සාමාන්‍යයෙන් සල්ලි අච්චු ගැසීම යන්නෙන් අදහස් වන්නේ මහ බැංකුවේ සංචිත මුදල් ඉහළ යාමයි. එය සිදු වන ප්‍රධාන ආකාර දෙකක් තිබෙනවා. පළමු ක්‍රමය, මහ බැංකුව විසින් අලුතෙන් මුදල් නිර්මාණය කර රජයට ණය ලෙස ලබා දීමයි. රජය විසින් නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම මගින් මෙන්ම සෘජුව රජයට ණය දීම වැනි වෙනත් ක්‍රම හරහාද මෙය සිදු වෙනවා. සංචිත මුදල් ඉහළ යා හැකි දෙවන ආකාරය මහ බැංකුව විසින් අලුතෙන් මුදල් නිර්මාණය කර එම මුදල් වලින් වෙළඳපොළෙන් විදේශ විණිමය මිල දී ගැනීමයි.
ඉහත ක්‍රම දෙක අතරින් වැඩි දෙනෙකුගේ කතාබහට හා විවේචන වලට බඳුන් වන්නේත්, වඩා හානිකර වන්නේත් පළමු ක්‍රමයයි. ඊට හේතුව මහ බැංකුව විසින් විදේශ විණිමය මිල දී ගැනීමේ හැකියාව රටේ විදේශ විණිමය සැපයුම හරහා නෛසර්ගික ලෙස පාලනය වන නමුත් රජය විසින් ලබා ගන්නා ණය හා අදාළව එවැනි පාලනයක් නොමැති වීමයි. අලුත් මහ බැංකු පණත මගින් ඉලක්ක කළේ මෙම පාලනය ඇති කිරීමටයි.
ඉහත ප්‍රධාන ආකාර දෙකට අමතරව තවත් විවිධ ආකාර වලින් සංචිත මුදල් සැපයුම වෙනස් වන නිසා සංචිත මුදල් වෙනස් වීමට හේතු වන එක් සාධකයක් දෙස පමණක් බලා එය සල්ලි අච්චු ගැසීමක් සේ අර්ථ දැක්විය නොහැකි වුවත්, ඇතැම් අය මහ බැංකුව සතු වූ භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය වැඩි වන විට ඊට සමාන සල්ලි අච්චු ගැසීමක් සිදුව ඇති බව ප්‍රචාරය කරනු අපට දැක ගත හැකි වුනා.
ලංකාවේ උද්ධමනය ඉතිහාසයේ කිසිදා නොපැවති ඉහළ මට්ටමක් දක්වා වැඩි වීමට මුදල් සැපයුමෙහි සිදු වූ විශාල ඉහළ යාම හේතු වූ බව ප්‍රචලිත කරුණක්. රටේ මුදල් සැපයුම ඉහළ යාමට හේතු වන ප්‍රධානම සාධකයක් වන්නේ මහ බැංකුවේ සංචිත මුදල් ඉහළ යාමයි.
විශේෂයෙන්ම 2021 වසර තුළ සංචිත මුදල් සැපයුමෙහි 35.4%ක දැවැන්ත ඉහළ යාමක් වාර්තා වුනා. එම වසර තුළ මහ බැංකුව විසින් රජයට ලබා දී තිබුණු ශුද්ධ ණය ප්‍රමාණය සංචිත මුදල් ප්‍රමාණයද ඉක්මවූ අතර මහ බැංකුවේ විදේශ වත්කම් සෘණ පැත්තට හැරුණා. ඒ කියන්නේ අලුතෙන් සල්ලි අච්චු ගසා රජයට ණය දෙනවාට අමතරව මහ බැංකුව ණය වී ලබා ගත් මුදල්ද රජයට ණය ලෙස ලබා දුන්නා. මෙය උද්ධමනය විශාල ලෙස ඉහළ යාමට මෙන්ම විණිමය අනුපාතය කෙරෙහි වූ මහ බැංකුවේ පාලනය ගිලිහීමටද හේතු වුනා.
