Tuesday, February 13, 2024

පින්ලන්තයේ පින්වන්තයෝ...


පසුගිය සටහන සමඟ රූප සටහනක් පළ කර ඒ අනුසාරයෙන් ප්‍රශ්න තුනක් ඇහුවා. නිතර මෙහි යන එන පාඨකයින් කිහිප දෙනෙකු විසින්ම එම ප්‍රශ්න තුනට පිළිතුරු දී තිබුණා. ඔවුන් සියලු දෙනාටම ස්තුතියි! එම ප්‍රශ්න හා පිළිතුරු ගැන කතා කරන එක මොහොතකට පමා කරමු.

පින්ලන්තය හා අදාළව මේ ප්‍රශ්න ඇසුවේ විශේෂ හේතු කිහිපයක් නිසා. දැනට වසර දොළහක පමණ සිට "ලෝක සතුටු වාර්තාව" නමින් වාර්ෂික වාර්තාවක් එළි දැක්වෙනවා. මෙම වාර්තාවෙහි ජීවත්වීම සඳහා සුදුසුම රටවල් අනුපිළිවෙලින් ශ්‍රේණිගත කෙරෙනවා. පසුගිය වසරේ ශ්‍රේණිගත කිරීම් වල වගේම, ඊට පෙර වසර පහක කාලය තුළද මෙම ලැයිස්තුවෙහි උඩින්ම සිටි රට පින්ලන්තයයි. එහි ශ්‍රේණිගත කර ඇති රටවල් 137ක් අතරින් ලංකාවේ ස්ථානය 112.

පින්ලන්තය වගේ පට්ට සීතල රටක් ලැයිස්තුවේ උඩට එන්නේ කොහොමද?

රටක ජනතාවගේ ජීවන තත්ත්වය මැනීම සඳහා යොදා ගන්නා වඩාත්ම ප්‍රචලිත නිර්ණායකය ඒක පුද්ගල ආදායමයි. එහෙත්, ඒක පුද්ගල ආදායම දෙස බැලීමෙන් පමණක් රටක ජනතාවගේ ජීවන තත්ත්වය මැනිය නොහැකි බව පැහැදිලි තාර්කික පදනමක් තිබෙන විවේචනයක්. සතුටු වාර්තාවේ සතුටු දර්ශකයෙහි ඒක පුද්ගල ආදායමද ජීවන තත්ත්වය පිළිබඳ මිනුමක් ලෙස සලකන නමුත් එවැනි තවත් මිනුම් පහක්ද සලකා බලනවා. 

1. ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය 

2. සමාජ සහයෝගය 

3. ආයු අපේක්ෂාව 

4. ජීවිතය පිළිබඳ තීරණ ගැනීමේ නිදහස 

5. පරිත්‍යාගශීලී බව 

6. දූෂණ පිළිබඳ ආකල්ප 

පින්ලන්තය පළමු තැනට එන්නේත්, ලංකාව 112/137 ලෙස ශ්‍රේණිගත වන්නේත් ඉහත නිර්නායක හයම සැලකිල්ලට ගැනීමෙන් පසුවයි. මෙම එක් එක් නිර්ණායකය අනුව, පින්ලන්තයේ හා ලංකාවේ ස්ථාන පහත පෙන්වා තිබෙනවා.

ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය:

පින්ලන්තය- 18

ලංකාව- 73


සමාජ සහයෝගය:

පින්ලන්තය- 2

ලංකාව- 71


ආයු අපේක්ෂාව:

පින්ලන්තය- 23

ලංකාව- 53


ජීවිතය පිළිබඳ තීරණ ගැනීමේ නිදහස:

පින්ලන්තය- 1

ලංකාව- 80


පරිත්‍යාගශීලී බව:

පින්ලන්තය- 80

ලංකාව- 85


දූෂණ පිළිබඳ ආකල්ප:

පින්ලන්තය- 2

ලංකාව- 81


මේ අනුව පෙනෙන්නේ පින්ලන්තය පළමු තැනට තල්ලු වී තිබෙන්නේ ජීවිතය පිළිබඳ තීරණ ගැනීමේ නිදහස, දූෂණ පිළිබඳ ආකල්ප හා සමාජ සහයෝගය නිසා බවයි. ලංකාවේ සමස්ත ස්ථානය එක් එක් කාණ්ඩ යටතේ සිටින ස්ථාන සියල්ලටම වඩා අඩු එකක් වීමද විශේෂත්වයක්.

