Thursday, January 4, 2024

නැති රුපියල් හා නැති ඩොලර්

 

මේ සමඟ පළ කර තිබෙන පළමු රූප සටහනේ දැකිය හැක්කේ පවර් අවුට්ලට් හතරක් තිබෙන එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක්. මේ විදිහේ එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් තිබේනම් එය පවර් අවුට්ලට් එකකට සම්බන්ධ කිරීමෙන් පසුව විදුලි උපකරණ හතරකට එයින් විදුලිය ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඊට පස්සේ මෙහි තිබෙන පවර් අවුට්ලට් හතරෙන් එකකට තව ඔය වගේම එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් සම්බන්ධ කළොත් ඒකෙනුත් විදුලි උපකරණ හතරකට විදුලිය ලබා ගන්න පුළුවන්. (සම්බන්ධ කරන විදුලි පරිපථය ඕවර්ලෝඩ් වුනොත් ෆියුස් එක යයි. ඒක වෙනම කතාවක්.)

රූප සටහනේ තියෙන එක්ස්ටෙන්ෂන් කෝඩ් එකත් පවර් අවුට්ලට් එකකට සම්බන්ධ කරලයි තියෙන්නේ. හැබැයි ඒ විදිහට සම්බන්ධ කරලා තියෙන්නේ ඒකෙම පවර් අවුට්ලට් හතරෙන් එකකට. එක්ස්ටෙන්ෂන් කෝඩ් එක පවර් අවුට්ලට් එකකට සම්බන්ධ කරලා තව උපකරණ හතරකට එයින් විදුලිය ගන්න පුලුවන්නම්, මේ එක්ස්ටෙන්ෂන් කෝඩ් එක පවර් අවුට්ලට් එකකට සම්බන්ධ කරලත්නම්, ඉතුරු වෙලා තිබෙන පවර් අවුට්ලට් තුනෙන් විදුලි උපකරණ තුනකට අවශ්‍ය විදුලිය ලබා ගන්න බැරිද? 

කෙනෙකුට ඉහත ආකාරයෙන් තර්ක ගොඩ නගන්න පුළුවන්. සමහර විට ඒ වගේ තර්ක සමාජගත කරන්නත් පුළුවන්. නමුත්, මේ වගේ දෙයක් කරන්න බැරි බව ඔකපතන ඉස්කෝලේ පහේ පන්තියේ ළමයෙක් වුනත් කියයි. ඒකට භෞතික විද්‍යාව ලොකුවට දැන ගන්න අවශ්‍ය නැහැ. විදුලි පරිපථ ගැන ලොකුවට දැන ගන්න ඕනෑ නැහැ. ප්‍රායෝගික අත්දැකීම් මත සාමාන්‍ය බුද්ධියට තේරෙන දෙයක්. ඇයි බැරි කියලා ඇහුවොත් ගොඩක් අය මේ වගේ උත්තරයක් දෙයි.

"එතකොට කොහෙන්ද මේකට කරන්ට් එක එන්නේ?"

ඕක තේරෙන්නේ ප්‍රායෝගික අත්දැකීම් වලින්. ඔය වගේ සාමාන්‍ය පුද්ගලයෙක්ට වැඩි මහන්සියක් නැතුව තේරුම් ගන්න පුළුවන් දේවල් සමහර වෙලාවට ටිකක් වැඩිපුර හිතන කෙනෙක්ට තේරෙන්නේ නැහැ. ඒකෙන් ඒ වගේ කෙනෙක් සාමාන්‍ය පුද්ගලයෙක්ට තේරෙන දෙයක්වත් නොතේරෙන මෝඩයෙක් කියා අදහස් වෙන්නේ නැහැ. අලුත් දැනුමක් නිෂ්පාදනය කරන්න පුළුවන් වෙන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් හිතන විදිහට නොහිතන කෙනෙක්ට. නමුත් සාමාන්‍ය පුද්ගලයෙක් හිතන විදිහට නොහිතා කෙනෙක් යමක් කී පමණින් එය අලුත් දැනුමක් වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ කලාතුරකින්.

