියක්ද අවසන් වසරේදී 9%ක කූපන් පොලියක්ද හිමිවෙනවා. මෙය ස්ථාවර, එහෙත් කාලයත් සමඟ වෙනස් (අඩු) වන කූපන් පොලී ක්‍රමයක්. 

ඇතැම් විට විචල්‍ය කූපන් පොලී යටතේද බැඳුම්කර නිකුත් කරනවා. ඇතැම් සංවර්ධන බැඳුම්කර නිකුත් කර තිබුණේ මෙම ක්‍රමයටයි. සංවර්ධන බැඳුම්කර සමඟ හුවමාරුවට මෑතකදී නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කළේද විචල්‍ය කූපන් පොලියක් යටතේයි. එම බැඳුම්කර වෙනුවෙන් ලැබෙන කූපන් පොලිය මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වෙනස් වන ආකාරය අනුව වෙනස් වෙනවා. 

භාණ්ඩාගාර බැඳුම්කරයක් මිල දී ගත හැක්කේ කෙසේද?

වාණිජ බැංකු වලට, ප්‍රාථමික අලෙවිකරුවන්ට හා සේවක අර්ථසාධක අරමුදල වැනි ආයතන වලට භාණ්ඩාගාර බැඳුම්කර මුලින්ම වෙළඳපොළට නිකුත් කරන විට තරඟකාරී මිලකට වෙන්දේසියෙන් ඒවා මිල දී ගත හැකියි. මෙය භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රාථමික වෙළඳපොළ ලෙස හැඳින්වෙනවා. වෙනත් පුද්ගලයෙකුට හෝ ආයතනයකට අවශ්‍යනම් බැංකුවක් හෝ ප්‍රාථමික අලෙවිකරුවෙකු හරහා ප්‍රාථමික වෙළඳපොළෙන් භාණ්ඩාගාර බැඳුම්කර මිල දී ගත හැකියි. ඉදිරියේදී වෙනස් වීමට නියමිතව ඇතත්, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මේ අයුරින් භාණ්ඩාගාර බැඳුම්කර වෙළඳපොළට නිකුත් කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ඇති රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවයි.

අයුරින් කවුරු හෝ විසින් මිල දී ගන්නා භාණ්ඩාගාර බැඳුම්කරයක් අවශ්‍යනම් කල් පිරෙන තුරු තියා ගන්න පුළුවන්. එසේ නැත්නම්, කල් පිරෙන්නට පෙර වෙනත් අයෙකුට විකුණන්න පුළුවන්. බැඳුම්කරයක් කල් පිරෙද්දී එහි මුහුණත අගය ලැබෙන්නේ අවසන් අයිතිකරුටයි. මෙසේ කලින් මිල දී ගත් බැඳුම්කර ගනුදෙනු වන වෙළඳපොළ භාණ්ඩාගාර බැඳුම්කර ද්වීතියික වෙළඳපොළ ලෙස හැඳින්වෙනවා. මෙය වාහන වල "සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක" වැනි ඉතා සක්‍රිය වෙළඳපොළක්. කෙසේ වුවද, මෙවැනි ද්වීතියික වෙළඳපොළ ගනුදෙනු සිදුවන්නේද බැංකු හෝ ප්‍රාථමික අලෙවිකරුවන් හරහායි. එම ගනුදෙනු සියල්ල එසැණින් මහ බැංකුවේ සටහන් වන නිසා අයිතිය පිළිබඳ අර්බුදකාරී තත්ත්වයන් ඇති වන්නේ නැහැ. කූපන් පොලී ගෙවන කිසියම් දිනයක බැඳුම්කරයක නීත්‍යනුකූල අයිතිකරුට එහි කූපන් පොලී ආදායම ලැබෙනවා. 

භාණ්ඩාගාර බැඳුම්කරයක ප්‍රතිලාභය එහි කූපන් පොලියද?

ස්ථිර තැන්පතු ගිණුමක ප්‍රතිලාභය එහි පොලී අනුපාතයට සමානයි. එහෙත්, භාණ්ඩාගාර බැඳුම්කරයක අයිතිකරුට ලැබෙන ප්‍රතිලාභය එහි කූපන් පොලියට සමාන නැහැ. ප්‍රතිලාභය තීරණය වන්නේ යම් කිසි පුද්ගලයෙක් හෝ ආයතනයක් විසින් භාණ්ඩාගාර බැඳුම්කරයක් මිල දී ගැනීම සඳහා ගෙවූ මුදල මතයි. 12%ක වාර්ෂික කූපන් පොලියක් ගෙවන බැඳුම්කරයක රුපියල් 100ක මුහුණත් අගයක් රුපියල් 100 බැගින්ම මිල දී ගත් අයෙකුට හරියටම 12%ක ප්‍රතිලාභයක් ලැබෙනවා. එහෙත්, බැඳුම්කරයක රුපියල් 100ක මුහුණත අගයක වෙළඳපොළ මිල හරියටම රුපියල් 100ක් වීම ඉතා කලාතුරකින් පමණක් සිදු වන දෙයක්.

බැඳුම්කරයක රුපියල් 100ක මුහුණත අගයක් රුපියල් 80කට (අවමිලට) මිල දී ගත් අයෙකුට මෙන්ම එයම රුපියල් 120කට (අධිමිලට) මිල දී ගත් අයෙකුටද කූපන් පොලී ලෙස වසරකට ලැබෙන්නේ රුපියල් 12ක එක සමාන මුදලක්. පළමුවැන්නාට මෙහි 15%ක ප්‍රතිලාභයක් ඇති නමුත් දෙවැන්නාගේ ප්‍රතිලාභය 10%ක් පමණයි. 

භාණ්ඩාගාර බැඳුම්කරයක ප්‍රතිලාභ ලබා ගැනීමට එය කල් පිරෙන තුරු සිටිය යුතුද?