කෙසේ වුවත්, 2022 වසර තුළ මහ බැංකුවේ ඉහළ පුටු මාරු වීමෙන් පසුව තත්ත්වයේ වෙනසක් දැකිය හැකි වුනා. එම වසරේ මුල් මාස වලදීද සංචිත මුදල් ඉහළ ගිය නමුත් පසුව එම ප්‍රවණතාව ආපසු හැරවුණු නිසා වසර තුළ සංචිත මුදල් ඉහළ ගියේ 3.3%කීන් පමණයි.
ගෙවුණු 2023 වසර තුළ සංචිත මුදල් කොපමණ ඉහළ ගොස් ඇත්ද? වෙනත් විදිහකින් කිවුවොත් ගෙවුණු වසර තුළ මහ බැංකුව විසින් කොපමණ සල්ලි අච්චු ගසා ඇත්ද?
පසුගිය වසර තුළ ඇත්තටම සිදු වී තිබෙන්නේ සංචිත මුදල් සැපයුම 1.5%කින් පහළ යාමක්. ඒ කියන්නේ පෙර වසර වල අච්චු ගැසූ සල්ලි වලින් කොටසක් සංසරණයෙන් ඉවත් කිරීමක්. මීට පෙර 2019 වසර තුළද මෙවැනි තත්ත්වයක් දැක ගත හැකි වුනා. පහත තිබෙන්නේ පසුගිය වසර කිහිපය තුළ සංචිත මුදල් වෙනස් වූ ආකාරය.
2017 අවසානයේදී - රුපියල් බිලියන 939.8
2018 අවසානයේදී - රුපියල් බිලියන 961.1
2019 අවසානයේදී - රුපියල් බිලියන 932.6
2020 අවසානයේදී - රුපියල් බිලියන 964.4
2021 අවසානයේදී - රුපියල් බිලියන 1,305.8
2022 අවසානයේදී - රුපියල් බිලියන 1,349.4
2023 අවසානයේදී - රුපියල් බිලියන 1,328.7
දිගින් දිගටම අලුතෙන් සල්ලි අච්චු ගැසීම නැවතී ඇතත්, 2021දී අලුතෙන් අච්චු ගසා සංසරණයට එකතු කළ මුදල් ප්‍රමාණය බොහෝ දුරට තවමත් එලෙසම ඇති බවත්, 2017-2020 පැවති මට්ටමට සාපේක්ෂව 2021-2023 සංචිත මුදල් මට්ටම වෙනම, ඉහළ මට්ටමක් බවත් ඔබට පැහැදිලිව පෙනෙනවා ඇති. උද්ධමනය, එනම් මිල ඉහළ යන වේගය, අඩු වී ඇතත් මිල මට්ටම අඩු වී නැත්තේ ඇයි කියන එකත් මේ ඇසුරෙන් තේරුම් ගැනීමට හැකි විය යුතුයි.
පසුගිය වසර තුළ රුපියල් බිලියන 20.7කින් සංචිත මුදල් අඩු වී තිබෙනවා. එයට ප්‍රධාන හේතුව මහ බැංකුව විසින් රජයට දී තිබුණු ශුද්ධ ණය ප්‍රමාණය රුපියල් බිලියන 3,432.5 සිට රුපියල් බිලියන 2,376.2 දක්වා රුපියල් බිලියන 1,056.3කින් පහළ යාමයි. 2019 අවසානය වන විට මහ බැංකුව විසින් රජයට ලබා දී තිබුණු ශුද්ධ ණය ප්‍රමාණය රුපියල් බිලියන 363.0ක් පමණක් වුවත්, 2022 වසර අවසන් වන විට එම ප්‍රමාණය රුපියල් බිලියන 3,432.5 දක්වා ඉහළ ගොස් තිබුණා.