පළමු රූප සටහනේ වගේ පද්ධතියකින් විදුලිය ගන්න බැරි බව තේරුම් ගන්න කාට වුනත් වැඩි අමාරුවක් නැතත්, ඔය සංකල්පයම ටිකක් රට පටලවලා ඉදිරිපත් කළොත් හැමෝටම එක පාරට අවුල මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. මේ සමඟ පළ කර තිබෙන දෙවන රූප සටහනේ තියෙන්නේ ඒ වගේ පද්ධතියක්. 


මේ දෙවන රූප සටහනේ පද්ධතියෙන් ජෙනරේටරයක් කරකවලා විදුලිය ලබා ගන්නවා. ජෙනරේටරය කරකවන්න යොදා ගන්නේ හුළං පුරවපු බැලුන් වැලක්. බැලුන් ටික වතුර භාජනයක් ඇතුළෙන් යනවා. භාජනයේ අඩියේ බැලුන් වලට ඇතුළට යන්න ඉඩ සලසන එහෙත් වතුර ලීක් නොකරන වෑල්වයක් තියෙනවා. ඒ වෑල්වයෙන් භාජනය ඇතුළට යන බැලුන් එකින් එක උඩුකුරු තෙරපුම නිසා වතුරේ උඩට යද්දී ජෙනරේටරය කැරකෙනවා. හුළං පිරවූ බැලුන් වල ඝණත්වය වතුරේ ඝණත්වයට වඩා අඩු වුනත්, සාමාන්‍ය වාතයේ ඝණත්වයට වඩා වැඩියි. ඒ නිසා, අනෙක් පැත්තෙන් ගුරුත්වය නිසා පහළට බලයකුත් යෙදෙනවා. 

මේ පද්ධතියේ තිබෙන අවුල මෙය කියවන බොහෝ දෙනෙක් විසින් තේරුම් ගෙන විස්තර කරන්න ඉඩ තිබුණත්, පළමුවෙනි රූප සටහනේ පද්ධතියේ අවුල තේරුම් ගන්න තරමටම ඒක ලේසි නෑ කියන එක මගේ අදහසයි. වෙන වචන වලින් කිවුවොත් ඒ අවුල ඕනෑම පොඩි ළමයෙකුට තේරෙන එකක් නැහැ. රටේ ප්‍රසිද්ධ, සැලකිය යුතු සමාජ ප්‍රාග්ධනයක් එකතු කරගත්ත කෙනෙක් ප්‍රසිද්ධ මාධ්‍යයක ඔය වගේ පද්ධතියක් හඳුන්වා දී විස්තර කළොත් වැඩේ තවත් සීරියස්. ඒ වගේ අවස්ථාවකදී ඔය වගේ අදහසක් සමාජගත වෙන්න වුනත් පුළුවන්.

ආර්ථිකය සම්බන්ධ කාරණා වලදීනම් ඔය වගේ දේවල් දුර්ලභ නැහැ. එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් අතපත ගානවා වගේ රටක සාර්ව ආර්ථිකය අතපත ගාන්න අවස්ථාව ලැබෙන්නේ කලාතුරකින් කෙනෙක්ට. ඒ නිසා, ඒ වගේ කෙනෙක්ට හිතන්නවත් තරම් නොවන දේ වෙනත් අයට මාර සීරියස් අදහස් විදිහට පේනවා. ඒක වැරැද්දක් කියන්නත් බැහැ.

මේ වගේ ටිකක් දිග පූර්විකාවක් ලිවුවේ නලින් ද සිල්වාගේ ලිපියක තිබෙන පහත අදහස ගැන කතා කරන්න.

"වැට් බද්ද පනවා ඇත්තේ ජාමුල අවශ්‍යතාවක් පරිදි. එයට මූලික හේතුව වූයේ ජාමුලට අවශ්‍ය පරිදි රුපියල පා කිරීම. ගෝඨාභය හා කබ්රාල් මුල දී කළාක් මෙන් ඩොලරයට නිශ්චිත අගයක් නියම කළා නම් මුදල් අමාත්‍යාංශයට ඩොලර් මිල දී ගැනීමේ දී මහා බැංකුවට රුපියල් විශාල ප්‍රමාණයක් ගෙවන්න සිද්ධ වෙන්නෙ නැහැ. අද එසේ ගෙවන්න මුදල් අමාත්‍යංශයට රුපියල් නැහැ. රුපියල් හොයා ගන්න වෙන්නෙ මුදල් අච්චු ගැසීමෙන් බදු පැනවීමෙන්. ජාමූල කියනවා මුදල් අච්චු ගහන්න එපා කියලා. ඉතින් වැට් බද්දයි මරාල බද්දයි අර බද්දයි මේ බද්දයි පනවන්න ඕන."