ඉහත පැහැදිලි කළ පරිදි කූපන් සහිත භාණ්ඩාගාර බැඳුම්කරයක් මිල දී ගත් දින සිටම මාස හයකට වරක් කූපන් පොලී ආදායම් ලැබෙනවා. එහෙත්, එහි මුහුණත අගය ලැබෙන්නේ කල් පිරුණු විටයි. බැඳුම්කරය මිල දී ගෙන තිබෙන්නේ අධිමිලටනම් එහිදී ආපසු ලැබෙන්නේ යට කළ මුදලට වඩා අඩු මුදලක්. අවමිලට මිල දී ගත් අයෙකුට එහිදී වැඩි මුදලක් ආපසු ලැබෙනවා. කෙසේ වුවත්, බැඳුම්කර හිමිකරුවෙකුට බැඳුම්කරයක් කල් පිරෙන්නට පෙර ඕනෑම වෙලාවක එය ද්වීතියික වෙළඳපොළේ විකුණා මුදල් කළ හැකියි. එහිදී සිදුවන ලාබය හෝ අලාබය තීරණය වන්නේ ඒ මොහොතේ වෙළඳපොළ මිල සහ තමන් මිල දී ගත් මිල මතයි. මෙය අලුත් හෝ පරණ වාහනයක් මිල දී ගෙන නැවත විකිණීමට සමාන දෙයක්. 

භාණ්ඩාගාර බැඳුම්කර වල වෙළඳපොළ මිල වෙනස් වෙන්නේ කොහොමද?

සාමාන්‍ය මූලධර්මයක් ලෙස වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ යන විට භාණ්ඩාගාර බැඳුම්කර වල ද්වීතියික වෙළඳපොළ මිල පහළ යනවා. පොලී අනුපාතික අඩු වන විට බැඳුම්කර වල ද්වීතියික වෙළඳපොළ මිල ඉහළ යනවා. මෙය තේරුම් ගන්න අපහසු නැහැ. භාණ්ඩාගාර බැඳුම්කරයක් සඳහා ලැබෙන කූපන් පොලිය 12%ක් කියා අපි හිතමු. වෙළඳපොළ පොලී අනුපාතික 10% දක්වා අඩු වුනොත්, ඊට වඩා වැඩි කූපන් පොලියක් ගෙවන 12% බැඳුම්කර සඳහා ඉල්ලුම වැඩි වෙනවා. ඒ අනුව, එහි මිල ඉහළ යනවා. වෙළඳපොළ පොලී අනුපාතික 15% දක්වා වැඩි වුනොත්, 12% කූපන් බැඳුම්කර වලට තිබෙන ඉල්ලුම අඩු වී මිල පහළ යනවා. 

බැඳුම්කරයක කූපන් පොලිය කීයක් වුනත් ඉහත සංසිද්ධියේ වෙනසක් නැහැ. වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ යන විට භාණ්ඩාගාර බැඳුම්කර වල ද්වීතියික වෙළඳපොළ මිල පහළ යනවා. පොලී අනුපාතික අඩු වන විට බැඳුම්කර වල ද්වීතියික වෙළඳපොළ මිල ඉහළ යනවා. කෙටි කාලයක් තුළ විශාල ලෙස පොලී අනුපාතික ඉහළ ගිය නිසා 2022 වසර අවසන් වන විට සේවක අර්ථසාධක අරමුදල විසින් මිල දී ගෙන තිබුණු මුළු භාණ්ඩාගාර බැඳුම්කර තොගයේ වටිනාකම 40%කින් අඩු වී තිබුණා. බැංකු ඇතුළු අනෙකුත් ආයතන සතු වූ බැඳුම්කර වල මිලද මේ අයුරින්ම පහත වැටී තිබුණා. එය වාහන මිල අඩු වෙද්දී කොයි වාහනයේ මිලත් අඩු වෙනවා වගේ වැඩක්. කෙසේ වුවත්, උද්ධමනය අඩු වෙද්දී සහ දේශීය ණය ප්‍රසස්ථකරණ යෝජනා ප්‍රකාශයට පත් වෙද්දී ද්වීතියික වෙළඳපොළෙහි බැඳුම්කර වල මිල විශාල ලෙස ඉහළ ගියා. 

භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රසස්ථකරණයේදී සිදු වුනේ කුමක්ද?

භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රසස්ථකරණයේදී දැනට නිකුත් කර තිබෙන කිසිදු භාණ්ඩාගාර බැඳුම්කරයක මුහුණත අගය කප්පාදු කරනු ලැබුවේ නැහැ. එමෙන්ම, දැනට නිකුත් කර තිබෙන කිසිදු භාණ්ඩාගාර බැඳුම්කරයක කූපන් පොලී කප්පාදු කරනු ලැබුවේද නැහැ. කවුරු හෝ එසේ කියනවානම් එය දැන හෝ නොදැන ප්‍රචාරය කරන වැරදි තොරතුරක්. මෙහිදී ඇත්තටම සිදු වුනේ දැනට නිකුත් කර තිබෙන බැඳුම්කර ස්වේච්ඡාවෙන් අලුතෙන් නිකුත් කරන බැඳුම්කර වර්ග 12ක් සමඟ හුවමාරු කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවීමක්. මේ වන විට මෙම හුවමාරුව අවසන් වී තිබෙනවා. 

මෙම හුවමාරුව සිදු කිරීම නිසා එසේ කළ අයට පාඩුවක් වී තිබේද?

හුවමාරු කර ගැනීමේදී රජයට ආපසු භාර දුන් සියලුම බැඳුම්කර වල මේ මොහොතේ (පසුගිය සිකුරාදා දින) වෙළඳපොළ වටිනාකම රුපියල් බිලියන 3,002.7ක්. නිකුත් කර තිබූ බැඳුම්කර සියල්ලම රජය විසින් ආපසු ලබාගත්තේනම් අපට හුවමාරුවෙන් පසුව එම බැඳුම්කර වල වටිනාකම හරියටම දැනගන්න ලැබෙන්නේ නැහැ. කළ හැක්කේ උපකල්පන කිරීම පමණයි. සංවර්ධන බැඳුම්කර හුවමාරුවේදී සිදු වුනේ එවැන්නක්. නමුත්, මෙහිදී හුවමාරු කර ගැනුණේ මුළු බැඳුම්කර ප්‍රමාණයෙන් 37%ක් පමණක් නිසා එසේ හුවමාරු කර ගැනුණු බැඳුම්කර සියල්ලෙන්ම යම් ප්‍රමාණයක් (සමස්තයක් ලෙස බැඳුම්කර වලින් 63%ක්) තවමත් වෙළඳපොළේ තිබෙනවා. ඒ නිසා, අපට පහසුවෙන්ම මේ අයුරින් රජය විසින් ආපසු ලබාගත් බැඳුම්කර වල වටිනාකම හරියටම දැනගන්න පුළුවන්. එම වටිනාකම (හුවමාරුව සිදුවීමෙන් පසුව) රුපියල් බිලියන 3,002.7ක්. ඒ වෙනුවට, අලුතෙන් ලැබුණු බැඳුම්කර වල මේ මොහොතේ (පසුගිය සිකුරාදා දින) වෙළඳපොළ වටිනාකම රුපියල් බිලියන 3,007.1ක්. ඒ අනුව, මෙම හුවමාරුවෙන් එම හුවමාරුවට එකඟ වූ පාර්ශ්ව වලට කිසිදු පාඩුවක් වී නැති බව ඉතාම පැහැදිලියි.