මහ බැංකුව විසින් රජයට දී තිබුණු ශුද්ධ ණය ප්‍රමාණය අඩු වී තිබෙන්නේ රජය විසින් එම ණය මහ බැංකුවට ආපසු ගෙවා ඇති නිසා. එසේ රජය විසින් මහ බැංකුවට ණය ආපසු ගෙවීමේදී කලින් මහ බැංකුව විසින් නිකුත් කළ රුපියල් මහ බැංකුවට ආපසු ලැබෙනවා. මහ බැංකුව විසින් වෙළඳපොළෙන් විදේශ විණිමය මිල දී ගැනීම පිණිස වැය කර තිබෙන්නේ එසේ ආපසු ලැබුණු රුපියල් බැවින් වසර තුළ වෙළඳපොළෙන් විශාල ලෙස විදේශ විණිමය මිල දී ගෙන ඇතත් ඒ හේතුවෙන් සංචිත මුදල් වැඩි වී නැහැ.
ආර්ථික අර්බුදයට පෙර, 2019 වසර අවසානයේදී, මහ බැංකුව සතුව රුපියල් බිලියන 896.0ක වටිනාකමැති ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණයක් තිබුණා. එහෙත්, 2022 වසර අවසන් වන විට මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් රුපියල් බිලියන 1,613.7ක සෘණ අගයක්, එනම් එපමණ ශුද්ධ විදේශ බැරකමක් ලෙස වෙනස් වී තිබුණා. මහ බැංකුව විසින් පසුගිය වසර තුළ විදේශ විණිමය එකතු කර ගැනීම නිසා වසර අවසාන වන විට ඉහත විදේශ වත්කම් හිඟය රුපියල් බිලියන 837.3 දක්වා අඩු වී තිබෙනවා.
මේ සමඟ තිබෙන ප්‍රස්ථාරයේ ඔබට දැකිය හැක්කේ සංචිත මුදල් සැපයුම සහ රටේ නිවාස ඒකකයක සාමාන්‍ය මාසික වියදම (ජාතික පාරිභෝගික මිල දර්ශකයේ භාණ්ඩ හා සේවා පැසේ වියදම) විචලනය වී ඇති ආකාරයයි.
ගනුදෙනු වාර්තා නිල ලේඛන වාගේ
ReplyDeleteදේවල් පිළිබඳව දැන් කිසිවක් නොහැඟේ
වරදක් නෙවෙයි ඉකොනෝ මැතිතුමනි අගේ
ලකේ ඉන්න ඔක්කොම බොරු කියනු වගේ!
ඔය මුදල් සංචිත වැඩිකිරීමට නැත්නම් සල්ලි අච්චු ගහන්න මොඩර්න් මොනිටරි තියරිය විස්වාස කරන හිටපු ගවනර් ඩබ්. ඩී. ලක්ෂ්මන් මූලික වුණා නමුත් ඔහු තනතුරෙන් පහ වුණ වහාම IMF එක මැදිහත් වී ඔහුට IMF එකේ ඉහළ තනතුරක් ලබාදුන්නේ ඇයි කියලා මුලින්ම කියන්න පුළුවන්ද ඉකොනොමැට්ටා?