මෙය නලින් ද සිල්වා විසින් මේ අදහස ඉදිරිපත් කර තිබුණු මුල් අවස්ථාව නෙමෙයි. පෙර ලිපියක හෝ කිහිපයකත් මේ කතාව කියා තිබුණා. මෙය නලින් ද සිල්වාගේ ලිපියට පිළිතුරක් හෝ ඔහුට උගන්වන්න ලියන ලිපියක් නෙමෙයි. නමුත්, ස්වාධීනව හිතා ස්වාධීනව අදහස් කළ කරන නලින් ද සිල්වා වගේ කෙනෙක්ට මෙහෙම හිතෙනවානම් රටේ තවත් බොහෝ දෙනෙකුට මෙහෙම හිතෙන එකේ පුදුමයක් නැහැ. 

ආර්ථික විද්‍යාව පිළිබඳ මූලික මට්ටමේ හෝ දැනුමක් තිබෙන කෙනෙකුට මෙය විස්තර කළ යුතු නැතත්, එසේ නොවන බොහෝ දෙනෙකුට කතාවේ අවුල තේරුම් ගන්න එක ඒ තරම්ම සරල නැතුව ඇති කියා හිතෙන්නේ නලින් ද සිල්වා වගේ කෙනෙක් විසිනුත් මේ කතාව ලියා තිබෙන නිසා. 

මෙහි තිබෙන්නේ රාජපක්ෂ ආර්ථික ක්‍රමයේ ඉතා කෙටි සාරංශයක්. විශේෂයෙන්ම 2010-2012 කාලයේදීත්, ඉන්පසුව 2020-2021 වසර වලදීත් කළ දේ තමයි මෙහි කෙටියෙන් තියෙන්නේ. එහෙම කරලා රට ඉතිහාසයේ වැටුණු නරකම තැනකට වැටිලා හොඳම එකෙන් කෙළ වුණු විදිහ ඇස් පනාපිට දැක්කට පස්සේ තවමත් ඔය ක්‍රමය ගැන කතා කරන අය ඉන්නවා කියන්නේ බැරෑරුම් ලෙස සිතිය යුතු කරුණක්. විශේෂයෙන්ම ඒ ගොඩේ ඉන්න ඇතැම් අය සාමාන්‍ය පුද්ගලයින්ම නොවන නිසා. 

මෙය කියවන ගොඩක් අයටනම් මේකේ ලිපියක් ලියා විස්තර කරන්න තරම් දෙයක් නැතුව ඇති. නමුත්, මේ කතාවේ අවුල නැවත නැවත මතක් නොකළොත්, අද හෙට නොවෙතත්, නැවත කවදා හෝ දවසක රෑ වැටුණු වලේ දවල් වැටෙන්න පුළුවන්.

දැන් මෙහි තර්කය මේ වගේ එකක්. ඩොලරයක මිල පා වෙන්න නොදී රුපියල් 200 වගේ මට්ටමක නොවෙනස්ව තියාගෙන හිටියානම් රජයට ඒ මිලට මහ බැංකුවෙන් ඩොලර් මිල දී ගන්න තිබුණා. එහෙමනම්, රජයේ වියදම් මේ තරම් ඉහළ යන්නේ නැහැ. ඒ නිසා, බදු වැඩි කරන්න වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ බදු වැඩි කරන්න අවශ්‍ය වුනේ ඩොලරය පා කළ නිසා. 