සරල උදාහරණයක් ගත්තොත් රජය විසින් කළේ වෙළඳපොළේ තිබුණු තැඹිලි අරගෙන ඒ වෙනුවට කුරුම්බා දෙනවා වගේ වැඩක්. රජය විසින් වෙළඳපොළේ තිබුණු තැඹිලි සියල්ලම එකතු කරගත්තානම් එම තැඹිලි වල දැන් මිල කීයක් විය හැකිව තිබුණාද යන්න ගැන උපකල්පන කරමින් විවිධ අයට පාඩුව ගණන් හැදිය හැකිව තිබුණා. විගණකාධිපති විසින් 2015 බැඳුම්කර නිකුතුවේ පාඩුව ගණන් හැදුවේ මේ විදිහට. මේ වගේ අවස්ථාවක කවුරු හෝ විසින් කරන උපකල්පන වැරදි බව ඉතා පැහැදිලි වුනත් එය ඔප්පු කරන්න අමාරුයි. නමුත් බැඳුම්කර හුවමාරුවේදී රජය විසින් වෙළඳපොළේ තිබුණු තැඹිලි සියල්ලම එකතු කර නොගත් නිසා දැන් අපට තැඹිලි මිල මෙන්ම කුරුම්බා මිලද පහසුවෙන් නිරීක්ෂණය කළ හැකියි. ඒ අනුව, ලාබ පාඩු බලා ගත හැකියි. ඒ සඳහා, තැඹිලි මිල කීයක් විය හැකිව තිබුනාද කියා උපකල්පනය කරන්න අවශ්‍ය නැහැ. 

හුවමාරුවෙන් පාඩුවක් වුනේ නැත්නම් බැංකු හා අනෙකුත් ආයතන තමන්ගේ බැඳුම්කර හුවමාරු කරගන්න ඉල්ලුම් නොකළේ ඇයි?

බැඳුම්කර ලෙස පොදුවේ කතා කළත් සියලුම බැඳුම්කර සමාන නැහැ. ලිපියේ මුලින්ම විස්තර කළ පරිදි, බැඳුම්කර ඒවායේ කල් පිරීමේ කාලය අනුව එකිනෙකට වෙනස් වෙනවා. වෙළඳපොළේ වූ බැඳුම්කර 2023 සිට 2045 දක්වා කල් පිරෙන ඒවා. 

ඕනෑම විශ්‍රාම පාරිතෝෂික අරමුදලක් විසින් බැඳුම්කර මිල දී ගන්නේ දිගුකාලීන ආයෝජනයක් ලෙසයි. ඒ නිසා, ඔවුන් හැම විටම උත්සාහ කරන්නේ හැකි තරම් දිගු කාලයකට ආයෝජනය කරන්නයි. එයින් වෙනස්ව, බැංකු විසින් කරන්නේ හදිසියකට මුදල් කිරීම සඳහා වසර කිහිපයකට බැඳුම්කර වල ආයෝජනය කරන එකයි. හුවමාරුවේදී අලුතෙන් නිකුත් කෙරුණු බැඳුම්කර වර්ග 12 කල් පිරෙන්නේ 2027 සිට 2038 දක්වා කාලය තුළයි. එම කාලය රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු අනුව ආදායම් වැඩි කරගෙන ණය ආපසු ගෙවිය හැකි කාලයයි. 

තමන්ගේ අරමුදල් ආපසු ලබා ගැනීම සඳහා වසර 3 සිට වසර 15 දක්වා කාලයක් (සාමාන්‍ය වශයෙන් වසර 9ක කාලයක්) බලා සිටීම විශ්‍රාම පාරිතෝෂික අරමුදලකට ප්‍රශ්නයක් නෙමෙයි. එහෙත්, බැංකු වලට හා අනෙකුත් ව්‍යාපාරික ආයතන වලට කොයි තරම් ඉහළ ප්‍රතිලාභයක් ලැබුනත් තමන්ගේ මුදල් එවැනි දීර්ඝ කාලයකට හිර කිරීමේ හැකියාවක් නැහැ. ඊට අමතරව, මෙම හුවමාරුවෙන් පාඩුවක් වේද නොවේද යන්න පිළිබඳව හුවමාරුවට පෙර හරියටම දැනගත හැකි ක්‍රමයක් තිබුණේ නැහැ. එවැනි තත්ත්වයක් යටතේ යමෙක් අවදානමක් ගන්නේ කලාතුරකින්. දැන් තත්ත්වය අනුව බැලුවත්, පාඩුවක් සිදු වී නැතත් ගිණිය හැකි තරමේ ලාබයක්ද සිදු වී නැහැ.

ගහේ තැඹිලි වල්ල මෝරන තුරු සිට තැඹිලි-පොල් පොල් විදිහට ප්‍රයෝජනයට ගන්න ඉන්න කෙනෙක් අකැමැත්තක් නැතුවම තමන්ගේ තැඹිලි වල්ල පොල් වෙනුවට හුවමාරු කර ගන්නවා. නමුත්, තැඹිලි වල්ල මෝරන්න කලින් බාගන්න බලාගෙන ඉන්න කෙනෙක්ට තැඹිලි වෙනුවට මෝරපු පොල් වැඩක් නැහැ. 