පින්ලන්තයට අමතරව, අනෙකුත් ස්කැන්ඩිනේවියන් රටවල් හතරටද ලැයිස්තුවේ ඉහළ තැන් හිමි වී තිබෙනවා. පහත තිබෙන්නේ ලැයිස්තුවේ මුල් රටවල් දහය.

1. පින්ලන්තය 

2. ඩෙන්මාර්කය 

3. අයිස්ලන්තය 

4. ඊශ්‍රායලය 

5. නෙදර්ලන්තය 

6. ස්වීඩනය 

7. නෝර්වේ 

8. ස්විට්සර්ලන්තය 

9. ලක්සම්බර්ග් 

10. නවසීලන්තය


නිර්ණායක හයෙන් හතරකින්ම පින්ලන්තයට වඩා ඉදිරියෙන් සිටින සිංගප්පූරුව ඉහත රටවල් දහය අතර නැහැ. එරටට හිමිව තිබෙන්නේ ලැයිස්තුවේ 25 වන ස්ථානයයි. පහත තිබෙන එක් එක් නිර්ණායකය තුළ සිංගප්පූරුව සිටින තැන දෙස බැලූ විට එයට හේතුව තේරුම් ගන්න අපහසු වන එකක් නැහැ.  

ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය - 2

සමාජ සහයෝගය - 50

ආයු අපේක්ෂාව - 3

ජීවිතය පිළිබඳ තීරණ ගැනීමේ නිදහස - 32

පරිත්‍යාගශීලී බව - 51

දූෂණ පිළිබඳ ආකල්ප - 1


දූෂණ පිළිබඳ ආකල්ප අතින් ලෝකයේ ඉදිරියෙන්ම සිටින රට සිංගප්පූරුවයි. එරට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය අනුව දෙවන තැනද, ආයු අපේක්ෂාව අනුව තෙවන තැනද සිටින අතර පරිත්‍යාගශීලී බව අනුවද පින්ලන්තයට වඩා ඉදිරියෙන් සිටිනවා. එහෙත්, ජීවිතය පිළිබඳ තීරණ ගැනීමේ නිදහස හා සමාජ සහයෝගය පින්ලන්තයේ තරමට නැති නිසා, පින්ලන්තය ලැයිස්තුවේ මුල් තැනට යද්දී සිංගප්පූරුව එහි 25 වන තැනට වැටෙනවා.

ඉහත නිරීක්ෂණය ඇසුරෙන් වත්මන් ලෝකයේ ජීවන තත්ත්වය පිළිබඳ පරමාදර්ශ ගැන අදහසක් ගන්න පුළුවන්. එහිදී සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ආකෘතියට සහ ලිබරල් ජීවන විලාසිතා වලට වැඩි බරක් වැටී තිබෙනවා. මෙය වත්මන් ලෝකයේ අධිපතිවාදී ආකෘතිය ලෙසද හැඳින්විය හැකියි. මෙම අධිපතිවාදී ආකෘතිය හොඳින්ම අනුගමනය කරන රටවල් අතර ස්කැන්ඩිනේවියන් රටවල් ඉදිරියෙන්ම සිටිනවා.

ඉහත හේතු නිසා සහ තවත් හේතු නිසා පින්ලන්තය වැනි ස්කැන්ඩිනේවියන් රටවල් බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ පරමාදර්ශී රටවල් බවට පත් වී තිබෙනවා. වාමාංශික අදහස් දරන්නන් මෙන්ම දක්ෂිනාංශික අදහස් දරන්නන්ද මේ අතර සිටීම විශේෂත්වයක්.

වාමාංශික අදහස් දරන්නන් විසින් බොහෝ විට පින්ලන්තය වැනි රටවල් සමාජවාදී රටවල් ලෙස හැඳින්වීමට උත්සාහ කරන අතර දක්ෂිනාංශික අදහස් දරන්නන් විසින් මෙම රටවල් ධනවාදී රටවල් බව පෙන්වා දීමට මහන්සි වෙනවා. මෙයින් පෙනෙන්නේ මේ කණ්ඩායම් දෙකේම කොටස් ස්කැන්ඩිනේවියානු ආකෘතිය සාර්ථක ආකෘතියක් ලෙස පිළිගන්නා බවයි. (කෙසේ වුවත්, මේ අදහස දරන්නේ වාමාංශික හා දක්ෂිනාංශික අදහස් දරන්නන් අතරින් සාපේක්ෂව මධ්‍යස්ථ මතධාරීන් පමණයි. අන්ත දෙකේ සිටින්නන්ට මෙම ආකෘතිය පිළිබඳ විවිධ ප්‍රශ්න තිබෙනවා.)

