Wednesday, January 17, 2024

වියට්නාමයේ ආදායම් විෂමතා හා ඉදිරි සැලසුම්

ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේදී ධනවාදී ප්‍රවේශය වන්නේ ධනය උත්පාදනය කළ හැකි අයට ඒ සඳහා හැකි පමණින් පහසුකම් සැලසීම මගින් පොදුවේ රටක ජීවන තත්ත්වය ඉහළ නංවා ගැනීමයි. ධනය උත්පාදනය කළ හැකි අයට එසේ කිරීමේදී ඇති වන බාධක හැකි පමණින් ඉවත් කර දීමයි. මෙයින් වෙනස්ව, සමාජවාදී ප්‍රවේශයේදී ආදායම් විෂමතා අවම කිරීම ප්‍රමුඛතාවයක් ලෙස සලකනවා.

පසු ගිය ලිපි කිහිපයකින්ම අපි වියට්නාමය ගැන කතා කළා. සමාජවාදී පාරේ ගිය කියුබාව, වෙනිසියුලාව වැනි රටවල් ගැන දැන් කවුරුවත් කතා නොකරන තරම්. නමුත් චීනය, වියට්නාමය වැනි රටවල් ගැන යම් සාකච්ඡාවක් සිදු වෙනවා. ඉන්දියාව හා චීනය වැනි විශාල රටක ආර්ථික ප්‍රතිපත්ති ලංකාව සමඟ සංසන්දනය කරන්න අමාරුයි. ඊට සාපේක්ෂව වියට්නාමය කියන්නේ ලංකාව සමඟ සංසන්දනය කළ හැකි ආර්ථිකයක් තිබෙන, එහෙත් කොමියුනිස්ට් පක්ෂයක පාලනය යටතේ ඇති රටක්. 

අවසාන වශයෙන් වියට්නාමය විසින් ලබා තිබෙන ජයග්‍රහණය වියට්නාම් ජාතිකයින්ගේ ජීවන තතත්ත්වය ලංකාවේ මට්ටමට ඔසොවා තැබීම වුවත්, එය එරට ආර්ථික ප්‍රතිපත්ති වල සාර්ථකත්වය පිළිබඳ පිළිබිඹුවක් ලෙස අර්ථකථනය කළ හැකියි. මෙය සිදු වන්නේ වෙනස් දේශපාලන ආකෘතියක් ඇතුළතයි. එහි අමතර වාසි තිබේද? එසේ තිබේනම් ඒ මොනවාද?

අප දන්නා පරිදි ලංකාවේ පළාත් අතර ඒක පුද්ගල ආදායමේ විෂමතා තිබෙනවා. ඇතැම් අය මෙය නිවැරදි කළ යුතු වරදක් සේ දකිනවා. අපගේ අදහස වන්නේ ආදායම් විෂමතා අවම කිරීම ප්‍රතිපත්ති සම්පාදනයේදී ඉලක්කයක් නොවිය යුතුය යන්න නොවෙයි. පැහැදිලි ලෙසම අප ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. මෙම ඉලක්කය තුළ කොමියුනිස්ට් පක්ෂයක පාලනය යටතේ තිබෙන වියට්නාමය ලංකාවට වඩා කොයි තරම් සාර්ථක වී තිබේද?

මේ සමඟ පළ කරන වගුවේ තිබෙන්නේ වියට්නාමයේ එක් එක් පළාතේ ඒක පුද්ගල ආදායම. Ba Ria - Vung Tau පළාතේ ඒක පුද්ගල ආදායම ඩොන් මිලියන 357ක්. ඒ කියන්නේ ඩොලර් 15,500ක් පමණ. Ha Giang පළාතට යද්දී මෙය ඩොන් මිලියන 33ක් පමණ දක්වා අඩු වෙනවා. ඒ කියන්නේ ඩොලර් 1,450ක් පමණ. මෙය Ba Ria - Vung Tau පළාතේ ඒක පුද්ගල ආදායමෙන් 9.4%ක් පමණයි. සුළු පටු විෂමතාවයක් නෙමෙයි.

වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛතාවය දී තිබෙන්නේ ධනය උත්පාදනය වන තැන ධනය උත්පාදනය වීමට ඉඩ සලසන්න මිසක් රටේ හැම පළාතක්ම එක සමානව දියුණු කරන්න නෙමෙයි. වියට්නාමයේ ආර්ථික ජයග්‍රහණ වල රහස එහි විදේශ ආයෝජන. මේ ආයෝජන සිදු කරන ආයෝජකයින් විසින් එසේ ආයෝජන කරන්නේ ඒ සඳහා වඩාත්ම යෝග්‍ය ප්‍රදේශ වල මිසක් වියට්නාම් රජයට අවශ්‍ය තැන් වල නෙමෙයි. වියට්නාමයේ ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් ඒ බව නිවැරදිව තේරුම් ගෙන තිබෙනවා.