පාඩුවක් නැතිව හුවමාරුව කළ හැකි වීනම් රජය විසින් විශ්‍රාම පාරිතෝෂික අරමුදල් මත 30% බද්දක් පැනවූයේ ඇයි?

මෙය ඔවුන්ව පොළඹවා ගැනීම සඳහා කළ දෙයක් බව ඉතාම පැහැදිලියි. මෙම බද්ද පැනවුයේ නැතත් විශ්‍රාම පාරිතෝෂික අරමුදල් විසින් යම් බැඳුම්කර ප්‍රමාණයක් හුවමාරු කර ගැනීම සඳහා අයදුම් කරනවා. බද්ද පැනවීමෙන් පසුවද බදු සහනය ලබා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම හුවමාරු කළ යුතු නැති බැඳුම්කර වර්ග ගණනාවක්ද හුවමාරු කර ගැනීම සඳහා විශ්‍රාම වැටුප් අරමුදල් හා වෙනත් අය විසින් අයැදුම් කර තිබීමෙන් එය පැහැදිලි වෙනවා. එසේ වුනානම් ඔවුන් කරන්නේ වැඩි වෙළදපොළ මිලක් තිබෙන බැඳුම්කර ඉතිරි කරගෙන අඩු මිලක් ඇති ඒවා පමණක් හුවමාරු කර ගැනීම සඳහා අයැදුම් කරන එකයි. එය ලොකු තැඹිලි තියාගෙන පොඩි තැඹිලි පමණක් කුරුම්බා සමඟ හුවමාරු කරගන්නවා වගේ වැඩක්. එවැන්නක් වුනානම්, එයින් රජයට විශාල පාඩුවක් වෙනවා. 30% බද්ද පැනවීම මගින් රජය කළේ අයැදුම් කිරීමට පෙර එසේ "බැඳුම්කර තේරීම" පාලනය කරන එකයි. 

අනාගතයේ පොලී අනුපාතික ඉහළ ගියොත් මේ හුවමාරුව කළ අයට පාඩුවක් වෙන්නේ නැද්ද?

අනිවාර්යයෙන්ම පාඩුවක් වෙනවා. නමුත්, එය දිගුකාලීන ආයෝජන කිරීමේදී ගන්න වෙන සාමාන්‍ය අවදානමක් මිසක් බැඳුම්කර හුවමාරුව නිසා සිදු වන පාඩුවක් නෙමෙයි. දැනට පවතින වෙළඳපොළ මිල කියන්නේ අනාගතයේ සිදු විය හැකි ලාබ පාඩු සියල්ල පිළිබඳ මේ මොහොතේ තිබෙන නිවැරදිම පිළිබිඹුවයි. වෙළඳපොළ පොලී අනුපාතික ඉහළ ගියහොත් හුවමාරුවට ලැබුණු බැඳුම්කර වල මිල පහත වැටිය හැකියි. වෙළඳපොළ පොලී අනුපාතික පහළ ගියහොත් එම මිල ඉහළ යා හැකියි. පොලී අනුපාතික ඉහළ යා හැකි බව පෙනේනම් මේ අවස්ථාවේදී මෙම බැඳුම්කර ද්වීතියික වෙළඳපොළෙහි විකුණා මුදල් කිරීම මගින් අනාගතයේ සිදු විය හැකි පාඩුව වලක්වා ගත හැකියි. නමුත් යම් හෙයකින් පොලී අනුපාතික අඩු වුවහොත් ලැබෙන්නේ ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵලයයි. 

විශ්‍රාම පාරිතෝෂික අරමුදල් වලට පාඩුවක් වී නැත්නම් රජයේ ණය අඩු වුනේ කොහොමද?

බැඳුම්කර හුවමාරුව නිසා රජයේ ණය අඩු වෙන්නේ නැහැ. එය වැරදි අවබෝධයක් හෝ බොරු කතාවක්. සිදු වෙන්නේ ණය බර අඩුවීමක් මිසක් ණය අඩු වීමක් නෙමෙයි. ඔබේ වැටුප රුපියල් 25,000ක්නම්, නිවාස ණය වාරිකය රුපියල් 10,000ක් නම්, බැංකුව සමඟ කතා කර එම ණය වාරිකය රුපියල් 8,000ක් කර ගත් විට ඔබේ ණය බර අඩු වෙනවා. නමුත්, එයින් ඔබේ ණය අඩු වෙන්නේ නැහැ. ඔබට එම වාරිකය වැඩි කාලයක් ගෙවන්න සිදු වෙනවා. ඒ නිසාම, බැංකුවට පාඩුවක් වෙන්නෙත් නැහැ. 

මේ වැඩේට සේවක අර්ථසාධක අරමුදල පමණක් ගාව ගත්තේ ඇයි?

අසත්‍ය ප්‍රකාශයක්. හුවමාරු කෙරුණු රුපියල් බිලියන 3,264.5ක බැඳුම්කර ප්‍රමාණයෙන් සේවක අර්ථසාධක අරමුදලේ කොටස රුපියල් බිලියන 2,667.5ක් පමණයි.

මීට අමතරව ඉදිරියේදී වාර්ෂිකව දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.5%ක් කපනවද?

පට්ටපල් බොරුවක්. දැන් භාණ්ඩාගාර බැඳුම්කර හුවමාරුව සිදු කර අවසානයි. මීට අමතරව, අනාගතයේදී අරමුදලින් එක සතයක්වත් කැපීමේ සැලසුමක් නැහැ. 

ඉදිරියේදී සේවක අර්ථසාධක අරමුදල් ටිකෙන් ටික අඩු වී යනවාද?

කිසිසේත්ම නැහැ. සේවක අර්ථසාධක අරමුදල අඩු වශයෙන් තව වසර 20-30ක්වත් යන තුරු වසරින් වසර වර්ධනය වෙනවා. අලුතෙන් ලැබෙන දායක මුදල් එයට එක හේතුවක් වුනත්, එම දායක මුදල් කොටස ඉවත් කළත් අරමුදල වර්ධනය වෙනවා. හුවාමාරු කළ බැඳුම්කර කොටස පමණක් සැලකුවත්, 2023, 2024, 2025 හා 2026 පළමු අර්ධය තුළ 12%ක කූපන් පොලියක් අරමුදලට ලැබෙනවා. එයින් පසුව 9%ක් ලැබෙනවා. මේ අනුව, අරමුදල දිගින් දිගටම ක්‍රමයෙන් වර්ධනය වෙනවා.