ලිපියේ අරමුණ ඉහත කී දේශපාලන අදහස් ගැන කතා කිරීම නෙමෙයි. මෙහි අරමුණ කවර හෝ හේතුවක් නිසා පින්ලන්තය පිං ලන්තයක් සේ සලකන අය පින්ලන්තය දැන් සිටින තැන සිටීම පිළිබඳව ඉදිරිපත් කරන ප්‍රවාද ගැන කතා කිරීමයි. 

"පින්ලන්තය දියුණු වුනේ පරිප්පු වලට නිවිති දාලා කන්නෙ නැති නිසා. බොරු නම් පරිප්පු නිවිති දාලා කන/නොකන රටවල් වල දියුණුව සසඳන්න."

ඉහත තිබෙන්නේ වත්පොතේ හුවමාරු වන පාඨයක්. මෙහි අරමුණ සමච්චලය බව කාට වුනත් පැහැදිලියි. නමුත්, පින්ලන්තය දැන් සිටින තැන සිටීම පිළිබඳව ඉදිරිපත්ව ඇති වෙනත් ඇතැම් ප්‍රවාද හා මේ ප්‍රවාදය අතර වැඩි වෙනසක් නැහැ. 

උදෘතයෙන් යෝජනා කර තිබෙන සංසන්දනය කිසිවෙකු විසින් කළහොත් පරිප්පු වලට නිවිති එකතු කිරීම රටක දියුණුවට හේතු වන ආකාරය කෙනෙකුට පහසුවෙන්ම පෙන්වා දෙන්න හෝ "ඔප්පු කරන්න" පුළුවන්. මේ වගේ දේවල් හඳුන්වන්නේ ව්‍යාජ සහසම්බන්ධතා (spurious correlations) ලෙසයි. මේ උදාහරණයේදී ඉතා පහසුවෙන් කළ හැකි දෙයක් වුවත්, ව්‍යාජ සහසම්බන්ධතා සහ හේතුඵල සම්බන්ධතා (causal effects) වෙන් කර හඳුනා ගැනීම විශාල පුහුණුවක් අවශ්‍ය දෙයක්.

සාමාන්‍ය කරුණක් ලෙස, ආර්ථික විද්‍යාවේදී දත්ත ඇසුරෙන් පරීක්ෂාවට ලක් කරන ප්‍රවාදයක් කියා කියන්නේ ඕනෑම කතන්දරයක් නෙමෙයි. පිළිගත හැකි උපකල්පන හා සම්මත ප්‍රවාද ඇසුරෙන් යෝජනා කරන ප්‍රවාදයක්. එවැනි ප්‍රවාදයක් දත්ත ඇසුරෙන් පරීක්ෂාවට ලක් කළ පසු අසත්‍යකරණයට ලක් නොවේනම් එය වැඩ කරන ප්‍රවාදයක් සේ සැලකිය හැකියි. එහෙත්, එසේ පිළිගත හැකි උපකල්පන හා සම්මත ප්‍රවාද ඇසුරෙන් යෝජනා කරන ප්‍රවාදයක් නොවන ඕනෑම හිතළුවක් දත්ත ඇසුරෙන් තහවුරු කළ පමණින් එය හිතළුවක් පමණක් නොවන්නේ නැහැ.

දැන් අපි පෙර සටහනේ මුල් ප්‍රශ්නයට පැමිණියහොත්, පින්ලන්තයේ ආර්ථික වර්ධන වේගය ක්‍රමයෙන් අඩු වෙමින් තිබෙන බව අපට දත්ත ඇසුරෙන් නිරීක්ෂණය කළ හැකි දෙයක්. බොහෝ දෙනෙකු විසින් නිවැරදිව එම නිරීක්ෂණය සිදු කර තිබුණා. එක් පාඨකයෙකු විසින් දත්ත විශ්ලේෂණය කර ඔහුගේ විශ්ලේෂණය විද්‍යුත් තැපෑලෙන් යොමු කරලත් තිබුණා. උනන්දුව ගැන ස්තුතියි!