පළමුව, රජයේ වියදම් වැඩි ප්‍රමාණයක් රුපියල් වියදම් මිසක් ඩොලර් වියදම් නෙමෙයි. රටේ උද්ධමනය වැඩි වෙද්දී මේ වියදම් කොහොමටත් වැඩි වෙනවා. ඒ වැඩි වූ වියදම් යම් ක්‍රමයකින් හොයා ගන්න වෙනවා. උද්ධමනය වැඩි වෙද්දී බදු ආදායම්ද නිකම්ම ඉහළ යන නමුත් පටන් ගනිද්දීම රජයේ ආදායම් හා වියදම් අතර විශාල පරතරයක් තිබුණොත් උද්ධමනය නිසා වෙන්නේ ඒ පරතරය වැඩි වෙන එක. 

රජය විසින් ආනයනික භාණ්ඩයක් මිල දී ගත්තත් බොහෝ අවස්ථා වලදී එසේ මිල දී ගන්නේ රට ඇතුළේම ඉන්න සැපයුම්කරුවෙක්ගෙන්. සෘජුවම ආනයනය කරන්නේ නැහැ. ඒ නිසා, ගෙවන්නේ රුපියල් වලින් මිසක් ඩොලර් වලින් නෙමෙයි. රුපියල් වලින් ගෙවුවත් ඩොලරය ඉහළ යද්දී මේ වගේ වියදම් ඉහළ යනවා තමයි. නමුත් රජය විසින් ආනයනික භාණ්ඩ මිල දී ගැනීම සඳහා යන වියදම රජයේ මුළු වියදම් වල එක් කොටසක් පමණයි. අනෙක් පැත්තෙන් ඩොලරයක මිල ඉහළ යද්දී ආනයන බදු ආදායම් ආදියත් නිකම්ම ඉහළ යනවා. මෙහිදීත් ඩොලරයක මිල ඉහළ යාම ප්‍රශ්නයක් වෙන්නේ පටන් ගනිද්දී ඩොලරයක මිල මත තීරණය වන වියදම් හා ඩොලරයක මිල මත තීරණය වන ආදායම් අතර පරතරයක් තිබුනොත් පමණයි. 

මීට අමතරව රජයට ඩොලර් අවශ්‍ය වෙන්නේ කලින් ගත් විදේශ ණය වල වාරික හා පොලී ගෙවන්න. ඒවා ඩොලර් වලින්ම ගෙවන්න වෙනවා වගේම ඒ සඳහා රුපියල් ගෙවා මහ බැංකුවෙන් ඩොලර් මිල දී ගන්නත් වෙනවා. නමුත් ඒ වගේම මෙහි අනෙක් පැත්තකුත් තිබෙනවා. රජය විසින් අලුතෙන් ගන්න විදේශ ණය මහ බැංකුවට විකුණලා රුපියල් කරන්නත් වෙනවා. රජය ශුද්ධ වශයෙන් විදේශ ණය ගෙවනවානම් ඩොලරයක මිල පහළින් තියෙන එක වාසියි. නමුත් වෙන්නේ ඒකේ අනෙක් පැත්තනම් ඩොලරයක මිල පහළින් තියෙන තරමට රජයට පාඩුයි. දැන් පොඩි වෙනසක් වී තිබුණත් බොහෝ විට ලංකාවේ තිබුණු තත්ත්වය දෙවැන්න මිසක් පළමුවැන්න නෙමෙයි. 

කොහොම වුනත්, මේ තර්කයේ තිබෙන ප්‍රධාන වැරැද්ද ඕක නෙමෙයි. රජයට මහ බැංකුවෙන් අඩු මිලට ඩොලර් මිල දී ගන්න පුළුවන් වුනත් එහෙම කරද්දී මහ බැංකුවේ සංචිත අඩු වෙනවා. ඒ නිසා, මහ බැංකුවේ සංචිත එලෙසම පවත්වා ගනිමින් ඔය වැඩේ කරන්නනම් මහ බැංකුව විසින් රජයට විකුණන ඩොලර් ප්‍රමාණය නැවත කාගෙන් හෝ මිල දී ගන්න වෙනවා. මිල අඩු මට්ටමක තියාගෙන ඉඳිද්දී කවුරුවත් ඒ මිලට මහ බැංකුවට සංචිත විකුණන්නේ නැහැ. ඒ නිසා, මේ වැඩේ කරද්දී මහ බැංකුවේ සංචිත ටිකෙන් ටික හිඳී ගිය ආකාරයත්, රටේ හා රටට සල්ලි එවන රටින් පිට ඉන්න මිනිස්සු බැංකු ක්‍රමය අත ඇරලා උන්ඩියල් වලට මාරු වුන ආකාරයත් අපි ඇස් පනාපිටම දැක්කා. සෙල්ලම නතර වෙද්දී සංචිත හිඳිලා රටත් බංකොලොත් වෙලා.