සාමාජිකයින්ට ලැබෙන ප්‍රතිලාභ වලට කුමක් වෙයිද?

සේවක අර්ථසාධක අරමුදලේ සේවකයින්ට ලැබෙන ප්‍රතිලාභ තීරණය වන්නේ අරමුදලේ ආයෝජන වලට ලැබෙන ප්‍රතිලාභ අනුවයි. 2026 දක්වා හුවමාරු කළ බැඳුම්කර වෙනුවෙන් 12%ක කූපන් පොලියක් ලැබෙනවා. මුලින් පැහැදිලි කළ පරිදි මෙම කූපන් පොලිය ගණනය කරන්නේ බැඳුම්කර වල මුහුණත අගය මතයි. හරියටම ගණන් දන්නේ නැතත්, සේවක අර්ථසාධක අරමුදල විසින් බැඳුම්කර බොහොමයක් මිල දී ගෙන තිබෙන්නේ අවමිලට නිසා අරමුදලට ලැබෙන සැබෑ ප්‍රතිලාභය 12%ට වඩා වැඩියි. 2026න් පසු කාලය සැලකුවද 9%ට වඩා වැඩියි. එහෙත්, සාමාජිකයින්ට ප්‍රතිලාභ ගෙවන්නට පෙර රජයට 14%ක් බද්දක් ගෙවිය යුතුයි. මෙම කරුණු සැලකිල්ලට ගත් විට 2027 වසර පමණ දක්වා සාමාජික ශේෂ මත 9%ක ප්‍රතිලාභ ලබා දීමේ ඉඩක් තිබෙන නමුත් ඉන් පසුව එම අනුපාතය තරමක් අඩු විය හැකියි. මෙය තීරණය වන්නේ රටේ පවතින උද්ධමනය හා පොලී අනුපාතික මතයි. උද්ධමනය අඩු වෙද්දී පොලී අනුපාතික අඩු වෙනවා. පොලී අනුපාතික විශාල ලෙස අඩු වුවහොත් අලුතෙන් එකතු වන දායක මුදල් සහ ආයෝජන ආදායම් නැවත ආයෝජනය කරන්න වෙන්නේ අඩු පොලියකටයි. ඒ අනුව, සාමාජික ප්‍රතිලාභද අඩු විය හැකියි. උද්ධමනය හා පොලී අනුපාතික ඉහළ මට්ටමක තිබුණොත් ලැබෙන ප්‍රතිලාභයද ඉහළ යයි. එහෙත්, එය අරමුදලේ සාමාජිකයින්ට ලැබෙන සැබෑ වාසියක් නෙමෙයි. සැබෑ වාසිය වන්නේ උද්ධමනයට වඩා වැඩියෙන් ලැබෙන ප්‍රමාණයයි. උද්ධමනය 5% ලෙස තිබියදී 8%ක ප්‍රතිලාභයක් ලැබිය හැකිනම් එය උද්ධමනය 13% මට්ටමේ තිබියදී 15%ක ප්‍රතිලාභයක් ලැබෙනවාට වඩා වාසිදායකයි. 

14 comments:

  1. ජාතික ජන බලවේගය (මාලිමාව) සිය NPP වට්ස් ඇප් ගෲප් වල සහ සමාජ ජාල වල මේ ගැන ඉතාම පැහැදිලිව විස්තර කර තිබෙන මේ ලිපිය හැමෝම කියවල බලන්න

    //

    *ලංකාවේ මහ දවල් කල අලුත්ම අලුත් මහා මංකොල්ලය ගැන ඔබ දන්නවා ද ................*

    පසුගිය කාලයේ සමහරුන් කිව්වේ ලංකාවේ මහ දවල් සිදුවූ මහා මංකොල්ලය මහ බැංකුවේ ඉතාම සූක්ෂම ලෙස අප්‍රසිද්ධව සිදුකල භාණ්ඩාගාර බැඳුම්කර කොල්ලය කියලයි. ගාමිණී විජේසිංහ ගරු විගණකාධිපතිතුමාද එදා කෝප් කමිටුවේදී සඳහන් කලේ මෙම හොරකමින් දල වශයෙන් රුපියල් බිලියන 1.6 ක් පමණ දිගුකාලීනව රටට අහිමි වන බවකි.

    https://www.colombotelegraph.com/index.php/auditor-general-confirms-country-lost-rs-1-6-billion-due-to-bond-scam-cope-report-out-this-month/

    තවත් සමහරුන් ප්‍රකාශ කලේ රුපියල් බිලියන 8.7 ක් රජයට අහිමි වූ බවයි.

    වෙරිටේ රිසච් පර්යේෂණ ආයතනය (Verite Research) කියන්නේ ඩොලර් බිලියන 0.9 ක් අහිමි වූ බවකි.

    https://www.veriteresearch.org/wp-content/uploads/2018/05/VR-Insight_Central-Bank_s-30-yr-Bond-Debacle-What-is-the-Loss_-1.pdf

    කෙසේ වෙතත්, වැදගත්ම දේ ඒ කොල්ලයට සම්බන්ධ බවට ප්‍රධාන චෝදනාව එදා එල්ල වූයේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ ඔහුගේ අතිජාත මිත්‍ර එවකට මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට ය.

    මහේන්ද්‍රන් දැන් සිංගප්පූරුවේ සැඟවී සිටින බව රනිල් වික්‍රමසිංහ හැර ලංකාවේ අනෙක් හැමෝම හොඳින් දන්නා ප්‍රසිද්ධ රහසකි. එදා රනිල් වික්‍රමසිංහට දඬුවම් දෙන බව කියූ මහින්ද රාජපක්ෂලා, නාමල් රාජපක්ෂලා, දිනේෂ් ගුණවර්ධනලා, බන්දුල ගුණවර්ධනලා, මහින්දානන්දලා, රත්තරංල අද රනිල් වික්‍රමසිංහ ජනාධිපති වරයාගේ ඔඩොක්කු කුක්කන් බවට පත් වීම දෛවයේ සරදමකි. එදා පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහ හිරේ දමන බව කියූ මහින්දානන්ද අද රනිල් වික්‍රමසිංහ ආරක්ෂා කිරීමට රැය පහන් කරනු දැකීම කෙතරම් අපූරුද? ඒ ලංකාවේ දේශපාලනයේ ස්වභාවය යි. සම හරක්ට මෙය තවම නොතේරේ. නැත්නම් ඔවුන්ට එය තේරුම් ගැනීමට අවශ්‍ය නැත.