මෙය ඇත්තටම මෙලෙස සිදු වන බව වඩා විශ්වාසයෙන් කිව හැක්කේ සම්මත ආර්ථික විද්‍යා ප්‍රවාද අනුව මෙය එසේ විය යුතු නිසයි. නමුත්, එම ප්‍රවාද අනුව මෙවැන්නක් සිදු විය යුත්තේ හා සිදු විය හැක්කේ පින්ලන්තයට පමණක් නෙමෙයි.එක් පාඨකයෙකු විසින් නිවැරදිව පෙන්වා දී තිබුණු පරිදි අනෙකුත් ස්කැන්ඩිනේවියන් රටවල මෙන්ම එම කලාපයෙන් පිටත පිහිටි ඇමරිකා එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය වැනි රටවලද මීට කිට්ටු රටාවක් නිරීක්ෂණය කළ හැකියි. 

එක් අයෙකු විසින් ජනගහණ වර්ධනය ගැන සඳහන් කර තිබුණා. එය නිවැරදි තර්කයක්. එහෙත්, ජනගහණ වර්ධනයද සලකා ඒක පුද්ගල ආදායමේ වර්ධනය සැලකුවද මෙවැනිම රටාවක් දැකිය හැකියි.

දැකිය හැකි රටාව එලෙසම දිගටම පවතීයැයි උපකල්පනය කර අනාගතයේ සිදු විය හැකි දෙය ඇස්තමේන්තු (extrapolate) කළහොත්, වසර ගණනාවක් යද්දී මෙම රටවල ආර්ථික වර්ධනය ශුන්‍යය පසු කර සෘණ පැත්තට යා යුතුයි. මෙයින් අදහස් කරන්නේ තාවකාලික විචලනයන් ගැන නෙමෙයි. දිගුකාලීන ප්‍රවණතාව (trend) ගැන. එහෙත්, දත්ත රටාවන්ට හේතු වන හේතුඵල සම්බන්ධතා නිවැරදිව ග්‍රහණය කර නොගෙන දත්ත රටා ඇසුරෙන් පමණක් කළ හැකි මෙවැනි ඇස්තමේන්තු සාමාන්‍යයෙන් නිවැරදි වන්නේ නැහැ. 

පළමුව, එක් පාඨකයෙකු විසින් නිවැරදි ලෙස සටහන් කර තිබුණු පරිදි, ආර්ථික වර්ධන වේගය අඩු වුවද, එයින් අදහස් වන්නේ රටේ ආර්ථිකය යම් වේගයකින් වර්ධනය වන බවයි. රටක ඒක පුද්ගල ආදායම ඉහළ යද්දී ආර්ථික වේගය ක්‍රමයෙන් අඩු විය යුතු බව පිළිගත් ප්‍රවාදයක්. මෙයට හේතු විස්තර කළ හැකියි. පෙර ලිපි ගණනාවක මෙම හේතු විස්තර කර තිබෙනවා. වෙනත් හේතු ගණනාවක් තිබිය හැකි වුවත්, පින්ලන්තය ඇතුළු වැඩි ඒක පුද්ගල ආදායමක් තිබෙන රටවල ආර්ථික වර්ධනය ක්‍රමයෙන් පහළ යාම වඩාත්ම පහසුවෙන් පැහැදිලි කළ හැක්කේ ඉහත සඳහන් ප්‍රවාදය ඇසුරෙනුයි. මෙම ප්‍රවාදය අනුව, රටක් දියුණු වෙද්දී එරට ආර්ථික වර්ධන වේගය ක්‍රමයෙන් අඩුවන නමුත් එය සෘණ පැත්තට යන්නේ නැහැ. 

පින්ලන්තයේ 2022 වසරේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් 50,816ක්. ලංකාවේ එම අගය ඇමරිකන් ඩොලර් 3,354ක්. අපි හිතමු පින්ලන්තයේ ඒක පුද්ගල ආදායම 1%කින් පමණක් වර්ධනය වී ලංකාවේ ඒක පුද්ගල ආදායම 10%ක් වැනි ඉහළ වේගයකින් වර්ධනය වුනා කියලා. 