වියට්නාමයේ ආයෝජකයින් එරටට ආකර්ශනය වී තිබෙන්නේ ලාබ ශ්‍රමය නිසා. වියට්නාම් රජය විසින් කරන්නේ ඔවුන්ට තම රටෙන් ලාබ ශ්‍රමය ලබා ගැනීමට පහසුකම් සලසන එකයි. දේශපාලනිකව හරි වුනත්, වැරදි වුනත් කරුණු සහගතව පෙන්වා දිය හැකි පරිදි වියට්නාමයේ සිදු වන්නේ මෙයයි. එම ආයෝජන නිසා වියට්නාමයට විදේශ විණිමය ලැබෙනවා වගේම එසේ ලැබෙන විදේශ විණිමය වලින් සැලකිය යුතු පංගුවක් එම ආයෝජකයින්ගේ ලාබ ලෙස වාර්ෂිකව රටෙන් එළියට යනවා. මේ හා අදාළ නිශ්චිත සංඛ්‍යාලේඛණ ඉදිරි ලිපියක ඉදිරිපත් කෙරෙනු ඇති. 

වියට්නාමයේ සෘජු ආයෝජන හරහා ඉහළ ගොස් ඇති නිෂ්පාදිතයෙන් රටේ ඉතිරි වන්නේ ශ්‍රමිකයින්ගේ පංගුවයි. එම පංගුවෙන් ඔවුන් ඉතිරි කර ගන්නා කොටස දේශීය ආයෝජන බවට පත් වෙනවා. ඒ හරහා රට තුළ ප්‍රාග්ධනය ගොඩනැගීමක්ද වෙනවා. ඊට අමතරව, වියට්නාමයට වෙනත් ආකාරයකින් පහසුවෙන් ලබා ගත නොහැකි තාක්ෂනය මේ විදේශ ආයෝජන හරහා ඉක්මණින් ලැබෙනවා.

ආයෝජන කලාප ආදිය හරහා රටක රජයකට කිසියම් ආකාරයකින් රට තුළ ආයෝජන සිදු කෙරෙන ආකාරය පාලනය කළ හැකි වුවත්, කවර පහසුකම් ලබා දුන්නත් ඒ හේතුව නිසාම ආයෝජකයින් රටේ ඕනෑම තැනකට එන්නේ නැහැ. ආයෝජකයින් හොයන්නේ ඔවුන්ට සාපේක්ෂව ප්‍රසස්තම තැනක්.  Ba Ria - Vung Tau පළාතේ ඒක පුද්ගල ආදායම ඉහල මට්ටමක තිබෙන්නේ එම පළාත වියට්නාමයේ ඉන්ධන හා විදුලිබල නිෂ්පාදන කර්මාන්ත වල කේන්ද්‍රය වීම නිසා වගේම සෘජු විදේශ ආයෝජන වල හා සංචාරක කර්මාන්තයේද දායකත්වය නිසා. මේවා ඉල්ලුම මත තීරණය වන දේ මිසක් රජයට කැමති විදිහට සැලසුම් කළ හැකි දේ නෙමෙයි. මෙයින් වෙනස්ව චීනයට මායිම්ව පිහිටි කඳුකර, කැලෑබද, පළාතක් වන  Ha Giang තවමත් කෘෂිකාර්මික ප්‍රදේශයක්. 

මේ වෙනස්කම් වගේම ඓතිහාසික තත්ත්වයන්ද පළාත් අතර ඒක පුද්ගල ආදායමේ විෂමතා වලට හේතු වෙනවා. උතුරු වියට්නාමය හා දකුණු වියට්නාමය එකතු වෙන්න කලින් Ha Giang පළාත උතුරු වියට්නාමයේ කොටසක්. නමුත්,  Ba Ria - Vung Tau පළාත ඒ කාලයේ බටහිර කඳවුර සමඟ සිටි දකුණු වියට්නාමයේ කොටසක්. මේ වගේ ඓතිහාසික වෙනස්කම් මිනිසුන්ගේ ආකල්ප කෙරෙහිද බලපානවා.

කොහොම වුනත් වැදගත්ම කරුණ වන්නේ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය විසින් මේ වන විට උත්සාහ කරන්නේ ආදායම් ඉපැයිය හැකි තැන් වලින් හැකි තරමින් ආදායම් උපයන්න මිසක්, රටේ ආදායම් විෂමතා අවම වන පරිදි එය කරන්න නෙමෙයි. 2045දී වියට්නාමය සංවර්ධිත රටක් කිරීමේ ඉලක්කය ඔවුන් සාක්ෂාත් කර ගන්න යන්නේ පෞද්ගලික අංශය මුල් වූ ආර්ථික ක්‍රියාකාරකම් හරහා මිසක් රජය සෘජුව ආර්ථික ක්‍රියාකාරකම් වලට මැදිහත් වීම මගින් නෙමෙයි.