    එහෙත්,

    ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදුකල මහාම මහා මංකොල්ලය ඔබ තවම නොදන්නවා ඇති. ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මුවාවෙන් කල අර්ථසාධක අරමුදල් මංකොල්ලයයි. History Repeats කියනවා වගේ මේ මංකොල්ලයටත් වගඋත්තර කරුවන් වන්නේ රනිල් වික්‍රමසිංහ සහ එදා අර්ජුන මහේන්ද්‍රන්ගේ දෙවනියා වෙච්ච අද IMF නියෝජිත (සමහරු කියන ආකාරයට) ශ්‍රී ලංකා මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ වීම අහම්බයක් නොවෙයි. එදා ඔබලාට නොදැනෙන්න කල බැඳුම්කර හොරකම හෙළිදරව් වන්නේ කාලයක් ගත වීමෙන් පසුවයි. එහෙත් මෙදා ඔවුන් හොරකම කලේ පොහොට්ටු පක්ෂය බහුතරය වන පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත අරගෙන යි.

    රනිල් වික්‍රමසිංහ කවදාවත් එකම හොරකම එකම විදිහට දෙවතාවක් නොකරයි . ඒ ඔහුගේ ක්‍රමයයි. එදා රනිල් වික්‍රමසිංහ දඬුකඳේ ගැසීමට කතා කල රාජපක්ෂලාගේ එහෙයි නඩය මෙදා බැඳුමකර හොරකම සඳහා වූ යෝජනාව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත කර දෙන්නේ කිසිදු හිරිකිතයකින් තොරව වීම විශේෂ ය. පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව සම්මත වූ විට රනිල් වික්‍රමසිංහට දෙකොනින්ම හිනා යන්නට ඇත. මෙදා සැරේ "මම ඌරාගේ මාලු ඌරාගේ ඇඟේම තියා කපා ගත්තා" කියා ඔහුට බොහෝ විට හිතෙන්නට ඇත.

    මෙම බැදුම්කර හොරකම සිදු කිරීම සඳහා සූර චෞර නන්දලාල් වීරසිංහ සහ රනිල් වික්‍රමසිංහට එතරම් මහන්සියක් අවශ්‍ය නොවීය. මෙයින් සිදුවූයේ හඬක් හෝ හරි හමන් අවබෝධයක් නොමැති මිලියන 2.4 ක් වන කම්කරුවන්ට අයත් ඔවුන්ගේ විශ්‍රාම අරමුදල වන සේවක අර්ථසාධක අරමුදලේ රුපියල් ට්‍රිලියන 3.2 ක් (රුපියල් බිලියන 3200 ක්) හෙවත් ඩොලර් බිලියන 10 ක් පසුගිය අඟහරුවාදා, මහ දවල් මංකොල්ල කෑමයි. සේවක අර්ථසාධක අරමුදලට අහිමි වන මුදල පිළිබඳ තොරතුරු සඳහා මේ ලිපිය බලන්න.

    https://www.bloomberg.com/news/articles/2023-09-12/sri-lanka-gets-closer-to-imf-funds-with-local-bond-swap-deal?srnd=null#xj4y7vzkg

    මෙය ලෝකයේ මෙතෙක් සිදුවූ විශාලතම විශ්‍රාම අරමුදල් මංකොල්ලයයි. ලංකාවේ මිනිසුන්ට මෙය නොතේරීම සාමාන්‍යයි. ලංකාවේ සම හරක් මිනිසුන් මේ වන විට නිර්වින්දනය වී ඇත. නැත්නම් ස්වයංව වින්දනයට පත්වී ඇත. (ඔවුන් පුරවැසියන් නොවේ. මන්ද පුරවැසියෙකුට පුරවැසි වගකීමක් වගේම වගවීමක්ද ඇත. සම හරක්ට ඒ දෙකම නැත) ඔවුන් හොරකම අනුමත කරන්නන් වන අතර හොරකමට විරුද්ධ වන්නන් ඔවුන්ට පේන්නේ ද්‍රෝහීන් ලෙසය.

    Cont'd

    ReplyDelete
    Replies
    1. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් සොච්චම් ඩොලර් බිලියන 2.9 ක්, ණයක් හැටියට 5%-6% පමණ අධික වාර්ෂික පොලියකට වාරික අටකින් වසර හතරක් තුල ලබා දීමට එකඟ වී ඇත. එක් වාරිකයක් ඩොලර් මිලියන 333 කි. වසරකට මෙවැනි වාරික දෙකක් ලැබේ.

      එහෙත් , මැදපෙරදිග සේවය කරන කම්කරුවන් මසකට ඩොලර් මිලියන 400-450 ත් අතර ප්‍රේශන ලංකාවට එවන බව බොහෝ අය නොදනී. රජය කියුබාව වැනි සමාජවාදී රටවල් මෙන් නිවැරැදි වැඩපිළිවෙළක් අනුගමනය කරන්නේ නම් අවම වශයෙන් විදේශ රටවලට පුහුණු වෘත්තිකයන් යවා ඩොලර් මිලියන 700-800 අතර ප්‍රමාණයක අවමයකට ඉතාම පහසූවෙන් එය ඉහළ දා ගත හැක.

      ලංකාවේ පාලකයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 2.9 ක් ලබා ගැනීම සඳහා මේ වන විට රටේ ජනයාට අත් කර දී තිබෙන මහත් වූ දුක, කනගාටුව, මානසික පීඩාව කොපමණද කියා අමුතුවෙන් ඔබට කිව යුතු නැත. රටේ තෙල් පෝලිම් , ගෑස් පොලිම් නොපෙණුනාට, උද්ධමනය 4% ට අඩු බවට පාරම්බෑවාට රටේ 80% ක් මිනිසුන්ගේ මිල දී ගැණීමේ හැකියාව (Purchasing Power) 70% කින් පමණ කඩා වැටී ඇත. ඊට සාපේක්ෂව ඔවුන්ගේ ආදායම වැඩි වී නැත. සම හරක්ට එය දැණුනද මේ නරාවලේම ලැගීම සතුටක් ලෙස ඔවුන් සලකති. ඉන් මිදීමට මාර්ගය කොතෙක් පෙන්වුවද ඔවුන්ට එය නොපෙනෙයි. නොපෙනෙනවා සේ හැසිරෙති.