ReplyDeleteIMF ලංකාවට දැන් කොන්දේසි දාල
කරන්න කියන ප්‍රතිපත්තිවලට සම්පූර්ණයෙන්ම වෙනස් අදහස් දරපූ ඒ වගේම එක්සත් ජනපදය සහ බටහිර යුරෝපීය රටවල අධ්‍යාපනය ලබපු ආර්ථික විද්වතුන් වන පීබී ජයසුන්දර ලක්ෂ්මණ් වගේ අය වගේම ලංකාවේ ආර්ථික අර්බුදයේ මහමොළකරුවන් වන රනිල් වික්‍රමසිංහ අර්ජුන මහේන්ද්‍රන් සහ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි වැනි අයත් එහි දෙවන පෙළ නායකයන් වන ලක්ෂ්මණ් කබ්රාල් සහ නන්ද ලාල් වගේ අයත් මේ ලංකාවේ IMF program කරපු IMF සමග ඉතාම සමීප ගේම්කාරයො ටිකක් බවයි පේන්නේ
අනෙක ඔය අර්බුදයට ප්‍රධාන හේතුව සංචිත වැඩිවීම පමණක් නෙවෙයි ලංකා ආර්ථිකය බංකොලොත් වෙන්න ප්‍රධානම හේතුව නම් කෙටිකාලීන ඉහළ පොළි අනුපාතවලට ගත්ත ISB සහ SLDB වගේ බැදුම්කර ණයයි. මේ කුමාරස්වාමීලා අටවපු ක්ලේමෝ බෝම්බයෙ කේබල් එක පාගලා ට්‍රිගර් කරලා පත්තු කරන එක තමයි මෝඩ නන්දසේන ගෝඨාභය කරේ කොවිඩ් මර්දනය කිරීම කියල. රසායනික පොහොර තහනම වගේ අමනෝඥ තීන්දුවලින් අර්බුදය තවත් උග්‍ර උනා. ඒ වගේම ඒ කාලෙ හිටපු මහ බැංකු අධිපති ලක්ෂ්මණ් වාර්තාවක් තිබ්බ මුදල් මවල. ඒ විදියටයි කොවිඩ් කාලෙ රට වහලා නිෂ්පාදනය අඩුවීම නිසා අහිමි වෙච්ච ආදායම පියවාගත්තෙ. ඒ කාලෙ ගෙදරට වෙලා රට වහපං කියපු අය දැං අඩනවා බදු වැඩියි මුදලෙ අගයක් නැහැ ජීවත් වෙන්න කියලා.
මොඩර්න් මොනිටරි තියරි කියන සංකල්පය යටතෙ, ලංකාව විශාල ලෙස මුදල් නිකුත් කරා, ඒත් මේ මුදල් එවකට ආනයන තහනම් කරල තිබණත් ඉතුරුවෙලා තියෙන ආනයන කරනන පුලුවන් ක්ෂේත්‍ර ඔස්සේ ආනයන හරහා එලියට ගියා. උදාහරණයක් වශයෙන්; වාහන ආනයන තහනම් කරල නම්, අවශ්‍ය කෙනා පරණ වාහනයක් ගන්නව. පරණ වාහනයක් ගත්තොත් ඒ වාහනය පරණ වෙද්දි එකට ස්පෙයාර් පාර්ට්ස් ගන්න ඕනෙ. කොම්පියුටර් එකක් ගනිද්දි එහෙමයි. ඔය වගේ හැම දෙකිනම රටක එක පැතතකින වියදම් කැපුවට සාමාන්‍ය ස්වභාවය තමයි ආර්ථිකයක අනිත් පැත්තෙන් ඒ වෙනුවෙන් වියදම් කරනව. එතකොට තියනවටත් වඩා වියදමක් අපි ආනයනය කරන්න යොමු වෙනව. එතකොට රුපියලට ඇති වෙන බලපෑම එන්න එන්නම වැඩිවෙනව. මෙතනදිත් සිදධ වුනේ මම හිතන්නෙ ඒකමයි.
යහපාලනය කාලෙත් ලංකාව හිටියෙ අයිඑම්එෆ් ප්‍රොග්‍රෑම් එකකයි. 16 වන IMF program එක ගියපු ඒ කාලෙත් රුපියල 30% ක් විතර අවප්‍රමාණ උනා. ඒ අයිඒමඑෆ් උපදෙස් අනුව රුපියල පා කිරීම නිසා. අන්තිමට කුමාරස්වාමි දහ අතේ අධික පොළියට අරගෙන හදාගෙන තිබුණ සංචිත වලින් ඩොලර් බිලියන තුනක් විතර වියදම් කරල තමයි රුපියල 180 විතර රදවාගත්තෙ. නමුත් අදටත් බොහෝ දෙනා, විශේෂයෙන්ම ආර්ථික වියත්තු කියන්නෙ අයිඑම්එෆ් එක කියන දේ ඒ විදියටම කරොත් හරි කියලයි. ඒ අතර සමෘද්ධිය, රාජ්‍ය සේවක පඩි වැඩි කිරීම, සහ තවත් නාස්තිකාර දේශපාලනික වැඩසටහන් ගණනාවකට විශාල වියදම් වැඩිවීමක් උනා. ඒවායි ඒ ගත්ත ණය වැයවුනේ. මොකද ඒ කාලෙ කලින් ප්ලෑන් කරල තිබ්බ චීන ආධාර වලින් මොරගහකන්ද සහ රාජගිරිය ගුවන් පාලම හැරුණාම කිසිම අලුත් සංවර්ධන ව්‍යාපෘතියක් උනේ නැහැ. විශේෂයෙන්ම විදුලි බලාගාර නම් එකක්වත් හැදුවෙ නැහැ.