දැන් පින්ලන්තයේ ඒක පුද්ගල ආදායම ඩොලර් කීයකින් වැඩි වෙනවාද? එම වැඩිවීම ඩොලර් 508ක්. නමුත්, ලංකාවේ ඒක පුද්ගල ආදායම වැඩි වන්නේ ඩොලර් 335කින් පමණයි. ඒ කියන්නේ, පින්ලන්තයේ ඒක පුද්ගල ආදායම 1%කින් පමණක් වර්ධනය වී ලංකාවේ ඒක පුද්ගල ආදායම 10%ක් වැනි ඉහළ වේගයකින් වර්ධනය වුනත්, වැඩියෙන් ඉහළ යන්නේ පින්ලන්තයේ ඒක පුද්ගල ආදායමයි. ඒ නිසා, දෙරට අතර ඒක පුද්ගල ආදායම් පරතරය තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ.

ඔය හේතුව නිසා අඩු ආදායම් මට්ටමක ඉන්න රටකට වැඩි වේගයෙකින් වර්ධන වෙන්න පුළුවන් වුනත්, එහෙම වර්ධනය වෙලා වැඩි ආදායම් මට්ටමක ඉන්න රටක ජීවන තත්ත්වය ලඟා කර ගන්න එක ලේසි වැඩක් නෙමෙයි.

ලංකාව 10%ක වේගයකිනුත්, පින්ලන්තය 1%ක වේගයකිනුත් එක දිගටම වර්ධනය වුනොත් කවදා හරි දවසක ලංකාව පින්ලන්තය පහු කරනවා නේද කියලා කෙනෙකුට අහන්න පුළුවන්. ඔව්. ලංකාව 10%ක වේගයෙන් එක දිගටම වර්ධනය වුනොත් එහෙම වෙන්න පුළුවන්. නමුත් මම කලින් කියපු ප්‍රවාදය අනුව එය එසේ වෙන්නේ නැහැ. 

ආර්ථික මට්ටම ටිකෙන් ටික ඉහළ යද්දී වර්ධන වේගයත් ටිකෙන් ටික අඩු වෙනවා. අඩු ආදායම් මට්ටම් වල ඉන්න රටවල් වලට වැඩි ආදායම් මට්ටම් වල ඉන්න රටවල් දිහා බලලා ඔවුන් අනුගමනය කිරීම මගින් වැඩි වේගයකින් වර්ධනය වෙන්න පුළුවන්. නමුත් වැඩි ආදායම් මට්ටම් වල ඉන්න රටවල් වලට එහෙම කරන්න බැහැ. ඔවුන් තමන්ගේ ආර්ථිකයන් තවත් වර්ධනය කර ගත හැකි ආකාර තමන් විසින්ම සොයා ගත යුතුයි. මේක හදපු පාරක යන එක සහ පාරක් අලුතෙන් හදාගෙන යන එක වගේ වෙනසක්. 

5 comments:

  1. හැපිනස් ඉන්ඩෙක්ස් එකේ මෙතඩලොජි එක කෝල් කර්ල් හ්න එක. ඒක ලංකාවට ගැල්පෙනවද?
    "Have you donated money to a charity in the past month?" කියල ඇහුවොත් නෑ කියල්නෙ කියන්නෙ. නමුත් චැරිටි නොවන කොපමන දේවල් වල්ට අපි උදවු කර්නවද? ලේ දන්දීම් ශ්‍රමදාන ect..
    අහන ප්‍රශ්න හා අහන ආකාරය අනුව උත්තරේ වෙනස් වෙනව නේ ඉකොනෝ

    ReplyDelete
  2. "If you were in trouble, do you have relatives or friends you can count on to help you whenever you need them, or not?"
    මේ ප්‍රශ්නෙ ලංකාවෙ සිංහ්ලෙං ඇහුවෙ කෝමද කියල දැනගන්න ක්‍රමයක් නැද්ද ඉකොනෝ?

    ReplyDelete
  3. ඉකෝන් ලිපියේ තාක්ෂණික කරුණු කිහිපයක් පිළිබඳව ඔබෙන් විමසීමට කැමැත්තෙමි.

    "සතුටු වාර්තාවේ සතුටු දර්ශකයෙහි ඒක පුද්ගල ආදායමද ජීවන තත්ත්වය පිළිබඳ මිනුමක් ලෙස සලකන නමුත් එවැනි තවත් මිනුම් පහක්ද සලකා බලනවා"


    මෙහි සතුටු දර්ශකය සැකසීමේදී, සියලු මිනුම් (මිනුම් 6 ම) මුල් ස්තානයක වාර්තා වී ඇත්නම් දර්ශකයේද මුල් ස්තානයට පැමිනෙනවා ද?