      එක අතකින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා රටේ වැඩකරන කම්කරුවන්ගේ අර්ථසාධක අරමුදලින් 2038 දක්වා ඉදිරි වසර15 ක් පුරාවට රුපියල් ට්‍රිලියන 3.2 කට වැඩි මුදලක් කොල්ල කන අතර අනෙක් අතට අසීමිත බදු බරක් ජනයා මත පැටවීම හේතුවෙන් මිලියන 7 ක් ජනයා අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙති. පසුගිය දා නිකුත් වූ ලෝක බැංකු නවතම වාර්තාවක පෙන්වා දී ඇති අන්දමට මෙම තත්ත්වය දිගටම පැව්තීම තුල විශාල සමාජ අර්බුදයක් කරා රට තල්ලු වනු ඇත. ලංකාවේ පර්‍යේෂන ආයතනයක් වන ලර්න් ඒෂියා (LIRNEasia) මෑතක පලකල පර්‍යේෂන පත්‍රිකාවක මෙය තවත් තහවුරු කොට ඇත.

      සේවක අර්ථසාධක අරමුදලේ දල ආදායම මත (Gross Income) 14% ක ආදායම් බද්දක් අයකිරීම ආරම්භ වන්නේ 2017 දී යහපාලන රජය සමයේය. 2019 දී ආර් ප්‍රේමදාස රජය 10% ක ආදායම් බද්දක් සේවක අර්ථසාධක අරමුදල මත ඒ වන විටත් පනවා තිබුණි. කෙසේ වෙතත්, 1956 බණ්ඩාරනායක රජයේ කම්කරු ඇමැති ටී. බී ඉලංගරත්න මහතා ඉදිරිපත් කල 1958 අංක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් මුල් පනතින් විශ්‍රාම අරමුදල් ආදායම් බද්දෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කොට තිබුණි. එහෙත් එජාපය දෙවතාවකදී මෙසේ සේවක අර්ථසාධක අරමුදලේ ආදායමින් බදු වශයෙන් විශාල මුදලක් ලබා ගෙන ඇත. එය අදටත් ක්‍රියාත්මක යි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා රුපියල් ට්‍රිලියන 3.2 ක් අරමුදලේ ආදායමි කපාගැනීම සිදුවන්නේ බද්දට අමතරව ය. එමෙන්ම, සාමාජිකයකු විශ්‍රාම යන විට ලැබෙන විශ්‍රාම පාරිතෝෂිකය රුපියල් 1000,000 වැඩි වන්නේ නම් 10% ක රඳවා ගැනීමේ බද්දක් අයකර ගැනීමක්ද සිදුවෙනවා. මීට අමතරව වෙනත් බැංකු සහ සමාගම් බදු ගෙවන්නේ ඔවුන්ගේ ශුද්ධ ආදායමටය (Net Income). එහෙත් සේවක අර්ථසාධක අරමුදලෙන් බදු ගන්නේ දල ආදායමටයි (Gross Income ).

      පසුගිය සතියේ නිකුත් කල බැඳුම්කර වලට පවා ආසන්න වශයෙන් 18% ක පොලියක් හිමිවිය. සමහර මාස වල නිකුත් කල බැඳුම්කර සඳහා 22%-24% මට්ටමක ඉහළ පොලියක් ගෙවීමට මහා භාණ්ඩාගාරය එකඟ වී තිබුණි. බැදුම්කර ගැණුම් කරුවන්ට ඉහළ පොලී අනුපාත ලැබුණත් සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයාට ලැබෙන්නේ උපරිම 9% කි. මෙය 9% ට වඩා අඩුවීමට වුවද ඉඩ තිබෙන බව මහ බැංකු අධිපති වරයා පසුගිය දා පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කලේය.

      මේ සියල්ලෙන් පෙනී යන පොදු කාරණය වන්නේ හඬක් නැති සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් වන රටේ කම්කරු ජනතාවට මේ පාලකයන්ගේ පව් සියල්ලටම කරගැසීමට සිදුව ඇති බවකි. බලය හිමි ප්‍රාථමික ගැණුම්කරුවන් , බැඳුම්කර මිල දී ගෙන ඇති මහාපරිමාණ ව්‍යාපාරිකයන් සහ බැංකු දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් බේරි ඇත. ලංකාවේ මිටි තැනින් වතුර බැස යන්නේ එලෙසය. එහෙත්, පාලකයන්ගේ මෙවැනි කූඨ , කොල්ලකාරි පාලනයේ ආදිනව දැනී ඊට විරුද්ධව ජනයා නැගිටින දිනය වැඩි ඈතක නොවන බව කිව යුතුය.

      *ශාන්ත ජයරත්න*
      ජ්‍යෙෂ්ඨ ආර්ථික සංවර්ධන උපදේශක, ජාතික ජන බලවේගයේ ආර්ථික සංවර්ධන කමිටුව, ජාතික විද්වත් සභාව NIO, සහ හිටපු සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
      16.9.2023
      (හුවමාරු කල හැක)

      Delete
    2. කරුණු විකෘතී කරමින් තමන්ගේ දේශපාලනය කරන මේ වගේ අයව ආර්ථික උපදේශන සභාවේ තියං යනවයි කියන්නේ මාලිමාවට අබ සරණයි කියලා තමයි

      Delete
  2. පහුගිය ලිපියක තිබ්බ නේද බැඥුම්කර පොලී ඉහල ගියොත් පාඩුව වැඩි වෙනව කියල ප්‍රතිව්‍යුහගතකරනය නිසා වෙන?