කවුරුවත් ඩොලර් විකුණන්න කැමති නොවන අඩු මිලක ඩොලරය තියාගෙන ප්‍රශ්නය විසඳගන්න හදන එක මුලින් කී පද්ධති දෙකෙන් එකකින් විදුලිය ගන්න හදනවා වගේ වැඩක්. හැබැයි මේ වගේ දෙයක් ඉතා කෙටි කාලයක් කරන්න පුළුවන්. ඒ මහ බැංකුව සතුව යම් විදේශ සංචිත ප්‍රමාණයක් තිබෙන නිසා. මේක හරියට බැටරියක විදුලිය ගබඩා කර ගන්නවා වගේ දෙයක්.

නිතර ලයිට් කපපු පහු ගිය කාලයේ ගොඩක් ගෙවල් වල ලයිට් ගිය වෙලාවට ස්වයංක්‍රීය ලෙස පත්තු වෙන විදුලි පහන් තියාගෙන හිටියා. මේ විදුලි පහන් ක්‍රියාත්මක වෙන්නේ බැටරියකින්. විදුලි බලය තියෙන වෙලාවට බැටරිය චාජ් වෙනවා. ලයිට් ගියාම ඒ චාජ් එකෙන් බල්බ් එක පත්තු වෙනවා. නැවත විදුලි බලය ලැබුණු විට බල්බ් එක ස්වයංක්‍රීය ලෙස නිවී ගිහින් බැටරිය චාජ් වෙන්න පටන් ගන්නවා.

ඔය වගේ විදුලි පහන් වලින් ලයිට් ගිය වෙලාවට එළිය ගන්න පුළුවන් වුනේ එක දිගටම ලයිට් නොකපපු නිසා. විදුලි පහනේ බැටරිය බහින්න කලින් හැම විටම වගේ නැවත ලයිට් එනවා. එහෙම වුනේ නැත්නම් චාජ් එක ඉවර වුනාට පස්සේ ඔය විදුලි පහණත් නිවී යනවා. එක දිගටම ඩොලරයක මිල පහළින් තියා ගනිද්දී වෙන්නෙත් හරියටම ඔය වැඩේ. බැටරියේ චාජ් එක ඉවර වෙනවා වගේම රටේ නිල සංචිතත් ඉවර වෙනවා. ඊට පස්සේ ඉතිං රටම කළුවරේ තමයි.

ආර්ථික විද්‍යාඥයෝ මේ වෙන්න යන දේ පෙන්වලා දුන්නේ අවුරුදු ගණනකට කලින්. අපිම වුනත් අවුරුදු හත අටකට කලින් සිට බ්ලොග් එක හරහා වෙන්න යන දේ ගැන කියා තිබුණා. ඒ දවස් වල කියද්දී නොතේරුණු එකේ ලොකු ප්‍රශ්නයක් නැතත් ඒ කියපු දේවල් ඒ විදිහටම වෙලා රටම මේ තරම් ලොකු අමාරුවක වැටුනට පස්සේ තවමත් තේරෙන්නේ නැත්නම් ඉතිං අනේ මන්දා...

රාජපක්ෂ ආර්ථික ක්‍රමයේ තිබුණේ යෙදවුම් නැතුව සම්පත් මවන ආකෘතියක්. මුලින් ඉදිරිපත් කළ පද්ධති වැඩ කරන්නේ නැහැ වගේම මේ වගේ ක්‍රමයක් වැඩ කරන්නේ නැහැ. පද්ධතිය ඇතුළට කොහෙන් හෝ කරන්ට් එක ගන්නම වෙනවා. නලින් ද සිල්වාගේ ලිපියේ මෙහෙම කොටසකුත් තිබෙනවා.