ලංකාවේ ආර්ථිකයට කෙටිකාලීන ණය අධික ලෙස අරගෙන ISB ක්ලේමෝ බෝම්බය අටවපු ආචාර්ය කුමාරස්වාමි වගේ ආර්ථික ඝාතකයින් දැන් රනිල් යටතේ වර්තමාන පාලනයෙත් ණය ප්‍රතිව්‍යුගතකරණය බාර ප්‍රධානියා. ඒ කාලෙ මහබැංකුව බාරව හිටපු රනිල් අද මුදල් අමැති. අර්බුදය ඇති කරපු අයට අර්බුදය විසදන්න බෑ. විසදන්න බෑ නොවේ ඇත්තටම ඔවුන් කරන්නෙ අර්බුදය තව දුරටත් ගැලවිය නොහැකි ලෙස උග්‍ර කිරීමයි.
ඔය සේරටම වඩා ලංකාවේ ආර්ථිකය ගොඩදැමීමට ගෝලීය වෙළඳපොල තුල තරගකාරීත්වය වැඩිදියුණු කරගැනීමට උත්සාහ කළයුතුයි, විශේෂයෙන්ම දැනට රතු මුහුද ආශ්‍රිතව සිදුවන යුධ ගැටුම් ඉරාන රුසියා ඇමරිකා යුධ සූදානම යුක්‍රේන පෙරමුණේ නේටෝ හමුදා දැඩිලෙස පරාජය වීමත් සමග රුසියාව යුධමය වශයෙන් බලවත් වීම එක්ක සිදුවන ගෝලීය ආර්ථික ප්‍රවණතා වගේම ලෝකයේ වෙළෙඳ නාවික ක්‍ෂේත්‍රයේ ඇතිවන නව ප්‍රවණතා සමඟ කටයුතු කිරීමට නම් ලංකාවේත් කොළඹ හම්බන්තොට ප්‍රධානව සියලුම වරාය ක්‍ෂේත්‍රයේ මානව සම්පත්ද නිසි සංවර්ධනයකට ලක්විය යුතුයි. එමෙන්ම වරාය සංවර්ධනයට සමගාමීව යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම නව තාක්‍ෂණික දැනුම ද උචිත නවීනතම මෙවලම්ද ඒ සඳහා එක් කර ගත යුතුයි. එලෙස නවීකරණය වීම නොකර භූමියේ සහ ගෝලීය ව්‍යාපාර අවස්ථාවන්වලින් වාසිය උපරීමයෙන් ලබාගැනීමට නොහැකි වෙයි
ReplyDeleteලංකාව කාලයක් තිස්සේ ඇපරල් ආශ්‍රිතව කර්මාන්ත ක්‍රියාත්මක කළත් පහුගිය චීන එක්සත් ජනපද ට්‍රේඩ් වෝ එක හා සමගාමීව චීන ඇපරල් නිෂ්පාදනය කරන කම්හල් චීනයෙන් පිටතට ගෙනගොස් චීන අමුද්‍රව්‍යම යොදාගෙන මෝඩ එක්සත් ජනපද බලධාරීන් රැවටීමට Made in xyz කියල ගහගන්නට නිෂ්පාදනය කරන රට වෙනස් කරන එකෙන්වත් ලංකාව හරියට ප්‍රතිලාභ ලබාගෙන අදාල වැලියු ඇඩිෂන් කොන්ත්‍රාත්තු ලබාගැනීමට අසමත් වුණා..ගොඩක්ම වියට්නාමය ඉන්දුනීසියාව විතරක් නෙවේ බංග්ලාදේශය ඉන්දියාව තබා අච්චර යුද්ධ කෝලාහල තියෙන පකිස්තානයේ පවා පහුගිය කාලේ ඒ ඇපරල් කර්මාන්ත වල අවසන් ඇසෙම්බ්ලි කරන කොටස කරන කම්හල් ආරම්භ වුණා චීනයේද සහාය සහිතව, නමුත් ලංකාවේ ගොයියලා බුදි...!
