Thursday, January 11, 2024

වියට්නාමය - පිටකවරය හා පොත

පිට කවරය දෙස බලලා පොත තේරුම් ගන්න යන්න එපා කියන එක පහුගිය දවස් වල තැන් තැන් වල දැකිය හැකි වූ කියමනක්. ඔය විදිහටම, රටක නම දිහා බලලා රට තේරුම් ගන්න යන්න එපා කියලත් කෙනෙකුට කියන්න පුළුවන්.

අපි කවුරුත් දන්නා පරිදි, 1978න් පසු ලංකාවේ නිල නාමය "ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය". නම අනුව මේ රට ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක්. ඒ වගේම, ලෝකයේ තිබෙන එවැනි එකම රට!

ලංකාවේ කාලයක් තිස්සේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක් තිබෙනවා. මෙය මැතිවරණ වලින් ආණ්ඩු බලය වෙනස් වන බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායක්. කලාපයේ වෙනත් ඇතැම් රට වල මෙන් විප්ලව, කැරළි හෝ හමුදා කුමන්ත්‍රණ වලින් ලංකාවේ රාජ්‍ය බලය වෙනස් වෙලා නැහැ. ඒ නිසා, අඩුපාඩු තිබුණත්, ලංකාව ප්‍රජාතාන්ත්‍රික රටක් ලෙස හඳුන්වන එකේ වැරැද්දක් නැහැ.

එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193ක් අතරින් ලංකාව ඇතුළු රටවල් නවයක නිල නාම වල "ප්‍රජාතාන්ත්‍රික" යන වචනය තිබෙනවා. එහෙත්, "සමාජවාදී" යන වචනය තිබෙන්නේ තවත් එක් රටක නිල නාමයේ පමණයි. ඒ රටේ නිල නාමයේ "ප්‍රජාතාන්ත්‍රික" යන වචනය නැහැ. ඒ නිසා, අවශ්‍යනම්, නම අනුව යමින්, ඒ රට "ප්‍රජාතාන්ත්‍රික නොවන සමාජවාදී රටක්" ලෙස හඳුනා ගන්නත් පුළුවන්. 

මේ අනෙක් රට වියට්නාම් සමාජවාදී ජනරජය හෙවත් කෙටියෙන් සහ කවුරුත් එදිනෙදා භාවිතාවේදී කියන විදිහට වියට්නාමය. වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ අධිකාරී බලය යටතේ පාලනය වෙන වියට්නාමයේ ලංකාවේ මෙන් බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ඒ අතින් වියට්නාමය පැරණි හා දැනටත් ශේෂ වී තිබෙන අනෙකුත් සමාජවාදී රටවල් වලට සමානයි. ඒ අනුව බැලුවහම වියට්නාමයට එහි නිල නම ගැලපෙනවා.

දේශපාලන ආකෘතිය මේ ආකාරයේ එකක් වුනත්, පසුගිය දශක කිහිපය තුළ වියට්නාම් ආර්ථිකය ගොඩක් වේගයෙන් වර්ධනය වූ බව කරුණක් ලෙස ඇත්තක්. 1990දී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 8.03ක්ව තිබියදී වියට්නාමයේ දදේනිය ඩොලර් බිලියන 6.47ක් පමණයි. 2022 වන විට වියට්නාමයේ ආර්ථිකය ඩොලර් බිලියන 408.8ක් වෙලා, නමුත් ලංකාවේ ආර්ථිකය ඩොලර් බිලියන 74.4ක් පමණයි. 

අවුරුදු 32ක කාලයක් ඇතුළත, ලංකාවට වඩා කුඩා ආර්ථිකයක් තිබුණු රටක ආර්ථිකය ලංකාව වගේ පස් ගුණයකටත් වඩා වැඩි වුනේ කොහොමද? 

වියට්නාමයෙන් ලංකාවට ඉගෙන ගන්න දේවල් මොනවා හෝ තිබිය යුතුයි කියන එක පැහැදිලි කරුණක්. නමුත් ප්‍රශ්නය ඒ මොනවාද කියන එකයි. මේ සඳහා අප‍ට ලංකාව හා වියට්නාමය අතර යම් සංසන්දනාත්මක විමසුමක් කරන්න වෙනවා. එය සීරුමාරුවට කළ යුතු වැඩක්. එක ලිපියකින් පමණක් කරලා ඉවර කරන්න බැරි වෙයි.