    යම්කිසි අවස්තාවක වෙනත් මිනුමක් (අවුරුද්දක සිදුවන මිනී මැරුම්) අනුව මෙහි උඩ යට මරූ උවහොත් අප සතුටු දර්ශකයේන් මොන වගේ නිගමයක එලබිය හැකිද?

    උදාහරණයක් ලෙස, ඉහත ඔබ සහන් කල මිනුම් පහ අනුව (ලංකාව හා සන්සන්දනයේදී ) පින්ලන්තය සෑම මිනුමක් අනුව සාපේක්ෂව ඉහල ස්තානයක් අත්කර ඇත. මීට අමතර මිනුමක් ලෙස,වර්ෂයකට සිදුවන මිනීමැරුම් අප අම්තර මිනුමක් ලෙස යොදා ගතහොත්, ලංකාව එහි සාපේක්ෂව ඉහල ස්තානයක් හිමිකර ගනී පින්ලන්තයට සාපේක්ෂව. එසේ උවහොත් , ඉතිරි මිනුම් 5න් හොද කියන පිලිවෙල අනුව පින්ලන්තය ඉදිරීයෙන් සිටියත්, අමතරව එන "වර්ෂයකට සිදුවන මිනීමැරුම්" අතින් පින්ලන්තය ඉතා පහල ස්තානයක් ලබා ගත යුතුය(පින්ලන්තයේ සිදුවන මරණ ඉතාම අඩු යැයි සිතුවොත්)

    මගේ ප්‍රශ්නය , අප යම්කිසි දර්ශකක් නිර්මාණය කිරීමේදී (එම දර්ශකයේ ඉහලට පිලිවෙලින් යාමේදී, රටක ඇති අදුරු බව ප්‍රකාශ කරනවා නම්) එ සදහා යොදා ගන්නා මිනිම් වල පිලිවෙලක් සෑම විටම සැලකිය යුතුද?

    ReplyDelete
    Replies
    1. //මෙහි සතුටු දර්ශකය සැකසීමේදී, සියලු මිනුම් (මිනුම් 6 ම) මුල් ස්තානයක වාර්තා වී ඇත්නම් දර්ශකයේද මුල් ස්තානයට පැමිනෙනවා ද?//

      එසේ විය යුතුයිනේ. (දූෂණ පිළිබඳ ආකල්ප අනෙක් පැත්තට තියෙන්නේ. ඒ නිසා එහි සෘණ අගය ගන්න ඕනෑ. ලිපියේ ශ්‍රේණිගත කිරීම් සලකලා තිබෙන්නේත් ඒ විදිහට.)

      //යම්කිසි අවස්තාවක වෙනත් මිනුමක් (අවුරුද්දක සිදුවන මිනී මැරුම්) අනුව මෙහි උඩ යට මරූ උවහොත් අප සතුටු දර්ශකයේන් මොන වගේ නිගමයක එලබිය හැකිද?//

      මේ මිනුම් තෝරා ගෙන තිබෙන්නේ අහඹු ලෙස නෙමෙයි. සමීක්ෂණ අනුව පුද්ගලයින්ගේ සතුට තීරණය කිරීමේ නිර්ණායක ලෙස එම මිනුම් වලට තිබෙන බර තැබීම් අනුව. වෙනත් මිනුමක බර (weight) විශාල නොවේනම් සමස්ත චිත්‍රය එතරම් වෙනස් වෙන්නේ නැහැ. මෙම මිනුම් හයෙන් පැහැදිලි නොකරන කොටස පොඩි කොටසක්. වෙනත් ඕනෑම අමතර මිනුමක දායකත්වය ඒ කොටසට වඩා වැඩි වෙන්න විදිහක් නැහැ.

      Delete
  4. ගෝමස් කියලා පුද්ගලයෙක්ට වෛද්‍ය කුමාර කලුආරච්චි මහතා මානසික රෝගියෙක්ය කියලා නින්දාවට පත්කරන්න අවශ්‍යෙවලා කියෙනවා. ඒ නිසා ඔහු කුමාර මහතා වගේ ඇඟවෙන විදියට විකාර කොමෙන්ටු දානවා. ඒවට සැලෙන්න එපා

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.