පහත කොටස් උපුටා පළ කරන්නේ ඉතා මෑතකදී (2023 ඔක්තෝබර් 10) වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් සම්මත කළ වියට්නාම් ව්‍යවසායකයින් බලගැන්වීම ඉලක්ක කර ඇති ප්‍රතිපත්ති තීරණයකින්.

"Over the past 37 years of free-market reforms, the Vietnamese business community has not only expanded in numbers but has also demonstrated remarkable qualitative advancements. With over 1.3 million newly registered enterprises from 2011 to 2022, constituting 69.11% of total establishments since the introduction of the enterprise law, the current landscape boasts over 900,000 businesses, more than 5 million business households..."

මතක තියාගන්න මෙහි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් කියන්නේ නිදහස් වෙළඳපොළ ප්‍රතිසංස්කරණ ගැන මිසක් වෙළඳපොළ වෙත රජය මැදිගත්වීමක් ගැන නෙමෙයි. වියට්නාමය යන්නේ ලංකාව සමගි පෙරමුණු ආණ්ඩුව කාලයේ ගිය පාරේම තමයි. හැබැයි ඒ ගිය පැත්තට නෙමෙයි. ප්‍රතිවිරුද්ධ පැත්තට!

මේ ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කරන්නේ පෙර නිකුත් කර තිබුණු ප්‍රතිපත්ති ප්‍රකාශයක් අවලංගු කරමිනුයි. එහි අනාගත වියට්නාමය තුළ පෞද්ගලික අංශයේ භූමිකාව ගැන කියවෙන්නේ මෙවැනි දෙයක්.

"The government’s recent resolutions on economic development aimed to foster economic groups, with a particular emphasis on nurturing formidable private economic entities. As Vietnam sets its sights on achieving 1.5 million enterprises by 2025, including 60,000 to 70,000 medium and large-scale enterprises, the goal for 2030 is to establish at least 2 million businesses. The aim is to develop robust private economic groups with the potential for competitiveness in both domestic and international markets."

"In pursuit of creating leading enterprises with global competitiveness, adept at mastering domestic value chains and integrating into the global value chain,... involves fostering a unified awareness and ideology regarding private economic development, acknowledging its pivotal role in driving economic progress. An essential aspect of this initiative involves refining the legal framework for economic group development, including clearly defining the legal nature and model of economic groups, refining the nomenclature for private economic groups, and enhancing legal solutions for capital mobilization, accumulation, and concentration for private economic corporations."

මෙහි කතා කරන්නේ ලෝකය සමඟ තරඟ කළ හැකි පෞද්ගලික සමාගම් ගැනයි. සමාජවාදී පාරේ ගොස් ආපසු එමින් සිටින වියට්නාමය දැන් උත්සාහ කරන්නේ හැකි තරම් ඉක්මණින් එරට ආර්ථික ක්‍රියාකාරකම් පෞද්ගලික අංශය වෙත විතැන් කිරීමටයි. මෙහි පසුබිම විස්තර කරමින් ඔවුන් විස්තර කරන්නේ "රටේ දියුණුව වෙනුවෙන් පෞද්ගලික අංශය මුල් වූ ආර්ථික ක්‍රියාකාරකම් කොයි තරම් වැදගත්ද කියන එක මේ වෙද්දී පක්ෂයේ සාමාජිකයින් හා නායකයින් තේරුම් අරගෙනයි ඉන්නේ" කියන එකයි.

"It recognizes that the Party committees, Party organizations, and political and social systems have improved their awareness of the importance of enterprise and entrepreneur development."

ඇතැම් අය වියට්නාමය විසින් අතහැර දමා ඇති අතීත ප්‍රතිපත්ති වැළඳ ගැනීමේ අනුරාගයකින් පෙළෙද්දී, වියට්නාමය විසින් කරන්නේ තමන්ගේ පරණ ප්‍රතිපත්ති වලින් ටිකෙන් ටික බැහැර වෙමින් වෙළඳපොළ වෙතත්, පෞද්ගලික අංශය මුල් වූ ආර්ථිකයක් වෙතත්, වඩ වඩා නැඹුරු වෙමින් ආර්ථිකය මත රාජ්‍ය අංශයේ බලපෑම් ක්‍රමයෙන් ඉවත් කරන එකයි.