අනෙක තොරතුරු තාක්ෂණ කර්මාන්ත ඇතුලු ලංකාවේ සේවා අපනයන කර්මාන්ත පහුගිය 2023 වසරේදී දැඩිලෙස කඩාවැටීම දකින්න ලැබෙනව, හුදෙක්ම සංචාරක කර්මාන්තය විතරයි මේ දවස්වල ලංකාවේ සේවා අපනයන කර්මාන්ත විදියට තියෙන්නේ ඒකත් මාලදිවයින එහෙම එක්ක බලනකොට සතුටු වෙන්න තරම් හොඳ දියුණුවක් නෑ
අඩුම තරමීන් සේවා අපනයන කර්මාන්ත වල ඉන්න වෘත්තිකයන්ට පමණක් හෝ විශේෂ බදු සහන ලබාදීම පිළිබඳව රජයේ අවධානය යොමුකර නෑ
ගෝලීය වෙළඳපොල ආර්ථිකය දෙස බලනකොට චීනය තරගකාරීත්වයට බිය නොමැති බවත් දැඩි තරගකාරීත්වය වගේම සෑම අභියෝගයකට ඉතා සාර්ථකව මුහුණ දෙමින් විශිෂ්ට ජයග්‍රහණ ලබාගන්නා බවත් සෑම ක්ෂේත්‍රවලම පාහේ විශාල දියුණුවක් අත්කරගනිමින් සිටින බවත් ඒ වගේම චීනය තරගකාරීත්වය මඟ හරින්නේ ද නැති බවත් චීනය හා ඇමරිකා එක්සත් ජනපදය වෙන් වෙන් ව සාර්ථකත්වයන් ලබාගෙන තිබීම රටවල් දෙකටම අවස්ථාවන් වැඩි කරනු මිස අභියෝගයක් නොවන බවත් පේන්න තියෙනවා
ගිය 2023 අවුරුද්ද තුලදී ඔවුන් විසින්ම විවිධ ගේම් දී ලොව පුරා ඇවිලවූ යුධගැටුම් වෙනුවෙන් අවි ආයුධ අලෙවියෙන් පමණක් ඇමෙරිකා එක්සත් ජනපදය ලැබූ ආදායම ඇමෙරිකන් ඩොලර් බිලියන 238 පසු කර තිබේ...
-
Sales of U.S. military equipment to foreign governments in 2023 rose 16% to a record $238 billion, the U.S. State Department said on Monday, as countries sought to replenish stocks sent to Ukraine and prepare for major conflicts.
The figures underpin expectations of stronger sales for the likes of Lockheed Martin, General Dynamics and Northrop Grumman, whose shares are forecast to rise amid growing global instability. Also the major shareholders of the aforesaid corporations are said to be the major sponsors of the ruling Democrats as many media and experts emphasised.
Source:
https://www.voanews.com/amp/us-arms-exports-hit-record-high-in-fiscal-2023/7462237.html
ඔය ඊශ්‍රායල්-පලස්තීන්, රෂියා-යුක්‍රේන් ආදායම් විතරනේ. බැරිවෙලාවත් චීනෙයි තායිවානෙයිත් ලණුව කාලා පැටළුනානං ආදායම ඔයිට වඩා දෙගුණ වෙනවා, ලබන අවුරුද්ද තුල වැඩේ කරන්න පුලුවන් වෙයිද කියල එක්සත් ජනපද විශේෂයෙන්ම ඩිමොක්රටික පක්‍ෂ කට්ටිය ප්ලෑන් හදනව ඇති මේ දවස්වල එහෙම නේද?