"මේ කවුරුත් කරන වරද තමයි ජාමුල මත පමණක් රැඳීම. ඔවුන් ආර්ථික නොබැඳි පිළිවෙතක් අනුගමනය කරන්නෙ නැහැ. ඔවුන් බ්‍රික්ස් කණ්ඩායමේ සංවර්ධන බැංකුවට යන්නෙ නැහැ."

මෙහි යෝජනා කරන්නේ ජාත්‍යයන්තර මූල්‍ය අරමුදල වෙත නොගොස් වෙන තැනකින් කරන්ට් එක ගත යුතු බව. වෙන තැන ඉතිං චීනයනේ. ඒ කියන්නේ ඩොලරයක මිල දිගටම පහළින් තියාගෙන සිටිමින්, ඒ මිලට කවුරුවත් ඩොලර් සපයන්නේ නැති අඩුවට දිගින් දිගටම ණය ගන්න කියන එක. ඒ විදිහට එළියෙන් කරන්ට් එක එනවානම් එහෙම එනකම් ලයිට් පත්තු වෙනවා. රාජපක්ෂ ක්‍රමය ඇතුළේ ලයිට් පත්තු වුනේ ඔය ක්‍රමයට.

හැබැයි ඔය ක්‍රමයට ගිහින් අන්තිමට ලයිට් නිවුනා. ඔය විදිහට දිගින් දිගටම ණය අරගෙන තවත් ණය ගන්න බැරි වෙලාවක් ආවා. ඩොලරයක මිල පාලනය කරගන්න බැරි වුනේ ඊට පස්සේ.

මම ජාජබ ආර්ථික ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. නමුත්, ඒ ප්‍රතිපත්ති වල ප්‍රශ්න කොයි තරම් තිබුණත්, එයින් අදහස් වන්නේ ඒ ප්‍රතිපත්ති වල හැම කොටසක්ම නරක බව නෙමෙයි. ඒ වගේම, රාජපක්ෂ ක්‍රමයේ සහ ජාජබ ක්‍රමයේ යම් සමානකම් තිබුණත් ඒ දෙක එකක්ම නෙමෙයි. පැහැදිලි වෙනස්කම් තිබෙනවා. 

විණිමය අනුපාතය පාලනය කිරීම ඇතුළු මිල පාලනය සමාජවාදීන් අතර ජනප්‍රිය ක්‍රමයක්. නලින් ද සිල්වා යෝජනා කරන්නෙත් ඒ සමාජවාදී ක්‍රමය. නමුත්, රජය ආදායම ඉක්මවා වියදම් කරන එක සාමාන්‍යයෙන් සමාජවාදී භාවිතාවක් නෙමෙයි. ඒ වැඩේ ගොඩක් වෙලාවට වෙන්නේ "පාලනය" වෙනුවට "නිදහස" වෙනුවෙන් පෙනී සිටින අය අතින්. ඒ වගේ සමහර තැන් වල රජයයන් විසින් රාජ්‍යමූල්‍ය පාලනය අමතක කරලා නිදහසේ ණය වෙනවා. 

රාජපක්ෂ ක්‍රමයේත් ජාජබ යෝජනා වලත් වෙනස කුමක්ද කියලා සමහර අය අහනවා. රාජපක්ෂ ක්‍රමයට කරන්ට් එක එන ක්‍රමයක් නැහැ. එකම ක්‍රමය වෙන රටකින් ණය ගන්න එක. ඒ වැඩේ දිගින් දිගටම කරන්න බැහැ. රට ඇතුළේ කරන්න හැදුවේ බදු කපලා, ඒ අඩුවට සල්ලි අච්චු ගහලා, ඒ මගින් ආදායම වැඩි කර ගන්න. එහෙම කරලා ආදායම් වැඩි කරගන්න පුළුවන් තමයි. නමුත් බොහෝ දුරට වැඩි වෙන්නේ නාමික ආදායම්. ඒ උද්ධමනය නිසා. 