වියට්නාමය වර්ග කිලෝමීටර 331,212ක රටක්. ඒ කියන්නේ ලංකාව මෙන් පස් ගුණයකට වඩා ලොකු රටක්. ජනගහණය මිලියන 98ක් පමණ. ලංකාවේ ජනගහණය මෙන් හතර ගුණයකට වඩා වැඩියි. කෙටියෙන් කිවුවොත් වියට්නාමය කියන්නේ ලංකාව මෙන් හතර පස් ගුණයක් ලොකු රටක්.

ඔය වගේ ලංකාව මෙන් කිහිප ගුණයක් ලොකු රටක දදේනිය ලංකාවේ දදේනිය එක්ක සංසන්දනය කරන එක නිවැරදි ක්‍රමයක් නෙමෙයි. එක පැත්තකින් වැඩි ඉඩම් ප්‍රමාණයක් නිෂ්පාදනය සඳහා යොදා ගැනීමේ අවස්ථාව තියෙද්දී, වැඩි ශ්‍රමිකයන් පිරිසක් නිෂ්පාදනයට දායක වෙද්දී දදේනිය කොහොමටත් ඉහළ යා යුතුයි. අනෙක් අතින් මේ විදිහට ඉහළ යන දදේනිය වැඩි පිරිසක් අතර බෙදී යනවා. ඒ නිසා, හරි සංසන්දනයක් කළ හැක්කේ ඒක පුද්ගල දදේනිය දිහා බැලීමෙන් පමණයි.

පසුගිය (2022) වසරේදී වියට්නාමයේ ඒක පුද්ගල දදේනිය ඇමරිකන් ඩොලර් 4,164ක්. ලංකාවේ එම අගය ඇමරිකන් ඩොලර් 3,354ක් පමණයි. කොහොම වුනත් ලංකාව මේ විදිහට වියට්නාමය හිටපු තැනින් පහළට වැටුණේ 2022 වසර තුළයි. ඒ දක්වා, ලංකාව හිටියේ වියට්නාමයට වඩා ඉදිරියෙන්. ආර්ථික අර්බුදයට පෙර, 2019දී ලංකාවේ ඒක පුද්ගල දදේනිය ඩොලර් 4,083ක් වෙද්දී වියට්නාමයේ එම අගය ඩොලර් 3,491ක් පමණයි. ඉන් පසු වසර වලදී වගේම 2019දී පවා වියට්නාමය ඉස්සරහට යද්දී ලංකාව පස්සට ගියා. 


වැදගත් කරුණ මේකයි. වියට්නාමයේ දදේනිය ලංකාවේ දදේනිය මෙන් හතර ගුණයක් වන තුරු ප්‍රසාරණය වී ඇතත්, රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය පිළිබිඹු කරන ඒක පුද්ගල දදේනිය දිහා බැලුවහම එවැනි ලොකු වෙනසක් නැහැ. වියට්නාමය කරලා තියෙන්නේ අවුරුදු 32ක් මහන්සි වෙලා අන්තිමට ලංකාව ඉන්න තැනට එන එක!

මේකෙන් අදහස් වෙන්නේ වියට්නාමයෙන් ගන්න දෙයක් නැති බවද?

නැහැ. වියට්නාමය ආ ගමනේ අවධානය යොමු කළ යුතු දේ තිබෙනවා. අන්තිමට වියට්නාමය ඇවිත් තියෙන්නේ ලංකාව ඉන්න තැනට වුනත්, වියට්නාමය මේ ගමන පටන් ගන්නේ ලංකාවට වඩා ගොඩක් පසුපස තැනක ඉඳලයි. 1990දී ලංකාවේ ඒක පුද්ගල දදේනිය ඩොලර් 467ක් වන විට වියට්නාමයේ එම අගය ඩොලර් 97ක් පමණයි. අවුරුදු 32ක් යද්දී ඔය පරතරය නැති වී වියට්නාමය ඉස්සරහට එනවා. ඔය කාලය ඇතුළත වියට්නාම් දදේනිය එක දිගටම ලංකාවට වඩා ඉහළ වර්ධන වේගයක් පවත්වා ගන්නවා. ඒක කළේ හෝ ඒක වුනේ කොහොමද?

වියට්නාමය රටේ නම අනුව වගේම දේශපාලන ක්‍රමය අනුවත් සමාජවාදී රටක් බව ඇත්ත. ඔය ආකෘතියේ අනෙක් රටවල් වගේම වියට්නාමයත් කාලයක් තිස්සේ අනුගමනය කළේ මධ්‍යගත සැලසුමකට අනුව රටේ නිෂ්පාදනය හා බෙදා හැරීම සැලසුම් කරන එකයි. නමුත්, 1990 පමණ සිට වියට්නාමය ක්‍රමයෙන් ඔය ක්‍රමයෙන් විතැන් වෙමින් වෙළඳපොළට ඉඩ දෙන්න පටන් ගත්තා. ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙන්න පටන් ගත්තේ ඊට පස්සේ. 