    ReplyDelete
    Replies
    1. මේ ලිපියේ කියන්නෙ වෙන දෙයක්නෙ
      පොලී ඉහල ගියොත් ප්‍රතිව්‍යුහගත්කරනය කලා හෝ නැතා කොහොමත් පාඩු වෙනව් කියල නේද කියන්නෙ?
      පැහැදිලි කරන්න පුලුවන්ද?

      Delete
    2. //පොලී ඉහල ගියොත් ප්‍රතිව්‍යුහගත්කරනය කලා හෝ නැතා කොහොමත් පාඩු වෙනව් කියල නේද කියන්නෙ?//
      ඔව්.

      Delete
    3. හුවමාරුවේදී වුනේ ෂෝර්ට් මැචුරිටීස් වෙනුවට ලෝන්ග් මැචුරිටීස් දෙන එක. පොලී ඉහළ යද්දී දෙවර්ගයෙන්ම පාඩු වෙනවා. පොලී අඩු වෙද්දී දෙවර්ගයෙන්ම ලාබ වෙනවා. ලෝන්ග් මැචුරිටීස් වල සෙන්සිටිවිටි එක වැඩියි.

      Delete
    4. ඔබට ප්‍රශ්නය තේරුනේ නෑ මම හිතන්නෙ.
      පෙර ලිපියක කියල තිබ්බෙ පාඩුවට හේතුව ප්‍රතිව්‍යුහගතකරනය කියල. මේ ලිපියෙ කියන දේත් එක්ක පරස්පර නැතිද?
      පොලිය ඉහල යද්දි බැඳුම්කරයක් පාඩු වෙන බව මට තේරෙනව. මම අහන්නෙ පෙර ලිපියක කියල තිබුන පරිදි පොලිය ඉහල ගියොත් ප්‍රතිව්‍යුහගතකරනය නිසාම පාඩු වෙන කොටසක් තියෙනවද? එහෙනම් මේ ලිපියෙ කියල තියෙන දේ වැරදී නේද?

      Delete
    5. මම දන්නේ නැහැ ඔය කියන්නේ කොයි ලිපිය ගැනද කියලා. හුවමාරුව වෙද්දී පොලී අනුපාතික මීට වඩා ඉහළින් තිබුනානම් හුවමාරුවේදී පාඩුවක් වෙන්න ඉඩ තිබුණා. නමුත් පොලී අනුපාතික අඩු වූ නිසා එහෙම වෙලා නැහැ. මහ බැංකුව උපකල්පනය කර තිබුණේ 6-අවුරුදු ඵලදා අනුපාතය 13.5%යි කියලා. නමුත් පසුගිය සතිය වන විට 12.5% කිට්ටුවට අඩු වෙලයි තිබුණේ. සමහර විට කලින් ලිපියේ කියන්න ඇත්තේ මේ ගැන වෙන්න ඇති. පොලී අනුපාතික 15% වගේ තිබුණානම් බොහෝ විට පාඩුවක් වෙනවා.

      දැනට වුනත්, මේ වෙලාවේ පාඩුවක් නැතත් පොලිය විශාල ලෙස ඉහළ ගියොත් ප්‍රතිව්‍යුහගතකරනය නිසාම පාඩු වෙන කොටසක් තියෙනවා. මොකද ලෝන්ග් මැචුරිටීස් වල සෙන්සිටිවිටි එක වැඩියි. හැබැයි අනෙක් පැත්තට පොලිය අඩු වුනොත් ලාබයත් වැඩියි. හුවමාරුව නිසා පොලී අනුපාතික වෙනස් වෙද්දී දෙපැත්තටම විචලනය වැඩි වෙනවා.

      Delete
  3. බැදුම්කර ද්විතීයික වෙලදපොල ක්‍රියාත්මක වෙන්නෙ කොහෙද ? ඒක කොටස් වෙලදපොල වගේ භෞතිකව තියෙන තැනක්ද එහෙම නැත්තං අන්තර්ජාලය තුල ක්‍රියාත්මක වන එකක්ද?

    ReplyDelete
    Replies
    1. මෙය ක්‍රියාත්මක වෙන්නේ බැංකු හා ප්‍රාථමික වෙළඳුන් හරහා. කොටස් වෙළඳපොළ එක්ක සංසන්දනය කළොත් හුවමාරුව අවසන් ලෙස සිදු වන පද්ධතිය (සර්වර් එක) තියෙන්නේ මහ බැංකුවේ. බැංකු හා ප්‍රාථමික වෙළඳුන් එම පද්ධතියට සෘජුව සම්බන්ධයි (අන්තර්ජාලය නැතුව). සාමාන්‍ය පුද්ගලයෙක්ට අන්තර්ජාලය හරහා තමන්ගේ බැංකුව හෝ ප්‍රාථමික වෙළඳ සමාගම සමඟ සම්බන්ධ වීම මගින් වක්‍ර/ද්වීතියික ලෙස මෙම පද්ධතියට සම්බන්ධ විය හැකියි.

      Delete
    2. ස්තූතියි ඉකෝන්...මම ලංකාවේ බැංකුවක් හරහා භාණ්ඩාගාර බිල්පත් මිලදී අරං තියෙනවා. මං හිතං හිටියේ මම ඒ භාණ්ඩාගර බිල්පත් ලබා ගත්තේ ප්‍රාථමික වෙලදපොල හරහා කියලා. ඒත් මට එක තහවුරු කරලා කියන්න බෑ.

      අපිට භාණ්ඩාගාර බිල්පත ගන්න ඕනේ ප්‍රාථමික නිකතුවේදිද නැතනං ද්වීතීක වෙලදපොලේද කියලා ඔප්ශන් එකක් තිබ්බා කියලත් මතක නෑ.

      මේ ද්වීතීක වෙලදපොල ගැනත් සවිස්තරාත්මක ලිපියක් දෙන්න පුලුවන් නම් ඉතා අගේ කොට සලකනවා.

      Delete
    3. ඉතා විශාල මුදලක් නොවේනම් ඔබ අරගෙන තියෙන්නේ ද්වීතියික වෙළඳපොළෙන්. හරියටම කිවුවොත් අදාළ බැංකුවේ ස්ටොක් එකෙන්. ප්‍රාථමික වෙළඳපොළෙන් කෙළින්ම (බැංකු හරහා වුවත්) ගන්නේ සුළු පිරිසක්.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.