ජාජබ යෝජනා වල බදු කැපීමක් හෝ සල්ලි අච්චු ගැසීමක් ගැන මම දැකලා නැහැ. ඒවායේ තියෙන්නේ බදු ආදායම් වැඩි කර ගෙන රජයේ ආදායම් හා වියදම් තුලනය කර ගැනීම ගැන. දැන් කරන්න හදන්නෙත් ඒ වැඩේම තමයි. වෙනසක් තියෙනවානම් තියෙන්නේ බදු ආදායම් එකතු කරගන්න යන ක්‍රමයේ. එහෙම වෙනසක් හරි තියෙයිද කියලා බලන්න වෙන්නේ කරන වෙලාවකම තමයි. 

මොන විදිහකින් හෝ අවසාන වශයෙන් විය යුත්තේ රජයේ ආදායම් හා වියදම් තුලනය වෙන එක. ඒක මොන විදිහකින් වුනත් වෙනසක් නැහැ කියන එක එයින් අදහස් වෙන්නේ නැහැ. වෙන විදිහ ආර්ථික වර්ධනය කෙරෙහි බලපානවා. නමුත් මොන විදිහෙන් හෝ රජයේ ආදායම් හා වියදම් තුලනය වේනම්, වෙන ලොකු පිස්සුවක් නැටුවේ නැත්නම්, කලින් සැරේ වගේ නැවත වරක් ආර්ථිකය විශාල අර්බුදයකට යන්නේ නැහැ. 

කෙටියෙන් කිවුවොත් නැති රුපියල් වලින් අයවැය හිඟය පියවන්න බැහැ. නැති ඩොලර් වලින් විදේශ අංශය තුලනය කරන්න බැහැ.

5 comments:

  1. රුපියල් ඩොලර් නැති වුණමුත් සිරිලකට
    නැහැ පාඩුවක් වෙන්නේ නං කපේකට
    නැති දේවල් මවා පෙන්වාලා රටට
    කටෙන් බතල හිටවන්නන් ඇත එමට

    ReplyDelete
  2. Hi Economatta,

    I’m in my 30s and I’ve known nothing but failures in Western foreign policy - from Iraq to Afghanistan, from Libya to Somalia, From Pakistan to Bangladesh, from Vietnam toTaiwan, From Ukraine to Western Europe, and last but not least, for Sri Lanka from 2014 to 2024. Just one costly foreign policy blunder after another.

    දැනට පේන විදියට අවාසනාවකට වගේ ලංකාවේ වසර එක හමාරකට පෙර එක්සත් ජනපදය විසින් මෙහෙයවූ ගොටාගෝ අරගලය වෙනුවෙන් සහ ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කිරීම වෙනුවෙන්ම එක්සත් ජනපදය වියදම් කළ ඩොලර් මිලියන ගණනක කැම්පේන් සේරම වතුරේ බවයි පේන්නේ, මීට වඩා බරපතල ප්‍රශ්නය තමයි මම හිතන විදියට එක්සත් ජනපදය බලාපොරොත්තු වන පරිදි ජාජබ මාලිමාවට සැලකිය යුතු බලයක් ලබාගැනීමට නොහැකි වීම සහ ජාජබ සහ සජබය ඉවතට විසිවෙමින් ඒ වෙනුවට ඉදිරියේදී චීන සහාය ලබන විකල්ප දේශපාලන ව්‍යාපාර ලංකාව තුල මේවසරේ හෝ ලබන වසර පමණ වනවිට නැවත හිස එසවීම සහ consequently ඉදිරි අනාගතයේදී (near future) එක්සත් ජනපදය විසින් ඉන්දීය සහාය සහිතව තම අතකොළුවක් වූ IMF යොදාගෙන ලංකාව තුල සිදුකරන ලද මෙම ආර්ථික ප්‍රතිපත්තිවල වෙනස්කම්වලට වැඩි ආයුෂ නැතිවීම, ඇත්තටම ලංකාවේ ඉදිරිය ගැන හරියටම predict කරන්න අමාරුයි, catastrophe එකක් නොවී මේ විදියටම ගිහින් රට සාමාන්‍ය තරමකට හෝ ගොඩ ගියොත් නම් හොඳයි. එහෙම නේද?