අහන්න තිබෙන හරි ප්‍රශ්නය මේකයි. 1990 වන විටත් වියට්නාමයේ ඒක පුද්ගල දදේනිය ලංකාවේ එම අගයෙන් හතරෙන් එකකටත් වඩා අඩු මට්ටමක තිබුණේ ඇයි? එවැනි දෙයක් වුනේ මොන විදිහේ ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරද්දීද? ඊට පස්සේ ඒ තත්ත්වය වෙනස් වී ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙන්න හේතු වුනේ මොන විදිහේ ප්‍රතිපත්ති වෙනස්කම්ද?

ඔය කරුණු අපි පසුව විස්තර සහිතව කතා කරමු. නමුත්, අපිට වඩා වැදගත් වියට්නාමයේ වුනු දේ නෙමෙයිනේ. වියට්නාමය අනුගමනය කරලා ලංකාවට ඒ වගේ වේගවත් ආර්ථික වර්ධනයක් ලබා ගන්න බැරිද? 

වියට්නාමය ඔය විදිහට ගැම්මේ දුවන්න පටන් ගනිද්දී එහි ඒක පුද්ගල ආදායම ඩොලර් 97ක් පමණක් වූ බව මම කලින් කිවුවනේ. ඒ කියන්නේ ඒ වෙද්දී එහි ශ්‍රමය ගොඩක්ම ලාබයි. ශ්‍රමයේ මිල ඔය තරම් පහළ මට්ටමක තියෙද්දී කළ හැකි දේ ශ්‍රමයේ මිල ඉහළ ගියාට පස්සේ ඒ විදිහටම කරන්න බැහැ. ලංකාව ඔය මට්ටම පහු කළේ සෑහෙන කාලයකට කලින්.

ඇත්තටම මෙහිදී වුනේ මධ්‍යගත සැලසුම් ක්‍රමය නිසා එක තැන හිර වී තිබුණු වියට්නාමයේ ආර්ථිකය ක්‍රමයෙන් නිදහස් වෙද්දී එය තිබිය යුතු තැන දක්වා වේගයෙන් ගමන් කිරීම. ලංකාවේ ආර්ථිකයද නිදහස්ව නොතිබුණත් ඒ තරමටම හිර වී තිබුණේ නැහැ. 

ඒක පුද්ගල ආදායම ඩොලර් සීයකට අඩුව පැවති කාලයේදී අනුගමනය කළ උපාය මාර්ග හෝ වේගවත් ආර්ථික වර්ධනයකට දායක වූ වෙනත් අහඹු දේවල් ඒක පුද්ගල ආදායම ඩොලර් හාර දාහක මට්ටමට ආවට පස්සේ ඒ විදිහටම උපකාරී වෙන්නේ නැහැ. ඒ නිසා, වියට්නාමයේ අතීතය දිහා බලාගෙන ලංකාව විසින් එයින් ගත යුතු දේ ගන්නවානම් එය පරිස්සමින් කළ යුතුයි. මොකද වියට්නාමය කරපු දේවල් වලින් වියට්නාමයට හැකි වී තිබෙන්නේ හිටපු තැන ඉඳලා දැන් ලංකාව ඉන්න තැනට එන්න පමණයි. ලංකාව දැනටමත් එතැනට ඇවිත් ඉවරයි.

මෙයින් අදහස් වෙන්නේ මෙතැනින් එහාට වියට්නාම් ආර්ථිකයේ වර්ධනය නවතියි කියන එක නෙමෙයි. වියට්නාම් ආර්ථිකය ඉදිරියටත් දිගටම වර්ධනය වෙයි. එහෙම වර්ධනය වෙලා ලංකාව ඉන්න තැනින් ගොඩක් එහාට යන්නත් බැරිකමක් නැහැ. ලංකාව විමසිල්ලෙන් බලා සිටිය යුත්තේ අන්න ඒ වර්තමානය දිහා. 

වියට්නාම් පොතේ කියවිය යුතු පිටු මොනවාද? මේ කියවිය යුතු පිටු ගැන ඉදිරි ලිපියකින් කතා කරමු.