1 comment:

  1. මගේ අදහස අනුව වියට්නාමය වගේම බංග්ලාදේශය පවා වැඩිපුර කරන්නේ හුදෙක්ම ශ්‍රමය අපනයනය කිරීම ලංකාවත් විශේෂයෙන්ම මැදපෙරදිග රටවල සේවයට සහ දකුණු කොරියාව සයිප්‍රස් රුමේනියාව වගේ රටවලට විශාල ලෙස ලාබ ශ්‍රමය අපනයනය කරන රටක්, කරන ක්‍රමය වෙනස් මොකද වියට්නාමය තම රට තුලම ඇති කම්හල් වලට චීනය වගේ රටවල සැපයුම් කොන්ත්‍රාත්කරුවන් එවන දේවල් වලට ශ්‍රමය වැඩිපුර අවශ්‍ය කරන කාර්යයන් වෙනූවෙන් Labour intensive වැඩ දක්ෂ පුහුණු ශ්‍රමය ලාබෙට ලබාදී ඒ හරහා රැකියා විරහිත ශ්‍රමයට වැඩි වටිනාකමක් ලබා ගන්න නමුත් මෙම ව්‍යාපාර වල අධික ලාභ විදේශ ආයෝජක ව්‍යාපාර හිමියන් විසින් සිය මවු රටවලට ගෙනියනවා චීනය ඒ වෙනුවට තාක්ෂණය උකහාගෙන දේශීයව නිපදවන තරගකාරීම ව්‍යාපාර ආරම්භ කිරීමට කටයුතු කළත් චීනයට සාපේක්ෂව වියට්නාමය එතරම්ම එම කාර්යයේ සාර්ථක මදි

    අනෙක වියට්නාමය දූෂිත දේශපාලනඥයන් සිටින රටක් වුණත් ආයෝජකයන්ට හොඳම සේවාවක් ලබාදී එම අයුතු මුදල් ඉපයීමට ඔවුන් කදිමට ක්‍රමවේදයන් හදාගෙන තියෙනවා මේක ලංකාවේත් තරමක් දුරට බැසිල් රාජපක්ෂ සහ මලික් සමරවික්‍රම වැනි අය නීතිය නවා ආයෝජකයන්ට අවශ්‍ය සියලු පහසුකම් ක්ෂණිකව ලබාදෙන ලෙස ක්‍රියාත්මක කළා, මම හිතන්නේ නීත්‍යානුකූලවම එය කළ හැකි ලෙස අදාල රජයේ නිලධාරීන්ට සහ ඇමතිවරුන්ට නිල වශයෙන්ම ගාස්තුවක් අය කරගැනීමට කටයුතු කළහැකි නම් එය වඩාත්ම සාර්ථක වනබවයි

    මීට අමතරව තොරතුරු ගොඩක් සාධක facts සහිතව සාකච්ඡා කළයුතු මාතෘකාවක්, නමුත් නැවත ලංකාව ගැන කියද්දී දැනට ලංකාවේ තියෙන ටැක්ස් සිස්ටම් එකට අනුව කෙනෙක් රුපියල් වලින් ආදායමක් ගන්නවා නම්, ඒක මාසෙට ලක්ෂෙකට වඩා වැඩිනම් ඒ ආදායමට බදු ගෙවන්න ඕනේ. සමහර අයට මේක 36% වෙනකන් ටැක්ස් වදිනවා (උදා : PAYE tax).

    හැබැයි තාමත්, ලංකාවේ ඉන්න ඩොලර් වලින් ගන්න ආදායම් ටික බද්දෙන් නිදහස්, රනිල් වික්‍රමසිංහ සහ ඔහුව මෙහෙයවන IMF උපදේශක පිරිස තවම ඒකට අත තියලා නෑ

    ඒ නිසා ලංකාවේදී බදු වලින් බේරීමට නම් ඩොලර් වලින් ආදායමක් ගන්න තියෙන ලේසිම විදිහ තමයි පිටරට මිනිස්සු ටාගට් කරලා සේවා, භාණ්ඩ හෝ content promote කරන එක.

    NPP සජබ පෙරටුගාමී පොහොට්ටුවේ සමහරු සහ වෙනත් පක්‍ෂ විපක්ෂ දේශපාලන ව්‍යාපාර කරන විදියට පාරට බැහැලා "බදු අඩු කරව්!" "බදු අඩු කරව්!" කියල කිය කියා ඉන්න වෙලාවේ ලංකාවේ මිනිස්සුන්ට ඩොලර් ටිකක් උපයන්න මහන්සි වුණොත් හොඳයි කියන එකයි මගේ අදහස

    ලංකාවේ ඉන්න මිනිසුන්ට ඩොලර් වලින් ආදායමක් ගන්න තියෙන විධි අවස්ථා සහ කළයුතු දේ මොනවාද සහ ඒක කරන්න දැනගන්න ඕනේ කරුණු මොනවද කියල අපි වෙනමම සාකච්ඡා කරමු

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.