    ReplyDelete
  3. මේ තරම් සරලව මාලිමාවේ ආර්තික ප්‍රතිපත්ති වලට සුදු හුණු ගාන්න පුලුවන්ද

    නැති ඩොලර් වියදම් කරන්නෙ නෑ කිව්ව පලියට මාලිමාවේ ආර්ථික දැක්ම හරිද

    මාලිමාව බලයට එන්න හදන්නේ මිනිස්සුන්ට ව්‍යාපාර කරන්න රජය මූලික වෙනවයි කියන මූලීක බංකොලොත් අදහසත් එක්ක. ඉකෝන්ම මේ බ්ලොග් එකේ ඇතිතරම් පැහැදිලි කරලා ඇති විදිහට රජයට මේ වගේ ව්‍යාපාරවල නියමුවා වෙන්න හදන එකම, ලංකාව මීට කලින් අත්හදා බලලා, දැනට කරගෙන ගිහිල්ලා ඇණ ගත්ත ක්‍රමයක්...මේ මූලික සංකල්පේ අත ඇර ගන්නෙ නැතුව මාලිමාවට ඔය කියන විදිහට නැති ඩොලර් වියදම් කිරීමක් පමණක් කරලා ආර්ථිකයය හරි දිශාවට ගෙනි යන්න පුලුවන් කියලා මම පෞද්ගලිකව විශ්වාස කරන්නෙ නෑ...

    ඊලගට විණිමය අනුපාතය හැසීරවීම ගැන උනත් ඔවුන්ගේ තියෙන්නෙ කබ්රාල පීබී අදහස්ම තමයි. මහබැංකුව දැන් යම්තාක් දුරකට ස්වාධීන වෙලා ඉන්න හින්දා ඉස්සරාට එන මොන ආණ්ඩුවකටවත් මහින්දලා තරම් මහබැංකුව හොලවන්න බැරි වෙවි..ඒත් රාජ්‍ය බලය හා සම්පත් උපයොගී කරගෙන මූල්‍ය මණ්ඩලයට ඇගිලි ගහන එක එච්චර අමාරු වැඩකුත් නෙවේ...ඒවයේ ඉන්නෙත් මිනිස්සුම නිසා..ං

    සමාන්‍ය මිනිස්සු මාලිමා ආන්ඩුවකින් සහණාදාර බලාපොරොත්තු වෙනවා. නමුත් නැති ඩොලර් වියදම් කරන්නේ නැතිව, ඒ කියන්නෙ සල්ලි අච්චු ගහහ්න්නෙ නැතිව මේ සහණාදාර දෙන්න පුලුවන් කමක් නෑ....එහෙම සහණදාර දුන්නොත් අයෙත් ආර්ථිකය කඩං වැටෙනවා...එහෙම සහණාදාර නොදුන්නොත් මාලිමා රජයකට විර්ද්ධව ඇතිවෙනෙ ඉච්චා භංගත්වයත් එක්ක එන විරෝධය...මේකට තමයි මාලිමාවෙ ලොක්කො ප්‍රතිවිප්ලවය කියලා දැනටම ඒ සදහා මර්ධයන යොදා ගන්නවා කියලා කියන්නේ

    -Mayya

    ReplyDelete
  4. නලීන් මහත්තයගේ ආර්ථික විද්‍යා උපදේශන දැක්කම මතක් උනේ ගොඨාගෙ කාලේ දොස්තරලා කාබනික පොහොර ගැන දීපු උපදෙස් වලට..


    මේ අයට ඔනේම ක්ශෙත්‍රයක් ගැන කතා කරන්න අයිතිය තියෙනවා...

    ඒත් මිනිස්සු දැන ගන්න ඕනේ මේ ගොල්ලොන්ගේ විශෙශඥභාවය තියෙන්නෙ කිසියම් එක ක්ශේත්‍රයක විතරයි කියලා...
    අනෙක් දේවල් ගැන කථා කරන්න ගියාම සාමන්‍ය මිනිහෙක්ට තේරේන දේවල් වත් මේ සමහර අයට තේරේන්නෙ නෑ..

    පණ්ඩිතයට ඒ දණ්ඩේ යන්න බෑ කියන්නේ ඒක වෙන්නැති


    - Mayya

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.