4 comments:

  1. //අපි කවුරුත් දන්නා පරිදි, 1978න් පසු ලංකාවේ නිල නාමය "ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය". නම අනුව මේ රට ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයක්. ඒ වගේම, ලෝකයේ තිබෙන එවැනි එකම රට!//

    දදයකි දදේනිය කිව්වම සිහි වෙන්නේ
    නමෙන් තමයි හූනියමත් සිදු වෙන්නේ
    රටේ 'නම' නිසයි සිරිලක බැබළෙන්නේ
    'හරි නම' හොයමු - කොමිසමකින් විගසින්නේ

    ReplyDelete
    Replies
    1. නිදී උවමනාවයි උනන්දුවයි තියෙනවානම් මහපොළොවේ සම්පත් හා දඩු ටිකක් හොයාගන්න ගස් තියෙනවා. ලස්සනට පිළිවෙළට කටු මැට්ටෙන් උණත් ගෙයක් හදාගෙන කපරාරු කරගන්න පුළුවන්. මේක මට කීවේ ලංකාවේදී බොහොම අමාරුවෙන් ජීවිතේ ඇදගෙන යන ගමක් මැද්දේ මගේ පංතියේ දරුවෙකුගේ ගේ ගැන මගේ හිතේ උපන් සෝකයෙන් විස්සෝප වුණ ඒත් ඒ ගමේම ලස්සන ට පිළිවෙළට ජීවත් වෙන ජීවන රැකියාව ගොවිතැන වෙච්ච දූලම තුන්දෙනෙක් ඉන්න හරිම බුද්ධිමත් දක්ෂ තාත්තා කෙනෙක්. මං දුක් වුණ ගෙදර පොඩි එකාට වඩා සෑහෙන වැඩිමල් යස ඉලන්දාරි කොල්ලෝ දෙන්නයි. හැබැයි ඒ ගෙදර තාත්තා දවස මුලුල්ලේම කසිප්පු බීලා. අනේ මංදා එහෙම ගෙවල් වලට හොඳ කියලා කමෙන්ට් දාන මිනිස්සු. අපරාදේ එතකොට වියදම් කරල ගෙවල් හදන්නේ අනිත්අය. එහෙම නේද?

      Delete
    2. මමත් ඔබ හා එකඟයි!
      මොකද මට අවුරුදු එකොළහ වෙනකොට අපේ තාත්තා ලෙඩවීම නිසා අපේ පවුල අයසටම වැටුණා. අවුරුදු දොළහේ සිට 16 වෙනතෙක් මම පෙව්මන්ට් එකේ 'රජ වෙවී කවි පොත් වික්කා. ඊට පස්සේ ඉඳියාප්ප තම්බල මහ ඉස්පිරිතාලෙට ගෙනිහින් විකිණුවා. ඊළඟට බතික් කරන්නට ගියා. එහෙම කළේ පාසල් යන ගමන්. එහෙමයි අපි ජීවිතේ ගැට ගහ ගත්තේ.
      මගේ ජීවිත කතාව නිදිගෙ පංච තන්තරේ blog අඩවියෙන් කියවූ අය මේ විස්තර දන්නවා.
      2013 මට මල්ටිපල් මයෙලොමා පිළිකාව හැදුණා. ඒත් මම නොවැටී එකටත් මුහුණ දෙමින් තවමත් සතුටින් ඉන්නවා!
      උනන්දුව, දිරිය හා කැපවීම තියෙනවා නං ජීවිතේ දිනාගන්න හැකියි!

      Delete
  2. Nice article economatta, we need to learn much more about how Vietnam was developed it's production based economy. As far as I know, they copied China (Deng Xiaopeng's policies) specifically the cities like Shenzhen and developed the production based economy where far Eastern Mongolian people are extremely capable of. So that it helped them to develop up to the current standards despite extreme damages done to their whole country by the USA from 1955 onwards for a couple of decades against their freedom struggle with French colonialism headed by some socialists. By the way, if I compare my health conditions with previous against current in comparison to the ecomic policies of these two countries, I used to be overweight, and was plagued by several chronic health conditions for decades. I began intermittent fasting aggressively by eating just one big meal per day about two years ago. I cut out sugars, all highly processed junk 'foods' and drastically reduced the carb intake. I have been preparing everything I have eaten from fresh real foods, mostly local organic, non GMO veggies and locally raised free range meat and dairy products.

    Within the first two months, I lost about 30 kgs of excess fluids and body fat, and soon after that I began reversing every chronic health condition which I had for decades, and all without any increase in daily exercise or activity. But now I do exercises more as well. I am much healthier and stronger than whom I was ten years ago. It is like aging in reverse! I use no pharmaceutical products - prescribed or over the counter for any reason whatsoever. My best wishes to you on your own journey to explain about Vietnam while maintaining better health and well being as well, cheers!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.